ප්‍රභාකරන්ගේ යාපනය නිවස වැටලූ කමාන්ඩෝ මෙහෙයුම


යුද බිමේ   මතක සටහන්

 

අමතක නොකරමු ඒ බ්හිසුණු යුද සමය

විශ්‍රාමික සාජන් මේජර් පරාක්‍රම මහතා එවකට හමුදා පුහුණුවකදී

 

හැත්තෑවේ දශකයේ අග භාගය උතුරේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම් ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න කරමින් තිබූ වකවානුවකි.   


ලංගම බස් රථවලට ගිනි තැබීම, රජයේ ආයතනවලට පහරදීම, බැංකු කොල්ලකෑම් සහ ත්‍රස්තවාදී කණ්ඩායම්වල ක්‍රියා අනුමත නොකරන හා ඔවුන්ට සහාය නොදක්වන පිරිස් සොයා ගොස් ඔවුන් ඝාතනය කිරීම ඒ වකවානුව වන විටත් බහුලව සිදු විණ.   


මඩකළපුව දිස්ත්‍රික් සංවර්ධන සභා ඇමතිවරයාව සිටි එන්. කනගරත්නම් මහතාට වෙඩි තබා ඝාතනය කළ ත්‍රස්තවාදී කල්ලිය අල්ලාගෙන එ්මට මන්නාරම මඩු කැලෑවට ගිය රහස් පොලිස් පරික්ෂක බැස්ටියන් පිල්ලේ මහතා ඇතුළු රහස් පොලිස් නිලධාරින් හතර දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම කළේ 1978 අප්‍රේල් මාසයේය.   
ත්‍රස්තක්‍රියා වේගයෙන් සිදු වෙද්දී රජය උමා මහේෂ්වරන්, වේලුපිල්ලේ ප්‍රභාකරන්, කුට්ටුමනී සහ සෙල්ලක්කලී ඇතුළු ත්‍රස්තවාදීන් 38 දෙනකු ඇල්ලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.   


එම හමුද‌ා මෙහෙයුමට සාජන් මේජර් සුදේශ් පරාක්‍රම මහතා ද හවුල් විය. අපි දැන් සාජන් මේජර්වරයාගේ වසර 50 කට එහා සිදු වූ ඒ අතීත මතකය හාරා අවුස්සා බලමු.   


ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ රහස් පොලිස් පරීක්ෂක බැස්ටියන් පිල්ලේ මහතා ඇතුළු නිලධාරින්​ හතර දෙනාගේ ඝාතනය නිසා එද‌ා රට පුරා ලොකු ව්‍යාකූලත්වයක් හටගත්තා. කලින් ඉඳලම උතුරු පළාතේ බස්වලට ගිනි තැබීම් රජයේ කාර්යාලවලට අලාභහානි කිරීම් වැනි ප්‍රචණ්ඩක්‍රියා සිදුවෙමින් තිබුණා.   
මේ හේතුන් නිසා උතුරේ පවා අරාජික තත්ත්වයක් ඇති වී තිබුණා. මේවා දැඩි සැලකිල්ලට ගෙන උතුරේ ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පැවැත්වීමට ජනාධිපතිවරයා තීන්දුවක් ගත්තා.   


අවුරුද්දකින් මේ ත්‍රස්තවාදී ක්‍රියා සම්පූර්ණයෙන් මැඩ පවත්වන්න කියූ ජනාධිපතිවරයා සම්පූර්ණ බලතල දීලා බ්‍රිගේඩියර් තිස්ස වීරතුංග මහත්තයා පත්කළා. මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටෙව්වේ යාපනය දිසාපති කාර්යාලය අසල කලින් හිටිය දිසාපතිවරයාගේ නිල නිවසේයි. ඊට පස්සේ ගැමුණුහේවා බළකායේ කමාන්ඩෝ භට කණ්ඩායමක් ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට ගෙන්වා ගත්තා. මමත් ඒ භට කණ්ඩායමට ඇතුළත් වුණා. කමාන්ඩෝ භටයින් 25ක් මේ කණ්ඩායමට ඇතුළත්ව සිටියා. මම තමා ඒ කමාන්ඩෝ භට කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළේ.   


බ්‍රිගේඩියර් තිස්ස වීරතුංග මහතාගේ මූලිකත්වයෙන් උතුරේ ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පැවැත්වීමට ස්ථාපිත කළ විශේෂ මෙහෙයුම් ඒකකයට එවකට මේජර් නිලයේ සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් නිමල් ප්‍රනාන්දු, කපිතාන් සාලිය කුලතුංග සහ කපිතාන් ශ්‍රීමාල් යන මහත්වරුන් ද ඇතුළත් වූහ.   
සියලු මෙහෙයුම් කටයුතු සිදුකර ඇත්තේ හමුදා නිලධාරීන්ගේ උපදෙස් හා මෙහෙයවීම යටතේය.   
රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි පැටිකිරිකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රහස් පොලිස් කණ්ඩායමක් ද මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයෙන් අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම් සඳහා පුහුණුවීම් ලැබූ පොලිස් නිල සුනඛයින් තිදෙනෙක් ද මෙහෙයුම් සඳහා යොද‌ා ගැනිණ.   
කමාන්ඩෝ භටයන්ට අමතරව තව හමුද‌ා භට කණ්ඩායමක් ද ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට කොළඹින් ගෙන්වා ගෙන තිබිණි.   


යුද හමුද‌ාවට අමතරව ගුවන් හා නාවික හමුද‌ාවේ නිලධාරින් ඇතුළු භට කණ්ඩායම් සහකාර පොලිස් අධිකාරි නිෂාම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිවිල් ඇඳුම් ඇඳගත් පොලිස් කණ්ඩායමක් ද අපේ කඳවුරේ රාජකාරි සඳහා පැමිණ සිටියා. හමුද‌ාවේ සහ පොලිසියේ නිලධාරින් වෙස්වළාගෙන රා පොළවල් සහ කඩ මංඩිවල සැරිසරමින් ත්‍රස්තවාදීන් ගැන තොරතුරු සොයා අපට දුන්නා. අපි ඒ තැන් වටලා ඔවුන් අල්ලා ගත්තා. එහෙම අල්ලාගත් ත්‍රස්තවාදීන් අපි රහස් පොලිසියට වැඩිදුර පරික්ෂණ සඳහා බාර දුන්නා.   


ප්‍රභාකරන්, උමා මහේෂ්වරන්, දේවේන්ද්‍රන්, කුට්ටුමනී, චාල්ස් ඇන්තනි හා ජෙගන් වැනි ත්‍රස්තවාදීන් 38 දෙනකුගේ ඡායාරූප හා ඔවුන්ගේ විස්තර ඇතුළත් පෝස්ටර උතුරේ හැම තැනකම ඇලෙව්වා. ප්‍රභාකරන් අවුරුදු 16 දී ගත්ත ඡායාරූපයක් තමා ඒ වෙනකොට අපි සතුව තිබුණේ. දුටු තැන අල්ලනු කියා සඳහන් කරලා මේ ත්‍රස්තවාදීන් 38 දෙනා අල්ලා ගැනීමට මහජන සහාය ඉල්ලුවා.   
ත්‍රස්තවාදීන් ඒ කාලයේ මුහුණට මුහුණ සටන් කරන්න ආවේ නැහැ. අපේ මෙහෙයුම් නිසා ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවෙන්න පටන්ගත්තා. ත්‍රස්තවාදීන් දිගට හරහට ඇල්ලුවා. එ්ත් ප්‍රභාකරන් තාම අල්ලා ගන්න බැරිව ගියා.   
අපේ කමාන්ඩෝ ප්ලැටුන් එකට ත්‍රස්තවාදීන් ගැන තොරතුරු දුන්නේ රහස් පොලිසිය. අපි යන්නේ අනෙක් හමුද‌ා කණ්ඩායම්වලට කරන්න අපහසු බැරෑරුම් මෙහෙයුම්වලටයි. පාපැදිවල තමා ඒ කාලයේ අපි මෙහෙයුම්වලට යන්නේ.   


යාපනය අර්ධද්වීපයේ ප්‍රචණ්ඩක්‍රියා මෙහෙය වූ දේවේන්ද්‍රන්, ඥනසේකරම් සහ ඇන්තනි වැනි ත්‍රස්තවාදී නායකයින් ගණනාවක් අපේ කමාන්ඩෝ භටයන් මෙහෙයුම්කර අල්ලාගත්තා. කුට්ටුමනී කියන ත්‍රස්තවාදී නායකයාව නාවික හමුදාවෙන් අල්ලාගෙන ඇවිත් අපිට බාර දුන්නා.  


අපේ පළමුවැනි ටාගට් එක වෙලා තිබුණේ ප්‍රභාකරන් අත්අඩංගුවට ගැනීමයි. ඒ නිසා අපි ප්‍රභාකරන් සොයා ගැනීමටත් දිගටම මෙහෙයුම් කළා. ප්‍රභාකරන් හැංගිලා ඉන්න තැන් ගැන අපිට වරින්වර ආරංචි ලැබුණාම ඒ සෑම තැනක්ම වැටලුවා.   


එක දවසක් පාන්දර යාමයේ අපේ කමාන්ඩෝ කණ්ඩායමට තොරතුරක් ලැබුණා ප්‍රභාකරන් වැල්වැටිතුරේ ඔහුගේ ගෙදරට ඇවිත් ඉන්නවා කියා. ඒ මොහොතෙම අපි ප්‍රභාකරන්ගේ නිවස වැටලුවා. නිවස වටා තල් වැටක් ගසා තිබුණා මේ තල් වැටට උඩින් පැනලා ගෙවත්තට ඇතුළු වුණා. ගෙදර උදවිය සේරම හිටියත් ප්‍රභාකරන් හිටියේ නැහැ. ප්‍රභාකරන් ගැන ඇහැව්වාම ඔහුගේ තාත්තා, අම්මා හා සහෝදර සහෝදරියන් කිව්වේ ඔහු ඉන්නා තැනක් ගැන දන්නේ නැහැ. මතක ඇති කාලයක ගෙදර ආවෙත් නැහැ කියා.   
දේවේන්ද්‍රන් කියා ත්‍රස්තවාදියෙක් හිටියා. මේ මිනිහත් යාපනයේ සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා රැසකට අපට අවශ්‍ය වෙලා හිටිය කෙනෙක්. අපිට ලැබුණු ඔත්තුවක් අනුව කන්කසන්තුරේ ප්‍රදේශයේ නිවසක් වටලා ඔහු අල්ලාගත්තා. විස්කි බොමින් ඉන්න වේලාවේ තමා අල්ලාගත්තේ. හමුද‌ාවට හෝ පොලිසියට කොටුවෙයි කියා ඔහුට ජපානයට යන්න කියා ප්‍රභාකරන් උපදෙස් දීලා ඒ සඳහා වීසා ගන්න සල්ලිත් දීලා. වීසා ගන්න ජපන් තනාපති කාර්යාලයට යන්න කොළඹට ඇවිත් ආපසු යාපනයට දේවේන්ද්‍රන් පැමිණ තිබෙනවා. දේවේන්ද්‍රන්ගෙන් ප්‍රශ්න කරද්දි ඔහු මේ බව පැවසුවා.   


මේ දේවේන්ද්‍රන් කියන ත්‍රස්තවාදියා ගැන විශේෂයෙන් යමක් කිවයුතුයි. ඔහු කාලයක් හමුද‌ාවේ සේවය කළ අයෙක්. හමුද‌ාවේ සේවය කරන අතර වාරයේ පැනලා ගියා. මොහු තමා ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදී නායකයින්ට හමුද‌ාවේ තොරතුරු සේරම දුන්නේ. දේවේන්ද්‍රන් ප්‍රභාකරන්ගේ කිට්ටුම හිතවතා. ඉදිරියේ දී සිදුකිරීමට සැලසුම් කර තිබූ ප්‍රචණ්ඩක්‍රියා රැසක් දේවේන්ද්‍රන්ගෙන් හෙළිකර ගත්තා. ඒ නිසා ඔවුන්ගේ ඒ ප්‍රචණ්ඩක්‍රියා වළක්වා ගැනීමට අපට පුළුවන්කම ලැබුණා යැයි විශ්‍රාමික සාජන් මේජර්වරයා කීය.   
මාස 10 ක් වැනි කාලයක් ඇතුළත අපි යාපනය අර්ධද්වීපයේ ත්‍රස්තවාදී ක්‍රියා සෑහෙන දුරකට මැඩපැවැත්තුවා. ඊට වසර කිහිපයකට පස්සේ ආයෙත් සංවිධානය වෙලා පෙරටත් වඩා දරුණු ක්‍රියා කිරීමට ත්‍රස්තවාදීන් පටන්ගත්තා.   


හමුද‌ාවට බැඳී පුහුණුවීම් ලබාගන්න දුම්කෝච්චියෙන් දියතලාවට ගිය තමන් හමුද‌ාවෙන් විශ්‍රාම ලබාගෙන ගෙදර ආවේ ඩීසල් දුම්රියෙන් බව විශ්‍රාමික සාජන් මේජර් පරාක්‍රම මහතා සිනාසෙමින් කිව්වේ කතා බහ නිමා කිරීමට මත්තෙනි. 

 

 

සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය   
ඡායාරූප - කෑගල්ලේ ගිලන්ත විජේපාල