ජපන් අධිරාජයාත් ආ ගිය ජේ.ආර්.ගේ කුඹල්ඔළුවේ වත්ත


ජපාන අධිරාජයා ජේ.ආර්.ගේ වත්තේදී

 

 

ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරන්නෙමු යන සටන් පාඨය යටතේ තරග කළ එක්සත් ජාතික පක්ෂය 1977 ජූලි 22 දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අාසන 168කින් 140ක ජයග්‍රහණයක් අත් පත් කර ගන්නේ ජුනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්.ගේ නායකත්වයෙනි. ජේ.ආර්. අගමැති ධුරයේ දිවුරුම් දුන් දිනම රට පුරා ක්‍රියාත්මක වෙන පරිදි අැඳිරි නීතිය පැනවීමට සිදු විය. 1977 ඔක්තෝබර් 04 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙවැනි සංශෝධනය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ අතර අගමැතිව සිටි ජේ.ආර්. සියලු බලතල සමග විධායක ජනාධිපති බවට පත් විය.   


ජේ.ආර්. ජයවර්ධන සමහර අංශවලින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට සමාන විය. මේ දෙදෙනාම යුරෝපීය ඇඳුම අත හැර ජාතික ඇඳුමට මාරු වී සිටියහ. ක්‍රිස්තියානි ආගම අතහැර බෞද්ධාගම වැලඳගෙන තිබිණි. ඉංග්‍රීසි භාෂාව, කල්පනා කරන භාෂාව ලෙස තබා ගනිමින් සිංහල භාෂාව මහජනයාට අමතන භාෂාව බවට පත්කර ගත්තේය.   


එහෙත් ජේ.ආර්.ගේ සම්ප්‍රදායික දේශපාලන පසමිතුරා බවට පත් වූයේ බණ්ඩාරනායක මැතිනියයි. බණ්ඩාරනායක අගමැතිවරයා ඒ වෙන විට මිය ගොස් සිටි බැවිනි. 1970 මැයි 28 වැනිදා සිට 1977 ජූලි 23 දක්වා පුද්ගලයින් ගණනාවකගේ ක්‍රියා කලාපය හා පැවැත්ම පරීක්ෂා කිරීම සඳහා රජය විසින් 1977 අගෝස්තු මාසයේදී ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේය. කොමිසම විසින් නොතීසි යවන ලද පුද්ගලයින් අතර සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ද වූවාය. ඇය අනිසි ලෙස බලය පාවිච්චි කර ඇති බවට නිගමනය කරමින් කොමිසම මඟින් 1980 සැප්තැම්බර් 25 දින සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය වසර 7කට තහනම් කළේය. ඇයට පාර්ලිමේන්තුවේ ආසනය ද අහිමි කෙරිණි.   


බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම පිළිබඳව රටේ දැඩි විරෝධයක් එල්ල විය. අත්තනගල්ලේ ජනතාව ඊට නායකත්වය දුන්හ. අත්තනගල්ලේ පවතින දැඩි විරෝධය මධ්‍යයේ වුවද තම ගත, සිත විවේකයෙන් ගත කරන්නට ජේ.ආර්. ගියේ ද අත්තනගල්ලටය. අත්තනගල්ලේ-වේයන්ගොඩ කුඹල්ඔළුවේ පිහිටි අක්කර 150 ක් පමණ විශාල පොල් වත්ත ජේ.ආර්. නිතර ආ ගිය විවේක මධ්‍යස්ථානයයි. එහි විවේක සුවයෙන් ගතකර වත්ත පුරා ඇවිදිමින් පැය කීපයක් ගත කිරීමට ජේ.ආර්. පුරුදු වී සිටියේය.   


‘මාහේන වත්ත’ නමැති මෙම ඉඩම ජේ.ආර්.ට ලැබුණේ තම ආච්චිගෙනි.   


එ් කාලයේ ජේ.ආර්. දේශපාලනයේ මුලකුරු කියමින් සිටියේය. සිරිමාවෝ මැතිනියගේ කාලයේ ක්‍රියාත්මක වූ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ එක් අයෙකු සතුව තිබිය හැකි ඉඩම් අක්කර ගණන 50කට සීමා කෙරිණි. ජේ.ආර්. ද ඊට හොඳ අපූරු වැඩක් කළේය. ඒ තම සහෝදරියන් දෙදෙනෙකු නමට අක්කර 50 බැගින් ඉඩම කොටස් කර ලිවීමය. නමුත් ඉඩම භාවිත කළේ ඔහුය.   


අක්කර 150ක් විශාල ජේ.ආර්.ගේ කුඹල්ඔළුවේ පිහිටි ඉඩම මැද නිවසක් පිහිටා තිබුණි. ජේ.ආර්. විවේක සුවයෙන් ගත කරන්නේ ඒ තුළය. ඉතා අලංකාර ලෙස ඉදිකර තිබූ එම නිවසට සතියකට වරක් පැමිණීමට ජේ.ආර්. ජනාධිපතිව සිටි සමයේදී පුරුදුව සිටියේය. ජපානය සමග ඉතා හොඳ ඇසුරක් ජේ.ආර්.ට තිබුණි. සැන් ෆ්‍රැන්සික්කෝ සමුළුවේදී ‘නහී වේරේන වේරානි’ ගාථාව තේමාකර ගනිමින් ජේ.ආර්. පවත්වන ලද දේශනය ජපානයේ ගැලවුම්කාර දේශනය බවට පත්ව තිබුණි.   

 

අධිරාජයා සමග ජේ.ආර්. විවෘත ජීප් රථයේ නැග

 


ජපානයේ ඔටුන්න හිමි ‘අකිහිතෝ’ කුමරු සහ ‘මිචිකෝ’ කුමරියට ලංකාවට එන්නැයි ආරාධනා කළේ ජේ.ආර්.ය. ජේ.ආර්. ජනාධිපති බවට පත්ව වසර 4කට පසුව ජපන් කුමරා සහ කුමරිය ශ්‍රී ලංකාවේ සංචාරයකට මෙරටට පැමිණියහ. 1981 මාර්තු 04 දිනට යෙදී තිබූ මෙම සංචාරයේ කාල සටහනට අනුව ජපන් කුමරා සහ කුමරිය කටුනායක ගුවන් තොටුපොළින් බැස කෙළින්ම මහනුවරට යාමට නියමිතව තිබිණි. ජපන් කුමරා සහ කුමරිය වේයන්ගොඩ කුඹල්ඔළුව ගමට රැගෙන යන්නට ජේ.ආර්.ට වුවමනා විය. ඔහු ඒ සඳහා කටයුතු සූදානම් කළේය.   


උත්සවය දිනෙන් දින ළං වත්ම ජේ.ආර්. වැඩි වැඩියෙන් කුඹල්ඔළුවට ආවේය. ජපන් රජු, යුවළ උත්සවශ්‍රීයෙන් පිළිගැනීම ජේ.ආර්.ට තිබුණ ලොකුම ආශාව විය.   


මේ සඳහා ඔහු මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය ලබා ගත්තේය.   


ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණ කටයුතු කළ ධර්මසේන හේමපාල පදිංචිව සිටියේ කුඹල්ඔළුව ගමේය. සංදේශය, ගම්පෙරළිය, මඩොල්දූව, තුන්මං හන්දිය, බැද්දේගම, ගඟ අද්දර, ගැහැණු ළමයි වැනි උසස් සිනමා කෘතිවල කලා අධ්‍යක්ෂකවරයා පදිංචිව සිටින්නේ කුඹල්ඔළුවේ බව දැනගත් ජේ.ආර්. ඔහු සොයා පැමිණියේය. ‘ධර්මසේන මහත්තයා මට මේ වැඩේ හොඳටම කරලා ඕනෑ’ ජේ.ආර්. කීවේය. ධර්මසේන මහතාට රටේ රාජ්‍ය නායකයා කියන දේ පැහැර හැරීමට නොහැකි විය. ඔහු තම උපරිමයෙන් උත්සවයේ සැරසිලි කටයුතු ඉටු කරන්නට සිතා ගත්තේය.   


​ජේ.ආර්. වරින් වර ධර්මසේන මහතා හමුවන්නට පැමිණියේය. ‘තමුන්ට ඕනෑ දෙයක් තියෙනවා නම් මොනව හරි අඩුවක් පාඩුවක් තියෙනවා නම් සිරිවර්ධන හමු වී කියන්න’ (සිරිවර්ධන යනු එවක මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකි) ජේ.ආර්. කීවේය.   


ජපන් කුමරාට හා කුමරියට අපේ රටේ දේශීය සංස්කෘතිය, නැටුම්, ගැයුම්, ගොවිතැන්, ක්‍රීඩා පිළිබඳව අවබෝධයක් ලබාදීමට ජේ.ආර්.ට දැඩි වුවමනාවක් තිබිණි. ඒ පිළිබඳව වැඩසටහන් ඉදිරිපත් කිරීම හා ඒවා සංවිධානය කිරීමට වගකීම පැවරුණේ ද ධර්මසේන හේමපාල මහතාටය. ජපන් රාජකීය යුවළ පිළිගැනීමට පොල් තොරණක් ගැසීමට සූදානම් කර ඇති බව හේමපාල මහතා ජේ.ආර්.ට කී විට ‘බොහොම හොඳයි’ කීවේය. ජපන් යුවළ පැමිණීමට නියමිත දිනය පැයෙන් පැය ළං විය. උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කුඹල්ඔළුව මහා විදුහලේය. විදුහලේ කැඩී ගිය තැන් පිළිවෙළට සකස් විය. වහලයේ බාල්කවල පවා තීන්ත ආලේප විය. ජපන් කුමරා අතින් විදුහල් භූමියේ සුඳු හඳුන් පැළයක් රෝපණය කිරීමට නියමිතව තිබිණි.   


විදුහල අසලම පදිංචිකරුවෙකු වූ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධව සේවය කළ ජන පද නිලධාරියෙකු වූ ටී.එස්. වීරක්කොඩි මහතා කල් සිටම හොඳ සුඳු හඳුන් ගසක් සූදානම් කර තබන ලදී.   

 


ජපන් කුමරා සහ කුමරිය ගුවන් තොටුපොළේ දී පිළිගන්නට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමග අගමැති ප්‍රේමදාස මහතා ද එක් විය. ජපන් යුවළ ගුවන් තොටුපොලේදී පිළිගෙන කෙළින්ම පැමිණියේ කුඹල්ඔළුවටය. වේයන්ගොඩ මල්ලැහැව පාර ඔස්සේ ගමන් ගත් රාජකීයන් රැගත් රිය පෙරහර කුඹල්ඔළුව මහා විදුහල අසලින් නතර කරන ලදී. එම ස්ථානයේ ඉදිකර තිබූ විශාල පොල් තොරණ මැදින් ඉදිරියට එන විටම කුඩා දරුවන් දෙදෙනෙකු විසින් මල් මාලා දමා රා​ජකීය යුවළ පිළිගන්නා ලදී.   


මෙම අවස්ථාව දැකගන්නට ප්‍රදේශයේ ජනතාව දහස් ගණනක් එම ස්ථානයට පැමිණ සිටියහ. පළමුව රාජකීය යුවළ අතින් කුඹල්ඔළුව මහා විදුහලේ ඉදිරිපස යෝධ නාගස් දෙකට මැදිව “සෙවන” තුළ ආගමික කටයුතු පැවැත්විණි. කුඹල්ඔළුව වැබඩමුල්ල විහාරස්ථානයේ හිමිවරුන් ජපන් යුවළ ඇතුළු පිරිස පංචශීලයේ පිහිටුවා ආගමික වතාවත් පවත්වන ලදී.   


ඉන් පසුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ විදුහල් නව පුස්තකාල ගොඩනැගිල්ල රාජකීය යුවළ අතින් සිසු අයිතියට පත් කෙරිණ. අනතුරුව රාජකීය යුවළ විදුහල ඉදිරිපිට සුඳුහඳුන් පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව ජපන් රාජකීය යුවළ ගමන් කළේ ඔවුන්ගේ අවධානය සඳහා සූදානම් කර තිබූ දේශීය සංදර්ශන, ගැයුම්, වැයුම් බැලීමටය. විදුහල අසල හා ගමේ ආසන්න ප්‍රදේශවල විවිධ ස්ථානවල මෙම සංදර්ශන ස්ථාපිත කර තිබුණි. තැනෙක රබන් සුරල් වැයෙද්දී තවත් තැනක චක්ගුඩු වැනි ජනක්‍රීඩාවල යෙදෙන පිරිසකි. 

 

භක්ති ගීත කණ්ඩායම් බොදු ගීත ගයද්දී තවත් තැනක වී කොටන යුවතියන්ය. ඉන් ඔබ්බට ගිය පසුව වී පොළන කාන්තාවන් පිරිසකි. පොල් අතු විවීම තවත් ස්ථානයක සූදානම් කර තිබිණි. ග්‍රාමීය කර්මාන්ත පිළිබඳව ප්‍රදර්ශනය කර තිබූ ස්ථාන රැසක් රාජකීය යුවළට නරඹන්නට සලස්වා තිබිණි.   


​ෙම් සියල්ල නැරඹූ රාජකීය යුවළත්, ජනාධිපති ජේ.ආර්. හා අගමැති ප්‍රේමදාස යන මහත්වරුත් කොළ පැහැති විවෘත ජීප් රථයකට ගොඩ වූහ. කුඹල්ඔළුවේ පාසල අසලින් ජීප් රථයට ගොඩ වූ පිරිස එහි නැග මල්ලැහැව පැත්තට ගමන් කළහ. ජයවර්ධන මහතාගේ මාහේනවත්ත පිහිටා තිබුණේ පාසල අසල සිට මීටර් 600 ක් පමණ දුරිනි. ඒ දුර ප්‍රමාණය විවෘත රථයේ නැගී ගමන් කරන විට දෙපස රැඳී සිටි ජනතාව දහස් ගණනක් රාජකීය යුවළට ආචාර සමාචාර සිදු කළහ. එම රථයේම නැගී ගමන් ගත් ජේ.ආර්. හා​ ප්‍රේ‍මදාස මහත්වරුද ජනතාවට ආචාර කරමින් විවෘත රථයේ ගමන් ගත්හ.   


රාජකීය යුවළ රැගත් අමුත්තන් පිරිස ඊළඟට ගියේ ජේ.ආර්. ට අයත් ඒ ආසන්නයේම තිබූ කුඹුරු යායක් වෙතය. හරකුන් දමා සීසාන හැටිත්, කුඹරු ගොවිතැන් කරන ආකාරයත් එහිදී ජපන් රාජකීය යුවළ ඉතාමත් ආශාවෙන් නරඹන ලදී. පසුව පිරිස ගියේ ජේ.ආර්. ජයවර්ධන මහතාට අයත් මාහේන වත්තටය. එහි සුදානම් කර තිබූ භෝජන සංග්‍රහයට පිරිස සූදානමින් සිටියහ.   


අක්කර 150කින් සමන්විත මාහේන වත්ත ඉඩමෙන් අක්කර දෙකක ප්‍රමාණයක් ජේ.ආර්. ප්‍රදේශයේ විහාරස්ථානයක් ආරම්භ කිරීම සඳහා පූජා කළේය. එහි ඉදි වූ විහාරස්ථානය වෑබඩමුල්ල පංසලයි. විහාරස්ථානයේ විවිධ කටයුතු සඳහා ජේ.ආර්. වරින් වර පැමිණ සහාය දැක්වීය. ජේ.ආර්. ජයවර්ධන චරිතය අගය කිරීම පිණිස එම විහාරස්ථානයේ උත්සවයක් පවත්වන ලදී. ඒ වෙන විට ජේ.ආර්. තම ජනපති ධුරයෙන් විශ්‍රාම ගොස් සිටියේය. ඔහුව පන්සලට ගෙන්වා පන්සලේ ලොකු හාමුදුරුවන් ජේ.ආර්. චරිතය පිළිබඳ වර්ණනාවක් කරමින්ම උත්සව සභාව ආරම්භ කළහ. උන්වහන්සේගේ කථාවේදී කියවුණේ තමන්ගේ පුද්ගලික ඉඩම් ලබාදීමෙන් කැලණිය පුද බිමට ද ජේ.ආර්. මහා සේවාවක් කළ බවය. අනාගතයේදී විහාරස්ථානය සැලසුම් කර ඇති පරිදි ඉදිකිරීම් කීපයක් සඳහා ජේ.ආර්. ගේ උපකාර අපේක්ෂා කරන බවද උන් වහන්සේ කියා සිටියහ.   


මේ සියලු කතාබහ සාවධානව අසා සිටි ජේ.ආර්. තමන්ගේ කථාවේදී මෙසේ කියා සිටියේ. “මම දැන් පැන්සොංකාරයෙක්. පුළුවන් කාලයේදී මම හුඟාක් උපකාර කළා. අපේ ආච්චිගේ ඉඩම් වලින් අක්කර දෙකක් ද දුන්නා. පංසලේ ඉතිරි වැඩකටයුතුවලට දැන් සම්බන්ධ කර ගත යුත්තේ ලොකු ලොකු ව්‍යාපාරිකයින්. ඒ වගේ අය මේ පැතිවල ගොඩාක් ඉන්නවා. මං දැන් පැන්සොං” කියමින් ජේ.ආර්. තම කථාව අවසන් කළේය. ඒ කථාව ජේ.ආර්. කරන විට ධර්මසේන හේමපාල මහතා ද එහි සිටියේය.   


ධර්මසේන මහතාගේ මතකයට අනුව ජේ.ආර්. ජයවර්ධන මහතා ජනපතිව සිටියදී තම බිරිඳත් සමග මෝටර් රිය තමාම පදවාගෙන කුඹල්ඔළුව වත්තට එයි. ඒ අවස්ථාවේ දී කිසිඳු ආරක්ෂකයකු ජේ.ආර්. සමග නොපැමිණෙයි. වත්ත තුළ තිබූ තම නිවසේ තිබුණු හාන්සි පුටුවක දිගා වී ඔහු සැහැල්ලුවෙන් මෙන්ම විවේකීව සිටියි. ජේ.ආර්. එසේ සිටින අතරතුර දී ඔහුගේ බිරිඳ එලීනා ජයවර්ධන මහත්මිය වත්ත තුළ ඇවිදිමින් වත්තේ තැන තැන වැවී ඇති ගොටුකොළ පඳුරු ගලවයි. වත්තේ පිටියේ වැවී ඇති දේ රසවත්ව උයා ඇය ජනපති සැමියාට පිළිගන්වයි. ජේ.ආර්. බොහෝ විට එම වත්තට පැමිණියේද තම බිරිඳ අතින් රසවත්ව උයා ගත් කෑමක රස බැලීමටය.   


අද තරමටම දුරකථන සේවා දියුණු නැති එම වකවානුවේදී කුඹල්ඔළුව වත්තට පැමිණි අවස්ථා වල ජේ.ආර්. දුරකථන ඇමතුම් ලබා ගැනීමට පැමිණියේ කුඹල්ඔළුව තැපැල් කාර්යාලයටය. තැපැල් ස්ථානාධීපතිවරයාට අයත් පුටුවේ වාඩිවෙන ජනාධිපති ජේ.ආර්. බොහෝ වේලාවක් දුරකථන පණිවිඩවල නිරතව සිටියි.   


ඩඩ්ලි සේසානායක අගමැතිවරයා මිය ගිය පසුව ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් ඩඩ්ලි පිළිබඳව විනාඩි 45 ක පමණ කෙටි චිත්‍රපටයක් සකස් කළේය. ලෙස්ටර් සමග එම කාර්යයට උරෙනුර ගැටී වැඩ කටයුතු කරන ලද්දේ ධර්මසේන හේමපාල මහතාය. චිත්‍රපටයේ වැඩ අවසන් කිරීමෙන් පසුව ලෙස්ටර්ට එංගලන්තයට යාමට අවශ්‍යතාවක් තිබිණි. එහිදී ලෙස්ටර්ට අයත් බොහෝ දේ භාර දී ගියේ ධර්මසේන හේමපාල මහතාටය.   
ඩඩ්ලි පිළිබඳව නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපටය ද ලෙස්ටර් ධර්මසේන හේමපාලයන්ට භාර දී ගියේය. ඒ වෙන විට එය නරඹා තිබුණේ ද ඒ දෙදෙනා පමණි. එවැනි චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බව ජේ.ආර්. ට දැන ගන්නට ලැබිණි. ඔහු එවකට විපක්ෂ නායකවරයාය.   


එවකට චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාව සිටි උපසේන මාරසිංහ මහතා මාර්ගයෙන් ජේ.ආර්. විමසා සිටියේ එම චිත්‍රපටය තමන්ට පමණක් දැක ගන්නට අවස්ථාවක් දිය හැකි ද යන්නය. චිත්‍රපටය නිර්මාණය කළ ලෙස්ටර් විදේශ ගත වී ඇති බවත් නමුත් හැඳල විජය චිත්‍රාගාරයේදී ඔහුට එය බැලීමට ඉඩ සැලැස්වීය හැකි බවත් මාරසිංහ මහතා ජේ.ආර්. ට කීය. එදින රාත්‍රියේම ජේ.ආර්. හැඳල විජය චිත්‍රාගාරයට පැමිණියේය. මාරසිංහ මහතා ධර්මසේන මහතාව ජේ.ආර්. ට පෙන්වා සර් මේ ඉන්නේ මිස්ට ධර්මසේන. එයා භාරයේ තමයි චිත්‍රපටය තියෙන්නේ යැයි කීය.   


ජේ.ආර්. ධර්මසේන මහතා ඉදිරියට පැමිණියේය. “ධර්මසේන මහතා මට ඒ චිත්‍රපටය බලන්න අවසරද?” යනුවෙන් ඔහුගෙන් හිස නමා ආචාර කර ඇසීය. “අනිවාර්යයෙන්ම පුළුවන් සර්.” ධර්මසේන මහතා කී විට ජේ.ආර්. සමග එම දෙදෙනා එදින චිත්‍රපටය නැරඹූහ.   


ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුතණුවන් වන රවී ජයවර්ධන මහතා ද වරින් වර වේයන්ගොඩ වත්තට පැමිණියේය. නමුත් ඔහු වැඩිපුර ජීවත් වූයේ මාතලේ දිස්ත්‍රික්කයේ “රිවස්ටන්” ප්‍රදේශයේ නිවසක බව ධර්මසේන මහතා පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකාය ආරම්භ කළ වකවානුව තුළ එහි නිර්මාතෘවරයා වන රවී ජයවර්ධන වේයන්ගොඩ වත්තේ එස්.ටී.එෆ්. කඳවුරක් ද ඇති කළ බව ධර්මසේන මහතා කියයි.   


බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම රට පාවාදීමක් ලෙස විග්‍රහ කළ ජේ.ආර්. එම ගිවිසුමට විරෝධය පළ කිරීම සඳහා කොළඹ සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාව දක්වා පා ගමනක් සංවිධානය කළේය. කොළඹින් පා ගමන ආරම්භ වූයේ 1957 ඔක්තෝබර් 3 වැනිදාය. ගමනට තැන් තැන් වල දී ගල් මුල් ප්‍රහාර එල්ල වෙද්දී වුවද එදින රාත්‍රිය වෙන විට පා ගමන කඩවතට ළඟා විය.   


පසු දින උදෑසන කඩවතින් ආරම්භ කළ පා ගමන සැතපුම් තුනක් පමණ ඉදිරියට යද්දී ඉඹුල්ගොඩ ප්‍රදේශයේ කන්ද කපාපු හන්දිය අසල දී පාර හරස් කළ එස්.ඩී. බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිසක් මෝටර් රථ දෙකක් ද මාර්ගය හරහා හරස් කර ජේ.ආර්. ගේ ගමන නතර කරන ලදී. එස්.ඩී. බණ්ඩාරනායක ඇතුළු විශාල පිරිසක් පාර මැද වාඩි වී සිටියහ.   


එවකට විපක්ෂ නායකවරයා වූ ජේ.ආර්. ට මහනුවර බලා පා ගමනින් යාම අනාරක්ෂිත බව එවක ජේ.ආර්. ට හිතවත් පොලිස් නිලධාරියෙකු වූ ප්‍රේමදාස උඩුගම්පළ මහතා ජේ.ආර්. ට දැනුම් දුන්නේය. ඒ නිසා පෙළපාලිය ඉදිරියට යද්දී ජේ.ආර්. සුරක්ෂිතව වේයන්ගොඩ - කුඹල්ඔළුව වත්තට රැගෙන ඒමට ප්‍රේමදාස උඩුගම්පළ මහතා කටයුතු කළේය.   


පසුව ජේ.ආර්. මහනුවරට ගියේ වේයන්ගොඩ නිවසට පැමිණ මදක් විවේක ගැනීමෙන් අනතුරුවය. නගරයේ උපන් ජේ.ආර්. තමන්ගේ උපන් ගම ලෙස සැලකුවේ “කුඹල්ඔළුව” ග්‍රාමයයි. ජපන් කුමරාට පසුව ඔහු එංගලන්ත අගමැතිනි මාග්‍රට් තැචර්ට ද තම කුඹල්ඔළුව නිවසේ භෝජන සංග්‍රහයක් පැවැත්විය. 

 
ලබන සතියේ කුඹල්ඔළුව නිවසේ රාජ භෝජන සංග්‍රහ පැවැති ආකාරය.

 

 

 

දොම්පේ 
අජිත් මදුරප්පෙරුම