පවුල් අවුල් කරන සෙනසුරු ඒරාෂ්ඨක


විවාහ ජීවිතයේ සමගියට බාධාවන අසාර්ථක වන බිඳ වැටෙන හා වෙනත් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පාන ග්‍රහ පිහිටීම් රාශියක් පවතී. මෙවැනි යෝග කොතෙක් තිබුණත් ඒවා සෑම අවස්ථාවකම ක්‍රියාත්මක නොවේ. ඒවා ක්‍රියාත්මක වන්නේ ග්‍රහ ගෝචරයන් සහ දශා අන්තර් දශා යටතේයි.   


මෙහිදී විශේෂයෙන් ස්වකීය නෛසර්ගික ස්වාභාවය අනුව ලෞකික කටයුතු කෙරෙහි උද‌ාසීනත්වයක් දක්වන බැවින් සෙනසුරුගේ ගෝචරය විවාහය කෙරෙහි පීඩාකාරී බලපෑම් ඇති කරයි. 


සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයන් අතර සෙනසුරු තරම් ප්‍රචලිත වෙනත් ග්‍රහයෙක් නැති තරම්ය. සෙනසුරු පාප ග්‍රහයෙක් වන අතර කුසීත, කම්මැළි, ග්‍රහ මණ්ඩලයේ යාචකයා ලෙස ද හැඳින්වේ. ඔහුට ඇත්තේ මහල්ලෙකුගේ ස්වරූපයයි. මහලු ගතිගුණවලට වඩාත් ප්‍රකටය. හොඳ හෝ නරක දැනෙන්නට මෙන්ම පෙනෙන්නට කරන ග්‍රහයා ශනිය. 


ශනි මන්දගාමී ග්‍රහයෙකු වන බැවින් එක් රාශියක් ඉක්මවා යාමට අවුරුදු 2 1/2 ක් පමණ කල්ගත වන බැවින් රාශි චක්‍රය වටේ එක් වරක් යාමට අවුරුදු 30ක පමණ කාලයක් ගතවේ. මෙසේ මන්දගාමීව ගමන් කරන සෙනසුරු විටෙක තව තවත් ග්‍රහයන් සමග සංයෝග වන අතර විටෙක ග්‍රහයින්ගේ දෘෂ්ටි ලබයි. ග්‍රහ ගෝචරයේදී සෙනසුරුට වැඩි බලයක් ලැබී ඇත්තේ සෙනසුරු ඒරාෂ්ඨක අපල ගෙන දෙන නිසයි. 


සෙනසුරු ඒරාෂ්ඨක අපල යෙදෙන ආකාර 4ක් ​ජ්‍යොතිෂයේ දැක්වේ. 


1. චන්ද්‍ර සෙනසුරු ඒරාෂ්ඨකය. 


ශනි උපතේදී චන්ද්‍රයා සිටි රාශියට පෙර රාශිය, චන්ද්‍රයා සිටි රාශිය හා චන්ද්‍රයා සිටි රාශියට පසුවූ රාශිය යන රාශි තුන ගෝචර වශයෙන් පසු කිරීමට ගතවන අවුරුදු හතහමාරක කාලය චන්ද්‍ර සෙනසුරු ඒරාෂ්ඨක කාලය ලෙස හඳුන්වනු ලැබේ. 


2. ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය 


ශනි ග්‍රහයාට දොළොස්වැන්න, ලග්නය සහ දෙවැන්න යන භාව තුන ගෝචර වශයෙන් පසු කිරීමට ගතවන අවුරුදු 7 1/2ක කාලය ලග්න සෙනසුරු ඒරාෂ්ඨක කාලය ලෙස හැඳින්වේ. 


3. චන්ද්‍ර අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය 


උපතේදී චන්ද්‍රයා පිහිටි රාශියට අටවැන්නේ ශනි ගෝචර වශයෙන් ගමන් කරන අවුරුදු දෙකහමාරක කාලය චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨක කාලය ලෙස හැඳින්වේ. 


4. ලග්න අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය 


ශනි ගෝචර වශයෙන් ඕනෑම කේන්ද්‍රයක අටවැනිභාවයේ ගමන් කරන අවුරුදු දෙකහමාරක කාලසීමාව ලග්න අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය ලෙස හැඳින්වේ. 


මේ කුමන ආකාරයක ඒරාෂ්ඨකයක් වුවද විවාහයට ඍජුවම සම්බන්ධ වන ලග්නය, දෙවැන්න, හත්වැන්න, අටවැන්න යන ස්ථානවල සෙනසරු ගමන් කිරීමේදී විවාහයේ යම් යම් අවුල් වියවුල් ඇති කෙරේ. පවුලේ අසමගිකම් ඇතිවී නොයෙකුත් ප්‍රශ්නවලට ගොදුරු වේ. 


ලග්නය හා දෙවැන්න යන ස්ථානවලට සෙනසුරු ගමන් කරන විට ලග්න ඒරාෂ්ඨකය ඇති කෙරේ. මේ ස්ථාන දෙක අතරින් ලග්නයේ සෙනසුරු ගමන් කරන විට සෙනසුරුගේ දෘෂ්ටිය තුළින් හත්වැන්න දුර්වල කරයි. හත්වැන්න විවාහයේ ප්‍රධානතම ස්ථානයයි. 


එබැවින් සෙනසුරුගේ දෘෂ්ටියන් හත්වැන්න දුර්වලවීම නොයෙකුත් මතභේද ඇති කිරීමට හේතු වේ. දෙවැන්නේ ගමන් කිරීමේදී අටවැන්න දකී. විවාහයට ඍජුවම බලපාන බැවින් පවුලේ සාමය, සමගිය නැතිව යයි. 


විවාහකස්ථානය වූ හත්වැන්න තුළ සෙනසුරු ගමන් කරද්දී අඹු-සැමියන් අතර කොතෙකුත් මහභේද පැන නගින අතර, කොතරම් සමගි සම්පන්න ලෙස ජීවත් වූ දෙදෙනකු අතර පවා යම් යම් ගැටලු ඇති කිරීමට හේතු වනු ඇත. දෙදෙනා අතර පවතින සබඳකම් දුරස් වේ. උත්පත්තියේදී චන්ද්‍රයා එම ස්ථානයේම යෙදී ඇති විටක ජන්ම ඒරාෂ්ඨක අපලද එක විට ලබයි. 


මෙම අපලකාරී අවස්ථා දෙකම එක විට ලබා ඇති අවස්ථාවක අන්‍ය ග්‍රහ ගෝචරයන්ද අශුභ ආකාරයෙන් බලපානු ලබයි නම් පවුලේ සමගිය සාමය බිඳ වැටේ. 


මේ අතර යුගදිවිය බිඳ වැටෙන අන්‍ය ග්‍රහ යෝගයන් කේන්ද්‍ර තුළ පවතී නම් බොහෝ විට මෙවැනි වූ සෙනසුරු ඒරාෂ්ඨක අපලයන් 7 වැන්නේ ක්‍රියාත්මක වීම තුළ එම ග්‍රහයෝගද ක්‍රියාත්මක කිරීමට සුදුසු වාතාවරණයක් සෙනසුරු විසින් ඇති කරනු ලබයි. 


කේන්ද්‍රයේ අටවැන්නද විවාහයට ඍජු වශයෙන් බලපාන ස්ථානයකි. විශේෂයෙන් 8 වැන්න තුළ පවතින ග්‍රහ තත්ත්වය අයහපත් වූ විට එය තම සහකරුවා හෝ සහකාරියට විපත් පැමිණවීමේ හැකියාවක් ඇති කරයි. මෙවැනි අශුභතා ඇති කේන්ද්‍රගත එම ස්ථානයේ එනම් අට වැන්නේ එනම් සෙනසුරු ගමන් කරන විට අෂ්ඨම ඒරාෂ්ඨකය ක්‍රියාත්මක වන අතර යම් හෙයකින් චන්ද්‍රයා එම ස්ථානයේ සිටියහොත් ජන්ම ඒරාෂ්ඨකයද එක විට ක්‍රියාත්මක වේ. 


මෙවැනි අවස්ථාවක අයහපත් තත්ත්වය ක්‍රියාත්මක වීමට නම් දුර්වල දශා අධිපතියකුගේ දශා කාලයක් සහ විවාහයට විපත් පමුණුවන ග්‍රහයෝග ජන්මියාගේ කේන්ද්‍රය තුළ තිබිය යුතුයි. මේ සියල්ල එකට ක්‍රියාත්මක වීමෙන් විවාහය බිඳ වැටීම අවුල් වියවුල් ඇති වීම වැනි ව්‍යසනයන්ට ලක් වීමට ඉඩ ඇත. 


යම් හේතුවකින් ලග්නයේ හෝ දෙවැන්නේ චන්ද්‍රයා සිටී නම් ලග්න ඒරාෂ්ඨක අපලය ලැබූ විට එය තදබල ලෙස දැනේ. එවිට පවුලේ සමගිය, සාමයට බාධා ඇතිවන අතර අඹුසැමියන් තම අභිමතය පරදි කටයුතු කරන්නට යාමෙන් පවුලේ සාමුහික වගකීම තුරන් වී පවුලේ සුහදතාව අඩුවී මතභේද ඇති වී ඒවා උග්‍ර තත්ත්වයට පත්වීම නොවැළැක්විය හැක. 


යුගදිවියට පත් දෙදෙනෙක් එම දෙදෙනාම එක මොහොතේ මියයන්නේ නැත. ඉන් එක් අයෙකු ප්‍රථමයෙන් මිය යයි. එය ලෝක ස්වාභාවයි. එහෙත් වයස් ගතවීමට ප්‍රථම විවාහ වී මාස ගණනකින් හෝ වසර කිහිපයක් ඇතුළත සැමියා හෝ බිරිඳ මිය යාම ඉහත කී ලෝක ස්වාභාවය සම කළ නොහැක. 


මෙසේ ස්ත්‍රී පුරුෂ කේන්ද්‍රවල තම ස්වාමියා හෝ භාර්යාව මිය යන ග්‍රහයෝග පවතී. ජ්‍යෝතිෂයේදී මේවා වැන්දඹු යෝග නමින් හඳුන්වයි. මෙවැනි වැන්දඹු යෝග ගණනාවක් ජ්‍යෝතිෂයේ සඳහන් වේ. වැන්දඹු යෝග තිබූ පමණින් ඒවා ක්‍රියාත්මක නොවන අතර, ඒවා අහෝසි වන යෝගද එම කේන්ද්‍ර තුළම පවතින්නට පුළුවන. 


කෙසේ වෙතත් මෙවැනි වැන්දඹු යෝග පවතිද්දී අයපත් මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලබා තිබියදී සෙනසුරු ඒරාෂ්ඨක අපලයක්ද ක්‍රියාත්මක වුවහොත් සෙනසුරු විසින් යම් කිසි බලයක් ඇති කරනු ලබයි නම් මෙවැනි යෝග ක්‍රියාත්මක වේ. එහෙත් මෙවැනි මාරක බලයක් පවතින අවස්ථාවලදී සෙනසුරු ඒරාෂ්ඨකය ක්‍රියාත්මක වුවද එමගින් තම සහකරුගේ හෝ සහකාරියගේ මරණ සිදුවී හැකි අවස්ථා එමට තිබේ. එවැනි අයහපත් තත්ත්වයන් යටතේ කරන්නේ සෙනසුරු ඒරාෂ්ඨක බලයද අනෙක් ග්‍රහ බලයක් මෙන් යටපත් වන අවස්ථාවලදීය. 

 


තුෂාර වික්‍රමසිංහ 
ජ්‍යොතිර්වේදී 
317 ද‌ාගොන්න (වැවපාර) මීගමුව