දුම්රිය පාර නඩත්තු කරන්න යන්නේ මෙහෙමයි


 

කෝච්චිය, කෝච්චි පීලි දෙකක් උඩ යන්නේ. ඒ බව ඔබත් මමත් දෙදෙනාම විතරක් නෙවෙයි. අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. කෝච්චිය නිවැරැදි ලෙස කෝච්චි පීල්ල උඩ යවන්න නිතර නිතර ඒ ගැන පරීක්ෂාවෙන් හා සුපරික්ෂාවෙන් ඉන්න ඕනි. ඒ සඳහා දුම්රිය ස්ථානයකට ඇවිල්ලා කෝච්චියේ ගියාට, අපි දුම්රිය මාර්ගයේ නඩත්තු සේවකයන් පිරිසක් දිවා රාත්‍රී වෙහෙසා වැඩ කරනවා. අපි දුම්රිය ස්ථානයට ඇවිල්ලා කෝච්චියේ ගියාට, අපි දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු සිදුවෙන්නේ කොහොමද කියලා මොහොතක් හරි හිතුවා ද? ඒ සඳහා අවශ්‍ය උපකරණ මොනවාද කියලා ඔයාලා දන්නේ නැතිව ඇති. ඒවාගේම ඒවා දැකලත් නැතිව ඇති.  


දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා අදටත් බොහෝමයක් විට භාවිතයට ගැනෙන්නේ පැරණි එ්වාගේම බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන උපකරණයි. ඒවාගේම දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සඳහා දැන්නම් නවීන උපකරණ සහ පැරණි උපකරණ යන දෙවර්ගයම භාවිතයට ගන්නවා. අපි පැරණි සාම්ප්‍රදායික දුම්රිය නඩත්තු උපකරණ කිහිපයක් දැකබලා හඳුනා ගනිමු.  


දුම්රිය මාර්ගය සඳහා විවිධ වර්ගයේ ඇණ වර්ග භාවිතයට අරගෙන තියෙනවා. සිල්පර කොට රේල් පීල්ලට සවි කිරීමටත්, කොන්ක්‍රීට් සිල්පර රේල් පීල්ලට සවි කිරීමටත්, යකඩ සිල්පර රේල් පීල්ලට සවි කිරීමටත්, රේල් පීලි එකිනෙකට සවි කිරීමට විවිධ හැඩයේ, විවිධ දිග ප්‍රමාණයේ ඇන වර්ග භාවිතයට අරගෙන තියෙනවා. මෙම ඇණ තද කිරීම සඳහා විවිධ වර්ගයේ මිටි වර්ග සහ විවිධ හැඩයේ ඇණ තද කරන යතුරු වර්ග භාවිතයට ගන්නවා. සමහර මිටි වර්ගවලට නම් තියෙනවා. සමහර මිටි වර්ගවලට නම් නෑ. ඇණ තද කරන යතුරු වර්ගත් එහෙමයි. සිල්පර කොටවලට සවි කරලා තියෙන ඇණ ගැලවීම සඳහා විශේෂ වර්ගයේ හතරැස් දිගු මිටක් සහිත තනිකරම වාත්තු යකඩයෙන් නිෂ්පාදිත අඬුවක් වැනි ලීවර උපකරණයක් භාවිතයට ගන්නවා. සිල්පර ඇණයේ හිස ආසන්නයේ මෙම අඬුව වැනි කොටස රඳවා ලීවරය වැනි මිට කොටසට බරක් (ශරීර බර) යෙදවීමෙන් සිල්පර ඇණය ගලවා ගැනීමට පුළුවන්.  


දුම්රිය මාර්ගයේ සපත්තුව කියලා කියන්නේ දුම්රිය පීලි දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නා යකඩ පට්ටමක්. එවැනි සපත්තු දෙකකින් තමයි දුම්රිය පීලි දෙකක් එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්නේ.  


දුම්රිය මාර්ගයක සමතුලිතතාව ආරක්ෂා කර ගැනීමටත්, එහි සමමිතිකතාව තියෙනවාද කියලා පරීක්ෂා කිරීම සඳහා විවිධ වර්ගයේ ලෙවල් (ද්‍රව - ස්පිරිට් ලෙවලය) භාවිතයට ගන්නවා. ඒවා රේ ගේජය ලෙසටත්, කෙළවර කෙළින් ඇති ලෙවල් ලෙසටත් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වාගේම පඩිපෙළක හැඩැති කෙළවර ඇති ලෙවල් වර්ග ද භාවිතයට ගන්නවා. මෙම ලෙවල් වර්ග අපි එදිනෙදා භාවිතයට ගන්නා ස්පිරිට් ලෙවල් වර්ග මෙන් කුඩා නෑ. ඒවා දුම්රිය පීලි දෙක අතර පරතරයට ඔබින ලෙස තමයි නිර්මාණය කරලා තියෙන්නේ.  


දුම්රිය මාර්ගයක පීලි ගලවා සවි කිරීමේදී දුම්රිය පීලි තදකර අල්ලා ගැනීම සහ එහා මෙහා කිරීමට කතුරක් වැනි උපකරණයක් භාවිතයට ගන්නවා. එය රේල් අඬුව ලෙසට තමයි නම් කරලා තියෙන්නේ. එහි හැඬල දෙකක් තියෙනවා. ඒ වාගේම පීල්ල අල්ලන කොන පීල්ලේ පිටත හැඩය හා සමානකමක් තමයි තියෙන්නේ.  


සිල්පර කොට විදීමට අවකාරය නම් උපකරණය භාවිතයට ගන්නවා. ඒ වාගේම විදුලියෙන් ක්‍රියා කරන අවකාර ද අද භාවිතයට ගන්නවා.  


තවත් දුම්රිය මාර්ගයක සිදුවෙන විශේෂ නඩත්තු කටයුත්තක් තමයි දුම්රිය මාර්ගය දිගේම ලිහිසි තෙල් වර්ගයක් (කළු තෙල්) ආලේපනය කිරීම. මෙම ක්‍රියාව දුම්රිය ජංගම මුරකරු විසින් තමයි සිදු කරන්නේ.  


වර්ෂයකට වතාවක් සිදුවෙන තවත් විශේෂ දුම්රිය නඩත්තු කටයුත්තක් තමයි දුම්රිය බිංගෙය සුපරික්ෂාව. ඒ සඳහා සුවිශේෂ වූ උපකරණ කිහිපයක් භාවිතයට ගන්නවා. දුම්රිය බිංගෙය සුපිරික්ෂාවේදී සෑම බිංගෙයක්ම පරීක්ෂාවට ලක් වෙනවා. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු සේවකයන් යොදවා ගන්නවා. මේ සඳහා තට්ටු කිහිපයක් බඳින ලද ඩක්කුවක් උඩ සිට බිංගෙය බිත්තිවලට විශේෂ වූ මිටි වර්ගයකින් තට්ටු කිරීමෙන්, බිංගෙය බිත්ති නැවත සකස් කළ යුතු ස්ථාන සොයා ගැනෙනවා. බිංගයේ උස පළල ආදිය ද එහිදී මනිනවා. බිංගයේ යම් කෝනයකට ඇලවී තිබෙනවා ද කියලත් එහිදී සුවිශේෂ වූ උපකරණයකින් පරීක්ෂා කරලා බලනවා.  


බ්‍රිතාන්‍යයන් දුම්රිය මාර්ග ඉදිකිරීමට පටන් ගත් කාලයේ ඉඳලාම අදටත් භාවිතයට ගැනෙන වාෂ්ප බලැති දොඹකරය ආධාරයෙන් පාලම් අලුත්වැඩියා කිරීමත්, අලුතින් පාලම් නිර්මාණය කිරීමේදීත් භාවිතයට ගන්නවා.  


සමහර දුම්රිය ස්ථාන සහ ඒ ඒ දුම්රිය කොටස භාර ස්ථිර වැඩ පරීක්ෂක කොටසට අයත් ස්ථිර වැඩ පරීක්ෂක කාර්යාලය හා අනුබද්ධව තියෙන දුම්රිය මාර්ග නඩත්තු අංශය සතුව කම්හලක් ද ඉස්සර කාලයේ තිබිලා තියෙනවා. එහිදී කැඩී බිඳී යන උපකරණ අලුත්වැඩියාව, භාණ්ඩ මුවහත් කිරීමත්, අලුතින් භාණ්ඩ නිපදවීමත්, පිහි, උදලු, ඇණ ආදිය තද කරන උපකරණ, දම්වැල් ආදිය හදලත් තියෙනවා කියලා දැන ගන්න ලැබෙනවා.  

 

 


ඉන්දක කරුණාදාස