දරුවන් නැති මව්වරුන්ට කපුවා දෙන භූත දෝෂ


 

සුරංගි වැඩිමල් සහෝදරයින් දෙදෙනෙකුත් වැඩිමල් සහෝදරියකුත් අතරේ හැදුණු වැඩුණු පවුලේ බාල දරුවාය. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන පියාගේ ආදායමෙන් මොවුන්ගේ වියහියදම් සිදුකෙරිණි. සාමාන්‍ය පරිදි ආර්ථිකයක් තිබූ මොවුහු සාමාන්‍ය තත්ත්වයෙන් අධ්‍යාපනය ද ලැබූහ. සහෝදරයින් දෙදෙනාත් සහෝදරියත් විවාහ වීමෙන් පසුව සුරංගිගේ වාරය එළඹිණි. ඒ වනවිටත් සුරංගි තමාගේ පාසල් කාලයේ මිතුරකු වන සනත් සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගෙන තිබුණි. මෙය දැනගත් විට සනත්ගේ ගෙදරින් තරයේම විරුද්ධ වී සිටියේ සුරංගිගේ පවුල සනත්ගේ පවුලට වඩා ආර්ථික හා සමාජ තත්ත්වයෙන් පහත් ලෙස සනත්ගේ දෙමාපියන් විසින් සිතූ නිසාවෙනි.
   
මොන තරම් බාධක පැමිණියද සුරංගිත් සනතුත් අතරේ පවතින ප්‍රේම සම්බන්ධය නතර වූයේ නැත. සනත්ගේ දෙමාපියන්ගේ අකමැත්ත නිසාවෙන්ම සුරංගිගේ දෙමාපියෝද මෙම සම්බන්ධය අත්හරින ලෙස ඔවුන්ට අවවාද දුන්හ. කුමන ආකාරයෙන් අවවාද දුන්නද ඔවුන් තවදුරටත් එම සම්බන්ධය දිගින් දිගටම පැවැත් වූහ. මේ වනවිට සනත්ගේ වයස අවුරුදු තිස්තුනකි. සුරංගිගේ වයස අවුරුදු විසිනමයකි. දෙදෙනාගේ වයස ගතවනවා මිස ඔවුන් දෙදෙනාම සම්බන්ධය නතර කරන පාටක් නැත. ඒ නිසාවෙන්ම අකමැත්තෙන් වුවද සනත්ගේ දෙමාපියෝද ඔවුන් විවාහ කරදීමට එකඟ වූහ.   


කුඩා උත්සවයක් ගෙන ඔවුන් දෙදෙනා විවාහ ජීවිතයට එළඹූණහ. වසර එකොළහක ප්‍රේම සම්බන්ධයකින් පසු එක නිවසක අඹුසැමියන් ලෙස ජීවත් වන්නට ලැබීම ඔවුහු දෙදෙනාගේම සිත්වලට මහත් සතුටක් ගෙනදෙන්නක් විය. විවාහයෙන් පසු සනත්ගේ මහගෙදර ඔවුහු පදිංචි වූහ. මෙලෙස දෙදෙනා සතුටින් කාලය ගතකළහ. වසර කීපයක් ගත විය. දරු මුනුපුරකු දැකගැනීම සනත්ගේ දෙමාපියන්ගේත් සුරංගිගේ දෙමාපියන්ගේත් විශාල බලාපොරොත්තුවක් විණි.   


“මොකද තාම දරුවෙක් ගැන හිතන්නෙ නැද්ද” සුරංගිගේ මව නිතරම විමසයි. “දැන් ඉතිං දරුවෙක් ගැන හිතුවොත් හොඳයි නේද” යනුවෙන් කියමින් සනත්ගේ මවද නොයෙක් ඉඟි පවසන්නට වූවාය. “ළඟදීම ඒක වෙයි” යනුවෙන් පවසමින් සුරංගිත් සනතුත් දෙමාපියන්ගේ බලාපොරොත්තුව වැඩි කරමින් ප්‍රතිඋත්තරයක් දුන්නාය. මෙලෙස ද වසර කීපයක් ගත විය. නමුත් සුරංගි මව වන පාටක්වත් නැත. සනත්ගේ මව සුරංගිට නොයෙකුත් සැර වචන පවා ක්‍රමයෙන් කතා කරන්නට වූවාය. “මීට පස්සේ බැඳපු හැමෝටමත් ළමයි ඉන්නවා. අනේ ඒකට අපේ එකා. පුස්සකට කරගැහුවා. දරු සුරතල් බලන්නත් පිනක් තියෙන්න ඕනෙ” ආදී වචන කියමින් සනත්ගේ මවගෙන් කෙළින්ම චෝදනාව සුරංගි වෙත යොමු විය. සුරංගි එවැනි අවස්ථාවල කඳුළු බේරමින් කාමරයේ ඇඳේ මුනින් වැටී කාටවත් නොපෙනෙන සේ අඬමින් තමන්ගේ දුක පිට කළාය. නමුත් කෙසේ වෙතත් එවැනි අවස්ථාවල සනත් සුරංගිගේ සිත හදයි. “අම්මා කියන ඒවාට ඔයා හිත නරක් කරගන්න එපා. අපිට ඉක්මනින්ම ඒ තත්ත්වෙට යන්න පුළුවන් වෙයි පවසමින් සුරංගිව සනසයි.   


“ඇත්තටම ඔයා හොඳ මහත්තයෙක්. වෙන කෙනෙක් නම් මෙලහට මාව දාලා ගිහිල්ලා. නමුත් ඒ හැම දේම දරාගෙන ඔයා මාත් එක්කම ඉන්නවා. ඔයා ඒ අතින් උතුම් මනුස්සයෙක්. මම ඔයාට ණයගැතියි. මට සමාවෙන්න” කියමින් නිතරම සුරංගි සනත්ගේ සිත සනසන්නීය.   


විවාහ වී මේ වනවිට වසර හතකි. “ඔහොම බලන් ඉන්නැතිව දොස්තර කෙනෙකුවත් හම්බ වුණොත් මොකද” සුරංගිගේ මව යෝජනා කළාය. “අපි දොස්තරලා දෙන්නෙක් ළඟට ගියා. ඒත් වැඩක් වුණේ නැහැ සුරංගි පැවසුවාය.   


“එහෙනම් අපි අනිත් පැත්තෙන් හරි බලමු” කියමින් සුරංගිගේ මව යෝජනා කෙරිණි. “ඒ කිව්වෙ අම්මෙ..?” සුරංගි කලබලයෙන් ඇසීය. “දොස්තරලට විසඳන්න බැරි ප්‍රශ්න ඕනතරම් තියෙනවා. අපි දුවගෙ කේන්දරෙත් බලලා ඒකෙනුත් විස්තර හොයාගෙන මොකක්හරි දෝෂයක් තියේද කියලා බලමු. අපේ අම්මට මාව හම්බුවෙලා තියෙන්නෙ බැඳලා අවුරුදු තුනකුත් ගිහිල්ලා. ඔය වගේ අපේ අම්මටත් ළමයි නෑ කියලා ඉන්නකොට ඒ දවස්වල තිබිලා තියෙනවා එහා ගමේ දේව වරමින් සාස්තර කියන බලගතු තැනක්. අපේ අම්මා ඒකට ගිහිල්ලා පේනය බලලා සති හත වැඩකරගෙන යද්දියි මම බඩට ඇවිත් තියෙන්නෙ” යනුවෙන් සුරංගිගේ මව මෙලෙස තමන්ගේ තිබෙන විශ්වාසය සුරංගිට කියා දුන්නාය. “මම කියනවට ඒ වගේ දේකුත් කරල බලමු” මව පැවසීය.   


සුරංගි විසින් මේ බැව් සනත්ට පවසා සනත්ගේද කැමැත්ත අනුව සුරංගි මව සමඟ ගොස් හඳහන පරීක්ෂා කරගැනීමට තීරණය කෙරිණි. මව හා සුරංගි ඒ ගමේ සිටින පරිණත ජ්‍යොතීර්වේදියකුට දී හඳහන බැලවීය. හොඳින් ගණන් හඳමින් කේන්දරය පිරික්සූ එතුමාගේ මතය වූයේ, මේ කේන්දරයේ හැටියට නම් සුරංගිට එතරම් නරකක් පෙන්නන්නේ නැති බවයි. ඒ නිසා ළමයින් නැති ප්‍රශ්නයට හොඳ වෛද්‍යවරයකු හම්බවෙලා වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බලන්න යැයි ජ්‍යොතිර්වේදියාගේ අදහස විය.   


 නමුත් එතුමාගේ අදහස සුරංගිගේ මවගේ සිතට එතරම් වැදගත්කමක් පෙනුණේ නැත.“ ඕක හරියන්නෙ නැහැ. හොඳ තැනකට ගිහිල්ලා අපි පේනයක් බලමු” මවගේ යෝජනාව විය. සනත් ඒ සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොපෙන්වූ අතර, නමුත් කෙසේ හෝ තමන්ගේ ගැටලුවට විසඳුම් සෙවීම පිණිස එම තීරණයට එකඟ විය.   


පානදුර ප්‍රදේශයේ තිබෙන එක්තරා දේවාලයක් මොවුන් ඒ සඳහා තෝරා ගැනිණි. සුරංගිත් සනතුත් සුරංගිගේ මව හා සහෝදරියත් එම දේවාලය කරා පිටත් වූහ. බුලත් අතකුත් රුපියල් හත්සිය අසූඑකක පඬුරුත් තබා පේනය ඇසීම එම දේවාලයේ සිරිත විය.   


මෙය අපූරු දේවාලයකි. මිනිසුන් බුලත් හා පඬුරු තබාගෙන පැමිණි පිළිවෙළට පෝලිමේ සිටී. නමුත් කපු මහතා ඔවුන් දේවාලයට ගන්නේ පැමිණි පිළිවෙළට නොව, කෙළින්ම ආපු කරුණ කියා දේවාලය තුළට කතා කරයි. මෙය එම කපුමහතා සතු සුවිශේෂී බලයක් ලෙස මිනිස්සු විශ්වාස කළහ.   


“ඔය නැති වූ දෙයක් සම්බන්ධව අහන්න ආපු කෙනා එන්න” යැයි කපු මහතා කතා කළේය. පෝලිමේ සිට කිහිපදෙනෙක්ම දේවාලය තුළට පැමිණි අතර, ඉන් එක් අයකු පමණක් ඇතුළට ගෙන ඔහුට පේනය කිවුවේය. මේ ආකාරයේ කරුණු කීපයකට පැමිණි අය ලබාගෙන පේන කියා “ඔය ළමයින් නැති සම්බන්ධව අහන්න ආපු කෙනා එන්න” යැයි කපු මහතා පැවසීය. එවිට සුරංගිලාත් වෙනත් කිහිපදෙනෙකුත් දේවාලය තුළට පැමිණි අතර, “නෑ මං කතා කලේ මොවුන්ට” යැයි සුරංගිලා පෙන්වා ඔවුන්ව දේවාලය තුළට ගැනුණි. මඳ පැද්දිල්ලක් සමඟ ආරූඪ වී සිටි කපු මහතා “මේ දරුවා දැන් කසාද බැඳලා අවුරුදු ගානක් වෙනවා නේද? ළමයි නෑ නේද?” යනුවෙන් ඇසීය. “එහෙමයි කපු මහත්තයෝ” කියමින් සුරංගිගේ මව ඉක්මනින් පිළිතුරු දුන්නාය. සුරංගි තමන් ළඟට ගෙන ඇයගේ උදරයට අත තබා කපු මහතා මෙසේ කීය.   


“දොස්තරලා ළඟට ගියා නේද? එහෙත් පලක් වුනේ නැහැනෙ. මේ දැරිවිට කළුකුමාර දෝෂය. දැරිවි වැඩිවියට පත්වෙච්ච දවසෙ තමයි තනිවීමක් නිසා මේක ඇතිවෙලා තියෙන්නේ. වැඩිවියට පත්වෙලා තියෙද්දී ඒක දන්නෙ නැතිව තනිවීමක් වෙලා. ඒකෙන් පස්සෙ කළුකුමාර බැල්ම එදා සිටම තිබිලා තියෙනවා. මාසික ඔසප් වීමේදීත් බඩ රිදෙනවා නේද” කපු මහතා ඇසීය. “ඔව් කපු මහත්තයෝ. ගෙදර ඉන්න කාලෙත් ලෙඩ වෙන දවසට කිසිම වැඩක් කරන්නේ නැහැ. ඇඳේමයි” සුරංගිගේ මව කීය.   


දැන් අපි මොකක්ද මේකට කරන්න ඕනෙ. ඒක හොඳ කරලා දෙන්න පුළුවන්ද” සුරංගිගේ අක්කා කපු මහතාගෙන් ඇසුවාය. “කරන්නට බැරි දෙයක් නැහැ. අනිවාර්යයෙන් මං මේක අස්කරලා දෙන්නම්” කපු මහතා පොරොන්දු විය. මෙසේ පැවසූ කපු මහතා පේනය අවසන් කෙරිණි. කපු මහතාගේ ගෝලබාලයා විසින් මොවුන්ට මේ සඳහා කළ යුතු දේ පැහැදිලි කර දුනි.   


“කපු මහත්තයා කියන්නෙ කළුකුමාර දෝෂය කියලනෙ. ඒක කපන්න කපු මහත්තයා මෙන්න මේ ශාන්ති කර්මය කරනවා. ඒකට අවශ්‍ය බඩු ලැයිස්තුව මං ලියලා දෙන්නම්. ඒ ටික හොයාගෙන දේවාලෙට ඇවිල්ල දිනයක් දාගන්න. තමන්ගේ ගෙදරම තමයි ඒක කරන්නෙ. ඒකට සම්පූර්ණ වියදම රුපියල් හතළිස්පන්දහක් වෙනවා. අනික කපු මහත්තයා විතරක් නෙමෙයි ඒකට තවත් කීපදෙනෙක්ම එනවා. ඒක කරනව නම් ඇවිල්ල කතා කරන්න” යනුවෙන් විස්තර පැවසීය. “අපි කොහොම හරි මේක කරනවා” සුරංගිගේ මව කපු මහතාගේ ගෝලයාට පොරොන්දු විය.   


“අපි ඇවිත් කතා කරගන්නම්” යනුවෙන් පවසා ඔවුහු නිවස බලා පැමිණියහ. ඒ අතරද කපු මහතාගේ හාස්කම් පිළිබඳව ඔවුන් නිතර නිතර කතා කළෝය. “බලන්නකො හරියට බලං හිටියා වගේ ආපු ප්‍රශ්නෙ කියලා කතා කරානේ” මව ප්‍රකාශ කළාය. “ඒක තමයි මටත් පුදුමෙ. මට අදහගන්නත් බැරි වුණා”  සුරංගිගේ සහෝදරියගේ අදහස විය. “මම නම් ඕව ගැන වැඩි විශ්වාසයකින් හිටියේ නැහැ. ඒත් ඉතිං කපු මහත්තයා ප්‍රශ්නෙ කියලම කතා කරනකොට මගෙ හිතටත් මොකක්දෝ සිද්ධ වුණා. ඒක නිසා අපි කොහොමත් ඕක කරමු” සනත්ගේ මතය විය.   


සුරංගිගේ නිවසේ අය මෙලෙස කතාබහ කොට ඒ බව දේවාලයට ගොස් කපු මහතා වෙත දැන්වීය. “පුළුවන් තරම් ළඟම දිනයක් අපට ලබා දෙන්නැ”යි කපු මහතාගෙන් ඉල්ලා සිටියහ. දිනයක් යොදා ගත්හ.   


යාගය පවත්වන්නට දින හතකට පෙර කපු මහතා සුරංගිගේ නිවසට පැමිණියහ. ඒ යාගයට පෙර සිදු කළ යුතු පේවත් කිරීම් හා යම් බන්ධනයන් සිදුකරන්ටය. සුරංගිගේ නම ඌරු දතකින් යක්ෂ බුලත් කොළයක ලියා (යක්ෂ බුලත් කොළ යනු බුලත් මැස්සක පිහිටි අතිශය විරූපී වූ තැන තැන තැනින් තැන සිදුරු වූ වඩා විශාල වූ බුලත් කොළයකි) පිට පැත්තේ රුව ඇඳ හපා කෑ බුලත් හපය ද ඇඳිවත නූල්, කුණු, නිය, කෙස් ආදී පංච මල පහේ කොටස් කොළයෙහි ඔතා සුරංගිට උඩින් පැනෙන ලෙස කපු මහතා දැන්වීය.   


ඉන් පසුව, නයි තුඹසක් තුළ ඒ මහානු බල සම්මන්ත යක්ෂ බුලත් කොළය තැන්පත් කළේ යාගය පවත්වන දින යාග පොළට ගෙන්වා ගන්නටය. පේවත් කළ දින හත තුළදී සුරංගිට ඇති වූයේ මහා බියකි. මහත් බියකරු හීන පෙනේ. මේ තත්ත්වය උග්‍ර වී දරුණු අතට හැරී බලා සිටියදී ඇගේ ශරීරය කෘෂ වේ. මේ අනුව, කපු මහතා පිරිසිදු වී රහසින් ගිනි කබලක් ගෙන මල් දම් පැලඳ රතු රෙද්දක් පොරවාගෙන කෙස් වැටිය පිට කොන්ද තෙක් කඩා මුදා හැර දොළ තටු පුද දී මහා සොහොන් වවුල් යකා බන්දනය කපා අළු පුහුල් ගෙඩියක් ගෙන පේවත් කර තුඹසේ සඟවා තබන ලද යක්ෂ බුලත් කොළය පුහුලේ තබා කපු මහතාගේ බඩ උඩ තබා කඩුවකින් පුහුල් ගෙඩිය දෙපලු වන්නට කපුවාගේ ආවතේකරුවන් විසින් කපා දැමීම සිදු කෙරණි.   


ඉන් පසුව සොහොන් බිමට යන කපු මහතා විසින් වළ දමා ඇති මළ මිනිය රහසින් ගොඩ ගෙන රාත්‍රි 12 ට නාන තොටුපළකට ගෙන ගොස් මළමිනිය නහවා බඩ පලා කෙන්දක් ඇතුළු කර වවුල් හමකින් වසා හිසේ තලප්පාවක් පලඳවා නූල් පොටකින් අත ද බඳියි. මේ සඳහා සමයන් තටු 3 ක් සාදා එහි සුරුහම් කළ මළමිනිය රැගෙන පාළු නිවසකට ගොස් තබා රතු රෙද්දකින් වසා බිත්තර, ලේ ගොටු, මස්, රතු මල් වර්ග ඇතුළු පූර්ණ පිදේනි තටු තබා සුදු පිරුවටයක් එළා ඒ මත වාඩි වී අදාළ පිල්ලි මන්තර වලින් ජීවම් කිරීම ආරම්භ කරන්නේ ආතුරයා හා ඥාති පිරිස පසෙක ඈතින් බලා සිටින අතරතුරය. එවිට මහා භයංකාර ලෙසින් මළ මිනිය සෙළවෙයි. වවුල් පිල්ලි යකා නටයි. එවිට ඒ වවුල් පිල්ලි යක්ෂයාගෙන් අවශ්‍ය ඕනෑම වැඩක් කර ගත හැකිය. සුරංගිගේ ප්‍රශ්නය විසඳන්නේ ඒ ආකාරයටයි.   


මෙසේ ප්‍රාණ කරන වවුල් මිනී පිල්ලිවලින් එකක් මෙසේය. පාද නොකැඩෙන අයුරින් වවුලකු අල්ලා මැරෙන තුරු භාජනයක් තුළට දමා මියගිය වවුලාට කුකුළු බිල්ලක් දී වවුල් පිල්ලිය ලබා ගෙන දොළ තටු පුදා නිසි වේලාවට ආතුරයාගේ නිවසට යාබද සොහොනකදී වවුල් පිල්ලි යකා ආරූඪ කර වවුලා සොහොනෙහි හිටුවා ඇති කෝටුව දිගේ ඉහළට යන්න අණ කරයි. එවිට වවුලා නොපෙනී යයි. විදුලියක වේගයෙන් ආතුරයා ළඟට ගොස් ආපසු එයි. එවිට කෝටුවෙන් පහරක් ගසා වවුලා තටුවට දා ගනී. ඒ අනුව, ආතුරයාගේ සියලුම දොස් වවුලාගේ පිටින් යන්නට සලස්වා යාග හෝම පුළුස්සා (සතුන් හා ධන්‍ය) වවුල් පිල්ලිය සන්තොෂ කර සොහොන් බිමට එළවා දමයි. ආතුරයාගේ නිවස, වත්ත හෝ හතර තැනක නොසිටින්නටද අණ කරනු ලැබිණි. මේ ආකාරයට වවුල් යක්ෂ පිල්ලිය යවා ආතුරයාගේ දොස් සමනය කරයි.   


යාගය පවත්වන දිනයේ ද වවුල් යක්ෂ පිල්ලිය ඒ නිවසේ මහ රාත්‍රියේම හදිසියේම ගෙන්වන්නේ අපූරු කපු මහතාගේ යන්ත්‍ර මන්ත්‍ර වල බලයෙනි. අප දන්නා පරිදි වවුලන් රාත්‍රියේ සැරිසරන බව ඇත්තකි. නමුත්, හිටි හැටියේ වවුලන් ඒ යාග පොළට පැවැති ඒ නිවසේ පේත තටුව යටින් වවුලන් කිහිප දෙනෙක් කෑ ගසමින් ඉගිළ ගියේ සියල්ලෝම පුදුම කරවමිණි. මෙය බලා සිටින පිරිසට මහා විශ්මයක්, පුදුමයක්, විමතියක් වූහ.   
නමුත්, සත්තකින්ම සිදුවූයේ කුමක් ද? පෙර සැලසුම් කර පරිදි කපු මහතාගේ ආවතේව උන්නැහෙලා නැතහොත් කොට්ටෝරු ගැත්තෝ වවුල් පොළකට ගොස් පණපිටින් වවුලන් කිහිප දෙනෙක් අල්ලාගෙන ගොක්කොළ වලින් සකසා ගත් පැසක (කූඩයක) දමා අදාළ දිනයේ යාගය පවත්වන දින යාගය පවත්වන නිවසට ගෙන අවුත් පේත තටු සැකසීමෙන් පසුව, වවුලන් සහිත ගොක් කොළ පැස තටුවේ පහළ රඳවා තබයි. සඟවා තබයි. ඉන් පසුව කපු මහතා මන්ත්‍ර ජප කරන අතර තුර පැසෙහි ගොක් කොළ කිහිපයක් විවෘත කරයි. නැතහොත් ලිහා දමයි. එවිට සැඟව සිටි වවුලෝ ක්‍රම ක්‍රමයෙන් ඉගිල යයි. නමුත් ආතුරයා හෝ ගෙදර පිරිස හෝ යාගය නරඹන පිරිස හෝ සිතන්නේ වවුලෝ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් ගෙන්වා ආතුරයාට සෙත ගෙන දෙමින් වවුල් පිල්ලි යක්ෂයෝ ඉගිළ ගිය බවයි.   


මේ ආකාරයට, කපු මහතාත් බෙර ගසන්නෙකුත් ගෝලයන් දෙදෙනෙකුත් සුරංගිගේ නිවසට පැමිණ යාගය සිදු කරන්නට විය. ආතුර පැදුරේ වාඩි කරවූ සුරංගි ඉදිරියේ තටු තබා බෙර ගසා නටමින් පුද පූජා කරමින් තුන් තිස් පැයක කාලයකින් පසු යාගය අවසන් කෙරිණි. වවුල් යක්ෂ පිල්ලිය යවා ආතුරයාට සෙත සලසා දෙනු ලැබීය.   


“දැන් ඉතිං කළුකුමාර දෝෂය කැපී ගොස් අවසන්. දැන් ඉතිං ඉක්මනින්ම දරු සුරතල් බලන්න පුළුවන් වෙයි” යනුවෙන් පවසමින් පොරොන්දු මුදලද රැගෙන කපු මහතා ප්‍රමුඛ පිරිස පිටත්ව ගියහ.   


මෙලෙසද වසරකටත් වැඩි කාලයක් ගත විය. කිසිදු ප්‍රතිඵලයක් දක්නට නොවීය. ඉන්පසු වරින් වර කීප වතාවක්ම සුරංගිගේ මවත් සනත්ගේ මවත් නානා ප්‍රකාර කපුමහතුන් ළඟට ගොස් නොයෙකුත් දේවල් සිදු කලද ඒ කිසිදු දෙයකින්වත් ගැටලුව සුව නොවීය. දැන් සුරංගිගේ වයස හතළිස් තුනකි. සුරංගිත් සනතුත් අතරේ දැන් දැන් සමගිය බිඳී යමින් පවතී. සුරංගිට සනත්ගේ දෙමාපියන්ගෙන් එල්ල වන චෝදනා ද එමටය. ඒ වගේම අවට වාසීන්ගෙන්ද ළමයින් නැති ගැහැනියක ලෙස හංවඩු ගැසුණු අතර, ඇතැම් අවස්ථාවල සනත්ටද නොයෙකුත් හිත් රිදවන කතා අසන්නට ලැබුණි.   


මේ තත්ත්වය ඉවසාගෙන සිටීමට බැරිම තැන සනත් විසින් ඔවුන්ගේ ගැටලුව තම සේවා ආයතනයේ මානව සම්පත් කළමනාකරු වෙත කියා සිටියේය. “ඇයි ඔබ මෙච්චර කලක් ඕක සඟවා ගෙන හිටියේ” යැයි පැවසූ කළමනාකරු සනතුත් සුරංගිත් ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි.   


වෙන් වෙන් වශයෙන් සුරංගිත් සනතුත් සමඟ කතා කළ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් ගැටලුව විසඳීමට භාර ගැනුණි. ඒ වගේම දෙදෙනාගේම දෙමාපියන්ද කැඳවා ඔවුන්ටද මේ බැව් හරිහැටි වටහා දී ඔවුන්ගේ සිත් තුළ ඇති වැරදි මතද ඉවත් කළේය. මාස දෙකක පමණ කාලයක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මොවුන්ගේ ගැටලුව සම්පූර්ණයෙන්ම සුව විය. ඒ පිළිබඳව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙලෙස විස්තර ක​ෙළ්ය.   
ඇත්තටම මෙහිදී සුරංගිට තිබුණේ ලිංගික ඇසුරට බියකි. විවාහ වී ඒ වනවිට වසර දහහතරකුත් පසු වී තිබුණද ඒ වනවිටත් සුරංගි කන්‍යාවියකි.   


මෙහිදී සිදුවන්නේ ලිංගිකත්වය පිළිබඳව පෙර අසා තිබූ භයංකාර මිථ්‍යා සිතුවිල්ලක් නිසා පසු කාලයේදී තමා නොදැනුම්වත්වම ලිංගික ඇසුරට බිය වීමයි. එහිදී ස්ත්‍රී ලිංගය හා ඒ අවට මාංශපේශීන් දැඩි වේ. එහිදී ලිංගික ඇසුරක් පැවැත්වීමට නොහැකි වේ. මෙහිදී ලිංගික ඇසුරට ලංවෙද්දීම හෘද ස්පන්දනය වැඩිවීම, අධික බයක් දැනීම ආදිය වගේම ලිංගික ආශාවන් නොදැනී යාමත් ඇති වේ. එම බය නිසාම ලිංගික ඇසුරට ඉඩ නොදේ. මෙම තත්ත්වය අන් අයකුට හෝ වෛද්‍යවරයෙකුට පැවසීම ලැජ්ජාවක් ලෙසත් මෙය ටික කලකින් හරියාවි” යන විශ්වාසය මතත් මොවුහු එම පීඩනය දරාගෙන දුකෙන් ජීවත් වූහ. ගමේ ගොඩේ මිනිසුන් විසින් මෙම තත්ත්වය කලව බන්ධනය” ලෙස හෝ වෙනත් කොඩිවිනයක් එසේත් නැත්නම් යක්ෂ බලපෑමක් මත ඇතිවන්නක් බවටද විශ්වාස කෙරේ. නමුත් පැහැදිලි වශයෙන්ම මෙය සුව කළ හැකි මනෝ ලිංගික ආබාධයක් පමණි.   
ඒ වගේම අරුම පුදුම කපු මහතා ගැනත් යමක් කිව යුතුය. පැමිණ සිටින පුද්ගලයින්ට තමා පැමිණි කාරණය කියා කතා කරන්නේ කොහොමද? එය හාස්කමක්ද? එයද පට්ටපල් බොරුවක් පමණකි. මිනිසුන් පේනයක් බලන්නට යන්නේ පොදු ලක්ෂණ කීපයකටය. එනම්, ලෙඩක් ගැන ඇසීමට, නැති වූ දෙයක් ගැන ඇසීමට, දියුණුව නැති වීම ගැන ඇසීමට, හැරගියවුන් ගෙන්වීමට, දරුපල නැතිවීමට, නිතර නිතර කරදරවලට මුහුණපෑමට සිදුවීම නිසා, හිටිහැටියේ බංකොලොත් වීම වැනි දේ ආදී සුලභ කරුණු කීපයක් නිසාය. කපුවා කරන්නේ ඉන් එකක් කියා ඒ සඳහා පැමිණි කෙනාට ඉදිරියට එන ලෙස කතා කිරීමයි. එවැනි දෙයක් සඳහා පැමිණි කීපදෙනාම එවිට ඉදිරියට එති. එයින් කෙනෙකු දේවාලය තුළට කැඳවා ගන්නා අතර, එම ගැටලුව සඳහාම පැමිණි අනික් අයද ඔහු මතක තබා ගනී. ඉන්පසු ටික වේලාවකින් පසු ළඟටම ගොස් ඔබ ආවේ මේකට නේද යැයි පවසමින් බලන්නන් මවිත කරවමින් ඔහු මිනිසුන් මුළාකරයි. ඒ හැර ඔහු සතු කිසිදු හැකියාවක් නැත.   


අද වනවිට සුරංගි එක්දරු මවකි. ඇයගේ යක්ෂ දෝෂය එයින් නිමා විය.   

 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි)   

 

 


සටහන හා ඡායාරූප 
හබරාදූව නිමල් අල්ගෙවත්ත