කතරගම දේවාලයේ ගිනි පෑගීමේ අනුහස්


 

දින 14ක් පුරා ඉතා සාර්ථකව පැවැති කතරගම ඇසළ උත්සවය පසුගියදා නිමාවට පත්විය. සෑම වසරකම ඇසළ පොහොයට පෙර දිනයේ දිය කැපුමෙන් අැසළ උත්සවය නිමාවෙයි. ඒ දින 14 පුරාම සියලු නැකත් චාරිත්‍රවලට අනුව කතරගම ඇසළ පෙරහර පැවැත්වෙන අතර මෙවරත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඇසළ උත්සවය හා කතරගම පෙරහර නිමාවට පත්විය. කතරගම දේවාලය මුල්කරගනිමින් පෙරහර පැවැත්වෙන අතර අවසානයේ කිරිවෙහෙර අභියස පැවැත්වෙන චාරිත්‍රවලින් පසු කතරගම ඇසළ සමය නිමාවෙයි.  


කතරගම ඇසළ පෙරහර අවසානයේ අලුයම ගිනි පෑගීමේ චාරිත්‍රය ඉතා වැදගත් අංගයක් ලෙස සැලකෙයි. කතරගම දේවාලය 1948 සිට මෙම චාරිත්‍රයට හිමිවූයේ මුල්තැනකි. ගිනි පෑගීම දේවාලයට අයත් චාරිත්‍රයක් නොවුණත් වසර 1948 දී පමණ ඉන්දීය සම්භවයක් ඇති දමිළ සාමිවරුන් කිහිප දෙනකුගේ මූලිකත්වයෙන් මෙය ඉටුවූ බව කතරගම දේවාලයේ ගිනි පෑගීමේ ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේදී හමුවෙයි. කතරගම දේවාලයට සම්බන්ධ දැඩිමුණ්‍ඩ දේවාලයේ ප්‍රධාන කපුධුරන්දර නිමල් පී. කුඩාතේ මහතා ගිනි පෑගීමේ ඉතිහාසය ගැන විස්තර කළේ මෙසේය.  

• ගිනි පෑගීමේ ඉතිහාසය ගැන සඳහන් කළොත්?
මුලින්ම කතරගම දේවාලයේ ගිනි පෑගීම ආරම්භ කළේ යාපනයේ බ්‍රාහ්මණ සාමි කියන අයෙක්. ඔහුට කුෂ්ඨ රෝගයක් වැළඳුණා ශරීරය පුරාම. ඔහු ඒ මොහොතේ බාර වෙලා තිබෙනවා කතරගම දෙවියන්ගේ පිහිටෙන් හා උන්වහන්සේගේ බලයෙන් සුවපත් වුවහොත් කතරගම මහාදේවාලය ඉදිරිපිට ගිනි මැලයක් ගහලා ගිනි පාගනවා කියලා. ඒ බාරය ඔප්පු කරන්න තමයි මුලින්ම ගිනි පාගන්න ආරම්භ කළේ මළුව ඇතුළේ. ඒ කියන්නේ 1948 වසරේ පමණ දමිළ ජාතිකයන් 10 දෙනෙක් වගේ පිරිසක් තමයි. මුලින්ම ගිනි පාගලා පසුව ගිනි මැලය නිවා දමනවා. සිංහල අයට සහභාගි වෙන්න දුන්නේ නැහැ.  

 


• සිංහල අයට ගිනි පාගන්න අවසර ලැබුණේ‍ කොහොම ද?  
කොළඹ ඉඳලා ආවා 1948 වගේ කාලයේ මුතුකුඩ කියන මහත්තයෙක්. එතකොට ගිනි මැලය භාරව සිටියේ එස්. චෙල්ලයියා කියලා ඉන්දියානු ජාතිකයෙක්. 1948 වසරේ මුතුකුඩ මහතාට ඉඩ නොදුන් නිසා ඔහු නැවත ඊළඟ වසරේ ආවා ගිනි පෑගීමට. ඒ වසරේත් ඉඩ දුන්නෙත් නැහැ. පසුව ගිනි මැලයට දර සපයන පුද්ගලයත් එක්ක සම්බන්ධ වෙලා දේවාලේ කපුමහත්තුරුත් අඳුනගෙන ඒ දර සපයන පුද්ගලයා සමඟ චෙල්ලයියා සාමිට කියලා මම වෙච්ච බාරයක් ඔප්පු කරන්න ඕනෑ කියලා බැගෑපත්වෙලා තිබෙනවා. හැබැයි නායකයෙක් ලෙස නොවෙයි. ගිනි මැලයේ නායකයා ගියාට පසු ගිනිමැලයේ යන්න. ගිනිමැලය සූදානම් කළාට පසු ගුරු පාට ඇඳ පැළඳගෙන අයෙක් ගිහින් තිබෙනවා ගිනිමැලය මතින්. බලංගොඩ ආනන්ද මෛෙත්‍රය මහා නායක හිමියනුත් මේ අවස්ථාව දැක බලා ගන්න වැඩම කරවලා තිබෙනවා. ඒ අවස්ථාවේ සිටිය කපු මහත්වරුන් දැක තිබෙනවා ගුරුපාට ඇඳගෙන පුද්ගලයකු ගිනිමැලය මතින් ගිය බවක්. තාපසයෙක් වගේ කෙනෙක් ගිනිමැලය මතින් දේවාලය ඇතුළටම ගිහින් තිබෙනවා. නමුත් දේවාලය ඇතුළට ගිය කෙනා කවුද කියලා දන්නේ නැහැ. එහෙම කෙනෙක් ඉඳලත් නැහැ. මුතුකුඩ කියන සිංහල මහත්තයා හිතලා තිබෙනවා මේ ගියේ චෙල්ලයියා සාමි තමයි කියලා. ගිනිමැල මතින් මුතුකුඩ මහතා ගිහින් තිබෙනවා. ඒ වෙලේ චෙල්ලයියා සාමි ඉඳලා තිබෙන්නේ ගඟේ. මොකද හුඟක් පේ වෙලානේ ඉන්න ඕනෑ. ඒ දවස්වල ප්‍රචාරය වුණා පුවත්පත්වල පළමුවැනි ගිනි පෑගූ සිංහල පුද්ගලයා මුතුකඩ මහත්තයා කියලා. 1962 වසරේ ඉඳලා ගිනි පෑගීම සිදුකළේ මළුව ඇතුළේ.  

 


• ගිනි පෑගීම කරන්න අවශ්‍ය වන්නේ කුමකට ද?  
මෙතන මූලිකව වන්නේ මනස එක තැනක තිබෙන්න ඕනෑ. මානසික ඒකාග්‍රතාව තමයි මෙතැන වැදගත් වෙන්නේ. යම් හෙයකින් සිත වෙනස් වුණොත් ගිනිමැලයේදී පිච්චෙන්න පුළුවන්. දැන් කුඩා ළමයි පවා වයස අවුරුදු හයේ හතේ ළමයි පවා ගිනි පාගනවා. ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාව නිසාත් ඔවුන්ගේ සිතුවිලි පිරිසිදු නිසාත් පිච්චෙන්නේ නැති අවස්ථා තිබෙනවා. එදා සිට අද ගිනි පෑගීමේදී සෑම වසරකම කිහිප දෙනෙක් පිච්චෙනවා. එහෙම නැතිනම් හාස්කමකුත් නැහැනේ. සෑම වසරකම කිහිප දෙනෙක් පිච්චෙනවා. දැන් මෝලම් ගහලා කාවඩි නටන්නෙත් මෝහනයක් වගේ කරලා සිත එක්තැන් කරන්නයි. හැබැයි මේ ගිනි පෑගීම කතරගම දේවාලයට කිසිම සම්බන්ධයක් නැහැ.  


කෙසේ වෙතත් මේ වසරේ 40 දෙනකු පමණ ගිනි පෑගීම නිසා පිළිස්සුම් තුවාල ලබා ඇතැයි දේවාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. මෙවර ගිනි මැලය පසුගිය වසරවලට වඩා විශාල වීමත් ගිනි දැල් ඇවිලීම නිසා මෙසේ අනතුරු සංඛ්‍යාව වැඩිවූ බවත් ඔහු සඳහන් කළේය.  
වසර ගණනක් පුරා ගිනි පෑගීමේ චාරිත්‍රය කළ මොහොට්ටි සාමි ප්‍රකාශ කළේ ගිනි පෑගීම ගැන හා ඒ චාරිත්‍ර ගැන නිසි දැනුමක් නොමැති පිරිසක් මෙවර ගිනි පෑගීම සිදුකළ නිසා මෙවැනි අනතුරු සිදුවූ බවයි.  


මේ ඔහු කියන කතාවයි.  


• මෙවර ගිනි පෑගීමේදී මොකක් ද ඇත්තටම සිදුවුණේ?  
මෙවර කතරගම ඇසළ උත්සවය ඉතා සාර්ථකව නිමාවුණා. මේ ගිනි පෑගීමේ මංගල්‍යය තමයි අසාර්ථකව සිද්ධ වුණේ. අපි කතරගම දේවාලයේ ගිනි පෑගීම සිදු කෙරේ පරම්පරා ගාණක ඉඳලා. මමත් වසර ගණනාවක ඉඳලා මේ ගිනි පෑගීමේ චාරිත්‍රය ඉටු කරනවා. මෙවර ගිනි පෑගීමේ අවස්ථාව මට නිලමේ කාර්යාලයෙන් ලබා දුන්නේ නැහැ. මේ පාර ගිනි පෑගීම සිදු කළේ වෙනත් පිරිසක්. ඔවුන් ගිනි පෑගීම පිළිබඳ කිසිම අත්දැකීමක් නොමැති පිරිසක්. මේ පිළිබඳ නියමිත ක්‍රම විදි, රහස් ක්‍රම, වගේම විශාල චාරිත්‍ර කිහිපයක් තිබෙනවා. මේ චාරිත්‍ර විදි නොදන්න පිරිසක් ගෙනල්ලා තමයි මේ ගිනි පෑගීම සිද්ධ කළේ. ඒක නිසා තමයි අනතුරු වැඩි වීමට හේතුවක් ලෙස මම දකින්නේ.  

 


• මෙවර ඔබට ගිනි පෑගීමේ චාරිත්‍රය ඉටුකිරීමට අවස්ථාව ලබා නොදුන් නිසා ද ඔබ මේ ​චෝදනාව කරන්නේ?  
අපි වසර ගණනාවක් මේ චාරිත්‍රය ඉටු කළ පිරිසක්. මේ පාර ඒ අවස්ථාව අපිට අහිමි වුණා දේවාලයේ පිරිසක් නිසා. නියමිත ක්‍රමයකට මේ චාරිත්‍රය ඉටු නොකළ නිසයි මේ දේ සිද්ධ වුණේ. මෙවර ගිනි පෑගීම ආරම්භ කරන්න තිබුණේ අලුයම 4ට. නමුත් ආරම්භ කළේ 4.30ට. එයත් හොඳ නැහැ. නියමිත වේලාව තුළදී ඒ චාරිත්‍ර ආරම්භ කරන්න ඕනෑ. ගොඩක් මෙවර පැමිණ තිබුණේ කුලියට ගත්ත පිරිසක්. ඔවුන්ට අවබෝධයක් නැහැ. අපි පරම්පරාවෙන් වසර ගණනක් මේ චාරිත්‍රය කරගෙන ආව අය. අපි වගේ පළපුරුදු අයට ලබා නොදීම තමයි මේ දේවල් සිද්ධ වුණේ කියලා කියන්න කැමතියි.  


• ඔබගේ කාලයේදීත් මේ අනතුරු සිදු වුණා ද?  
අපි ගිනි පෑගීමේ චාරිත්‍රය ඉටුකරන කාලයේ අනතුරු සිදුවුණේ නැහැ. මම තමයි දැන් ඉන්න නිලමේතුමාගේ පවුලේ කට්ටියවත් ගිනි පෑගෙව්වේ. කිසිම අනතුරක් සිදු වුණේ නැහැ. නිලමේතුමන් ගිනි පෑගුවා. මෙවර බොහෝ දෙනෙක් ගිනි පෑගුවෙත් නැහැ. කතරගම දේවාලයේ ගිනි පෑගීමේ චාරිත්‍ර ඉටු කරන්න ඕනැ පළපුරුදු සාමිවරුන්. ආවාට ගියාට ගිනි පෑගීම කරන්න බැහැ. චාරිත්‍ර නිසි ආකාරයෙන් දන්නේ නැති නිසයි මේ පාර පිළිස්සුම් අනතුරු සිදුවුණේ. මම නිලමේතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ මින් ඉදිරියටවත් අපි වගේ පළපුරුදු සාමිවරුන්ට මේ චාරිත්‍රය ඉටුකරන්න බාර දෙන්න කියලා.  


කෙසේ වෙතත් මොහොට්ටි සාමි නගන මේ චෝදනා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක මහතාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ මෙවැනි දෙයක් පිළිබඳවත් කිසිදු බරපතළ සිද්ධියක් වාර්තා නොවූ බවයි.


ඔහු නගන මේ චෝදනා මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. සෑම වසරකම ගිනි පෑගීමේදී කිහිප දෙනෙකු පිච්චෙනවා. ඔය කියන පුද්ගලයාගේ කාලයේදීත් එහෙම දේවල් සිද්ධ වුණා. අනික මේ ගිනි පෑගීමට සහභාගී වන අය පේ වෙන්න ඕනෑ. එහෙම නොමැති අයට තමයි ඔය වගේ සුළු සුළු අනතුරු සිදුවෙන්නේ. වසර කිහිපයක් ඔය මොහොට්ටි සාමි කියන අය තමයි ගිනි පෑගීම සිද්ධ කළේ. මේ වසරේ ඔහුට අවස්ථාව ලබා දුන්නේ නැහැ හේතු කිහිපයක් නිසා. ඒක නිසා තමයි ඔය වගේ ප්‍රචාරයක් කරන්නේ. දැන් ගිනි පාගනකොට කාන්තාවන් ගිනි මැලය මතින් ගමන් කරන් යනවා. ඒ වගේ වෙලාවේදී තමයි ඔය වගේ අනතුරු සිද්ධ වෙන්නේ. සෑම වසරකම වගේ ඔය දේවල් සිද්ධ වෙනවා. සෑම වසරකම එක් අයකුටම දෙන්න බැහැනේ. ඒකයි ඔය වගේ දේවල් අපව අපහසුතාවට පත්කරන්න කරන්නේ. මේ වස​රේ ඉතා සාර්ථකව සියලු චාරිත්‍ර පැවැත්වුණා.”  

ගිනි පෑගීමෙන් අනතුරට පත්වූවන් ප්‍රතිකාර සඳහා රැගෙන යමින්

 


මේ පිළිබඳව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතාගෙන් විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ මේ වසරේ ඉතාමත් සාර්ථකව සියලු චාරිත්‍ර සිදු කළ බවයි.  


• මෙවර ගිනි පෑගීමේදී අනතුරු සිදුවුණා ද?  
සුළු සුළු අනතුරු කිහිපයක් සිද්ධ වුණා. අපේ ලියාපදිංචි ගිනි පෑගීමේ පිරිසට අමතරව පැමිණි පිරිසක් ගිනි මැලය මතින් ගමන් කරන්න ගිහින් තමයි ඒ සුළු සුළු තුවාල වුණේ. බරපතළ දේවල් වුණේ නැහැ. මොකද බොහොම පේ වෙච්ච පිරිසක් තමයි ගිනි පාගන්න සහභාගි වෙන්නේ. එහෙම නොවුණු පිරිසකට තමයි ඔය අනතුරු වෙලා තිබෙන්නේ.  


• මෙවර නවක පිරිසක් ගිනි පෑගීම සඳහා කටයුතු කළ නිසා මේ අනතුරු සිදුවුණා කියලා චෝදනා එල්ල වෙනවා. ඒක ඇත්තක් ද?  
එහෙම කිසිම දෙයක් නැහැ. ඔය චෝදනා කරන කෙනා මම දන්නවා. මේ වසරේ ඔහුට ගිනි පෑගීමේ අවස්ථාව ලබා දුන්නේ නැති නිසයි ඔය චෝදනා කරන්නේ. අපි සොයලා බැලුවා ඔය පුද්ගලයා ගැන. ඔහු විවිධ අකටයුතු දේවල් කරලා තිබෙනවා. අපිට ඒ ගැන තොරතුරු විශාල ලෙස ලැබුණා. ඒක නිසා අපි මේ වසරේ ඔහුට ඒ අවස්ථාව ලබාදුන්නේ නැහැ. මම මේ තනතුරේ ඉන්නකම් ඔහුට මේ රාජකාරිය බාර​ දෙන්නේ නැහැ. මොකද ඔය වගේ අය නිසා මේ දේවාලයේ නමත් කැත වෙනවා.  


• ඔබවත් ගිනි පාගන්න යොමු කළේ ඔය කියන පුද්ගලයා ද?  
මෙහෙමයි. අපේ පවුලම දින ගණනක් පේ වෙලා තමයි මේ චාරිත්‍ර කරන්නේ. මමත් අපේ පවුලේ අයත් ගිනි පෑගීමේ අවස්ථාවට සම්බන්ධ වුණා. නමුත් ඔය කියන පුද්ගලයා නොවෙයි. අපි ඇප කැප වෙලා මේ චාරිත්‍ර ඉටු කරනවා. මේ පාර 600ක් විතර ගිනි පෑගීමට එකතු වුණත් 350ක් විතර තමයි සහභාගි වුණේ. එතනට සම්බන්ධ ගමේ පිරිසක් අපෙන් අවසරයකින් තොරව මේ අවස්ථාවට සහභාගි වෙලා සිටියා. ඔවුන්ගෙන් කිහිප දෙනකුට තමයි සුළු පිළිස්සුම් සිද්ධ වුණේ. ඔවුන්ට ඒ වෙලාවේම ප්‍රතිකාර ලබා දුන්නා. ඔය කියන තරම් බරපතළ සිද්ධීන් කිසිවක් වාර්තා වූයේ නැහැ. මේ පාර ගිනි පෑගීමේ චාරිත්‍රය ඉතාමත් අලංකාරවත්ව පැවැත්වුණා. පෙරහරේ සියලු කටයුතුත් ඉතා අලංකාරවත්ව පැවැත්වුණා. මම ඉතා වගකීමෙන් කියනවා ඔය වගේ බරපතළ සිද්ධීන් කිසිවක් සිද්ධ වුණේ නැහැ. අනික දෙවියන්ට අපහාස කරන පුද්ගලයන් පිරිසක් තමයි දේවාලයේ නම කැත කරන්න ඔය වගේ ප්‍රචාරයක් ගෙන යන්නේ.

සටහන : නිශාන්ත කුමාර බණ්ඩාර