තොරණ හන්දියේ ආලෝකය විද්‍යාලංකාර පිරිවෙණ


 

​කොළඹ සිට මහනුවර බලා ගමන් ගන්නා ඕනෑම අයකුට පෑලියගොඩ පසුකර ඉදිරියට යද්දී හමුවන තොරණ හන්දිය ප්‍රසිද්ධ සතරමං හන්දිවලින් එකකි.  


වම්පසින් වත්තලටත් දකුණු පසින් කැළණි රජමහා විහාරස්ථානයටත් ඉදිරිපසින් මහනුවරටත් පසුපසින් කොළඹටත් බෙදීයන අයුරින් මේ සතරමං හන්දිය පිහිටා ඇත. ඓතිහාසික කැලණි රාජධානියේ රජකම් කළ කැලණිතිස්ස රජතුමාගේ මාලිගාවට පිවිසෙන ප්‍රධාන දොරටුව අභියස ​තොරණක් තනා තිබූ නිසා ‘‘තොරණ ළඟ හන්දිය’’ පසුව තොරණ හන්දිය වූ බව තවමත් ජීවතුන් අතර සිටින පැරැන්නෝ පවසති.  

තොරණ හන්දිය අපේ රටේ පමණක් නොව දේශ දේශාන්තරවල පවා ප්‍රසිද්ධ වූ හන්දියකි. එසේ වූයේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ බඳු වූ කැළණිය විද්‍යාලංකාර පිරිවෙන මේ හන්දිය ආසන්නයේම පිහිටා තිබීම නිසාය. ඒ අනුව බලන කල්හි තොරණ හන්දියෙන් තොර විද්‍යලංකාරයක් ගැන ද විද්‍යාලංකාරයෙන් තොර තොරණ හන්දියක් ගැන ද කතා කිරීමට ඉඩ නැත.  


​තොරණ හන්දියේ අතීතය සොයා යෑමේදී අප මුලින්ම ගොඩ වැදුණේ තොරණ හන්දිය ආසන්නයේම ඇති විද්‍යාලංකාර පිරිවෙනටය. එහි අධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි හා විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයාධිපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි දෙපළ එහිදී හමුවූහ. මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියෝ තොරණ හන්දියේ අතීතය මෙලෙස ගෙනහැර පෑහ.   


කැලණි පුරවරයට පිවිසීමට තිබූ පිවිසුම් දොරටුවේ ​​ෙතාරණක් ඉදිවී පැවැති බවට ඉතිහාසයේ හා ජනවහරේ විශ්වාසයක් පවතිනවා. ඒ තොරණ පදනම් කරගෙන තමයි මේ ස්ථානය තොරණ හන්දිය බවට පත්වෙලා තියෙන්නේ.  


තොරණ හන්දිය ගැන කථා කිරීමේදී ගසට පොත්තක් පරිදි විද්‍යාලංකාර පිරිවෙනත් තොරණ හන්දියත් සමඟ අවියෝජනීය සබඳතාවක් තිබෙනවා. 1872 දී රත්මලානේ ධම්මාලෝක නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් තමයි විද්‍යාලංකාර පිරිවෙන ආරම්භවෙලා තියෙන්නේ රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනින් භාෂා ශබ්ද ශාස්ත්‍ර හැදෑරූ උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළා. මීට සමගාමීව මාලිගා කන්දේ වි​ෙද්‍යාදය පිරිවෙණ, හික්කඩුවේ සුමංගල හිමියන් ආරම්භ කළා.  


උන්වහන්සේත් රත්මලානේ ධම්මාලෝක හාමුදුරුවන් සමඟ රත්මලානේ පරම ධම්ම ​ෙච්තිය පිරිවෙනේ ඉගෙන ගත් යතිවරයාණන් වහන්සේනමක් විද්‍යාලංකාර පිරිවෙන ‘‘ශාස්ත්‍ර ශාලාවක්’’ වශයෙන් තමයි ආරම්භ වුණේ පිරිවෙන ආරම්භ වීමත් සමඟ මේ ප්‍රදේශයේ ආගමික හා ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇතිවුණා. ක්‍රමයෙන් භික්ෂු අධ්‍යාපනය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ සමගම විද්‍යාලංකාර පිරිවෙන සංවර්ධනය වීමෙන් පසුව ගිහි සිසුන් සඳහාත් අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට විධි විධාන ඇති කළා.   


විශේෂයෙන් විදේශ ආධිපත්‍යයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ බෞද්ධ අධ්‍යාපනය හා භාෂා ශාස්ත්‍ර ආරක්ෂා කිරීමේ අරමුණින් ඇරඹි මෙම පිරිවෙනේ රත්මලානේ ධම්මාරාම හිමියන්ද ආරම්භයේ පටන් කටයුතු කරමින් විශාල ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයකට අවැසි මංපෙත් විවර කළ බව මේ මොහොතේ සඳහන් කළ යුතුව ඇත.   


තොරණ හන්දිය ආසන්නයේ සිට මුළු ලංකාව පුරා විහිදී ගිය ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයේ පණිවුඩයෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් පමණක් නොව ගිහි සිසුවන්ගෙන්ද විද්‍යාලංකාර විදුබිම පිරී ඉතිරෙන්නට විය.  


ඈත ගම් බිම්වලින් පැමිණි මේ සියලු දෙනාගේ ගමනාන්තය වශයෙන් සනිටුහන් කළේ තොරණ හන්දියයි. තොරණ හන්දියට මේ තරම් ප්‍රසිද්ධියක් හිමිවූයේ අන් කිසිවක් නිසා නොව විද්‍යාලංකාරයෙන් බව මෙයින් පැහැදිලිවනු ඇත.   


විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ වීමත් සමඟ ප්‍රදේශයේ බෞද්ධ දරු දැරියන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අදහසින් කැලණිය ධර්මාලෝක විදුහල පිරිවෙන් භූමියේම මුලින්ම ආරම්භ කළා. පසුව තමයි දැන් තිබෙන වරාගොඩ පාරේ වර්තමාන විදුහල පවතින ස්ථානයට රැගෙන ගියේ.  


බොදු සිතුවිලිවලින් පිරුණු උගතුන් වියතුන් පමණක් නොව රටට වැඩද‌ායක පිරිසක් බිහිකිරීමට කැලණිය ගුරුකුල විදුහලත් විද්‍යාලංකාර පිරිවෙන කේන්ද්‍ර කරගෙන ගොඩ නැගුණු තවත් විදුහලකි තොරණ හන්දිය ආසන්නයේම තවත් විදුහලක් ඒකාලේ ආරම්භ කළා. ඒ විදුහල වෙදමුල්ල මහ විදුහල නමින් ප්‍රකට වුණා.  


විද්‍යාලංකාර පිරිවෙනින් විශාල වශයෙන් සම්භාවනීය ගිහි පැවිදි විද්වතුන් රැසක් රටට ද‌ායාද කළා. ඒ අතරින් මා මතකයේ ඇති නම් පමණක් මේ මොහොතේ කියන්නම්   


රත්මලානේ ශ්‍රී ධම්මාරාම, ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥසාර, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, බඹරැන්දේ සිරිසීවලී, මහාචාර්ය වල්පොල රාහුල, කළල්ඇල්ලේ ආනන්ද සාගර (කේයස්) වැනි උගත් විනයධර ධර්මධර පැවිදි උතුමන් පිරිසක් විද්‍යාලංකාරයෙන් බිහිවුණා.  


විද්‍යාලංකාරයෙන් බිහි වූ උගත් ගිහි භවතුන් අතර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සර් ඩී.බී ජයතිලක මහතා අප පිරිවෙනේ ඉගෙනගත් සිසුවකුවීම අපට විශාල ගෞරවයක් එතුමා කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පතිධුරය දරමින් පවා බොදු හැදියාවෙන් පිරි විනයගරුක සමාජයක් ඇති කිරීමට ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ පඬිවරයෙක්.   


1956 දී හොරණ අසුනින් එජාපයෙන් තරග කළ එම්.ඩී.එච්. ජයවර්ධන මහතා පරදවා මහජන එක්සත් පෙරමුණින් පාර්ලිමේන්තුවට පැමිණි සාගර පලන්සූරිය (කේයස්) අප පිරිවෙනින් බිහි වූ කලාකරුවකු මෙන්ම දේශපාලනඥයෙක් වුණා. ඔහු විද්‍යාලංකාර පර්​ෙ‌ය්ෂණ අධ්‍යක්ෂවරයා වශයෙන්ද කටයුතු කළා.  


විද්‍යාලංකාර පිරිවෙන්පතිව වැඩ විසූ අතිපූජ්‍ය ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ කාලයේ පාලි, සංස්කෘත භාෂාවන් හද‌ාරා ආයුර්වේදය මැනවින් හැදෑරූ ශිෂ්‍යයෙක් තමයි, දොස්තර ඒ.ජී.ජේ.ඇල්.ලියෝ මහතා ඔහු උපතින්ම කතෝලිකයෙක්. ලුණුපොකුණේ නායක හාමුදුරුවෝ සෑම ඉරු දිනකම ඔහුට කතෝලික පල්ලියට යෑම   


අනිවාර්ය කරලා තිබෙනවා. ඔහු පල්ලියට ගියාද නැද්ද කියා උන්වහන්සේ සෑම ඉරුදිනකම සොයා බලා තිබෙනවා.  


ආගමික සහජීවනය අපේ පැවිදි පඬිවරු ඉතාම ඉහළින් ගරු කළ බවට හොඳම නිදසුන තමයි මේ සිදුවීම. දොස්තර ඒ.ජී.ජේ.ඇල් ලියෝ මහතා හොඳ වෛද්‍යවරයකු වූවාසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ මහජන නියෝජිතයෙක් වුණා වත්තල අසුනින් පාර්ලිමේන්තුවට ගිය ලියෝ මහතා, විද්‍යාලංකාර පිරිවෙනින් නේවාසිකව ඉගෙනගත් අපේ ආදි ශිෂ්‍යයෙක්. අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මහතා පිරිවෙ​ෙන් ඉගෙන ගත්තා පමණක් නොව ධර්මාලෝක විදුහලේ ගුරුවරයකු වශයෙන්ද කටයුතු කළා. එතුමා පුවත්පත් කලාවේදියකු වශයෙන්ද ක්‍රියා කළා.  


විහාර දේවාලගම් නීතිය පිළිබඳ ග්‍රන්ථයක්ද එතුමා ලිව්වා. හබරාදූව අසුනින් පාර්ලිමේන්තුවට පැමිණ මහජන මන්ත්‍රීවරයකු බවට ඒ මහතා පත්වුණා.   


අපේ පිරිවෙනින් නේවාසිකව ඉගෙනගත් ආදි සිසුන්ගෙන් තවත් කෙනෙක් තමයි ඒ කාලේ යසරත්න කියලා තමයි කිව්වේ පුවත්පත් කලාවේදියකු වශයෙන්ද ක්‍රියාකළ රත්න දේශප්‍රිය සේනානායක.  


1970 මින්නේරිය අසුනට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වූ රත්න දේශප්‍රිය සේනානායක එජාපයෙන් තරග කළ ජ්‍යෙෂ්ඨ අැමැතිවරයකු වූ සී.පී ද සිල්වා මහතා පරදවා මින්නේරියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වුණා.   


කැළණිය විද්‍යාලංකාර පිරිවෙන මේ රටේ ඇති වූ දේශපාලන සමාජ පෙරළිවලට නායකත්වය දුන් ස්ථානයක් වශයෙන්ද ඉතිහාස ගතවෙනවා.  


මුලින්ම 1947 මහා මැතිවරණයේදී කැළණිය ආසනයට ලංකා සමසමාජ පක්ෂයෙන් තරග කළ බෝධිපාල වෛද්‍යසේකර මහතාට සහයෝගය දැක්වීමට විද්‍යාලංකාර භික්ෂූන් වහන්සේ තීරණය කරලා තිබුණා. එජාපයෙන් කැලණියට තරග කළේ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහත්තයා. ඒ මැතිවරණයේදී තොරණ හන්දියේදීම වල්පොළ රාහුල හිමියන්ටත් කළුපහණ රේවත හිමියන්ටත් මැර ප්‍රහාරයකට ලක්වෙන්න සිද්ධ වුණා. වල්පොළ රාහුල හිමියන්ගේ හිසට තුවාල වූ මේ සිදුවීම නිසා තොරණ හන්දිය දේශපාලන වශයෙන් ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්වුණා  


ඒ කාලේ ඉඳලම සෑම දේශපාලනඥයෙක්ම නිතර යන එන තැනක් තමයි විද්‍යාලංකාර පිරිවෙන කියන්නේ. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක, ආචාර්ය ඇන්.එම්.පරේරා, පිලිප් ගුණවර්ධන, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඇතුළු බොහෝ දේශපාලනඥයන් විද්‍යාලංකාරයේ ඇසුර ලැබුවා. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ ඩී.බී. ධනපාල මහතා කැලණිය ධර්මාලෝක විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් පමණක් නොව පුවත්පත් කතුවරයකු වශයෙන්ද ක්‍රියාකරද්දී විද්‍යාලංකාරයේ ඇසුර ලැබූ කෙනෙක්.   
එවැනි චරිත අපට ගොඩාක් සමීප චරිත වශයෙන් තමයි ඒ කාලේ හිටියේ. පුවත්පත් කලාවේදී ධර්මසිරි ජයකොඩි මහතාද විද්‍යාලංකාරයේ ඇසුර ලැබූ කෙනෙක්.  


විද්‍යාලංකර පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ විදේශීය භික්ෂූන් වහන්සේ අතර මහා පණ්ඩිත රාහුල, සංස්කෘත්‍යායන, ආනන්ද කෞශල්‍යායන ශාන්ති ශාස්ත්‍රි යනාදී ඉන්දියානු පඬිවරුද චීන ජාතික මහාචාර්ය පාපොං හිමියන්ද ධර්ම ශාස්ත්‍රීය දියුණුව වෙනුවෙන් ක්‍රියා කළ වියත් හිමිවරු වුණා. 1959 දී විද්‍යාලංකාර පිරිවෙන 1956 දී විශ්වවිද්‍යාලයක් බවට පත්වීම නිසා තොරණහන්දිය වඩ වඩාත් දිවයින පුරා ප්‍රකට වන්නට හේතු වුණා. මුළු දිවයිනෙන්ම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ගිහි පැවිදි තරුණ ශිෂ්‍ය පිරිස් තොරණ හන්දියෙන් බැස විද්‍යාලංකාරයට ආවා. ඔවුන්ගේ මධ්‍යස්ථානය වුණේ තොරණහන්දිය තමයි. විද්‍යාලංකාර පිරිවෙන් භූමියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නිසා විශ්වවිද්‍යාලය දළුගමට රැගෙන ගියා විශ්වවිද්‍යාලය දළුගමට අරන් ගියේ 1965 වර්ෂයේදීයි.   


විද්‍යාලංකාර පිරිවෙන් ආශ්‍රිතව තොරණ හන්දිය අසල ගම්වලින් බිහි වූ කලාකරුවන් හා කලාකාරිනියක් ගැන කථා කිරිමේදී අපේ දහම් පාසලෙන් ඉගෙන ගත් සිනමා නිළි මාලනී ​ෙෆාන්සේකා, තොරණ හන්දියේම විසූ විමල් කුමාර ද කොස්තා, ජනප්‍රිය ගායිකා සුජාතා අත්තනායක, රංජනී පෙරේරා, වසන්තා සන්දනායක‌, ධර්මද‌ාස වල්​පොළ, ලතා වල්පොළ, චිත්‍රපටි අධ්‍යක්ෂ එච්.ඩී. ප්‍රේමරත්න, ගුවන් විදුලියේ එච්.ඩී. විජේද‌ාස, ගුවන් විදුලි​ෙය් විකට ශිල්පීන් වූ සැමුවෙල් රුද්‍රිගු, ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක සිය පුහුණුවීම් කටයුතු කළේද විද්‍යාලංකාර පිරිවෙනේ තමයි.  


මේ තරම් ජනතාවක් එහා මෙහා ගිය තොරණ හන්දිය වෙළෙඳ නගරයක් වශයෙන් දියුණුනොවූයේ විවිධ පුද්ගලයන්ගේ කප්පම් ගැනීම් හා තර්ජන ගර්ජන නිසායි. එසේ නොවුණා නම් කිරිබත්ගොඩ නගරයට සමාන දියුණු නගරයක් බවට පත්වීමට අවශ්‍ය සාධක තොරණ හන්දියේ තිබුණ බව නොරහසකි   


අවසන් වශයෙන් කඹුරුගමුවේ වජිර නාහිමියෝ එසේ පැවසූහ.  


තොරණහන්දියේ අතීතය සොයා යෑමේදී හමු වූ කරුණාරත්න විලේගොඩ මහතා:  


තොරණ හන්දියට එහායින් ඒ කාලේ පොකුණක් තිබුණ බවට සාක්ෂි තිබෙනවා. දැන් අනුරාධපුරයේ වුණත් බලන්න පොකුණක් අසල වාහල්කඩක්, නැතිනම් දොරටුවක් තිබෙනවා. එසේ නම් රජමාලිගාවට පිවිසෙන දොරටුව තමයි තොරණහන්දිය වශයෙන් පසු කාලීනව හඳුන්වන්න පටන් ගත්තේ.   


ඒ කාලේ තොරණ හන්දිය ආශ්‍රිතව වලව් හතරක් තිබිලා තියෙනවා. කුරුවේ වලව්ව, දසනායක වලව්ව, තමන්කඩුවේ වලව්ව, සමරසිංහ වලව්ව යනුවෙනි.  


ඉස්සර සමරසිංහ වලව්වේ විවාහ මංගල්‍යයක් තිබිලා තියෙනවා ඒ විවාහ මංගල්‍යයයට කොකිස්වලින් තොරණක් හදලා තියෙනවා. 1942 වගේ අවදියේ මේ ප්‍රදේශය ඉතාම පිටිසරබද ප්‍රදේශයක සිරිය තමයි අපි දැක්කේ. එක දිගටම කුඹුරු යායවල් දකින්න ලැබුණා.   
​උදේ හවා කුඹුරුවල වැඩකරන මිනිස්සුන්ගේ සීපද තමයි ඒ කාලයේ ඇහෙන්නේ. ඉස්සර තොරණ හන්දියට මීටර් 200 ක් තරම් දුරින් පාර කැඩිච්ච වළ කියලා හරියක් තිබුණා. රෑට මිනිස්සු ඒ පාරෙන් යන්නේ නැහැ. ඒ තරමටම පිටිසරයි.  


තවත් තැනක් තිබුණා ගොරකවළේ බෝක්කුව කියලා එතැනින් මිනිස්සු රාත්‍රියට ගමන් යන්නේ නැහැ. ආණ්ඩුවේ රස්සාවල් කරන අය හිටියේ ඉතාම අතළොස්සයි. ප්‍රධාන රැකියාව ගොවිතැන. ගවපාලනය කරන රැකියාව තමයි මිනිස්සු කළේ වී ගොවිතැන වගේම ගොඩ ගොවිතැන තිබුණා. බණ්ඩක්කා, මෑකරල්, වැටකොලු, පතෝල කීර තම්පලා වැනි එළවළු වර්ග එළවළු​ කොරටුවල වගා කරනවා. තොටළඟ තමයි වෙළෙඳ මධ්‍යස්ථානය වුනේ එතැනට ගිහින් බවභෝග විකුණලා තමයි කීයක් හරි මුදලක් සොයා ගන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ බඩවැටිවල මාදං හිඹුටු, පේර, කිරිල්ල යහමින් තිබුණා. අපි දුව පැන ඇවිදිමින් ඒවායේ රස බලනවා.   
එ් කාලේ පලතුරු සල්ලිවලට ගන්න සිරිතක් තිබුණේ නැහැ. ගෙවල්වල සිංහල එළවළු වගේම පලතුරු ඕනෑම දෙයක් තිබුණා. ගොයම් කපා පාගලා, ඉවරවෙලා අලුත් සහල් මංගල්‍යය සමඟ ගම්මඩු සංදර්ශන පවත්වනවා.  


ගොක්කොළවලින් සරසලා, පන්දම් පත්තු කරලා, කෙහෙල් පතුරුවලින් යහන් හදලා, පුදුම ලස්සන බවක් හා නැවුම් බවක් මුළු ගම පුරාම විහිදුණා.  


ඒ කාලේ මිනිසුන් තුළ පුදුම සාමූහික බවක් තිබුණා.  


මුතුරාජවෙළ ආසන්නයේ ජල පෝෂක ප්‍රදේශ නිසා නැවුම් සුළඟින් පිරිසිදු වාතාශ්‍රයෙන් පිරුණු නිසා නිරෝගී ජනතාවක් ඒ කාලේ මේ ප්‍රදේශයේ හිටියා.  


තොරණහන්දිය ආශ්‍රිතව කැලණිය ආසනයේ හිටපු දේශපාලනඥයන් අතර ආර්.ජී.සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්.ඇස්. පෙරේරා, කළුවාදේවගේ සිරිල් මැතිව් යන මහත්වරු වරින් වර මහජන නියෝජිතයන් වශයෙන් කටයුතු   
කළා. පෙර රජ දවස මාලිගාවට පිවිසීමට තිබූ දොරටුව අසල තිබූ තොරණ සිහිවීම පිණිස පසුගිය කාලයේ ප්‍රදේශයේ හිටපු මැති අැමැතිවරුන්ගේ මැදිහත් වීමෙන් අලුතින් තොරණක් ඉදිකර තිබීම පිළිබඳව ප්‍රදේශවාසියකු වශයෙන් මාත් සතුටට පත්වෙනවා.  
ප්‍රදේශයේ ජීවත්වෙන කලාකරුවන් අතර කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ අැතුළු කලාකරුවන් ද සිහිපත් කළ යුතුව පවතින බව කරුණාරත්න විලේගොඩ මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.  


සටහන හා ඡායාරූප 
මහින්ද ආරියවංශ