කෝටි සංඛ්‍යාත ජනතාවගේ වැඳුම් ලබන බුද්ධගයාව


රටකින් රටකට

 

ශත වර්ෂ විසිපහකට පෙර දෙවියන් බඹුන් පවා විශ්මිතව බලාසිටි ආශ්චර්යමත් සිදුවීමක් වූ ස්ථානයක් අබියස මම සිටිමි. ශතවර්ෂ විසිපහකට පෙර දෙවියන්ට දෙවි වූ බඹුන්ට බඹු වූ ඒ උතුම් බුද්ධත්වය අවබෝධකරගත් උත්තමයා අනිමිස ලෝචනයෙන් යුතුව මෙම ස්ථානය දෙස බලා සිටියේය. උන්වහන්සේ දින හතක්ම එකම අයුරින් අනිමිස ලෝචන පූජාවෙන් මෙම ස්ථානය දෙස බලා සිටියද එදා සිට අද වනතුරු ගෙවී ගිය සියවස් විසිපහ පුරා එක දිගට එවන් පෙළහරක් පෑ වෙනත් කිසිවකු නැත්තේය. ලෝකයට බුද්ධත්වය ලබාදුන් පරම පවිත්‍ර අති පූජනීය ස්ථානය මෙතනය. මිනිසා දුකින් මුදා ගැනීමට බුදුවරයකු පහල වූ ස්ථානය මෙතනය. 


ශතවර්ෂ විසිපහකට ප්‍රථම සුජාතාවගේ කිරිපිඬු දානයෙන් කුස පුරවාගෙන ඇසතු ගස පාමුලට වී සමවත් සුවයෙන් වැඩ හිඳිමින් මරුවාද, මාරදූතිකාවන්ද පියවරෙන් පියවර පරාජය කරමින් සිදුහත් බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වූ පූජනීය ස්ථානය අද ද බුද්ධාලම්බන ප්‍රීතියෙන් උතුරා යන පූජාභූමියකි. 


බුද්ධ ගයාව යනු සිදුහත් ගෞතමයන් වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වූ පූජනීය බිම් කඩ වේ. වර්තමාන ඉන්දියාවේ බිහාරා ප්‍රාන්තයේ පැට්නා නගරයේ සිට කිලෝමීටර් 96ක් දුරින් බුද්ධගයාව පිහිටා ඇත. අද පැට්නා නගරය යනු එදා අශෝක රජතුමාගේ පාටලී පුත්‍ර නගරය බවටද මතයකි. බුද්ධගයාව පිහිටියේ ගයා දිස්ත්‍රික්කයේ ය. ගයා නගරයේ සිට කිලෝමීටර් 14ක් දුරින් බුද්ධ ගයාව පිහිටා ඇත. ගයා නගරය සාම්ප්‍රදායික කුඩා ඉන්දියානු නගරයක් වුවත් ගයා ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළකි. 
 මුම්බායි නගර සංචාරයෙන් පසු ඉන්දියානු රජය අප වෙනුවෙන් බුද්ධගයාවේ සංචාරයක් සූදානම් කර තිබිණ. ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසට ගයා දක්වා යන සෘජු ගුවන් යානයේ ආසන ප්‍රමාණය මදි වූයෙන් අපට සිදුවූයේ පළමුව නවදිල්ලියටත් එතැන් සිට පැට්නා දක්වාත් ගුවන් යානා දෙකක යන දුරගමනක් පිළිගැනීමටය. පැට්නා ගුවන්තොටේ සිට කිලෝමීටර් 96කින් යුතු ගමන මහ රෑ සිදුවුනේ බස්රථයකිනි. 


බස්රථ ගමනින් පසු එදා රාත්‍රියේ අපට නවාතැන් හිමිවූයේ මහාබෝධි සංචාරක හෝටලයේය. එය මහා බෝධි නම් වුවත් පෞද්ගලික සංචාරක හෝටලයකි. එය ඉහළම පහසුකම් වලින් යුතු වූවකි. 


බුද්ධගයාව සැලකෙන්නේ ලෝකයෙහි හරිමැද හෙවත් නාභිය හැටියටය. බුදුන් පිටදුන් බෝධිය සිටුවා ඇත්තේ ලෝකයේ හරිමැද බවද සමහරුන්ගේ මතයකි. යම් මනුෂ්‍යයකු සියලු සංස්කාර ධර්මයන්ගෙන් වියුක්තව බුද්ධත්වය හිමිකර ගන්නා බරපතළ මොහොතට ඔරොත්තු දෙන ස්ථානයක් ලෙස බුද්ධගයාව සැලකේ. සමහරවිට එය ගුරුත්වාකර්ෂණය ශුන්‍ය තැනක් විය හැකිය. බුද්ධත්වය ලැබීම යනු තණ්හාව, රාගාදී සියලු කෙලෙසුන් නසා සිත එක තැනකට ගෙන අතීතය මෙන්ම අනාගතයද මෙලොව මෙන්ම පරලොවද විසූ තැන් අත්දැකිය  හැකි ඥානයක් ලබා ගැනීමකි. අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒ සියලු අභිඥාවන් ලබා ගත්තේ මෙම පින්බර භූමියේදීය. 
අතීතයේ මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ බෝධිමන්ද හා බෝධි මණ්ඩල යනුවෙනි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් ටික කලකට පසු වෙනත් ආගම්වාදීන්ගේ බලපෑමට බුද්ධගයාව ලක්වූ අතර ඉන්පසුද වරින් වර බොදු රජවරුන් එහි යළිත් බුද්ධාගම පිහිටුවා තිබේ. යළිත් බෞද්ධයන්ට මෙම භූමිය ලබා දුන්නේ අනගාරික ධර්මපාලතුමාගේ මැදිහත් වීමෙනි. 


මෙම පුණ්‍යභූමියට වසරකට කෝටි සංඛ්‍යාත ජනයා වන්දනාමාන පිණිස පැමිණෙති. එයින් ලාංකිකයන් පැමිණෙන්නේ දස ලක්‍ෂයක් පමණය. චීන ටිබෙට්, බුරුම, තායිලන්ත, ආදී විවිධ රටවලට බෞද්ධයෝ ද ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් එති. ඉන්දියානුවන් කෝටියක් වසරකට මෙම ස්ථානය වැඳපුදා ගන්නා බව කියති. ඉන්දියානුවන් බුද්ධගයාවට යන්නේ විෂ්ණු දෙවියන් වැඩ සිටි තැනක්ය යන විශ්වාසයෙනි. අනගාරික ධර්මපාලතුමා සහ තවත් ඉන්දීය ප්‍රභූවරුන් එක්ව මහන්තා නමැති ඉඩම් හිමියාගෙන් බුද්ධගයාව බේරාගන්නා විට එහි පැවැතියේ හින්දු කෝවිලකි. 


ඉන්දියානු මහා බෝධි සමාගමේ සහායක පාලක ශාස්ත්‍රපති යටියන්තොට රාහුල හිමියන් අපට හමුවූයේ බුද්ධගයාවේ පිහිටි ඉන්දීය මහාබෝධි මධ්‍යස්ථානයේදීය. උන්වහන්සේට අනුව අටවිසි බුදුවරුන් බුදුවූයේ මේ භූමියේදීය. සූර්යයන් සත් දෙනකු පායා ලෝකය විනාශ වුවත් බුද්ධගයාවේ බුදුහිමියන් බුදුවූ තැන විනාශ නොවේ. “ ලෝකය විනාශ වී අලු දුහුවිලි පවා ගහගෙන යනවා... මේ ගැන මහා පරිනිබ්බාන, සූත්‍රය, මාර තර්ජනීය සූත්‍රය, ආදියෙහි දක්වලා තියෙනවා. අලු දූවිලි පවා ගහගෙන ගිහින්, ලෝකය විනාශ වුවත් යළිත් ලෝකයට බුදුවරුන් පහළ වෙන්නේ මෙතැන....” උන්වහන්සේ කියති. 


මෙම ස්ථානය එවන් අසීමිත බලයක් ඇති තැනකි. ලෝ පුරා බෞද්ධ රටවලින් පමණක් නොව අබෞද්ධ රටවලින් පවා කෝටි සංඛ්‍යාත පිරිසක් පැමිණ ගයාවේ බුද්ධ ශීර්ෂයට වැඳ වැටෙන ආකාරය අනුව මෙම පුණ්‍යභූමිය එවන් අසීමිත බලයක් ඇති ස්ථානයක් බව පැහැදිලි වේ. 


ශතවර්ෂ විසිපහකට පෙර සිදුහත් බෝසතාණන් නේරංජනා නදී තීරයෙහි බුද්ධත්වය ලබමින් සිටි මොහොතේ දස බිම්බර මාර සෙනගද තණ්හා, රති, රඟා මාර දූතිකාවන්ද රැගෙන මාරයා පැමිණෙන්නේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ වෑයම පරාජය කරන්නටය. සම්මා සම්බුද්ධත්වයේ කඩඉම මත සිටින බෝසතානන්ගේ වෑයම කඩා බිඳ දැමීමට මාරයා සමත් වුවහොත් බුදුවරයකුගේ පහලවීම සිදු නොවනු ඇත. පරචිත්ත විජාරණඥානය ලෝකෝත්තර ඥානය ලබමින් සිටින මොහොතේ සිතුවිලි එක තැනක රඳවාගත යුතුය. වෙසක් මස පුන් පොහොදා සියලු සිතුවිලිවලින් මිදී උන්වහන්සේ බුදු බව ලබා ගනිමින් සිටියදී එම වෑයම පැරදවීමට යම් බලයක් මෙම බිම මත ක්‍රියාත්මකව තිබිණ. උන්වහන්සේ වෙනුවෙන් අවසානයේ ඉදිරිපත් වන්නේ වෙසමුණි දෙවියන්ය. මාරයා පරදවීමට වෙසමුණි දෙවියන් එවන්නේ දැඩිමුණ්ඩ දෙවියන්ය. මුගුරක් රැගත් දැඩිමුණ්ඩ දෙවියන් පැමිණ මාරයාට විවිධ තර්ජන එල්ල කරද්දී තම සිතුවිලිවල අග්‍රස්ථානයට පත්වන සිදුහත් බෝසතාණෝ බුද්ධත්වය ලබා ගනිති. දෙවියන්ගේ පවා ඇල්ම බැල්ම වැටෙන යම් භූමි ආකර්ශනයක් එදා පටන් මේ බිමේ පවතින්නට ඇත. 


දඹදිව බුද්ධභූමි වැඳපුදා ගන්නට එන ලාංකිකයන්ට යටියන්තොට රාහුල හිමියෝ අවවාද කිහිපයක් දෙති. “පුණ්‍යභූමි වඳින්න එන අයගේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනෑ සිද්ධස්ථාන වන්දනා කිරීම දාන ශීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවට තමයි එන්න ඕනෑ. සමහර අය මේ ගමන සාප්පු සවාරි යන ගමනක් කරගන්නවා. එ්කට වඩා මුල්තැන දෙන්න ඕනෑ දාන, ශීල, භාවනා කටයුතුවලට. සමහර අය උදේට සිල් අරගෙනත් කතා කරන්නේ සාප්පු සවාරි ගැන. මෙතන වැඩඉන්න භික්‍ෂුන්වහන්සේලා මූලිකව බලාපොරොත්තු වෙන්නේ ශ්‍රද්ධාවෙන් මෙම ස්ථානයට එන පිරිසක් දැකගන්න. ඒත් සමහර වෙලාවට ඒ අදහස් නැති අයත් එන බව පේනවා. අසනීප තියෙන අය, අසනීප නැති බව කියලා වීසා අරගෙන එන්න එපා. බරපතළ ලෙඩ රෝග තියෙන අය තනියම එන්නත් එපා. එනවා නම් වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් හේත් අරගෙනම එන්න. අප්‍රේල් මාසෙ සිට ජුලි මාසෙ මැද වනතුරු එන්න එපා. මේ පළාතට අධික රස්නයක් තියෙන්නෙ. ඊළඟට ජනවාරි එන්නත් එපා. ශීතලයි. අනික් ඕනෑම කාලයක එන්න. උන්වහන්සේ කියති. 


ශීත කාලයේදී ගයාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක නවය දක්වා පහළ වැටෙන අතර උෂ්ණ කාලයේදී එය අංශක පනහ දක්වා ඉහළ නගියි. 


අනගාරික ධර්මපාල තුමා මහාබෝධියේ සිටි කාලයේ ඉන්දියානු පුද බිම්වලින් ලබාගත් බුදුන් වහන්සේගේ හා අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනයක් පෙබරවාරි 1-2 හා 3 යන දිනවල බුද්ධගයා මහා බෝධි සංගම් ධාතු මන්දිරයේදී පවත්වන බවද උන්වහන්සේ කීහ. 


දැඩි භක්තියකින් ගයා පුදබිම වැඳපුදා ගන්නා තායිලන්ත සහ ටිබෙට් බෞද්ධන් එහි යනෙන ජනතාවගේ ආකර්ශණයට යොමුවෙයි. හඬ පිටින් එන තායි බෞද්ධයෝ බිම දිගා වී යළි නැගිටිමින් යළිත් බිම දිගාවෙමින් බොහෝ වේලාවක් මෙම පුණ්‍යභූමිය වන්දනා කරති. වසරේ අගභාගය වනවිට ලක්‍ෂ සංඛ්‍යාත දහස්පෙතියා මල් මාලාවලින් බුදුන් පිදීමද වන්දනා කරුවන්ගේ නෙත් සිත් ඇද ගන්නා දර්ශනය වේ. එමෙන්ම කහ, රතු, තැඹිලි පැහැගත් විවිධ වර්ණ සිවුරු පොරවාගත් විවිධ රටවල හිමිවරුද දහස් ගණනක් මේ පින්බිමේ සිටිති. 


මහාබෝධි විහාරස්ථානයෙන් පිටත බුදු පිළිම, මාල වළලු, රෙදිපිළි විකුණන වෙළෙඳසැල් රැසක් තිබේ. සමහර වෙළෙඳසලක ඉන්දීය හිමිකරුවන්ට ඉතා හොඳින් සිංහල කතා කළ හැකිය. ඔවුන් ඉන්දියානුවන් වුවත් නිතර යනෙන ලාංකික බැතිමතුන් නිසා මේ හැකියාව ලැබී තිබේ. ත්‍රිරෝද රථද මිනිසුන් විසින් ඇදගෙන යන රික්සෝ රථ හා පාපැදිද මහා මාර්ගයේ සිට මහාබෝධි විහාරය තෙක් ජනයාට අඩුමුදලකට ගමන් පහසුව සලසයි. 

 

 

 


ප්‍රේමකීර්ති රණතුංග