කාන්තාවන්ට හිරිහැර කරන පොලිස් ලොක්කෙක්


කප්පම් හා පොලිසිය අතර පවතින්නේ නොබිඳිය හැකි සම්බන්ධයකි. කප්පම් ගන්නා පිරිස් අත්අඩංගුවට ගන්නේ පොලිසියයි. කප්පම්කාරයන් අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට සිටින පොලිසියම කප්පම් ගන්නේ නම් ඊට කීමට සුදුසුම “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව” යන උපමාවයි. අසූ හාර දහසකට ආසන්න පොලිස් සාමාජිකයන් අතුරින් කිහිප දෙනකු සිදු කරන මෙවැනි ක්‍රියාවලට සමස්ත පොලිසියම වගකිවයුතු නැතත් පොලිසිය සුද්ධ වීමට නම් එවැනි අදමයන් ගැන ද හෙළි කළ යුතුමය. මේ හෙළිදරව්ව එවැනි නිලධාරියකු ගැනයි. ඔහු සහකාර පොලිස් අධිකාරිවරයෙකි.



ඇයට අපි මනෝරි යැයි කියමු. ඒ ඇගේ සත්‍ය නම නොවේ. ඇය සේවය කරන්නේ උතුරු පළාතේ පොලිසියකය. වැඩිම යුද වින්දිතයන් පිරිසක් සිටිනා බව කියන්නේ ද එම දිස්ත්‍රික්කයේ ය. ඒ අතර කාන්තාවෝ ද විශාල පිරිසක් සිටිති. 


මනෝරි කාන්තා පොලිස් කොස්තාපල්වරියකි. තම වගකීම් නිසිලෙස ඉටු කරමින් ඇය උනන්දුවෙන් රාජකාරි ඉටු කළාය. ඇය ප්‍රදේශයේ දක්ෂතම පොලිස් කොස්තාපල්වරිය ලෙස ඇගයුම් ලබන්නේ ද ඒ නිසාය. ඇය කෙතරම් හොඳින් රාජකාරි කළත් ඇයට නිතර බණින තර්ජන ගර්ජන කරන පොලිස් නිලධාරියෙක් විය. ඒ පෙර කී සහකාර පොලිස් අධිකාරිවරයාය. රාජ පාක්ෂික බව නැතත් අපි ඔහුට ‘රාජා‘ යැයි කියමු. ඔහුගේ සත්‍ය නම ‘රාජා’ නොවේ. මේ රාජා එසේ නැතිනම් සහකාර පොලිස් අධිකාරීවරයා ඇය කෙරෙහි උකුසු ඇස යොමු කරගෙනම සිටියේය. ඒ ඔහුගේ ක්‍රමයයි. තම උවමනා එපාකම් ඉටුකර ගැනීමට කාන්තා පොලිස් නිලධාරිනියක් අවශ්‍ය වූ විට ඔහු මුලින්ම කරන්නේ ඇයට බැණීමයි. එලෙස බණිමින් රාජකාරිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ඉඟි කරමින් අවශ්‍ය පොලිස් කාන්තාව තමන් කෙරෙහි නම්මවා ගැනීම ඔහුගේ ක්‍රමයයි.


මනෝරිට ද මේ සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ගැලවීමක් නොවීය. සහකාර පොලිස් අධිකාරීවරයා නිසා ගැබ්බර වූ පොලිස් කොස්තාපල්වරියට අන් සරණක් නොවීය. අවසානයේ පොලිස් සේවයෙන් සදහටම සමු ගැනීමට ඇය තීරණය කළාය. ඇයට සේවය අතහැර යෑමේ නියෝග නිකුත් කළේ ද මේ සහකාර පොලිස් අධිකාරීවරයාමය. සේවය අතහැර ගියාසේ නියෝග නිකුත් කිරීමට නම් ඔහුගේ හෝ ඇයගේ කටඋත්තරයක් ද ගැනීම සාමාන්‍ය සිරිත වුවත් මේ සහකාර පොලිස් අධිකාරීවරයා ඇගේ කටඋත්තරයක් නොගෙනම ඇයට සේවය අතහැර යෑමේ නියෝග නිකුත් කළේය. 


ඒ එක් කතාවක් පමණි. මේ ඔහු ගැන දෙවැනි කතාවයි.


ප්‍රදේශයේ එක්තරා පොලිසියක ස්ථානාධිපති වරයා උප පොලිස් පරීක්ෂක වරයෙක් විය. ඔහු තරුණයෙකි. දිනක් පොලිසියේ පරීක්ෂාවකට සහකාර පොලිස් අධිකාරිවරයා එන බවට පණිඩයක් ලැබිණි. පණිවිඩය ලැබුණේ නිකම්ම නොවේ. තමා එනවිට විදුලි උපකරණයක් අවශ්‍යවී ඇති බැවින් තමා එන විට එය ගෙනැවිත් තබන ලෙසයි. කර ගන්නට දෙයක් නැති තැන උප පොලිස් පරීක්ෂක තම පෞද්ගලික මුදලින් එම විදුලි උපකරණය ගෙන ආවේය. සහකාර පොලිස් අධිකාරීවරයා පොලිසිය පරීක්ෂාකර යන ගමන් විදුලි උපකරණයද රැගෙන ගියේය. 


දෙවැනි දිනය ද එසේම විය. එතැනින් කරදරය නවතිතියි ඔහු සිතුවද නැවතීමක් නම් නොවීය. දිගින් දිගටම විවිධ දෑ ඉල්ලන්නට පටන් ගත්තේය. අවශ්‍ය උපකරණ නොලැබෙන තැන ස්ථානාධිපති ධුරයෙන් ඉවත් කරන බව කියමින් උප පොලිස් පරීක්ෂකට බලපෑම් කළේය. මෙම බලපෑම් ඉවසාගෙන සිටිය නොහැකි තැන උප පොලිස් පරීක්ෂකවරයා ඉහළ නිලධාරියකු හමුවේ පැමිණිල්ලක් ද දැමීය. මෙම සහකාර පොලිස් අධිකාරීවරයාට එරෙහි පැමිණිලිවලින් පළක් නැත්තේ මෙම ඉහළ නිලධාරීන්ද ඔහුගේ ඕනෑම වැඩකට හිස නමන නිසාය. 


මෙම සහකාර පොලිස් අධිකාරීවරයාගේ තර්ජන ඉවසා ගත නොහැකිව මේ වනවිට පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනකු පමණ ස්ථාන මාරු ලැබ ගොස් තිබේ. 


මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයකු ද මෙම සහකාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පැමිණිලි කර තිබේ.


සහකාර පොලිස් අධිකාරීට එරෙහි ඊළඟට ඇත්තේ ගංජා සිද්ධියකි. 


සහකාර පොලිස් අධිකාරිගේ උදහසට මෙවර ලක්වන්නේ පොලිස් පරීක්ෂකවරයෙකි. මේ සිද්ධිය වූ පොලිසියේ ස්ථානාධිපතිවරයා එදා රාජකාරියට පැමිණ තිබුණේ නැත. කේරළ ගංජා ජාවාරමක් ගැන පරීක්ෂණ පැවැත්වූ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයා ගංජා ප්‍රවාහනය කළ වෑන් රියක් ද අත්අඩංගුවට ගත්තේය. වෑන් රිය සහ ගංජා නඩු බඩු ලෙස ලේඛණ ගත කරන්නට සැරසෙද්දී ඔහුට දුරකතන ඇමතුමක් ආවේය. ඒ එදා නිවාඩු ගොස් සිටි පොලිස් ස්ථානාධිපති වරයාගෙනි. අපේ කතානායකයා වූ සහකාර පොලිස් අධිකාරීවරයාගේ නියෝගයක් බව කියමින් වෑන් රිය මුදා හරින්නැයි ඔහු නියෝග කළේය. නිවාඩු ගොස් සිටි පොලිස් ස්ථානාධිපතිගේ සහ සහකාර පොලිස් අධිකාරීගේ නීති විරොධී නියෝග ඉවත දැමූ පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් කිලෝ පනහකට අධික කේරළ ගංජා සහ වෑන් රිය ලේඛණ ගත කළේය. නීති විරෝධී නියෝග ගැන සටහනක් ද තැබීය.


සහකාර පොලිස් අධිකාරීවරයා ඒ ගැන දැඩිලෙස උරණ විය. තම නියෝග පිළි නොපැදීම ගැන පොලිස් පරීක්ෂකට පාඩමක් ඉගැන්වීමට පිඹුරුපත් සැකසීය. සහකාර පොලිස් අධිකාරිගේ වෑයම වූයේ වෙනත් පොලිස් නිලධාරියකු ලවා මෙම පොලිස් පරීක්ෂකවරයාගේ කාමරයට ගංජා දැමීමය. පොලිස් පරීක්ෂක කිසිම විටක නිකරුණේ සිය කාමරය ඇරදා නොගිය නිසා එම වෑයම අසාර්ථක විය. ඉන්පසු පොලිසියේ අස්සක ගංජා කිලෝ දෙකක් ගසා එහි වගකීම පොලිස් පරීක්ෂක පිට පැටවීය. පොලිස් පරීක්ෂක අත්අඩංගුවට ගත් ගංජා තොගයෙන් කිලෝ දෙකක් ලේඛණ ගත නොකර තබාගෙන සිටියේයැයි චෝදනා කර ඔහු කන්කසන්තුරේට ස්ථාන මාරු කරනු ලැබීය.


පොලිස් පරීක්ෂකවරයා ගැන උසස් පොලිස් නිලධාරීන්ට ද සහකාර පොලිස් අධිකාරීවරයා අමූලික බොරු කියා තිබිණි. හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන්ම පේන අහනවාක් මෙන් පොලිස් පරීක්ෂක ගැන පරීක්ෂණ පැවැත්වීම භාර කැරුනේ ද මේ සහකාර පොලිස් අධිකාරීවරයාටමය. දැන ගන්නට ඇති පරිදි තවමත් එම පරීක්ෂණ අවසන් කර නැත. එම පරීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී ලබා දෙන වාර්තාව ගැන කල් තියා දැන ගැනීමට විශේෂ නුවණක් අවශ්‍ය නැතැයි පොලිස් පොඞ්ඩෝ කියති.
‘රාජා’ එසේ නැතිනම් එම සහකාර පොලිස් අධිකාරීවරයාගේ ගසා කෑම් ගැන තවත් කතා බොහෝමයකි.


මීළඟ කතාව අල්ලස් ඉල්ලීමේ සිදුවීමක් ගැනය. ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක පසුගිය වකවානුවේ මහා පරිමාණ හොරකමක් සිදු විය. ව්‍යාපාරිකයා සතු ලක්ෂ 25ක් පමණ අතුරුදන්වී තිබිණි. එහි වැඩ කළ සේවකයන් දෙදෙනකු මුදල් හොරකම් කරන්නට ඇතැයි සැක කළේය. ඒ අනුව ව්‍යාපාරිකයා පොලිසියට ගොස් පැමිණිල්ලක් කළේය. ඒ අනුව විමර්ශන ඇරුඹිණි. සොරකම ගැන වැදගත් තොරතුරු රැසක් ද හෙළිදරව් වී තිබිණි.


මේ අතර ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුමක් ආවේය. ඉන් කියැවුණේ පොලිසියට පැමිණ සහකාර පොලිස් අධිකාරිවරයා හමුවන ලෙසයි. ඒ අනුව ව්‍යාපාරිකයා සහකාර පොලිස් අධිකාරිවරයා හමුවීමට ගියේ තම මුදල් පොලිසිය සොයාගෙන ඇත්දෝයි සිතමිනි. නමුත් සිදුවූයේ අනෙකකි. නැතිවූ මුදල් සොයා දෙන්නට රුපියල් ලක්ෂ පහක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ව්‍යාපාරිකයා අල්ලස් මුදල ලබා නොදී ඉතැනින් නැගිට ආවේය.


‘රාජා’ එසේත් නැතිනම් සහකාර පොලිස් අධිකාරිවරයා සිදු කරන තවත් නීති විරෝධී වැඩක් වනුයේ පොලී මුදලාලි කෙනකුගේ පොලී මුදල් එකතු කර දීමයි. එම ප්‍රදේශයේ කුප්‍රකට පොලී මුදලාලි කෙනෙක් සිටියි. ඔහුට පොලී මුදල් නොගෙවන පිරිස් වෙත සහකාර පොලිස් අධිකාරිවරයා තර්ජනය කර පොලී මුදලාලිට මුදල් අයකර දී ඉන් යම් මුදලක් ඔහු ද ලබා ගනියි.


මෙම සහකාර පොලිස් අධිකාරිවරයා කොළඹට ආසන්න ප්‍රදේශයක මූලස්ථාන පොලිස් පරීක්ෂක මෙන්ම සහකාර පොලිස් අධිකාරිවරයාව ද සිටි අතර එම තනතුරු දරද්දීද සම්බාහන ආයතනවලින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල විය. වරෙක සේවයෙන් දොට්ට දමා තිබූ මේ සහකාර පොලිස් අධිකාරිවරයාට යළි සේවය හිමි වූයේ හරි ක්‍රමයට නොවේ. පොලිස් මූලස්ථානයට උපකරණ තොගයක් ගැනීමේදී රුපියල් 50කටත් අඩු වටිනාකමක් සහිත උපකරණයක් රුපියල් 250 බැගින් මිලදී ගැනීම ගැන ද ඔහුට චෝදනා එල්ල විය. මේ වනවිට ලැබී ඇති විශ්වාසවන්ත තොරතුරු අනුව මෙම සහකාර පොලිස් අධිකාරිවරයාට එක් නිලයක උසස්වීම් ලැබී ඇත්තේ ඔහු ගෙදර සිටින කාලයේය. එනම් ඔහු තම පෞද්ගලික ලිපි ගොනුවේ ලියකියැවිලි ද වෙනස් කර ඇතැයි දැනගන්ට ඇත. ඔහුට සහාය දක්වා ඇත්තේ ද ඊටත් ඉහළ නිලයක් දරන පොලිස් නිලධාරියෙකි.


දකුණේ ජඩ වැඩ කර උතුරට මාරු කළ පසු උතුරු වැසියන් තලා පෙළා දමමින් මඩිය තර කර ගන්නා යාපනය දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරියකු ගැන හෙළිදරව්වක් පසුව බලාපොරොත්තු වෙන්න.

බිඟුන් මේනක ගමගේ සහ සිරාජ් හසීම්