දරුඵල නැති අයට ජ්‍යොතිෂයෙන් පිහිටක්


දරුඵල නොමැතිවීම, විවාහක අඹුසැමියන් මුහුණ දී සිටින බරපතළ ගැටලුවකි. දරුවකු කෙරෙහි ඇති ආශාව, සාඵල්‍යතා වයස ක්‍රමයෙන් ගෙවීයාම, පවුල් ජීවිතය රැකගැනීමේ අභියෝගය හා සමාජයෙන් එල්ලවන අපවාද යන කරුණු නිසා ඔවුහු දැඩි මානසික පීඩාවට ලක්වී සිටිති.
   
විවාහක අඹු සැමියන්ගෙන් 80% පමණ පළමු වසර හෝ දෙක තුළදී තම අපේක්ෂාව ඉටුකර ගනිති. 10% පමණ වෛද්‍ය ප්‍රතිකාර කරගැනීමෙන් පසුව දරුඵල හිමිකර ගනිති. ඉතිරි 10% ස්තීරවම දරුඵල අහිමි පිරිස බව දක්නට ලැබෙයි. කෙසේ නමුත් මේ නව වසරේදී ඔබගේ අපේක්ෂාව ඉටුකරගත හැකි මගපෙන්වීම මම මෙයින් ලබාදෙමි.   


නිසරු භාවයට හේතුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.   


1. ස්ත්‍රින් හා පුරුෂයන්ගේ කායික දෝෂයන්   


2. පූර්ව කර්ම දෝෂයන්.   


දරුඵල නොමැති වීමට හේතුව කායික දෝෂයක්ද පූර්ව කර්ම දෝෂයක්ද යනවග දැනගන්නේ කෙසේද?   


ජ්‍යොතිෂයට අනුව දරුඵල පරීක්ෂා කිරීමේදී රාශි කේන්දරය පමණක් නොව, සප්තාම්ෂ කේන්දරයද පරීක්ෂා කළයුතු බව ජෛමිණී මහඍෂින් නිර්දේශ කර ඇත. රාශි කේන්දරයේ ලග්නයෙන් හා රවි ග්‍රහයා තැන්පත්ව සිටින රාශියෙන් 3 වැනි හා 9 වැනි ආරූඪ පද පරීක්ෂා කිරීමෙන් එම දෝෂයන් හඳුනාගත හැකිය.   


ලග්නයෙන් 3 වැනි හා 9 වැනි ආරූඪ පදවලින් 2, 6, 8 හෝ 12 යන රාශියක රවි ග්‍රහයා තැන්පත්ව සිටීමෙන් කායික දෝෂයක් ඇති බව පෙන්වයි. මෙවිට විධිමත් ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. එබැවින් දෙවි දේවතාවන්ට බාරහාරවීම් හා ශාන්තිකර්ම පමණක් කිරීමෙන් ඵලක් නොවේ.   


රවිගෙන් 3 වැනි හා 9 වැනි ආරූඪ පදවලින් 2, 6, 8 හෝ 12 යන රාශියක රවිග්‍රහයා තැන්පත් වී සිටීමෙන් පූර්ව කර්ම දෝෂයක් ඇතිබව පෙන්වයි. මෙවිට වෛද්‍ය ප්‍රතිකාර කොපමණ කළත් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත නොහැකිය. එබැවින් සුදුසු වේදීය ප්‍රතිකර්ම කළ යුතුයි.   


බුධ, සිකුරු හා ශනි යන ග්‍රහයින් දරුඵල කෙරෙහි හානිකර ප්‍රතිඵල ලබාදෙයි. මෙම ග්‍රහයින් පමණක් සප්තාම්ෂ ලග්නයට ත්‍රිකෝණගතව සිටීමෙන් දරුඵල අහිමිකිරීමට මගපාදයි. මෙම ග්‍රහයින් සමග රවි, ගුරු, සඳු හෝ රාහු ත්‍රිකෝණගතව සිටීමෙන් ප්‍රමාදවී දරුඵල හිමිවෙයි.   


නිසරුභාවයට හේතු වන කායික දෝෂයන්   


ස්ත්‍රින්ට හා පුරුෂයන්ට ​ෙවන වෙනම බලපාන විවිධ දෝෂයන් රාශියක් ඇත.   


1. ස්ත්‍රී නිසරුභාවයට හේතු   


I. ස්ත්‍රී බීජ (ඩිම්බ) පරිපුර්ණ තත්ත්වයේ නොපැවතීම   


II. පැලෝපීය නාළවල පවතින දෝෂ   


III. ගර්භාෂයේ පවතින දෝෂ   


IV. ගැබ්ගෙලෙහි පවතින දෝෂ   


V. ඩිම්බ කෝෂවල දෝෂ   


VI. යෝනි මාර්ගයේ පවතින දෝෂ   


VII. ජානමය හේතුන්  


2. පුරුෂ නිසරුභාවයට හේතු   


I ශුක්‍රාණු ජනනයවීමේ දෝෂ   


II හොඳින් චලනයවන ශුක්‍රාණු හා ශුක්‍රාණුවල පිහිනායාමේ හැකියාව අඩුවීම.   


III විකෘති ශුක්‍රාණු සෛල පැවතීම   


IV ශුක්‍ර වාහිණිවල අවරෝධතා පැවැතීම 

 
V ලිංගික බෙලහීනතාව   


VI ක්ෂණික මෝචනය   


VII උපතේදී වෘෂණ කෝෂ පහළට නොබැස පැවැතීම.   


VIII වෘෂණ කෝෂවල මතුපිට රුධිර නාළ ගැටගැසී පැවැතීම   


IX වෘෂණ කෝෂවල උෂ්ණත්වය වැඩිකම   


X උපතින්ම ශුක්‍ර නාළ නොපිහිටීම   


XI ශුක්‍ර තරලයේ ඝනත්වය වැඩිකම   


XII කම්මුල්ගාය වැළඳීම නිසා එහි අතුරු උපද්‍රවයක් ලෙස වෘෂණ කෝෂවල ඇතිවන ප්‍රදාහිත තත්ත්වය.

   
XIII ක්ෂය රෝගය, සුදු බිංදුම වැනි රෝග නිසා ඇතිවන ආසාදිත තත්ත්වයන්.   


XIV නිර්නාළ ග්‍රන්ථිවල පවතින දෝෂ නිසා හෝමෝන නිපදවීමේ ඌනතාවන්.   


XV අධික දුම්පානය හා මධ්‍යසාර/ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ශුක්‍රාණු සෛලවල සාඵල්‍යතාව අඩුවීම.   


XVI ජානමය හේතු   


වෛද්‍ය පරීක්ෂණයන් අනුව කිසිදු කායික දෝෂයක් නොමැති බව පැවසුවත් දරුඵල නොපිහිටීමට හේතු   


විවාහ වී වසරක් පමණ ගතවූ පසු, ස්වභාවිකව ගැබ් ගැනීමක් සිදු නොවූ විට බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. එහි කිසිදු වරදක් නොමැත.   


එම වෛද්‍ය ක්‍රමය අනුව හඳුනාගත් දෝෂ තත්ත්වයන් අනුව හෝමෝන ප්‍රතිකාර ලබාදීම, ස්වභාවිකව සංසේචනය සිදු නොවූ විට පුරුෂ බීජ ගර්භාෂයේ තැන්පත් කිරීම (IUI) හා කළලයක් රෝපණය කර ගර්භාෂයේ තැන්පත් කිරීම (IVF) අවසාන ප්‍රතිකාරය ලෙස සිදුකරයි.   


නමුත් මෙම ප්‍රතිකාර මගින්ද තම අපේක්ෂාව ඉටු නොවන අඹුසැමියෝද ඕනෑතරම් සිටිති. නමුත් ඔවුන්ට කිසිදු කායික දෝෂයක් නොමැති බවද දොස්තරවරු පවසති.   


බටහිර වෛද්‍ය ක්‍රමය අනුව නිසරුභාවයට හේතුවන කායික දෝෂයන් ලෙස පිළිනොගන්නා, එහෙත් දේශිය වෛද්‍ය ක්‍රමය අනුව නිසරුභාවයට හේතු වන, ස්ත්‍රීන් තුළ තිබිය හැකි කායික දෝෂයන් 3 කි.   


I උෂ්ණාධික බව හෙවත් වාතරක්ත දෝෂයන්   


II රුධිරය අපිරිසිදු තත්ත්වයෙන් පැවතීම.   


III ගර්භාෂය තුළ පවතින දැඩි ආම්ලික තත්ත්වය.   


නිසරු භාවයට හේතුවන කායික දෝෂයන් සමනය කරගැනීම සඳහා දේශිය ප්‍රතිකාර (කායික උෂ්ණාධිකබව සමනයට)   


දේශීය චිකිත්සාවක් ආරම්භ කිරීමේ දී ප්‍රථමයෙන් සුදුසු ශෝධන කර්මයන් කළ යුතු බව නිර්දේශයි. බඩ විරේකය, ළය විරේකය හා උත්තර වස්තිය ආදී වශයෙන් ශෝධන කර්මයන් කළ යුතු අතර, ඇතැම් ශෝධන කර්මයන් වෛද්‍යවරයකු හමු වී කර ගැනීමට සුදුසුය.   


බඩ විරේකය කළ යුතු පිළිවෙළ 

 
අවශ්‍ය ඖෂධ අරළු කළං 2   


බුළු කළං 4   


නෙල්ලි කළං 6   


සාදන පිළිවෙළ   


මේවා ගෙන වතුර කෝපප 8 ක් දමා තම්බා කෝප්පයට සිඳුවාගෙන කෝපප බාගය බැගින් උදේට බෙහත් එඬරු තෙල් මේස හැඳි 1 යි, සහිඳ ලුණු කුඩු තේ හැඳි භාගයයි දමා, උදේට තේ එකක් පානය කර පැයක් පමණ ගත වූ පසු මෙම ඖෂධ පානය කරන්න. උදේට ආහාර නොගන්න. විරේක වීම පටන් ගත් පසු වරින් වර මද උණුසුම් ජලය කෝප්පයක් බැගින් පානය කරන්න. විරේක වී අවසන් වූ පසු උදේ ආහාරය සඳහා සරල කෑමක් ගන්න. දවල්ට සහ රාත්‍රියට තෙල් මිරිස් නොදමා එළවළු සමග බත් කන්න.   


සවසට මී පැණි තේ හැඳි 1 ක් දමා ඉතිරි ​​කෝප්ප භාගය පානය කරන්න. (මෙම ඖෂධය දින එකක් ගන්න)   


බඩ විරේක කර එක් දිනයක් පසුකර පහත සඳහන් ඖෂධ පිළිවෙළින් පානය කරන්න.   


ඖෂධ වට්ටෝරුව අරළු බුළු නෙල්ලි රසකිඳ දුම්මෑල්ල කටුකරෝසන හාතාවාරිය අල මෙයින් එක් වර්ගයකින් කළං 1 යි. මංචාඩි 14 බැගින් ගෙන වතුර කෝප්ප 8 ක් දමා තම්බා එක කෝප්පයට සිඳුවා ගෙන කෝප්ප භාගය බැගින් උදේට සහ සවසට සීනි තේ හැඳි 1 යි, මී පැණි තේ හැඳි 1 යි දමා දින 7 ක් පානය කරන්න.   


ඖෂධ වට්ටෝරුව ඉරමුසු මුල් දියමිත්ත මුල් වියළි ඉඟුරු ඉරිවේරිය කළාඳුරු අල මෙයින් එක් වර්ගයකින් කළං 2 යි. මංචාඩි 8 බැගින් ගෙන ඉහත පිළිවෙළට සදාගෙන උදේට සහ සවසට දින 7 ක් පානය කරන්න.   


ඖෂධ වට්ටෝරුව හාතාවාරිය අල, ඉරමුසු මුල්, අළු කෙසෙල් අල සැවැන්දරා මුල් රසකිඳ ලුණුවිල, කළු උක් දඬු, බැබිල මුල් මෙයින් එක් වර්ගයකින් කළං 1 යි. මංචාඩි 8 බැගින් ගෙන ඉහත පිළිවෙළට සාදාගෙන උදේට සහ සවසට දින 7 ක් පානය කරන්න.   


ඖෂධ වට්ටෝරුව වැල්මදට වැල් මී මානෙල් අල මුද්දරප්පලම්, ගල් කූර මුල් ඉරිවේරිය, සැවැන්දරා මුල්, සුදු හඳුන්, ඉරමුසු මුල්, හාතාවාරිය අල මෙයින් එක් වර්ගයකින් කළං 1 යි. මංචාඩි 4 බැගින් ගෙන ඉහත පිළවෙළට සාදාගෙන උදේට සහ සවසට දින 7 ක් පානය කරන්න.   


රුධිරය පිරිසිදු කර ගැනීම සඳහා ප්‍රතිකාර   


ඉහත ඖෂධ වට්ටෝරුව පානය කර අවසන් වී දින දෙක තුනක් පසු වී මෙම වට්ටෝරුව දින 14 ක් පානය කරන්න.   


ඖෂධ වට්ටෝරුව රසකිඳ තිරස් සවාලු, ඉරමුසු මුල් වියළි ඉඟුරු, සැවැන්දරා මුල් නීරමුල්ලිය, ලුණු වරණ පොතු අතිවිඩියන් සුදු හඳුන්, රත් හඳුන්, බැබිල මුල් වැල් මී වියළි කහ නෙල්ලි කොහොඹ පොතු අරළු හාතාවාරිය අල ආඩතෝඩා මුල්, දුම්මෑල්ල, පැණි තෝර මුල්, කබරස, සීන මුල්, එළබිම් තඹුරු සිරි වැඩි බැබිල (සිරිවැඩි බැබිල සොයා ගැනීමට අපහසුනම් බෙහෙත් අනෝදා යොදන්න) මෙයින් එක් වර්ගයකින් කළං 1 බැගින් ගෙන වතුර කොප්ප 8ක් දමා එක කෝප්පයට සිඳුවා කෝප්ප භාගය බැගින් උදේට සහ සවසට සීනි තේ හැඳි 1 යි මී පැණි තේ හැඳි 1 යි දමා පානය කරන්න.   


මෙම ඖෂධය පානය කරන අතරතුර උෂ්ණාධික ආහාර පාන වලින් වැළකීම හා දිනක් හැර දිනක් ස්නානය කිරීම සුදුසුයි. වෙනත් ප්‍රබල කායික දෝෂයන් නොතිබේනම් මෙම ඖෂධ වලින් පසුව ඔබගේ අපේක්ෂාව ඉටුවනු ඇත. මෙම ප්‍රතිකාර පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් 0774530823 අමතන්න.   

 

 

 

 

 

 

 

 


ප්‍රසන්ජන සිල්වා   
ජ්‍යොතිෂවේදී පාරම්පරික වෛද්‍ය   
වෙද ගෙදර   
අංක 119 මිනුවම්පිටිය පාර, පානදුර.