ද්විත්ව ඝාතනයට වරදකරු සොයා දුන් රෙජී


නිල සුනඛයන්ගේ වික්‍රම-03   

 

පොලිස් නිල සුනඛ රෙජී

නලින් සමග පොලිස් නිල සුනඛ රෙජී

නලින් සමග පොලිස් නිල සුනඛ රෙජී

 

පොලිස් නිලධාරීන්ට මෙන්ම පොලිස් නිල සුනඛයන්ට පැවරෙන රාජකාරි ද, එකිනෙකට වෙනස්ය. වරෙක මත්ද්‍රව්‍ය වැරදිකරුවකු පසුපස හඹා යන උන්ට තවත් වරෙක ඊට ඉඳුරාම වෙනස් මිනීමැරුමක් සොයා යාමට සිදු වේ. පොලිස් නිල සුනඛ රෙජීට කියා එහි වෙනසක් නැත. එහෙත් ඌගේ සුවිශේෂී දක්ෂතාවක් තිබේ. ඒ මිනීමරුවන් සොයා යාමේ අපූර්ව හැකියාවයි. 


2015 වසරේ සීතල නුවරඑළිය පූඩළුඔය ප්‍රදේශයේ ද්විත්ව මිනීමැරුමක් සිදු විය. එය සොයා ගත්තේ නිල සුනඛ රෙජීය. මිනීමැරම සිදුවී ඉතාමත් කෙටි කාලයක් තුළ මේ රහස් පරීක්ෂකයා කැඳවාගත් නිසා ඊට අවශ්‍ය සාක්ෂි සමගම වැරදිකරුවා අල්ලා ගැනීමට හැකියාව ලැබුණි. එසේ නොවන්නට මෙම මිනීමැරම ද ඔප්පු කිරීමට හැකියාවක් නොලැබී කාලයේ වැලිතලාවෙන් වැසී යනු නිසැකය. 


එදා සීතල නුවරඑළිය උණුසුම් කරන පුවත වූයේ එම සිදුවීමය. ඒ පූඩළුඔය ප්‍රදේශයේ එකම පවුලේ මව සහ දියණිය ඉතාමත් සාහසික අන්දමින් කපා කොටා මරා දමා ඇති පුවතකි. 


සාමාන්‍යයෙන් අප්‍රේල්, මැයි මාසය නුවරඑළියට වසන්තය උද‌ාවන කාලයකි. ඒ කාලයේදී විවිධ ප්‍රදේශවලින් විශාල වශයෙන් ජනතාව ඇදී එන්නේ එහි අසිරිය විඳගැනීමේ චේතනාවෙනි. ඒ අතරේ විවිධ විෂමාචාර, අපරාධවල නිරතවන පුද්ගලයෝද නැතුවාම නොවේ. ඔවුන්ගෙන් අහිංසක ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නුවරඑළිය පොලීසියට අමතර පොලිස් නිලධාරීන් පිරිසක් ද කැඳවනු ලබති. මහනුවර සිට පොලිස් කොස්තාපල් (67126) නලීන් විජේසිරිට තම නිල සුනඛ රෙජී රැගෙන විශේෂ රාජකරියක් සඳහා නුවරඑළියට යාමට සිදු වූයේ ඒ නිසාය. එහෙත් ඔහුට සිදු වූයේ බලාපොරොත්තු නොවූ ආකාරයේ වෙනත් රාජකාරියක් ඉටු කිරීමටය. 
පොලීසියේ රාජකාරි කරන සෑම දෙනාටම සුන්දර නුවරඑළිය වැනි ප්‍රදේශයක රාජකාරි සඳහා යාමට අවස්ථාව ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම වසන්ත කාලයේදී. එහෙත් රෙජී ඒ වාසනාව නලින්ට හිමිකර දුන්නේය. නුවරඑළියට ගිය නලින් සහ රෙජී ට අතපය දිගහැර විවේක ගැනීමටවත් අවස්ථාවක් ලැබුණේ නැත. පූඩළුඔය පොලීසියෙන් ලබා දුන් දුරකතන ඇමතුමකට අනුව පාන්දරම රෙජීද රැගෙන, ශ්‍රී නිවාස තුන කොටසේ ලැයිමට යන විට ද්විත්ව ඝාතනයක් සම්බන්ධ​ෙයන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබිණි. ඒ දමිළ ජාතික මවක සහ දියණියකගේ මිනීමරුවා සම්බන්ධයෙනි. තේ වත්තක කන්දක් උඩ ඔවුන්ගේ නිවෙස පිහිටා තිබිණි. 
පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් පැවසූ තොරතුරුවලට අනුව අසල්වැසියන් පවසා තිබුණේ, අලුයම හතරට පමණ මෙම නිවෙස දෙසින් “අනේ අපිව බේරා ගනියෝ” යනුවෙන් ඉතා උස් හඬින් කෑගසන ශබ්දයක් ඇසී තිබෙන බවත් එය උපරිම අවස්ථාවට ගොස් නොඇසී ගිය බවත්ය. හදිසියේ ඇති වූ කෑ ගැසීම නතරවීම ගැන අසල්වැසියන්ට ඇති වූයේ ප්‍රශ්නයකි. නිදි යහන්වල සිටිය ඔවුහු වහාම නැගිට කෑ ගැසීම ඇසුණු නිවෙසට ගිය විට දක්නට ලැබුණු දෙයින් විශ්මයට පත්විය. ටික වේලාවක් යනතුරු කිසිවෙක් තකා කළේ නැත. මව සරෝජාත් දියණිය නිත්‍යකල්‍යාණිත් සාලයේ කපා කොටා මරා දමා තිබුණහ. 


නලීන් ගේ සහායට තවත් පොලිස් කොස්තාපල් කෙනෙක් ද එක්ව සිටියේය. ඔහු තම සහායකයාට උපදෙස් ලබා දුන්නේ කිසියම් සැකකටයුතු පිහියක් හෝ වෙනත් දෙයක් තිබේදැයි සොයා බලන ලෙසයි. ඒ වෙන කිසිවක් නිසා නොව රෙජීට සැකකරුගේ ඉවක් ලබා දිය යුතු බැවිනි. මත් කුඩු, මත්‍ද්‍රව්‍ය වැනි දෙයක් ගැන නම් නිල සුනඛයන්ට අමුතුවෙන් ඉවක් ලබාදීම අවශ්‍ය නොවේ. එහෙත් මෙය මිනීමැරුමක් සම්බන්ධයෙන් තොරතුරු සොයා යාමකි. අලුත් අත්දැකීමකි. 


මව සහ දියණියගේ මෘත දේහයන් අසළ සහ කාමරවලත් එළියේ සැම තැනකම සොයා බලන විට පාවහන් යුවළක් දක්නට ලැබිණි. ද්විත්ව ඝාතනය සිදු වූ නිවසේ දොර අසල ඇතුළු පැත්තේ එය ගලවා දමා තිබුණි. එය ඉහළට ඉලිප්පුණ තිත් සහිත පාවහන් යුවළකි. මිය ගිය දෙදෙනාටම අයිති නොවන බව දුටු සැණින් වටහා ගැනීමට නලින්ට හැකි විය. ඔහු එය රැස්ව සිටි පිරිසෙන් විමසන ලදී. එයට අයිතිවාසිකම් කීමට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. ඔහුගේ සැකය තවදුරටත් වර්ධනය විය. එහි සටහන් තබා ගත් නලීන් අවසානයේ එම පාවහන් යුවළ ඉව කිරීමට රෙජීට ලබා දුන්නේය. ඒ වන විට රෙජී බොහෝ වේලාවක් විවේක සුවයෙන් කාලය ගත කර තිබුණි. ඒනිසා ඌගේ මහන්සිය පහව ගොසිනි. 


පාවහන් යුවළ ඉව කිරීමට ලබාදීමෙන් පසු රෙජී බැඳ සිටි රැහැන් පටිවලින් මුදා හළ නලින්, ඌ පසුපස තම පොලිස් කණ්ඩායම සහ ගමේ කිහිප දෙනෙකු සමග ඉදිරියට ගමන් කළේය. ඔවුහු මිනීමැරුම සිදු වූ නිවසට ඉදිරියෙන් වූ ලැයිම් කාමර අසළින් වම්පසට වැටී ඇති අඩිපාර දිගේ ඉදිරියට ගොස් ප්‍රධාන පාරට වැටුණේය. රෙජී එතැන නැවතුණේය. එහිදී නැවතත් සපත්තුවේ ඉව ලබාදුන් ඔහු ඉව සොයා යන ලෙස රෙජීට දැනුම් දුන්නේය. ඊට පසු ඌ පහළින් ඇති තවත් අඩිපාරක් දිගේ ගමන් කර දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිරියේ නැවතුණේය. 


නැවතත් ඉව අල්ලමින් එම ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළුව තරප්පු පෙළ දිගේ ඉහළට ගොස් දෙවන මහලේ පිහිටි නිවෙසක නිදන කාමරයක් තුළ ඇඳක් අසළට ගොස් එහි ඇඳ යට තිබූ රෙදිවලට ඉව ඇල්ලූ රෙජී, බිම වාඩි වී නලින් ගේ මුහුණ බැලුවේය. ඔහු එම රෙදි ඉවතට ගෙන දිග හැරීය. සරමක්, ටී ෂර්ටයකි. රෙදි වල ලේ තැවරී තිබුණි. 

පාවහන් යුවළ ඉව කිරීමට ලබාදීමෙන් පසු රෙජී බැඳ සිටි රැහැන් පටිවලින් මුදා හළ නලින්, ඌ පසුපස තම පොලිස් කණ්ඩායම සහ ගමේ කිහිප දෙනෙකු සමග ඉදිරියට ගමන් කළේය. ඔවුහු මිනීමැරුම සිදු වූ නිවසට ඉදිරියෙන් වූ ලැයිම් කාමර අසළින් වම්පසට වැටී ඇති අඩිපාර දිගේ ඉදිරියට ගොස් ප්‍රධාන පාරට වැටුණාය. රෙජී එතැන නැවතුණේය. එහිදී නැවතත් සපත්තුවේ ඉව ලබාදුන් ඔහු ඉව සොයා යන ලෙස රෙජීට දැනුම් දුන්නේය. ඊට පසු ඌ පහළින් ඇති තවත් අඩිපාරක් දිගේ ගමන් කර දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිරියේ නැවතුණේය. නැවතත් ඉව අල්ලමින් එම ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළුව තරප්පු පෙළ දිගේ ඉහළට ගොස් දෙවන මහළේ පිහිටි නිවෙසක නිදන කාමරයක් තුළ ඇඳක් අසළට ගොස් එහි ඇඳ යට තිබූ රෙදිවලට ඉව ඇල්ලූ රෙජී, බිම වාඩි වී නලින් ගේ මුහුණ බැලුවේය. ඔහු එම රෙදි ඉවතට ගෙන දිග හැරීය. සරමක්, ටී ෂර්ටයකි. රෙදි වල ලේ තැවරී තිබුණි. 

 


‘‘මේ ගෙදර කාගෙද?’’ නලින් අසළ සිටි අසල්වැසියකුගෙන් විමසීය. 


ඕක මුරුගයියා නාගරාජාගේ ගෙදර. අර මරාදාල ඉන්නේ එයාගේ අම්මයි, නංගියි. ඔය ඇඳුම් නිවසේ අයිතිකරු ඇඳගෙන සිටින බව අපි දැක තිබෙනවා යැයි ද තවදුරටත් ඔහු ප්‍රකාශ කළේය. 


පොලිස් නිලධාරීන් එම නිවසට යන විට කිසිවෙක් එහි සිටියේ නැත. නිවසේ අයිතිකරු පලා ගොසිනි. නැවතත් රෙදිවල තිබූ ලේ ඉව කිරීමට රෙජීට ලබාදුන් පසු නැවතත් ගමන ඇරඹීය. එවර ඌ ගියේ නිවසට පහළින් පිහිටි කැලෑබද ප්‍රදේශයකටය. එය ටර්ෆන්ටයිම් ගස් වලින් පිරී පැවතුණි. අඳුරු සහිත ප්‍රදේශයකි. 


පූඩළුඔය පොලිස් ස්ථානාධිපති නියෝගට අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් යවා එම කැලය වට කෙරිණි. දැන් සැකකරු කැලයෙන් ගමන් කරමින් සිටියි. පැන යාමට ඉඩ නැත. ඊට හේතු වූයේ මිනීමැරුම සිදුවී පැය කිහිපයක් ඇතුළත නිල සුනඛයෙකුගේ සහාය ලබා ගත් නිසා බව අනිල් පවසයි. 


සැකකරු එම කැලය මැදින් වැටී ඇති අඩිපාර දිගේ ගොස් කොළඹට පැන ගැනීමට අදහස් කරන බව පොලීසියට දැන ගැනීමට ලැබුණි. ඒ අනුව කැලෙන් එළියට යාමට ඇති පාරවල් සියල්ල අවහිර කළේය. අවසානයේ ඔහු අත්අඩංගුවට පත්විය. 


මව සහ නැගණිය ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් මුරුගයියා ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මෙම ද්විත්ව ඝාතනය සිදු කළ බවත්, එය සිදු කළ ආකාරයත් ඊට හේතු වූ කරුණුත් පැහැදිළි කළේ ය. 


“මට විවාහ කිහිපයක්ම සිදුකර ගැනීමට සිදු වුණා. ඒ මගේ මව සහ බිරිඳ අතර ප්‍රශ්න ඇති වූ නිසයි. පළමු විවාහය සිදු කර ගැනීමෙන් පසු අපි එතෙක් ජීවත් වූ ලැයිම් කාමර වලින් නිදහස් වී වෙනම ගෙයක් සාදා ගත්තා. නිවාස දෙක අතර කිලෝ මීටරයක පමණ කෙටි දුරක් තිබෙන නිසා නිතර, නිතර මවත් අපේ නිවසට පැමිණියා. මා වතු කම්කරුවෙකු ලෙස වැඩ කරනවා. උදේ වැඩට ගිය පසු සවස ගෙදර එන්නේ. එවිට මව අප නිවසට පැමිණ බිරිඳ සමග ප්‍රශ්න ඇති කර ගත්තා. ඇයට නිදහසේ ජීවත් වීමට මව ඉඩ ලබා දුන්නේ නැහැ. පවුල් ජීවිතයට ඇඟිලි ගැසුවා. බැරිම තැන බිරිඳ මාව අතහැර තම මව්පියන් වෙත ගියා. ඉන්පසු මව ඉතා ආදරයෙන් මට සැලකුවා. 

 

පූඩළුඔයේ මිනිමැරුම සොයා යන ආකාරය

 


එම විවාහය අවසන් වූ පසු, දෙවන වරටත් බිරිඳක් මා නිවෙසට කැඳවා ගෙන පැමිණියා. මව ටික දවසක් යන තෙක් අපට හොඳින් සලකමින් සිටි මව නැවතත් මා නැති අතරේ නිවසට පැමිණ බිරිඳ සමග ප්‍රශ්න ඇති කර ගත්තා. මේ ආකාරයෙන් මා ගෙනෙන සෑම බිරිඳක් සමගම ප්‍රශ්න ඇති කර, මාගේ පවුල් ජීවිතය අවුල් කළා. 


එක දවසක් මම ටිකක් බීමත්ව සිටියේ. එදා රාත්‍රිය වෙද්දී මට වෙනදට වඩා හරිම පාළුවක් දැනුණා. බිරිඳ සිටියා නම් කොච්චර හොඳද කියා සිතුණා. සිහින මැව්වේ දරුවන් සමග හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. මේ හැම දෙයක්ම නැති කරන්නේ මගේ අම්මා. එද‌ා මට සිතුණා මේ ප්‍රශ්නයෙන් මිදෙන්න ඕනෑ කියා. පාන්දර වෙනකම් නින්ද ගියෙත් නැහැ. ඇඳගෙන සිටිය සරමට උඩින් ටීෂර්ටයක් දමා ගත් මම, තේ ගස් කප්පාදු කරන වක්පිහියත් අරගෙන මහ ගෙදරට ගියා. එතකොට පාන්දර යාමේ. කිසිවෙක් මා දැක්කේ නැහැ. පිටුපස දොර ලොක් කර නැහැ. අම්මයි නංගියි කාමර දෙකක හොඳටම නිදි. මම අම්මා සිටි කාමරයට ගොස් කිසිවක් කතා කරන්නේ නැතිව කපා දැම්මා. මා කොපමණ පහරවල් ගැහැවද කියා මතක නැහැ. මගේ හිතේ තරහ යනකම් කෙටුවා. ඒ සද්දේ ඇහිල නංගි කාමරයට දුවගෙන ආවා. 


“අයියා ඇයි මේ මොන වරදක් කළත් මේ අපේ අම්මා පව්” නංගි කීවා. 


මට ඒ වේලාවේ සිතුණේ පිං පව් ගැන නොවෙයි නංගි අම්මව මරණ බව දැකපු නිසා මාව පොලීසියට අල්ලා දෙන්න ලෙසි වෙනවා. ඒ නිසා නංගිවත් මැරුවා. ඒ දෙන්නා මරා දැමුවාට පසු පිටුපස දොරෙන් පැනගොස් මගේ නිවසට ගියා. කවුරුවත් දැක්කේ නැහැ. මා ඒ වන විට ඇඳගෙන සිටිය සරමයි, ටී ෂර්ට් එකයි ඇඳ යටට දමා අලුත් ඇඳුමක් අැඳගෙන තවත් ඇඳුම් කිහිපයක් බෑගයට දමා ගෙන අඩිපාර දිගේ ගොස් කොළඹට පැන ගන්න සිතුවා. එහෙත් මගේ අරමුණ ඉටු වුණේ නැහැ. මම දන්නවා මම වැරදියි. ඒත් ඒ වැරැද්දට යොමු කළේ අම්මයි.  


ලබන සතියේ දී, රෙජී ගේ තවත් වික්‍රමයක් ගැන දැන ගනිමු. 


ස්තුතිය.- මහනුවර අස්ගිරිය, පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න, පොලිස් නිල සුනඛ මූලස්ථානය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුලසේකර, පොලිස් පරීක්ෂක කීර්ති වෙල්ලංගිරිය, අපරාධ පරීක්ෂණ පොලිස් නිල සුනඛයන්ගේ පුහුණු උපදේශක පොලිස් සැරයන්( 30020 ) එදිරිසිංහ, පො.කො( 67126 )එම්.ජී. නලීන් විජේසිරි යන මහත්වරුන්ට. 

 

 


සටහන සහ ඡායාරූප 
සිසිර කුමාර බණ්ඩාර