නොමියෙන මිනිසාගේ මතකය


හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස කිරුළු පැළඳ සිටියද එතෙර මෙතෙර ඉහළම ගෞරව සම්මානවලින් පුද ලැබූවද පණ්ඩිත් අමරදේවයන් එදිනෙදා සමාජය සමග මුහුවුණේ ඒ කිසිවක් සිදුනොවුණු ගානටය. ඒ හැසිරීම් රටාව එතරම්ම සරල විය.  


‘‘රසාවේශයට පත් වූ කල අමරදේවයනට විෂය ලෝකය අමතක වේ.’’ යනුවෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ නම් සිය මතක සටහන් කෘතියේ සඳහන් කරන්නේ එබැවිනි.  
සරච්චන්ද්‍රයන් ‘එලොව ගිහින් මෙලොව ආව​ා’ නම් නාට්‍යයට තනු නිර්මාණය කරවා ගනු පිණිස කොළඹට ගොස් පේරාදෙණියට කැඳවාගෙන ආ අයුරු එම කෘතියේ අපූරුවට විස්තර කෙරෙයි.  
“මුළු ගමනෙහිදිම කිසියම් රාගාලාපයක් මුමුණමින් අතින් මුද්‍රා දක්වමින් නිලඹරෙහි පියාසර කරමින් හුන් ඔහු මා ගෙදරට පැමිණ කාර් එක නතර කළ විට යළි පොළොවට බැස්සා සේ වටපිට බලා අපි පේරාදෙණියට ආවාදැයි මවිත වී ඇසුවේය” යනුවෙන් එහි විස්තර වෙයි.  


එදින රාත්‍රියේ පේරාදෙණියේ නැවතුණ අමරදේවයන්ට පසුදා උදේ පාන්දර තේ කෝප්පයක්ද රැගෙන සරච්චන්ද්‍රයන් කාමරයට යනවිට ඔහු කඩිමුඩියේ ඇඳුම් අඳිමින් හුන් බව එහි සඳහන් වෙයි.  
එදින උදෑසන සිට තනු නිර්මාණ කටයුතු යොදාගෙන තිබුණද එදිනම පන්තියක්ද යොදාගෙන තිබූ බව අමරදේවයන්ට අමතක වූයේය. එබැවින් තනු නිර්මාණය නවතා දුම්රියෙන් කොළඹ යෑම ඔහුගේ අදහස විය.  
‘‘ඉතින් කොහොමද දැන් යන්නෙ, පරක්කු වෙනවනේ’’   
‘‘පරක්කු වෙලා හරි යන්න ඕන. මාව ගිහිල්ලා ඉස්ටේසමට ඇරලනවද?’’ පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතිය අනුව සරච්චන්ද්‍රයන් හා අමරදේවයන්ගේ කතාබහ එසේය.  


එකල ටයිම්ස් ආයතනයෙන් පළ කළ ලංකාදීප පුවත්පතේ අනුග්‍රහයෙන් වෙසක් බැති ගී ප්‍රසංගයක් පවත්වන්නට පාලනාධිකාරිය අදහස් කළේ හැත්තෑව දශකයේ මැද හරියේදීය. ඒ සඳහා ලංකාවේ සිටින ප්‍රවීණතම ගායක ගායිකාවන් සහභාගි කරවා ගැනීමට ඔවුහු අදහස් කළහ.  
‘ලංකාදීප’ ආයතනයෙන් එකල පළකළ සිනමා පුවත්පතක් වූ ‘‘සුරතුර’’ හි නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කළ චන්ද්‍රසේන කිරිවත්තුඩුව මහතා ඒ වැඩේ බාර ගත්තේය. එකල ‘සුරතුර’ කර්තෘවරයා වූවේ ආතර් යූ. අමරසේන මහතා වූවත් ඒ දිනවල ඔහු නිවාඩු ගොස් සිටි බව මතකය.  
මා නිදහස් ලේඛකයකු ලෙස ‘සුරතුර’ට සම්බන්ධව සිටීම නිසා එම කටයුතුවලදී සහායකයකු ලෙස මා තෝරා ගැනිණි.  
උදේවරුවේ පුවත්පතේ වැඩ කටයුතු අහවර කර සැන්දෑකාලයේ අපි ගායක ගායිකාවන්ට ආරාධනා කිරීම සඳහා ඔවුන්ගේ නිවෙස්වලට ගියෙමු.  


ඒ අමරදේවයන් සිය ජිවිතයේ 50 වැනි වියට ළංව සිටි කාලයයි. එකල ඔහු වාසය කළේ නුගේගොඩ අනුලා විද්‍යාලය ආසන්නයේම තිබූ නිවසේය.  
ජංගම දුරකථන, රූපවාහිනී කිසිවක් නොතිබූ එකල ප්‍රධාන මාධ්‍ය වූයේ පුවත්පත් හා ශ්‍රී ලංකා ගුවන් විදුලියයි.   
අමරදේව, වික්ටර්, සනත්, නීලා, මාලනී බුලත්සිංහල, ජෝති පමණක් නොව රුක්මනී දේවි, ඒ.ඇම්.යූ. රාජ්, සුසිල් ප්‍රේමරත්න (සුසිල් එකල ලංකාදීපයේ සේවය කළේය) ආදී ප්‍රකට ගායක ගායිකාවන් පමණක් නොව මායා දමයන්ති, වික්ටර් විජයන්ත ආදී කලා ලොවට අවතීර්ණ වෙමින් සිටි පිරිසක්ද එයට සහභාගි වූ බව මට මතකය.  
මේ සඳහා ගායක ගායිකාවන්ට කිසිදු ගෙවීමක් නොකෙරින. එම ප්‍රසංගය ටයිම්ස් මන්දිරයේ දෙවැනි මහලේ විශාල බැල්කනියේ පැවැත් වූ බවට මට මතක තිබේ.  


අමරදේවයන් හමුවන්නට කිරිවත්තුඩුවත් මාත් ගිය ගමන තවමත් මගේ සිතේ රැඳී ඇත.  
‘‘ලංකාදීපයෙන් කිව්වම කොච්චර වැඩ තිබුණත් නෑවිත් බෑනෙ.’’ එදින අමරදේවයන් අපගේ ආරාධනාව පිළිගෙන පැවසූ මුල්ම වදන් එසේය. එහි තේරුම අමරදේවයන්ගේ තරුණ විය සිහිපත් කිරීමකි.  
ඉන්දියාවේ ලක්නව්හි භාත්ඛන්ඩේ විද්‍යාලයට වැඩිදුර අධ්‍යාපනය සඳහා යන්නට අමරදේවයන්ට අවස්ථාව ලැබුණ විට එකල ‘ලංකාදීප’යේ කර්තෘවරයා වී සිටි ඩී.බී. ධනපාල මහතා ‘ලංකාදීප’ අනුග්‍රහයෙන් අරමුදලක් සංවිධානය කළේය. ඒ සඳහා සරච්චන්ද්‍රයන් ඇතුළු පිරිසකගේ සහායද ධනපාලයන්ට ලැබිණ. ඒ අරමුදලද රැගෙන තරුණ අමරදේවයන් සිය අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නට ඉන්දියාව බලා පිටත් වූවේය.  
ඔහු එවෙලේ ‘ලංකාදීප’ය සිහිපත් කළේ කෘතගුණ පූර්වකවය.  
ඔහු ‘ලංකාදීප’ බැති ගී ප්‍රසංගයට වේලාවටත් කලින් පැමිණියේය. තනිවම තම කුඩා මෝටර් රථය පදවාගෙන පැමිණි ඔහු විදුලි සෝපානය එනතුරු පසෙකට වී සිටි අයුරු මට සිහිපත් වෙයි.  
එතැන සිටි බොහෝ පිරිස ‘අමරදේව අමරදේව’ යයි මුමුණද්දී සෝපානයේ ඔහු සිටියේ සුපුරුදු සරල නිහතමානිත්වය පළ කරමිනි.  
එම විදුලි සෝපානයද ඉතා විශාල වූ කඹ ආධාරයෙන් ඉහළ පහළ යන තොටිල්ලක් වැනි පරණ තාලේ එකකි. එවැනි පැරණි විදුලි සෝපානයක් මෑතක් වනතුරුම ගාලු මුවදොර හෝටලයේ තිබිණි.  
අමරදේවයන්ගේ එක් විශිෂ්ටත්වයක් වන්නේ සෑම සංගීත ආරක් පිළිබඳව මධ්‍යස්ථ ඇසකින් බැලූ සංගීතඥයකු වීමය.  


එකල බයිලා ගීතය, රිද්ම සංගීතය ඇතැමුන් හැඳින්වූයේ අවර ගණයේ සංගීත ආරක් ලෙසය.  
‘‘අපිට කිසිම සංගීත ක්‍රමයක් නරකයි කියල හෙළා දැක කතා කරන්න බෑ. ඒවා සංගීතාංග. වේග රිද්ම ගීත ගත්තත් බයිලා ගත්තත් ඒවා සංගීතයේ අංග ඔහු කීවේය.  
මයිකල් ජැක්සන්ලාට බටහිර ගීතවලට ඇතැම් පිරිස් විරෝධය පානවිට අමරදේවයන් කීවේ මයිකල් ජැක්සන්ගේ ගීත ප්‍රියකරන බවය.  
‘‘මම ජිම් රීවිස්ගේ ගීතවලට හුඟක් කැමැතියි. සමහර වෙලාවට මම ජිම් රිවස්ගේ ගීත ගායනා කරනවා.’’ ඔහු පැවසීය.  
ජෝතිපාලයන් අතැම් විචාරකයන්ගේ නිර්දය විවේචනයට ලක්වෙද්දී. අමරදේවයන් ජෝතිට තනු නිර්මාණය කර දෙන්නට මැලි නොවීය. ජෝතිගේ ගායන හැකියාව, තනුවක් ඉතා ඉක්මනින් ග්‍රහණය කර ගැනීමේ සමත් බව ඔහු ප්‍රසිද්ධියේ අගය කළේය.  
එහෙත් අමරදේවයන් සමග සම්මුඛ සාකච්ඡාවලට ගිය ඇතැම් අවස්ථාවල අප අමාරුවේ වැටුණු අවස්ථා විය. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ සම්මුඛ සාකච්ඡාවලදී කිසිවකුට පහර ගසන්නට ඔහු උත්සාහ නොකළ බවය.  
‘‘අපි ටිකක් වැදගත් දෙයක් කතා කරමු’’ දිනක් එක් සාකච්ඡාවකදී ඔහු පැවසුවේය.  
‘‘ඔව් ඒක හොඳ අදහසක්’’ මම කීවේමි. එතෙක් මා තුළ කලින් සැලසුම් කරගෙන තිබූ මාතෘකාවක්ද නොතිබිණ.  
‘‘මොකක් ගැනද’’  
‘‘අපි සංධ්වනි ගැන කතා කරමුද?’’ මම එවෙලේ කටට ආ මාතෘකාවක් කීවෙමි.  
‘‘ඔව් ඒක හොඳයි.’’ ඔහු ඊට කැමතිවිය. ඔහු ගෙතුළට ගොස් කිසියම් පොතක් සොයාගෙන ආවේය. එම පොතේ ඇතැම් වැදගත් කරුණු ඔහු ධාරණය කර ගනිමින් සාකච්ඡාව පටන් ගත්තේය.  
මම අමරදේවයන්ගේ කරුණු සටහන් කරගනිමින් සිටියෙමි.  
ටික වේලාවක් කරුණු දැක් වූ ඔහු එක්වරම සම්මුඛ සාකච්ඡාව නතර කළේය.   
‘‘සංධවනි ගැන මම කතා කරන එක හරි නෑ. ඕක කේමදාස එක්ක කතා කරන්න.’’ සාකච්ඡාව එතැනින්ම නිම විය.  


‘‘එහෙනම් අපි පින්තූර ටික අද අරගනිමු.’’ එදා මා සමඟ ඡායාරූප ශිල්පී ගාමිණී මෙන්ඩිස් ද විය.  
මදක් කල්පනා කළ අමරදේවයන් කීවේ ‘‘පින්තූර ගන්න මෙහෙම හරි නෑනේ, මං කියන්නද අපි ලබන සුමානෙ මඟුල් ගෙදරක යනවා (ඔහු දිනයක් වේලාවක් දුන්නේය) එතකොට අපි ඔක්කොම ලෑස්තිවෙලානෙ ඉන්නෙ. හොඳ පින්තූර ටිකක් ගන්න පුළුවන්.’’  
‘‘එතකොට ඉන්ටවිව් එක?’’   
‘‘ඒකත් එදාට දා ගනිමු. ටිකක් වේලාසන එන්න.’’  
අපේ බලාපොරොත්තු සුන්වූවද අලුත් බලාපොරොත්තුවක් සමග අපි එදා ආපසු ආවෙමු. නියමිත දිනයේ නියම කර ගත් වේලාවට අපි යළි එහි ගියෙමු. අමරදේව මහතා හා එම මහත්මිය මංගල්‍යයට යෑම සඳහා ජයටම හැඳ පැලඳ සිටියහ. අමරදේවයන් ළා දිස්නය දෙන ක්‍රීම් පැහැයට හුරු ජාතික ඇඳුමෙන් සැරසී සිටි බව මට මතකය.   
‘‘දැන් පුළුවන් නේද?’’ මා ඇසුවේ ගෙදරට ගොඩනැගුණු විගසමය.  
‘‘දැන් පරක්කු වෙලා අපිට. මේ යන්නයි හදන්නෙ - වෙන දවසක දා‌ ගනිමු’’ කැමරා ශිල්පී ගාමිණීගේ මුහුණ ඇද වී යන අයුරු මම හොරෙන් බලා සිටියෙමි. අමරදේවයන්ගේ හැටි දන්නා මට එය එතරම් අරුමයක් නොවීය.  
හේමසිරි සෙල්ලප්පෙරුම ‘සත්වැනි දවස’ පටන් ගන්නා මුල් කාලයේදිම මම එහි සහාය අධ්‍යක්ෂවරයා ලෙස වැඩ කළෙමි. (පසුව මම ඉන් ඉවත් වීමි)  


සාමාන්‍යයෙන් චිත්‍රපටයක රූප ගත කිරීම් පටන් ගැනීමට පෙර ගීත පටිගත කිරීම් සිදුවෙයි. ප්‍රේමසිරි කේමදාසයන් සංගීත අධ්‍යක්‍ෂණය කළ සත්වැනි දවස චිත්‍රපටයේ ගීත ගායනා කළේ එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල හා ධනපාල උඩවත්ත ය. එකල ගීත පටිගත කිරීම කෙරුණේ රාත්‍රී දහයෙන් පසුවය. දහයට පටන් ගන්නා පටිගත කිරීම් උදේ පාන්දර වනතුරු කෙරෙයි.   
අපි ජෝති, ලතා, කේමදාස රැගෙන නාරාහේන්පිට ලංකා චිත්‍රාගාරයට (සිලොන් ස්ටුඩියෝ) ආවෙමු. ඒ සමගම සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළේ පසු කල ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වූ උපාලි පියරත්නය. ඔහු ඉතා මෑතදී අප අතරින් වෙන්වූවේ ඉතාලියේ පදිංචිව සිටියදීය.  
දැන් වසා දමා වෙනත් කාර්යයකට යොදා ඇති ලංකා චිත්‍රාගාරය එකල නළුනිළියන්, චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් හා ශිල්පීන් නිතර ගැවසුණු ස්ථානයක් විය. එකල එහි පුවරුවක කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස සඳහන්ව තිබුණේ මහා රංගවේදී ගාමිණී ෆොන්සේකාගේ නම ය.  
රාත්‍රී දහයට අපේ කාර්ය පටන් ගත යුතු වූවද ශබ්දාගාරයේ වෙනත් පටිගත කිරීමකි. ගයන්නේ අමරදේවයන්ය. ගීතය ‘නිල් මානෙල් මල් පිපිලා’ ය. එකල ප්‍රකට කැසට් පට නිෂ්පාදකවරයකු වූ විජය රාමනායක, අමරදේවයන් අසලම වෙයි. වෙනත් කිසිවකු පෙනෙන්නට නැත. ‘‘තව පැය බාගයක් දියන්’’ විජය අප අසලට පැමිණ සුපුරුදු මිත්‍රත්වයෙන් පැවසීය.   
‘‘මොකද වෙලා තියෙන්නෙ.’’   


‘‘හෙට උදේ මාස්ටර් ටේප් එක අරගෙන සිංගප්පූරු යන්න ඕන. (එකල කැසට් පිටපත් කළේ සිංගප්පූරුවේය.) එක සින්දුවක් අඩුයි. ඒක වොයිස් කරන්න දාගෙන හිටියේ අද හැන්දෑවේ. අමරදේව මහත්තයට ඒක අමතක වෙලා. ‘හඳයා’ බලන්න ගිහිල්ලා මම මැජෙස්ටික් එක ළඟ වාහනය තියාගෙන රැකගෙන ඉඳල ෆිල්ම් එක ඉවරවෙච්ච ගමන් එක්කගෙන ආවා.’’  
මෙවැනි අමතක වීම් අමරදේවයන්ගේ ජීවිතයේ අඩුවක් නොමැත.   
අමරදේවයන්ගේ සිංහල දැනුම මෙන්ම ඉංග්‍රීසි දැනුමද ඉතා ඉහළ බව කිව යුතුය. වරක් කොළඹ රාජකීය විද්‍යාල රඟහලේ පැවැති සම්මන්ත්‍රණයකදී ප්‍රේක්ෂකාගාරයේ සිටි කෙනෙකු අමරදේවයන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ඉංග්‍රීසියෙනි එයට පිළිතුරු ඉංග්‍රීසියෙන්ම බලාපොරොත්තු වන බව ඉඟි පළ විණ. ජාතික ඇඳුම අඳින කිසිවිටෙක කැපී පෙනෙන්ට උත්සාහ නොකරණ සිරුරෙන් කුඩා මේ සංගීතඥයාට ඉංග්‍රීසි හරිහැටි බැරිව ඇතැයි ඔහු සිතුවා වන්නටද විය හැක.  
අමරදේවයන් ඔහුට පිළිතුරු දුන්නේ ව්‍යක්ත ඉංග්‍රීසියෙනි. ඔහු කතාව පටන් ගත්තේ ‘‘මට පුළුවන් විදියට මම උත්තර දෙන්නම්’’ යනුවෙනි. සංගීතය, ගීතය පිළිබඳ ශාස්ත්‍රීය කරුණු අඩංගු එම පැහැදිලි කිරීම අනුව ප්‍රශ්නය ඇසූ පුද්ගලයාට කුමක් සිතුනදැයි කියන්නට නොදනිමි.  
වරක් ‘සිරිකත’ පත්‍රයේ අනුග්‍රහයෙන් පැවැති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූයේ අමරදේවයන්ය.  එකල විජය පුවත්පත් සමූහයේ ප්‍රධාන කර්තෘවරයා වූ එස්. සුබසිංහ මහතා අමරදේවයන් ප්‍රියකළා පමණක් නොව කාලයක පටන් ගොඩනැගුණු දැන හැඳුනුම්කමක්ද විය. මේ ආරාධනය අමරදේවයන් එකසිතින්ම පිළිගත්තේ එහෙයිනි.  


උත්සවය අවසානයේ තෑගි බෙදා දීම පමණක් නොව දේශනයකටද අමරදේවයන්ට ආරාධනා ලැබින. කතාව අවසානයේදී සුබසිංහ මහතා ගීතයක් ගයන ලෙස අමරදේවයන්ගෙන් ඉල්ලා සිටියේය.   
කිසිදු සංගීත භාණ්ඩයක් නැතිව සාමාන්‍ය ශබ්ද විකාශන පහසුකම් යටතේ බොහෝ ගායක ගායිකාවෝ ගී ගයන්නට මැලිවෙති. එහෙත් ගායනයේ, වාදනයේ, සංගීතඥානයේ පරතෙරට පැමිණි මේ මහා ගාන්ධර්වරයා තාක්‍ෂණයට අභියෝග කරමින් යසෝදරාවතේ කවි ගායනා කරන්නට විය. ඒ අතරතුර මාවෙතට පැමිණි සුබසිංහ මහතා ‘‘කොහොමද හඬ’’ යයි අසීමිත ප්‍රීතියෙන් යුතුව පැවසූ අයුරු මට තවමත් මතකය.   
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි සම්මාන උළෙල විජය රූපවාහිනි සම්මාන උත්සවයයි. එහි මුල්ම උළෙලේ සංගීත අධ්‍යක්‍ෂණ කටයුතු බාරව සිටියේ පණ්ඩිත් අමරදේවයන්ය. ඒ සඳහා දින ගණනාවක් පුරා පුහුණුවීම් කෙරිණ.  
අමරදේවයන් සහ එම මහත්මිය උදෙන්ම විජය කාර්යාලයට එති. ඉන් පසුව කොළඹ කොටුවේ ශාලාවකට පුහුණුවීම් කටයුතු සිදුකිරීමට යති.  
එය අවසන් වනවිට ඇතැම් දිනක රාත්‍රී හත අට වෙයි. එය අපමණ විඩාවකි. එහෙත් ඔවුන්ගේ මුහුණු එවෙලේ වූවද අපමණ ප්‍රීතියෙන් පිරී ගොසිනි. කලාව වෙනුවෙන් වෙහෙස මහන්සි වීම ඔවුනට සතුටකි.  
පසුකලෙක දයා රාජපක්‍ෂයන්ගේ රූපවාහිනි රචනයකට අනුව මා අධ්‍යක්‍ෂණය කළ ‘සාප නොකරව් දරුවනේ’ ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කරනු ලැබුවේ අමරදේවයන් විසිනි. එයට නිෂ්පාදන සරත් සූරිය බණ්ඩාර මහත්සේ කැමැත්ත පළ කළේය.  


‘‘ගීතයක් සාර්ථක වෙන්නෙ පදමාලාවෙන් සහ තනුවෙන්’’ මගේ ආරාධනයට පිළිතුර ආවේ ඉංග්‍රීසියෙනි.  
අපි ට්‍රැක් එක ගන්න ඉස්සරවෙලා සින්දුව බලමු’’ ඔහු යළි කීවේය.  
මේ සඳහා වේලාවක් හා දිනයක් ලබා ගන්නට දුරකථන ඇමතුම් කීයක් දුන්නාදැයි මට මතක නැත.  
වරක් අමරදේවයන් කීවේ මාලදිවයිනේ උත්සවයකට යන බවකි. (මාල දිවයිනේ ජාතික ගීයේ තනුව හා සංගීතය අමරදේවයන්ගේ බව මෙහිදී මතක් කරන්නේ ගෞරවයෙනි.)  
කෙසේ හෝ දිනෙන් දින මෙය ඇදී යද්දී සංගීත අධ්‍යක්‍ෂ නිමල් ගුණසේකර කීවේ සංගීත පටය පටිගත කරමුයි කියාය. තවත් දුරකථන කීපයකින් දිනයක් නිශ්චිතව ලබා ගන්නට නොලැබුණු විට මම අමරදේව මැතිනියට එම වගකීම බාර දුනිමි.   
අන්තිමේදී දිනයක් හා වේලාවක් ලැබිණ. තනුවටත්, මගේ පදමාලාවටත් ඔහු කැමැත්ත පළ කළේය.   
පටිගත කිරීම යොදා ගත්තේ උදේ දහයට බොරැල්ලේ ජොනෙත් ශබ්දාගාර​යේය. කෝකටත් මම පෙරදින ඒ බව දුරකථනයෙන් අමරදේවයන්ට මතක් කළෙමි. ‘‘උදේ දහයට මට එන්න වෙන්නෙ නෑ. මම වෙන වැඩක් දාගෙන. උදේ හතට දා ගන්න බැරිද’’ මම ඊට එකඟ වුණෙමි. උදේ හතට ඔහුගේම වාහනයෙන් ශබ්දාගාරයට එන බවද වාහන පහසුකම් අවශ්‍ය නොවන බවද ඔහු කීවේය.  
සියල්ල සූදානම් කරගෙන ශබ්ද පරිපාලක ඩොනල්ඩ් අයිවන්ද කැඳවාගෙන උදේ හතේ සිට අපි සුදානම්ව සිටියෙමු. එහෙත් අමරදේවයන් එන පාටක් නැත. ගෙදරට ඇමතුමක් දුන් විට අමරදේව මහත්මිය කීවේ ඔහු අට හමාරට පමණ පිටත් වූ බවයි.  


අමරදේවයන් ශබ්දාගාරයට පැමිණියේ උදේ නමයහමාරට පමණය.  
‘‘මට තැන මතක නැති වුණා. ඔයාට වාහනයක් එවන්න තිබුණනෙ.’’  
‘‘ඔබතුමානෙ කීවෙ වාහනයක් එපා කියලා’’ කෙසේ හෝ ගීතය ඉතා සාර්ථක අයුරින් පටිගත විණ. අමරදේවයන්ගේ ගෙවීම ගැන කතා කිරීමේදී සිදුවූ දෙබස ඉතා වැදගත්ය. ‘‘ආ පේමන්ට් එකක් ගන්න එපායැ. කීයක් විතරද ‘‘මට ඒක තීරණය කරන්න බෑ’’ මම කීවෙමි.  
අමරදේවයන්ට ගෙවීමක් ගැන මතක් වූවේ මා මතක් කළ පසුවය. ඔහු ගණනක් කීවේය. එහෙත් හෙළයේ මහා ගාන්ධර්වයාගේ හඬ මිල කළ නොහැකියැයි මම කීවේමි.  
‘‘වැඩියි වගේද?’’ ඊළඟට ඔහු ඇසුවේය.   
‘‘නෑ, නෑ, ඒක හරි’’ මම කීවෙමි. තවත් ටික කලකට පසුම මම එම ගීතය ගැන අමරදේවයන්ට මතක් කළෙමි. එම ගීතය නාස්ති වී යා හැකි බැවින් කුමක් කළ යුතු දැයි මම ඇසුවෙමි.
‘‘ඔව් මොකක් හරි කරමු’’ යි කී ඔහු ඊට කැමති විය. ඊළඟට ඔහු ඇසුවේ මොකක්ද ඒ ගීතය කියාය. එතරම් අපහසුවෙන් පටිගත කළ ගීතය ඔහුට අමතක වී තිබිණි. ‘සාප නොකරව් දරුවනේ’ නම් එම ගීතය ටෙලි නාට්‍යයේ තේමා ගීතය වුවද එය ජනප්‍රිය නොවීය. එය තවමත් මා ළඟ තිබේ.  
හෙලයේ මහා ගාන්ධර්වරයා, ඒ අද්විතීය මිනිසා 2016 නොවැම්බර් 3 වැනිදා අප අතරින් වෙන්ව ගියද තවමත් අප සිත් තුළ අමරදේවයන් ජීවමානය. ඒ සුපසන් ගී රාවය තවමත් දෙසවන් තුළ නිංනාද වෙයි.  
අමර යනු නොමැරෙන බවය. අමරදේවයන් ශ්‍රී ලංකාවේ සංගීතය පවතින තුරු ජීවත් වනු ඇත.  
රසාවේශයට පත් වූ කල අමරදේවයන්ට විෂය ලෝකය අමතක වේ. යනුවෙන් සරච්ච්න්ද්‍රයන් සඳහන් කළ කරුණ අමරදේවයන්ගේ මතක ඔස්සේ පියාසර කරන විට මට නිරතුරු සිහිපත් වේ. 

 

 

රොඩ්නි විදාන පතිරණ