බිහිරි හාමුදුරුවන්ගේ බලය රැඳුණු ගුරුකම් කන්ද


බෝර නොදා කළුගල් පුපුරවන බ්හිරි හාමුදුරුවෝ-2

ගුප්ත ගුරුකම් කන්ද

 

ගුරුකම් බලයත්, බුද්ධ බලයත් එකිනෙක පටලවා නොගත් බුද්ධ බලයට මුල් තැන් දුන් මහා යතිවරයකු ලෙසින් ප්‍රසිද්ධ බිහිරි හාමුදුරුවන් ගුරුකම් ආරම්භයේදීත් අවසානයේදීත් බුද්ධ විරිතෙන් කටයුතු කළ භික්ෂූන් වහන්සේ නමක්. ගුරුකම අවශ්‍ය තැනට ගුරුකමත් බුද්ධ ශක්තිය අවශ්‍ය තැනට බුද්ධ ශක්තියත් යෙද වූ උන්වහන්සේ ගුරුකම හේතුවෙන් බුද්ධ ශක්තිය යටපත් කරන්නට ඉඩ නොතැබූ තෙර නමක්. මේ එම කතාවයි.   


​මේ ගුරුකම් කන්ද එක් පැත්තක් මායිම් වනුයේ රක්වාන කඳු පංතියයි. අනෙක් පැත්ත මායිම් වනුයේ පන්තිල් පත්තුවටයි. මේ කන්ද ආරක්ෂිතයි. වන පෙත් දෙකකින් එක් පැත්තක සිංහරාජ වනගහනයයි. අනෙක් පැත්තෙන් ශ්‍රී පාද වනගහනයයි. සිංහරාජ කියන්නේ ජෛව විවිධත්වයෙ තිඹිරි ගෙයයි. ශ්‍රී පාද කියන්නේ බුද්ධ ශක්තියෙ තිඹිරිගෙය. මේ සිදු වීමෙන් කියන්නේ ගුරුකම් කන්දේ තියෙන හාස්කම්වලට ශක්තිය සැපයෙන්නේ ජෛව විවිධත්වයෙන් සහ තෙරුවණේ බලයෙන් කියන එක.   


අදටත් මේ ගුරුකම් කන්දට මේ ගම්වල මිනිසුන්ට තියෙනවා බිය මුසු හැඟීමක්. ඒ කන්දට තනියෙන් යන එක කොහොම වෙතත් කන්ද දිහා බලන බැල්ම අද්භූතයි. මේ මිනිසුන්ගේ විශ්වාසය වෙන්නේ හෙළන බැල්ලමකට හරි කන්දේ තියෙන ගුප්ත ගුරුකම් බලයෙන් යම් බලපෑමක් වෙනවා කියන අදහස.   


ඒ හින්දයි කන්ද දිහා බලන්න කලින් ගුරුකම් කන්දේ බිහිරි හාමුදුරුවන් ගැන සිහි කරන්නේ.   


මේ කන්ද අනිත් කඳු වගේම දිය උල්පත්වලින් සතා සීපාවාගෙන් පිරිලා. අහළ පහළ ගම්වල ඉන්න මිනිසුන්ගේ එදිනෙදා ඕනෑ එපාකම් පිරිමහන්නේ මේ කන්ද. එහෙම වුණා කියලා සිරිතක් නැහැ මේ ගම්වල මිනිස්සු තනියම කන්දට යන. ඕනෑ කමකට ගියත් යන්නේ කල්ලි ගැහිලා. එහෙම ගැහෙන කල්ලිය කවදාවත් සීමාවෙන්නේ නෑ තුන් දෙනෙකු හත් දෙනෙකුට. ඒ වගේම තියෙන නියමය වෙන්නේ දෙකෙන් බෙදෙන ගණනකින් තියෙන කල්ලියක් කන්දට යාම. මේ හැම දෙයක්ම එන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් බලය හේතුවෙන්. ඒ වුණත් විශේෂම දේ වෙන්නේ බිහිරි හාමුදුරුවන් කවදාවත්, කාටවත් නරකක් නපුරක් නොකිරීම.   


මේ කන්ද මුදුනෙ තියෙනවා ගුප්ත දිය පාරක්. ඒක ගුප්ත වෙන්නේ දියපාර පටන් ගන්න තැනක් දකින්න නොලැබීමෙන්. ඒ වගේම තමයි දිය පාර අවසන් වෙන තැනකුත් දකින්නට නොලැබීම. කන්ද මුදුනේ තියෙන තවත් ගුප්ත දෙයක් තමයි පළතුරු උයනක් පිහිටීම. ඒක හරියට කවුරු හරි වවපු පළතුරු උයනක් වගෙයි. මේ පළතුරු උයනට වගේම ගුරුකම් කන්දට අදාළව තියෙනවා යම් නියමයක්. මේ උයනෙ තියෙන පළතුරු ඕනෑම කෙනෙකුට කැමති තරමක් කෑ හැකියි. කන්දෙ සීමාවෙන් පිටට ගෙනියන්න නොහැකියි.   
එක පාරක් කන්දෙ විස්කම් බලන්න ගිය ගමනක අත්දැකීමක් මේ. ගුප්ත හාමුදුරුවන්ගේ අවසරයෙන් කන්දේ නොපෙනෙන දේවල් බලන්න ගිය ගමනක දී සිදු වුණා හරි අපූරු දෙයක්. ඒ මේ කන්දේ තියෙන දුර්ලබ බෙහෙත් පැළයක් අරගෙන ආපහු පල්ලම් බැස්සා. එදා වුණේ හරිම අකරතැබ්බයක්. ඒ කන්දෙන් කොච්චර පල්ලම් බැස්සත් කන්ද ඇතුළෙම කරකැවි කැරකැවි ඉඳීම. කන්දෙන් එළියට එන්න බැරිවීම. ඒකට හේතුව වුණේ පාර වැරදීමයි. මේ දේ කළේ බිහිරි හාමුදුරුවන්ගේ දිෂ්ටි ආත්මය. ඒකට හේතුව වුණේ උන්වහන්සේගේ අවසරය නැතුවම අර බෙහෙත් පැළය කන්දෙන් අරගෙන එ්ම. අන්තිමට වුණේ බෙහෙත් පැළය කන්දෙම තියලා ආපහු පල්ලම් බැසීම.   


ගුරුකම් කන්දෙ අද්භූත සීමාව පටන් ගන්නෙ ප්‍රධාන පාරෙ ඉඳන් කන්දෙ සීමාවෙ කි​ලෝ මීටර් දෙකක් විතර ගියහම. එතනට කියන්නේ අද්භූත වැටිය කියන නම. ඒ තමයි ආරක්ෂක සීමාව. මේ අත්භූත වැටියෙ තියෙන විශේෂම දේ වෙන්නේ අවසර නැතිව යම් දෙයක් කරනවා නම් වල්මත් කර දැමීම. ඒක කොච්චරක් දරුණු ද කියනවා නම් පාර පෙනි පෙනි පාර හොයා ගන්න බැරි තරමේ වල්මත් කිරීමක්. මේ තමයි කන්දේ සම්පත් වගේම කන්දේ බලයත්. පිට අයට හරි අනවසර අයට හරි අතට ගැනීමට බැරි වන විදියට කරපු උපක්‍රමය. මේකත් බිහිරි හැමුදුරුවො කළ දෙයක්. හරි අවසරය, හරි විදියට අරගෙන ගියොත් කන්දේ ඉන්න නොපෙනෙන බලවේග යන්ගෙන් ලැබෙනවා පිහිටක්. ඒ මංමුලා නොවීම සහ නිවැරදි පාර පෙන්වීමෙන් වගේම ගුරුකම් බලයෙන් වහලා තියෙන ගොඩක් දේවල් ඇස් දෙකට පෙන්වීම.   


​මේ කන්දෙදි දැක්ක දේවල් අතර තියෙනවා පරණ නටබුන්. ඒ අතරින් ගල් ගුහා යම් යම් විශේෂිත සටහන්. ඒ ගල්වල කොටපුවා. ඒ අතරේ හමු වුණා විශේෂ සටහනක්. ඒක ගලේ කොටපු නයිපෙන. තව විශේෂ දෙයක් වුණේ ගිය ගමන් මාර්ගයේ එක තැනක දී හමු වුන නාගයො දෙන්නා.   


මේ නාගයො දෙන්නා හිටියෙ පෙන ගොබ පුප්පගෙන. ඒ බිහිරි හාමුදුරුවන්ගේ එක් ආරක්ෂක උපක්‍රමයක්. අවසර නොගෙන යන කෙනෙකුට කවදාවත් එතනින් එහාට යන්න අපහසුයි. ඒ මග අහුරන හින්දා. මේ මගදි මග අහුරන සීමාව හාමුදුරුවන්ගේ වුණාට ඒකට සම්බන්ධයි. වෙනත් ආත්මයක් සහ ආත්මගත කතාවක්.   
​මේ බිහිරි හාමුදුරුවන්ගේ පාරම්පරාව පරණයි අවුරුදු පන්සියයක් විතර. ඒ මතුපිටින් දන්න ඉතිහාසය. බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්ම දිෂ්ටිය ඇඟට ආරූඪ වුණාට පස්සේ ගුරුකම් දිෂ්ටියේ බලයෙන් ඊට වඩා දිග අතීතයක් කියා දෙනවා බිහිරි හාමුදුරුවො. මේ එම කතාව. 

 
බිහිරි හාමුදුරුවො එක ආත්මෙක ඉපදිලා හිටියෙ නිලමේ කෙනෙක් විදියට. ඒ ඇහැලේපොළ නිලමෙ නමින්. මේ කන්​දෙ තියෙනවා අක්කරයක විතර දිග ගල් තලාවක්. ඒ ගල් තලාව එක තැනක තියෙනවා පැතලි හැඩයක්. ඒ ගල මුදුනට කිට්ටුවෙන්. එතනින් ඉහළ තියෙන්නේ ආපහු වන ගහනය. මේ පැතලි ගල් බිත්තියෙ කොටලා තියෙනවා රූපයක්. ඒ රූපය ඇහැලේපොළ නිලමෙගෙ රූපය කියලයි බිහිරි හාමුදුරු ආත්මය කියන්නේ.   


මේ කන්දට කිසිම සම්බන්ධයක් නැති ඇහැලේපොළ නිලමෙගෙ රූපයක් කන්දේ ගලක කොටලා තිබීම හරි ප්‍රශ්නයක්.   
ඒ ප්‍රශ්නෙට උත්තරේ වුණේ මේ වගේ දෙයක්.   


මේ ඇහැලේපොළ නියෝජනය කරන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් පරම්පරාව. ඒකෙන් කියැවෙන්නේ බිහිරි හාමුදුරුවන් එක ආත්මයක ඇහැලේපොළ නිලමේ වෙලා හිටියා කියන එක. ඒ හින්දම මේ ගුරුකම් කන්දත් එක්කත් තිබුණා ඉතා ගැඹුරු බැඳීමක්. සම්බන්ධයක්. මේක මෙහෙම කිව්වට තව ටිකක් ගැඹුරට යන කතාවක්.   
මේ ගුරුකම් කන්දෙ එක තැනක තියෙනවා ගල් ගුහාවක්. ඒකට යන්න තියෙන්නේ ත්‍රිකෝණාකාර දොරටුවකින්. එ්ක පුංචි දොරටුවක්. මේක ඇහැලේපොළගේ සැඟවුණු උමඟක්. බිං ගෙයක්. මේ බිංගෙයි තියෙනවා පහළට බහින්න පඩි පෙළක්. මේ පඩිපෙළ හරි භයානකයි. ඒ කියන්නේ එය හදලා තියෙන්නේ උගුලක් විදියට වැඩ කරන්න. මේ පඩිපෙළේ තියෙන සමහර පඩිවලට අඩිය තිබ්බම පඩියෙ උඩ පැත්ත යටට කරකැවිලා.   


යට පැත්ත එනවා උඩට. ඒ එක්කම පඩිය උඩ ඉන්න අය වැටෙනවා. කරකැවෙන පඩිය අතරින් පහළට ඒ වැටෙන්නේ අඳුරු අගාධෙකට. වැටුණොත් වැටුණමයි. ඒක ආරක්ෂාවට හදාපු උගුලක්. මේ පඩිපෙළේ ගල් උගුල් තියෙන්නේ මොන පඩියෙ ද කියලා තවම දන්නේ නෑ කවුරුවත්. බිහිරි හාමුදුරුවො ගල් උගුල් ගැන කියනවා මිසක් උගුල් තියෙන පඩි ගැන කියන්නේ නැහැ මොනවත්.   


එතනදි හිතන්න පුළුවන් මෙහෙම දෙයක්. ගල් උගුල් දාලා බිං ගෙය නැත්තම් උමඟ ආරක්ෂා කරලා තියෙන්නේ එතන යම් දෙයක් හංගලා තියෙන හින්දා වෙන්න පුළුවන්. හැබැයි ඒ ගැන කිසිම සඳහනක් නෑ කොතැනකවත්. බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය ඇඟට වැඩියම දෙන්නේ එකම එක උත්තරයක්. ඒ මේ උත්තරය.  
“ඒ ගැන නාහා ඉඳින්. ඒ මට අයිති දේවල්. මගේ අවසරයක් නැතුව උඹට ඒ පැත්තට යෑම තහනම්.”   


ඔය බිංගෙය ඇතුළෙම තවත් තැනක තියෙනවා පොඩි එළිමහනක්. ඒක විවෘත වෙන්නේ ගුරුකම් කන්දේ මතුපිටට. මේ එළිමහනත් උමං දොරත් තියන්නේ එක ළඟ. මෙන්න මේ එළිමහනෙ තියෙනවා පැහැදිලිවම පෙනෙන හතරැස් ගල් කුට්ටියක්. එ්ක ගල් කුට්ටියක් කියලා කිව්වට නිවැරදි නම එ්ක නොවෙයි. ඒකට කියන ඇත්ත නම ගල් පෙට්ටිය කියන නම. මේ ගැන බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය කිව්වෙ ඔය ගල් පෙට්ටිය ඇතුළෙ තියෙනවා යම් දෙයක්. ඒ ඒක ආරක්ෂා කළ යුතු හින්දා. ඒක ගන්න බැහැ කාටවත්ම. මේක ඇහැලෙපොළ නිලමෙ වෙලා හිටිය ආත්ම භවයේදී කරපු රහස් ගුරුකමක්. මේකෙන් කියැවෙනවා මෙහෙම දෙයක්. ඒ ඇහැලේපොළගේ ආත්මයත් ගුරුකම් දන්න බව වගේම තමන්ගේ ආරක්ෂාවට යම් යම් රහස් ගුරුකම් තිබුණු බව. ඇහැලේපොළ තමන්ගේ ආරක්ෂාවට ඒ රහස් ගුරුකම් කරපු බව. එතනදි තමයි තමන්ට එන සතුරු සේනාවල් වලින් බේරෙන්න ගල් උගුල් අටවලා මේ වගේ උමඟක් හදලා තියෙන්නේ.   


එක පාරක් බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය දුන්නා ඉඟියක්. ඒ ඉඟිය අනුව හිතා ගන්න පුළුවන්. ඇහැලේපොළ නිලමෙට අයිති යම් වස්තු සම්භාරයක් මේ උමං මාර්ගයේ හංගලා තියෙන බව. නමුත් ඒ කොතැන ද කොයි විදියට ද කියලා හිතා ගන්න අපහසුයි. මේ උමං බිංගෙය සාමාන්‍යයෙන් හඳුන් වන්නේ පොළව උඩට නොව පොළව යටට කොටපු භූගත වලව්වක් විදියට. පොළොව මතුපිට පිහිටලා තියෙන ගලේ යටට වෙන්න හදපු වලව්වක්. මෙතනදි වලව්වක් කියන නම භාවිත වෙලා තියෙන්නේ ඇහැලේපොළ නිලමේ කෙනෙක් වීම නිසා වගේම නිලමේලා පදිංචි වෙලා ඉන්නෙ වලව්වල වීම කියන කාරණය මත.   


මේ ඇහැලේපොළ නිලමෙගේ පරපුරේ ඉන්නවා තවමත් හැංගිලා ඉන්න අය කිහිප දෙනෙක්. හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය යම් යම් අවස්ථාවල ඒ අය ගැන තොරතුරු හෙළිදරව් කරනවා. ඒ වගේ එක වෙලාවක කිව්ව දෙයක් වුණේ එ් අය මේ මේ තැන්වල මේ නම්වලින් ඉන්නවා කියලා. ඒ ගැන හොයා බලන කොට ඒ කතාව ඇත්ත කියලා ඔප්පු වුණා. ඒ වගේම ඒ අයත් තමන්ගේ පරම්පරාවට අයත් බිහිරි හාමුදුරුවන් ගැන දැන ගෙනයි ඉන්නේ. ඒ වගේම තමයි බිහිරි හාමුදුරුවන්ට අදටත් ගෞරව කරමිනුයි ඉන්නේ.   
හාමුදුරුවන් ජීවත් වෙලා ඉන්න කාලෙ හාමුදුරුවන්ගේ ගුරුකමේ ප්‍රධානම ශක්තිය වුණේ හාමුදුරුන්ගේ අතේ තිබිච්ච යෂ්ටිය. හාමුදුරුවෝ මේ ගුරුකම් කළේ යෂ්ටියෙන් හින්දා මේ ගුරුකම්වලට කිව්වේ යෂ්ටියෙ ගුරුකම කියන නම. සාමාන්‍ය නම හැරමිටියේ ගුරුකමය.   


මේ යෂ්ටිය නැත්නම් හැරමිටිය හැම තිස්සෙම තියෙන්නේ අතේ. හරියටම ඒක ගොපල්ලා අතේ තියෙන කෙවිට හා සමානයි. බිහිරි හාමුදුරුවන්ගේ යෂ්ටිය හදලා තිබුණෙ රත්‍රන්වලින්. ඒ රත්‍රන් ගුරුකම්වලට සම්බන්ධ හින්දා. 

 
​මේ හැර මිටියෙ ගුරුකම හරි විශේෂයි. ඒ ඕනම තැනක, ඕනම වෙලාවක ගුරුකම කරන්න පුළුවන් හින්දා. මේ හැරමිටිය නැත්නම් යෂ්ටියට කවලයි තියෙන්නේ මන්ත්‍ර බලය. හැරමිටියෙ ගුරුකමට නැකැත් අවශ්‍ය නැහැ. අවශ්‍ය මන්ත්‍රය බලය කරලා තට්ටුවක් දාන්න විතරයි තියෙන්නේ. ප්‍රතිඵලය එනවා ඒ මොහොතෙදිම.   
බිහිරි හාමුදුරුවන්ගෙන් මේ ගුරුකම ඉගෙන ගන්න ලැබීමම පෙර පිනක්. හාමුදුරුවො ගුරුකම දුන්නට මන්ත්‍ර යෂ්ටිය දුන්නේ නෑ. ඒ ගැන ඇහුවම හාමුදුරුවො කිව්වෙ මෙහෙම.   
උඹ මන්ත්‍ර යෂ්ටියක් හදා ගනින්. උඹ ඉගෙන ගත්තු ගුරුකම් සාස්තරෙ පිහිටෙන්. මගේ මන්ත්‍ර යෂ්ටිය උඹට දෙන්නේ නෑ. ඒක මගේ. ඒක බලගතුයි. උඹට ඒක දරන්න බෑ.   
මේ යෂ්ටිය හදා ගන්න එක එච්චරම ලේසි නෑ. ඒකට ඕන වෙනවා හෙණ ගහපු ගහක්. ඒ ගහේ කීරක් ගන්න ඕන. ඒක නියමිත දිගට අරගෙන දෙපැත්තට පිත්තල විලි දෙකක් ගහන්න ඕන. ඊළඟට නැගෙනහිර ඉඳන් බස්නාහිරට ගින්දරක් යවන්න ඕන. ඒ ගින්දරට යෂ්ටිය අල්ල අල්ලා මන්ත්‍රයෙන් ජප කරන්න ඕන. ඒ යන ගින්දර ජප නූලක් හරහා යෂ්ටියට හිර කරන්න ඕන. ඊට පස්සේ ආපහු මතුරන්න ඕන.   


මේ යෂ්ටිය ජප කරනකොට තියෙනවා කරන්න ඕන පුද පූජා එකසිය අටක්. ඒකට ඕන වෙනවා මල් බුලත් තටුවෙ ඉඳන් හැම දෙයක්ම. පුළුටුවල ඉඳන් හැම දෙයක්ම ඕන වෙනවා. ඒ වගේම තමයි පිරිවරට කතා කරන්න ඕන. මේ පිරිවර වෙන්නෙ ගුරුකමට අධිපති යක් සේනාව. මේ යක් සේනාවට කරන ආරාධනය විශේෂයි.   
විශේෂකම වෙන්නේ නරක පැත්තේ වැඩ ටික කර ගන්න බලය කැන්දගන්න.   


මේ මොහොත වන විට බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය ක්‍රියාත්මක වෙන්නේ යක්ෂ සෙන්පතියෙක් විදියට. මෙතන යක්ෂ සේනාධිපති කියන්නේ යක්ෂයන් කොට්ඨාසයක් පාලනය කරන එකට. මේ යක්ෂ කොටසට අයිති වෙනවා එක එක වර්ගයේ යක්ෂයන්. ඒ යක්ෂයො හරි බලවත්. මේ යක්ෂයන්ගෙන් ලබන්න පුළුවන් බලවත් ආරක්ෂාවක්. ඒ වගේම කර ගන්න පුළුවන් ඕනෑම වැඩක්.   


බිහිරි හාමුදුරුවො බහුශ්‍රැත පඬිවරයෙක්. අතීත කාලෙක පිරිවෙන් අධ්‍යාපනයේ නියමුවෙක්. බිහිරි හාමුදුරුවන්ගේ කැමතිම විෂය වුණේ ගුරුකම හා ජ්‍යොතිෂ විද්‍යාව. ඒ වගේම පාලි සංස්කෘත. බිහිරි හාමුදුරුවන් අධ්‍යාපනයෙ වටිනාකම හොඳින්ම දන්න කෙනෙක්. ඒ හින්දම ඉගෙන ගන්න අය වෙනුවෙන් හරි හරියට ගුරුකම් කරපු කෙනෙක්. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන අයගෙ පාඩම් මතක හිටින්න, ධාරණ ශක්තිය වැඩි දියුණු වෙන්න, පාඩම් මාලා වටහා ගන්න යම් යම් ගුරුකම් ප්‍රතිකර්ම කරපු කෙනෙක්. උන් වහන්සේ ගාව තිබුණා විශේෂ තෙලක්. ඒ තෙලෙන් තමයි ඉගෙන ගන්න අයට පිහිට ලබා දුන්නේ. ඒ ගුරුකම් ශාස්ත්‍රයත් ඒ තෙල් වට්ටෝරුවත් හිමි වීම ලොකු ජයග්‍රහණයක්.   
බිහිරි හාමුදුරුවන් ළඟ තිබුණු ගුරුකමක් වුණේ තෛලෝක වශිය වගේම සරස්වතී ගුරුකම. ඒ ගුරුකමේ ජීවම. මේ ජීවම හරි බලවත්. මතක ශක්තිය ඇතිවීම, ඈලි මෑලි ගතිය නැතිවීම, නුවණ පහළ වීම වගේ දේවල්වල අඩුපාඩු මගරිනවා. ලොකු විශ්වාසයක් තියෙනවා බිහිරි හාමුදුරුවන්ගේ නියමයන්ට යටත්ව විධි අනුගමනය කරමින් බිහිරි හාමුදුරුවන්ගේ යම් ගුරුකමක් නිවැරදිව කළ විට බිහිරි හාමුදුරුවන් ගුරුකම කරවා ගත් අයගේ හිතට කතා කරනවා කියලා. මේක අත්දුටු සත්‍යයක්.   
බිහිරි හාමුදුරුවො විරුද්ධයි නරක නපුර කරන අයට. කවුරු හරි නරකට, නපුරට ගුරුකමක් කරලා තිබුණොත් බිහිරි හාමුදුරුවන්ට කේන්ති යනවා. පුද්ගල තරාතිරම නොබලා ඒ වගේ අණවින කොඩිවින කපලා දානවා. බිහිරි හාමුදුරුවන් හැම තිස්සෙම කිව්වේ මනුෂ්‍යන්ට සෙත සලසන්න කියලා. මිනිසුන්ගේ දියුණුවට මර්ගය සාදා දීමට තමයි බිහිරි හාමුදුරුවන්ගේ ජීවිතේ ඇප කැප වුණේ.   

 

 


බිහිරි හාමුදුරුවන්​ ළඟ තිබුණා සුවිශේෂී ගුරුකමක්. ඒකට කිව්වේ හිමාල බන්ධනය කියන නම. මේ හිමාල බන්ධනය කියන්නේ හෙළ රාවණයන්ගේ එක්තරා ගුරුකමක්. මේ ගුරුකමෙන් කරන්නේ බැඳ දැමීමක් කොටු කිරීමක්. මේ ගුරුකම් යම් කිසි ප්‍රදේශයක් වටකර සීමා දැමීමක්. ඒ සීමාව දැමීමෙන් පස්සේ ඒ සීමාවට අදාළ කිසිම දෙයක් ඒ සීමාවෙන් පිටට ගෙනියන්න බැහැ. ඒක බන්ධනය කෙරෙනවා.   


මේ හිමාල බන්ධනයට අයිතියි කොටස් දෙකක්. එක් කොටසක් වෙන්නෙ කිසියම් වස්තුවක් ගෙන යාම වළක්වන එක. අනෙක් කොටස වෙන්නේ එම කොටසට අයත් දැනුම ඉන් පිටට ලබා දෙන්න නොහැකිවීම. මේ ගුප්ත කන්දට බිහිරි හාමුදුරුවො දමලා තියෙන්නේ. රාවණගේ ගුප්ත හිමාල බන්ධන ගුරුකම. මේ ගුරුකමට ලෝකේ ඕනම ගුරුකමක් යටයි. ඒක ඒ තරම් බලවත්. ඒ බලවත්කම කොච්චර ද කිව්වොත් මේ ඇස්දෙකට මේ දැන් පෙනෙන දේ ඊළඟ තත්ත්වයේ දී නොපෙනී යනවා.   


හාමුදුරුවන් අදටත් උන් වහන්සේගේ ගුරුකම් ආත්මයේ බැල්ම හෙළනවා මේ ගුරුකම් කන්දේ ඉඳගෙන. ඒ හැමදාම රාත්‍රී අටයි දහයට. ඒ බැල්ම හෙළන වෙලාවට හාමුදුරුවො නියම කරපු දෙයක් තියෙනවා කරන්න ඕන. ඒ හාමුදුරුවන් නියම කළ පහන දල්වන්න. දල්වන පහනේ දැල්ල හරහා එන ආලෝකයෙන් හාමුදුරුවො හාමුදුරුවන්ගේ ගුරුකම් සාස්ත්‍රයට වරම් දුන්නු අය දිහා බලනවා. දවල් කාලයේ පිහිට ඉල්ලූ අයට පිහිට වෙනවා.   


මෙතනදි මෙහෙම දෙයක් කියන්න ඕන. ඒ කෙම්මුර දවස්වලට හාමුදුරුවො වඩින්නේ නැහැ කියන කාරණය. කෙම්මුර දවස්වලට හාමුදුරුවන්ට තියෙනවා තමන් වහන්සේට නියම කරපු මිනිස් කොට්ඨාසයක් ඉන්න දිහා බලන්න. ඒ දිහා බලලා ඒ අයට පිහිට වෙන්න. ඒක හරි විශේෂ දෙයක්. ඒ දෙවියන්ට පහන් තියන මිනිස්සු දිහායි බලන්නේ. ඒ වගේ වෙලාවට දවස්වලට බිහිරි හාමුදුරුවන් කරන රාජකාරිය තමයි ඒ.   


බිහිරි හාමුදුරුවන් මේ කන්දෙයි, ගම්මානෙයි අදටත් සැරිසරන බව ඇත්ත. කෙම්මුර දවස්වලට ඒ බිහිරි හාමුදුරුවන්ගේ උපන් ගම් පළාතෙදි ගැවසෙනවා කියන අදහස ගම්මුන් අතර තියෙනවා. ඒ බිහිරි හාමුදුරුවන්ගේ රූපයට සමාන රූපයක් තියෙන ගිහි කෙනෙක් ඒ කෙම්මුර දවස්වලට ගමට ඒම හේතුවෙන්. මේ ගිහියත් ගුරුකම් කරන ගුරුන්නාන්සේ කෙනෙක්. ගම්මුන්ගේ විශ්වාසය ඒ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් ආත්මය ආරූඪ ගුරුන්නාන්සේ කියලා. මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්. හේතුව මේ කතාව බිහිරි හාමුදුරුවො පුස්කොළ පොතක ලියලා තියෙනවා.   


තව විශේෂ දෙයක් වෙන්නෙ අම්පාර ප්‍රදේශයේ බිහිරි හාමුදුරුවන්ගේ උපන් ගමයි. බිහිරි හාමුදුරුවන් ගුරුකම් බලය රැඳුණු වැඩහිටි ගුරුකම් කන්දේ පරිසරයයි, ස්වභාවයයි දෙකම එක හා සමානයි. ඒ ස්ථාන දෙකම කිසියම් ගුප්ත බවක් දනවනවා. බිහිරි හාමුදුරුවන් ලියූ පුස්කොළ පොතක තියෙනවා මෙහෙම සටහනක්. 

 
අනාගතයේ දිනක මේ වන ගත ගුරුකම් කන්ද සහ උපන් ගම අතර සැරිසැරීමක් සිදු විය හැකියි.   

 


ලබන සතියට...  


අරුණඩේල් විජේරත්න