බුදු පහස ලත් අසිරිමත් ලුම්බිණියට ගිය ගමන


රටකින් රටකට

 

​ෙගෟතම බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දේශනා කළ පරිදි සැදැහැවත් බෞද්ධයකු ජීවිතයේ එක් වතාවක් හෝ වැඳ පුදා ගත යුතු පුද බිම් සතරකි. සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තිය සිදු වූ ලුම්බිණිය, සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බුද්ධගයාව, බුදුන් වහන්​සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළ සාරානාතය, සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ සල් උයන යන ස්ථාන හතර ය.   


මෙම ස්ථානයන් දැක බලා ගන්නට දින ගණනාවක් පුරාවට උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක කළ අපගේ චාරිකාවේ පස් වැනි දිනය ගත වූයේ සිදුහත් උපත සිදු වූ බවට පුරා විද්‍යාත්මකව ද සනාථ කර ඇති ලුම්බිණි පුද බිම වන්දනාවයි.   


අප ලැගුම්ගෙන සිටි සැවැත්නුවර නවාතැන්පළෙන් අලුයම පහට ගමන් ඇරඹූ අපට නේපාලයට ළඟා වීමට පැය පහක පමණ කාලයක් ගත විය. සැවැත්නුවර සිට ලුම්බිණියට කි​ෙලා් මීටර් 230 කි.   


ඉන්දීය නේපාල දේශසීමාව දෙසට ගමන් කළ අපේ රියට දිගු වාහන පෝලිමක කොනකට වී ඔහේ බලා සිටීමට සිදු විය. මෙය ඉන්දිය නේපාල දේශ සීමාව තුළ නිතර නෙත ගැටෙන දසුනකි. මන්ද අප ඇතුළු වන්නේ තවත් එක් රටකටය. එම නිසා අපගේ ගමන් බලපත්‍රයට එරටට ඇතුළුවීමට අවසර වීසා පත ලබා ගත යුතුය. ඉන්දීය ආගමන විගමන කාර්යාල මෙන්ම නේපාල ආගමන විගමන කාර්යාලයෙන් නේපාලයට ඇතුළු වන සංචාරකයින්ට ලොකු සහයෝගයක් ලැබේ. අපේ රටින් යන ඇතැම් සංචාරකයින් නීති විරෝධී ලෙස වීසා නොමැතිව නේපාලයට ඇතුළුවීම නිසා විශේෂයෙන් ලංකාවෙන් එන සංචාරකයින් පිළිබඳව ඔවුහු විශේෂ අවධානයකින් පසු වෙති. මේ දේශ සීමාවෙන් ඉන්දියාවටත් නේපාලයටත් පිවිසීමට අවසර ලැබෙන්නේ උදේ 6.00 සිට රාත්‍රී 9.00 වන තෙක් පමණයි. ඒ නිසාම අපේ කණ්ඩායම් නායකත්වය දැරූ අතුල සම්පත් මහතා එම ස්ථානයෙන් කණ්ඩායම සමග නික්මෙන්නට බොහෝ වෙහෙස විය.   


ඉන්දීය නේපාල දේශසීමාවේ සිට ලුම්බිනියට ඇත්තේ කිලෝ මීටර් 27 ක් වැනි දුරකි. දේශ සීමා අවසර කටයුතු නිම වූ අපි ලුම්බිණිය බලා ගමන් කළෙමු. ලුම්බිනියට පිවිසෙන ස්ථානයේ බසය නතර කෙරිණ. එතැනින් එහාට යාම සඳහා රික්ෂෝ කුඩා ප්‍රමාණයේ ටැක්ෂි වගේම බෝට්ටු ප්‍රවාහන පහසුකම් සලසා තිබිණි.   


බෝට්ටුවට ගොඩ වුණු අප දෙපස වන ගොමුවෙන් හමා ආ සීතල සුළඟක් සමග ඉදිරියට ඇදෙන දිය පහර ඔස්සේ ගියෙමු. දෙපසින් අැසෙන විහඟුන්ගේ රාවය නෙක පැහැ ඇති මලින් වර්ණවත් වූ පරිසරයක් මඳකට අපේ විඩාව දුරු කළේය. මේ යන මඟ මට මැවී පෙනුණේ අතීතයේ මහා මායා දේවිය සිය දරු ප්‍රසූතිය සඳහා කිඹුල්වත් නුවර සිට සිය නෑසියන් විසූ දෙව්දහ නුවරට කතුන් පිරිවරා ගමන් කළ ආකාරයයි. එදා වෙසක් මහේ මේ ලුම්බිණිය සල්මලින් බරව දෙව් උයනක් සේ දිස්වූවාට සැකයක් නැත. 

 
එදා සල් මල් අරණේ මෙන් අද අප ගමන් කළ මේ මාවතේ නම් සල්ගස් නෙත ගැටුණේ නැත. කෙටි දුරක් ගෙවා බෝට්ටුවෙන් ආ අපි බෝසත් උපත සිදු වූ තැනට ගමන් කළෙමු. වර්ෂ 1832 ට පෙර පස්ගොඩක්ව තිබූ මේ පින්බිම අද ගොඩනැගිල්ලකින් වට කර තිබේ.   


බ්‍රිතාන්‍යය රාජ්‍ය යටතේ එදා මෙහි කැණීම් ආරම්භ කෙරුණු අතර අද දක්වාම එහි සියලුම කටයුතු ද සිදුවන්නේ බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහයෙනි. මෙම කටයුතු ඇරඹුණේ බ්‍රිතාන්‍යයේ ඔර්හැම් සරසවියේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කොනිංහැම්  බ්‍රිතාන්‍යය ජාතිකයාගේ නායකත්වයෙන් යුතු පුරාවිද්‍යාඥයන් 15කගෙන් යුතු කණ්ඩායම විසිනි. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමිපාණෝ සහ එච්.සී.පී. බෙල් මහතා මෙහි කැණීම් සඳහා සුවිශාල සහයෝගයක් ලබා දුන්හ.   


​ෙමම ස්ථානයේ කැණීම්වලින් හමු වූ බොහෝ දුර්ලබ පුරා වස්තූන් කල්කටා කෞතුකාගාරයේද ඉන් සමහරක් දිල්ලි කෞතුකාගාරයේද්‍ සුරක්ෂිතව අදටත් තැන්පත් කොට ඇත. එමෙන්ම මෙම කැණීම්වලදී හමු වූ මුතු මැණික් වැනි වටිනා පුරා වස්තුන් බ්‍රිතාන්‍ය ජාතිකයන් එරටට රැගෙන ගිය බව ද සඳහන් වේ.   

 

 


ලුම්බිණිය පුරාවිද්‍යා කැණීම්වලට පෙර   


නූතන යුගයේ හෙවත් 20 වන සිය වසේ මුල් භාගයේදී බුදුන් උපන් ලුම්බිණිය පිහිටියේ කොහෝදැයි විවාදයට කරුණක් විය.   


එම කාලය තුළ බ්‍රිතාන්‍යය පුරා විද්‍යාඥයින්ට මෙම ස්ථානය ඒ කැණීම් කරන්නට එක් භේද සාධකයක් තහවුරු විය. අශෝක ලුම්බිණිය මායාදේවි පන්සල අසබඩ ඇති අශෝක ස්මාරකයේ නේපාල ලුම්බිණි පුද බිම බුදුන් උපන් ස්ථානය යැයි බ්‍රාහ්මීය අක්ෂරවලින් දැකගන්නට ලැබීමත් සමග බ්‍රිතාන්‍ය ජාතිකයින් කළ කැණීම්වලින් ලුම්බිණි පුද බිම සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ ස්ථානය බවට සනාථ විය.   


එහි ඇති සෙල්ලිපියේ සරල අර්ථය මෙසේය


‘දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජු තම අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල පෞද්ගලිකවම මෙම ස්ථානයට පැමිණ ශාක්‍ය මුනින්ද්‍ර වූ බුදුරජාණන් වහන්සේ උපන් මෙම පුද බිමට වන්දනා මාන කළ අතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අසා දැඩි ඇල්මකින් යුතුව ශිලා ටැඹක් පිහිටුවීය. එමෙන්ම මෙම ලුමින්දයාර් පෙදෙසින් (ලුම්බිණිය ග්‍රාමයෙන්) රජයට අයත් විය යුතු අටෙන් එකක් අය බද්දෙන් නිදහස් කරන ලදී.   


මධ්‍ය ආසියාව තෙක් බලය විහිදූ මහා අශෝක අධිරාජ්‍ යා සිය අගනුවර වූ පාඨලීපුත්‍රයේ සිට කිලෝ මීටර් සිය ගණනක් ගෙවා විත් බුදුන් උපන්නා වූ ස්ථානය මහත් බැතියෙන් වන්දනා කළ බව ශිලා ලේඛන ඇසුරෙන් පුරා විද්‍යා අංශ විසින් සනාථ කොට ඇත. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසු චන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ සහ අශෝක රජු මේ ස්ථානය සිදුහත් උපත සිදු වූ ස්ථානය ලෙස බ්‍රාහ්මීය අකුරවලින් තහවුරු කළාට පසුව බෞද්ධ ආගමික මුහුණුවරක් ලැබීම සිදු වුණු බවද සඳහන් වේ.   


12 වැනි සියවසේ මෝගල්වරුන්වරුන් බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන අවස්ථාවන්හිදී ලුම්බිණිය ආක්‍රමණවලට ලක් නොවූයේ ලුම්බිණිය විහාරස්ථානයක් ලෙස නොතිබුණු නිසාවෙනි.   


ලුම්බිණි සල් උයන නිර්මාණය වෙන්නේ මහාමායා දේවිය වෙනුවෙන්   


එදා හිමාල කන්ද පාමුල අලංකාර උද්‍යානයක් වුණු ලුමින්දයාර් දේවියගේ උයනට මහා මායා දේවිය දැඩිව ඇලුම් කළාය. සුද්ධෝධන රජු මෙම උයන ලුමින්දයාර් දේවියගෙන් කහවණුවලට ඉල්ලුවත් ඇය ඊට එකඟ වූයේ නැත. මහාමායාටත් මෙවැනි උයනක දැඩි ආසාවක් ඇති වුණු නිසාම ඇය වෙනුවෙන් සුද්ධෝදන රජු නිර්මාණය කළ උයන ලුම්බිණි සල් උයන විය.   


සිදුහත් කුමරුන්ගේ උපත සිදුවීමට දින ළඟා වෙද්දි ගැබිනියකට ඇති වෙන ප්‍රසූත අපහසුතා කිසිවක් ඇයට නොදැනුණු බව කියවේ. ඒ අනුව මහත් ආශ්චර්යයෙන් සිද්ධාර්ථ උපත එදා සිදු වී ඇති බව පෙනේ. එදා මෙන්ම අද ද හින්දු භක්තිකයින් මෙම සිදුවීම් දකින්නේ මහාමායා දේවියගේ ආශ්චර්යය ලෙසය. සිද්ධාර්ථ උපත සිදු වී සත්දිනකින් මහාමායා දේවිය කලුරිය කළ පසු මෙම ස්ථානයේ මහාමායා ​දේවිය සිහිවීම සඳහා මායා කෝවිල ලෙස මෙය ඉදිකර ඇත. දරු සම්පත නොමැති කාන්තාවෝ දරුවන් ලබාගැනීමේ ප්‍රාර්ථනයෙන් මෙම දෙවොල වන්දනාමාන කරන්නට වූහ.   


මායාදේවි කෝවිල සහ හින්දුන්ගේ විශ්වාස   


මෙම පූජනීය ස්ථානයේ ගඩොල් පිළිබඳව සලකා බැලීමේදී ඒවා යුග හතරකට අයත් බව නිගමනය වේ. ඒ අශෝක යුගය, සුංග යුගය, කුෂාන් යුගය හා ගුප්ත යුගයයි. කුෂාන් යුගයේ දී පාදයක සටහන ඇති ගල ආවරණය කර එන ස්ථානය හඳුනා ගැනීමට මායා දේවියගේ පිළිරුවක් ඉදිකර ඇත. මෙය සිදු වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 249 දී එනම් අශෝක කුලුන පිහිටුවීමෙන් වසර 300 කට පසුවය.   


අදටත් නේපාල ජනයා මෙම ස්ථානය හඳුන්වන්නේ මායා දේවි කෝවිල ලෙසය. නේපාලයේ හින්දු ජනයා මහා මායා දේවිය දෙවඟනක ලෙස විශ්වාස කරති.   


මෙම පිළිරුවේ සුදු හඳුන් ගල ගා එම ජලය දරු සම්පත් යදින කාන්තාවන්ට පානය කිරීමට දී​ෙමන් දරු සම්පත් ලැබුණු බවට විශ්වාසයක් ඇත. අවුරුදු දහස් ගණනක් පුද සත්කාර ලැබූ මෙම පිළිරුවේ මුහුණ, උදරය, පාද ආදි ස්ථාන දිරා ගොස් ඇත. එම පිළිරුව නේපාල රජයේ පුරා වස්තුවක් ලෙස පවත්නා අතර එකී වන්දනා කටයුතු කිරීමට අද වන විට අවස්ථාව නොලැබේ.


 එහෙත් කාන්තාවෝ මහා මායා දේවිය ස්නානය කළ සහ සිදුහත් කුමරුන් දෝවනය කළ පොකුණේ ශුද්ධ ජලය හිසේ ගා ගනිති. පානය කරති. ජලය විදේශයන් වෙත පවා රැගෙන යති. ඉඩෝර සමයේ දී මෙහි ජලය ගෙන ගොස් කුඹුරුවලට දැමීමෙන් වර්ෂාව ඇති වේ යැයි ද විශ්වාසයක් නේපාල හින්දු ජනයා තුළ අදටත් පවතී.   


සිදුහත් උපත ලුම්බිණියේ සිදු වූ බවට පුරා විද්‍යාවෙන් සනාථ කළ 2013 වසරේ කැණීම්   


1832 ඇලෙක්සැන්ඩර් කානිංහැම් නම් වූ බ්‍රිතාන්‍යය ජාතිකයා කළ පුරා විද්‍යා පර්යේෂණයන්ගෙන් පසුව 2013 වසරේදී රොබින් කොනිංහැම් ඇතුළු නේපාල සහ ජපන් පුරා විද්‍යාඥයන් හතළිහකගෙන් යුක්ත කණ්ඩායමක් ඉමහත් කැපවීමෙන් මෙහි පුරා විද්‍යා කැණීම් කළහ. ඇලෙක්සැන්ඩර් කානිංහැම්ගේ මුනුපුරෙකු වු රොබින් කානිංහැම් ඇතුළු කණ්ඩායම 2011 වර්ෂයේ දී ලොව පුරාවිද්‍යාඥයන්ගේ ඇගැයුමට ලක්වූයේ ලුම්බිණියේ ඉතා විශිෂ්ට සාධකයන් සොයා

ගැනීමට සමත් වූ නිසාවෙනි.   


ඇලෙක්සැන්ඩර් කානිංහැම් ඇතුළු කණ්ඩායම සොයා ගත් සිදුහත් කුමරුගේ පා සලකුණට අමතරව ද ලුම්බිණි සල් ගස වටා ඉදිව තිබූ වැටක ලී දඬුවක් සොයා ගැනුණි. එම ලී දඬුව දැනට පරික්ෂණ සඳහා ඇමරිකාවේ පුරා විද්‍යා පර් යේෂනාගාරයක තැන්පත් කොට ඇත. එය කාල නිර්ණයට භාජනය කිරීමෙන් සනාථ වී ඇත. මහාචාර්ය රොබින් කානිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් ප්‍රථමවරට මෙම ලුම්බිණියේ මහාමායාදේවි උයනේ සිදු කරන ලද පුරා විද්‍යා කැණීම් මගින් ක්‍රි.පූ. 6 වන සියවසේ දී සිදුහත් උපත සිදු වූ  බව ද හෙළි විය. එහිදී බුද්ධ කාලයේ ක්‍රි.ව. 5 වන සියවස ගුප්ත රාජ යුගය තෙක් පුරා වස්තු හමු වී ඇත. ස්ථර දහයක් එම කැණීම් සිදු කර ඇති අතර එහි යටම ස්ථරයෙහි උත්තර කාල වර්ණ මැටි බඳුන් හමු වී ඇත. ඒවා බුද්ධ කාලයට එනම් ක්‍රි.පු. 6 වන සියවසට අයත් වේ. 

 
අද වන විට චීනය, කොරියාව, ජපානය වැනි බෞද්ධ රටවල් තාක්ෂණයෙන් ඉදිරි ගාමීය. කපිල වස්තු සහ බුදුන් උපන් ලුම්බිණිය ඉන්දියාවේ ඇතැයි ඉන්දීය විද්‍යාඥයින් විවිධ මත පළ කළ ද ජාත්‍යන්තරව පිළිගන්නේ මෙම නේපාල ලුම්බිණිය බුදුන් උපන් ස්ථානය ලෙසය.

   
යුනෙස්කෝව විසින් ලුම්බිණිය පුද බිම අද වන විට ලෝක උරුමයක් බවට පත් කර ඇත. එමෙන්ම ජපානය, කොරියාව වැනි රටවල දායකත්වයෙන් පුරා විද්‍යාත්මක හා ආරක්ෂක වැඩ සටහන් රැසක් ලුම්බිණි පුද බිම තුළ වර්තමානය වන විට අරඹා ඇත.   


 

ලුම්බිණියේ වර්තමානය   


ලුම්බිණිය නේපාලයේ දකුණු දිග දේශ සීමාවේ ඉන්දියාවට ආසන්නයේම පිහිටා ඇති උපනගරයකි. 1947 දී ඉංග්‍රීසීන්ගෙන් ඉන්දියාවට නිදහස ලබාගත්තයින් පසුව මහත්මා ගාන්ධි තුමන් ඉන්දියාවට අයිතිව තිබූ උතුරු ඉන්දියාවෙන් ප්‍රාන්ත 5 ක් ත්‍යාගයක් ලෙස නේපාලයට දෙන ලදී.   


බුද්ධකාලීනව ශාක්‍ය ජනපදය කපිල වස්තුව හරහා දේශසීමාව වැටුණි. එබැවින් වර්තමානයේ ලුම්බිණිය සුද්​ෙධා්දන රජ මාළිගය සිද්ධාර්ථ කුමරු අභිනිෂ්ක්‍රමණය කළ ගල් දොරටුව මහා මායා දේවියගේ සොහොන නේපාල් සිලෝර්කෝට් ප්‍රදේශයේ සංචාරකයින්ට අදටත් දැක ගත හැකිය.   


කත්මණ්ඩු සිට ලුම්බිණියට ගුවනින් ද පැමිණිය හැකිය. ප්‍රකට පුද බිමක් නිසාවෙන් කත්මන්ඩු සිට බස් රියෙන්ම ප්‍රවාහන පහසුව සලසා ගත හැකිය. ලංකාවේ සිට යන ඕනෑම බැතිමතෙකුට ඉන්දියාවේ බාරණාසි, ගයා, පැට්නා, කල්කටා හෝ දිල්ලි දක්වා ගුවනින් ගොස් ඉන්දියාවේ ​ෙගාරක්පූර් හන්දිය වෙත පිවිස පසුව සො​නෝලි පිවිසුම හරහා නේපාලයට ළඟාවීම වඩා වාසිදායක කෙටිම මාර්ගය වන්නේය.  


සො​ෙනා්ලි පිවිසුම හරහා නේපාලයට එන ශ්‍රී ලාංකිකයින්ට නේපාල වීසා දින විසි අටකට නොමිලේම ලැබේ. එරට දෙසැම්බර් ජනවාරි අධික සීත සෘතුවයි. පෙබරවාරි මාර්තු අප්‍රේල් ඔබට එරට සංචාරය කිරීමට පහසු කාල සීමාවකි.   


විවිධ සංස්කෘතීන්   


බුදුන් වහන්සේ වදාළ තිරසාර බුදු දහම එක් එක් සංස්කෘතීන් අදහන්නේ යම් යම් වෙනස් වූ හැඩයන් අනුවය. කොරියානු, චීන, ජපන්, මියන්මාර්, තායිලන්ත බෞද්ධයන් වන්දනාමාන කරන අයුරු ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ වන්දනා සිරිතට වඩා වෙනස්ය. මේ සියලු  වත් පිළිවෙත්වලින් බැතිමත්හු ලුම්බිණිය වන්දනාමාන කරන අයුරු අපි දැකගතිමු.   
මෙම මනරම් දසුන අප විඳිමින් සිටියදී සැඳෑ අඳුරෙන් ලුම්බිණි පරිසරයම වසා ගන්නට ගතවූයේ සුළු වේලාවකි. මේ සීත ඍතුවේ එදා සල්මලින් සුවඳ දුන් මේ භූමිය අද උඳුවප් සීතල විඳිමින් නිසොල්මනේ අප දෙස බලා සිටිනු පෙනේ. එදා සේම අදටත් ලුම්බිණියේ නිසංසල පූජනීයත්වය මෙහි පා තබන සැම බැතිමතෙකුටම දැනෙනු ඇත. හිමාලයේ සීත සුළඟින් වෙලා ගන්නා ලුම්බිණියේ සොබා සොඳුරු අසිරිය විඳිමින් ගොම්මන් අඳුරේම අපි ඒ පින් බිමෙන් සමු ගත්තෙමු.   

 

 


සටහන සහ ඡායාරූප
නදීශා අතුකෝරළ   
ඉන්දියාවේ සංචාරයකින් පසු.   
විශේෂ ස්තූතිය   
තිනුලක දඹදිව වන්දනා සංවිධානයේ අධ්‍යක්ෂ අතුල සම්පත් මහතාට, ඉන්දියානු සම අධ්‍යක්ෂක සිද්ධාර්ථ පටෙල් මහතාට.