භූත මන්දිරයේ තනිවූ යුවතිය


මහාචාර්ය එච්. මන්ක්ටන් බ්‍රිතාන්‍යයේ වාසය කළ කීර්තිමත් පුරාවිද්‍යාඥයකු විය. ඔහුගේ සොයාගැනීම් නිසා බ්‍රිතාන්‍යයේ යටපත්ව තිබූ අතීත සිදුවීම් බොහෝමයක් අනාවරණය විය.  


බ්‍රිතාන්‍ය රාජකීය පුරාවිද්‍යා සංගමයේ තැන්පත්ව ඇති මහාචාර්ය මන්ක්ටන්ගේ පුරාවිද්‍යාත්මක වාර්තා එක් අතකින් විශ්වාස කිරීමට පවා අසීරුය.  


දොළොස්වැනි සියවසේ ජීවත් වූ ඩී. රොන්ඩිෆෝට් නම් සාමිවරයා විසින් ඉදිකරන ලද අද්භූත මන්දිරයකට අද‌ාළව වරක් මහාචාර්ය මන්ක්ටන් ගවේෂණ කටයුතු සිදුකළේය.  


එම අද්භූත මාලිගාව බොහෝ දෙනෙකු හඳුන්වනු ලැබුයේ වධක මන්දිරය නමිනි. රොන්ඩි ෆෝට් සාමිවරයාගේ ප්‍රධානතම කාර්යය වූයේ තමන් දැන සිටි ගුප්ත විද්‍යාවේ සත්‍යය සොයා බැලීමට මිනිසුන් උපයෝගීකර ගැනීමය. ඔහු අවට ගම්වලින් සිය ගණන් ස්ත්‍රී පුරුෂයන් පැහැරගෙන විත් තම මන්දිරයේ සිරකරගෙන තබාගෙන ගුප්ත විද්‍යා කටයුතු සඳහා ඔවුන් උපයෝගී කරගත්තේය. අවට ගම්වාසීහු ඔහුගේ මන්දිරයට පැමිණීමට තරම් එඩිතර සිත් ඇත්තෝ නොවූහ. මහා වනයක් මැද පිහිටි මෙම මන්දිරයට ළඟාවීම මරණය වැළඳ ගැනීමක් බව බොහෝ දෙනා සිතූහ.  


දිනක් රෙන්ඩිෆෝට් සාමිවරයා මහා අකරතැබ්බකට මුහුණ පෑවේය. ඒ වන විට ඔහු යාබද පෙදෙසකින් වංශාධිපතිවරයකුගේ දියණියක පැහැරගෙන විත් තිබුණි. විවිධ පූජාවිදීන් පවත්වමින් යාගයෙහි යෙදුණ රොන්ඩිෆෝට් අවසානයේ ලුසිපර් නමැති යක්ෂ සේනාධිපතියාගේ විශේෂ අනුග්‍රහය ලබාගනුවස්, එම තරුණියගේ ළැමට රිදී කිනිස්සකින් ඇන ගලා එන රුධිරයෙන් අති බිහිසුණු පූජාවක් කරන්නට විය.  
අනිකුත් රහසිගත පැහැර ගැනීම් වධක මන්දිරයේ අද්භූත ලෙසම සැඟවී ගියත් මේ වංශාධිපතියාගේ දියණියගේ අවසානය නම් එසේ මන්දිරයේ දොර පියන්පත් අතර සිර නොවී ප්‍රදේශය පුරා කටින් කට පැතිර යන්නට විය. මෙනිසාම රොන්ඩිෆොට් සාමිවරයාට විරුද්ධ මහා උද්ඝෝෂණයක් රට පුරා වර්ධනය වෙන්නට විය.  


 අතුරුදන් වූ යුවතියගේ වංශාධිපති පියා බල සෙනඟක් රැගෙන වධක මන්දිරයට කඩා පැන කළ සොයා බැලීමේ දී ඇගේ ඇඳුම්වල කැබැලි කීපයක් තිබී හමුවිය. තමන්ගේ දියණියගේ අවසානය වධක මන්දිරය තුළදීම සිදු වූ බව තහවුරු කරගත් වංශාධිපති ඒ බව රජතුමාට පැමිණිලිකර සිටියේය. සිද්ධිය විභාග කළ රජු තීන්දු කළේ රොන්ඩිෆෝට් මන්දිරය සම්පූර්ණයෙන් පොළවට සමතලා කර සාමිවරයා රටින් පිටුවහල් කිරීමය.  
මේ සිද්ධියෙන් පසු රොන්ඩිෆෝට් සාමිවරයාට කුමක් සිදුවූයේ දැයි කිසිවෙකුටත් දැනගත නොහැකි විය. ඔහු රටින් පිටවූවා ද නැතහොත් අද්භූත ලෙසින්ම අතුරුදන් වූයේ ද යන්න කිසිවෙක් නොදත්හ. බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ මහාචාර්ය මන්ක්ටන් භාර වූයේ ඩිවුන්ටන්බරි ප්‍රදේශයේ පිහිටා තිබූ රොන්ඩිෆෝට් සාමිවරයාගේ මන්දිරය පිහිටි භූමියේ කැණීම් කටයුතු සිදුකිරීමටය.  


තම කණ්ඩායම සමඟ කැණීම් කටයුතු කළ මහාචාර්යවරයාට අද‌ාළ භූමියෙහි තිබී මිනිස් සහ සත්ව ඇටසැකිලි සිය ගණනක් හමු විය. එහි නෂ්ටාවශේෂ අතරින් මතු වූ තාප්පයක් තුළ සුළං නොවදින සේ ගබඩාකර තිබූ වීදුරු භාජනයක් හමු වූ අතර එහි තැවැරී තිබූ වැලි දූවිලි පිස දමා පරික්ෂා කිරීමේ දී එහි තුළ වූ මිනිස් හිසක් දැකගැනීමට හැකි විය. එහි වූ කෙස් රැලි සහිත විය. හිසකෙස් ද මනා ලෙස පීරා තිබුණි. මුහුණ ද පිරුණු දෙකම්මුල්වලින් යුක්ත විය. නිද‌ාගත් කෙනෙකුගේ මෙන් ඇස් පියවී තිබුණි. මුහුණ බැලූ කෙනෙකුට සිතෙන්නේ එය මියගිය අයගේ හිසක් ලෙස නොව නිද‌ාගත් කෙනෙකුගේ හිසක් ලෙසය.  


වීදුරු භාජනය හොඳින් පරික්ෂා කර බැලූ මහාචාර්යවරයාට සිතුණේ එහි ඇසිපිය ඒ මොහොතේම විවෘත කරනු ඇතැයි කියාය. ඒ සමඟම ඒ දෙතොලින් සිහින් සිනහවක් මතුවූවක් සේ ඔහුට හැඟුණි.  
හිස දෙස බලා සිටි මහාචාර්යවරයාට හිස සහිත බඳුන සිය නි​ෙවසට ගෙන යෑමේ අරුම පුදුම සිතුවිල්ලක් පහළ විය. එවැනි සිතුවිල්ලක් පහළ වූයේ කෙසේදැයි ඔහුටවත් සිතා ගැනීමට නොහැකි විය. ඔහු කිසිදු දිනක පුරාවිද්‍යා වැඩබිමක ඇති කිසිවක් නි​ෙවසට ගෙන ගොස් නැත. පුරාවිද්‍යා සංගමය වුව ද වැඩබිමක ඇති කිසිවක් පුද්ගලයකු සතුව තබා ගැනීමට ඉඩ දෙන්නේ නැත. මහාචාර්යවරයා ඒ බව හොඳින් දැන සිටියේය.  
‘නමුත් මට ඒක සතුකර ගන්න පුදුම තෘෂ්ණාවක් ඇති වුණා. මට හැඟී ගියේ ඒක මට අයිති දෙයක් කියලයි.’ ඔහු තම දින පොතෙහි එලෙස සටහන්කර තිබුණි.  


 මෙම වස්තුව තමන් සතුකරගත් මහාචාර්යවරයා සිය සයනය සමීපයෙහි වූ රාක්කය මත පරිස්සමට තැබීය. අඳුරු රාත්‍රියේ නින්දට පෙර ඔහු සුළු මොහොතක් ඒ හිස දෙස එක එල්ලේ බලා සිටීමට පුරුදු වූයේය. ඒ වන විට ඔහු මේ අද්භූත වස්තුව තම නිවසට ගෙනැවිත් දින හතක් ගතවී තිබුණි.  


 ‘මන්ක්ටන්.... මන්ක්ටන්....’  


මැදියම් යාමයේ කිසිවෙකු තමන්ගේ නම කියා හඬගසනු ඇසී අවදි වූ මහාචාර්යවරයා ඇඳ මත මොහොතක් වාඩි වී සිටියේය.  


විශාල පියාපත් ඇති රතු ඇස් ගෙඩි ඔරවාගත් වවුලෙක් ඔහුගේ හිසට උඩින් අනික් කාමරයට පියඹා ගියේය. නි​ෙවස අසලම වෘකයින් රැසක් බියකරු ලෙසින් උඩබුරලනු ඇසුණු මහාචාර්යවරයාගේ හිත ගැස්සී ගියේය. අනතුරුව හිතට ධෛර්යය වඩාගත් මහාචාර්යවරයා අවට විපරම් කළේය. එහෙත් කිසිවෙකු නොවීය.  
 ඔහු පැමිණ ඇඳ මත හිඳගත් විටම වවුලන් රෑනක් පිටත ජනේලය අසල ‘සට සට’ හඬින් අත්තටු සලනු ඇසෙන්නට විය. මහාචාර්යවරයාගේ දෙනෙත් පුරුද්දට මෙන් වීදුරු බඳුනෙහි වූ හිස දෙස යොමුවිය.  
ඒ හිසෙහි ඇස් විවර වී ක්‍රෝධයෙන් පුපුරු ගසමින් ඇති අයුරු ඔහු දුටුවේය. විදුලි පහන් නිවා දැමූ මහාචාර්යවරයා නැවතත් සයනයේ දිගාවූයේ එය තමන්ගේ සිතේ ඇතිවූ මනෝවිකාරයක් යැයි සිතා සිත සැහැල්ලු කරගෙනය.  


 මේ හිස කාගේද? එය ගුප්ත විද්‍යාවෙන් හිස විකල් කරගත් කෲර රොන්ටිෆෝඩ් සාමිවරයාගේ ද? එසේනම් කෘරත්වයත් භීෂණයත් මෙම හිස සමඟ බැඳී ඇතිද?  


මෙබඳු විවිධ දෙය මහාචාර්යවරයාගේ හිතට නැගුණ ද ඒ කිසිදු පැනයකට පිළිතුරක් සොයාගැනීමට ඔහුට නොහැකි විය.  


‘මන්ක්ටන්, මන්ක්ටන්’  


ඔහු නැවත නිද‌ාගන්නට සූද‌ානම් වෙත්ම පෙරටත් වඩා ගොරෝසු බියකරු හඬකින් තමන්ගේ නම පවසනු මහාචාර්යවරයාට ඇසුණි. සයනයෙන් නැගිට ගත් ඔහු විදුලි පහන දැල්වීය.  


 ඔහුගේ සිත අර හිස දෙස බලන ලෙස බල කළේය. දුටුදෙයින් මහාචාර්යවරයාගේ ඇඟ කිලිපොළා ගියේය. හිසෙහි වූ දෙනෙත් විවර වී තිබුණි. කෙතරම් දැඩි ලෙස විවරව තිබිණ දැයි කිවහොත් ඒවා ඇසිපියවලින් ඉවතට වීසි වීමට තරම් විශාල වී තිබුණි. මහාචාර්යවරයාගේ ඇඟේ හිරිගඩු පිපුණේ ඒ ඇස්වලින් විසිවුණු වෛර​ෙයහි සැරටය. අපායේ ගිනිදැල් අතරවත් එවැනි වෛරයක් තිබිය නොහැකි යැයි ඔහුට සිතුණි. නමුත් එහිවූ අනික් විස්මිත සිද්ධිය වන්නේ මහාචාර්යවරයා ඒ බිහිසුණු බවට වසඟ වීමය. ඔහු එතැනින් ඉවත්වීමට කෙතරම් උත්සාහ කළත් ඔහුගේ ඇස අර දෑස වෙතම ඇලී පැවතුණේය.  


හිස නි​ෙවසින් පිටතට ගෙන යා යුතු යැයි ඔහුට සිතුණි. එහෙත් එය තමා සමීපයෙහි තබාගත යුතු යැයි දෙවනුව ඔහු තීරණය කළේය.  


දින දෙකකට පසු මහාචාර්යවරයා තවත් අද්භූත සිද්ධියකට මුහුණ පෑවේය. රාත්‍රියේ හිස දෙස බැලූ ඔහුට සිතුනේ හිස යමක් තමන්ට පවසන විටක මෙන් දෙතොල් සොලවන බවය.  


ඊළඟ දිනයේ උදෑසනින්ම නිවසින් බැහැර වූ ඔහු ආපසු පැමිණියේ සති තුනකට පසුවය. එසේ පැමිණි ඔහු සිතුවේ හිස පවසන යමක් ඇත්නම් එය තේරුම්කරගෙන එය ඉටුකළ යුතු බවය.  


දෙතොල් සෙලවෙන ආකාරය අනුව පවසන දෙය වටහා ගැනීමට තරම් විශේෂඥ දැනුමක් මහාචාර්යවරයාට නොතිබුණත් දෙතොල් පවසන්නේ මේ වීදුරුව බිඳ තමන් නිදහස් කරන ලෙස බව ඔහුට සිතුණි.  


සෑම රාත්‍රියකම වීදුරු බඳුන තුළින් කෑගැසීම් දිස්වන්නට විය.  


මහාචාර්යවරයා දින පොතෙහි අවසාන වශයෙන් සටහන්කර තිබුණේ මෙසේය.  


‘දැඩි වෙහෙසකාරී බවක් මට දැනෙයි. දිවා කාලයේ පවා කාමරයෙන් බැහැරවීමේ සිතක් මට ඇති නොවේ. රාත්‍රියේ දී මට නින්දක් නොලැබේ. මගේ ජීවිත ඉරණමෙහි අවසානය කරා මා ළඟා වී ඇතැයි මට සිතේ. මගේ ජීවිතය දැන් මට අයත්ව නැතැයි මට සිතේ. මේ බිහිසුණු හිස ඉතාමත් ඉක්මනින් තමන්ගේ වෛරී අභිප්‍රායන් සපුරා ගනු ඇත.  


 සති කීපයක් තුළ මහාචාර්යවරයා නොදැකීම ගැන කුතුහලයට පත් අසල්වැසියෝ අවසානයේ ඒ ගැන පොලිසියට පැමිණිලි කළහ. පොලිස් නිලධාරීහු දොර කඩා මහාචාර්යවරයාගේ කාමරයට ඇතුළු වූහ.  
වීදුරු බඳුන කැඩී තිබුණි. හිස ඒ තුළ නොවීය. මහාචාර්යවරයා ඒ අසල මැරී වැටී සිටියේය.  


පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවූයේ කිසියම් දැඩි දෙයකින් මහාචාර්යවරයාගේ ගෙල සිරකිරීම නිසා හුස්ම හිරවී මියගොස් ඇති බවය.  

 

පීටර් කැනියුට් පෙරේරා