උනුන් මරා ගන්නා වන සත්තු


 

බුද්ධෝත්පාද සමයේ සිදුවීමකින් මගේ කතාව ආරම්භ කරමි. තම්බපන්නියේ එකල විසූ යක්ෂ සහ නාග ගෝත්‍රිකයින්  එකිනෙකා මරා ගන්නා ද්වන්ද යුද්ධයකට සැරසෙන බව දිවැසින් දුටු ත්‍රෛලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ අහසින් ලංකාවට (තම්බපන්නියට) වැඩමකොට එම පිරිසට ධර්මය දේශනා කිරීමෙන් යුද්ධය සමථයකට පත් කළ බව බුදු දහමේ සඳහන් වෙයි. කොළඹ අලුත්කඬේ උපරිමාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොඩවදින අපගේ දෙනෙත් යොමු වන්නේ එම සිදුවීම බිත්තියක පින්තාරු කොට ඇති ආකාරයයි. 


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු මැති ඇමැති මන්ත්‍රී තුමන්ලා උනුන් මරා ගන්නා තරමට නැතත්, ඔවුන්ගේ හැසිරීම් ඒ ආසන්නයට ළඟා වෙන බව රූපවාහිනී තිරයේ අපි දැක ඇත්තෙමු. 


ඇත්තෙන්ම බුදුන් වහන්සේ යක්ෂ නාග ගෝත්‍රිකයින් හට ධර්මය දේශනා කිරීමේ පින්තාරු කිරීම පාර්ලිමේන්තු සභා ගැබට ද උචිත යැයි මට හැඟේ. පාර්ලිමේන්තු සභා ගැබේ පසුගිය කාලයේ අප දුටු සිදුවීම් ඉන් පහළ මට්ටමට ද අවතීර්ණය වී ඇති බව පෙනේ. වසරකට මේ රටේ සිදුවන මිනීමැරුම් ගණන සියයකට අධිකය. දියුණු යැයි සම්මත මිනිස් සමාජයේ හැසිරීම් එසේ නම් තිරිසන් සතුන් ගැන කවර කතා ද? 


වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුරා වසර 40ක් විවිධ ජාතික වනෝද්‍යානවල සේවය කොට ඇති මා වනසතුන් උනුන් මරා ගන්නා ආකාරය දැක ඇත්තෙමි. මෙම ලිපියේ අරමුණ ඉන් බිඳක් ඔබ හමුවේ තැබීමටය. 


ඇතකු අලියකුට එරෙහිව මා යාල (රුහුණු) ජාතික වනෝද්‍යානයේ භාරකරු (Park Warden) හැටියට සේවය කළ (1985-1990) වකවානුවේ උද්‍යාන මූලස්ථාන ප්‍රදේශය ගොඬේකළපුව තම විසුම්බිම (Home Range) කරගෙන විසූ වලිග කොටා නමැති අලියා ගැන නොදැන සිටි සංචාරයකු සිටියේ නම් ඒ කලාතුරකින්ය. උගේ උස අඩි 8 1/2ක් පමණ විය. 


සේවක නිල නිවාසවලින් මෙන්ම උද්‍යාන මූලස්ථානයට නුදුරින් පිහිටා තිබූ යාල සෆාරි සහ බ්‍රව්න්ස් සංචාරක හෝටලවලින් (2004 සුනාමි මුහුදු රළ සැඩ පහරින් මුහුදු බත් විය) ඉවතලූ ඉතිරි ආහාර බුදීමට මෙම අලියා පුරුදුව සිටි අතර උද්‍යානය තුළට පිවිසියේ ඉඳහිටය. වලිගයේ දිග අඩි 03 පමණ වූ අතර වලිගය අග ‘හවරිය’ කැඩී ගොසිනි. 


වන අලින්ගේ පිරිමි සතුන් සටනට පිවිස සිටිනා කල පරාජිතයා පසුබැස ආපසු හැරී දුවනා විට ඌ ලුහුබැඳ යන අනික් අලියා දිවයන අලියාගේ වලිගය හොඬවැලින් අල්ලා අදියි. එවිට වලිගයේ හවරිය කැඩීයයි. වලිග කොටුන් බිහිවන්නේ එමගිනි. 
යාල වනාන්තරයේ නිතර ඇවිද ගිය මට කැඩී ගිය එවැනි ‘හවරි’ හමුවී තිබේ. 


දිනක් පෙ.ව. 11ට පමණ ජාතික උද්‍යානය තුළ විසූ අඩි 8 1/2 පමණ උසැති දළ ඇතකු වලිග කොටාගේ විසුම් බිමට පිවිසියේය. වලිග කොටා මෙම ඇතා දෙසට ලහි ලහියේ පිය නැගුවේ කෝපයෙනි. ඉක්බිතිව උන් දෙදෙනා නලල්තල (Foreheads) හප්පා ගනිමින් සටනකට එළඹියේය. විනාඩි 15ක් පමණ මෙම සටන දෙස බලා සිටියෙමි. 


ප්‍රේමරත්න (වනසත්ව නියාමක) මුන් දෙන්නා එලවා දමනව. මම උපදෙස් දුනිමි. ඔහු තවත් සේවකයින් රැසක් කැඳවාගෙන අලි දෙදෙනා එලවා දැමීමට ගත් ප්‍රයත්නය අසාර්ථක විය. 


“සර් අලි වෙඩිල්ලක්  දමන්න ද?” ප්‍රේමරත්න විමසීය. “එපා ඔයාට පිස්සුද? අනික් සත්තු බයේ දුවනවානේ. ගල් විසිකරලා එලවා දමනවා. නැත්නම් හුලු අත්තක් පත්තු කරලා උන් දෙන්නා ළඟට විසි කරනවා” 


බැරිම තැන මම තුවක්කුවට පතොරමක් දමා අහසට වෙඩිල්ලක් තැබුවෙමි. ඉන් නික්ම ගිය ශබ්දයට බිය වූ ආගන්තුක ඇතා මඳ දුරක් දිව ගියත් වලිගකොටා ඌ පසුපසින් දිවගොස්  සටන ඇරඹීය. අලි දෙදෙනා නැවතත් හිසෙන් හිස හප්පා ගනිත. 


තවත් විනාඩි දහයක් පමණ ගතවිය. වලිගකොටා හෙම්බත්වී ඇති සැටියකි. අපි බලා සිටියදීම ඇතා එක්වරම ස්වල්ප දුරක් පස්සට ගොස් වේගයෙන් දිවවුත් උගේ තියුණු දළ දෙකින් වැරෙන් වලිග කොටාගේ උරහිසේ පිටුපසට වරක් ඇන්නේය. දළ දෙක අඩි හයක් පමණ වලිග කොටාගේ ශරීරය තුළට ගිය බව අපට පෙනිණි. මොහොතකින් වලිග කොටා බිම ඇද වැටිණි. ඇතා ඉවත්ව යන සැටියක් නොපෙනේ. 


“ප්‍රේමරත්න දුවලා ගිහිල්ලා තන්ඩර් ෆ්ලෑෂ් වෙඩි පහකුයි සිග්නල් සර්පන්ට් (Signal Serpeant) වෙඩි පහකුයි අරගෙන එන්න. ඉක්මනට ගිහින් එන්න.” 


තන්ඩර් වෙඩිල්ල විශාල රතිඤ්ඤයකි. සර්පන්ට් වෙඩිල්ල දැල්වූ විට විශාල ගිනි බෝලයක් වේගයෙන් ඉදිරියට නික්ම ගොස් අරමුණු කරගත් ස්ථානයේ ගිනි පුපුරු පිටකරමින් රතිඤ්ඤයක් මෙන් පුපුරා යයි. ගිනි බෝලය අලියාගේ ශරීරයේ වැදුණේ නම් උගේ හම පිච්චී යයි. 


මම තුවක්කුව පසෙක තබා සර්පන්ට් වෙඩි දෙකක් හරි ඉලක්කයට ඇතා දෙසට දල්වා පුපුරවා හැරියෙමි. ප්‍රේමරත්න තන්ඩර් වෙඩි දල්වා ඇතා දෙසට විසි කළේය. ක්ෂණයකින් ඇතා බියවී පළා ගියේය. 


වලිග කොටා අමාරුවෙන් දෙපයින් සිට ගති. ඉක්බිතිව සිද්ධිය  වනජීවි අධ්‍යක්ෂවරයාට දුරකථනයෙන් දැන්වූ විට එතුමන් නොපමාව නන්දන අතපත්තු පශු පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා යාලට එවීය. 


ඔහු මා අමතමින් “විල්සන් මම මේ අලියාට නිර්වින්දන බෙහෙත් විදලා සිහි නැති කරනවා. ඊට පස්සේ ප්‍රතිකාරය කරමු.” නිර්වින්දන බෙහෙත ලද වලිග කොටා නුදුරුව පිහිටි ගල්තලාවට නැග ගති. නිර්වින්දන බෙහෙත ක්‍රියාත්මක වී එක්වරම ගල් තලාව මත ඇද වැටිණි. පශු වෛද්‍ය නිගමනය වූයේ උගේ හිස ගලේ හැපීම නිසා හිස් කබල පුපුරා යාමෙන් මියගිය බවය. 


වනාන්තරයේ වෙසෙන බොහෝ පිරිමි සතුන් තම විසුම් ප්‍රදේශයට ඇතුළු වීමට ඉඩදෙනුයේ ගැහැණු සතුන්ට පමණකි. උන්ගෙන් එකියක්  සංවාස තත්ත්වයට එළඹ සිටින්නේ නම් ඔහු ඇය සමග රති කෙළිය අරඹන්නේය. පිරිමි සතකු ඇතුළු වුවහොත් ඌ පලවා හරින අතර පළා නොයන පිරිමි සතා සමග මාරාන්තික ලෙස සටන් වදී. 

 


වලස් නින්ද 


යාල වනෝද්‍යානයේ බුතව පැරණි බංගලාව ජනප්‍රිය බංගලාවකි. ඊට නුදුරින් මුහුදු වෙරළ අයිනේ වන රොදකි. ඒ ආසන්නයේ දැවැන්ත කළුගල් ගොඩකි. වලසුන් කිහිපදෙනකු එදා මෙන්ම අදටත් එම කළුගල් ගොඩ අරක්ගෙන සිටිත්. බංගලාවේ නිදා සිටි දිනක රෑ දෙගොඩ ජාමයේ ඇහැරී බලනවිට මා දුටුවේ නුදුරින් අත් පුටුවක් මත ගොරවමින් නිදා සිටින වලසෙකි. බංගලා භාරකරුවන් අවදි කරවා වලසා එලවා දැමුවේ සිදුවිය හැකි අකරතැබ්බයෙන් ගැලවීමටය. 

 


හිවලුන් රැළක් පිඹුරෙකු සපා කයි 


තවත් දිනක රාජකාරියක් සඳහා එම බංගලාවට ගොස් සිටි අවස්ථාවක දහවල් 11.00ට පමණ බංගලාව පිටුපසින් හිවලකු යටිගිරියෙන් කෑ ගසනවා ඇසී ඒ දෙසට ගියවිට දකින්ට ලැබුණේ දිගින් අඩි 5 1/2ක් පමණ වූ පිඹුරකු හකුවලින් හිවලකු අල්ලාගෙන සිටි ආකාරයයි. අසරණ වූ හිවලා දිගින් දිගටම බෙරිහන් දෙයි. ස්වභාවයෙන්ම පිඹුරන්ගේ මුඛයේ තියුණු උල් දත් පස්සට නැමී තිබේ. හකුවලට හසුවන කිනම් සතකුටවත් ඉන් ගැලවිල්ලක් නැත. තිත්මුවකු එසේ ග්‍රහණයට ගැනීමට පෙර පිඹුරා තම වලිගය ගසක වෙලා ගනී. එමගින් ග්‍රහණයට හසුවූ මුවා දිව යාමට තැත් කළත් එය නිශ්ඵල වේ. පිඹුරාගේ හකු දෙක ඉල ඇට එකිනෙකට සම්බන්ධ වී නැත. ඒ වනාහි විශාල සතුන් ගිල දැමීමට පහසුවීම සඳහා වූ ස්වභාවික නිර්මාණයකි.


“සර්... පිඹුරට ගහලා හිවලා බේරලා අරින්නද...?” මගේ රියැදුරු විමසීය. 


“එපා... ඒ උගේ ආහාරය නේ... මොනවත් කරන්න එපා බලාගෙන ඉන්න...” මගේ පිළිතුර විය.


ගත වූයේ තවත් නිමේශ කිහිපයකි. අවට වනයේ සිට දිව ආ දොළොස් දෙනෙකුගෙන් සමන්විත හිවලුන් (නරියන්) රංචුවක් පිඹුරාගේ කඳ දිගට සපා කන්නට විය. එම සිදුවීමත් සමග ග්‍රහණයේ සිටි හිවලා ද ඉන් මිදී පිඹුරා සපා කන්නට විය. සිත් සේ පිඹුරා සපා කා වනයට පළාගිය හිවලුන්ගෙන් හතර දෙනෙකු ආපසු දිවවුත් වේදනාවෙන් ඇඹරෙන පිඹුරා නැවතත් සපා කා වනයට පළා ගියෝය. 
ස්වල්ප වේලාවකට පසු පිඹුරා ආසන්නයේ තිබූ මලිත්තන් ගස මුලට බඩ ගාගෙන ගොස් ගසේ කඳ ඉහළට නැංගේය. පසුදින පාන්දර පරීක්ෂා කරන කල අප දුටුවේ පිඹුරා මියගොස් නිල මැස්සන් වසා ඇති ආකාරයයි.

 


අලි කිඹුල් වෛරය:-


අලි-කිඹුල් වෛරය ගැන නොදන්නා වනජීවී ලෝලියකු නැත. යාල ජාතික වනෝද්‍යානය තුළ පිහිටා තිබෙන සිතුල් පව්ව චිත්තලපබ්බත විහාරය පුරාණ පුදබිම මාගම (තිස්මහාරාම) රාජධානි කොටගෙන විසූ පසු කාවන්තිස්ස රජතුමා විසින් (ක්‍රි.පූ. 2 වැනි සියවසේ) කරවන ලද්දක්. එහි දොළොස් දහසක් මහරහතන් වහන්සේලා වැඩ විසූ බව පොතපතේ සඳහන් වෙයි. තිස්සමහාරාම සිට යෝධ කණ්ඩිය හරහා එම පුද බිමට දුර කි.මී. 35කි. එම මාර්ගය වැටී ඇත්තේ උද්‍යානයේ “හීන්වැව” ජලාශය ආසන්නයෙනි. වසරේ අගෝස්තු / සැප්තැම්බර් මාසවලදී (නියඟය) පවා මෙම ජලාශයේ ජලය රඳා පවතින බැවින් වන අලින්ට සහ කිඹුලන්ට “හීන්වැව” තෝතැන්නකි.


සිතුල්පව්ව වන්දනාවට යන බැතිමතුන් හීන්වැවට නුදුරින් වාහන නතරකොට ජලාශයේ අලි සහ කිඹුලන් නැරැඹීමට (වන්දනා නඩ) එකල පුරුදුව සිටියහ. මේ රටේ දුප්පත් මහජනතාව යාල වනෝද්‍යානය දැක බලා ගැනීමට ආශාවෙන් පසුවූවත් මිල මුදල් යාන වාහන නොමැති බැවින් එම අවස්ථාව ඔවුනට අහිමිවී තිබේ. මේ බව දැනසිටි මා ඔවුන් හීන්වැව ජලාශයේ අලි සහ කිඹුලන් නැරැඹීමට යාම ගැන එරෙහි නොවූයෙමි.


පිපාසයෙන් පෙළෙන අලින් වනාන්තරයේ සිට ජලාශය දෙසට පිය නගන විට දකින්නේ ජලාශ (ගොඩබිම්) තීරයේ අව්ව තපිනා කිඹුලන්ය. අලි රංචුවේ නායක ගැහැණු සතා ඇතුළු වැඩිහිටි ගැහැණු සතුන් ගමන් කරන්නේ ඉදිරියෙන්ය. කිඹුලන් දුටු සැණින් උන් හොඬවැල් උස්සාගෙන බෙරිහන් දෙමින් පහරදීමට වේගයෙන් ඉදිරියට හඹා එන නමුත් ක්ෂණයකින් කිඹුලන් සියල්ල ජලයේ සැඟවී යති.


හීන්වැව උද්‍යාන බංගලාව ජලාශයට නුදුරින් පිහිටා ඇත. දිනක් සවස 4.00ට පමණ මම බංගලාවට පැමිණ සිටියෙමි. ජලාශයේ කෙළිදෙලෙන් දියනාමින් සිටි 35ක පමණ අලි සමූහයක් මට පෙනේ. අලි රංචුවක් යනු පවුල් ඒකක ගණනාවක එකතුවකි. උන් මාතෘ මූලිකය. රංචුව දුර ගමනක් යනවිට සමූහයක් ලෙස යන අතර තණ පිට්ටනියක ආහාර බුදිනා විට පවුල් ඒකක වෙන්වන බව පැහැදිලිවම දැකිය හැකිය.

 


කාලය සෙමින් ගතවිය. මෙසේ අප බලා සිටියදී එක්වරම අලි පැටවකුගේ මර හඬක් ජලාශය දෙසින් ඇසිණි. සිදුවූයේ කුමක්ද කිසිවකුත් නොදත්තෝය. කෙළිදෙළෙන් සිටි අලි “ගල් ගෙඩි” මෙන් නිසොල්මන් විය. ඉක්බිතිව උන් එක එකා ජලාශයේ සිට ගති. ස්වල්ප වේලාවකට පසු දුක්මුසු ලීලාවෙන් ජලාශයෙන් ඉවතට ගමන් කරමින් සියලුම අලි වැව් බැම්ම :ඕබන ඊමබා* දිගේ රොක් විය. එක් දැවැන්ත ඇතින්නියක් ජලාශයේ ඉතිරි විය. ඉක්බිතිව ඇය ඉවතට යනවිට අප දුටුවේ මිය ගිය අලි පැටවකු හොඬයෙන් උස්සාගෙන යන බවයි. ඒ වනවිට වැව් බැම්ම මත සිටි අලින් ඉවත්ව ගොසිනි. වැව් බැම්ම මතට පැමිණි අලි මව පැටවා බිම තබා තම ඉදිරි පාදවලින් පෙරළන්නට විය. ඌ මිය ගොසිනි.


වේලාව සවස 5.00 පමණය. අලි මව ඉවත්ව ගිය පසු අපි මියගිය පැටවා පරීක්ෂා කළෙමු. එමගින් මා නීරීක්ෂණය කළේ දිය යට සිටි කිඹුලකු පැටවාගේ හොඬ අග සපා කා ඇති බවය. අලි පැටවාගේ හොඬය අග ලේ සහිත තුවාල දැක ගතහැකි වූ අතර පැටවා දියේ ගිලී මියගොස් ඇති බව පසක් විය.

 

 

විල්පත්තුවේ ඌරු රංචුවක් කොටියකුට පහරදෙති


වල් ඌරන් (Wild Pigs) සහ කොටියන් (Leopard) වනාන්තරයේ දවස ගෙවන්නේ එකිනෙකාට වෛරයෙන්ය. ඌරු රංචුව ආහාර සොයමින් වනයේ සැරිසරනා විට පැටවුන් යන්නේ පිටුපසින්ය. සටකපට කොටියන් ගසින් ගසට මුවාවෙමින් හෙමින් සීරුවේ පිටුපසින් ගොස් පැටවකු කටින් ඩැහැගෙන අසල ගසක් උඩට නැග ගනී. ඌරු රංචුව ගොරවමින් කොටියා ලුහුබැඳ ගියත් එය අසාර්ථක වෙයි.


විල්පත්තු ජාතික උද්‍යානයේ භාරකරුව සිටි (1991) සමයේ සිදුවීමක් මට අද මෙන් මතකය. මෙම උද්‍යානයේ (වපසරිය හෙක්ටයාර් 131,693) ස්වාභාවික විල්ලු (Villus) හතළිහක් පිහිටා තිබේ. විල්ලු සමූහය නිසා විල්පත්තුව නම යෙදී තිබේ. විශාලම විල්ලුව “කොක්කාරිය” ජලය ලුණු සහිතය. උද්‍යානයේ දකුණු මායිම කලා ඔයයි. උතුරු මායිම “මෝදර ගං ආරු” ගඟයි.
දිනක් පෙ.ව. 11ට පමණ මම “බොරුපන් විල” අසලින් ජීප් රියකින් යමින් සිටියෙමි.


“අන්න සර්... කොටියෙක්...” මගේ රියැදුරු වන ලැහැබ තුළ විවේක සුවයෙන් සිටින දැවැන්ත කොටියකු පෙන්විය. 
“සිල්වා... ජීප් එක නතර කරන්න...” 


කොටියා විල්ලුවේ ජලාශ තීරයේ “කලාඳුරු” උගුලා බුදින ඌරු රංචුව දෙස බලා සිටී. බොරුපන් විලේ ආහාර සොයමින් ඇවිදිනා ඇඹල කොකුන් (Pa inted Stork) සහ දෑ කුඩු කොකුන් (Isbis) අප ගැන තැකීමක් නැත. සේරු පක්ෂීන් (Teals) රංචුවක් විල්ලුවේ සිට ඉහළ ආකාශයට ඉගිල යනු පෙනේ. ස්වභාව සෞන්දර්යයේ චමත්කාරය මෙතෙකැයි කියා නිම කළ නොහැක. ඒ වසරේ මැයි මාසය බැවින් වනාන්තරයේ පලු ගස්වල ගෙඩි ඉදී කහපාටින් ගස් වැසී තිබේ. 


ජීප් රථයේ වාඩිවී සිටිනා මට ඌරු රංචුවත් කොටියාත් මැනවින් පෙනේ. හුන් තැනින් නැගිටගත් කොටියා විපරමින් ඈත ඌරන් දෙසට දෙඇස් යොමාගෙන සෙමින් උන් දෙසට පිය නගන්නට පටන් ගති. ඌරන් ආසන්නයට ළඟාවෙන විට කොටියා බඩගාමින් යන්නට වූයේ උන්ගේ අවධානයෙන් ගැලවී සිටීමටය.


එහෙත් කොටියාගේ කුරුමානම වැරැදුනි. ළඟාවන කොටියා දුටු ඌරු රංචුව කෑ ගසමින් හඹාවිත් කොටියා වටකරගෙන හතර දෙසින්ම පහර දෙන්නට වූහ. ඌරන්ගේ උඩු ඇන්ඳේ සහ යටි ඇන්ඳේ අඟල් 10-12 දක්වා දිගැති තියුණු උල් සහිත දළ ජෝඩු දෙකක් බැගින් පිහිටා තිබේ. හොඳින් වැඩුණු ඌරකුගේ බර කිලෝ 130 පමණ වෙයි. පහර කෑමෙන් ගැලවීමට කොටියා උඩ පැන්නත් බිමට වැටෙන විටම ඌරු ප්‍රහාරය එල්ල වෙයි. විනාඩි දොළහක පමණ වූ ප්‍රහාරය අවසාන වූයේ කොටියා අඩි 7ක් පමණ උඩට පැන ඌරු රංචුවෙන් ඉවත බිමට වැටී වනාන්තරයට පලායාමෙනි. උගේ වලිගය මැදින් කැඩී තිබූ බව අපි දුටුවෙමු. ඌරාගේ ආයු කාලය වසර 15 සිට 18 දක්වාය.

 


වලස් කිඹුල් ද්වන්ද සටන - දෙදෙනාම මිය යති


වසරේ අගෝස්තු නියං සමයේදී යාල වනෝද්‍යානයේ ජලාශ වැව් සහ මැණික් ගඟ වියළී යයි. “නමුනුකුල” කඳුවලින් ආරම්භවන මැණික් ගඟ “දියලුම” ඇල්ල (උස අඩි-722) නිමවා කතරගමදී කඳසුරිඳුගේ ගතසිත පිනවමින් යාල වනෝද්‍යානය තුළින් නාරිලතාවක් ආකාරයෙන් ගලාගොස් ඉන්දියන් සාගරයට එකතු වෙයි. එම ස්ථානය පිළින්නාවයි. යාල වනෝද්‍යානය තුළ සංචාරකයින් හට රාත්‍රි ලැඟුම් ගැනීම සඳහා කූඩාරම් කඳවුරු බිම් (Camping Sites) ගණනාවක් ඉදිකොට තිබේ. එම බිම්වල ලැගුම් ගෙන සිටින අයට පිපාසයෙන් පෙළෙන වන සතුන් දිය බීමට මැණික් ගඟට බසින වන සතුන් පෙනේ.


දිනක් කොස්ගස් මංකඩ කූඩාරම් බිම පසුකරමින් හොඳින් වැඩුණු වලසෙක් ගඟට බැස්සේය. ගඟෙහි ඇත්තේ කුඩා දිය වළවල් පමණකි. ගඟෙන් බහින තැනම සිටියේ දැවැන්ත කිඹුලෙකි. දිය බීම පසෙකලා වලසාට සිදුවූයේ කිඹුලා සමග සටන් වැදීමටය. පෙරවරු දහයට පමණ ආරම්භ වූ සටන සවස් වනතුරුම පැවැතිනි. එකිනෙකා සපා කෑම නිසා හෙම්බත්වූ වලසා හැන්දෑවේ මිය ගියේය. පසුදින එළිවෙන යාමය වනවිට කිඹුලා ද මිය ගියේය. කිඹුලාගේ ආයු කාලය වසර 100 ඉක්මවන අතර වලසාගේ වසර 20ක් පමණය. 


කලින් සඳහන් කළ පරිදි යාල විල්පත්තු ජාතික වනෝද්‍යානවල මෙන්ම වියළි කලාපයේ පලු ගස්වල ගෙඩි පැසෙන කාලය වසරේ මැයි/ ජුනි මාසයන්ය. එම වකවානුවේ බොහෝ වලසුන් දවස ගෙවනුයේ ගස් උඩ පලු ගෙඩි බුදිමින්ය. කොටි වෙහෙස වී මුවන් මරා, බඩ පුරවාගත් පසු විවේක සුවයෙන් සිටීමට පලු ගස් උඩට නගිති. දිනක් මේ අන්දමින් යාල මහසීවලව උද්‍යාන බංගලාවට හැරෙන හන්දියේ පලුගස උඩ වලසකු පලුගෙඩි බුදිනවා දැක ඈත තියාම මගේ රථය නතර කරන ලෙස රියැදුරුට උපදෙස් දුනිමි. ස්වල්ප වේලාවකට පසු කොටියකු පලුගසේ කඳ දිගේ උඩට නැංගේ අප බලා සිටියදීය. විවේක ගැනීම අමතකකොට දිවියාට සිදුවූයේ ගස උඩදීම වලසා සමග සටන් වැදීමටය. විනාඩි තුනක පමණ කාලයක් දෙදෙනා ගොරවමින් ගස උඩ පොර කෑ අතර එක්වරම වලසා බිම ඇද වැටිණි. වැටුණු ඉරියව්වෙන්ම වලසා විනාඩි දෙක තුනක් සිට නොණ්ඩි ගසමින් ඉවතට ගියේය. ඌ බිම වැටුණු තැන තණබිස්සේ ලේ පතිතව තිබිණි. කොටියා ගස උඩ දිග ඇදී විවේක සුවයට වැදිණි.

 


වියරු වැටුණු මුගටියෙක් තලගොයකු මරා දමයි


සාමාන්‍යයෙන් අප දැන සිටින්නේ මුගටි ((Mongoose) නාගයින් සමග සටන් වැදි උන් මරා දමන ආකාරයයි. මා විල්පත්තු ජාතික උද්‍යානයේ සේවයේ යෙදී සිටියදී “මහ පතැස්සදී” දුටුවේ වියරු වැටුණු මුගටියකු තලගොයකු මරා දැමූ හැටිය.
එක් වැසිබර දිනයක තලගොයකු (Monitor Lizard) වැව්පිටියේ බෙනයක් හාරා උගේ ශරීරයෙන් අඩකටත් වඩා එය තුළට ඇතුළු කරගෙන සිටියේ “ගැඩවිල්ලන්” බුදිමින්ය. එතැනට හදිසියේ කඩා වැදුණු මුගටියකු තලගොයා දැක උගේ ශරීරය දිගින් දිගටම සපා කන්නට විය. එහෙත් තලගොයා එසේම සිටියා විනා හිස සහ කඳ එළියට ගත්තේ නැත.


බැරිම තැන මුගටියා තලගොයි බෙනයට අඟල් අටක් පමණ දුරින් තවත් බෙනයක් හාරා එය තුළට රිංගා ගති. ස්වල්ප වේලාවකින් තලගොයා දඟලමින් හිස සහ කඳ එළියට ගති. එවිට අප දුටුවේ මුගටියා තලගොයාගේ මුහුණ සපාගෙන එල්ලී සිටි ආකාරයයි. මුගටියා තලගොයා හැර ගියේ ඌ මියගිය පසුවය.

 


ගැරඬියකු පොල්මල් කරවලා ගිල දමයි


“ගැරඬින් (Rat Snake) මරා පව් සිද්ධ කරගන්නට එපා” යැයි පැරැණි කියමනක් තිබේ. පානම කුඩුම්බිගල ආරණ්‍ය ආසන්නයේ විශාල කහ ගැරඬියකු (Yellow Rat Snake) පොල්මල් කරවලකු (Krait) ගිලගත් අන්දරය පවසමින් මගේ කතාව අවසන් කරමි. 
1972 වසරේ පානම වනසත්ව අඩවිය භාරව රාජකාරි කළ මගේ මිත්‍ර චන්ද්‍රා ජයවර්ධන මට පැවැසූ සිද්ධිය මෙසේය.


“විල්සන්... එදා උදේ 10ට විතර මම කුඩුම්බිගල ආරණ්‍ය වාසී ආනන්ද හිමියන්ගේ “ලෙන” දෙසට පාගමනින් යමින් සිටියා. ආනන්ද හාමුදුරුවෝ “චන්ද්‍රා මහත්මයා ඉක්මනට එන්න. අපූරු සිද්ධියක් බලාගන්න” කියා මට කතා කළා. අසල පිහිටි දිය පොකුණ අයිනේ කහ ගැරඬියකු සහ පොල්මල් කරවලකුගේ සටන උන්වහන්සේ පෙන්වුවා. 


ගැරඬියා දිගින් අඩි හයක් පමණය. කරවලා අඩි 2ක් පමණය. ගැරඬියා කරවලා කටින් සපාගෙන සිටි අතර ඌ කට ඇරගෙන ගුලි ගැසී සිටියා. ටික වේලාවකට පසු ගැරඬියා කරවලාගේ හිස පැත්තෙන් ගිල දැමීමට ආරම්භ කොට සම්පූර්ණයෙන්ම ගිල දැමුවා’ යි මා සමග පැවැසීය. 


වන සතුන් සැමවිටම එකිනෙකාට එරෙහිව එසේ හැසිරෙන්නේ නැත. වරක් මව අහිමි වූ කිරිබොන අලි පැටවකු සිතුල් පව්ව විහාරයේදී (යාල) හමුවිණි. එම පැටවා යාල II කොටසේ මුදා හැරියෙමි. පසුදින දුටුවේ වෙනත් අලි මවක් පැටවා භාරගෙන කිරි දුන් ආකාරයයි.