නම පැටලිල්ලෙන් පිහි ඇනුම් කා හැට දෙවසරකට පෙරදී දිවි පිදූ කුරුවිට පොලිසියේ පියසේන රාලහාමි


මීට වසර හැට දෙකකට පෙර එනම් 1956 ජූලි හත් වන සෙනසුරාදායි. හොඳින් හිරු පායා තිබූ ඒ දවසේ පොලිස් කොස්තාපල් (2482) එස්.පී. පියසේන රාලහාමි සිය නිල ඇඳුම වූ කාකි කොට කලිසමත්, උඩුකයට කාකි කබායත් ඇඳ, හිසට කාකි තොප්පියත්, දෙපාවලට කළු සපත්තුත් පැලඳ කුරුවිට පොලිස් ස්ථානයට රාජකාරියට වාර්තා කළේ සුපුරුදු සිහනහවෙන් සහෝදර නිලධාරීන්ට සංග්‍රහ කරමිනි.
 
පැරණි නිවසක පිහිටා තිබූ කුරුවිට පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ කාමරය වූයේ එහි ඉස්තෝප්පුවට යාව පිහිටි කාමරයයි. සැලුන් දොරට යටින් ස්ථානාධිපතිවරයාගේ මේසය සහ පුටුව එළියේ සිටින අයට දිස්වෙයි. රාජකාරියට වාර්තා කළ පියසේන රාලහාමි සටහන් කළ යුතු ලිපිලේඛනවල සටහන් යොදා එදින තමන්ට පැවරී ඇති රාජකාරිය කුමක්දැයි රාජකාරී පැවරුම් පොත පිරික්සීය. 


රාත්‍රියේ අඳුර මකන්නට ආලෝකය දුන් ලන්තෑරුම නිවා දැමුවත් එය චෝදනාගාරයේ මැද වහලේ එල්ලෙමින් තිබිණ. ලන්තෑරුම් එළියෙන් පොත්වල සටහන් දැමිය නොහැකි නිසා චෝදනාගාරයේ මේසය මතට ආලෝකය ගන්නට දල්වා තිබූ චිමිනි ලාම්පුව නිවා පසෙකට කර තබා තිබුණේ තව මොහොතකින් එය ඉවත්කරන තෙක්ය. 


පැමිණිල්ලක් විභාග කිරීමට යාම පියසේන රාලහාමිට පැවරී තිබුණ රාජකාරියයි. එදා සෙනසුරාදා දිනයක් වූ නිසා නගරයට යාබදව තිබූ ආණ්ඩුවේ කන්තෝරු කිහිපය ද නිවාඩුය. මහ සෙනඟක් නොපැමිණිය ද සෙනසුරාදා දවසක් නිසා කුරුවිට කඩමංඩියේ සෙනඟ වෙනදට වඩා වැඩිය. 


පොලිස්ථානයට නැගෙනහිර පැත්තෙන් පහළින් පිහිටි රේල්පාර දිගේ හූ හඬ තබමින් පුංචි කෝච්චිය කුරුවිට ස්ටේෂමට ඉබි ගමනින් ළඟා වෙයි. දවසට දෙතුන් වතාවක් එහා මෙහා යන පුංචි කොච්චියවත්, කෝච්චියේ ‘හූ’ හඬවත් එදා අලුත් දෙයක් නොවීය. එනමුදු “හොස්.... හොස්.... හූ.... හොස්.... හොස්.... හූ....” හඬ නංවමින් කෝච්චිය ස්ටේෂමේ නවත්වනවාත් එක්කම පියසේන රාලහාමිත් පොලිස්ථානයෙන් පිටත් විය. 


පියසේන රාලහාමි මේ පිටව යන්නේ යළි නොඑන ගමන බව ඔහු සිතන්නට නැත. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාන්විත සේවයේ යෙදී සිටිය දී මොලොවින් තුරන් වූ වීර පොලිස් නිලධාරීන්ගේ ලේඛනයේ 47 වැන්නා ද කුරුවිට පොලීසියේ පළමු වැන්නා ද මේ පිටව යන පියසේන රාලහාමි වනු ඇතැයි සහෝදර පොලිස් නිලධාරීහු ද කිසි විටක නොසිතූහ. “සිතු දේ නොම වෙයි, නොසිතු දේ වෙයි” යන වදන් සත්‍ය කරමින් පොලිස් කොස්තාපල් (2482) එස්.පී. පියසේන රාලහාමි සිවිල් වැසියකුගේ පිහි පාරකින් සදහටම මෙලොවින් සමුගත්තේ කුරුවිට පොලිස් වසමේ තෙප්පනාවට නුදුරු බටේමග ප්‍රදේශයේ දීය. 


ඒ වනවිට සිව් දරු පියෙකු වූ පියසේන රාලහාමිගේ වින්නඹු මාතාවක වූ ගර්භණී තත්ත්වයේ පසුවූ දයාබර බිරිඳ පස් වැනි දියණිය බිහිකරන්නට සූදානමින් සිටියාය. 


“දොරේ මාමා එයාගේ කාර් එකේ මාවයි අම්මවයි, ආතාවයි එක්කගෙන ගියා. ගිහිං කාර් එකෙන් බැහැලා ගොඩාක් දුර පයිං ගියා. වැටවල් පැනලා, පොඩි අඩිපාරවල්, දෙවැටවල් පහු කරගෙන ගියේ. එතකොට මගේ වයස අවුරුදු හයයි. එහෙම යනකොට තැනිතලා තැනක සෙනඟ වට වෙලා හිටියා. සමහරු උඩුකය නිරාවරණය කරගෙන හිටියේ. කමිසයක් ඇඳලා හිටිපු අය හිටිය ද මතක නෑ. තාත්තා වගේ කාකි කොට කලිසම් කාකි කමිස ඇඳගෙන රාලහාමිලා දෙතුන් දෙනකුත් හිටියා. 

 

දිග කලිසමක් ඇඳගත් ඉන්ස්පැක්ටර් මහත්තෙක් තව කෝට්බෑයක් දාගත්තු මහත්තෙක් එක්ක මේසයක් තියාගෙන මොනවද ලිය ලියා හිටියා. අත්දෙකට යකඩ දම්වැල් දාලා සරමක් ඇඳගත්තු කෙට්ටු මිනිහෙක් ඒ ළඟ ඇන තියාගෙන වාඩිවෙලා හිටියා. වටපිට බලද්දී මැස්සක් හදලා ඒ මැස්ස උඩ සුදු රෙද්දකින් වහලා යමක් තිබුණා. 


රාලහාමි කෙනෙක් ඒ රෙද්ද අයින් කළා. අපේ පප්පා පොලීසියේ ඇඳුම පිටින් ඒ මැස්ස උඩ. මගේ අත අල්ලාගෙන හිටිය අම්මා අත්දෙකෙන් මුහුණ වහගෙන කෑගහ කෑගහ අඬන්න වුණා. සීයත් ඇඬුවා. මට මොකක් වුණා ද කියලා හිතාගන්න බෑ...” 

 

 

රාජකාරියේ දී දිවි දුන් වීර පොලිස් නිලධාරී පියාණන්ගේ අවසන් මොහොත සිය හදවතේ සනිටුහන් වූ හැටි විශ්‍රාමික පොලිස් සැරයන් එස්.ඒ. ප්‍රේමසිරි පියසේන (69) මහතා සිහි කළේ එලෙසය. 


රාජකාරි කටයුත්තක යෙදී සිටිය දී සිවිල් වැසියකුගේ පිහි පහරකින් මෙසේ දිවි දුන් වීර පොලිස් නිලධාරී සිංගන්කුට්ටි ආරච්චිල්ලාගේ පියසේන තරුණ රාලහාමිගේ උපන්ගම කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇදුරාපොත ය. එම ගමේ පදිංචිව සිටි සිංගන්කුට්ටි ආරච්චිල්ලාගේ පීරිස් අප්පුහාමි පියාය. පොලිස් දෙපාර්තමේන්තුවට බැඳී අවුරුදු තිස් හයේදී අකල් මරණයට පත්වන විට ඔහු සිය බිරිඳ සහ දරුවන් සමඟ ජීවත් වූයේ කුරුවිට නගරයේ කුලී නිවසක ය. 
පියසේන රාලහාමි විවාහ වී තිබෙන්නේ අවුරුදු විසි අටේ දී යැයි අනුමාන කෙරේ. බිරිඳ වන්නේ රත්නපුර කොළඹ පාරේ අමුතාගොඩ (දැන් මේ ප්‍රදේශය හිදැල්ලන නමින් ද හඳුන්වයි) පදිංචිව සිටි හෙට්ටි ආරච්චිලාගේ ජේමිස් පීරිස් මහතාගේ සහ එම මහත්මියගේ දියණියක වූ ප්‍රේමවතී පීරිස් මහත්මියයි. ඇය එකල ලංකා වෛද්‍ය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වින්නඹු මාතාවකි. 


පියසේන රාලහාමි මේ අකරතැබ්බයට මුහුණ දෙන විට ඔහුගේ බිරිඳ කුරුවිට, දෙවිපහළ - ඇඳිරියන්වල වසමේ වින්නඹු මාතාවයි. මේ කියන කාලයේ දරු ප්‍රසූති සිදුවන්නේ ගෙවල්වල දීමය. ඒ නිසා “වින්නඹු මාතාව”ට ගම්වල තිබුණේ විශාල පිළිගැනීමකි. අද “පවුල් සෞඛ්‍ය සේවිකාව” ලෙස හඳුන්වන්නේ එදා “වින්නඹු මාතාව” යැයි ද කියනු ලබයි. 


මේ යුවළ විවාහ වෙන්නේ 1949 පෙබරවාරි 24දාය. ඊට දින දාහතරකට පෙරදී නම් ප්‍රසිද්ධ කිරීම කර ඇත්තේ දිනපතා පුවත්පතක එය පළ කිරීමෙනි. විවාහය වනවිට පියසේන රාලහාමි කෑගල්ල පොලීසියේ රාජකාරියේ නිරතව සිට ඇත. බිරිඳ කුරුණෑගල, දීගල්ලේ රාජකාරී කර තිබේ. 


පියසේන රාලහාමිගේ වැඩිහල් පුතා විශ්‍රාමික පොලිස් සැරයන් එස්.ඒ. ප්‍රේමසිරි පියසේන (69) මහතා දැන් ජීවත්වන්නේ රත්නපුර හිදැල්ලනය. ඔහු පොලිස් සේවයට බැඳී රාජකාරී කරද්දී කුරුවිට පොලීසියේ ද සේවය කර ඇත. මේ ඔහුගේ මතකයයි. 


“ඔය සිද්ධිය වෙනකොට මමයි ලොකු නංගියි ඉස්කෝලේ යනවා. හිග්ගස්වත්ත ඉස්කෝලෙට අපි ආවේ. අපේ පන්තියේ ළමයි දහ දෙනකුට වැඩිය හිටියේ නෑ. අපි නැවතිලා හිටියේ කුරුවිට කේ.එම්.එස්. මුදලාලිගේ ගෙයක් කුලියට අරගෙන. තව නංගිලා දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා පොඩියි. අම්මට පොඩි නංගි හම්බ වෙන්න හිටියේ. තාත්තා අන්ත්‍රාවෙලා දින හතේ දානේ දවසේ තමයි අම්මාට අමාරු වෙලා පොඩි නංගි ඉපදුණේ...” 
එස්.ඒ. ප්‍රේමසිරි පියසේන වැඩිමලාය. ඊළඟට එස්.ඒ. මල්ලිකා පියසේනය. ඊළඟට එස්.ඒ. සෝමලතා පියසේනය. සිව් වැන්නී එස්.ඒ. චන්ද්‍රානි පියසේනය. පියාගේ සත්දින බණ දා ඉපදුණ බාලයා එස්.ඒ. ධර්මලතා පියසේනය. ඔවුන් ද දැන් හැටවන විය ඉක්මවූවෝ වෙති. 


“තාත්තා මරලා කියලා සීයලා, මාමලා කතාවෙනවා තේරුණා. අම්මාගේ තාත්තා ඒ කියන්නේ අපේ සීයාගේ ගෙදරට තමයි තාත්තාගේ මිනිය ගෙනාවේ. මිනිය ගෙදරට ගේනකොට කට්ටිය ඇඬුවා. ඒ අඬන අය දිහා බලාගෙන නංගිලාත් මහ හයියෙන් ඇඬුවා. මිනිය අරං ආවේ පොලීසියේ රාලහාමිලා. ඒ කාලේ රත්නපුරේ පුලුඟපිටියේ තිබුණා සෙනෙවිරත්න මල් ශාලාව කියලා එකක්. ඒකේ තිබුණ ලොකු චවලට් වෑන් එකක වගෙයි මිනිය අරගෙන ආවේ...” ප්‍රේමසිරි පියසේන ඒ සිද්ධිය විස්තර කළේය. 


අවසන් කටයුතු කර ඇත්තේ පොලිස් උත්තමාචාර මැද ආචාර වෙඩිමුර ද පවත්වා හිදැල්ලන පොදු සුසාන භූමියේ දීය. මේ වකවානුවේ එවැනි අවමඟුලක් දැක ගැනීම දුර්ලභ අවස්ථාවකි. 


පියසේන රාලහාමිට පිහි පහර එල්ලවෙන අවස්ථාවේ ඔහු සමඟ සිටි කාරියවසම් මාජුවාන ගමගේ අර්නෝලිස් ඩයස් නොහොත් ඩයස් බාසුන්නැහැ සිද්ධිය ගැන කී ආකාරය දිවි පිදූ පියසේන රාලහාමිගේ පුත් දැන් විශ්‍රාම සුවයෙන් සිටින පොලිස් සැරයන් ප්‍රේමසිරි පියසේන මහතාට මතකය. 


“අපේ පප්පාට තිබුණා බී.එස්.ඒ. වර්ගයේ මෝටර් සයිකලයක් (පප්පා ලෙස හඳුන්වන්නේ තාත්තාය). ඒක කොළ පාටයි. ඒක හදන්නේ ඔය ඩයස් බාසුන්නැහැ. අපි එයාට කිව්වේ ඩයස් මාමා කියලා. සිද්ධිය වෙන දවසේ ඩයස් මාමා පප්පා හම්බවෙන්න උදේ කුරුවිට ගිහිං තියනවා. ඊට පස්සෙ පප්පා කියලා තියනවා තෙප්පනාව, බටේමග, පොහොරබාව පැත්තේ පැමිණිල්ලක් විභාග කරන්න යනවා එහෙ යමු කියලා. දෙන්න එක්ක ගිහිං තියෙන්නේ. 


කුරුවිට ඉඳලම ගුරු පාරවල්වලින් පයින් ගිහිං තියෙන්නේ. එහෙම යනකොට ඔය බටේගම කියන හරියෙදි මිනිහෙක් උල් පිහියකින් ලීයක් රැහැ රැහැ ඉඳලා. පප්පා ඒ මිනිහගෙන් උල් පිහිය ඉල්ලගෙන අතටත් අරං බලලා ආපහු දීලා කිව්වාලු ඕක පේන්න තියාගන්න එපා වත්තට ගෙනිහිං රැහැලා ගෙයි තියපං කියලා. එහෙම කියලා පප්පයි ඩයස් මාමායි ඉස්සරහට යනකොට පිටිපස්සෙන් කවුරුහරි එන සද්දයක් ඇහිලා හැරිලා බලන කොටම ඒ මිනිහා පප්පගේ පපුවට පිහියෙන් ඇන්නලු. 


පප්පාගෙ නිල ඇඳුමේ වම් සාක්කුවේ දාලා තිබුණ සාක්කු සටහන් පොතත් හිල්කරගෙන පිහිපාර පපුවට වැදිලා තියනවා. තාත්තා එතනම මැරිලා. ඒ කාලේ ළඟපාත ඉස්පිරිතාලයක් නෑ. ගේන්න ක්‍රමයක් නෑ. තාත්තාගේ මිනිය රැයක් එතන තිබිලා. පොලීසියේ රාලහාමිලයි ගමේ අයයි මුරට ඉඳලා තියෙන්නේ. පහුවදා තමයි අපිත් එක්කගෙන ගිහිං මහේස්ත්‍රාත්තුමා ඇවිත් හදිසි මරණ පරීක්‍ෂණය තියලා තිබුණේ. 


තාත්තට පිහියෙන් ඇන්න මිනිහා තමයි අර ඇන තියාගෙන වාඩි වෙලා ඉඳලා තියෙන්නේ. පිහියෙන් ඇනලා මිනිහා කුරුවිට පොලීසියට ගිහිං භාර වෙලා කියලා ආරංචි වුණා. මට තරමක් දැනුම් තේරුම් වෙනකොට තමයි ඔය සිද්ධි මතක් වුණේ. 


ඩයස් මාමා නිතරම අපේ ගෙදර ආවා ගියා. පප්පා මරපු නඩුවේ සාක්කිකාරයෙක් ඩයස් මාමා. අම්මත් නඩුව දවසට උසාවි යනවා. නඩුව තිබුණේ රත්නපුරේ ඔරලෝසු කණුව ළඟ ඕලන්ද බළකොටුවේ තිබුණ උසාවියේ. පප්පා මරලා තියෙන්නේ වැරදීමකින් කියලා මිනීමරුවා පිළිගත්තා කියලා ඩයස් මාමා නඩුව යන අතරේ කියලා තියනවා. 


පප්පට පිහියෙන් ඇනලා තිබුණෙ ගුනේරිසා කියලා කෙනෙක්. ‘යකඩයා’ කියල කිව්වමලු දන්නේ. කසාද බැඳපු කෙනෙක්. එයා අලි බැලුවා කියලත් කියනවා. දවසක් මේ මනුස්සයා කුරුවිට කඩමංඩියේ (අද කුරුවිට නගරයේ) බීලා කෑකෝ ගහන කොට පොලීසියේ රාලහාමි කෙනෙක් ඇවිත් මිනිහව අල්ලගෙන තරවටු කරලා පොලීසිට ගිනිහිං. ඒකාලේ ඉතිං තරවටු කරනවා කියන්නේ දෙක තුනක් අනින්නත් ඇති. වෙරි හිඳෙනකං කූඩුවට දාලා තියලා. අල්ලගෙන ගිනිහිං තියෙන්නේ කුරුවිට පොලීසියේ පියසේන කියලා හිටිය තව රාලහාමි කෙනෙක්. ඒ රාලහාමි එක්ක මේ විත්තිකාරයා අමනාපෙන් ඉඳලා තියෙන්නේ. 


‘මං ඔය පියසේන රාලහාමියට හොඳ පාඩමක් උගන්වනවා. ඕක මට කළ දේට මම පළිගන්නවා’ ආදී විදියට ගමේ හැමතැනම බීලා කියවනවලු. අපේ පප්පත් පියසේනනේ. මිනිහගේ පිහිය අරගෙන පේන්න තියාගන්න එපා කියලා අවවාද කළේ පප්පා නිසා කවුරුහරි මිනිහට කියලා තියනවා ඔය යන්නේ පියසේන රාලහාමි කියලා. කේන්තියෙන් හිටපු මේ මිනිහා පන්නාගෙන ඇවිත් පප්ප එතනම මැරෙන්න පිහියෙන් ඇනලා. ඩයස් මාමා ගෙදර ආවාම සීයලා සමඟ කතා වෙනවා ඇහිලා තියනවා. 


නඩුවෙන් ‘යකඩයා’ වරදකරු වෙලා ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වෙලා තිබුණා. ඔහොම යනකොට පප්පා අන්ත්‍රාවෙලා අවුරුදු දාසයක් ගතවුණා. 1972 දී මමත් පොලීසියට බැඳුණා. බස්නාහිර පළාතේ, උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරලා පප්පා සේවය කරපු කුරුවිට පොලිස්ථානයෙත් මම කලක් සේවය කළා. ඊට පස්සේ ඇඹිලිපිටියට මාරුවෙලා මම 1995 නොවැම්බර් මාසයේ විශ්‍රාම ගත්තා.” පොලිස් සැරයන් ප්‍රේමසිරි පියසේන මහතා කීවේය. 


දිවි පිදූ එස්.ඒ. පියසේන රාලහාමි කවි ලියන්නට සමතෙකි. විවාහ වීමට පෙර පොලිස්ථාන කිහිපයකම ඔහු වැඩකර තිබුණි. එදා රාජකාරී කටයුතුවලින් විවේක ලැබූ බොහෝ තනිකඩයන් පුවත්පත් කියවීම, පෑනේ මිතුරන්ට ලිපි ලිවීම, පොත්පත් කියවීම සිය විනෝදාංශය කර ගත්හ. අද මෙන් වෛවාරන්න කාබන් පෑන් නොතිබුණි. තීන්ත බෝතලයේ ඔබ ඔබා ලියන කටු පෑන ජනප්‍රියම පෑනයි. පියසේන රාලහාමි නිදහස් වෙලාවට බැරැක්කේ සිට කවි ලිවීය. 


පොලිස් බැරැක්කය සිරගෙයකැයි ඔහු සිය ප්‍රේමවන්තියට කවි පද බැන්දේය. ඒ විවාහයට පෙරය. දිනපතා වැඩ අවසන් වූ පසු තම ප්‍රේමවන්තිය ගැන කවියක් දෙකක් සටහන් කරන්නට අමතක නොකළේය. 1948 ඔක්තෝබර් 17 දින සහ 19 දින ඔහුගේ අත්අකුරින් ලියූ කවි දෙකක් පහත දැක්වෙයි. ඔහු ලියූ කවි පෙළක 76 සහ 77 ලෙස ඒ කවි දෙක අංකනය කර ඇත. 


හදවත පලා ඉන් නොමවන විරහා
බිඳකුත් සෙනෙහස පිළිබඳ නැති පරහා
සිනිමා තරුව පෙම් ලොව ගත් රූ සරහා  
‘තී හරි සුදිය’ කීවට නෑ නොම තරහා 
මා පෙම් කිරිල්ලව නිති සිප සැන සෙන්න  
මේ පෙංටෙන් එක එවනෙමි සතුට  
ඒ හැර තවත් පෙම්කොවුලාගෙන් ඔබට  
මේ සමඟම ඇති දහයක් හාදු කැට 


කුරුවිට පොලිස්ථානයේ රාජකාරි කරමින් සිටිය දී දිවි පිදූ එස්.ඒ. පියසේන රාලහාමි කලාකාමී කවියෙකි. විසි අට වන වියේදී පෙම්වතකු ලෙස තැබූ සටහන් කිහිපයක් සිහිවටන ලෙස තිබුණ ද විවාහයෙන් පසු ඔහුගේ කවි සටහන් ද සොයා ගන්නට නැත. 


මෙවන් කලාකාමියකුගේ හදවත නිහඬ කළ ඒ අපරාධකරු අවුරුදු විසි අටකට ආසන්න කාලයක් සිරඳඩුවම් විඳ පොදු සමාවක් ලැබ නිදහස්ව පැමිණිය ද කෙටි කලක් තුළ සිය දිවි හානි කරගත් බව තමන් කුරුවිට පොලීසියේ සේවය කරද්දී දැනගන්නට ලැබුණ බව පියසේන රාලහාමිගේ වැඩිමහල් පුත් විශ්‍රාමික සැරයන් ප්‍රේමසිරි පියසේන මහතා පැවසුවේ ය. 


කුරුවිට නගරයට දැන් කෝච්චිය එන්නේ ද නැත. කුරුවිට පොලීසියේ පැරණි ගොඩනැගිල්ල අද නැත. එය නවීකරණය වී තිබේ. අද එහි ස්ථානාධිපති ලෙස කටයුතු කරන්නේ පොලිස් පරීක්‍ෂක ඒ.ඒ.පී.ඒ. කුලතුංග මහතා ය. මෙම ලිපිය සැකසීමේ දී අමුතාගොඩ පදිංචි විශ්‍රාමික එස්.පී. සුමනදාස මහතා දුන් සහාය ස්තුති පූර්වකව සිහිපත් කරන්නෙමි. 

 

 

 

 


අජිත්ලාල් ශාන්තඋදය