කනෙන් රිංගන වෙළෙන්දෝ


සති අන්තයේ කොළඹ පිටකොටුවේ විශාල තදබදයකි. පිට පළාත්වලින් කොළඹට පැමිණි බොහෝ දෙනෙකු සති අන්තයේ ගම් බිම් බලා යන අතර සතිය ආරම්භයේදී නැවත සේවා ස්ථාන වෙත පැමිණෙන ජනතාවගෙන් කොළඹ නගරයේ පිටකොටුව ප්‍රදේශය පිරී ඉතිරී යයි. බොහෝ දෙනෙක් කඩිමුඩියේ බස් රථයක් හෝ දුම්රියක් සොයා පියමං කරති. පිටකොටුවේ තදබදය අතරතුර මමත් නිකමට වගේ පියමං කළේ අරමුණකින් තොරවයි. ඒ අතරතුර විශාල ඝෝෂාවකි. 


“ලාබයි, ලාබයි, හැමතැනම නෑ. හැම තැනම නැහැ. අද විතරයි, පහුවුනොත් පරාදයි”


මොනවද මේ ලාභ දෙය කියලා බලන්න මමත් ගියා. එහි සිටින්නේ රෙදිපිළි වෙළෙන්දෙකි. ඇත්තටම ලාබ තමයි. “කීයද මේ කලිසම්?”


“ගන්න මහත්තයා හැමදාම නෑ. හැම තැනම නැහැ. රුපියල් 400 යි. හොඳ කොලිටි ඩෙනිම් කලිසම්. ගාමන්ට් එකෙන් ගෙනාවා විතරයි. ගන්න ගන්න. මහත්තයාගේ ඉණ කීයද? තෝරලා බලලා ගන්න. හොඳ ඩෙනිම්. කඬේ රුපියල් 2000ක් වෙනවා. මම දෙන්නේ 400ට.”


“ඇයි මෙච්චර ලාබෙට දෙන්නේ?”


“අනේ මහත්තයෝ තොගේටනේ මේවා අපි ගේන්නේ. අපි පොඩි ලාබයක් තබාගෙන තමයි විකුණන්නේ. ගාමන්ට් එකෙන් පරණ ඒවා කියලා අපට සුළු මුදලකට දෙනවා. අපිත් ඉතින් සුළු ලාබයක් තබාගෙන තමයි විකුණන්නේ. සුපිරි කඩවලත් මේවා තමයි ලොකු මුදලකට විකුණන්නේ. ඒවාට මොකක් හරි ලේබලයක් අලවලා විශාල මුදලක් ගන්නවා. මොකද ඔවුන්ගේ විදුලිබිල, වායුසමීකරණ වගේ දේවල්වලට මුදලක් වැයවෙනවානේ. අපිට ඉතින් ඒ ප්‍රශ්න නැහැ. ඒකයි අඩු මුදලකට විකුණන්නේ” ඔහු කීවේය.


“ඇත්තටම මේවාගේ තත්ත්වය බාලයි නේද?” 


මා විමසුවේ ඇඳුම් කිහිපයක් අතට ගනිමිනි.


“සුළු සුළු වෙනස් තිබෙනවා. ඒකනෙ අඩු මුදලකට විකුණන්නේ. එක දවසක් ඇන්දත් මොකද සුළු මුදලක් වැයකරලා”
ඔහුව මම චන්ද්‍රසිරි ලෙස හඳුන්වමි. “චන්ද්‍රසිරි කොහෙන්ද මේ බඩු ගේන්නේ?”


“අපි දන්න කියන ගාමන්ට් තියෙනවා. ඒවාවල සුළු අඩු පාඩු තියෙන ඇඳුම් තොගේම අපිට අඩු මුදලකට විකුණනවා. අපි ඒවා ගෙනල්ලා හොඳට නමලා කරලා පිළිවෙළකට විකුණනවා. සමහර ඇඳුම්වල අඩුපාඩු නැතුව නොවෙයි. අපි දන්නවා ඇඳුමක් ගන්නකොට ඒ අයගේ කතා බහෙන් මේක ගන්නවාමයි කියලා. ඉතින් ඔවුන්ගේ ඇස් වහලා අපි කොහොම හරි ඇඟේ ගහනවා. මොකද ඔවුන් එන්නේ එක්කෝ ගෙදර යන්න බස් එක තිබෙන වෙලාව බලලා. ඉතින් බස් එක යන්න ඔන්න මෙන්න කියා තිබියදී හදිසියේ ඇඳුමක් ගන්න එනවා. ඔවුන් බලන්නෑ කොලිටිය කොහොමද කියලා. අඩුවෙන් දුන්නම ටක් ගාලා අරගෙන යනවා. ගෙදර ගිහිල්ලා බලනකොට එක්කෝ එක කකුලක් දිගයි. එක්කෝ කොටයි. ආපහු ඔවුන් එන්නේ දින ගණනකට පස්සෙනෙ. එතකොට අපි වෙන තැනක බිස්නස් කරනවා. මොකද අපි බයිට් දෙන්නේ නැහැනේ. වික්කොත් වික්කම තමා මාරු කරන්න බැහැ. සමහරු අරගෙන යනවා. පාඩුව ඒගොල්ලොන්ම තමයි විඳගන්නේ. අපි ඉතින් අඩුගානට දුන්නම ඔහේ අරගෙන යනවා. මොකද ඔවුන්ට සුපිරි කඩවලට ගිහින් ගන්න වෙලාවක් නැහැ. අනික ලොකු මුදලක් වැයකරන්නත් බැහැනේ.” 


“ඉතින් ඒක අසාධාරණයි නේද?”
එහෙම කියන්න බැහැ මහත්තයෝ, අපිත් ජීවත් වෙන්න එපැයි. අනික අපි බලෙන් ඇඟේ ගහන්නෑනේ. ගාන අඩුයි කිව්වම ටග්ගාලා එනවා. හොඳ තත්ත්වයේ ඒවා ගන්න ඕන්නම් ලොකු ලොකු කඩවලට යන්න වෙනවානේ. ඒවට යන්නේ සුපිරි පන්තියේ කට්ටිය තමයි. අනික ඒ සුපිරි පන්තියේ කඩවල වගේ කලින් ඇඳලා බලන්න විදිහක් නැහැනේ. උස, මහත මැන්නා බඩුව වික්කා. ගනුදෙනුව අවසන් වුණාම අපේ වගකීමක් නැහැ. පාඩු සිද්ධ වුණොත් ඔවුන් ඒක විඳදරා ගන්න ඕනෑ. අපි විතරක් නොවෙයි මහත්තයෝ පිටකොටුවේ ගොඩක් බිස්නස් කරන්නේ ඔහොම තමයි. හොඳ කොලිටි බඩු නැතුවම නොවේ. ඉතින් තෝරලා බලලා තමයි ගන්න ඕනෑ. මොකද බොහෝ දෙනෙකුට එහෙම තෝරලා බේරලා ගන්න වෙලාවක් නැහැ. ලාබෙට දෙනවා කිව්වම අරගෙන යනවා.


අපි විකුණන්නේ රෙදිපිළි විතරයි. හැබැයි තවත් බිස්නස් තියෙනවා. දැන් බලන්න එළවළු පලතුරුත් එහෙමයි. ගොඩක් අය ලාබ නිසා ටක්ගාලා ගෙනියනවා. හොඳට පේන්න තිබුණට ගොඩක් ඒවා හොද තත්ත්වයෙන් නැහැ. ලාබ නිසා අරගෙන යනවා. දැන් බලන්න කිලෝග්‍රෑමයක් ඉල්ලුවම එතන තිබෙන්නේ ග්‍රෑම් 750ක් වගේ තමයි. ගොඩක් අය දන්නේ නැහැ. මොකද ඔවුන් ඒවා කිරල මැනලා බලන්නෙ නැහැනේ. කඩිමුඩියේ ගෙදර යන්න තමයි ඔවුන් බලන්නේ. ඉතින් කොහොම හරි දෙන දේ අරගෙන යනවා.


දැන් බලන්න මේ ඇඳුම් වුණත් එහෙමයි. අපි කෑගහලා කොහොම හරි ඇඟේ ගහනවා. එක්කෝ ඒ කමිසයේ අත් කොටයි. අපිත් ඕවා බලන්නේ නැහැනේ. ගාමන්ට්වලින් ගෙනල්ලා දෙන දේ තමයි අපිත් විකුණන්නේ. හොඳ කොලිටි බඩු ගන්න නම් ලොකු ලොකු සාප්පුවලට යන්න ඕනෑ. ඉතින් ගොඩක් පොඩි මිනිස්සුන්ට ඒවාට යන්න බැහැ. සල්ලි නැහැනේ. පොඩි මිනිස්සු තමයි එන්නේ. මොකද රුපියල් 2000ක් වගේ මුදලක් දීලා කලිසමක් ගන්නේ බොහොම ටික දෙනයි. සමහර ඇඳුම් එනවා පරණ කෝට් කියලා විකුණන්නේ. හැබැයි දැන් ඒවා බජාර් එකට එනවා අඩුයි. මොකද දැන් පරණ කෝට් බිස්නස් කරන අය නැහැ. එක දවසක් දෙකක් ඇඳපුවත් වෙළෙඳපොළේ නැත්තෙම නැහැ. ඒවා හොඳ තත්ත්වයේ ඒවා වගේ හෝදලා කරලා ඩයිගාලා විකුණනවා. ගොඩක් අය ඕවා දන්නැහැ.”


ඉතින් ඔන්න ඔය වගේ තමයි පිටකොටුවේ බිස්නස් කෙරෙන්නේ. සමහරවිට ඔබටත් මේ වගේ අත්දැකීම් ඇති. මීට පස්සේ පිටකොටුවේ ඇඳුම් පැලඳුම් වගේම ඕනෑම බඩුවක් මිලදී ගන්නකොට දෙවරක්ම හිතන්න. මෙහෙම ලියපු එක ගැන රෙදිපිළි අලෙවි කරන අයට අසාධාරණයක් නොවෙයි. ජනතාව දැනුවත් කරන්නයි මෙහෙම ලිව්වේ. අර කියමනක් තිබෙනවා “ලාභ බඩුවේ හිලක්” කියලා ඉතින් අනිත් දවසේ ලාභ බඩුවක් ගන්නකොට හොඳට හිතලා බලන්න. කලබල නොවී හොඳට තෝරලා බේරලා ගන්න. මෙහෙම කිව්වේ ඔයාලව දැනුවත් කරන්න. නැතිනම් වෙළෙඳුන්ට කරන අසාධාරණයක් නොවෙයි.

සටහන:- 
නිශාන්ත කුමාර බණ්ඩාර