උඩු ගුවනේ කසළ එකතු කරන්න අමුතු විදිහේ ‘කුණු ලොරියක්’


පෙණ දහරක් විද අල්ලා ගන්නා කුණු පෘථිවි වායු ගෝල වෙත ගෙන ගොස් මුදා හැරේ.   

 

ස්ටාරොකට් ආයතනය නිපදවන, පෙණ විද කුණු ඇල්ලිය හැකි කුඩා චන්ද්‍රිකාව   

 

රාත්තල් 110 බර මේ ස්වයංක්‍රීය චන්ද්‍රිකාව   

 

 

කසළ ප්‍රශ්නය මහ පොළොවේ කාටත් පොදු ප්‍රශ්නයකි. මිනිසා අභ්‍යවකාශය ජය ගැනීමත් සමඟ අභ්‍යවකාශයේත් කසළ රැස් වී තිබේ. පෘථිවි කක්ෂයේ ඇති මෙම කසළ වන්නේ, අක්‍රිය වූ රොකට් සහ චන්ද්‍රිකා කැබලි, චන්ද්‍රිකා සහ රොකට්ටුවලින් ගැලවී ගිය කොටස්, අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමේදී ඉවත දැමූ සුන්බුන් සහ අභ්‍යවකාශයට බැහැර කෙරෙන ගගනගාමීන්ගේ මල මුත්‍රය. මේ සියල්ල සැලකෙන්නේ ‘අභ්‍යවකාශ කසළ’ යනුවෙනි. පෘථිවි කක්ෂයේ මෙම කුණු කන්දරාව, උඩු ගුවනට යන සැමට ලොකු තර්ජනයකි. දැන්, මෙම කසළ අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කිරීමට රුසියන් සමාගමක් සූදානම් වෙයි.   


ස්ටාරොකට් නමැති එම සමාගම කසළ අර්බුදය විසඳීමට අපූරු චන්ද්‍රිකාවක් සැලසුම් කර ඇත. මකුළුවා දැල දමා ගොදුරු අල්ලා ගන්නාක් මෙන්, පෙණ විදීමකින් උඩු ගුවනේ කසළ අල්ලා ගෙන ඇද ගනිමින්, පෘථිවි වායුගෝලය අද්දරට ගෙනැවිත්, පසුව වායුගෝලය දෙසට තල්ලු‍ කිරීම මෙම අපූරු චන්ද්‍රිකාව මගින් සිදු කෙරෙනු ඇත. පෘථිවි වායු ගෝලයට තල්ලු‍ කරද්දී, කුඩා සුන්බුන් එසේත් නැතිනම් කසළ ඉබේටම පිලිස්සී විනාශ වෙයි.   


‘ෆෝම් ඩෙබ්රි කැච්ර්’ යන නමින් හඳුන්වා ඇති මෙය කුඩා ප්‍රමාණයේ ස්වයංක්‍රීය චන්ද්‍රිකා‍වකි. ඒ තුළ ඇලෙනසුලු‍ පොලිමර් පෙණ විශේෂයක් ගබඩා කර ඇත. උඩුගුවන් කසළ අල්ලා ගැනීම සිදුවන්නේ එම පෙණවලිනි. ස්ටාරොකට් ආයතනයේ උපදේශක ආචාර්ය ඇලෙක්සැන්ඩර් ෂයෙන්කෝ ‘ෆෝම් ඩෙබ්රිස් කැච්ර්’ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කියයි.   

 

සක්වළ යානයක් මගින් මේ රාත්තල් 110ක් බර කුඩා චන්ද්‍රිකාව උඩු ගුවනට ගෙන ගොස් මුදා හරින අයුරු සිත්තරකුගේ ඇසින්.   

 

මෙවැනි සක්වළ වලාවක් දුටු විට බරල් හැඩයේ කුණු ‘ලොරිය’ විසින් පෙණ දහරක් විදිනු ලබයි.  

 


‘උඩුගුවනේ කසළ එකතුවීම එන්න එන්න ම වැඩි වෙනවා. දැන් පවතින තත්ත්වය ඉදිරියේ එන ව්‍යාපෘතිවලට ප්‍රශ්නයක් වෙනවා. අභ්‍යවකාශ ගවේෂණවලට වගේම තාක්ෂණික දියුණුවටත් එයින් විශාල බාධා ඇති වේවි. ඒ නිසා දැන් තියෙන තත්ත්වය අනුව ලොව පුරා සිටින විද්‍යාඥ පරපුරට සිද්ධ වෙනවා, එකට එක් වී මේකට විසඳුමක් සොයන්න. ෆෝම් ඩෙබ්රි කැච්ර් (කුණු අල්ලන පෙණ විදිනය) තමයි, දැනට මේ සඳහා ඇති වඩාත් හොඳම වියදම් අඩු ක්‍රමය.’   


‘දැනට ඇති සෑම තාක්ෂණයක් ම වාගේ යොදා ගෙන තමයි, මෙය තනා තියෙන්නේ. පියවරෙන් පියවර දියත් කරන ඉතාමත් නිවැරදිව ගණනය කොට තැනූ ආදර්ශයන් යොදා ගෙන පෘථිවියේ සිට ක්‍රියාත්මක කරවිය හැකි විධියටයි මෙය තනා ඇත්තේ.’ යැයි ඇලෙක්සැන්ඩර් ෂයෙන්කෝ වැඩි දුරටත් කියා සිටී. නිෂ්පාදන ආයතනය සැලසුම් කර ඇත්තේ මේ බැරල් හැඩයේ කුණු අල්ලන පෙණ විදිනය රොකටයක් මගින් උඩුගුවනට යැවීමටය.   


රාත්තල් 110 බර මේ ස්වයංක්‍රීය චන්ද්‍රිකාවක් වන මෙය යානයෙන් වෙන් වී ගොස් කසළ වලාවකට ළං වූ විට බූවල්ලකුගේ අඬු වැනි පෙණ ධාරා විද ඒක අල්ලා ගෙන ඇද ගෙන ගොස් පෘථිවි වායු ගෝලය වෙත තල්ලු‍ කරයි. වායුගෝලයට ඇතුළු වූ විට එම කසළ ගිනිගෙන දැවෙයි. පෘථිවියට වැටීමක් සිදුවන්නේ නැත. වායුගෝලය තුළම පිලිස්සී අළු බවට පත්වෙයි.   
දැනට කසළ කැබලි මිලියන 128කට වැඩි ප්‍රමාණයක් උඩු ගුවනේ පාවෙමින් තිබෙනවා යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒවා වෙඩි උණ්ඩ මෙන් අධික වේගයෙන් කක්ෂයේ ගමන් කරමින් පවතී. ඉතා වේගයෙන් ගමන් කරමින් කක්ෂයේ සැරිසරන මෙම කැබලි වැදීමෙන් කෘත්‍රීම චන්ද්‍රිකා ගු‍වනේ පාවෙන දුරේක්ෂ, අභ්‍යවකාශ යානා ආදිය ඕනෑම එකක් විනාශ වී යා හැකිය. ‘ෆෝම් ඩෙබ්රි කැච්ර්’ ට එය නැවැත්විය හැකි වේවි යැයි විශ්වාස කෙරේ.   

 


ලු‍සිත ජයමාන්න   
ඩේලිමේල් ඇසුරිනි