ගෙලේ ස්වභාවයෙන් කියැවෙන රහස්


ජීවිතයට ජ්‍යොතිෂය

 

ග්‍රීවය, ගෙල, හෙවත් බෙල්ල දේහ ලක්ෂණ ශාස්ත්‍රයේදී බොහෝ ජීවන ​තොරතුරු පුද්ගල ස්වභාවයන් හඳුනාගැනීමට උපකාරී වන්නාවූ ශරීරාංගයකි.   


යම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ ගෙල මධ්‍යම ප්‍රමාණයෙන් හෙවත් වැඩි දිග හෝ කොට නොවීත් මහත්ව හෝ හීනියට නොවීත් තිබේ නම් එය ශුභ ඵල ප්‍රදානය කිරීමට හේතු වේ. විශේෂයෙන් විවාහය සාර්ථකය. සහකරුට සහකාරියට හා ඥාති හිතමිත්‍රාදීන්ට අසල්වාසීන්ට ළෙන්ගතුය. ප්‍රධානත්වයක් දැරීමට සමත්ය. කුමන විදිහේ බාධක අවහිරතා පැමිණියත් නොසැලී පෙරමුණටම ගමන් ගනී. ධන ධාන්‍යාදී සැප සම්පත් සහිත දිවියකට උරුමකම තිබෙයි. නොකැලැල් කීර්ති නාමයක්ද දරන්නෝ වේ.  


බෙල්ල දිගින් වැඩිනම් දුක්බර දිවියකට උරුමකම් කියයි. සිතිවිලි ශුභදායක නොවේ. චරිත ගතිගුණ ද නරක අතට පෙරළේ. දිගු ගෙලක් සහිත ස්ත්‍රිය බොහෝවිට හිතුවක්කාර විවාහයකට යොමුවේ. එසේ නැතහොත් විවාහයට පසු හෝ හිතුවක්කාර ගති ඉස්මතු වේ. බෙල්ල හීනි නම් අශුභ ඵල ඇති කරයි. අන්‍යයන්ට ඊර්ෂ්‍යා කරයි. පළිගන්නා සුලුය. නොසන්සිඳෙන ආශාවන්ය. බෙල්ල කොටට පිහිටා ඇති අය අනවශ්‍ය වියදම් කරයි. අතට මුදල් ලැබෙතත් කුමන ක්‍රමයකින් හෝ ඉක්මනින් වියදම් වීමටද කරුණු සැලසේ. විවාහයද අහිතකරයි. බෙල්ල ඉතාම කෙටියි නම් එවැනි අය ආශ්‍රය කිරීමටත් සුදුසු නැති තරම්ය.  


නහර මතුවුණු නොපිරුණු ගෙල කෙටි නම් ජීවිතය අසතුටුදායකය. ණය බරින් පීඩා විඳින්නෝ වෙති. හෙවත් ආර්ථිකය අතින් දුබලය. ප්‍රමාණයට වඩා වැඩි මහතින් යුතු ගෙල ඇති අය අකාරුණිකය. යුග දිවියේ ගැටලු දරුඵල සම්බන්ධ ප්‍රශ්න ඉස්මතු කරයි. මෙවැනි අය අන්‍යයන්ට යටත්වීමට කැමති නැත.  


නැමුණු ගෙල ද එල්ලෙන්නා වූ ගෙලද අශුභ ඵල පෙන්නුම් කරයි. මෙවැනි අය වචනය වරදවා හැසිරෙයි. ශරීර සනීපය පිළිබඳව එතරම් සැලකීමක්ද නැත.  


මසින් පිරී වටව පිහිටි ගෙල අඟල් හතරක් පමණ නම් එවැනි අය යහගුණවත් වන්නේය. ජනප්‍රිය හා ප්‍රසිද්ධ කෙනෙකු බවට පත් වේ. ඉහළ තනතුරුවල වැජඹේ. ආර්ථිකය නොබිඳේ. එහි පැහැදිලි රේඛා තුනක් පිහිටියේ නම් බොහෝ වාසනාවන්ත වේ. ඉහත කී ප්‍රතිඵල උසස් අයුරින් ගෙනදෙයි.  

 


නයෝමි පබසරා මැණිකේ  
මාවනැල්ල