පර වුණු මල්වල සුවඳ අතීතේ


ගීයක පද රුත

 

 

පරවුණු මල් වල සුවඳ අතීතේ   
පරසතු මල් ළඟ විසිර ගියාවේ 
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ 
එළිය මැදින් හෙට දවස උදාවේ 

අතට වළලු මම කොහෙන් සොයම් දෝ 
පයට ගිගිරි මම කොහෙන් සොයම් දෝ 
ඉණට හවඩි මම කොහෙන් සොයම්​ දෝ 
දුවට මවක මිස පියකු කොයින් දෝ 

දාවල ගෙවිලා අඳුර ගලනවා 
ඈත ලොවට නිදි දෑස පියෙනවා 
හීතල පාළුව හියුඩු පිපෙනවා 
ඒ අතරින් දුව දොරට වඩිනවා 

 

අතීතේ පර වුණු මල්වල සුවඳ යනු කිම? සැමියා සමග යහතින් වසන කාලයේ සිත්වූ සුවයයි. සහනයයි. එකල ඇය ඒ තතු දිවිහිමියෙන් පවතී යැයි සිතා අනාගත රන්රුවන් විමන් මැව්වාය. ඒ සියල්ල ඇගේ හිස මත පතිත විය. එයින් ඉතිරි වූ දායාදය නම් පියා නැති දුවණියෝය. අඳුර ජීවිතය අරක් ගෙනය. ඒ අඳුර යන්තම් බිඳ හෙට දිනය උදා වන්නේ ඒ දියණියන්ගේ මුවෙහි කැකුළු සිනාවෙන් ගලා එන ආලෝකයෙනි. 

ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ පරසතු මල් චිත්‍රපටයේ එන පරසතු මල්වල සුවඳ අතීතේ ගීතය ගැන  මහාචාර්ය සුචරිත ගම්ලතුහු පවසති. මේ ගීතය මහගම සේකරයන් රචනා කළ අතර සුජාතා අත්තනායක ගායනා කර ඇත. 


මේ ගීතය ගැන පරසතු මල් චිත්‍රපටයේ නිෂ්පාදක චිත්‍රා බාලසූරිය අපට පවසා සිටියේ මෙසේය. 


පරසතුමල් චිත්‍රපටයේ එන දරු නැලවිලි ගීතය රචනා කිරීමට භාර ගත්තේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයි. නමුත් ඒ දවස්වල ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් හිටියෙ නෑ. ගීතයේ කොටසයි ලියලා තිබුණේ. ඒ පාර පරසතුමල් චිත්‍රපටයේ තිර නාටක ලියූ පී.කේ.ඩී. සෙනෙවිරත්නයි මමයි මහගමසේකර හොයාගෙන ගියා. සේකර හිටියේ ගම්පහ සියනෑ පාරේ. මම හිටියේ පරාක්‍රම පාරේ. අපි හොඳ යාළුවෝ. තිර නාටකය බලලා සේකර අවස්ථා තේරුම් ගත්තා. සේකරයි, මමයි ගම්පහ ඉඳලා කොළඹ එනකොට කඩවත කිරිල්ලවල හරියේ තැනකදී සේකර කාරෙක නවත්වන්න කිව්වා. 


චිත්‍රා මේ හරියේ නවත්වන්න. සේකර කිව්වා. 


ඕන්න සේකර කාර් එකේ දොර ඇරගෙන කොළයකුත් අරං ලියනවා. 


අතට වළලු මම කොහෙන් සොයම් දෝ 
පයට ගිගිරි මම කොහෙන් සොයම් දෝ 
ඉණට හවඩි මම කොහෙන් සොයම් දෝ 
දුවට මවක මිස පියෙකු කොයින් දෝ 


හරි මචං යමු. සේකර කිව්වා. 


පරසතුමල් වල සුවඳ අතීතේ ගීතයේ ලියවුණේ එහෙමයි. පසුව සේකර ඉතුරු ටික සම්පූර්ණ කළා. 


චිත්‍රා බාලසූරිය එසේ කියද්දී මට මතකයට ආවේ මියයාමට පෙර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ හා මේ ගීතයේ තනුව නිර්මාණය කළ ලයනල් අල්ගම මේ ගීතය ගැන කියූ කතාවකි. 


ලයනල් අල්ගම සංගීතඥයකු මෙන්ම හොඳ සිනමා ලෝලියෙකි. බටහිර චිත්‍රපට නැරඹීමට බෙහෙවින් ඔහු ප්‍රිය කළේය. මහගම සේකර විසින් ලියූ පරසතුමල්වල සුවඳ අතීතේ ගීත රචනය තම අතට ලැබුණු පසු එහි තනුව ගැන සිතමින් ඔහු මරදානේ නිව් ඔලිම්පියා සිනමාහලේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බැලීමට ගියේය. 


විවේක කාලයේ ඔහු සිසිල් බීම බෝතලයක් බීමට සිනමාහලේ කැන්ටිමට ගියේය. එහි තිබූ ඔර්ලෝසුවේ කටු ගමන් කරන්නේ කිසියම් නැළවිලි ස්වරයකින් හීන් හඬකින් බව ඔහුට දැනුණි. තම සාක්කුවේ තිබූ කඩදාසියක ඔහු තනුව සටහන් කරගෙන ඇත. ඒ ඇසුරින් ඔහු ශාස්ත්‍රීය රාගයක ආශ්‍රයෙන් පරසතු මල්වල සුවඳ අතීතේ ගීතය නිර්මාණය කළ බව ඔහු අපට පැවසුවේය. 


පරසතුමල් චිත්‍රපටය තිරගත වී වසරකින් 1967 වසරේ සරසවිය චිත්‍රපට උළෙලේ දී 1966 වසරේ හොඳම ගායිකාව ලෙස සම්මානය දිනා ගත්තේ පරසතුමල්වල සුවඳ අතීතේ ගීතය ගැයූ සුජාතා අත්තනායකය. අල්ගමයන් තුළ එදා ඇතිවූ සතුට වචනයෙන් කියා නිම කිරීමට බැරි බව කීවේය. ඔහුට මේ ගීතය නිර්මාණය කිරීමට පදනම දැමූ නිව් ඔලිම්පියා සිනමාහලේ ඔර්ලෝසුව මතක් විය. 


සති දෙකකට පසු මල්මාලයක් ද රැගෙන ඔහු සිනමාහලට ගියේය. ඔහු දැන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ විවේක කාලය එනතුරුය. විවේක කාලය පැමිණියේය. කඩදාසියක ඔතා තිබූ මල්මාලාවද රැගෙන ඔහු බීම කැන්ටිමට ගියේය. චිත්‍රපටය නැවත ආරම්භ කරන සීනුව නාද විය. කැන්ටිමේ සෙනග සිනමාහල තුළට ගියෝය. එහෙත් කැන්ටිම බාරව සිටින මුදල් අයකැමියා මුදල් ගණන් බලයි. ඔහු දැන් සිටින්නේ නොඉවසිල්ලෙනි. ඔහු එහා මෙහා ඇවිද්දේය. මුදල් කැෂියර් යාන්තම් නැගිට ගියේය. 


වට පිට බැලූ ලයනල් අල්ගම බිත්තියේ එල්ලා තිබූ ඔර්ලෝසුව වෙත ගොස් මල්මාලාව පළඳවා තම යුතුකම ඉටු කළේය. දැන් ඔහුට ලොකු සහනයක් ලැබුණා වගේය. සිනාසෙමින් සිනමාහල තුළට ගියේය. 
දෙසතියකින් පමණ ඔහු එම සිනමාහලට ගියේය. එහි කැන්ටිමේ තිබූ ඔර්ලෝසුව බැලීමට ඔහු ගියේය. මැළවී, ගැලවී පෙති ගැලවී ගිය මල්මාලාව තවමත් එහි එලෙසම තිබුණේය. ඔහුට සිනා ගියේය. සුජාතා සම්මාන ලැබූ පරසතුමල්වල සුවඳ අතීතේ ගීතය ඉතාමත් ජනප්‍රිය විය. 


ගායන ශිල්පිනී සුජාතා අත්තනායක කියන්නේ තම චිත්‍රපට ගායන දිවියේ හොඳම චිත්‍රපට අතුරින් සුවිශේෂ ගීතයක් බවය. 


සංගීත අධ්‍යක්ෂ ලයනල් අල්ගම මේ ගීතය නිර්මාණය කිරීමේදී ස්වරංජනී රාගයෙන් පටන් ගෙන කමාජ් රාගයෙන් අවසන් කළ ගීතයක් හැටියට මම දකින්නේ. ඇත්තෙන්ම මෙහි ස්වර සංකලනය, මිහිර, රසාස්වාදය මා නොඅඩුව ලැබුවා. මට අද වාගේ මතකයි මේ ගීතය කොල්ලුපිටියේ සරසවි චිත්‍රාගාරයේ පටිගත කළ දිනය. 


එදා මහගම සේකරයන් ඇවිත් හිටියා. සද්දන්ත මේ පුරුෂයා නිශ්ශබ්ද කෙනෙක්. අපේ ගීතය පටිගත කරනකොට ඔහු සිටියේ චිත්‍රාගාරයෙන් පිට. මොකද ඒ චිත්‍රාගාරය පුංචි එකක්. ඔහු එළිමහනේ දුම්වැටි බොමින් හිටියා. මම සේකරයන් ලියූ ගීත ගුවන් විදුලියේ පංච මධුර වැඩසටහනේ ගයලා තියෙනවා. සංගීතවත් කළේ අමරදේවයන්. සේකරයන්ගේ මුල්ම චිත්‍රපට ගීතය ගැයුවේ සාරවිට චිත්‍රපටයේ. 


පරසතුමල් ගීතය මම ලයනල් අල්ගම සමග පුහුණුවෙනකොට ඔහුගේ බිරිඳ ටෙලිෆෝනය මුර කරනවා. මොකද? ටෙලිෆෝන් හඬ අපේ වැඩේට බාධාවන නිසා. ඔහු ඉතා කැපවීමෙන් දැඩි සංයමයෙන් තමයි ගීතයට ස්වර ලිපි ලිව්වෙ. උසස් පරිපූර්ණ චිත්‍රපට ගීතයක් හැටියට ලෙස රටම මේ ගීතය පිළිගත්තා. ගාමිණි ෆොන්සේකා මිය යනතෙක්ම අගය කළ ගීතයක් මේ. 


වරක් ජාඇළ ගෙදරට ගාමිණී මටත් මගේ සැමියා නවරත්නටත් ආරාධනා කළා රාත්‍රී භෝජන සංග්‍රහයකට. එදා ඔහුගේ සර්පිනාව ගෙනැවිත් පරසතුමල් ගීතය ගයන්න කිව්වා. මම ගීතය ගැයුවා කීප වතාවක්ම. රාත්‍රී 12 පසුවන තුරු මට ගීත ගයන්න වුණා. අන්තිම වරට මේ ගීතය ගයන විට ගාමිණීට නින්ද ගිහින්. අපි ඔහුට බාධා නොකොට ගෙදර ආවා. ඔහු නැගිට්ට නම් මට තව ගීත කියන්න වෙනවා. සුජාතා කීවාය. 

 

 

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර