උඩින් මාළු යටින් මත්කුඩු


දඩබ්ම

කොළඹ අපරාධ පිටුපස කතාව

 

 

කොළඹ කුඩු පාතාලයේ කිරුළ තම හිස මත පලඳාගන්නට මාළිගාවත්තේ පාතාල කල්ලි අතර තිබූ සටන ඔවුන්ගේ ප්‍රබලයන් එකිනෙකා ඝාතනයට ලක්වෙද්දී ක්‍රමයෙන් බ්ලූමැන්ඩල් හා දෙමටගොඩ වෙත මාරු විය.   


දෙමටගොඩ පාතාලය නමින් පාතාලයක් තිබුණේ නැත. එහෙත් දෙමටගොඩ චමින්දගේ කල්ලිය නමින් පාතාල කණ්ඩායමක් ක්‍රියාත්මක විය. බ්ලුමැන්ඩල් පාතාලය නමින් පාතාලයන් නොවුණ ද බ්ලූමැන්ඩල් සංඛලාගේ කණ්ඩායමක් පාතාල ක්‍රියාකාරකම්වල යෙදුණහ. 

 
 මේ ​ෙදකට පරිබාහිරව යැයි මතුපිටින් පෙනී යන තවත් පාතාල කණ්ඩායම් කීපයක් කොළඹ කුඩු කිරුළට සටන් කරනු ලැබීය. ඒ තුප්පහි ආරච්චිගේ ලලිත් ප්‍රසාද් රුවන් නොහොත් සමිට්පුර කුඩු සුමිත්ගේ කල්ලිය හා කාරියප්පෙරුමගේ නුවන් සංජීව පෙරේරා නොහොත් සමිට්පුර චූටි උක්කුංගේ කල්ලිය මෙන්ම 137 වත්තේ කුඩු සෙල්විගේ කල්ලිය හා මෝදර පූකුඩු කන්නාගේ කල්ලියය.   


 මේ කිසිවෙක් තනිව ගොඩනැගෙන්නන් නොවූ අතර ඒ හැමටම නායකත්වය දෙන පාතාල නායකයන් පෙර කී කල්ලි අතර විය. කුඩු සෙල්විට නායකත්වය දුන්නේ, සහය දුන්නේ කංජිපාන් ඉම්රාන්ය. ඉම්රාන්ගේ ඉල්ලීම පරිදි ඔහුට සහය දුන්නේ මාකඳුරේ මධූෂ්ය. පූකුඩුඛන්නලාට සහය දුන්නේ කොස්ගොඩ සුජීය. ඒ පූකුඩුඛන්නාගේ කල්ලියේ ප්‍රබලයෙකු වූ ස්ටැන්ලි කෙනඩි ෆර්ඩිනැන්ඩස් නොහොත් බුම්මාගේ දැන හැඳුනුම්කම් මතය.   


 කුඩු සුමිත්ගේ නායකයා දෙමටගොඩ චමින්දය. චූටි උක්කුගේ කල්ලියේ නායකයා වූයේ බ්ලූමැන්ඩල් සංඛය. සත්‍ය ලෙස සුමිත් හා චූටි උක්කුං සිටියේ එකටය. එකල මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ කුඩු පාතාලයට නායකත්වය දුන්නේ සුමිත්ය. එහෙත් කලක් එකට වැඩ කරද්දී සුමිත් අභිබවා තමන්ගේ බලය හදාගන්නට චුටි උක්කුං උත්සාහ කළේය. මේ කාරණා නිසා ඔවුන් අතර නිතර ගැටුම් ඇතිවන්නට විය. මේ ගැටුම්වලින් ප්‍රයෝජන ගත්තේ තමන්ගේ කල්ලියට දක්ෂ පාතාලයන් සොයමින් සිටි තවත් පාතාල නායකයන් කීප දෙනෙකි.   


 බ්ලූමැන්ඩල් සංඛ හා දෙමටගොඩ චමින්ද මේ දෙන්නා තම තමන්ගේ කල්ලිවලට එකතු කරගැනීමට වෑයම් දැරූහ. ඒ උත්සාහයේ ප්‍රතිඵල ලෙස චූටි උක්කුං බ්ලූමැන්ඩල් සංඛගේ පිලටත්, කුඩු සුමිත් දෙමටගොඩ චමින්දගේ පිලටත් එක් වූහ. මරාගැනිල්ල වඩාත් වැඩියෙන් සිදු වූයේ ඉන් අනතුරුවය. සංඛගේ හා චමින්දගේ ගැටුමට හැමවිටම මේ දෙන්නාට ද සම්බන්ධ වීමට සිදුවීම නිසා එය මෝදර මට්ටක්කුලිය දක්වා මොවුන් හරහා පැමිණියේය.   

 

කුඩු සුමිත්ගේ නායකයා දෙමටගොඩ චමින්දය. චූටි උක්කුංගේ කල්ලියේ නායකයා වූයේ බ්ලූමැන්ඩල් සංඛය. සත්‍ය ලෙස සුමිත් හා චූටි උක්කුං සිටියේ එකටය. එකල මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ කුඩු පාතාලයට නායකත්වය දුන්නේ සුමිත්ය. එහෙත් කලක් එකට වැඩ කරද්දී සුමිත් අභිබවා තමන්ගේ බලය හදාගන්නට චුටි උක්කුං උත්සාහ කළේය.


 සුමිත් කුඩුවලින්ම යැපෙන මානසිකත්වයෙන් ඈත්ව පාතාලයෙන් ඉපයූ කළු සල්ලි යොදවා මාළු බිස්නස් එකක් පටන් ගන්නට කල්පනා කළේය. ඔහු එය ආරම්භ කළේ තමන්ගේම ව්‍යාපාරයක් ලෙසය. ඒ නිසා පළමුව ඔහු බෝට්ටුවක් ගත්තේය. බෝට්ටුවෙන් මුහුදු ගොස් මාළු අල්ලාගෙන එන සුමති ඒවා තමන්ගේ මාළු ලෑල්ලක විකුණා ලාභ ලැබුවේය. ක්‍රමයෙන් ඔහු තමන්ගේ බෝට්ටු ප්‍රමාණය වැඩිකර ගත්තේය. වැඩි වැඩියෙන් ලාභ ඉපයුවේය. කුඩු බිස්නස් කරන බවට කිසිවෙක් චෝදනා කළහොත් නෑ මං ජීවත් වන්නේ මාළු වෙ​ෙළඳාාමෙන් යැයි පෙන්විය හැකි පරිදි ඔහු ව්‍යාපාරය දියුණු කළේය. ඔහු කොයිතරම් සාර්ථකව එහි යෙදුණේ ද යත් ඇතැමුන් පැවසුවේ ඔහු කුඩුවලින් ඈත්ව මාළු බිස්නස් අරඹා ඇති බවය. කෙසේ වෙතත් ඔහු කරා පොලිසිය කඩා පැනීම ද නැවතිණ.   


මිත් තමන් හරි හම්බ කළ මුදල් යොදවා ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය දිනා ගැනීමට ද යම් යම් කටයුතු කළේය. දුප්පතුන්ට මිල මුදලින් උදව් කළේය. මඟුලකට, මරණයකට අවශ්‍ය ටෙන්ට් පුටු ආදිය සපයා දුන්නේය. අවශ්‍ය නම් මාළු දුන්නේය. ඇතැම් දුප්පතෙකුගේ මරණයක දී මිනීපෙට්ටිය අරන් දී මළගෙදරට පැමිණෙන පිරිසට ආහාර සැපයීමට ද කටයුතු කළේය. මේ නිසා ගමේ කවුරුත් සුමිත්ට ආදරය කළේ ‘‘හිත හොඳ එකා’’ යනුවෙනි.   


 මේ හේතු නිසා චූටි උක්කුංට ඔහු කෙරෙහි ඉරිසියාවක් පහළ වූවාට සැක නැත. ඔහු සුමිත් සමග සිටියේ තරහෙනි. එහෙත් ඒ බවක් මතුපිටින් පෙන්වූයේ නැත. පාතාලයෙන් මිදී ඇතැයි පෙන්වාගෙන සිටි නිසා සුමිත්ට එරෙහිව යමක් කරන්නට තරම් හේතුවක්ද ඔහුට සොයාගත නොහැකි විය. එහෙත් ලද සැණින් සුමිත්ගෙන් පළිගැනීමේ චේතනාව නම් උක්කුංගෙන් ඉවත් වූයේ නැත. එසේම සුමිත් නිසා තමන්ට නතු කරගන්නට බැරි සමිට් පුරයේ බලය අල්ලා ගැනීමට මාන බලමින් සිටින බ්ලූමැන්ඩල් සංඛට ද සුමිත් විනාශ කරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැතැයි කිව නොහැක. සංඛගේ හා උක්කුංගේ අවශ්‍යතා දෙකම එකට සමපාත වී තිබුණ නිසා දෙදෙනාම අවස්ථාවක් ලැබෙනතුරු බලා සිටියහ.   
 සංඛගේ පිලේ සිටින ආමි සම්පත් සුමිත්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට නම් ලක්ෂ දහයක කප්පමක් දෙන්නැයි ඉල්ලා සිටින්නේ මේ අතරවාරයේය. එය සංඛ නොදැන නිකුත් කළ නියෝගයක් ද නැත්නම් සුමිත් ඉවර කිරීමේ අරමුණ ඇතිව කළ නියෝගයක් ද යන්න නිශ්චිතව කිව නොහැකි වුවත් ආමි සම්පත් කළ දැනුම් දීම සංඛ නොදැන සිටියා යැයි සිතීම අසීරුය.   


 කෙසේ වුවද මේ ප්‍රශ්නයට උත්තරයක් හොයමින් ඉන්න අතරේ සුමිත්ට අතරමගදී චූටි උක්කුං හමුවිය. එය ඔහුගේ අවසානය ඉක්මන් කළාක් මෙනි.   


 ‘‘බලපං මල්ලි සම්පතා මගෙන් ලක්ෂ දහයක් ඉල්ලනවා. මේ වෙලාවේ මට ඒ තරම් මුදලක් දෙන්න හැටියක් නැහැ. උඹලා අපි නොදන්න මිනිස්සුයෑ බං. පොඩ්ඩක් කතා කරලා ෂේප කරලා දීපංකෝ සුමිත් කීවේය.   


 ආ අයියා බයවෙන්න එපා. මම ඒක බලාගන්නම්. අයියා ප්‍රශ්නය විසඳුණා කියලා හිතා ගන්නකෝ. චුටි උක්කුං කීවේ සුමිත්ගේ හිස මත තිබූ ලොකු බරක් බිමින් තියමිනි. මේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් ලැබේවි යැයි ඔහු බලාපොරොත්තුවෙන් සිටියේය.   


 දිනක් සන්ධ්‍යාවේ චූටි උක්කුංගේ ගෝලයෙකු වන මල්ලීගේ පුතා සම්පත් සුමිත්ගේ ගෙදරට පැමිණියේ කිසිම තරහක් නපුරක් නොපෙන්වමින් සුහදශීලී ආරාධනාවක් රැගෙනය.   
 සුමිත් අයියා ඉන්නවා ද?   


 නැහැ. මුහුදු ගිහින් තාම ආවේ නැහැ. ඇයි?   


 සුමිත්ගේ බිරිඳ විමසුවේ හදිසි අවශ්‍යතාවක් දැයි දැන ගැනීමට මෙන්ම ආරාධනාව එන්නේ චූටි උක්කුංගෙන් නිසා හිතේ සැකයක් ද තියාගෙනය.   

 

 


 නෑ. උක්කුං අයියා කිව්වා සුමිත් අයියට ඇවිත් පොඩ්ඩක් එයාව හම්බවෙන්න කියලා.   


 මොකටද දන්නේ නැහැ නේද?   


 සුමිත් අයියාගේ මොකක්ද ප්‍රශ්නයක් ගැන කතා කරන්න වෙන්න ඇති, මම හිතන්නේ යැයි පවසමින් සම්පත් පිටව ගියේය.   


 තවත් හෝරාවකට පමණ පසු සුමිත් ගෙදර පැමිණි අතර ඔහුගේ බිරිඳ හා පුතා රොෂාන් උක්කුංගෙන් පැමිණි ආරාධනාව ගැන ඔහුට දැනුම් දුන්හ. එසේ දැනුම් දී වැඩි වේලාවක් යන්නට මත්තෙන් චූටි උක්කුංගේ තවත් ගෝලයෝ දෙන්නෙක් වන නිශාන්ත හා මල්ලි යන අය සුමිත්ගේ නිවසට පැමිණියේ හදිසියක් මවාපාමිනි.   


 ‘‘සුමිත් අයියා, උක්කුං අයියා වරුවක් තිස්සේ ඔයා එනකල් බලා ඉන්නවා. ඉක්මනට යමු.’’ යැයි පවසමින් තමන් පැමිණි ත්‍රීරෝද රථයට නංවාගෙන විදුලි වේගයෙන් පිටව යනු ලැබීය. මේ ගමන සුමිත්ගේ පුත් රොෂාන්ට ඇල්ලුවේ නැත. ඔහු හොර රහසේම සිය යතුරු පැදියෙන් පියා ගෙන ගිය වාහනය පිටුපස ලුහුබැන්දේය. ඔවුන් සුමිත්ව ගෙන ගියේ චූටි උක්කුංගේ තිප්පොළකටය. එහි සුමිත් පිළිගන්නට අවි අමෝරාගත් අට දෙනෙක් පමණ සිටින බව රොෂාන් දුටුවේය. ඒ වන විට රොෂාන් අවුරුද දාසයක දාහතක කොල්ලෙකි. සුමිත්ට මේ වෙන්නට යන දේ එක වරම වැටහුණේ නැත. ඒ ඔහු චුටි උක්කුං විශ්වාස කළ නිසාය. එහෙත් සර්පයා සර්පයාම තමයි යන අදහසේ සිටිය තරුණ රොෂාන්ට වෙන්නට යන්නේ කුමක්දැයි වටහා ගැනීම අසීරු නොවීය. 

 
 එහෙත් පියාට කතා කර ආපසු රැගෙන යාමට තරම්වත් වෙලාවක් නොතබා ඔවුන් සුමිත්ට කඩු පහර එල්ල කරමින් පහර දෙන්නට විය. රොෂාන්ගේ ලේ උණුවිය. තමන්ට සිදුවිය හැකි අනතුර ගැන නොතකා ඔහු පියා බේරාගන්නට පැන්නේය. එහෙත් ඒ වන විට රොෂාන් සමග වෙනත් වෛරයකින් පසුවුණ මල්ලියා වහා පැන රොෂාන්ට පහර දෙන්නට උත්සාහ කළේය.   


ඒ පරෙවියන් ගැසීමේ දී ඇති වූ ගැටුමක් නිසා උපන් ප්‍රශ්නයකි. එය හිතේ තියාගෙන සිටි මල්ලියා මේකවත් ඉවර කරන්නට ඕනෑ යැයි පවසමින් ඔහුට පහර දෙන්නට උත්සාහ කළේය. පහරකාගෙනම ඇද වැටුණ සුමිත් වහාම මෙතනින් පිටවන්නැයි පුතාට සංඥා කළේය. පියා සමග තමන් ද අමාරුවේ වැටෙන එක සුදුසු නැතැයි කල්පනා කළ රොෂාන් දැඩි වෑයමක් දරා එම ස්ථානයෙන් පැන ගත්තේය.   


 එහෙත් ඔහු තමන්ගේ පියා උක්කුංලා අතින් ඝාතනය වන ආකාරය සියැසින් දැක ගත්තේය. තමන්ගේ ජීවිතේ බේරාගෙන ඔහු පැන දිව්වේය. ලේ පෙරාගෙන දිව ගිය ඔහු නැවතුණේ ගල්සම්පත්ගේ නිවස ආසන්නයේ. එහි ඔහු නැවතුණා නොව ඇද වැටුණේය. රොෂාන් ජාතික රෝහලට ඇතුළත් කර ජීවිතය බේරාගන්නට උදව් කළේ ගල්සම්පත්ලාය.   
 එතැනින් ඇරඹුණ නොනවතින මරාගැනිල්ල ගැන අපි ලබන කලාපයෙන් කතා කරමු.   

 


මුදිතා දයානන්ද