පරම පවිත්‍ර මිත්‍රත්වයේ සුවඳ


දිනක් අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ උපස්ථායක ආනන්ද හිමියන් සමඟ මහ මග වඩිමින් සිටිය අවස්ථාවකි. ඉදිරියට වැඩම කළ උන් වහන්සේ එක්තරා තැනෙක නැවතී සිනා පහළ කළ සේක. එය දුටු ආනන්ද හිමියෝ (බුදුවරු නිකරුණේ සිනා නොවන නිසා) එසේ ‘‘සිනා පහළ කළේ ඇයි දැ’’යි ? බුදු සමිදුන්ගෙන් ගරු බුහුමන් සහිතව විමසූහ. එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට මෙසේ වදාළහ.  


ආනන්දය! අප මේ නතර වී සිටින්නේ මට පළමු ලොව පහළ වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය විහාරස්ථානයක් (පන්සලක්) තිබුණු තැනකයි. එවකට මේ ප්‍රදේශය හඳුන්වන ලද්දේ ‘‘වේහ ලිංග’’ ජනපදය යනුවෙනි. මා අන්තිම වරට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බුදු බවට නියත විවරණ ලැබුවේද මෙම ස්ථානයේදීමය.  
එවිට ආනන්ද හිමියෝ ‘‘එසේ නම් භාග්‍යවතුන් වහන්ස! මෙහි ටිකක් වාඩි වී සිට ඒ අතීත කතා පුවත, මට දැනගැනීම සඳහා විස්තර සහිතව කියා දෙනු මැනවැ’’යි පවසා බුදු රජාණන් වහන්සේගේ දෙපොට සිවුර හතර පොටක් වනසේ නමා බිම අතුරා (බිම එලා) ආසනය සුදානම් කළහ. එහි වැඩහුන් බුදු හිමියෝ ඒ අතීත කතා පුවත මෙසේ වදාළ සේක.  


‘‘ආනන්දය! කාශ්‍යප බුදුහාමුදුරුවන් කලක් වැඩ සිටියේ මෙතැන තිබුණ ආරාමයකය. උන් වහන්සේට ඉතාම හිතවත් දායක මහතෙක් මේ ප්‍රදේශයේ හිටියා. මැටිවලින් වළං සාදා විකුණා ජීවත් වූවෙක්. මිනිසුන් ඔහු හඳුන්වනු ලැබුවේ ‘‘ඝටීකාර’’ යන නමින්ය. (ඝටීකාර යන වචනයේ තේරුම වළං හදන්නා යනුයි.) ඔහු දුප්පතෙකි. එහෙත් අනාගාමී පුද්ගලයෙකි. එනිසා ආර්ය ශ්‍රාවකයෙකි.  


ඝටීකාරට හොඳ මිත්‍රයෙක් හිටියා. ඒ මිත්‍රයාගේ නම ජෝතිපාලයි. ඔහු බ්‍රාහ්මණ වංශිකයෙකි. දෙවියන් අදහන්නෙකි. බුදු දහමට විරුද්ධ කෙනෙකි. මේ අනුව දෙදෙනා (ඝටීකාර, ජෝතිපාල දෙදෙනා) ආගම් දෙකකට අයත්වූවෝ වෙති. එය එසේ වුවත්, දෙදෙනාගේ මිත්‍රත්වයට එය බාධාවක් නොවීය.   


ජෝතිපාල බෞද්ධයෙකු කිරීමට ඝටීකාරට තද උවමනාවක් තිබුණි. කීප වතාවක්ම ඔහුව පන්සලට ගෙන යාමට, බුදුහාමුදුරුවන් ලවා ඔහුට අවවාදයක් කරවීමට ඝටීකාර උත්සාහ ගත්තේය. ඒ හැම වතාවේදම ජෝතිපාල කීවේ. ‘‘ ඔය මුඩු මහණුන් දැකීමට, ඔවුන්ට වැඳීමට මම කැමති නෑ’’ යනුවෙනි. ඝටීකාර තම අදහස (ජෝතිපාල පන්සලට ගෙන යාමේ අදහස) අත්හැරියේම නැත.   


දිනක් දෙදෙනාම එකතු වී ගඟට ගොස් ජලස්නානය කොට අවසන් වී ඇඳුම් ඇඳගෙන අාපසු ගෙවල් වලට යාමට සුදානම් වෙනවාත් සමගම ඝටීකාර ජෝතිපාලගේ කෙස් වැටිය තදින් අල්ලා ගෙන බලහත්කාරයෙන්ම පන්සලට ඇදගෙන ගියේය. පන්සලේ ගේට්ටුව ළඟට ගියවිට ජෝතිපාලගේ ඉල්ලීම පිට ඝටීකාර කෙස් වැටිය අත්හැරියේය. පසුව දෙදෙනාම ගොස් බුදුන් වහන්සේට වැඳ පසෙක වාඩි වූහ. කාශ්‍යප බුදුහාමුදුරුවෝ ජෝතිපාලගේ වැරදි දෘෂ්ඨිය මග හැරෙන සේ හේතු උදාහරණ සහිතව කරුණු පෙන්වමින් ධර්ම දේශනා කළහ. ජෝතිපාල බුද්ධිමත් දරුවෙකි. ධර්ම දේශනාව අවසන්වන විට ඔහුගේ වැරදි දැක්ම (මිත්‍යා දෘෂ්ඨිය) පහව ගියේය. පසුව දෙදෙනාම බුදුන් වැඳ තම තමන්ගේ ගෙවල් වලට ගියහ.  


පසුවදා ජෝතිපල තමන්ගේ මව්පියන්ට තම අදහස කියා ඝටීකාර මිත්‍රයාත් කැඳවාගෙන බුදුහාමුදුරුවන් ළඟට ගොස් මහණ විය. සැබෑ මිත්‍රත්වයක ඇති අසීමිත අගය එයින් පෙන්නුම් කරයි.  


ජෝතිපාල තම යහළු ඝටීකාරටත් ‘‘මහණ වෙන්න ය’’ යි යෝජනා කළත් අන්ධ මහළු තම මව්පියන් ​(දෙදෙනාම අන්ධයි) රැක ගැනීම තමාගේ යුතුකමක් නිසා ඝටීකාර එදා මහණවූයේ නැත. මහණ වී ටික කලකින් ජෝතිපාල භික්ෂුව, මතු බුදුවීම සඳහා කාශ්‍යප බුදුරජාණන් වහනසේ ගෙන් නියත විවරණ ලැබිය. ‘‘එදා එසේ විවරණ ලැබූ තැනැත්තා මමයි.’’ ගෞතම බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට එසේ ප්‍රකාශ කළ සේක.  


බුදු බවට නියත විවරණ ලැබූ තැනැත්තෙක් මිසදිටුවෙක් වෙයිද?  


නියත විවරණ ලැබීම යනු මේ තැනැත්තා අසවල් කාලයේ බුදු බවට පත්වෙනවාය’’යි. ස්ථිරවම බුදුවරයෙකු විසින්ම කරනු ලබන ප්‍රකාශනයකි. එම ප්‍රකාශනය (කියමන) කිසිමදාක වෙනස් වන්නේ නැත.  


මේ වනවිට ජෝතිපාල නමැත්තා (කාශ්‍යප බුදුරදුන් හැර) බුදුවරු විසිතුන් නමකගෙන් බුදු බවට නියත විවරණ ලබා තිබුණි. අසංඛ්‍ය කල්ප හතරකුත් අතිරේකව තවත් කල්ප ලක්ෂයකුත් බුදු බව පතාම පාරමිතා ධර්මියන් සම්පූර්ණ කළ බෝසත් කෙනෙකි. එනිසා ඔහු බෞද්ධයෙකි. සම්‍යක් දෘෂ්ඨිකයෙකි. ලෝකය පිළිබඳව යථාර්ථවාදී දර්ශනයක් ඇත්තෙකි. ලෝක තත්ත්වය සැබෑ ලෙසම දැනගත් තැනැත්තෙකි. එබදු පුද්ගලයෙකු තවත් ආත්මයක දි මිථ්‍යා දෘෂ්ඨික පුද්ගලයෙකු බවට පත් වේද?  
ථෙරවාදී බුදුදහමට අනුව බෝධිසත්ව වරයා ද (බුදු බවට පත් වෙන තුරු) පුහුදුන් පුද්ගලයෙකි. කෙලෙස් සහිත පුද්ගලයෙකි. එබඳු පුද්ගලයාගේ ඊළඟ උපත අනියතයි. බෞද්ධයෙකු වෙයිද? අබෞද්ධයෙක් වෙයිද? තිරිසනෙක් වෙයිද? වෙනයම් පුද්ගලයෙක් වෙයිද? කියා තිරණය කළ නොහැක. 

 
සෝවාන්, සකෘදාගාමී හෝ අනාගාමී ඵලයකට පත්ව සිටින පුද්ගලයා (ආර්යය ශ්‍රාවකයෙකු නිසා) ඔහුගේ ඊළඟ උත්පත්තිය ස්ථිරයි. ‘‘නියතෝ සම්බෝධි පරායණෝ’’ යන නිගමනය අනුව ඔහු ලබා තිබෙන මාර්ග ඵලයට අනුව නියමිත ආත්ම ගණනාවක් සසර ඉපදෙයි. එයින් පසු නිවන් අවබෝධ කර ගනී. සසර ගමන අවසන් කරයි. ඔහු මිථ්‍යා දෘෂ්ඨික වන්නේ නැත. තිරිසන් ආදී පහත් ආත්මයක ඉපදෙන්නේ නැත.  
අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට කියා දෙන මේ අතීත කතාව මෙතැන් සිට ඉදිරියට යළිත් මෙසේ ගෙනයමි.  
බුදු හිමියන්ට රජ කෙනෙකුගෙන් අැරයුමක්.  


ජෝතිපාල භික්ෂුවගේ මහණවීම, බුදු බවට නියත විවරණ ලැබීම යන සිදුවීම් වලින් පසුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පිරිවරාගෙන ජනපද චාරිකාවේ හැසිරෙන්නට (ඇවිදින්නට) වූහ.  
බුදුවරු හැමදාම එකම තැන වාසය කරන්​නේ නැත. වැහි කාලය (වස්තුන් මාසය) තුළ පමණක් එකම ස්ථානයක වාසය කරති. එයින් පසු රටෙන් රටට, නගරයෙන් නගරයට, ගමින් ගමට ඇවිදිමින් ලෝකයාට දහම් දෙසමින් ඔවුන් සුචරිතයෙහි පිහිටුවමින් ඔවුන්ට නිවන් අවබෝධ කරවමින් සැරිසරති. එය බුදුවරුන්ගේ සිරිතයි. එය ‘‘ලෝකාර්ථචරියාව’’ නමින් හැඳින්වේ.   
මෙසේ ජනපද චාරිකාවෙහි හැසිරෙමින් කාශ්‍යප බුදුරජාණෝ කසී අගනුවර වන බරණැස් නුවරට වැඩම කොට එහි රජුගේ උයනක ලැගුම් ගත්හ. මහජනතාව එතැනට රැස්විය. බණ ඇසීය, දන් පිරිනැමීය. පින්කම් කළේය.  
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තම රටට පැමිණ රාජකීය උද්‍යානයෙහි වැඩ සිටින බව ඒ රටේ රජතුමාට (කිකී රජතුමාට) දැන ගන්නට ලැබී එතුමාද බුදුන් වහන්සේ වෙත ගොස් බණ අසා පැහැදී පසුදා දවාලට බුදු පාමොක් මහ සඟනට මහා දානයක් පිරිනැමූහ. දන් වළඳා අවසන් වූ පසු රජතුමා බුදු හිමියන් ළග මිටි අසුනක වාඩිවී බුදු හිමියන්ට මෙසේ ආරාධනාවක් කළහ.  


අවසරයි භාග්‍යවතුන් වහන්ස! ඉදිරියට එන්නේ වැහි කාලයයි. එම වැහි කාලය තුළ මෙහිම වස් වසා වැඩ සිටිනු මැනවි. ඔබ වහන්සේ ඇතුළු මෙම සියලුම භික්ෂූන් වහන්සේලාට මම දානය පිරිනමමි. අනෙකුත් පහසුකම් සිවු පසයම (සිවුරු, දානය, සෙනසුන්, නිවාස, ගිලන්පස, ලෙඩට බෙහෙත් මේවා සිවුපසය නමින් හැඳින්වේ) සලසමි. එනිසා මගේ ආරාධනය පිළිගනු මැනවි, යනුවෙනි.  
‘‘මහ රජතුමණි! වස් විසීම සඳහා මා දැනට ආරාධනාවක් පිළිගෙන තිබේ. එනිසා ඔ​බේ ආරාධනය පිළිගැනීමට අපහසුයි.’’ බුදු හිමියෝ එසේ පිළිතුරු දුන්හ.  
එහෙත් බලවත් ඉල්ලීමකින් යුතුව රජතුමා මේ ආරාධනාව තුන් වතාවක්ම කළහ. කාශ්‍යප බුදු හිමියෝ ඒ තුන් වතාවේම ආරාධනාව ප්‍රතික්ෂේප කළහ.  
තමාගේ ආරාධනාව තුන් වතාවක් ම මෙසේ ප්‍රතික්ෂේප වුවත් රජතුමා කනස්සල්ලට කනගාටුවට පත්වූයේ නැත. බුදු හිමියන් සමග රජතුමා වැඩිදුරටත් මෙසේ සාකච්ඡා කළහ.  
‘‘ස්වාමීනි’’ ඔබ වහන්සේට ඒ වස් ආරාධනාව කළ තැනැත්තා කවර තත්ත්වයේ කෙනෙක්ද?  


මහ රජතුමණි! ඒ වස් ආරාධනාව කළේ මගේ හිතවත්ම දායකයෙක්. මට උපස්ථාන කරන කැපකරු දායකයෙක්. එහෙත් ඉතාම දුප්පතෙක්.  
ස්වාමිනි! ඒ දුප්පත් දායකයා ඔබ වහන්සේ ඇතුළු මේ සා විශාල භික්ෂු පිරිසකට තුන් මාසයක් සිව් පසයෙන් උපස්ථාන කිරීමට පුළුවන් කෙනෙක්ද?  
‘‘පුළුවනි මහරජ! ඔහු ධනයෙන් දුප්පත් වුවත් ගුණයෙන් පොහොසත් කෙනෙක්.’’  


‘‘ස්වාමිනි! ඒ ගුණගරුක දායකයා ගැන තවත් තොරතුරු ටිකක් කියනු මැනවි, අසනු කැමැත්තෙමි.’’ එවිට කාශ්‍යප බුදු රජාණන් වහන්සේ ඒ ගුණ ගරුක දායකයා හා තමා අතර පවත්නා හිතවත්කම ප්‍රකාශ කරමින් එළි දක්වමින් මෙසේ ගුණ ගායනයක යෙදුණාහ.  


මව්පියන් පෝෂණය කරන බුද්ධෝපස්ථායකයා.  


‘‘මහ රජතුමණි! ඒ දායකලා මැටිවලින් වළං සාදා එ්වා විකුණා ජීවත් වන්නෙකි. වළං හඳන නිසා හැම දෙනාම ඔහුට කියන්නේ ඝටීකාර කියාය. ඔහු අනාගාමි පුද්ගලයෙකි. නිවන් දැකීම සඳහා ඔහුට තව ඇත්තේ එක් මාර්ග ඵලයකට පත්වීම පමණකි. එය රහත්වීමයි. ඔහු තමාගේ මහලු අන්ධ මව්පියන් පෝෂණය කරන්නෙකි. තමන්ගේ අතින්ම ආහාර සූදානම් කොට මව්පියන්ට කවයි. ඔවුන් නාවයි. ඇඳුම් සෝදයි. මළ මුත්‍ර බැහැර කරයි. ගේ දොර පිරිසුදු කරයි. මෙසේ මේ සියලු කටයුතු අවසන් කොට මා දැකීමට පන්සලට ද එයි. මගේ ද මහා සංඝයාගේද සුවදුක් විමසා බලා කළයුතු දෙයක් ඇත්නම් ඒවාත් සිද්ධ කොට මටද මහා සංඝයාටද වැඳ වැටී ඔහුගේ රැකියාවට හෝ වෙනත් කටයුත්තකට හෝ යයි. මව්පියන්ට කෑම කැවීමට දවල් වී නැවත ගෙදර එයි. මේවා දිනපතාම වාගේ (කාල සටහනකට අනුව) සිදු කරයි.   


දිනක් මම (කාශ්‍යප බුදු හිමියෝ) ආහාර ලබා ගැනීම පිණිස ඝටීකාර දායකයාගේ ගෙදරට ගියෙමි. ඒ වෙලාවට ඝටීකාර ගෙදර සිටියේ නැත මම ආපු බව ගෙදර සිටි අයට දැනෙන්නට තරමක් උස් හඬින් කීවේමි. මාගේ කටහඩින් මාව හඳුනාගත් ඝටීකාරගේ අඳ මව්පියෝ මෙසේ කීහ. ‘‘බුදු පුතේ! අපේ පුතා වැඩට ගියා එන්ඩ ටිකක් පරක්කු වේවි. ඔය හැලි වලංවල කෑම තියෙනවා. ඇති තරම් ආහාර බෙදා ගනින් බුදු පුතේ!’’ යනුවෙනි. ඒ අවසරය අනුව මම හිතවතාගේ ගෙදර ගේ ඇතුළටම ගොස් දානය පාත්‍රයට බෙදා ගෙන (එදා තිබුණේ කුරක්කන් පිට්ටු සහ කිරි හොඳිය) එහිම තිබුණු ලී බංකුවක් උඩ වාඩි වී දානය වැළඳුවෙමි. වළඳා අවසන් වී පාත්‍රය සෝදා ගෙන මා යන බව ඒ මව්පියන්ට කියා පන්සලට ගියෙමි.  
තුන් ලොවක් ගරු කරන ලොව්තුරා බුදු කෙනෙකුන් එසේ කළේ ඒ ගුණ ගුරුක දායකයා හා තමා අතර පැවති සුහදත්වයේ ගැඹුර ලෝකයාට පෙන්වා දීමට විය හැක.  
කාශ්‍යප බුදුරජාණන් වහන්​සේ මෙසේ මේ හිතවත් දායකයා (ඝටීකාර) පිළිබඳව කරණ සැබෑ ගුණ කථනය අසා සිටි රජතුමාට ඇති වූයේ බලවත් සොම්නසකි. නිම්හිම් නැති සතුටකි.  


අරුණ උදයේ පිපුණ මලකින් විහිදෙන මිහිරි සුවදක් බඳු ඒ පරම පවිත්‍ර මිත්‍රත්වයේ ජීවන සුවඳ කිකී නරනාථයා (කිකී රජතුමා) එදා ආඝ්‍රාණය කරන්නට ඇත. සැබෑ මිත්‍රයෙකුගේ හඳවතේ පතුළ ඔහු එදා දකින්නට ඇත.  


කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඝටීකාර දායකයා ගැන කළ එම ගුණ කථනය අසා රජතුමා ප්‍රමෝදයට පත්විය. අතිශය සන්තෘෂ්ඨියට පත්විය.  
රජතුමාගෙන් තෑග්ගක්  


කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසින් ඝටීකාර දායකයා ගැන කළ එම ගුණ කථනය අසා අතිශය සතුටට පත් කිකී රජතුමා. මේ සාකච්ඡාවෙන් දින කිහිපයකට පසු (වස් තුන් මාසය මුළුල්ලෙහිම බුදුන් වහන්සේ ඇතුළු දාහක් පමණ වූ මහා සංඝ රත්නයට දානය පිරිනැමීම සඳහා ප්‍රමාණවත් වන සේ) සහල් සහ දාන උපකරණ වලින් පිර වූ කරත්ත පන්සියයක් ඝටීකාරයන් වෙත තෑග්ගක් වශයෙන් යැවීය.  


ඝටීකාර දායක මහතා එම තෑග්ග භාර ගත්තේ නැත. ‘‘වස්තුවෙන් ප්‍රයෝජන ඇත්තේ රජවරුන්ටයි. එම නිසා මෙම දාන උපකරණ සියල්ලම අාපසු ගෙන ගොස් රජතුමාටම භාර දෙන්න ය’’ යි ඒවා ගෙන ආ අය අතම ආපසු යැවීය.  


රජතුමා විසින් එවන ලද මෙම තෑග්ග (දානෝපකරණ) ඝටීකාරතුමා නොගත්තේ ඇයි. අධිගම අල්පේච්ඡ තාවය නිසා යයි බණ පොතේ සඳහන් වෙයි. මාර්ගඵල ලාභී උත්තමයෝ ආශාවන් දුරු කළ අයයි. එබඳු අය අනුන්ගෙන් කිසිවක් ලබා ගැනීමට කැමති නැත. එයයි අධිගම අල්පේච්ඡතාව.  
ඝටීකාරතුමා අනාගාමි පුද්ගලයෙකි. අධිගම අල්පේච්ඡතාව ඇත්තෙකි. එනිසයි මේ තෑග්ග භාර නොගත්තේ.

 

 

කල්පේ ආනන්ද සාගර හිමි