එල්ලුම්ගහ දැක දැක ලියුම් හා කවි ලියූ සිරකරුවෝ


 

 

30.8.1950  
වැලිකඩ සිරසැලේදීය.  
මගේ ආදරණීය දරුවන් සතර දෙනාට දෙන මගේ අන්තිම අවවාදයයි  
ප්‍රිය දරුවනි,  


ඔබලාගේ පියාවන ඇම්. ඩී. ඒ. ඩී. ජේමිස් සෙනෙවිරත්න වන මම 1950හේ 8 වෙනි මස 31 වැනිදා වැලිකඩ සිරගෙය තුළදී මරණයට කැප වුනෙමු. එසේ වීමට පළමු හේතුව නරක ආශ්‍රය නිසාය. දෙවන හේතුව යුතුකම් ඉටු කිරීමයි. නමුත් දරුවනි, මම ඉතා දුරදර්ශී ඥාන බුද්ධියක් උත්පත්තියෙන් පිහිටපු තැනැත්තෙකි. එම බුද්ධිය තවදුරටත් නොයෙක් පොත් ආදිය බැලීමෙන් දියුණු කර ගතිමු. එසේ වී නමුත් නරක ආශ්‍රය නිසා ඒ බුද්ධිය නිවැරදි පැත්තෙන් යොදවන්නට බැරි වූ නිසා මරණයට කැපවීමට සිදු උනෙමු. ප්‍රියදරුවනි, මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද අති සියුම් ගාම්භීර ධර්මය ගැන මේ නඩුවට අසු වු කාලය තුළ ධර්මයේ පොත්පත් බැලීම හේතුකොට ගෙන අවුරුදු ගණනකින් දැක ගැනීමට බැරි තරම් හොඳ අවබෝධයක් මට ලැබුණෙමි.   


1949 ජනවාරි මස 30 වැනිදා කොළඹ කුරුඳුවත්තේ ටර්ෆ් ක්ලබ්හි මුදල් ගෙනියන ආම්ස්ට්‍රෝං ගරාජයේ රියදුරකු ලෙස සේවය කළ ජෝන් සිල්වා මැරීම හා මැරවීමට අනුබලදීම නිමිත්තෙන් මාකේවිට විජේදාස පෙරේරා 1950 අ​ගෝස්තු මස 29 වෙනිදා පු.භා 8ට ද මුණසිංහ ආචි ලේකම්ගේ චාල්ස් මුණසිංහ 1950 අගෝස්තු මස 30 වෙනිදා පු.භා 8ට ද, ආරච්චිගේ දොන් මනි කුමාර ජේමිස් සෙනවිරත්න 1950 අගෝස්තු 31 වැනිදා පු.භා 8ටද, රාජපක්ෂ ලියනගේ ජයනන්ද ප්‍රේමලාල් නොහොත් ජේ.පී. රාජපක්ෂ නොහොත් වෙද මහත්තයා 1950 සැප්තැම්බර් 1 වැනිදා පු.භා 8 ටද වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මරණ ලද බව A.C. ALLAS විසින් ලියූ The Turf club Robbery and Murder කෘතියේ සඳහන් වෙයි.   
මේ එල්ලා මරණ ලද අපරාධකරුවන් සිව් දෙනා පරිසරයෙහි විෂමතාව හේතුකොට අවාසනාවන්තයන් ලෙස පෝරකය ඉදිරියේ හිස නමා සිටි අතර ඔවුන් තම දූදරුවන්ට දෙගුරුන්ට මරණය පෙනි පෙනී ලියුම් ලියූහ.   


ඒ අතරින් හාරලක්ස මංකොල්ලයේ මහ මොළකරු මනිකුමාර ආරච්චිගේ දොන් ජේමිස් සෙනෙවිරත්න තම දරුවන්ට ලියූ ලිපියකි මුලින් ඔබ කියවූයේ. ඔහු මේ ලියුමේ මෙසේද ලියා තිබුණි.   


ප්‍රිය දරුවනි,  


මම වැරදි පාරක ගමන් කළ නිසා මෙවැනි මරණයකට පත්වූ බව ඔබලාගේ සිත්වලට ගන්ඩ. මට ඇතිවූ ඤාණය උඹලාටත් තිබිය යුතුය. ඒ ඤාණය නිසි මග යොදා ගන්ඩ. මම විශේෂයෙන් මතක් කරන්නේ අමෘත ධර්මය ගැන හොඳ අවබෝධයක් ලබා මෙලෝ පරලෝ දෙකම වාසනාවන්ත ජිවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගන්ඩ. මිත්‍රයන් සමග ආශ්‍රය කිරීමේදී තුණුරුවන් සරණ යන පින්වතුන් ආශ්‍රය කරන්න. නැවතත් හඬ නගා කියන්නේ මිත්‍රයින් හා ප්‍රවේසම් වන්ඩ. සැබැයි මිත්‍රයින් සමග ආශ්‍රය කරන්ඩ උවමනා නමුත් විශ්වාසය තබා ආශ්‍රය කරන්ඩ එපා.   
උඹලා හොඳ චරිතයක් ඇතුව රටේ ජීවත්වන ලෙස අවසාන වශයෙන් ඉල්ලමි. උඹලාගේ මෑණියන්ට කීකරු වෙන්ඩ. කිසිම දෙයකට ඉක්මන් නොවන්ඩ. ඉවසීම පුරුදුවන්ඩ. පිරිමි දරුවන් දෙදෙනාගෙන් එක් කෙනෙක් හෝ මහණ වෙනවා නම් ඉතාමත්ම හොඳයි. උඹලා හතරදෙනා කිසිම දෙයකටවත් භේද නොවන්ඩ.   
අන් සියලු දෙනා සමගද එසේම සිටින්ඩ. දරුවනි සංසාරයේ කවදා නමුත් උඹලාට මම සම්බන්ධ වෙනවා ඇති. කිසිම සැකයක් නැත. ඊට උඹලාද තුණුරුවන් සරණ යා යුතුයි. උඹලා සියලු දෙනාම සුවපත්ව නිදුක් වේවාකියා මගේ එකම ප්‍රාර්ථනාවයි. ඉගැනීම ගැන මැලිවෙන්ඩ එපා. මෙතෙකින් සමාප්ත කරමි. දීර්ඝායු ලැබේවා.   


මෙයට අවංක වූ දයාබර පියාවන   
ඇම්. ඒ. ඩී. ජේ. සෙනෙවිරත්න.  


එදා හාරලක්සෙ මංකොල්ලයටම සම්බන්ධ වූ ජේ.පී. රාජපක්ෂ (රාජපක්ෂ ලියනගේ ජයනන්ද ප්‍රේමලාල් නොහොත් වෙද මහත්තයා) යහපත් දෙමව්පියන් සොහොයුරු සොහොයුරියන් ඇති පවුලකට අයත් කෙනෙකු බව (1950) කොළඹ විද්‍යොදය පිරිවෙනෙහි උප ප්‍රධානාචාර්යව සිටි කළුකොඳයාවේ පඤ්ඤාසේකර නායක ස්වාමීන් වහන්සේ සිංහල බෞද්ධයා පත්‍රයට සැපයූ ලිපියෙන් අනාවරණයවී ඇත.   


සෙනෙවිරත්න, විජයදාස, මුණසිංහ, රාජපක්ෂ යන අයගේ සැහැසිකම්වලට ඔවුන්ගේ ඥාතීන් වරදකරුවෝ නොවන බව අධිනීතිඥ ඩබ්ලිව්. ඊ, ඇම්. අබේසේකර විසින් 1950 ලියන ලද ටර්ෆ් ක්ලබ් මංකොල්ලය හා මිනීමැරුම කෘතියේ සඳහන් වෙයි. පුවත්පත් කලාවේදී සිරිපාල තිලක විසින් මේ කෘතිය සිංහල බසට පරිවර්තනය කර තිබුණි.   
මේ කෘතිය මට පරිශීලනය කිරීමට දුන්නේ කිසිවෙකුටත් නොදෙන තමා සංරක්ෂණය කරන දුර්ලභ පැරණි පොත්, සිනමා සඟරා, සිනමා පෝස්ටර් පරිහරණය කිරීමට කාරුණිකව ලබාදුන්නේ නාරාහේන්පිට, පොල්හේනේගොඩ පදිංචි ඉන්ජිනේරුවකු වූ සුධර්මන්ද කොස්තාය. ඔහුගේ බාප්පා වූ බර්ටි ද කොස්තා හාර ලක්ස මංකොල්ලය හා මැතිව් පීරිස් දේවගැතිවරයාගේ කතාව (යක්ෂයා අපාගත වෙයි) ඇතුළු විදේශ රහස් පරීක්ෂක කතා කිහිපයක් රචනා කර ඇත.   


අපි නැවතත් 1950 දී බන්ධනාගාරයේ එල්ලුම් ගහ දැක දැක තම ඥාතීන්ට ලියුම් ලියූ ජේ.පී. රාජපක්ෂ විසින් සහෝදර සහෝදරියන්ට ලියූ ලිපියක් වෙත හැරෙමු.   


වැලිකඩ සිරි මැදුරේදී   
31.8.50   
දෙපා නැමද ලියමි.  
ආදරණීය සහෝදර සහෝදරියන් වෙත   
ගෞරවයෙන් ලියමි.   


මා පෙම්බර සහෝදර සහෝදරියන් හා මනුෂ්‍ය සමාජයෙන්ද 1.9.50 දින උදේ 8ට වැලිකඩ සිර මැදුරේදී වෙන්ව යන්න සිදුවූ බව ඉමහත් සංවේගයෙන් කණගාටුවෙන් දැනුම් දෙන්නම්. මගේ අන්තිම ප්‍රාණවායුව නිරුධ කිරීමට පැය කීපයකට පළමුව ලියන ලද අවසාන ලිපියයි. මේ අවස්ථාවේ මගේ චිත්තාභ්‍යන්තරයෙන් පැන නගන සිතිවිලි දම්හි වෙලී දෙනෙතින් වැගිරෙන උණු කඳුලින් දෙනෙත් අඳුරුව ඇති නමුත් මාගේ අවසාන ලිපිය ලියා අන්තිම ප්‍රාණවායුව හෙලීමට උත්සාහ ගනිමි.   


අක්කා! අක්කා!! මා වැනි පව්කර මල්ලී කෙනෙක් නොමැතිවාට ඉතා හොඳ ආදරණීය සහෝදර පිරිසක් සිටිත්. එය බලා සැනසෙන්න. අක්කලා සමූහයාට දුකක්, ශෝකයත් සංවේගයත් සමග ඇති වූ අප කීර්තියත් අප්‍රමාණ බව මා හොඳටම දනිමි. ඒ සියල්ලම මාගේ වරද නිසා සිදුවූ දෙයකි. දැන් රාත්‍රී 4ට පමණ ඇත. මාගේ අන්තිම ගමන යාමට සූදානම් විය යුතුය. මෙයින් ලිපිය අවසන් කිරීමට අදහස් කරමි. අවසාන මොහොතේදී දෙඅත් මුදුනත තබා සෑම සහෝදර පිරිසගේම දෙපා නැමද අවසාන ගමනට පිටත් වන්නෙමි.   


මීට අකීකරු මල්ලී   
ජේ.පී. රාජපක්ෂ   


‘ටර්ෆ් ක්ලබ් මංකොල්ලය හා මිනීමැරුම කෘතියට ඇතුළත්ව ඇති මේ අපරාධකරුවන්ගේ ලිපි කිසිදු වෙනස් කිරීමක් නොකොට ඒවූ අන්දමටම සිංහල බෞද්ධයා සිංහල ජාතිය යන පත්‍රවලින් උපුටා ගත් බවද එහි සඳහන්ව තිබුණි.   


ඉහත කී ග්‍රන්ථයේ අපරාධ ඇපල් නඩු උසාවියේ මේ නඩුවේ සභාපති ධුරයේ ක්‍රියා කළ ආචාර්ය ආර්. එෆ්. ඩයස් බණ්ඩාරනායක ජ්‍යෙෂ්ඨ විනිශ්චකාරතුමා (හිටපු අධිකරණ අමාත්‍ය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පියා) විසින් එවකට ප්‍රකට ගීතයක්ව තිබූ Riding Down from Bangor ගීයේ තනුවට ලියූ FOOTPRINTS IN THE SANDS OF CRIME (The Turf Culb Gang robbery) නම් ඉංග්‍රීසි කවි පන්තියේ සිංහල අනුවාදය සිරිපාල තිලකසේන මේ කෘතියට ඇතුළත් කර තිබුණේ අපරාධය නමැති වැල්ලෙහි පිය සටහන් නමිනි. එහි කවි තුනකි මේ.   


දුප්පත් ජෝන් සිල්වා ගසක බැඳ ඇත   
ඔහු මුදවා ගනු මැන යුතුව මෙත සිත   
මෙලෙසය ​පොලිසියට උන් යවන ලද පත   
වරදම කෙරෙහි දුදනෝ නොදැන යහ පත   
ලේ පැල්ලම් සහ කුස තුළ රැඳුණ බත   
ඔහු මළ මොහොත පැහැදිලි කොට කියනු ඇත   
නව විදු විදි දැනගත් ටික දෙනෙකු නෙත   
හමුවෙහි සියලු හොර බොරු තීරණව ඇත   
පිය සටහන් ලේ පැල්ලම් වෙරළ මත   
දැක දැන ගනී කොටියා සැරිසැරුණ අත   
අපරාධය නම් වු වැලි තලය මත   
සලකුණු රැඳෙන බව සොරුනට මතක නැත   


වරක් 1955 සැප්තැම්බර් මාසයේ දී කොළඹ නියෝජ්‍ය නගරාධිපතිවරයා හා සාන්ත බස්තියම කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයාව සිටි ආර්. ප්‍රේමදාස මහතා වැලිකඩ සිරකරුවන් බැලීමට ගොස් ඇත. ඔහු බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා සමග කතා කරමින් එල්ලා මැරීමට නියමිත සිරකරුවන් සිටින මැදිරි කරා ගොස් ඇත්තේ කුතුහලය පිරි සිතකිනි. කිසිවකු උස් හඬින් කවියක් කියනු ඇසී ප්‍රේමදාස මහතා ඒ පැත්තට අවධානය යොමු කළේය.   


කවුද ඒ කවි කියන්නේ   


හපුවලාන නඩුවේ සිරිසේන කියන විත්තිකාරයා  


හපුවලාන බෙහෙත් ශාලාවේ ද්විත්ව මිනීමැරුමේ විත්තිකාරයන් තිදෙනකු වූ සිරිසේන ජිනසේන හා බුහාරි මරණීය දණ්ඩනයට කැපවී සිටියෝය.   
සිරිසේන කවිකාරයෙක්ද ප්‍රේමදාස මහතා ජේලර්ගෙන් ඇසීය.   


නැතිව මිනිහට මොහොතක් නිකං ඉන්න බැහැ. මොනව හරි ලියනවා. පුංචි කඩදායි කෑලිවල කවි ලියලා ඒවා ඇහෙන්න කියවනවා.   
ප්‍රේමදාස මහතා සිරිසේන අසළට ළං විය.   


මොකද සිරිසේන ඔය කිව්ව කවිය?   
අම්මා ගැන ලිව්ව කවි දෙකක් සර්  


සිරිසේන තම අතේ තියෙන කොළ කෑල්ල ප්‍රේමදාස මහතාට දිගු කළේය. එය ඔහුට මිතුරෙකු විසින් එවන ලද ලිපියක පසු පැත්තේ පැන්සලකින් ලියන ලද කවි කිහිපයකි. ඉන් එක කවියකි මේ.   


සුළු අසනීපයක් ඇතිවුණ විටද කුඩා   
රෑ නිදි නොලැබ නොතකා සැප වෙසෙන විඩා  
පසුවන ඇඳ ළඟම දෙනෙතෙහි කඳුළු කඩා   
මට වස්තුවක් නැහැ අම්මේ ඔබට වඩා   
අද කවි ලිව්වේ නැද්ද සිරිසේන?   
නංගිට කවි ටිකක් ලිව්වා මහත්තයා.   


සිරිසේන පොතක් පෙරළා එහි තිබු කොළයක් ප්‍රේමදාස මහතා අත තැබීය. මහත් ආයාසයකින් කපා කොටා ලියූ කවි දෙකකි මේ.  


මෙහේ ඉඳන් කිව්වට දුක් නොගනිල්ලා  
ඇහේ බබා මෙන් නංගිව රැක ගල්ලා   
පහේ සෙනසුරා මකරෙට ඇවිදිල්ලා   
දිනේ විසිහයෙන් මම යන බව දැනගල්ලා   


1955 අගෝස්තු 5 වැනිදා පෝරකයේ එල්ලා මැරූ යක්කල අප්පුහාමි විසින් තමා සිටි සිර මැදිරියේ බිත්තියේ පැන්සලකින් ලියන ලද කවි දෙකක් කෙරෙහි තම සැලකිල්ල යොමු වූ බව ප්‍රේමදාස මහතා කියා ඇත. ඉන් එකකි මේ.   


බූරුවන් ලෙසින් සිටියේ ජූරියට   
පොලිසියෙන් උන් ගත්තා අත යටට   
එබැවින් උනේ එන්නට මට මේ තැනට   
දෙවියන් ඇතොත් හෙණ වැදියන් ඔවුන්හට   


ප්‍රේමදාස මහතා සිර ගෙදරට ගිය මේ ගමන ඔහු විසින් ලියන ලද ‘ඇති තතු’ නම් ග්‍රන්ථයට ඇතුළත්ව තිබුණි.   


1975 අගෝස්තු 5 වැනිදා බෝගම්බර බන්ධනාගාරයේ එල්ලා මැරීමට නියම වූ දෙද්දුව ජයතුංගගේ සිරිපාල හෙවත් ජේ.ඩී. සිරිපාල හෙවත් මරුසිරා 1949 උපන්නේ කොට්ටාවේ පන්නිපිටියේ මිල්ලගහවත්තේ ඩී.ජේ. ඩේවිඩ් අප්පුහාමිට හා ඇල්. පුංචිනෝනාගෙන් හත් දෙනෙකුගෙන් යුත් පවුලක හයවැන්නා ලෙසය.   


පන්නිපිටියේ ආනන්ද විද්‍යාලයේ පස්වැනි පන්තියේ ඉගෙන ගන්නා කාලයේ සිටම සිංහල සාහිත්‍ය කෙරෙහි ඔහුගේ උනන්දුව දැක්වූ බවත් කොළඹ යුයේ ප්‍රවීන කවියන්ගේ කවි රචනා ගැනද උනන්දු වැඩී මේ කාලයේ සිටම කවි ලියන්නට ක්‍රමයෙන් අත හුරු කර ගත් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ සම්මානනීය ගීත රචක චිත්‍රපට අධ්‍යක්ෂවරයකුව සිටි ධර්මසිරි ගමගේ ලියා තිබුණි. ඉරිදා ලංකාදීප පත්‍රයට ඔහු විසින් මරු සිරා ගැන ලියූ ලිපි පෙළ පාඨකයන් කියවූයේ කුතුහලයෙනි.   
ධර්මසිරි ගමගේට මරු සිරා ගැන උනන්දුවක් ඇතිවූයේ අනුරාධපුර ඉරිදා ලංකාදීප නියෝජිත නිශ්ශංක කඳන ආරච්චි විසින් මරුසිරා ගැන ලියා එවා තිබූ කෙටි ලිපියේ අඩුලුහුඬු තැන් සකස් කිරීමට සහෝදර කර්තෘ මාණ්ඩලික රත්නපාල විතාන විසින් පැවරීමෙන් පසුය.  
සිරිපාල විසින් මරණයට පැය කීපයකට පෙර මවට, පියාට හා බිරිය වූ රං මැණිකාට ලියනලද කවි කීපයක් සහිත එම ලිපියට විතාන හා ගමගේ මාධ්‍යවේදින්ගේ සිත් සසල වූවාට සැක නැත. ධර්මසිරි ගමගේ තමා විසින් පසුව ලියූ මරු සිරා කෘතියේ මෙසේ සඳහන් කරයි.   


ඔහුගේ බිහිසුණු මැරවර දිවි පෙවෙත ගැන කියවීමෙන් මා තුළ ඇතිවූ හැඟීම් දහරට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ සංවේදනයක් මේ කවි කියවීමෙන් මගේ සිතෙහි ඇති විය. සිරිපාල විසින්ම ලියන ලද නම් ඔහුගේ දිවියෙහි බොහෝ දෙනකු නොදුටු විස්මිත පැත්තක්ද තිබෙන්නට ඇතැයි මට සිතිණි. අඳුරු සිර මැදිරියටම වැසීමෙන් අනාවරණය නොවූ ඔහුගේ දිවියෙහි අප නුදුටු මේ පැත්ත වඩාත් සමීපව විමසීම සඳහා ඒ කවි කිහිපයෙන් මම අනුබලයක් ලැබුවෙමි. මරු විකලෙන් කවි කියමින් සීපද ගයමින් පෝරකයට ගිය මිනිසුන් ගැන මා තොරතුරු අසා තිබුණද මරණය ආසන්න පැය කීපය තුළ මේ අන්දමින් කවි රචනා කළ පුද්ගලයන් පිළිබඳව මා දැන සිටි තොරතුරු විරලය.   
සිරිපාල හා රංමැණිගේ ප්‍රේමකතාව ඔබ මීට පෙර අසා ඇති. වයස අවුරුදු විසි එකක් වූ සිරිපාල තිස්තුන් හැවිරිදි ගැහැණු දරුවන් හතර දෙනෙකුගේ අම්මා කෙනෙකු වූ මෝරපු කණවැන්දුම් ගැහැනියක වූ රංමැණිකාට ආදරය කිරීම තමාට සාප වදින බව ඇය සිරිපාලට කියා තිබුණාය.   


එහෙත් සිරිපාල රංමැණිකාට හා දරුවන්ට අසීමිතව තිබූ ආදරය මානව දයාව ඔහු මරණයට දින තුනකට පෙර අ​ගෝස්තු 2 දින බෝගම්බර සිරගෙදර සිට රංමැණිකාට එවූ ලිපියේ මැණිකේ කුමාරි, රාණි හා සීතා යන දැරියන් ගැන ලියූ කවියෙන් මොනවට පැහැදිලි වෙයි.   


මැණිකේ කුමාරි රාණි හා සීතාද   
දැන් පොඩි දූවරුන් කෙතරම් වැඩිලා ද   
යන්නට පළමු මරුවා හා වී හා ද   
ඒ අය මතක් කළ බව පවසනවා ද   


මරණයට දින දෙකකට පෙර සිරකුටියේ සිට සිරිපාල මවට යවන ලද කවිපෙළක කවි දෙකකි මේ.   


හේවිසි දවුල් හඩ දළදා මැදුරෙ ඇහේ   
නිදහස් සතුටු සුවයක මල් සුවද ඉහේ  
පස්වැනි දින උදේ අම්මේ ඇසල මහේ   
අවසන් ගමන් යමි නැවතිය හැකිද නොහේ   
අම්මේ තාත්තේ මගේ නෙත් දෙකට සම   
සිහිපත් කළෙමි කරනෙමි මොහොතකට හැම   
විරුවකු පරිදි දිවි දෙමි ඉරණමට මෙම   
විඳිමින් දෙපා ඔබගෙන් සමු ගතිමි මම   


රං මැණිකා අන්තිම වරට සිරිපාල බලන්න කුම්බිච්චියේ ඇලන් නෝනා අක්කත් එක්ක සිරිපාල බැලීම ගිය අවස්ථාව ගැන ධර්මසිරි ගමගේට විස්තර කර තිබුණේ මෙසේය.   
මරන්න නියම කරල තිබුණට කලින් දොහේ (4දා) මං ඇලන් අක්කා එක්ක මහත්තයා (සිරිපාල) බලන්න ගියා. මහත්තයා දුටුවම අක්කටයි මටයි පපුව පත්තුවෙලා කතා කර ගන්න බැරිව ඇඬුණා.   


මොකටද අඬන්නේ. මාව බලන්න ඇවිත් අඬන්න ලැජ්ජ නැන්ද? මරණෙට මගේ හිතේ බයක් නැහැ. අක්කා, හෙට උදේ වෙනකං වුනත් මට කල් වැඩියි. මහත්තයා කිව්වා.   
අපි අන්තිමට එන්න හදනකොට මැණිකේ මාව මතක් වෙන්න කියලා මට කොල කෑල්ලක් දුන්නා. මේ මහත්තයාගේ අන්තිම වචන.   


රංමැණිකා මගේ මට සිටි එකම පණ  
හෙට උදයේ අටට නිමවෙයි මගේ පණ   
වරදක් නොම සිතා මා යන ගමන දැන   
දරුවන් සමග ඔබ යහතින් සිටිනු මැන   


මේ වනවිට රංමැණිකාට සිරිපාලට දාව දරුවකු සිටියාය.   


වැලිකඩ හා බෝගම්බර සිර මැදිරිවල මරණය කැපවූ සිරකරුවන් විසින් ලියූ ලිපි හා කවි ඇතුළත් වෙනමම සාහිත්‍යයක් අතීතයේ පිය සටහන් අතර සැඟවී තිබේ.   


ඒ.ඩී. රන්ජිත් කුමාර   
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්