නි​ෙවසට ගල්ගැසූ මියගිය නැන්දා පෙරේත ආත්මයක් වෙලා:


නිවැසියන්ගේ කසුකුසු

 

 

දිල්හානි විවාහක තිස් පස් හැවිරිදි කාන්තාවකි. ඇයගේ සැමියා වන සුජිත් හා දියණිය මල්කිත් පුතා මලිඳුත් සමඟ දිල්හානි වෙසෙන්නේ ආනමඩුව ප්‍රදේශයේය. සුජිත් ගාමන්ට් එකක රැකියාවක නියුතුව සිටි අතර, දිල්හානි නිවසට වී නිමි ඇඳුම් විකිණීම කරගෙන සැමියා හා දරු දෙදෙනාත් සමඟ ජීවත් වූවාය. 


යම් යම් දිනවල ආර්ථික අපහසුතා පැන නැගුණත් දිල්හානිත් සුජිතුත් අතර බහින්බස් වීමක් නම් කිසි දින සිදු නොවීය. දියණිය මල්කි හත් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, මලිඳු පුතා දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබීය. දරුවන්ගේ කටයුතුද අරපිරිමැස්මෙන් යුතුව සිදුකිරීමට දිල්හානි වගබලාගත්තේ තමන්ගේ සිය පවුල ජීවත් වන්නේ නැන්ද‌ාගේ නිවසේ නිසාය. 


කුලී නිවාසවල ජීවත් වීමට තරම් වත්කමක් හෝ තමන්ටම කියා නිවසක් නොවූ නිසා එම නිවසේ ඔවුන් ජීවත් වූ අතර, 58 වියැති නැන්ද‌ා අවිවාහක කාන්තාවක විය. ඇය නිවස ආසන්නයේ සිල්ලර කඩයක් දමා එහි වෙළෙඳ‌ාමෙන් ජීවිකාව පවත්වාගෙන ගියාය. 


දිල්හානිලා ඇගේ නිවසේ පදිංචියට ඒම නිසා ඔවුන්ගෙන් යම් සුළු මුදලක් නිවසේ කුලී වශයෙන් නැන්ද‌ාට ලැබීමද එක් අතෙකින් දෙපිරිසටම සහනයක් විය.


දිල්හානිගේ නැන්ද‌ාට හදිසියේම පපුවේ අමාරුවක් සෑදීම නිසා ඇය ගැන සොයා බැලීමට දිල්හානිට සිදුවිය. දරුවන් දෙදෙනාගේත් නැන්ද‌​ාගෙත් කටයුතු එකදිගටම කිරීමට සිදුවීමෙන් දිල්හානිට වෙනත් දෙයක් කිරීමට වේලාවක් නොවීය. අසනීප තත්ත්වය නිසාම දිල්හානිගේ නැන්ද‌ා ටික කලකින් මියගියාය. නැන්ද‌ාගේ මරණය දුකක් වුවද තමන්ට ඉන්න හිටින්නට තැනක් ලැබීමත් එයට අයිතිවාසිකම් කීමට කිසිවකු නොමැති වීමත් දිල්හානිටත් සුජීවටත් ලොකු සහනයක් විය. නැන්ද‌ාගේ තුන් මාසේ ද‌ානය දී දිල්හානි සිය පවුල සමඟ සුපුරුදු පරිදි කල්ගත කරන්නට වූවාය. 


දිනක් හිටිහැටියේම කුස්සියේ එල්ලා තිබූ දින කැලැන්ඩරය ගිනිගන්නට විය. හදිසියේම කුස්සිය වෙත ආ දිල්හානි එය දැක බොහෝ බියපත් වූයේ බිත්තියේ තිබූ කැලැන්ඩරය කෙසේ ගිනිගත්තේදැයි සිතමිනි. වහාම වතුර කෝප්ප කීපයක් එදෙසට දමා ගින්න නිවා දැමූ ඇය කල්පනා කළේ දර ළිප ඇත්තේද බොහෝ ඈතින් නිසා එසේ සිදුවූයේ කෙසේදැයි යන්නය. එහෙත් කිසිවක් ඇයට සිතාගැනීමට නොහැකි විය. සුජිත් නිවසට පැමිණි විට දිල්හානි දහවල සිදුවූ දෙය ඔහුට පැවසුවත් එය එතරම්ම වගකට නොගත් නිසා ඇයද එය අමතක කර දැම්මාය. 


දින කීපයක් ඉක්ම ගිය අතර, කුස්සියට යන විට දර ළිප ඉබේම පත්තු වී තිබෙනු දැක දිල්හානි බියට පත් වූවාය. ඇය උදේම ඉවුම් පිහුම් කටයුතු නිමා කර ළිපේ ගින්දරද අයින් කළ බව ඇයට මතකය. එහෙත් මෙය කළේ කවුද? 


කිහිප දිනක්ම මෙවැනි සිදුවීම් සිදු වූ නිසා දිල්හානි සුජිත්ට පැවසූ විට සුජිත් දියණියව කැඳවා ඇය ඒ බවක් දුටුවාදැයි විමසුවේය. එහෙත් මල්කි කිසිදු දෙයක් තමන් නොදුටු බව පැවසුවාය. එම නිසා ඔහු ඒවා ගණනකට නොගත්තේය. 


දිනක් දිල්හානි පුතාව නිදිකරවන අතරතුරදී එක්වරම වහළයෙන් මහ හඬක් නැගුණි. “ටාං” තහඩුව මතට යම් කිසිවක් පතිත වූ සෙයකි. ඇය කන්දීගෙන සිටියාය. තවත් වරක් ඇසුණු ශබ්දයෙන් වහළයට ගල් වදින බව ඇය තේරුම් ගත්තාය. පුතාව ඇඳ මතින් තැබූ ඇය නිවසින් පිටතට ගොස් විපරම් කළත් කිසිවෙක් පෙනෙන මානයක නොවීය. 
දින තුන හතරකට වතාවක් කවුරුන් හෝ නිවසට ගල් ගසන බව දිල්හානිට වැටහුණි. එහෙත් එසේ කරන්නේ කවුරුන්දැයි සොයාගැනීමට හැකි නොවිණි. මේ සිදුවීම් සියල්ලම සිදු වූයේ දහවල් කාලයේදී පමණි. සුජිත් නිවසට පැමිණි පසු කිසිවක් සිදු නොවීමද පුදුමයකි. මේ හේතුව නිසා දරු දෙදෙනාත් සමඟ දිල්හානි සිටියේ බියෙනි. 


තවත් දිනෙක දිල්හානි නිවසේ ඉවුම් කටයුතුවල නිරතව සිටියදී වහළය දෙසින් පෙර සේම හඬක් නැගුණි. දෙතුන් වතාවක්ම එකදිගටම වහළයට ගල් වැදෙන නිසා දිල්හානි නිවසින් පිටතට ගොස් විපරම් කරන්නට වූවාය. එහෙත් කිසිවකුත් අහලපහළක නොවීම නිසා ඇය නිවස තුළට එන විට දුටුවේ ඔවුන්ගේ නිදන කාමරයේ දොරට පිටතින් යමක් ඇවිළෙන බවකි. 


ඇය වහාම එදෙසට ගොස් බලන විට ඇඳුම් කීපයක් පිළිස්සෙන බව දුටුවාය. ඇය කාමරය තුළට එබී බැලූවිට දරුවන් දෙදෙනාම නිද‌ා සිටිනු දුටුවාය. ඇය වහාම සුජිත්ට දුරකතන ඇමතුමක් ගෙන මෙදින සිදුවූ සිදුවීම් කීපය විස්තර කරන්නට වූවාය.. “අනේ සුජිත් මට නම් තවත් මේක බලාගෙන ඉන්න බෑ. මෙතන මොකක් හරි තියෙනවා. අමනුස්ස දෝෂයක්ද දන්නෙත් නෑ. නැත්තම් කවුද අනේ මේවා කරන්නේ. ගේ ඇතුළේ සිද්ධවෙන දේවල් දිහා බලනකොට වෙන දෙයක් ගැන හිතන්නත් බෑ” දිල්හානි සුජිත්ට පැවසුවාය. “හරි අපි බලමු මොකද කරන්නේ කියලා මේකට” සුජිත් දිල්හානිව අස්වැසුවේය.


“අනේ මේකට මොකක් හරි කරන්නකො” කියමින් දිල්හානි සුජිත් හවස නිවසට පැමිණි විට ඔහුට පැවසුවාය. “මටත් හිතාගන්න බෑ මොකක්ද මේ වෙන්නෙ කියල. අපි පොලිසියට ගිහින් කියමු. වැඩිය ඕක අහල පහළට ආරංචි වෙන්න තියන්න එපා. අපි බලමුකො ආයිත් වෙයිද කියල.” සුජිත් කීවේ දිල්හානි බොහෝ බියපත් වී සිටින බව දන්නා නිසාය. 
නැවත නැවතත් නිවසට ගල් ගැසීම සිදුවිය. “අම්මේ කවුද ගල් ගහනවා වහළයට” දිනක් මල්කි නිවස තුළට දිවගියේ වහළය මතට පතිත වූ ගලකින් නැගුණු මහා ශබ්දය නිසාය. ඇය ඒ මොහොතේ සිටියේ සෙල්ලම් කරමිනි. දිල්හානි වහාම නිවසින් පිටතට පැමිණියාය. “දූ ඔයා ඇතුළට එන්න. අනේ මන් දන්නේ නෑ මේ ගෙදරට මොනවා වෙනවද කියලා” දිල්හානි බොහෝ බියපත් වී සිටියාය. ඇය මල්කිව ද අතින් අල්ලාගෙන ඇතුළට ගොස් දොරවල් වසාගත්තාය. 


දිල්හානි සුජිත්ට දුරකතනයෙන් කතා කොට සියල්ල පැවසුවාය. ඔහු වේලාසන නිවසට පැමිණියේය. වහළයට නැග බැලීය. කුඩා ගඩොල් කැට කීපයක් වහළය මත දක්නට ලැබිණි. 
සුජිත් තම සේවා ස්ථානයේ කීපදෙනෙකු සමඟම මෙම සිදුවීම් පැවසූ විට ඔවුන්ගෙන් අයෙක් දෙදෙනෙක් කීවේ මේවා සිදුවන්නේ භූත දෝෂ නිසා බවයි. “එක්කො මනුස්සයෙක් කරන්න ඕන මචං නැත්තං අමනුස්සයෙක් තමයි ඕවා කරන්න ඕනේ. උඹ කියන විදියට අහල පහළක කවුරුත් නැති නිසා විශ්වාස කරන්න වෙන්නේ අර දේ තමයි” එක් මිතුරෙක් පැවසුවේය. 


“ඒ නිසා ඒකට මොකක් හරි දෙයක් කළා නම් හොඳයි. කෝකටත් සාස්තරයක්වත් බලපං. අපේ නැන්ද‌ා කෙනෙක්ගෙ ගෙදරත් ඔය වගේ භූත දේවල් වුණා” ඔහු සුජිත්ට කීවේය. 
දිල්හානි සමඟ කතාබහ කළ සුජිත් පසුද‌ා වැඩට නොගොස් දෙදෙනා ගොස් කපු මහතකු මුණගැසුණහ. දේවාලයේ සාස්තර කියමින් සිටි කපු මහතා පිටතට පැමිණ අලුතින් පැමිණි කීපදෙනෙකුගේ මුහුණ දෙස බලමින් දේවාලය තුළට පිවිසියේය. අලුතින් පැමිණි දෙදෙනෙකුගේ වාර අවසන් වූ පසු දිල්හානිත් සුජිත්වත් කපු මහතා වෙතට ගියෝය. ආරූඪයෙන් කපු මහතා දිල්හානිගෙන් සියල්ල විමසා සිටි අතර, ඇය සියල්ල පැවසුවාය. කපු මහතා කීවේ මෙය අමනුස්ස ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවයි. මෙය ඉවත් කිරීමට නම් එක්තරා යාගයක් කොට නිවස හා වත්ත ආරක්‍ෂා කළ යුතු බවයි.


 නිවසට ආසාවෙන් මැරුණු කෙනෙක් ප්‍රේත ආත්මයක් ලබා මොවුන්ව නිවසින් එළවීමට මෙසේ කරනවා යැයි කපු මහතා කීය.


 “මේ ගෙදර කවුරු හරි මැරුණද” කපුවා විමසීය. 


“ඔව් දැන් ටික කාලයකට කලින් නැන්ද‌ා මැරුණා” දිල්හානි කීය. 


“ඒක තමයි. ගෑනු පරාණයක් තමයි පෙන්නුම් කළේ” අවශ්‍ය මුදල් හා බඩු භාණ්ඩ ලැහැස්ති කරගෙන දින හතක් ඇතුළත යාගය කරන්නට දිනයක් යොද‌ා ගන්නා ලෙස දන්වා කපු මහතා ඔවුන්ව පිටත් කර හැරියේය. බියත් සමඟම කපු මහතාගේ කීම මත විශ්වාසයෙන් මෙය ඉවත් කිරීමට මගක් පෑදේය යන හැඟීමෙන් දෙදෙනාම පසුවූහ.


“ණය වෙලා හරි මේක කරන්න වෙනවානෙ” කියමින් සුජිත් කීප දෙනෙකුගෙන්ම ණයට මුදල් ද ලබා ගෙන යාගය සිදු කළහ. ඉන්පසු නිවසේ සියලු දෙනාගේ බෙල්ලේ ආරක්‍ෂක නූල් ද දමා නිවසේ හතර කොණේ සහ ගෙවත්තේ හතර කොණේ කුඩා බෝතල්වල මොනවාදෝ දමා ආරක්‍ෂාවට වළ දැමීය. “දැන් ඉතිං කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔක්කොම අමනුස්සයින්ගේ ක්‍රියා අහවරයි”. පවසා කපු මහතා එම කාර්යභාරය නිමා කර යන්නට ගියේය. 


හිතට මහත් සැනසීමකි. කපු මහතා ද කිවූ පරිදි සියලු දෝෂ නිමයි. දැන් ඉතිං ණය ගෙවන්න වැඩ කරන්න වෙනවානෙ” සුජිත් කීවේය. නිවසේ සුපුරුදු පරිදි වැඩ කටයුතු සිදුවිණි. 
මෙලෙස දින කීපයක් ගතවිය. එක්වරම “අනේ අම්මේ” කියමින් මල්කි කෑ ගසන්නට වූවාය. “ඒ පාර මොකෝ” අසමින් මව මිදුලට දිව ගියාය. “මේ අම්මෙ අම්මගේ ඇඳුම් පිච්චෙනවා” කියමින් මල්කි දිල්හානිට රෙදි කීපයක් පිච්චෙනවා පෙන්වූවාය. “මේ මොන අපරාධයක්ද?. මොකක්ද මොකක්ද අපිට මේ වෙන්නෙ. යන්න ගිහින් වතුර බාල්දියක් අරන් එන්න” දිල්හානි මල්කිට පැවසුවාය. 


එදිනම රාත්‍රී හතට පමණ වහළට ගලක් වැදුණි. එ් මොහොතේ සුජිත්ද නිවසේ විය. දිල්හානිත් සුජිත්වත් දෙදෙනාම නිවසින් පිටතට පැමිණ සෝදිසි කරන්නට වුවත් කිසි​ෙකුත් නොවීය. මල්කි පාඩම් කරමින් සිටියාය. මලිඳු නිදිය.


“ණයවලින් බේරෙන්න කීයක් හරි හම්බ කරගන්න කියල මහන්සි වෙනවා. දැන් ආයෙත් මේක ගැන හිතන්න වෙලා. මොනව වෙනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ” සුජිත් දිගු හුස්මක් ගෙන කීවේය. “ඒක තමයි. කරපු දෙයිනුත් පලක් වෙලා නැහැනේ” 


සුජීත් මේ බව තම සේවා ප්‍රධානියා සමඟ පැවසුවේ සුජිත් කල්පනා කරමින් සිටිනු දුටු සේවා ප්‍රධානියා ඔහුගෙන් ප්‍රශ්නයක් දැයි විමසූ වේලාවේය. එවිට ඔහු සියල්ල තම සේවා ප්‍රධානියා හට එකින් එක පැවසීය. 


“ඉතින් කපුවෙකුත් ගෙන්නලා දෙයක් කරලා තියෙද්දිත් මෙහෙම වෙනව නම් ආයෙත් ඔය පස්සේ ගිහිල්ලා තේරුමක් නැහැනෙ සුජීත්. ඕගොල්ලො මං දන්න ඩොක්ට කෙනෙක් ඉන්නවා ඔය ගැන හොයන. ඒවා නැතිකරන. ඔයාලා ඒ ඩොක්ටව පොඩ්ඩක් හම්බ වෙන්න ගිහිං” සේවා ප්‍රධානියා සුජිත්ට පැවසුවේය. 


ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මුණගැසුණි. විද්‍යාකුලපති මහතා සියල්ල හොඳින් විමසීය. ගල් වැදුණු වේලාවන් හා නිවසේ සිටි අය ගැනත් පිළිස්සුණු දේවල් ගැනත් පැහැදිලිව විමසා සිටියේය. 

 


පැය තුනක හතරක කාලයකින් පසුව විද්‍යාකුලපති මහතා නිවැසියන් කැඳවා එම සිදුවීම විස්තර කරන්නට විය. 


“බියක් ඇති කර ගත යුතු නැහැ. සම්පූර්ණයෙන් ගැටලුව විසඳුනා. අදින් පස්සේ මේ නිවසේ ගිනි ගන්නේවත් ගල් ගැසීමක් ඇති වන්නේවත් නැහැ. සියලු දේ අදින් පස්සේ නිමයි” කුලපති මහතා පැවසීය. 


මෙය සිදුකළේ නිවසේ අයෙක්මයි. මෙය සිදුකර ඇත්තේ සියයට සියයක්ම දැනුවත්ව නොවන අතර, මෙය මනෝභාවයක් මත සිදු වූ බවත් විද්‍යාකුලපති මහතා හොඳින් පැහැදිලි කර දුනි. එහි ඇතුළාන්තය මෙසේය. 


එහිදී සිදුවීම පැහැදිළි කරන්නට ප්‍රථමයෙන් මල්කි කැඳවා මෝහන නිද්‍රාවට පත්කර සිදුවීම පිළිබඳව විමසීය. වෛද්‍යවරයා හා මෝහනයට පත් මල්කි අතර සංවාදය මෙලෙස විය. 


වෛද්‍යවරයා : කවුද මේ ගල් ගැහුවේ. ගිනි තැබුවේ? 
මල්කි : අපේ නැන්ද‌ා 
වෛද්‍යවරයා : නැන්ද‌ා කොහෙද ඉන්නේ? 
මල්කි : නැන්ද‌ා මැරිලා. 
වෛද්‍යවරයා : එතකොට කොහොමද ගිනි තිබ්බේ? 
මල්කි : එයා මැරුණට අපේ ගෙදරම ඉන්නවා. සමහර වෙලාවට අපේ 
ගෙදරට එනවා. 
වෛද්‍යවරයා : ඔබට පෙනුණද? 
මල්කි : ඔව්. සැරින් සැරේ මට පේනවා. 
වෛද්‍යවරයා : එතකොට ගිනි තැබුවේ කොහොමද? 
මල්කි : එයා මගේ ඇඟට ඇතුළුවෙලා ඒක කළා. 
වෛද්‍යවරයා : එතකොට ඒ කළේ ඔබේ ශරීරය හරහා? 
මල්කි : ඔව්. 
වෛද්‍යවරයා : එතකොට ගල් ගැහුවේ, ගිනි තිබ්බේ, ඔක්කොම එයාද? 
මල්කි : ඔව්. 


මෙලෙස වෛද්‍ය විද්‍යාකුලපති මහතා සහ මල්කි අතර පැය එකහමාරකට අධික කාලයක් ප්‍රශ්න කෙරුණු අතර, “මෙය ඇත්තටම ඔබේ නැන්ද‌ා විසින් කරපු දෙයක් නෙමෙයි. මෙය ඔබේ සිතේ හටගත් අවස්ථාවක් පමණයි” යනුවෙන් පහද‌ා දී ඇය මෝහන නිද්‍රාවෙන් අවදි කළේය. 


වෛද්‍ය විද්‍යාකුලපති මහතා කරුණු මෙලෙස පැහැදිලි කරන්නට විය. 


“ඇයගේ මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ අම්මා වැඩි අවධානයක් මල්ලී කෙරෙහි තැබීම නිසායි. පාසල් යන විට තනියම ලැහැස්ති වීමට සිදුවීමත් ඒ වේලාවේදීත් අම්මා මල්ලි කෙරෙහි අවධානයෙන් පසුවීමත් පාසල් ගොස් පැමිණි විටදීවත් ඇයට ආදරයෙන් කතා නොකිරීමත් පාඩම් වැඩවලම නිරතවීමට අම්මාගෙන් අණ ලැබීමත් මල්ලීට තරම් ආදරයක් දැන් තමාට නොලැබෙන බව සිතීමත් ආදී හේතු නිසා ඇයගේ හිතේ ඇති වූ මානසික අවපීඩනය නිසායි.


 ඇය සාමාන්‍ය ජීවිතයේදී ඔබටවත් තාත්තාටවත් සහෝදරයාටවත් කිසිම වරදක් කරන්නේ නැහැ. නමුත් මේක අසාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි තැන්වලදී ඇතැමුන් සිතාමතා පළිගැනීමට මෙවැනි දේ කරන අතර, ඇතැමුන් මෙවැනි දේ කරන්නේ අවිඥ‌ානිකවයි. එවිට මේ අම්මා, තාත්තා, සහෝදරයා නේද?, අපේ ධනය නේද? වැනසෙන්නේ? යන හැඟීම ඔවුන්ට දැනෙන්නේ නෑනේ. 


හිස්ටීරියා ලෙස හඳුන්වන මානසික තත්ත්වයේදී පව්, පින්, අම්මා, තාත්තා බව පවා නොසලකා එය කරන අවස්ථා ඇතත් පැහැදිලිව කිව යුත්තේ මෙය ළමයා විසින් සිතාමතා සිදු නොකළ යුත්තක් බවයි. අද සිට ඔබලා විසින් ඔවුන්ට අවශ්‍ය ඒ සියලු මානසික පසුබිම හදන්න. මින්පසු ගැටලුවක් ඇතිවන්නේ නැහැ. නමුත් ළමයා විසින් මෙය සිදු කළා කියා ළමයාට වද හිංසා පමුණුවන්න එපා. ඇයට ආදරය දක්වන්න. 


අද වන විට මල්කිගේ නැන්ද‌ාගේ ප්‍රේත ආත්මය ඇයගෙන් ඉවත් වී වසර කීපයක් ගත වී ඇත. ඉන්පසු කිසිදිනෙක නැන්ද‌ාගේ ප්‍රේත ආත්මය ඇයගේ ශරීරයට ආවේ නැත. මෙවැනි සිදුවීම් ඇත්තටම මුදල් නාස්ති කරගෙන, උන්හිටි තැන් නැති කරගෙන විනාස විය යුතු තත්ත්වයන් නොවේ. නූතන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර තුළ සරල ආකාරයට මේවා සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට පුළුවන්. මෙයින් පසුද කිසිම ගැටලුවක් වන්නේ නෑ.” යි පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් වටහා දෙනු ලැබීය. 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, වූ සත්‍ය සිදුවීමකි.) 

 


සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගේවත්ත