කෝච්චියේ හිඟන සිටුවරු


 

 

දුම්රිය ආරක්ෂක හමුදාවේ මහත්වරු කට්ටියක් පසුගිය දවස් ටිකේම මාර හිඟන්නන් ටිකක් අල්ලා ගත්තේ කෝච්චියේ හිඟමන් යදිමින් සිටියදීය.   
අල්ලාගත් ඒ හිඟන්නන්ට මාර හිඟන්නන් යැයි කියා හැඳින්වූයේ එහෙම කියන්න කරුණු කාරණා යෙදී තිබූ නිසාය. 


දරුවකු අසාධ්‍ය රෝගයකින් පෙලෙන බව කියා ඒ දරුවාට හදිසි ශල්‍යකර්මයක් කිරීමට මුදල් සොයා ගැනීමට බව කියා කෝච්චියේ හිඟමනේ යෙදුණු අයෙක් දුම්රිය ආරක්ෂක හමුදාවේ මහත්වරුන් විසින් කොටුකර ගැනිණ. 


දුම්රිය ආරක්ෂක හමුදාවේ මහත්වරුන් මේ පුද්ගලයා කියන කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමේ දී දැන ගැනීමට ලැබී ඇත්තේ ඒ අහිංසක දරු පැටියාට කිසිම රෝගාබාධයක් වැළඳී නොමැති බවය. 


දරුවාට අසනීප යැයි කියා හිඟමනේ යෙදුණු තවත් මාර තරුණ හිඟන්නෙක් අල්ලාගෙන කරුණු විමසා බැලීමේ දී දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරී මහත්වරුන්ට දැන ගැනීමට ලැබී ඇත්තේ ද ඒ දරුවාට ද කිසිම රෝගයක් නොමැති බවය. 


පොඩි එකාගේ අසනීපයක් සුවකර ගැනීමට බව පවසමින් පට්ටපල් බොරු කියා උපයා ගන්නා මුදලින් මේ මිනිහා කර ඇත්තේ අනියම් බිරිය නඩත්තු කිරීමය. 


ලස්සනට අඳින්න පළඳින්න සෙන්ට් පවුඩර් ගන්න රුව ලස්සන කරගන්න බියුටි සැලුන්වලට යන්න ඒ මුදල් ඇය වියදම් කර ඇත. 


කෝච්චියේ දී කොටුකරගත් මේ වගේ මරු හිඟන්නන් ගැන කතා කීපයක් මෙතැන් සිට කියවමු. 


කුරුණෑගල සිට කොළඹ කොටුව අතර ධාවනය වෙමින් තිබූ කෝච්චියක හිඟමනේ යෙදුණු 37 හැවිරිදි පුද්ගලයකු දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් පසුගිය දවසක අල්ලාගන්නේ මගීන්ට පීඩාවක් වන අන්දමින් හිඟමනේ යෙදීමේ චෝදනාව යටතේය. 


තම දියණිය බරපතළ රෝගී තත්ත්වයකින් පසුවන බවත් ඇයට හදිසි ශල්‍යකර්මයක් සිදුකිරීමේ අවශ්‍යතාවත් ඒ ශල්‍යකර්මය කිරීම කඩිනමින් සිදු නොකළහොත් මිය යන බවත් පවසා ඇත්තේ කඳුළු සලමිනි. 


මේ මනුස්සයාගේ කතාව අසා සිටින සෑම කෙනෙකුගේ හිත උණුවී ඇත. එම හැඟීම අවසන් වන්නේ සීයේ කොළ පවා ඔහුගේ අතට පත්වීමෙන් පසුවය. 
මොහු චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ද කතා කර මගීන්ට අත පාන්නේය. 


වැදගත් නෝනලා මහත්වරු මොනර කොළ පවා දෙන්නේ ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන නිසා විය හැක. 


මොහු කෝච්චියේ පමණක් නොව මගී බස්වල ද හිඟමනේ යෙදෙන්නේ දියණිය බරපතළ රෝගී තත්ත්වයකින් පෙළෙන බව පවසමිනි. 


දරුවා විකුණා හම්බකරන මුදලින් සතිපතා අනිවාර්යයෙන්ම අනියම් බිරියට රුපියල් 2,500ක මුදලක් ද විවාහක බිරියට රුපියල් 1,500ක පමණ මුදලක් ද පිරිනමන බව මේ හොර යාචකයා දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් සමග පවසා ඇත. 


අනියම් බිරිය වශයෙන් තබාගෙන සිටින කාන්තාව මොහුට හමුවී ඇත්තේ බස් රථයක දීය. 


කොළඹ තොටළඟ ප්‍රදේශයේ පදිංචි ඇය 25 හැවිරිදි වියේ පසුවන්නියකි. 


ඇය දරුවෙක් හදමු යැයි කියා මට නිතර කියනවා. ඒත් ඒ වැඩේට කැමැති නැහැ. දරුවෙක් ලැබුණොත් මීට වඩා ගාණක් ඇයට මට දෙන්න වෙනවා යැයි මේ යාචකයා දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරින් එක්ක පවසා ඇත්තේ ඇඟට පතට නොදැනීය. 


මොහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අයෙකි. හය හැවිරිදි දියණිය ඒ පැත්තේම පාසලක ඉගෙනුම ලබන්නීය. 


නිරෝගී දරුවෙකු රෝගියෙකු බව කියා බොරුකර හිඟමනේ යෙදීම ගැන ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් මේ නරුම පියාට දොස් පවරා තිබුණේ එය පීතෘත්වයට පවා නිගා දෙන්නක් බව පවසාය. 


දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් එහෙම පවසමින් මේ හොර යාචකයාට දොස් පවරද්දී ඔහු කරබාගෙන සිටියේ කියන්න දෙයක් නොතිබූ නිසා විය හැක. 
පැණි බීම නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගමක රැකියාව කරමින් සිටිය දී රැකියාව අහිමිවීමෙන් පසු ජීවත්වීමට මගක් නොමැති නිසා කෝච්චි හා බස් රථවල හිඟා කෑමට පෙළඹුණු බව ඔහු දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරින් එක්ක පවසා ඇත. 


සමහර විට මෙයත් මොහුගේ බේගලයක් විය හැකි බවට එම නිලධාරීන් සැක පහළ කරති. 


තවත් යාචකයෙක් දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් විසින් කොටුකර ගනු ලැබුවේ අවුරුදු 10ක පමණ වයසැති දියණියක් එක්ක කෝච්චියක හිඟාකමින් සිටියදීය. 
පාසල් යන දියණියගේ ඇස් දෙකේ පෙනීමේ අඩුවක් තිබෙන බව කියා එයට ප්‍රතිකාර ගන්න මුදල් කීයක් හරි දෙන්න කියා මේ පුද්ගලයා මගීන්ගෙන් ඉල්ලමින් සිටිය දී දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන්ට අසුවිය. 


දුවේ ඔයාගේ ඇස් පේන්නේ නැද්ද? කියා දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියෙක් ඇයගෙන් විමසුවේය. 


නැහැ අංකල් මගේ ඇස් දෙක පේනවා. අපේ තාත්තා තමා කිව්වේ කවුරුහරි ඇහැව්වොත් ඇස් දෙක පේන්නේ නැහැ කියා කියන්න කියලා. පොඩි දරුවා බයට පත්ව ඇත්ත කීවාය. 
දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන්ට අසුවන අවස්ථාවේ මොහු ළඟ රුපියල් 4,800ක පමණ මුදලක් තිබී ඇත. 


මහත්තයෝ මම හැමදාම මෙහෙම හිඟා කන්න එන්නේ නැහැ. ආණ්ඩුවේ නිවාඩු දවස්වලට විතරයි එන්නේ. පැය දෙකකට වඩා කෝච්චියේ හිඟා කන්නේ නැහැ. පැය දෙකකට හොඳ ගතමනාවක් හොයා ගන්නවා. ඔය සල්ලි ටික හොයා ගත්තෙත් පැය දෙකකදී තමා. දුව ඉස්කෝලේ යන නිසා අනික් දවස්වලට හිඟා කන්න කෝච්චියට එන්න විදිහක් නැහැ. මෙයාට බාල තව දරුවෙක් ඉන්නවා. කාලා බීලා දරු පැටවුත් එක්ක සතුටින් ඉන්නවා. 


ඔහු මෙසේ ද පවසා ඇත. 


ඕනෑවට වඩා තණ්හාවත් හොඳ නැහැනේ මහත්තයෝ. ඒ හින්දා තමා පැය දෙකක විතර කාලයක් මේ වැඩේ කරන්නේ. ඒ හොඳටම ඇති යැයි මේ යාචකයා පවසා ඇත්තේ දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 


මේ යාචකයා කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචි අයෙකි. 


දුම්රිය ආරක්ෂක හමුදාව විසින් සැමියා දියණියත් එක්ක අල්ලාගෙන ඇති බව දැනගත් බිරිය අනෙක් දරුවා ද කර පින්නාගෙන කොළඹ කොටුවේ දුම්රිය ආරක්ෂක හමුදා මූලස්ථානයට පැමිණ තිබුණි. 


මිනී මැරුම් නඩුවකට අසුවීම නිසා පවුලෙන් නෙරපා හැරිය බව කියා පෝසතෙක් පානදුර කොටුව දුම්රිය ස්ථාන අතර ධාවනය වෙමින් තිබූ දුම්රියක දී දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වූයේ එසේම පීඩාවක් ගෙන ආ අයුරින් හිඟමනේ නිරතවීමේ චෝදනාව යටතේය. 


දුම්රිය ආරක්ෂක හමුදාවේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරියෙක් පැවසූ ආකාරයට මොහු හිඟමනේ යෙදී ඇත්තේ වසර 30ක පමණ කාලයක සිටය. වයස අවුරුදු 60ක් පමණය. 
මෙම යාචකයාගේ එක් පාදයක ලොකු තුවාලයක් තිබෙන බවත් එම තුවාලය ඔහු විසින් සිතා මතා සිදුකරගෙන එය පෙන්වා හිඟමන් යදින බවත් එම නිලධාරින් කරන ලද පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ. 


පාදයේ තිබෙන මේ තුවාලය නරක්වී සැරව ගලමින් තිබුණත් එයට ප්‍රතිකාරයක් කිරීමට නොයන්නේ එය පෙන්වා හිඟමන් යදින නිසාය. 


මේ තුවාලය පෙන්වමින් දුම්රිය යාචක වෘත්තියේ යෙදෙන මොහුට අඩු මුදලක් දෙන මගීන්ට බැන තර්ජනය කරන බවට දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන්ට පැමිණිලි පවා ලැබී තිබිණි. 


මහත්තයෝ මම මෙහෙම හිඟාකන්නට ඕනෑ මිනිහෙක් නොවේ. පානදුර පැත්තේ ගම හා පවුලේ විස්තර කියයි. ලොකු ගෙයක් තියෙනවා. අපි ගමේ වැදගත් පවුලක්. යහමින් සල්ලි තිබෙනවා. දැනට අවුරුදු 25කට කලින් මාව මිනී මැරුමකට අහුවෙලා බන්ධනාගාරයේ සිටියා. ඒ නඩුවෙන් නිදහස් වුණා. මගේ මේ මිනී මැරුම් නඩුවට පෙනී සිටියේ මනෝරි මුත්තෙට්ටුවේගම නෝනා. 


නඩුවෙන් නිදහස් වෙලා ගෙදර ආවාට පස්සේ බිරිය දරුවෝ ඇතුළු පවුලේ කිසිම කෙනෙක් මාව ගණන් ගත්තේ නැහැ. පවුලට අවනම්බු කළා කියා සේරම දෙනා මට වෙනස්කම් කරන්න පටන් ගත්තා. බැරිම තැන මම ගෙදරින් එළියට බැස්සා. අරක්කු බොන්නත් පුරුදු වුණා. එදා ඉඳලා මම ගෙවල් පැත්ත පළාතක ගියේ නැහැ. ඒ ගොල්ලො මා ගැන සොයා බැලුවේත් නැහැ. පේමන්ට් එකේ නිදා ගන්නවා. කෝච්චියේ හිඟා කන්න පටන් ගත්තා. දවසකට කිසිම කරදරයක් නැතිව රුපියල් 4,000ක් විතර සොයා ගන්න පුළුවනි. 
හිඟා කාලා ලැබෙන සල්ලිවලට හොඳට කනවා. බොනවා. පේමන්ට් එකේ මැරිලා යනකම් කාලා බීලා ජොලියේ ඉන්නවා. පොහොසතෙක් වෙලා හිටිය මට මෙහෙම වුණේ ඇයි කියමින් හිතන්න යන්නේ නැහැ. ඒ ගැන දුක් වෙන්නේ නැහැ. 


දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් එක්ක ඔහු සිය ජීවිත කතාව කෙටියෙන් කියා ඇත්තේ ද බොහොම සැහැල්ලුවෙනි. 


අනුන්ගේ දුක් ගැනවිලි ගැන කියන විට ඒ කතා අසන ශ්‍රී ලාංකිකයන් ගේ හදවත් උණුවේ. ඒ තරමට බොහෝ දෙනකුගේ හදවත් සංවේදීය. 


එය තම වාසියට හරවා ගන්නා යාචකයන්ද එක එක බේගල් ඇදබා තම මඩිය තර කරගනිති. 


බොහොම පිරිසිදුවට ඇඳ පැළඳගත් මැදිවිය ඉක්මවූ පුද්ගලයෙක් යාචක වෘත්තියේ නිරතව සිටිය දී දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් කොටුකරගත්තේ ගම්පහ සහ කොළඹ කොටුව අතර ධාවනය වූ දුම්රියක හිඟාකමින් සිටියදීය. 


දෑස් නොපෙනෙන මොහු 65 හැවිරිදි වියේ පසුවන අයෙකි. 


අල්ලාගන්නා අවස්ථාව වන විට රුපියල් 4,000ක මුදලක් ඔහු සන්තකයේ තිබිණි. 


අවුරුදු 25ක කාලයක් තිස්සේ සිඟා කෑමෙන් උපයාගත් මුදල් මොහු ගෙවල් තුනක් තනා බැංකුවක රුපියල් ලක්ෂ පහක් ද තැන්පත් කර ඇත. 


තමාගේ ගෙවත්තේ ඉදි කළ නිවාස දෙකක් දියණියන් දෙදෙනාට දෑවැද්දට දුන් බවත් කුලියට දීම සඳහා අනික් නිවස මේ දිනවල ඉදිකරගෙන යන බවත් ඔහු කියයි. 
මොහු හිඟා කෑමෙන් මාසයකට රුපියල් 1,50,000 ක පමණ මුදලක් උපයා ගන්නා බව හෙළි විය. 


දියණියන් දෙදෙනාම විවාහ වී දරුවන් ද සිටින අතර ඔවුන් දෙදෙනාම නවීන පන්නයේ කාර් රථ දෙකක ද හිමිකාරියනියන් වෙති. 


නිලධාරීන්ට පවසා ඇති ආකාරයට මොහු පදිංචිව සිටින්නේ ද හිඟාකෑමෙන් උපයාගත් මුදල් යොදා සාදාගත් නිවසකය. 

 


තම පියා දුම්රිය ආරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව දැනගත් දියණියන් දෙදෙනාම කොටුවේ දුම්රිය ආරක්ෂක හමුදා මූලස්ථානයට පැමිණ ඇත්තේ එම දියණියන් දෙදෙනාට අයත් කාර් රථවලිනි. 


කුණුවී ඕජස් ගලා කකුලේ ඇති තුවාලයක් පෙන්වමින් කෝච්චියේ සිඟා කමින් සිටි අයෙක් අල්ලා ගැනීමට ගිය දුම්රිය ආරක්ෂක හමුදාවේ සහකාර අධිකාරී ඕ.කේ. ලලිත් කුමාර මහතා ඇඳ සිටි ඇඳුම්වල තුවාලයෙන් ගලා යන සැරව අතින් ගෙන ගා ඇඳුම්වල තවරා පලායාමට උත්සාහ කර ඇත. 


මගීන්ගේ ද සහාය ඇතිව අල්ලා මෙල්ල කරගත් මේ හිඟන්නා ළඟ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් එකක් ද තිබී සොයා ගැණිනි. 


හෙරොයින් පානය කිරීමට මුදල් සොයා ගැනීමට කෝච්චියේ හිඟමනේ යෙදෙන බව දුම්රිය ආරක්ෂක නිලධාරීන් කළ ප්‍රශ්න කිරීමේ දී කරුණු අනාවරණය වී ඇත. 


දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරි අනුර ප්‍රේමරත්න, සහකාර අධිකාරි ඕ.කේ. ලලිත් කුමාර සහ සහකාර අධිකාරී එම්.පී. ජයන්ත යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ දුම්රිය මගීන්ට මහත් හිරිහැරයක් වී සිටින හිඟන්නන් ඇල්ලීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරගෙන යනු ලැබේ. 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය