කතරගම දෙවියන්ට පූජා තියන ආලත්ති අම්මලා කවුද ?


 

කතරගම මහා දේවාලය ඉදිකර දෙවියන්ට පූජා කළ දුටුගැමුණු මහා රජතුමා ඉරහඳ පවතිනා තුරා කඳ සුරිඳුන්ට පුද පූජාවන් පැවැත්වීම පිණිස රාජකාරිකරුවන් 552 දෙනකු පත් කළ බව දේවාල ඉතිහාසයේ කියැවේ. මෙම රාජකාරි පුද්ගලයන්ගේ පැවැත්ම සඳහා ගොඩමඩ ඉඩකඩම් ලබා දුන් දුටුගැමුණු මහා රජතුමා දේවාලයේ පැවැත්ම සඳහා ඉඩකඩම් බදු දීමටත් එම ආදායමෙන් දේවාලයේ පෙරහර මංගල්‍යයන් සිදුකර දේවාලයේ පැවැත්මට අවශ්‍ය වියදම් පියවා ගැනීමට ක්‍රියා කරන ලෙස නියෝගයක් ද පනවනු ලැබීය.   

 එදා සිට අද දක්වා වසර 2245ක් පුරා කතරගම මහා දේවාලයේ පුද පූජා පවත්වා රටට ජාතියට රටවැසි ජනයාට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනු ලබයි.   


රුහුණු කතරගම මහා දේවාලයේ සිදු කරනු ලබන චාරිත්‍ර අතර සියලු චාරිත්‍ර සිදු කරනු ලබන්නේ පිරිමි පුද්ගලයන් වන අතර මෙම පිරිසට අමතරව කඳ කුමරුන්ගෙන් වරම් ගෙන සෑම පූජාවකටම දෙවියන්ට දීර්ඝ ආයුෂ වඩන ස්ත්‍රී පාර්ශ්වයේ 12 දෙනක් ද සිටිති.   


මෙම පිරිස ආලත්ති අම්මලා ලෙස හඳුන්වන අතර මෙම පිරිස 12 දෙනකුගෙන් සැදුම්ලත් පිරිසක් වේ. ආදිවාසීන්ගේ පෙනුමට සමාන ඇඳුමින් සැරසෙන මෙම මව්වරුන් දේවාලයේ පැවැත්වෙන උදෑසන 4.30 පූජාවටත් සවස 6.30ට පැවැත්වෙන පූජාවටත් එක්වෙන අතර සතියකට වරක් සෙනසුරාදා නානුමුර මංගල්‍යයට ද මෙම ආලත්ති අම්මලා එක්ව පූජාවට සහභාගී වෙති.   


 දෙවියන්ගේ පූජාව පැවැත්වෙන අවස්ථාවේ දී ප්‍රථමයෙන් මෙම ආලත්ති පූජාව පැවැත්වෙන අතර දෙවියන්ගේ තිරය අසල සිටින කපු මහතා මෙම ආලත්ති අම්මලාට පහන් තිරයක් ලබා දීම සිදු කරයි. එම පහන් තිරය දල්වා ගන්නා ආලත්ති අම්මලා පහනත් රැගෙන දේවාලය පිටුපස ඇති දේව මාලිගයේ පිටුපස වට්ඨාරම නම් ස්ථානයට පැමිණ දෙවියන්ට ආශිර්වාද කවි කියමින් දැල්වූ පහන් කරකවමින් නළලට අත තියා දෙවියන්ට දීර්ඝ ආයුෂ ලැබේවා යැයි ප්‍රාර්ථනා කරති.   


පසුව නැවත මෙම ආලත්ති අම්මලා දේවාලයට පැමිණ දේව තිරය අභියස සිටින කපු මහතා ඉදිරියේ නැවත පහන් කරකවා දෙවියන්ට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කර නික්ම යති.   


 මෙම රාජකාරිය දේවකාරියක් ලෙස සිදු කිරීමට ආලත්ති අම්මලා 12 දෙනකු පත් කර ඇති අතර මේ සඳහා දේවාලයෙන් වසරකට වරක් ලබා දෙන රාජකාරි වැටුප වන රුපියල් දෙකයි ශත 80 වැටුප ද ලබා ගන්නා මෙම ආලත්ති අම්මලාට සිය රාජකාරි ඉටු කිරීම වෙනුවෙන් වී සහල් ද ලබා දෙයි. මෙම ආලත්ති අම්මලාගේ ප්‍රධාන අම්මා වන පොඩි මැණිකේ මාතාව පැවසුවේ,   


“අපි මේ රාජකාරිය ඉතාම පිරිසිදුව සිදුකරනවා. කතරගම දෙවියන්ට සිදු කරනු ලබන සෑම මංගල්‍යකදීමත් කප් සිටවීමේ මංගල්‍යයට, ඇසළ පෙරහැරට, දියකැපීමේ මංගල්‍යයට, ඉල්මහා පෙරහරට, අවුරුදු මංගල්‍යයට යන ප්‍රධාන අවස්ථාවන්ට අමතරව සෑම දිනකම දෙවියන්ගේ පූජාවට අපි එක්වෙනවා. මෙයින් අපි කරන්නේ දෙවියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමයි. අතීතයේ රජතුමාට ද මෙවැනි අයුරින් කිරි අම්මලාවරුන් පැමිණ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. එම කාර්ය දෙවියන්ටත් සිදු කිරීමට දුටුගැමුණු මහා රජතුමා අණ කළා. එය තමයි අ දත් අපි මේ කරන්නේ” යනුවෙන් ආලත්ති අම්මලාගේ ප්‍රධාන නායිකාව වන වන්නිආරච්චිගේ ටී. මාවති මාතාව පැවසුවාය.   


 මේ සම්බන්ධව අදහස් දැක්වූ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුධුරන්ධර සොමිපාල ටී. රත්නායක මහතා පැවසුවේ “අතීතයේ දී කතරගම දෙවියන් වල්ලි දෙවඟන හා විවාහ වූ අවස්ථාවේ දී වල්ලි දෙවඟන කුඩා කල සිට හදා වඩාගත් වැදි ජනයා හඬා වැටෙමින් කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ තම වරිගයටත් දෙවියන්ට සිදු කිරීමට කුමන හෝ රාජකාරියක් ලබා දෙන ලෙසයි. ඒ අනුව මෙම පිරිසට දේවාලයේ පැවැත්වෙන පූජාවන්ට සහාභාගි වී දෙවියන්ට ආශිර්වාදය කරන්න අවසරය ලබා දුන්නා. ඒ අනුව මෙම ආලත්ති අම්මලා දේවාල ඇති කළ දා පටන් මෙම රාජකාරිය ඉටුකරනවා” යැයි සොමිපාල ටී. රත්නායක කපු මහතා පවසයි.   


මෙම ආලත්ති පූජාව සඳහා කැපව සිටින මව්වරුන් මැදිවිය ගත කරනු ලබන අය වන අතර සෑම සතියකටම වරක් දේවාලයේ සිදු කරනු ලබන බෝධියේ නාන මුර මංගල්‍ය සඳහා මැණික් ගඟෙන් පැන් රැගෙන එ්ම මෙම ආලත්ති අම්මලාට ඇති රාජකාරියක් වන අතර සෑම වසරකටම වරක් බුත්තල දෙවියන්ගේ වෙළෙන් රැගෙන එනු ලබන වී මෝල්ගස්වලින් කොටා සහල් කර දේව දානයට ලබාදීම මෙම ආලත්ති අම්මලා විසින් සිදු කළ යුතු තවත් කාර්යයකි. කතරගම දේවාලයේ පැවැත්වෙන පෙරහර මංගල්‍යයන් තුළ දී දෙවියන් වැඩම වන හස්ති රාජයා අභියස ඉදිරියෙන් ගමන් ගන්නා මෙම ආලත්ති අම්මාගේ පූජාව අදටත් දැකිය හැක්කේ කතරගම පුද බිමේදී පමණි.   


 අම්මාගෙන් පරම්පරාවෙන් එන පරිදි මවගෙන් දුවට යන මෙම නිල රාජකාරිය ආලත්ති අම්මලා සිදු කරන අතර මාසයකට දෙදෙනා බැගින් බෙදී මෙම පූජාව සිදු කිරීමට කටයුතු කරති.   


මෙම ගෞරවනීය වූ පුද සත්කාරය කරනු ලබන මෙම ආලත්ති අම්මලා වෙනුවෙන් දේවාලයේ කුඹුරුවල වී අස්වැන්නෙන් කොටසක් සෑම මංගල්‍යකදීම ලබා දීමට බස්නායක නිලමේතුමා ක්‍රියා කරයි.   

 

 

 

 


සටහන කේ.ඩී. දේවප්‍රිය