ටැන්සානියාවේ එබෝලා පැතිරෙනවාදැයි සැකයක්


 

ටැන්සානියාවේ පැතිරෙන බව කියන මාරාන්තිත එබෝලා වෛරසය පිළිබඳව කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකරන්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එරට රජයට චෝදනා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත නැවත ඉල්ලීම් කර සිටියද ටැන්සානියානු රජය ප්‍රතිචාරයක් නොදැක්වූ බව එම සංවිධානය සඳහන් කරයි. අලුතෙන්ම ඇතිවූ මෙම වසංගතය හේතුවෙන් නැගෙනහිර කොංගෝ ජනරජයේ 2000ක් පමණ මිය ගොස් ඇත. මේ අතර උගන්ඩාව රෝගය පැතිරීම වැළැක්වීම සඳහා උත්සාහ කරමින් සිටියි. 


ටැන්සානියාවේ ජනාකීර්ණම නගරය වෙන ඩාර් එස් සලාම් හි සැක කටයුතු ආසාදනයක් වාර්තා වී ඇති බව, සැප්තැම්බර් මස මුල් භාගයේදි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ. අගොස්තු මාසයේදී එබෝලා වෛරසයේ ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් උගන්ඩාවට සංචාරය කිරීමෙන් පසු සැප්තැම්බර් 8 වැනි දා මිය ගොස් තිබේ. මරණයට හේතුව එබෝලා වෛරසය බව හඳුනාගෙන ඇතැයි සැක කරයි. 


සැප්තැම්බර් මස මුල් භාගයේදී පමණ සැක කටයුතු රෝගීන් කිසිවෙක් හමුවී නැති බව කියා ටැන්සානියානු රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කළහ. ටැන්සානියාවේ ආදායම ප්‍රධාන වශයෙන් රැඳී පවතින්නේ සංචාරක ව්‍යාපාරය මත බැවින්, එම ව්‍යාපාරය කඩාවැටේ යන බිය නිසා එරට රජය මෙම එබෝලා සිද්ධිය වසං කරතැයි කියැවේ. 


1976න් පසු පසුගිය වසරේදී කොංගෝ ජනරජයෙන් එබෝලා වසංගතයක් වාර්තා විය. එම වසංගතය එරට මුහුණ දුන් දරුණුම වසංගත 10න් එකක් ලෙස හැඳින්වේ. මෙහිදී වසංගත රෝගීන් 3000කට වඩා වාර්තා වූ අතර මරණද 2000කට වඩා සිදු විය. අප්‍රිකානු මහද්වීපයේ පැතිරෙමින් පවතින බවට සැක කෙරෙන එබෝලා වසංගතය පිළිබඳව අනෙකුත් රටවල් දැඩි අවධානයෙන් පසුවීමට පටන් ගත්තේ උගන්ඩාවේදී එබෝලා වෛරසයට ගොදුරු වූ විදේශිකයන් සිවු දෙනෙක් මිය යාමත් සමඟයි. 


හදිසියේ හටගන්නා දැඩි උණ, දැඩි ශාරීරික දුර්වලතාව, මස් පිඩු වේදනාව හා උගුරේ වේදනාව එබෝලා වෛරසයේ රෝග ලක්ෂණයි. එය ක්‍රමයෙන් වමනයේ සිට පාචනය දක්වාද, බාහිර හා අභ්‍යන්තර රුධිර වහනය දක්වාද වර්ධනය වේ. එබෝලා ආසාදිතයෙකුගේ සමෙහි ඇති තුවාල මගින්, නාසයෙන් හා මුඛයෙන්, රුධිරයෙන්, වමනයෙන්, මළ මුත්‍රා මගින් හෝ ශරීරයේ ඕනෑම තරලයක් ස්පර්ශ වීමෙන් නිරෝගී අයෙකුට එබෝලා වෛරසය ආසාදනය වේ. රෝගීන් මිය යන හේතු ලෙස දැක්වෙන්නේ අධික විජලනය හා ඉන්ද්‍රියන් අක්‍රිය වීමයි. 


යම් හෙයකින් ටැන්සානියාවේ පවතින්නේ එබෝලා වෛරසය නම්, එය සමස්ත ලෝකවාසීන්ගේම යහපැවැත්මට තර්ජනයකි. 

 


නිසංසලා දිසානායක 
අන්තර්ජාලය ඇසුරිනි