කොරෝනාවෙන් පාළු වූ රෑ කොළඹ


 

  • බස් නැවතුම්පොළ මෙන්ම කොටුව දුම්රියපොළ ළඟත් රෑට ජන ශුන්‍යයි 
  • රෑ කඩ වැහිලා  

ලංකාවේ නොනිදන නගරය බවට කොළඹ නගරය පත් කිරීම මෑතකදී බලයට පත් බොහෝ ආණ්ඩුවල එක් ඉලක්කයක් විය. ඒ ඉලක්කය තුළ ගොඩනැගීමට උත්සාහ කළ දේවල් කෙසේ වුවද බොහෝ කලක සිට කොළඹ නගරයට නින්දක් තිබුණේ නැත. ඒ ආර්ථික මර්මස්ථාන මෙන්ම සේවා මර්මස්ථාන රැසක්ද කොළඹ නගරයේ පිහිටා තිබීම හේතුවෙන් දවල් රෑ නැතුව ජනතාව කොළඹට ඇදෙන නිසාය. වරාය තිබෙන්නේ කොළඹ නගරයේය. රටටම යා හැකි පොදු මගී ප්‍රවාහන සේවාව සපයන ප්‍රධාන බස්නැවතුම්පොළ ඇත්තේ කොළඹ නගරයේය. දුම්රිය මූලස්ථානය ඇත්තේද කොළඹ නගරයේය. මේවායෙන් සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවට රැයක් දවාලක් නැත. බසයක් එනතුරු හෝ දුම්රියන් එනතුරු හෝ එළිවෙනතුරු එම නැවතුම්පොළවල බලාසිටින විශාල පිරිසක් නිතර දැකිය හැකිය. ඔවුන්ගේ කාන්සිය නිවාදමන්ට සිංදුවක් කියන, විවිධ කතන්දර කියන, නළාවක් හෝ වෙනත් සංගීත භාණ්ඩයක් වාදනය කරන තවත් පිරිසක්ද ඒ ස්ථානවල දැකිය හැකිය.   


 සහල්, අල, ලූණු, කරවල, එළවලු, රෙදිපිළි, විදුලි උපකරණ, කඩදාසි, බෑග්, සෙරෙප්පු, සපත්තු, පේන්ට් වර්ග මේ ආදී සෑම ක්ෂේත්‍රයකම පාහේ භාණ්ඩ අඩුමිලට ලබාගත හැකි තොග වෙළෙඳ මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේද කොළඹ නගරයේය. බොහෝ රෑ බෝ වන තුරු ඒවායේ ඇවිද තමන්ට අවශ්‍ය දෑ සොයන ජනතාවගෙන් හා රථවාහනවලින් මල්වත්ත පාරෙන් ආරම්භව එක පැත්තකින් හෙට්ටිවීදිය දක්වාත් තවත් පැත්තකින් රතු පල්ලිය දක්වාත් අනෙක් පැත්තෙන් වරාය දක්වාත් දිවෙන අතුරු මාර්ග සියල්ල වැසී යන්නේ නැති වූ කෙනෙක් සෙවීම වැලිගොඩකට වැටුණ අබ ඇටයක් සොයනවා තරම් අපහසු කාර්යයක් කරමිනි.   
එහෙත් කොළඹට නින්දක් නැති වුණේ ඒ නිසාම විතරක් නොවේ. ඇතිවෙන්න හම්බකරපු සල්ලි වියදම් කරන්න මං සොයන්නන්ට ගැලපෙන රාත්‍රී සමාජ ශාලා කොළඹ ඇතිවෙන්නට තිබෙන නිසාය. අතේ ඇති මුදලට ගැලපෙන පරිදි තමන්ගේ රුචිකත්වය අනුව රෑ මනාලියන් සොයා කොළඹට ඇදෙන්නන් නිසාය. එසේම තමන්ගේ ජීවිතේ ගැට ගසා ගන්නට තම පවුල නඩත්තු කරන්නට ඇස් ඉස් මස් ලේ මිල කරන්ට සූදානම් රෑ මනාලියන් නිසාය. කොළඹට ඇදෙන කාගෙත් අවධානය දිනාගනිමින් නොයෙක් දේවල් අලෙවි කරන්නට සූදානමෙන් සිටින පදික වෙළෙඳුන් නිසාය. කාටත් මහන්සියට තේ ටිකක් බොන්න, නැතහොත් විනෝදයට අයිස්ක්‍රීම් කන්න, ෆලූඩා බොන්න, ෆ්‍රයිඩ්රයිස් එකක් කන්න පුලුවන් විදිහට විවෘත වුණ තේ කඩ හා හෝටල් නිසාය. කාටත් යන්න එන්න ගමනට අතහිත දෙන කුලී රථ නිසාය. මේ හැමෝම නගන හඬ එකට එකතු වූ විට කොළඹට දවල් ද රෑ ද වෙනසක් නැත. ඇත්තේ එකම හඬකි.   

 


එසේම එක පැත්තකින් සැණකෙළි බිමක් සේ නානාවර්ණ විදුලි බුබුලුවලින් ආලෝකමත් වෙද්දී නැටුම් ගැයුම් වැයුම්වලින් සවන් පිනවෙද්දී කොළඹ කාගෙත් ඇස් යොමු නොවූ එහෙත් කවුරුත් දන්නා අඳුරු පැතිකඩක්ද තිබේ. ඒ වතු ජනතාවගේ ජීවිත පිළිබඳවය. ඔවුන්ගෙන් ඇතැමෙක් ජීවත් ​වෙන්නේ මේ වෙළෙඳ නගරයේ මුට්ට කරගැසීමෙනි. තවත් කෙනෙක් කුමක් හෝ වෙළෙඳාමක් කරති. තවත් කෙනෙක් නීතියට පටහැනි ජාවාරම්වල යෙදෙති. තවත් කෙනෙක් කඩයක අත්උදව් දෙති. තවත් කෙනෙක් කුමක් හෝ කුලී සේවාවක යෙදෙති. ඔවුන්ට ජීවත්වීමට තිබෙන්නේ පුංචි ඉඩකඩක් සහිත නිවාසය. එයින් බොහොමයක් නිවාස යැයි පැවසිය නොහැකි පැල්පත්ය. එවන් පුංචි ඉඩක ඇතැම් විට ආච්චි අම්මා සීයාගේ සිට මිණිබිරියගේ පවුලද ආදී වශයෙන් පවුල් කීපයක් ජීවත්වෙති. ඒ නිසා ඔවුන්ට නිදාගන්නටවත් නිසි ඉඩකඩක් එම නිවාසවල නැත. ඒ නිසා ඔවුන්ගෙන් කොටසක් වේලාසන නිදාගන්නා අතර අනෙක් පිරිස නිවස ඉදිරිපිට පාරට එකතු වී අසල්වැසියන්ද සමග මධ්‍යම රාත්‍රී වන තුරු ක්‍රිකට් ක්‍රිඩාවේ යෙදීම හෝ වෙනත් යම් ක්‍රීඩාවක යෙදෙති. ඒ නිසා වතු නිවාස ආශ්‍රිතවද දිවා රාත්‍රී වෙනසක් එදා දකින්නට තිබුණේ නැත.   


එහෙත් වෛරසයක් කළ පෙරළියක තරම දැක බලාගන්නට තිබෙන හොඳම උදාහරණය වන්නේද කොළඹ නගරය බවට අද වනවිට පත්ව තිබේ. වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තාවන දිස්ත්‍රික්කය බවට කොළඹ පත්ව තිබේ. එසේ වාර්තාවන ආසාදිතයන්ගෙන්ද වැඩිම ආසාදිතයන් හමුව තිබෙන්නේ කොළඹ නගරයෙනි. කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශ තවමත් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ ඇතැම් ප්‍රදේශ හුදෙකලා කර තිබීම නිසා ඒ ප්‍රදේශවල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාවැටී තිබේ.   
කොළඹ නගරයේ රාත්‍රී කාලයේ අද දවසේ සැරිසරන්නෙකුට මීට මාස දහයකට පමණ පෙර කොළඹ දකින්නට තිබූ දර්ශනය දැකිය හැකි නොවේ. කොවිඩ් 19 වසංගත තත්ත්වයට දක්වන බිය නිසාම අත්‍යාවශ්‍ය ගමනක් හැර වෙනත් ගමන් බිමන් සීමා කිරීමට ජනතාව පෙළඹී සිටිති. එම ගමන් බිමන්ද දිවා කාලයේදී සපුරා ගැනීමට ඔවුහු උත්සාහ කරති. ඒ නිසා කොළඹ බස්නැවතුම්පොළ මෙන්ම කොටුව දුම්රිය ස්ථානයද රාත්‍රී කාලයේදී ජන ශුන්‍ය ප්‍රදේශ බවට පත්ව තිබේ. කොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ මගී ජනයාගෙන් පමණක් නොව බස්රථවලින් හිස්ව තිබෙන්නේ සෙල්ලම් පිටි සේය.   


මෙසේ බස්නැවතුම්පොළ හිස්ව යද්දී ඒ අවට රෑ කඩ පවත්වාගෙන ගිය වෙළෙඳුන්ගේ ජීවිතද හිස්වෙන්නට පටන් ගෙන තිබේ. කඩයකට තේ බොන්නට රාත්‍රී කෑමක් ගන්නට එන්නට කෙනෙක් නැත. ආවත් ඒ අවාරෙට අඹ වැටෙන්නා සේ කලාතුරකින් කෙනෙකි. ඒ නිසා ඉලක්කයක් ඇතිව ආහාර පිසීමට ඔවුන්ට නොහැකිය. ඒ නිසා ඇතැම් විට ආහාර මදිවේ. ඇතැම් විට පිසූ ආහාර විසිකිරීමට සිදුවේ. තේ කඩයක් මුදලාලිට පමණක් තනිව විවෘත කරගෙන සිටීමට නොහැකිය. අවම වශයෙන් තවත් එක් අත්උදව්කරුවෙක් හෝ අවශ්‍ය වේ. කෑම අලෙවි කරන ආපනශාලාවක් නම් කොත්තු හැදීමට, ආප්ප හැදීමට, ෆ්‍රයිඩ්රයිස් පිසීමට වෙනම පිරිසක් අවශ්‍ය වේ. මෙසේ සේවකයන් යෙදෙව්වහොත් ඔවුන්ට වැටුප් ගෙවීමට සිදුවේ. එහෙත් වෙනදා හොඳ ආදායම් ලැබූ ආපනශාලාවලට තේ කඩවලට අද ඒ ආදායම නැත. ඔවුන්ගේම වචනවලින් පවසන්නේ නම් දැන් ආදායම ඩල්ය. ඔවුන් දැන් ව්‍යාපාරය කරගෙන යනු ලබන්නේ පුරුද්දටය. නිකම්ම ගෙදර සිටීමට වඩා රුපියල් තුන්සීයක් හරි ආදායමක් ඉපයිය හැකි නම් එයද නැතිව ඉන්නවාට වඩා හොඳ නිසාය.   


කොළඹ කොටුවේ අවන්හලක් පවත්වාගෙන යන ව්‍යාපාරික මහතෙකු අප සමග පැවසුයේ තමන් කඩය කරගෙන යන්නේ පුරුද්දට බවය.   


“නගරෙට රෑට කෙනෙක් එන්නේ කලාතුරකින්. ඒ ආවත් තේ එකක් කෑම ටිකක් ගන්න කෙනෙක් එන්නේ ඉතාමත් කලාතුරකින්. කොරෝනා නිසා සමහරු කඩේකින් තේ ටිකක් බොන්න කෑම ටිකක් කන්න බයයි. ඒ නිසා දැන් ගොඩක් කඩවැහිලා. අපිත් මේ ඉන්නේ ගෙදරටම වෙලා ඉන්න බැරි නිසා. සමහර වෙලාවට ගෝලයන්ට දවසේ ගාණ ගෙවලා ඉවර වුණාම අපිට අතේ සතපහක් නැති වෙන තරම්. ඒත් අපි ගැන බලන්න කවුරුත් නැහැ. ඡන්ද ගන්නකොට නම් අපි වෙනුවෙන් කතා කරන්න ගොඩක් අය හිටියා. ඒත් දැන් ඒ කවුරුවත් නැහැ.”   

 


ගෝල්ෆේස් පිටිය මීට මාස දහයකට පමණ පෙර සෑම දවසකම රාත්‍රියට දහස් ගණන් ජනතාවගෙන් පිරී යන්නේ කොළඹ ජනතාවට නිදහසේ ඉන්නට තිබෙන හොඳම ඉඩකඩ එහි තිබෙන බවට විශ්වාස කරන නිසාය. රෑ එළිවෙන තුරු එහි නිදාගන්නා පිරිසක්ද වෙති. ඇතැමෙක් විහාරමහාදේවි උද්‍යානයට විත් රාත්‍රිය ගතකරති. සෙනසුරාදා ඉරිදාට මේ ස්ථාන දෙකම ජනී ජනයාගෙන් පිරී යන්නේ දිවා රෑ වෙනසක් නැතිවය. මෙසේ ගෝල්ෆේස් පිටියට එන ජනතාව ඉලක්ක කරගෙන වඩේ කරත්තයක් පවත්වාගෙන යන, අයිස් ක්‍රීම් ලොරියක් පවත්වාගෙන යන, සෙල්ලම් බඩු කරත්ත පවත්වාගෙන යන, කඩල කරත්තයක් පවත්වාගෙන යන පුංචි ව්‍යාපාරිකයාගේ ජීවිතද අද හාන්සිය. අද මේ සෑම තැනක්ම ජනතාවගෙන් හිස්ව තිබෙන්නේ කොළඹ පාළුව කියාපාන්නා සේය.   


අප සමග අදහස් දැක්වූ වඩේ කරත්තයක් පවත්වාගෙන යන සිරිසේන මහතා මෙසේ පැවසීය.   
“අපි හතර දෙනෙක්ගේ පවුලක් නඩත්තු වෙන්නේ මේ වඩේ කරත්තයෙන් තමයි. එදා අපි මේ කරත්තෙන් හොඳ ආදායමක් ලැබුවා. ඒකෙන් මාළිගා හදන්න බැරි වුණාට අපි කාටවත් බරක් නොවී ජීවත් වුණා. ඒත් දැන් අපිට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ මැරෙන්න බැරිකමට. ළමයින්ගේ ඇඬිලි දෙඩිලි ඇහෙනකොට ගෙදරට වෙලා ඉන්න බැරිකමට. අපි මේ කරත්තේ අරන් ගොල්පේස් එකට ආවට එදා ලැබුණ ආදායමෙන් සියයට දහයක්වත් ලැබෙන්නේ නැති තරම්. තනියෙන් කරන රස්සාව හන්දා ලැබෙන මුදල අපිටම නිසා යාන්තම් වේලක් ඇර වේලක් කාලා හරි ජීවත් වෙනවා. ඒත් සමහර දවස්වලට වතුරවත් නැතිවෙන තරමට ගේන බඩුටික ඉතිරි වෙනවා. මේ කොරෝනාව කවදා ඉවර වෙයිද මන්දා.” 

 
අනුන් වෙනුවෙන් තමන්ගේ ගත විකුණා පවුල නඩත්තු කළ රෑ මනාලියන්ටද අද ගනුදෙනුකරුවන් සොයාගැනීම පහසු නැත. කොවිඩ් නිසාත් යම් හෙයකින් කොවිඩ් වැළඳුනහොත් එය ආවේ කොතනින්දැයි හෙළි කිරීමේදී හෙළිවන තමන්ගේ ජීවිතයේ නොපෙනෙන පැත්ත නිසා අමාරුවෙන් හරි ඇතැමෙක් මෙවන් කාන්තාවන්ගේ පහස සෙවීම අතැර දමා තිබේ. එහෙත් තවමත් එවැන්නන් සොයා එන ගනුදෙනුකරුවෝද නැතුවාම නොවේ.   


“අපි විඳින දුක දන්නේ අපි විතරයි. මේක කැමැත්තට කරනවා නෙවෙයි. ඒත් දැන් අපිට පුරුදු රස්සාව මේක තමයි. මේ කාලේ වෙන රස්සාවක් හොයාගන්නත් නැහැ. ඒ නිසා කොහොමත් මේකම හැර වෙන දෙයක් කරන්න හැටියක් නැහැ. දැන් අපිව හොයාගෙන එන්නේ එහෙම නැතිව ඉන්නම බැරි කෙනෙක් විතරයි. මිනිස්සු බයයි කොවිඩ්වලට. අපිත් පුරුද්දට ඇවිත් නගරෙට වෙලා ඉඳලා උදේට ගෙදර යනවා.’’   
සෙල්ලම් බඩු කඩද පුරුද්දට මෙන් ඇරගෙන සිටිති. එහෙත් ඒවාට එන කෙනෙක් දකින්නට නැති තරම්ය.   
මේ ආකාරයට හැමෝගෙම ජීවිත කඩාවැටී තිබේ. කොළඹ පාළුවට ගොසිනි. විදුලි එළි හැර කොළඹ දැන් මොනවාද තිබෙන්නේ යැයි කෙනෙකුට සිතෙනු ඇත. රාත්‍රී නවය දහය වනවිට කොළඹ ඇඳිරි නීතිය පවතින දිනයක් හා සමානය. වාහනයක් දකින්න ලැබෙන්නේද ඉතාමත් කලාතුරකිනි.   


වතු ජනාවාසවලද පවතින්නේද අඳුරකි. වෙනදා සෙල්ලම් කරද්දි ඇසුණ හඬ වෙනුවට දැන් ඇසෙන්නේ පවුල් ආරවුල් නිසා ඇසෙන හඬවල්ය. එදාත් ඒවා නොතිබුණා නොවේ. එහෙත් දැන් ඒ හඬ වැඩිය. අගහිඟකම් වැඩිවෙද්දී අඬ දබරද වැඩිවී තිබේ.   


තවමත් විවෘතව පවතින සෙනග ගැවසෙන ස්ථාන කීපයක්ද තිබේ. ඒ රාත්‍රී සමාජ ශාලා හා සූදුපිටිය. ඒවාට එන්නේ යහමින් මුදල් හදල් ඇති අය නිසා නීතිරීති මධ්‍යයේ වුවද ඒවාට යන එන පිරිසක් තවමත් දැකිය හැකිය. එහෙත් ඒවාටද වෙනදා මෙන් ජනයා පැමිණෙන්නේ නැත. ඒ නිසා ඔවුන්ගේ ආදායමද කඩාවැටී ඇතිවාට සැකයක් නැත. එහෙත් කොවිඩ් වසංගත තත්ත්වය නිසා වඩාත්ම පීඩාවට පත්ව තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ය. කුලියක් කරගෙන ජීවත් වූ ජනතාවය. තමන්ගේ ජීවිත කවදා කෙසේ නගාසිටුවිය හැකි වනු ඇත්ද යන්න කාගෙත් මුවඟ නිරායාසයෙන් මතුවන පැනය වේ.   

 

 

සටහන - මුදිතා දයානන්ද   
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි