චන්දන ඇඟ ගාලා කොණ්ඩෙ කඩාද‌ාලා මල්ලිකා කහවිටගේ ගී


සත්සර

 

‘‘අායුබෝවන් වාසනාවන්  
ප්‍රීතිමත් සුබ උපන් දිනයක්  
හිමි වේවා.   
ආසිරිවාදයෙන්  
දිගුකල් වැජඹේවා
 මංගලම් මංගලම්...’’ 
 


සෑම දිනයකම සවස පහ වෙන විට වයස අවුරුදු අ​ටේ සිට පහළොව, දහසය වයසේ සිටින ළමුන් ගුවන් විදුලිය වටා රොද බැඳ ගන්නේ “ළමා පිටියෙන්” ඒ වේලාවට ප්‍රචාරණය ​ෙවන ළමා උපන් දින සුබ පැතුම් ඇසීමටය. මීට වසර 60කට එපිට ප්‍රචාරය වූ මේ ළමා උපන් දින සුබ පැතුම් ගීතය තවමත් අපට ඇසෙන්නේ වැඩිහිටි අපේ මතකය ළමා වියට ගෙන යමිනි.   


මේ තේමා ගීතය කරුණාරත්න අබේසේකර අයියා රචනය කළ අතර සංගීතවත් කළේ ඩී.ඩී. ඩැනී අයියාය. ගීතය ගැයුවේ අද අප කතා කරන එදා පසළොස් හැවිරිදිව සිටි මල්ලිකා ද සිල්වා සහ පැට්‍රික් ප්‍රනාන්දුය.   


ළමා ගායිකාවක ලෙස එදා ගායන ලෝකයට එක් වූ මල්ලිකා ද සිල්වා පසු කලෙක චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස ප්‍රකට වූයේ මල්ලිකා කහවිට නමිනි. ඇය දැන් පදිංචිව සිටින්නේ නුගේගොඩ ඇඹුල්දෙණියේ පරණ කොට්ටාව පාරේ අංක 376/36 නිවසේය.   


අප එහි යන විට ඇය කියවමින් සිටියේ පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමියන් ලියූ ධර්ම පුස්තකයක්ය.   


ඇගේ කටහඬ අපට සිහිපත් කළේ තවමත් ‘‘ළමා පිටියේ’’ සිටි අර ‘‘ආයුබෝවන් වාසනාවන්’’ ගීතය ගැයු ළමා ගායිකාවගේ කටහඬය. එදා ඒ ගීතය මල්ලිකා හා පැට්‍රික් සමග සමූහ ගායනයට එක් වූයේ ඇස්. ලියනගේ රංජිත් නවරත්න, විජිත කුසුම් ලියනගේ, නොයලීන් ලියනගේ යන නංගිලා මල්ලිලාය.   


මල්ලිකා ද සිල්වා 1941 සැප්තැම්බර් 12 වෙනිදා කොළඹ ග්‍රෑන්ඩ් පාස් හි කොස්ගස් හන්දියේ උපත ලැබුවාය. ඇගේ පියා වූ සෝමපාල ද සිල්වා ගාල්ලේ අහංගම උපත ලැබූවෙකි.   
ෂෙල් සමාගමේ සේවය කළ ඔහු විවාහ වූයේ බදුල්ල උපත ලැබූ අයිරින් බෙන්ජමින් නම් කාන්තාව සමගය. හය දෙනෙකුගෙන් යුත් දරු පවුලක තුන්වැනියා මල්ලිකාය. වැඩිමහල් අක්කලා දෙන්නා වූයේ එඩ්ලින් සහ සැනිටාය. බාල නංගිලා වූයේ සුධර්මා හා එස්මිය. එකම සහෝදරයා වූ සරත් ද සිල්වා ට්‍රයි ස්ටාර් ආයතනයේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළේය. මල්ලිකා හැර මේ සියලු සහෝදර සහෝදරියන් අද ජීවිතයෙන් සමුගෙනය.   


‘‘අපේ ගෙදර සංගීතයට ප්‍රිය කළ සියල්ලෝම ගීත ගායනය කළ පවුලක්. සංගීතයට ප්‍රිය කළ තාත්තා සර්පිනා වාදනයකොට සින්දු කිව්වා. තාත්තා සංගීතය ඉගෙන ගෙන නැහැ. ‘ඉයර් එකට’ සර්පිනාව වාදනය කළ කෙනෙක්. පවුලේ අපි ගමටම ඇහෙන්න සිංදු කියන්න පුරුදු වෙලා හිටියේ. චිත්‍රා, රුක්මණී, ලතාගේ ගීත තමයි වැඩියෙන්ම කිව්වේ. මම මුලින්ම ඉගෙන ගත්තේ ග්‍රෑන්ඩ්පාස් සාන්ත ජෝසප් විද්‍යාලයෙන්. පසුව බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලයට ගියා. දේවි බාලිකාවේ ඉන්න කාලේ පාසලේ සෑම ගායනා තරගයකින්ම මුල් තැන ලබා ගත්තා. අන්තර් පාඨශාලාවලින් ජය පිට ජය ලබා ගත්තා. අපේ ගායන කණ්ඩායම. ඉරිදා දිනවල මම නොවරදවාම ආමර් වීදියේ ජේතවනාරාම විහාරස්ථානයේ ධර්මපරායන දහම් පාසලට ගියා. එහි භක්ති ගීත කණ්ඩායමේ නායිකාව ලෙස තරුණ බෞද්ධ සමිතියේ තරගවලින් ජය ගත්තා.  


ෂෙල්ටන් ප්‍රේමරත්න තමයි එදා අපිව පුහුණු කළේ. ඒ කාලේ විහාරාධිපති පාතේගම සිරි සුමනිතිස්ස නායක හාමුදුරුවෝත්, පාතේගම විමලසිරි, පාතේගම ජිනසිරි යන පණ්ඩිත හාමුදුරුවරු අපිට හැම ධෛර්යයක් දුන්නා.’’  


මල්ලිකා මොහොතකට අතීතයට පිවිසුණාය.   


ගුවන්විදුලියේ ‘ළමා උයනට’ අයැදුම් පතක් යවා එහි පරීකෂණයට ගිය ඇයත් නංගීත් ඉන් සමත් වූහ.   


මල්ලිකාත් සුදර්මා නංගී සමග ලංකා ගුවන් විදුලියේ ‘ළමා තීරය’ට එක් ​ෙවන විට වයස අවුරුදු නවයක් පමණ වීලු. සරත් විමලවීරගේ ළමා තීරයේ ඇය මුලින්ම ගැයූ ‘මේ මල පුදමින් තුටිනා’ ගීතයට සංගීතය නිර්මාණය කළේ තිලකසිරි ප්‍රනාන්දු, ශාන්ති දිසානායක, එම්.ඒ. පියදාස, පියදාස අතුකෝරළ ආදීන්ය.   


සරත් විමලවීරගේ ගීත රචනයකි ඒ. ඇය ළමා වියේ දී තම හැකියාවන් විදහාපෑවේ කරුණාරත්න අබේසේකර අයියා මෙහෙය වූ ‘සරස්වතී මණ්ඩපයෙනි’.   


ඒ අතරින් ‘ලේනාගේ පිට මැද ඉරි තුන ඇන්දේ කවුද අනේ අම්මේ.’ (ගීත රචනය කරු / සංගීතය ඩී.ඩී. ඩැනි), ‘බකමූණෝ හූම් හූම්’ (ගීත රචනය කරු/ සංගීතය කුලරත්න තෙන්නකෝන්), ‘අපේ තාත්තා අම්මේ මේ’ (රාහුල යශෝධරා දෙබස) සහාය ගායනය එස් ලියනගේ මේ අතර වෙයි. ඉන් වඩාත් ජනප්‍රිය වූයේ කරුණාරත්න අබේසේකර රචනා කළ ළමා ගීතයයි. සංගීතය ඩී.ඩී. ඩැනීගෙනි.   


හිනැහේ වී බෝනික්කා   
ඇස් නටවා බල බලා   
නැළවීලා මා උකුළේ   
​ෙද‌ායි දොයි දොයි බබා   
ජපන් රටේ උපත ලබා   
ලංකාවට ආවා...   
ලස්නන හැඩ රුව හින්දා   
අම්මා ගෙන ආවා...   
උපන් දිනේ මා සනසා තෑග්ගකට දුන්නා   
මගෙ ලස්සන බෝනික්කා හිනැහේවී බල බලා   
නැළවිලා මා උකුළේ දොයි දොයි දොයි බබා   
මල් ගවුමක් අන්ද‌ාලා නළලට තිලකය තියා   
​තෝඩු දෙකක් කනට දමා අතට වළලු දාලා   
ගමේ ළමෝ දුව ඒවී සෙල්ලම් කෙරුමට කියා//   
මගේ ලස්සන බෝනික්කා හිනැහේවි බල බලා   
නැළවීලා මා උකුළේ දොයි දොයි දොයි බබා   


ළමා පිටියේ ගී ගැයූ මල්ලිකාට එච්.එම්.වී. වෙ​ෙළඳ තැටියකට ගීතයක් ගැයීමට අවස්ථාව සලසා දෙන්නේ සරත් විමලවීරය. ‘තනිවම ඇයි මේ උදේ අනේ සීතල මේ මල් පැණි උරන්නේ’ (සමනලයා හා ළමයා ගීතය) ඇය ගයන්නේ චන්ද්‍රා කබ්රාල් සමගය. සරත් විමලවීර රචනා කළ මේ ගීතයේ සංගීතය වින්සන්ට් පෙරේරාගෙනි.   


මල්ලිකාට හා සුධර්මාට තම හැකියාවන් දියුණු කර ගැනීමට පියාගෙන් අනුබලයක් ලැබුණත් එවකට බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිව සිටි විමලා ද සිල්වා මහත්මියගෙන් (පසුව මහාචාර්ය) නම් මල්ලිකාට පළ වූයේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.   


‘‘ළමයෝ රේඩියෝ සිලෝන් එකට ගිහින් සින්දු කියන්න ඉස්සර ඉගෙනීමට මුල් තැන දෙන්න. මේ ළමයා ගායනයට දක්ෂයි. ඒ බව රටම දන්නවා. ඉගෙන ගත්තට පස්සේ සින්දු කියන්න ඕනෑ තරම්’’ විදුහල්පතිනිය ගුවන් විදුලියෙන් මල්ලිකාගේ ගීයක් අසා පසුදාම මල්ලිකාට අවවාද දෙන්නීය.   


‘‘එතුමිය විනය ශික්ෂණය අකුරටම ක්‍රියාත්මක කළ විදුහල්පතිනියක්. මම සින්දු පැත්තට මෙන්ම ඉගෙනීමත් සමබරව ගෙන ගියේ එතුමියගේ අවවාද නිසා.’’ මල්ලිකා කීවාය.   
එකල ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් සමත් වූ මල්ලිකා ගුවන් විදුලියේ වෙ​ෙළඳ සේවයෙන් යුග ගීත වැඩි ගණනක් ගැයුවේ සුසිල් ප්‍රේමරත්න සමගය. මේ ඉන් ගී කිහිපයකි.   
‘නිල් සේල ඇඳන් සැරසී උදයේ ඇයි දෝ පන්සල් යන්නේ’ (ගීත රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ / සංගීතය - පැට්රික් දෙනිපිටිය)   


‘නාරං දොඩම් ඇයි මේ තරම් මට මල්ල පුරා පැණි වරකා’ (ගීත රචනය - ජෝර්ජ් ලෙස්ලි / සංගීතය - සුසිල්), ‘කෝ අද මැණිකා කොහෙද ගියේ’ (ජෝර්ජ් ලෙස්ලිගේ ගීත රචනය)   
මල්ලිකා හා නාරද දිසාසේකර ගැයූ මේ ගීතය ගුවන් විදුලියේ ජනප්‍රියතම ගීතයක් වූ බව පැරණි ශ්‍රාවකයන්ට රහසක් නොවේ. කරුණාරත්න අබේසේකර ලියූ මේ ගීයේ සංගීත රචනය කුලරත්න තෙන්නකෝන්ගේය. මේ ගීතය ජයවිලාල්ගේ සිනමා පිටුවේ පාඨක තරගයකින් මුල්තැන ලැබූ අතර සක්මන් මළුවේ ගීතය තෙවැනි ස්ථානය දිනා ඇත. 

 
‘චන්දන ඇඟ ගාලා කොණ්ඩෙ කඩා දාලා   
ගඟුලේ ගිලිලා ටිකිරිමලී නාලා වගේ   
​ෙවලේ පැලේ දී හා පැල් කවි කියලා   
පැල් රැකලා මහ රෑ   
සිලිඳු උදේ ආවා වගේ   
වී කොටලා ඊයේ හවස මං   
නා ගත්තා අවදි වී උදෙන්   
ගම්මුන් අපි වාගේ කම්මැලි වී බැහැනේ   
සිහි නැති ගැහැනියක් මා වගේ   
කළය මතක නැති වුණා ගඟේ’   


‘‘මම වැඩිපුරම යුග ගීත ගයලා තියෙන්නේ සුසිල් සමග. ඔහු කරුණාවන්ත මහත්මා ගති ඇති කෙනෙක්. මම ඔහුගේ චිත්‍ර කතාවලට ආසා කළා. මගේ සමරු පොතේ ඔහු තනි රේඛාවකින් අඳින ලද චිත්‍රය මම අදත් සුරැකිව තබාගෙන තිබෙනවා’’ මල්ලිකා කීවාය.   


එච්.ආර්. ජෝතිපාල සමග මල්ලිකා ගැයූ ගුණරත්න අබේසේකර රචනා කළ මොහොමඩ් සාලි සංගීතවත් කළ මේ ගීතය එදා තරුණ තරුණියන් අතර ජනප්‍රිය විය.   


හැන්දෑවේ මං බලා හිටියා   
සුද‌ා එනකල් කියා   
අැයි නාවේ ඇයි ඔයා හොඳ නෑ   
රැවටුවා බොරු කියා   
මං ආවේ දන් බලා ඉඳලා මගේ මාලා සොයා   
බොරු කීවේ නෑ මමත් හිටියා   
ඔයා දැන් එයි කියා   
ඉස්සර වගේ මට ආදරේ නැහැ   
මම දන්නවානේ ඒකට කමක් නෑ   
අපි එන්නේ නෑ   
හොයන්නේ නෑ බලන්නේ නෑ   
මං ආවේ දැන් බලා ඉඳලා   
මගේ මාලා සොයා   
බොරු කිව්වේ නෑ   
මමත් හිටියා   
ඔයා දැන් එයි කියා   


මල්ලිකා චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස ‘දස්කම’ චිත්‍රපටයෙන් හඳුන්වා දෙන්නේ කරු ය.   


ඒ 1957 වසරේ දීය. එඩ්වින් සමරදිවාකර සංගීතවත් කළ මේ චිත්‍රපටයේ මල්ලිකා ගීතය ගැයුවේ ඇන්ජලින් ද ලැනරෝල් (පසුව ගුණතිලක) සමග ය. ‘දෙව් ලොව දෙව් සැප වෙයි තිර ප්‍රේමේ’ මේ ගීතයයි. ඉන්පසු ‘සිතක මහිම’ චිත්‍රපටයේ ‘දැකපු ගමන් ඇගේ සිරියාව කොමළ මූණේ’ ගීතය ගැයුවේ චිත්‍රපටයේ ළමා නළුවා වෙනුවෙනි. සංගීතය මුත්තුසාමි ගෙනි. අමරදේවයන්ගේ සංගීතයට ‘ළාදලු’ චිත්‍රපටයේ එන චන්ද්‍රා වයමන් ලියූ ‘සෙනෙහස සොම්නස අනිතන ගත් විට’ ගීතය මල්ලිකා ගැයුවාය. ‘යටගිය දවස’ චිත්‍රපටයේ මල්ලිකා මිල්ටන් පෙරේරා මේ ගීත ගැයූ අතර එහි සංගීතය මුත්තුසාමිගෙනි. ගීත රචනය කරුගෙනි.   


‘විනෝද වෙන්න විනෝද වෙන්න   
මේ වගේ තැනක් හම්බවෙයි ද නෑනේ   
හිතේ තියෙන සන්තෝෂය කාට ද ඕනේ’   


‘සතපනහ’ චිත්‍රපටයට ඒ.ජේ. ද සොයිසා ලියූ මුත්තුසාමි සංගීතවත් කළ මේ ගීතය මල්ලිකා ගැයුවේ නොයෙලින් සිල්වා සමගය. ‘අද දෙවියන් අපගේ මුණ බැලුවා’ ගීතයත් ‘හිතට හිත’ චිත්‍රපටයට මල්ලිකා හා මිල්ටන් පෙරේරා ගැයූ ‘ලියක මහිම පෙති ගෝමර ඉසීලා’ (ගීත රචනය කරු / සංගීතය මුත්තුසාමි), ‘ධීවරයෝ’ චිත්‍රපටයට මල්ලිකා සමග මොහිදීන් බෙග්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සමග ගැයූ ’වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා’, ‘සාමය සමගිය පතුරාලා’ ගීත දෙක රචනා කළේ කරු ය. සංගීතය රොක්සාමිගෙනි. අමරදේව සංගීතවත් කළ කරු රචනා කළ මල්ලිකා සහ මිල්ටන් පෙරේරා ගැයූ මේ ගීතය ඔබ කෙසේ අමතක කරම්ද?   


නිතැතින්ම එහි රඟ පෑ ආනන්ද ජයරත්න සහ විජිත මල්ලිකාගේ රූපාවලියත් මතක් වේවි.   


‘සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ   
නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ...’   


‘වීදුරු ගෙවල්’ චිත්‍රපටයේ ‘පෙම් පිපෙන කැලෑවේ’ (ගීත රචනය - ධර්මසිරි ගමගේ / සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න)   


‘පාරා වළලු’ චිත්‍රපටයේ “කෝකිල ගීයේ” (ගීත රචනය සුදාස් මාසකෝරාළ), ‘ඉපදුණෙ ඇයි?’ චිත්‍රපටයේ ‘ගී නද මැද අපි හැම ජය ලැබුවා’ (සංගීතය මුත්තුසාමි / ගීත රචනය කරු), ‘ගොපලු හඬ’ චිත්‍රපටයේ මල්ලිකා හා මල්ලිකා පෙරේරා ගැයූ ‘පුංචි පුංචි මල් වගේ රංචු රංචු වී මල් කුමාරයන් වටේ මල් කුමාරියෝ’ (ගීත රචනය - ධර්මසිරි ගමගේ / සංගීතය රොක්සාමි)   


‘ගොපලු හඬ’ චිත්‍රපටයේ ‘පුංචි පුංචි මල් වගේ’ ගීතය මම, මල්ලිකා පෙරේරා (මිය ගියා) වගේම පසුව ඇගේ සොහොයුරිය ඉන්ද්‍රාණි පෙරේරා සමගත්, මල්ලිකාගේ දියණිය හිරණ්‍යා සමගත් ගායනා කිරීම අමතක නොවන සිද්ධියක්.   


මල්ලිකා ද සිල්වාට ‘කහවිට’ වාසගම එකතු ​ෙවන්නේ 1963 ජුනි 12 වෙනිදා සිටය. ඒ ඇය ආරියරත්න කහවිට නම් සිනමා පුවත්පත් කලාවේදියා, චිත්‍රපට කතා දෙබස් හා තිරනාටක රචකයා සමග විවාහ වීමෙනි.   


‘‘මට කහවිට (ආදරයට ඇය කීවේ “රත්නේ” කියාය.) හමු වන්නේ හෝම් කමිං උත්සවයකදීය. ඒ උත්සවය තිබුණේ කොටහේනේ. අපි දෙන්නම හඳුනන අමිත මල්වාරච්චිගේ ‘හෝම් කමින්’ එකේ. එදා ලොකු පාටියක්. මමත් සින්දු කිව්වා. සින්දු කියලා ඉවර වුණාම තරුණයෙක් මා සමග කතාවට වැටුණා. එයා ඇවිත් හිටියේ චිත්‍රපට නළු ක්‍රිස්ටි ලෙනාඩ් එක්ක. අපි චිත්‍රපට ගීත ගැනත් චිත්‍රපට ගැනත් කථා කළා. මේ කතාව දිග කතාවකට ගියා. ඒක විවාහයෙන් කෙළවර වුණා.’’ මල්ලිකා කීවාය.   


ආරියරත්න කහවිට සිනමා සඟරා සංස්කරණයට පිවිසෙන්නේ 1955 ‘සිනමාදීප’ තුළිනි. සිනමාස් අධිපති කේ. ගුණරත්නම් පටන් ගත් ‘කලා’ සඟරාවේ සංස්කාරක තනතුරට ආරියරත්න කහවිටව ගුණරත්නම්ට රෙකමදාරු කරන්නේ කරුණාසේන ජයලත්ය.  


ජයලත් ‘කලා’ සඟරාවේ උපදේශකවරයකු වී ඇත. ජයලත් මෙන්ම ධර්මසිරි ගමගේ ද අමරනාත් ජයතිලක ද කහවිට සමග නිරතුරුව සිටි මිතුරන් වූ බව මල්ලිකා කියන්නීය. ‘කලා’ සඟරාවට අර්නස්ට් වඩුගේ, සිරි කහවල, දයා ආනන්ද රණසිංහ මා ඇතුළු ආධුනික ලේඛකයන්ට ලිවීමට අවස්ථාව දුන්නේ කහවිට අයියාය.   
චිත්‍රපට ගැන කතා කරනවා නම් කහවිට බඩගින්නේ සිට පැය ගණනාවක් කතා කිරීමට සැදී පැහැදී සිටිනවා. එයාගේ මුළු ජීවිතයම සිනමාවයි. පත්‍ර කලාවයි. මා ගැන කිසිම ප්‍රචාරයක් දුන්නේ නැහැ.   


ඉරිදා ලංකාදීප පත්‍රයේ චිත්‍රපට පිටුව සකස් කළ කරුණාසේන මා ගැන මුල්ම වරට ‘ටිකිරි පොකුර’ තීරයෙන් හඳුන්වා දුන්නා. ජයලත්, ධර්මසිරි ගමගේ පසුව දිගටම මා ගැන ලිව්වා. කහවිට අම්මා තාත්තාට අසීමිතව ආදරය කළා. මුල් තැන ඒ අයට හැමදාම ඒ දෙන්නා බලන්න යනවා. මට හිමි වුණේ දෙවැනි තැන. උණු උණුවේම බත් කෑම ඔහුගේ පුරුද්ද. රෑ නිදි මරන්න බැහැ. නවය වෙන කොට නින්දට යනවා. මල්ලිකා කීවාය. 

 
1933 මැයි 08 උපත ලැබූ ආරියරත්න කහවිට 1994 ජුලි 21 වෙනිදා මිය ගියේය. මල්ලිකා ආරියරත්නට දියණියක හා පුතෙක් සිටිති. දියණිය ප්‍රසාදි අප්සරාය. පුතා චන්දිම නයනජිත්ය. මේ දෙදෙනාම විවාහකය.   


මල්ලිකා දැන් වැඩි කාලයක් ගත කරන්නේ පිනට දහමටය. නාරද මධ්‍යස්ථානයේ තලල්ලේ ධම්මකිත්ති හිමියන්ගේ ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ඇය ලඝු ලේඛණයෙන් සකස් කර දෙන්නීය. ඒවා මුද්‍රණය කිරීමට අනුග්‍රහ දක්වන්නීය. ගායිකා සුජාතා අත්තනායකගේ නායකත්වයෙන් මල්ලිකා හා 20ක පමණ කණ්ඩායමක් මාස තුනකට වරක් දුෂ්කර ගම්මානවලට ගොස් අසරණ අයට වියළි ආහාර බෙදා දෙයි. වව්නියාව යාපනය, මුලතිව්, මින්නේරිය, ගිරිතලේ කුඩුම්බිගල ප්‍රදේශවල ගිය ඇය ඒ හැම කටයුත්තකින් සතුටක් ලබන්නීය. ගෝනගල්දෙණියේ නාගරුක්ඛාරාමයේ වහරක රතනසාර හිමියන්ගේ පන්සලට ඇය හා මිතුරියන් පිරිස දානය පිරිනැමීම කාලයක සිට කරගෙන එති.   
වයස අවුරදු 19 දී ලඝු ලේඛිකාවක් ලෙස මහා භාණ්ඩාරයේ කටයුතු කොට අමාත්‍යාංශ රැසක පෞද්ගලික සහකාර සම්බන්ධීකරණ ලේකම්, රහස්‍ය ලේකම් ආදී තනතුරු හොබවා විශ්‍රාමයෙන් පසු ද ජනාධිපති කාර්යාලය හා වෙනත් අමාත්‍යාංශ කිහිපයක ඇය සේවය කළාය. කරු අයියාගේ සොහොයුරු දයා අබේසේකර අපට කියා ඇත්තේ මල්ලිකා කහවිට ද්වී භාෂා දැනුම ඇති කාර්යක්ෂම නිලධාරිණියක් බවය.   


තමාගේ ගීත එකතුවක් නිකුත් කිරීමට ඇය බලාපොරොත්තුවෙයි. තමා ගැයූ ගීත ඇතුළත් රතු ​මොනිටර් ඇක්සසයිස් පොත කරු අයියා ගෙන ගොස් ගෙනවිත් දී නැත. එංගලන්තයේ වෙසෙන මහාචාර්ය සම්පත් ප්‍රනාන්දු ළඟ තමාගේ හා මිල්ටන් පෙරේරාගේ ගීත සියල්ලම සංරක්ෂණය වී ඇති බව ඇය කීවාය. මහරගම ටී. අබේවර්ධන, පොළොන්නරුවේ අමරතුංග, කුරුණෑගල වික්‍රමසිංහ මහත්මිය තමාගේ ගීත සංරක්ෂණය කර ඇති බව කීවාය. දහම් පොත පතින් පිරුණු පුස්තකාලයකට හිමිකම් කියන මල්ලිකා යශෝධා හා උදේශ මුනුබුරු මිනිබිරියන්ගේ ආදරය ලබමින් දන් පින් දෙමින් නිසංසල ජීවිතයක් ගත කරන්නීය.   

 


ඒ.ඩී. රන්ජිත් කුමාර