ගුවන් යානයක එල්ලී සැතපුම් 5563ක් ගිය හැටි..


 

 

කියුබාවේ ‘හවානා’ නුවර ඉපැදුණු එදා 17 හැවිරිදි ‘ආර්මන්දෝ රැම්රස්’’ අන්ත දුප්පත් දරුවන් 11 දෙනෙකුගෙන් යුක්ත පවුලක ඉපදුණ නිසා හරියට කුසට - අහරක් ගතට වතක් තිබුණේම නැහැ. සාපිපාසාව රකුසන් වගේ මේ පවුල පසුපස ලුහුබැඳගෙන ආවා. රැමිරස්ගේ පියා පයිප්ප වෑද්දුම් කරන කාර්මිකයෙක්. ඔහුට පුළුවන්කමක් තිබුණේම නැහැ මේ පවුල නඩත්තු කරන්න තරම් ධනයක් උපයන්න. ඔවුන් ජීවත් වුණේ එකම එක කාමරයක් සහිත නිවසක. මේ එකොළොස් දෙනාම නිදාගත්තේ, කෑවේ බීවේ සේරම කළේ මේ පුංචි කුටියේ. හරියකට අතපය දිගහරින්න තරම්වත් ඉඩකඩක් නැතිව.   


මේ වගේ අනන්ත අප්‍රමාණ දුක් පීඩා විඳ විඳ තවත් ‘හවානා’ වල නොඉන්න තරමටම ‘රැමිරස්’ දරුවා කලකිරුණා. ‘‘මේ දුක් විඳ විඳ ඉන්නවට වඩා කොහොම හරි අැමරිකාවට පැනගත්තොත් සැපට කාලා බීලවත් ඉන්න පුළුවන්. මෙහෙන් එහෙම ගිය කී දෙනෙක් නම් දැන් එහි සැප විඳිනවද...? අපේ මාමා කෙනෙකුත් හොඳ සල්ලි කාර​ෙයක් වෙලා එහෙ ඉන්නේ මෙහෙන් ගිය නිසානෙ. ඒ නිසා මේ බලු දුක් විඳ විඳ ඉන්නවාට වඩා මෙහෙන් පිටවෙන්න ඕන. ඒත්...? කෝ ඒවට සල්ලි..?’’ ඔහු මේ විදියට දිගින් දිගටම කල්පනා කළා..   
ඉතින් මේ කලකිරීමෙන් ඉන්න අතරතුර ‘රැමිරස්ට’ තමා වගේම රට ගැන කලකිරිල හිටපු පරණ යාළුවෙක් අහම්බෙන් වගේ හම්බවුණා. ක්‍රීඩා උත්සවයකදී ඔහු 16 හැවිරිදි ‘‘පෙරස් බ්ලැන්කෝ’ නම් තරුණයෙක්. මේ දෙදෙනාම කතා කළේ එකම මාතෘකාවමයි ඒ රටින් පැනගන්නෙ කොහොමද කියල. කල්පනා කරල කරල ඔවුන් දෙන්න කිසියම් තීරණයකට එළඹුණා. මොකක්ද..? අතේ සල්ලිත් නැති නිසා කොහොම හරි රටින් පිටවෙන්නත් ඕන නිසා හවානා ගුවන්තොටුපළින් පිටත්වන ගුවන් යානයක රෝදවල එල්ලිලා හොර රහසේම මුහුදෙන් එතෙර වෙන්න.   


පස්සේ දවස් ගණනාවක්ම මේ දෙන්න ගුවන් යානා තොටුපළේ අයිනකට වෙලා අධීක්‍ෂණය කළා ගුවන් යානය දුවන අයුරු, වේගය අඩුවැඩි වන අයුරු හරවන අයුරු වගේම හරවන ස්ථානයක් පිළිබඳව, තමන් රෝදවල එල්ලෙන විදියත්, හරවන තැනත්, වේගය අඩු වන ස්ථානයත් ඔවුන් දෙන්නා හිතින් සටහන් කර ගත්තා.   
ඒ වගේම ඔවුන් දෙන්නා ඊට අවශ්‍ය ඇඳුම්, ලණු කෑලි සහ අවශ්‍ය යයි හැඟෙන යම් යම් සිල්ලර දේත් උපයෝගී කර ගන්න වගබලාගත්තා. විශේෂයෙන්ම ගුවන් යානයේ එන්ජිමෙන් නිකුත්වෙන බිහිසුණු ඝෝෂාවෙන් බේරීම පිණිස කනට ඔබා ගැනීමට පුළුන් ගුළි.. සීතලට ජර්කින්.. හයි හත්තිය ඇති සපත්තු මේ අතර වුණා.   


එදා හරියටම දිනය වර්ෂ 1970 ජුනි මාසේ 3 වැනිදා. කියුබාවේ ‘හවානා’ ගුවන් තොටුපළේ සිට ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් ගුවන් තොටුපළ දක්වා පියාසර කරන්නට නියමිත ලෝක ප්‍රකට ‘අයිබේරියා’ ගුවන් සමාගමට අයත් ඩී.සී. 8 ජෙට් යානය අඩි 11,500ක් දිගු ධාවන පථය දිගේ වේගයෙන් ඇවිත් වේගය බාලකරල අනෙක් ධාවන පථයට දැම්මා විතරයි අසළ පඳුරක සැඟවී සිටි කොල්ලන් දෙන්නා බඩගාගෙන ගිහින් එක පාරටම ගුවන් යානය දෙසට ආවා. රෝද සවිකර ඇති ‘‘​ෙෆා්ක්’ දෙකකට ගොඩ වෙන්න කලින් කතිකා කරගෙන තිබුණත් හදිසියකට ගොඩවුණේ එකම රෝදයකට. නමුත් කඩිනම් වුණු ‘රැමිරස්’ ළාබාල තම මිත්‍ර ‘පෙරස්ට’ ඉඩදීලා වහාම වෙනත් රෝදයකට නැගුණා.   
වේගය වැඩිකරගත් යානය ගුවනට නැගී ටික ටික රෝද ටික බඳ තුළට ගැනීම ඇරඹුවා. සාමාන්‍යයෙන් ගුවන් යානයක් ගුවන් ගත වුණාට පස්සේ ‘රෝද සෙට්’ තුනම යානයේ බඳ තුළ ඇති පෙට්ටියට ගිලාබහිනවා. මේ බව ‘පෙරස්ට’ වඩා ‘රැමිරස්’ හොඳින්ම දැගෙන හිටියා. ඒ නිසා රෝද කට්ටලය ගිලෙනවාත් එක්කම රැමිරස් ඒ යකඩ බඳ තදින් අල්ලා ගත්තා. ඔහුට දැනුණේ ඔහුගේ මරණය දැන් අත ළඟ වගේ කියල. හුස්ම හිරවෙනවා. යානයේ හඬට කන් අඩි පුපුරනවා. මුකුත් කර කියා ගන්න බැහැ.   


ඔහුට මතක් වුණා එහා රෝදයේ එල්ලුණ ‘පෙරස්වත්’ මෙහෙම ඇති කියල. දැන් ගුවන් යානය උඩු ගුවනට නැඟල සුදු පුළුන් වලා අතරට යද්දී ගුවන් නියමු දැක්කා යන්ත්‍ර පුවරුවේ අනතුරු දායක රතු එළියක් නිවෙන දැල්වෙන බව. වහාම ක්‍රියාත්මක් වුණ ගුවන් නියමු ‘‘වැලන්ටයින් රේ’ මේ බව ‘හවානා තොටුපපොළට කතා කරල කීවා.   
‘‘හරි එහෙම නම්.. ඔය රෝද කට්ටල ටික එකවරම පහත් කරල ආයෙත් ඔසවන්න. එතකොට හරියයි.’’...   


පාලක මැදිරියෙන් අණක් ලැබුණ විතරයි යානයේ සියලු රෝද පහත් කර නැවත ඇතුළට ගත්තා. දෙවියනේ ‘රැමිරස්’ බේරුණේ අනුනවයෙන්. අර යකඩ බඳ අතනොහැර හිටපු නිසා.. ‘පෙරස්’ මොනව කර ගත්තාද පෙනුණේ නෑ ඝන අන්ධකාරය නිසා.  


 කොහොත් රැමිරස් හිටියේ මහත් වූ මරණ බියෙන්. රෝද පෙට්ටියේ හිරවෙලා. යකඩ බඳ අල්ලා ගෙන සිටිනවා හැර ලණුවෙන් සිරුර බැඳගන්න ඉඩක් නෑ. ඔහු යකඩ බඳ තදින් අල්ලාගෙන ‘දෙවියන්’ සිහිකරමින්ම ඉන්න අතරතුර ගෝෂාවක් දැඩි සීතලත්, හුස්ම අවහිර වීමත් නිසා ඔහුගේ සිරුර අඩපණ වෙලා. සිහිසුන් වුණා. දැන් ඔහු කිසිම දෙයක් දන්නේම නැහැ.   


ඩී.සී. යානය පැද වූ ‘කපිතාන් වැලන්ටයින් රේට’ මේ දීර්ඝ ගමන හොඳට හුරුයි. පුරා පැය 8කුත් විනාඩි 20ක් මුළුල්ලේම මහ සයුරට උඩින් මගීන් 147ක් සහ සේවක සේවිකාවනුත් දස දෙනෙකු සමඟ එ් වන විටත් අඩි 27000කට ඉහළ අහසේ පියාසර කළා. දැන් යානයේ සියලුම රෝද පෙට්ටිවල පිටපැත්ත අයිස්වලින් වැහිල..   
අත්ලාන්තික් සයුර තරණය කරපු ඩී.සී. යානය පෘතුගාල් ගුවනට ළඟා වුණේ වටින් ​ගොඩින් එළිය වැටීගෙන එනකොට.. නමුත් රැමිරස් හෝ ​ෙපරස් මේ පිළිබඳව කිසිම හාංකවිසියක් දන්නේ නැහැ. අරුණෝදයේ ළාහිරු රැස් පොළොවට වැටෙද්දී පෘතුගාල් දේශය පසුකරපු යානය ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් ගුවන් තොටුපොළ වෙතට හෙමින් හෙමින් සේන්දු වුණා.   
කාල ගුණය, හිරු එළිය, සුළඟේ වේගය වඩා යහපත් බව පාලක මැදිරියෙන් ගුවන්යානයේ කපිතාන් වැලන්ටයින් රේ වෙත දැනුම් දුන් නිසා පුරා සැතපුම් 5563ක මහා දුරක් ගෙවාගෙන ආපු යානය හෙමින් හෙමින් ගුවන් යානයේ එක කොනකින් ධාවන පථයට පහත්වේද්දී මොකක්දෝ කළුපාට ගුලියක් ධාවන පථයට ඇද වැටුණ බව ආරක්‍ෂකයින්ට දැකගන්නට ලැබුණා.   
ඔවුන් වහාම මේ අරුම පුදුම දසුන ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී ‘‘රෝවා ලොරෙන්සහායි’’ වෙතට පැමිණිලි කළා. පිරිස වහාම දුවගෙන ඇවිත් බලනකොට සිහිසුන්ව සීතලෙන් ගල් වී තිබුණ ළමයකුගේ වකුටු සිරුරක් දකින්නට ලැබුණේ. කාරණා කාරණා පසුවට තබා මොහු වහාම ස්පාඤ්ඤයේ ‘මැඩ්රීඩ්’ මහ රෝහල වෙතට රැගෙන යන්නට යුහුසුලු වුණා.   
අරුම පුදුම ප්‍රාතිභාර්යාත්මක සිදුවීමක් වුණ මෙය මෙතෙක් ලෝකයේ කිසිදු විටෙක කිසිම තැනෙක සිදුවී නැහැ. ඒ නිසා සියලුම දෙනාට මෙය අදහාගත නොහැකි සිද්ධියක් වුණා. ‘මැඩ්රිඩ්’ රෝහලේ විශේෂඥ වෛද්‍ය ‘මාරියා සපාරෙස්’’ මේ රෝගියා පරීක්‍ෂා කරද්දීත් සිරුරේ පැවැති උණුසුම අංශක බිංදුවටත් අඩු බවයි ප්‍රකාශ කළේ. මොහුගේ ජීවිතය බේරුණේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් මිස, වෙන කිසිම බලවේගයකින් නොවන බව වෛද්‍ය මාරියා සපාරෙස් ගුවන් බලධාරීන්ටත් ප්‍රකාශ කර තිබුණා.   
ලෝ සුපතළ ඩී.සී. 8 ගුවන් යානා නිපදවන ‘‘ඩග්ලස් එයාර් ක්‍රාෆ්ට්’’ ආයතනයේ නිලධාරීන්ද කියා තිබුණේ යානයේ රෝද පෙට්ටියක මිනිසෙකුට සිරවී ගිය හැකි මුත් ඒ යන තැනැත්තාගේ සිරුර රබර් මෙන් සිතූ තැනකින් නැමිය හැකිව තිබිය යුතු බවයි. වෛද්‍ය විශේෂඥයින්ගේ නොනවතින ප්‍රතිකාර මත පැය කීපයකට පසුව සිහිය යථාතත්ත්වයට පැමිණියාට පස්සේ මේ සියලුම වතගොත ‘රැමිරස්ගෙන් අසා දැනගත්තා මහත් අපහසුවෙන්.   


මදින් මද කතා කරන්නට සහ යථාතත්ත්වයට පත් රැමිරස්, ඉස්සරලාම වට පිට බලල මහත් දුකෙන් වගේ ඇහුවේ ‘‘කෝ පෙරස්...? කෝ මගේ මිත්‍රයා කියලා. එතකොටයි නිලධාරීන්ට තරු පෙනුණේ එහෙනම් තවත් එකෙක් මෙහි එල්ලිලා ඇවිත් කියල. ඒත් එහෙම අයෙක් ධාවන පථයට නොවැටුණ බව ආරක්‍ෂක අංශ කීවා. ඒ වෙලාවේ යානයේ නියමු කපිතාන් ‘වැලන්ටයින් රේ’ ප්‍රකාශ කළේ පාලක අංශයේ උපදෙස් මත උඩු ගුවනේදී යානයේ රෝද කට්ටල පෙට්ටි විවර කරනකොට මුහුදට වැටෙන්නට ඇති බවයි.   
මේ පුවත ඇහුණම රැමිරස් මහත් දුකින් අඬන්න වුණා අනේ මගේ මිත්‍රයා...? කියලා..? ඒත් එක්කම ඔහුට කල්පනා වුණේ දැන් මොනව කරන්නද..? නීතියෙන් තමන්ට මොකක්, වෙයිද...? අනේ මට මෙහේ ආපු හිතුවක්කාර ගමන...’ දුක විඳල හරි ගෙදර හිටිය නම් මොකද කියල..’’?   


ලොව කිසිදු තැනෙක සිදු නොවුන මෙම සිදුවීමේ ඇත්ත තත්ත්වය ‘රැමිරස්’ මැඩ්රීඩ් පාලක පක්‍ෂයට හඬ හඬා කීවා. ඔහු ගැන අනුකම්පා කළ පාලකයෝ මොහුට නීතිමය පියවරක් නොගන්නට තීරණය කළේ මේ විස්මිත ගමන ආපු ලෝකයේ ප්‍රථමයා ‘රැමිරස්’ බව ඒකමතිකව තීරණය කළ නිසා. මේ විස්මිත පුවත එදා ලොව පුරා ජනමාධ්‍ය හරහා අපූරුවට ප්‍රසිද්ධ වුණා. ඒ ලිඛිත, ගුවන්විදුලි සහ රූපවාහිනී මගින්...   


මෙහි ප්‍රතිඵලය හැටියට ආරංචිය ලබාගත් ඇමරිකාවේ වෙසෙන රැමිරස්ගේ මාමා කෝටිපතියෙකු නිසා ඔහු එහාට ගෙන්වා ගන්න කටයුතු කළා. ඒ අනුව ‘ඇමරිකාවේ ජාත්‍යන්තර උපකාර සංවිධානයක්’ මගින් ඔහුට ගුවන් ගමන් බලපත්‍රයක් ‘මැඩ්රීඩ්‍’ සිට ඇමරිකාවේ ‘නිව් යෝර්ක්’ දක්වා ඒමට ලබා දුන්නා.   


හිතට නැගුණ හිතුවක්කාර කමට කළ මාරාන්තික ගමනක නිමාව දකිමින් නොකඩවා සැතපුම් 5563ක් අඩි 29000ක් මහ සයුර උඩින් පියාසර කළ සුවපහසු යානයක සැප පහසුවෙන් තොරව යානයේ රෝදයක එල්ලී ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් පසුව මහත් වූ ලෝක වාර්තාවකට හිමිකම් කී ‘රැමිරස්’ මෙතෙක් ලොව එවැනි කටුක ගමනක් ගිය ‘පළමුවැන්නා’ සහ ‘අන්තිමයා’ බවට වාර්තා වෙනව.   


ඇමරිකාවේ සිය මාමාගේ පිහිටෙන් හොඳ අධ්‍යාපනයක් ලද ‘ආර්මන්දෝ රැමිරස්’ නම් කියුබානු ජාතික තරුණයා පසු කලෙක අතිදක්‍ෂ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු බවට පත් වුණා වගේම අද වියපත් අත්දැකීම් බහුල පුද්ගලයෙකු වශයෙන් ජීවත් වෙනවා ඇති කියලයි හිතන්නේ...?   

 


(Newyork Times)   
නාලගමුවේ උබේසේකර කුමාරසිංහ