ගිරිගෝරිස් ආණ්ඩුකාරයා තැනූ කොළඹ කටුගේ


සිහිවටනයක 
         පසුබ්ම් කතාව

 

කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ බස් රථයක ගමන් කරන විට කොන්දොස්තර ගැටයා මෙසේ බෙරිහන් දෙනු ඔබටද ඇසි ඇතුවාට සැකයක් නැත.   


ග්ලාස් හවුස් බහින්න!   


ග්ලාස් හවුස් බහින්න!!   


ඔබ මෙම බස් නැවතුමෙන් බැසගත්ත ද ‘ග්ලාස් හවුස්’ එකක් නම් ඔබට හොයන්නට හැකි වෙන්නේ නැත. එදා ග්ලාස් හවුස් ගොඩනැගිල්ලට මෙහා ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති සෙනරත් පරණවිතාන සූරින්ගේ උඩුකය පිළිරුවේ එක් ඇසක් නම් ජාතික කෞතුකාරය දෙස බලා සිටිනු මෙන් පෙනිය හැකිය. තොරතුරු විචාරීමේදී ඔබට පෙනී යනු ඇත්තේ ග්ලාස් හවුස් ව්‍යාපාරය නාමය පමණක් ඉතිරිකොට කටුගෙට ගොස් ඇති බවය. එහෙත් වසර 141ට පෙර ඇරඹි අපේ ජාතික කෞතුකාගාරය නොහොත් කටුගේ නම් 1877 සිට තවමත් නොවෙනස්ව පවතී. 


  
කෞතුකාගාර ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ මීට වසර 547කට පෙර රෝමයේ බිහි වූ කැපිටොලින් කෞතුකාගාරය ලොව පළමු කෞතුකාගාරය ලෙස පිළිගැනෙන බවයි. ඊට වසර 35කට පසු ඇරඹි වතිකානු කෞතුකාගාරය ලොව දෙවැනි කෞතුකාගාරය ලෙස භෞතිස්ම කෙරෙන්නේ 1506දීය. එහෙත් ලංකාවේ කෞතුකාගාර ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය තෙක් විහිදී යන්නකි. ශ්‍රීලංකාවට ශ්‍රීමහාබෝධිය රැගෙන එන ලද නැවෙහි කොටස් වෙනම කුටි 3ක තැන්පත් කළ බව මහාවංශයේ 9 වැනි පරිච්ඡේදයේ සඳහන් කොට ඇති බව මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන් සටහන් කොට ඇත. මෙයින් වසර 120කට පෙර 1898 දී පමණ විනාශ වූවා යැයි සලකන අපේ අන්තිම රුවල් නැව විනාශ වී ඇත්තේ මාලදිවයිනට ගොස් එන අතරතුරදීය. නමුත් එහි ආකෘතියක් හතළිහ අගභාගයේදී නිදහස ලබන්නටත් පෙර ගාල්ලේ කටුගෙට ලැබෙන්නේ මේ අතරය. නමුත් සුනාමිය අවස්ථාවේ සාගර විද්‍යා කෞතුකාගාරයේ තිබුණු එය සුනාමියට හසුවිය. එය පුනරුත්ථාපනය කරනු ලැබුවේද මේ ජාතික කෞතුකාගාරයේ සූරයන් විසිනි.   


කෞතුකාගාරයක් විසින් කරනු ලබන කාර්යයන් කිහිපයකි. ඒ අතර භාණ්ඩ රැස් කිරීම, ප්‍රදර්ශනය කිරීම, සංරක්‍ෂණය කිරීම, ලේඛනගත කිරීම, පර්​ෙ‌ය්ෂණ නිතිපතා සිදුකිරීම මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. නමුත් කෞතුකාගාරයක් සතු භාණ්ඩ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ අපේ මතකයට එන්නේ පරණ භාණ්ඩ එක්රැස් කරගත් ස්ථානයකි. එසේ නම් කෞතුකාගාරයක තැන්පත් කරන්නේ මොනවාද? මානව ප්‍රජාවේ පැතිකඩක් විහිදුවාලන සංස්කෘතික, කාර්යයක මෙන්ම තාක්‍ෂණික ආදී උරුමයකට අදාළ අමිල වටිනාකමකින් යුතු වස්තුන් මේ කෞතුකාර එකතුව සරසනු දක්නට හැකිය.   


කොළඹ කෞතුකාගාරය බිහිවීම පිටුපස ඇති ​තොරතුරුද රසවත් එකකි. යටත් විජිත යුගයේ මෙරට සේවයට පැමිණි බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෝ බොහෝ පිරිසක් තමන්ට ලැබුණු ඓතිහාසික කෞතුක වස්තුන් ලබාදී ඇත්තේ රාජකීය අාසියාතික සංගමයටය. විලියම් හෙන්රි ග්‍රෙගරි ලංකාණ්ඩුවේ ආණ්ඩුකාර තැන ලෙස පත්ව එන්නේ 1872 දී පමණය. නව ආණ්ඩුකාරයා පැරණි දේ ‘එක්කාසු’ කරන්නටත් ඒ පැරණි දේටත් පුදුමාකාර ආදරයක් දැක්වූ පුද්ගලයකු විය. මේ වග හොඳින් දත් පුද්ගලයකු වූයේ එවකට රාජකීය ආසියාතික සංගමයේ සභාපතිවරයාය. ඔහු ඇතුළු පිරිසක් නව ආණ්ඩුකාර ‘ගිරිගෝරිස් උන්නාන්සේ’ හමු වී කෞතුකාගාරයක අවශ්‍යතාව පහ‌ද‌ා දෙන්නට විය.   


‘සිලෝන්’ එකට කෞතුකාගාරයක අවශ්‍යතාව බ්‍රිතාන්‍ය කිරීටයට කියා පවුම් ලබාගන්නට ග්‍රෙගරි ආණ්ඩුකර තුමා කරුණු දැක්වූවද මුලින්ම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ඊට හේතු වූයේ මේ සඳහා වන අධික පිරිවැයට අනුමැතිය දීමට බ්‍රිතාන්‍ය කිරීටය යටතේ තිබූ ව්‍යවස්ථාද‌ායක සභාව ප්‍රතික්ෂේප කිරීමයි. නමුත් ආණ්ඩුකාරතුමා බ්‍රිතානයයට සෘජුවම කරුණු දැක්වීම නිසා කෞතුකාගාර ව්‍යාපෘතියට අනුමැතිය ලබාගන්නට අවසානයේ හැකි විය.   
ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා වාස්තු විද්‍යාව ඇදහූ පුද්ගලයෙකු විය. ආණ්ඩුකාරවරයාගේ සිත්ගත් ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ ජේමිස් ස්විදර්ය. ඇතැම් ලේඛනවල එම නම ජේ.ජී ස්මිදර් ලෙසද දක්වා ඇත. මෙම කෞතුකාගාර ගොඩනැගිල්ල සඳහා තෝරාගෙන ඇත්තේ ඉතාලියේ ගෘහ නිර්මාණ ශිල්පයයි. ගාලුමුවදොර ඇති පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ආකෘතිය සඳහා යොදාගෙන ඇත්තේ. ඉතාලියේ දේවස්ථානයක් වූවත් මේ කෞතුකාගාර ගොඩනැගිලි ආකෘතියට මුලුමනින් ඉතාලි ගොඩනැගිල්ලක් නිශ්චිතව දක්වා නැත. වත්මන් ජනපති කාර්යාල ගොඩනැගිල්ල හෙවත් පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පාදක කරගත් ඉතාලියේ පල්ලිය අදත් සුරක්‍ෂිතව තිබෙනු දැක ගත හැකිය.   


ගොඩනැගිල්ලේ සැලසුම්කරු එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ නම් දරාපු ගෘහ නිර්මාණ ශිල්පියා විය. ගොඩනැගිල්ල ඉදිකිරීම් භාරවූයේ එවකට සුප්‍රසිද්ධ ගොඩනැගිලි ඉදිකිරීම්කරුවකු වූ මරික්කර් බාස් නම් තැනැත්තාටය. අදටත් දක්නට ලැබෙන පැරණි නගර ශාලාව මෙන්ම මහතැපැල්හල ගොඩනැඟූ පුද්ගලයා ලෙස ගැනෙන්නේ ඔහුය. පැරණි නගර ශාලාවේ ඇති පුවරුවක ඔහුගේ නම පැහැදිලිවම දක්වා ඇත. මරික්කාර් නාමය අදත් සිහිගන්වන මාර්ගයක් අද කොටුවේ ඇත. ඉපැරණි ටයිම්ස් ගොඩනැගිල්ලත් ලංකාවේ පළමු ලංකා ගොඩනැගිල්ලත් දෙපස ආරම්භයේ ඇති එම මාර්ගය සර් රසික් ෆරිඩ් මාවතය. ශ්‍රීමත් රසික් ෆරිඩ්ගේ සීයා වන්නේ මරික්කාර් ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමේ මුල් හිමිකරුය. කෞතුකාගාරය ඉදිකිරීමේ කටයුතුවලට ආණ්ඩුකාරයා පෞද්ගලිකව මැදිහත් වීමටත් ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් දක්වා ඇත්තේ දැඩි උත්සාහයකි.   
කෞතුකාගාරය විවෘත කළ දිනය ලෙස සැලකෙන්නේ 1877 ජනවාරි 1 වැනි දිනදීය. ඩී.එස්. සේනානායක අගමැතිවරයා වූ යුගය දක්වා කෞතුකාගාරයට සිකුරාදා දිනය නිවාඩු දිනයක් වී ඇත. ඊට හේතු වී ඇත්තේ ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරු වූ මුස්ලිම් බැතිමතා ආණ්ඩුකාරගෙන් කරන ලද ඉල්ලීමකි. තමන් පල්ලි පිළිවෙත් ඉටු කරන දිනය වන සිකුරාද‌ාට කෞතුකාගාරය විවෘත නොකරන ලෙස ඔහුගේ ඉල්ලීම විය. ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරු මරික්කාර්ගේ මුනුපුරා වූ සර් රසික් ෆරිඩ් තම අනුමැතිය මේ සඳහා ලබා දී ඇත.   


කෞතුකාගාරය ආරම්භයේ ආණ්ඩුකාරවරයා විවෘත කරන විට කෞතුක හා ස්වභාවික භාණ්ඩ 1200ක් ප්‍රදර්ශනය සඳහා වූ බව එක් ලේඛනයක ඇතත් තවත් ලේඛනයක ඇත්තේ අත්කම් මෙන්ම ස්වර්ණාභරණ ඇතුළු අයිතමවල මුළු එකතුව 1192ක් වූ බවය. කෞතුකාර ගොඩනැගිල්ලේ පුළුල් කිරීමේ කටයුතු නැගෙනහිර අන්තය 1909 දීත් බටහිර අන්තය 1930ත් මහජනතාව වෙත නිරාවරණය කොට ඇත. කෞතුකාගාර ගොඩනැගිලි විවෘත කොට වසර 136කට පසු 2013 දී සිදුවූ විශේෂ සිදුවීමක් නම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සමඟ එහි දැව තරප්පු පෙළක් කඩාගෙන වැටීමය. 36 දෙනෙකු තුවාල ලැබූ මෙම අනතුරින් 17 දෙනෙකුට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නට වූයේ නේවාසිකවය. එම අවස්ථාවේ කෞතුකාගාරය අලුත්වැඩියාව පෞද්ගලික අංශයට යොමුවීම ඇති කළේ මහත් අර්බුදයකි. අවසානයේ එය යුද හමුදාවට භාර විය.   


‘‘මෙවැනි ජාතික වශයෙන් වැදගත් ගොඩනැගිල්ලක් සංරක්‍ෂණයට පෞද්ගලික ආයතනයකට දෙනවාට වඩා පැරණි ගොඩනැගිලි සංරක්‍ෂණ ගැන අත්දැකීම් ඇති යුද හමුද‌ාවට භාරදීමට අප රජයෙන් ඉල්ලා සිටියා. ඇස්තමේන්තුව මිලියන 225. ආරක්‍ෂක අමාත්‍යාංශ අපේ ඉල්ලීම පිළිගත්තා යි කෞතුකාගාර අධිකාරිවරයා ඒ අවස්ථාවේ ප්‍රකාශයක් කර ඇත. තේරෙන භාෂාවෙන් කිව්වොත් 2013 දී කෞතුකාගාරය අලුත්වැඩියාව ඇස්තමේන්තුව රුපියල් විසිදෙකෝටි පනස් ලක්‍ෂයකි. නමුත් ඊට වසර 136කට පෙර කෞතුකාගාරය මුළුමනින්ම ගොඩනගන්නට ගොස් ඇති ‘ඇස්ටිමේට්’ එක රු. 119,993කුත් ශත 93ක් බව ලේඛනවල පැහැදිලිව දක්වා තිබේ.   

කෞතුකාගාරය ආරම්භයේ ආණ්ඩුකාරවරයා විවෘත කරන විට කෞතුක හා ස්වභාවික භාණ්ඩ 1200ක් ප්‍රදර්ශනය සඳහා වූ බව එක් ලේඛනයක ඇතත් තවත් ලේඛනයක ඇත්තේ අත්කම් මෙන්ම ස්වර්ණාභරණ ඇතුළු අයිතමවල මුළු එකතුව 1192ක් වූ බවය. කෞතුකාර ගොඩනැගිල්ලේ පුළුල් කිරීමේ කටයුතු නැගෙනහිර අන්තය 1909 දීත් බටහිර අන්තය 1930ත් මහජනතාව වෙත නිරාවරණය කොට ඇත. කෞතුකාගාර ගොඩනැගිලි විවෘත කොට වසර 136කට පසු 2013 දී සිදුවූ විශේෂ සිදුවීමක් නම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සමඟ එහි දැව තරප්පු පෙළක් කඩාගෙන වැටීමය. 36 දෙනෙකු තුවාල ලැබූ මෙම අනතුරින් 17 දෙනෙකුට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නට වූයේ නේවාසිකවය. එම අවස්ථාවේ කෞතුකාගාරය අලුත්වැඩියාව පෞද්ගලික අංශයට යොමුවීම ඇති කළේ මහත් අර්බුදයකි. අවසානයේ එය යුද හමුදාවට භාර විය.   

 


බොහෝ දෙනා සිතා සිටින්නේ මේ කෞතුකාගාරයේ ඇත්තේ ‘පුරාවස්තුන්’ වැනි දේ බවය. නමුත් එහි ආරම්භය තෙක් විහිදීගිය ඉතිහාසයක් ඇති පුස්තකාලයක් ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. ලංකාව ගැන ලියවුණු ඉපැරණි පොත් පත් 1870දීම බලාගැන්වීමට යා යුතු තැනක් නම් කෞතුකාගාර පුස්තකාලයයි. එසේ කීවා කියා ලංකාව ගැන ලිය වුණු පරණම ග්‍රන්ථය ඇත්තේ කෞතුකාගාර පුස්තකාලයේ නොව ජාතික ලේඛනාගාරයේය. එම ග්‍රන්ථයේ ලෝකයේම පුස්තකාලවල ඇත්තේ ලංකාවේ පිටපතක් සමඟ පිටපත් 5ක් පමණය.   


ලංකාවේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහාසනය මේ කෞතුකාගාරයේ දක්නට ඇත්තේ එය ලබාදීමට බ්‍රිතාන්‍ය රජය එකඟ වීම නිසාය. කෞතුකාගාර ඉතිහාසයේ එය ජාත්‍යන්තර තලයට ගෙන ගිය පුද්ගලයා ලෙස සිතිය හැක්කේ 1939- 1963 දක්වා අධ්‍යක්‍ෂවරයා වූ දැරණියගල මහතාගේ යුගයයි. එහෙත් දැරණියගල යුගයේවත් සොයාගත නොහැකි වූ කස්තානයක් ගැන පුවතක් ගිය වසරේ අප්‍රේල් මාසයේදී මතුව ආවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවට ගිය වේලාවකය.   


රුසියන් ජනපති ව්ලැද්මිර් පුටින් සැලකෙන්නේ ඓතිහාසික පුරාවස්තු හා සංස්කෘතික උරුම ලෝලියකු ලෙසය. ඔහු මෛත්‍රීපාල ජනපතිවරයාට පරිත්‍යාග කරන ලද්දේ 1906දී ලංකාවෙන් එංගලන්තයට ගෙනගිය කස්තානයකි. මේ කස්තානය පෞරාණික ආයුධ සම්බන්ධ විශේෂඥයකු වන ඊශ්‍රායල් ජාතික ඇලෙක්ස් ෆර්ගර් හඳුන්වා ඇත්තේ එය මහනුවර යුගයට අයත් එකක් බවය. මේ අනුව පෙනී යන්නේ අපේ බොහොමයක් වටිනා රන් රිදී මුතු මැණික් තවමත් එංගලන්තයේ වෙන්දේසි වන බව නොවේද?   


ඉතිහාසය පිරික්සීමේදී අපේ කෞතුකාගාරයේ තිබිය යුතු බොහෝ රන්-රිදී-මුතු මැණික් ලොව පුරා වෙන්දේසි වන බව රහසක් නොවේ.   


අපේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දුම්බරදී අත්අඩංගුවට ගත්තේ 1815 පෙබරවාරි 18 වැනිද‌ාය. රාජසිංහ රජු අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ එතුමා සතුව තිබූ දේපළ ඉංග්‍රීසි ආණ්ඩුවට භාරදෙන ලද්දේ සුප්‍රකට එක්නැලිගොඩ රටේ රාල හා ඉංග්‍රීසි සෙබළුන්ය. ඇතැම් ලේඛනවල එක්නැලිගොඩ යම් පරිවර්තන කාර්යක නියළුණු බවද සඳහන්ය. රජු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඉන්දියාවෙන් ගෙනා රන් කරුවන් නිමවූ රත්‍රං චේන් යාර විස්සක්, රිදී හවඩි යාර 20ක්, මැණික් ඇල්ලූ මුදු හා තැලි විශාල ප්‍රමාණයක්ද විය. රාජසිංහ රජුගේ බිසෝවරුන්ගේ කන්වල වූ කරාබු කනෙන් කඩා ගැනීම නිසා කොළ වර්ගයක් කොටා ඒ කන්පෙති තුවාලවලට දැමූ බවද ලේඛනවල ඇත.   


1815 දී ලංකාවම යටත් කර ගත් ඉංග්‍රීසින් මහනුවර රජමාලිගාව දෙවනත් කර එහි වූ වටිනා මුතු මැණික් එබ්බවූ කඩු, හෙලි, කිරිච්චි හා කස්තාන ද එක්කොට එංගලන්තයේ සෝත්බි (Sotheby) වෙන්දේසි පොළට එවන ලදී. සෝත්බි යනු ඊයේ පෙරේදා බිහි වූ වෙන්දේසි පොළක් ලෙස ඔබ සිතනු ඇත්තේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා රුසියන් ජනපති ලබාදුන් කස්ථානය මේ සෝත්බි වෙන්දේසි පොළේ වෙන්දේසි වී ඇත්තේ 2006 දෙසැම්බර් 19 වැනිදා නිසා විය යුතුය. එහෙත් ලන්ඩනයේ සෝත්බි රාජකීය හා පුභූ භාණ්ඩ වෙන්දේසි පොළ අරඹන විට ශ්‍රී වික්‍රම රාජසිංහ කෙනෙක් උපදින්නට හිතාවත් නැත.   


සෝත්බි වෙන්දේසි පොළේ දී ලංකාවෙන් මංකොල්ලාකන ලද රන්චේන් යාර කපා ඇත්තේ අඟල් 20 මාලවලටය. මේ රත්‍රං චේන් මිල දී ගත් කිසිවකු ශ්‍රී වික්‍රම රාජසිංහ නම් සිලෝන් එකේ රජතුමෙකු ගැන දැන සිටියේ නැත. රත්‍රං චේන්වල ලන්සුව වැඩිකර ගැනීමට වෙන්දේසි කරු කරන ලද්දේ ‘රජකුගේ’ දේපල වෙන්දේසි කරන රාජකීය තත්ත්වයකට එංගලන්තයේ අම්මණ්ඩිලාගේ මොලය පිස්සු වැට්ටීමය. තම ගෙලෙහි බඳින්නේ රාජකීය දේපලක් යැයි මානසික අල්ලසක් ඔවුනට ඉන් ලැබුණි. ලංකාවෙන් ගෙනා රත්‍රං චේන් ඉහලම ලන්සුවකට වෙන්දේසී වූයේ මේ අයුරිනි.   


වෙන්දේසියට යොමු නොකළ බොහොමයක් රන් රිදී බඩු අතර කඩු, කස්තාන ආදි දේ කොටසක් බ්‍රිතාන්‍ය රජ පවුල තබාගෙන ඇත්තේ ලෝකයේ වෙනත් රාජකීය පවුල් සමඟ කෞතුක භාණ්ඩ තෑගි ලෙස හුවමාරු කරගන්නට බ්‍රිතාන්‍යයන් දැඩි කෑදරකමක් දැක්වූ නිසාය. 2017 දී රුසියන් ජනපතිවරයා විසින් මෛත්‍රීපාල ජනපතිතුමාට භාර දෙන ලද කස්තානයද මෙසේ සෝත්බී වෙන්දේසි ශාලාවේ වෙන්දේසි වූවකි. මෙවැනි කස්තාන ගැන ඉතිහාසය සොයායාමේදී පෙනී යන්නේ ඒවා පැලඳ ඇත්තේ එද‌ා ලක්දිව විසූ ඉහළම ප්‍රභූ පුද්ගලයන් බවය. එදා පහළ පන්තියක පවුලකට ඒවා පලඳිනවා තියා නිවෙසක තබා ගැනීමට වත් අවසරයක් නොවීය.   
මෙසේ බලන විට අපේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට ඇති බොහෝ කෞතුක වටිනාකමින් යුතු භාණ්ඩවලට වඩා ප්‍රමාණයක් ඇත​්තේ පිටරටවල කෞතුකාගාරවල හෝ ගෙවල්වල අල්මාරිවලය. පෞරාණික වස්තු රැස්කරන ලොව පුරා ධනවතුන් හා ආයතනවල ඇති අපේ ලක්දිව ඉපැරණි ‘කෞතුක’ භාණ්ඩ ලේඛනයක් සැකසීම ජාතික අවශ්‍යතාවක් වී තිබේ.   


කටුගෙයි ගොඩනැගිල්ලේ ඇත්තේ අපේ උරුමය ය. අනුරාධපුර පොළොන්නරු යුගවල පැරණි කාසි, ස්වර්ණාභරණ, අායුධ මෙන්ම ඇඳුම් ආයිත්තම්ද අපේ ඉතිහාසය මැනවින් කියාපායි. එහි ඇති ස්වභාවික විද්‍යා කෞතුකාගාරය ස්වභාවික සතුන් ගැන ඔබේ සිතුවිලි නව මානයකට යොමු කරනු ඇත. එමෙන්ම එහි ඇති කෞතුක වටිනාකමින් යුතු බෙර, වෙස් මුහුණු, පිඟන් බඩු, වඩාත් ආකර්ෂණීය වී ඇත්තේ ස්වදේශක සංචාරකයින්ට වඩා විදේශීය සංචාරකයින්ටය.   


ඉතිහාසය පුරා විවිධ ජන සමාජයන් තම අතීත උරුමයන්ට අදාළ සාක්‍ෂි රැක ගැනීම සඳහා විවිධාකාර ක්‍රියාකාරකම් මගින් තම අතීත උරුමයන් සුරකිනු ලැබේ. කෞතුකාගාර සංකල්පය වැදගත් වන්නේ අපේ අනාගත පරපුරට අපේ උරුමය රැකදීමටය.   


කෞතුකාගාර ගොඩනැගිල්ල බිහි වූ ගිරිගෝරිස් යුගයට වඩා අද ‘ෆේස්බුක්’ යුගය කෞතුක වස්තුන් ගැන සන්නිවේදනය ඉතා පුළුල් ලෙස ව්‍යාප්තව ඇත. කෞතුකාගාර පුස්තකාලය වෙත යනෙන හැම විටෙකම කුහුලක් උපදින්නේ අපේ ජනතාව මේ මහා උරුමය දැක බලාගන්නට එන්නේ නැතුව නිසොල්මනේ සිටින්නට ඉඩහැර ඇත්තේ ඇයි දැයි කියාය. අද බොහෝ විට අපේ මේ කෞතුකාගාරය බලන්නට එන්නේ පාසල් සිසු සිසුවියන්ය. කෞතුකාගාර ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති ලෝකඩ පිළිමය ශ්‍රිමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා සිහිවන්නට බොහෙමි නමැති නිර්මාණ ශිල්පියා අතින් නිමවූවකි. ලක්දිවට කෞතුකාගාරයක් ලබාදීමට අපරිමිත සේවයක් කළ ‘ගිරිගෝරිස්’ ආණ්ඩුකාරතුමා ඔබ එන තුරු බලා සිටින බව අමතක නොකරන්න.   

 

 

 

 


වජිර ලියනගේ