පාද යාත්‍රාවෙන් ඇවිත් කතරගම දෙවියන්ගෙන් ආශිර්වාදය පතන මිනිස්සු


ඔකඳ දේවාලය

 

සුව නින්දේ සිටි මා “අරෝ...... හරා......”, “අරෝ...... හරා......” හඬින් තිගැස්සී අවදි වෙද්දී නිදාගන්නට එළා තිබූ ටෙන්ට් රෙද්දට වැහි බිඳු එක දෙක ඇදවැටෙන්නට විය. උඩුබැලි අතට හැරී අහස දෙස බලද්දී එකදු තරුවක්වත් අහසේ නොවීය. තැන තැන ඇවි​ෙළමින් තිබූ ගිනි මැල ද වියපත් වූ බවක් දිස් විය. 


දකුණු සහ බටහිර දෙසින් හමා ආ සුළඟ ද නැවතී ඇත. තැනින් තැනට වී ඉටිරෙදි හෝ වෙනත් යමක් එළාගෙන නිදාගෙන සිටි වන්දනාකරුවන් තම තමන්ගේ නඩවලට ගොනුවන අයුරු නිවී යමින් තිබූ ගිනි මැලයේ අඩ අඳුරින් දකින විට මහවනය පුරා යළිත් වරක් “අරෝ...... හරා......”, “අරෝ...... හරා......” හඬ දෝංකාර දෙන්නට විය. 

නැගෙනහිර අහසේ අඩ සඳ කළු වලාකුළුවලින් වැසී යද්දී බටහිර අහස කළු පැහැතිව මහවැස්සක පෙරනිමිති පෙන්නුම් කළේය. යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙකේ පිළින්නාව හෙවත් ළිං තුන ලෙස හඳුන්වන තැන සිටින මේ කිසිවෙකුටත් හිසට වහලක් නැත. දින ගණනක් තිස්සේ කිලෝමීටර් සිය ගණනක් ගෙවා දමමින් උතුරේ යාපනය, නාගදීප, වේලනෙයි ආදී ප්‍රදේශවල සිටත්, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, වෙරුගල්, තෝපූර්, මඩකළපුව ආදී ප්‍රදේශවල සිටත් පැමිණි පිරිස් ඒ අතර වූහ. 


වැහිපොද වැටෙන විට හැම දෙනාම “කන්දසාමී... අරෝ...... හරා......”, “ මුරුගා....අරෝ...... හරා......”, වැනි වදන් කියමින් කතරගම දෙවියන්ගෙන් පිහිට ඉල්ලා යැදූහ. ඒ වැහි පොද එතැනින් ම නැවතිණි. එවිට වෙලාව පාන්දර තුනය. එහෙත් කිසිවෙකුත් යළි නින්දට නොගියහ. ඔවුහු වතුර උණුකර කහට කෝප්පයක් බී උදේ කෑමට යම් දෙයක් පිළියෙල කරන්නට වූහ. 


මේ කතරගම පෙරහරට එක්වන්නට කුමන සහ යාල මහ වන මැදින් එද්දී මුහුණ දුන් සිද්ධියකි. ඒ වන විට කුමන සහ යාල මහ කැලෑවේ බාගුරාව, මඩමෙතොට, ගජබාව, ළිංතුන (පිළින්නාව), පොත්තන, පරණ කොටුපොළ සහ වරහන යන තැන්වල රැය පහන් කරමින් සිටි ගණන හය දහසකට ආසන්න වූහ. 


දිවා කල දැඩි හිරු රශ්මියට ලක්ව වියළී ගිය තණ කොළ දුඹුරු පැහැ ගෙන ය. ඒ තණ පිටි අතරින් ඈත බැලූ විට අනන්තය දිස්වන දුඹුරු වන් විශාල පිටිය. ඒ තැනින් තැන පොළොවේ වතුර තිබී සිඳී ගොස් ඉරිතැලී ගිය මඩය. යන්තම් වතුර ඉතුරු වූ කුඩා දිය කඩිතිය. ඒවා දුඹුරු සහ ළා කොළ පැහැයෙන් හෝ අළු පැහැයෙන් යුතුය. මෙදා මේවායේ පහස ලැබූ සතා සිවුපාවා පෙනෙන්නට නැත. 


අතින් කටින් බෑග්, පෝර කවර, හට්ටි මුට්ටි එල්ලාගෙන කුඩා දරුවෙකු ද ඉස්සර කරගෙන, තවත් අතදරුවකු ළයට තුරුලු කරගෙන එන තරුණ මවක ද ඇතුළත් කණ්ඩායම පසුකර යන ජව සම්පන්න පිරිමි සහ ගැහැනුය. තවත් කණ්ඩායමක අවුරුදු හැට හැත්තෑව ඉක්ම වූ කෙසැඟි සිරුර ඇති කාන්තාවන් හා පිරිමිය. සමහරුන්ගේ දෙපා මහ පොළොව සිප ගනී. 

 

කුඩා කැබිලිත්ත දේවාලය

 


කතරගම දෙවියන් ලංකාවට ගොඩබැස්සේ නැගෙනහිර පළාතේ ඕකන්දෙන් බවට හින්දූන් තුළ විශ්වාසයක් ඇත. එතැන ඕකන්ද එසේත් නැත්නම් ඔකඳ මුරුගන් දෙවාලය පිහිටා ඇත. කතරගම දෙවියන් පැමිණි ඔරුව එතැනදී ගලක් බවට පත්වූයේ යැයි ජන විශ්වාසයක් පවතී. එතැනට පැමිණි කතරගම දෙවියන් එතැන එහි සිටි ජනයා විසින් නොතැකූ නිසා මේ දුෂ්කර මග ගෙවා කතරගමට පැමිණි බව ජනප්‍රවාදයේ එයි. ඒ නිසා තමන් පිළිනොගත් අය තමන්ගේ පිහිට ඉල්ලා එන විට තමන් පැමිණි ආකාරයටම පැමිණිය යුතු යැයි කතරගම දෙවියන් දුන් දඬුවමක් ලෙස මේ පා ගමන එන බවට ද ජනප්‍රවාදයේ විශ්වාසයක් පවතී. 


අතීතයේ මේ ගමන එන්නේ මාස කිහිපයක් තිස්සේ ම පේ වී පාගමනිනි. අදත් හින්දු භක්තික වැඩිහිටියෝ ඒ පිළිවෙත අනුගමනය කරති. එහෙත් වර්තමානයේ මේ පැරණි සිරිතට අනුගත වන්නට රජයේ සහ පෞද්ගලික අංශවල සේවය කරන කිසිවෙකුටත් නොහැක. ඒ නිසා තවත් අවුරුදු කිහිපයක් යන විට උතුරු නැගෙනහිර සිට පාගමනින් කතරගමට එන පිරිස් අඩුවනු ඇති බව පැවසුවේ මේ ගමනට එක්ව සිටි මැදිවියේ බැතිමතුන්ය. 
“ඇත්තටම අපිට පයින් ඇවිත් කතරගම පෙරහරට එක්වෙලා කතරගම දෙවියන්ගේ ආශිර්වාද ගන්න උවමනායි. නමුත් අපි ආණ්ඩුවේ රස්සාවල් කරන මිනිස්සු. අපිට තියන නිවාඩු සීමිතයි. ඒ හින්දා අපි කරන්නේ රස්සාවල් නොකරන අය පයින් එවලා අපි ඕකන්ද දේවාල ගාවට වාහනවල ඇවිත් එතන ඉඳලා කැලේ මැදින් කතරගමට පයින් එන එක. මේක දෙවියෝ රැවටීමක් නෙවෙයි. එහෙම නොකෙරුවාත් අපට මේ ගමන එන්නම වෙන්නේ නෑ” යාපනයේ වේලනෙයි සිට පැමිණි පරිබාහරන් අලගනාදන් (45) මහතා පැවසුවේය. 


මේ පා ගමන සැබැවින් ම සංහිඳියාවේ ප්‍රතිමූර්තියක් ය. මඩමෙතොට පසුකර යන විට දි හමුවන කුඹුක්කන් ඔය එතෙරවෙද්දී හමුවූ ත්‍රිකුණාමලයේ පදිංච් ඒ.එච්. නසීර් (55) මහතා මුස්ලිම් භක්තිකයෙකි. හිසේ දෑතේ සහ ඉණේ බඩුමුට්ටු ඔසවාගෙන කුඹුක්කන් ඔය තරණය කර ඒ බඩුටික එගොඩ ඉවුරේ තබා යළි මෙගොඩට ආවේ කණ්ඩායමේ අනික් අයගේ බඩු ගෙන යන්නටය. කුඹුක්කන් ඔයේ එගොඩ මෙගොඩ ඉවුරු යාකර කඹයක් ඇද ඇත්තේ හමුදාවෙනි. ගිය වර වතුර වැඩි නිසා කඹ දෙකක් ඇද තිබුණි. බැතිමතුන් ඒ කඹ දෙක අතරින් ඔය තරණය කළ යුතු විය. නමුත් මෙවර වතුර අඩු නිසා ඇද තිබුණේ එක කඹයකි. මෙගොඩ නැවත ආ නසීර් මහතාට කතා කළේ ඔහු හින්දු භක්තිකයකු යැයි සිතුණු නිසාය. 


“මම දෙමළ කතාකරන මුස්ලිම් භක්තිකයෙක්. මගේ ගම ත්‍රිකුණාමලය. මම වැඩ කරන්නේ ප්‍රීමා සමාගමේ. මම මේ ආව හතර වෙනි වතාව. ඇත්තටම මට ලොකු භක්තියක් විශ්වාසයක් තියනවා. මීට අවුරුදු කිහිපයකට ඉස්සර මගේ බිරිඳ ඩුබායි රස්සාවකට ගිහිං හිටියා. ඇය සිංහල කාන්තාවක්. ඇගේ නම රමණී. මාස ගණනකට පස්සේ ඇය ගැන කිසිදු හෝඩුවාවක් ලැබුණේ නෑ. හොයන්න පුළුවන් හැම විදියටම හෙව්වා. කිසිම තොරතුරක් නෑ. මගේ ගෙයක් ත්‍රිකුණාමලයේ රාජ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්න කුලියට දීලා තියනවා.” 


“මගේ හින්දු ආගමික මිත්‍රයෝ ටිකක් අවුරුදු හතරකට ඉස්සර මේ පාද චාරිකාව ගැන කිව්වා. එයාලා කිව්වා අපි පාද චාරිකාවෙන් කතරගමට ගිහින් කතරගම දෙවියන්ට භාරයක් වෙමු කියලා. අපි හැම ආගමකටම ගරු කරන්න ඕනෑනේ. හැම ආගමෙන්ම හොඳ දේවල්නේ කියලා දෙන්නේ. මම ඒ අයත් එක්ක පයින් කතරගම ආවා. දේවාලෙට භාරයක් වුණා. හින්දු මිත්‍රයෝ කිව්ව විදියට වැඩ කළා.” 

 

ඔකඳ දේවාලයේ නැවතී සිටින වන්දනාකරුවන් 

 


“මම දේවාල භූමියෙන් පිට වෙන්න කලින් මට දුරකථන ඇමතුමක් ආවා. ඒක පිටරටකින් ආව එකක්. කතාකළේ මගේ බිරිඳ. මාස හයක් විතර තොරතුරක් නැතිව හිටිය කෙනා කතා කරලා කිව්වා එයා ගෙදර එනවා කියලා. ඒක කොහොම වුණාද කියලා මම දන්නේ නෑ. මට කතරගම දෙවියන් තැන විශ්වාසයක් ඇති වුණා. බිරිඳ ආවාට පස්සේ එයත් එකක්ගෙන ඇවිත් භාරය ඔප්පු කළා. දැන් මෙ එන්නේ හතරවෙනි සැරේ. මේ පාර මට නිවාඩු ගන්න බැරිවුණා. අනික් කට්ටිය පයින් ඕකන්දට ආවා. මම බස් එකේ ඕකන්දට ඇවිත් එතන ඉඳන් පයින් යනවා” යැයි කීවේ පැහැදිලි සිංහලෙනි. 


පාද යාත්‍රාවට එක්වීමෙන් අපට ඉගෙන ගන්නට බොහෝ දේ ඇත්තේය. පරිසර හිතකාමී පරිසරයේ, සතා සිවුපාවා මිනිස් ජීවිතය හා කෙතරම් සමීප බැඳීමක් ඇද්ද යන්න විමසුමෙන් යුතුව මේ ගමන යන්නෙකුට එය අවබෝධ කරගත හැකිය. 


මා මෙවර මේ පාද යාත්‍රා චාරිකාවට එක්වන්නේ තුන් වෙනි වතාවටය. පොතුවිල්වලට පැමිණ පානම හරහා ඔකඳ ඔස්සේ කුමන හරහා එන මේ ගමනේ දී ලැබූ අත්දැකීම් නිමක් නැත. අම්පාර, අනුරාධපුර දෙදිසාවේ දිසා වන නිලධාරීන් ප්‍රධානව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ ප්‍රදේශවල විවිධ තරාතිරමේ නිලධාරීන්, අධිකරණ, නීති, ආරක්‍ෂක, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන වැනි ක්‍ෂේත්‍රවල පිරිස් ද ඇතුළුව අප කණ්ඩායම මෙවර හතළිහක් විය. 


දින කිහිපයක පාගමනින් පසු යාල කලාප අංක දෙකේ ළිං තුනේ සිට පාන්දරින් යළි ගමන් ඇරඹූ අප ඉදිරියට යද්දී අපට පෙර පිටත්වූ මඩකළපුවේ සිට පැමිණි කුඩා නඩයක සිටි වියපත් කාන්තාවක්, පිරිමියෙක් පෙරදා රාත්‍රියේ වනඅලියෙක් දැමූ අලි වසුරු කකුලෙන් පොඩිකර එය යටිපතුලෙන් පාගමින් කකුලේ තවරා ගනු දුටුවෙමි. බොහෝ දෙනෙක් එවැන්නක් පිළිකුලෙන් බැහැර කරන නිසා මේ දසුන මහ කැලේ මැද දී මට ද අරුමයක් විය. 

 

 

 

 

 


මතු සම්බන්ධයි...

 

 

 

අජිත්ලාල් ශාන්තඋදය 
පාද යාත්‍රා සංචාරයකින් පසු...