ඉංගිරිසි කාලේ ලංකාවේ නාට්‍ය


 

 

පෘතුගීසි රටවැසියන් සහ සෙබළුන් විසින් නිර්මාණය කරන ලද බයිලාව, පසුව මෙරට තාලයට හැඩගැසුණ පසුව එය කොළඹ ප්‍රමුඛ මෙරට සමහර නගරවල පැතිර ගිය ප්‍රධාන විනෝද මාර්ගය බවට පත්විය.   
ඉංග්‍රීසි පාලන සමයේදී එම තත්ත්වය වෙනස් වෙමින්, කොළඹ ඉංග්‍රීසි නිලධාරීන් වෙනුවෙන් ඉංග්‍රීසි නාට්‍ය වේදිකා ගතවෙන්නට ඇරඹුණි.   
වාර්තාගත වන අන්දමට මෙලෙසින් කොලොම්පුරයේ මුල් වරට ඉංග්‍රීසි නාට්‍යයක් රඟ දක්වන ලද්දේ 1813 අප්‍රියෙල් මස 12 දිනය. ඒ කොළඹ පෞද්ගලික නෘත්‍යය ශාලාවෙහිදීය. (The Private Theater) ජෝර්ජ් කොල්ෂන් විසින් රචනා කරන ලද ‘ද එයාර් ඇට් ලෝ’ එම නාට්‍යය විය. නාට්‍ය නැරඹීම සඳහා අවසර පත් ගාස්තුව රික්ස් ඩොලර් පහක් වූ අතර එයින් ලැබුණු ආදායම නගරයේ දුප්පත් ජනතාවගේ සුබසෙත සඳහා වැය කෙරුණි.   


කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට කලින් චාමර්ස් ධාන්‍යාගාරය, පිහිටි වර්තමාන රේගු මූලස්ථානය පිහිටි ස්ථාන​ෙයහි, රැකට් කෝට්හි පුෂ්පශාලාවේ, ෆ්ලෝරල් හෝල් යනුවෙන් මහජන රැඟුම් සඳහා ස්ථානයක් බිහිවූයේ මෙකලය. එහි මුල් ගොඩනැගිල්ල සාදන ලද්දේ කෘෂිකර්ම සංගමය විසිනි. පසුව කොළඹ නගර සභාව විසින් එය රු. 4099 කට මිලයට ගෙන සිවිලිම සහ වේදිකාව දැවයෙන් සකස් කරන ලද රංගන ශාලාවක් ඉදිකරන ලදී.   
එම නෘත්‍යශාලාව ආරම්භයේදී ඉන්දියාවේ බොම්බායෙන් ආ පර්සි නාට්‍ය කණ්ඩායම් ද විනෝදකාමී ඉංග්‍රීසි නාට්‍යයද එහි රඟ දක්වන ලදී. මේ කියන පුෂ්පශාලාව ආරම්භ වූයේ 1833 දීය.   
එයින් වසර හතරක් පමණ ගතවන විට ඉංග්‍රීසි නාට්‍ය පෙන්වීම සඳහා නාට්‍ය ශාලා කීපයක්ම ඉදිවිය. බේලි වීදියේ කෝපි තැබෑරුම ඉන් එකකි. එයට අමතරව බේබෲක් පෙදෙසේ මහජන ශාලාව (Public Hall) සහ පසු කලෙක චිත්‍රපට ප්‍රදර්ශනය කළ එම්පයර් නෘත්‍යශාලාව විශේෂත්වයක් ගනී.   
​බොම්බායේ එල්ෆින්ස්ටන් නාට්‍ය සමාගම 1880 බලිවාලා යටතේ කොළඹට පැමිණ ඇලඩින් සහ හරිස්චන්ද්‍ර, රෝමියෝ සහ ජුලියට්, අරාබි නිසොල්ලාසය පසුබිම් කොට ලියන ලද කතා පුවත්වලින් නාට්‍ය මෙහි රඟ දක්වන ලදී.   
එකල කොළඹ කේන්ද්‍ර කරගෙන යුරෝපීයන්ට සීමාවූ ලංකා විනෝද නෘත්‍ය සමාජය විසින් (Ceylon Amateur Dramatic) ලන්ඩන් රඟමඬලේ සාර්ථක ලෙස රඟ දැක්වූ නාට්‍ය සමහරක් මෙහි රඟ දක්වන ලදී.   


මෙම කාලයේ ඇලන් විල්කි වැනි සංචාරක නාට්‍ය කණ්ඩායම් ඕස්ට්‍රේලියාවට හෝ ඈත පෙරදිගට යන අතර මග සතියක දෙකක පමණ කාලයක් කොළඹ නතරවී ඔවුන්ගේ ඉංග්‍රීසි නාට්‍ය මෙහි රඟ දක්වා තිබුණි. එම අවදියේ බ්‍රැඩ්මන් ඔපරා කණ්ඩායම විසින් මෙරට රඟදැක්වූ කුරුසියේ සලකුණ ඊස්ලින් වැනි නාට්‍ය ඉතාමත් ජනප්‍රිය විය.   
පසු කාලයක කොළඹින් බැහැරවද ඉංග්‍රීසි නාට්‍ය ප්‍රදර්ශනය විය. ඒ අනුව 1941 ජූනි මාසයේ පානදුර නගර ශාලාවේදී කාලිස් ඩෝටර් යන ඉංග්‍රීසි නාට්‍ය ප්‍රදර්ශනය විය. ඩික් ඩයස් අධ්‍යක්ෂණය කළ එම නාට්‍යයේ ලක්ෂ්මි ඩයස් ඇතුළු කීපදෙනෙක්ම රඟපෑහ.   
විශ්වවිද්‍යාල ප්‍රජාව අතර ඉංග්‍රීසි නාට්‍ය විද්වත් භාවිතයට යොමුකළ පුද්ගලයකු වශයෙන් එව්ලින් ප්‍රෙඩ්රික් චාල්ස් ලුඩොවයික්ට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. 1926 උපන් ඔහු ශ්‍රී ලංකා බර්ගර් ජාතිකයකු විය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගනුම ලැබූ ඔහු කොළඹ යුවර්සිටි කොලිජියෙහි ප්‍රථම මහාචාර්යවරයා විය. 1952 ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ සෞන්දර්යය පීඨාධිපති පදවියට පත්විය.   
කොළඹ යුනිවර්සිටි කොලේජ්හි විශ්වවිද්‍යාලීය නාට්‍ය සංගමය බිහිවන්නේ මහාචාර්ය ඊ.එෆ්.සී. ලුඩෝවයික්ගේ උපදේශකත්වයෙනි. එදිරිවීර සරච්චන්ද්‍ර ඇතුළු තවත් කීපදෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ විශ්වවිද්‍යාලීය නාට්‍ය සංගමය විසින් විලියම් ෂේක්ස්පියර් සහ බර්නාඩ් ෂෝ නාට්‍ය කීපයක්ම වේදිකාගත කරන ලදී. මහාචාර්ය ඔස්මන් ජයරත්න විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන එම අවධියේ එවැනි විශ්වවිද්‍යාල නාට්‍ය දහයක පමණ ප්‍රධාන චරිත රඟපෑවේය.   
සම්මානනීය කලාකරුවෙකු වූ ලයනල් වෙන්ඩ්ට් මියගිය පසු ලයනල් වෙන්ඩ්ට් අනුස්මරණ පදනම විසින් කොළඹ නගරයේ නවීන පහසුකම්වලින් සමන්විත රඟහලක් ඉදිකිරීම ආරම්භ කරන ලදී. එය ආරම්භ කළේ ලයනල් වෙන්ඩ්ට්ගේ සහෝදරයා වූ හැරී වෙන්ඩ්ට් විසිනි. ඔහුද ටික කලකින් මියයෑම නිසා රඟහල ඉදිකිරීමේ කටයුතු නිම කිරීමට සිදුවූයේ ලයනල් වෙන්ටඩ් අනුස්මරණ පදනමේ ක්‍රියාකාරිකයකු වූ හැරල්ඩ් පීරිස්ටය.   
අතිශය දැවැන්ත වේදිකාවක්ද මනා ලෙස ශබ්දය පාලනය කරන ශාලාවක්ද ආදී වශයෙන් සුවිශේෂ පහසුකම්වලින් සමන්විතව ඉදිකෙරුණ ලයනල් වෙන්ඩ්ට් රඟහල, පසුකාලීනව ශ්‍රී ලාංකික ඉංග්‍රීසි නාට්‍ය රඟදක්වන ප්‍රමුඛතම රංග ශාලාව බවට පත්විය.   


ලයනල් වෙන්ඩ්ට් රඟහල ඉදිකිරීමෙන් පසු එහි ප්‍රථම රංග ගත කිරීම සිදුවූයේ 1953 මැයි 12 දිනය. ඒ මැක්සිම් ගෝර්කිගේ ‘ද ලෝවර් ඩෙත්’ The Lower Deaths වේදිකාගත කිරීමෙනි. ජුබාල්, අයිරංගනී සේරසිංහ, වින්ස්ටන් සේරසිංහ ඇතුළු බොහෝ පිරිසක් මෙහි රඟපෑහ.   
ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාව කේන්ද්‍ර කරගත් ඉංග්‍රීසි නාට්‍යකරුවන් අතරින් ජෙරොම් ඩී. සිල්වාට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. කොළඹ ශාන්ත ජෝශප් සහ ශාන්ත පීතර විදුහල්වල ඉගනුම ලැබූ ඔහු 1972 - 1979 දක්වා කාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි නිවේදකයකු වශයෙන් කටයුතු කළේය.   
පාසල් යන අවධියේම ඉංග්‍රීසි නාට්‍ය සඳහා දායකත්වය දැක්වූ ඔහු ලයනල් වෙන්ඩ්ට් රඟහලට මුලින්ම පා තබන්නේ 1970 ජනවාරි මාසයේ දිනකය. ඒ The Boy නාට්‍යයේ කෝරස් ගායකයකු වශයෙනි. එකල ඔහුගේ වයස අවුරුදු දහනවයක් විය. වෙන්ඩ් වෝට් වෝනර්, මොන්ටි පොන්නයියා, ක්‍රිස්ටීන් තම්බිමුත්තු ඇතුළු ඉතාමත් විශාල නළු නිළි සංඛ්‍යාවක් එම නාට්‍යයට සහභාගී වූහ.   
ලූෂන් ඩී. සොයිසා වේදිකාවට ගෙනා ජෝන් පෝල් සාත්‍රෙගේ (Crime Passionel) නාට්‍යය ජෙරෙම් ඩි සිල්වා රඟපෑ ප්‍රථම නාට්‍යය විය. ඒ හැත්තෑව මුල් කාලයේය. රිචර්ඩ් ඩි. සොයිසා, ලූෂන් ඩි. සොයිසා, වින්ස්ටන් ​සේරසිංහ සහ අයිරාංගනී සේරසිංහ යන නළු නිළියෝ එහි රඟපෑහ.   
ලෝකයේ රටවල් බොහෝමයක නාට්‍යකරණය පිළිබඳව හැදෑරීමෙහි යෙදුන ජෙරොම් ඩී. සිල්වා ද වර්ක් ෂොප් ප්ලේයර්ස් සංවිධානය මඟින් බොහෝදෙනෙකුට නාට්‍යකරණය පිළිබඳව දැනුම නොමසුරුව ලබාදුන්නේය. ශාන්ත පීතර විද්‍යාලයේදී 1992 මාර්තු 07 වන දින අැරඹුණ ‘ද වර්ක් ෂොප් ප්ලේයර්ස්’ වැඩමුළුවට ලංකාවේ විවිධ පාසල්වල ඉංග්‍රීසි සාහිත්‍යය සහ නාට්‍ය හදාරන ළමෝ 433 ක් සහභාගී වූහ.   


එයට සහභාගිවූවන්ගේ කුළුඳුල් විකසිතය, ජෙරොම් ඩි සිල්වා එක්දහස් නවසිය අනූතුනේ ලයනල් වෙන්ඩ්ට් රඟහල් වේදිකාවේ සිදුකළේය. ඒ Lost In Stars නාට්‍ය තුළිනි. දුලිප් ගබඩාමුදලිගේ සංගීතයෙන් එම නාට්‍ය ඔපවත් විය.   
ටී.එස්. එලියට්ගේ පද්‍යයක් ඇසුරෙන් ඇන්ඩෲ ලොයිඩ් වෙබර්ස්ගේ නාට්‍යයක්වූ ‘Cats’ ජෙරොම්ගේ අධ්‍යක්ෂණයෙන් වේදිකාගත වූයේ 1994 ඔක්තෝබර් මාසයේය.   
නොයලින් හොන්ටර්, මොහාන් සුදුසිංහ ආදීන් රඟපෑ Cats එක දිගට දින පහක් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකාගත වූ අතර, එම නාට්‍ය දින පහේම ටිකට් නාට්‍ය මුල් දිනයේම අවසන්වීම සුවිශේෂී සිද්ධියක් විය.   
ඇලන් බෞබ්ලිගේ Michel Schonber 1996 ඔක්තෝබර් මාසයේදීද, නැවතත් 1997 පෙබරවාරි මාසයේද ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත කෙරුණි. සෑම වාරයකදීම එක දිගට දින හයක්ම මුළු රඟහලම ප්‍රේක්ෂකයන්ගෙන් පිරී තිබුණි.   
1998 දී West Side Story නාට්‍යයද 1999 අප්‍රියෙල් මාසයේදී The Middle of Silence නාට්‍යයද එහි රඟ දැක්විණ. The Lion King ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී මුල්වරට වේදිකාගත වෙන්නේ එක්දහස් නවසිය අනූනවය වසරේදීය. ජෙරොම්ගේ අධ්‍යක්ෂණයක් වූ එය එක දිගට දින දොළහක් තිස්සේ සම්පූර්ණ පිරුණු ප්‍රේක්ෂකාගාරයකින් යුතුව රඟදැක්වුණි. එසේම එම නාට්‍ය 2000 ඔක්තෝම්බර් මාසයේ දින දහයක් එක දිගට ප්‍රදර්ශනය වූයේද සම්පූර්ණයෙන් පිරුණ ප්‍රේක්ෂකාගාරයක් සහිතවය.   
දෙදහස් දෙකේ ඔක්තෝබර් මාසයේ The Phanthom of the orera ද 2006 ඔක්තෝබර් මාසයේ ඔලිවර්ද 2008 පෙබරවාරි මාසයේ Bugsy Mad Lord ද 2008 ඔක්තෝබර් මාසයේ The Sound of music ද ලයනල් වෙන්ටඩ් රඟහලේ වේදිකාගත විය.   


වික්ටර් හියුගෝ ගේ නවකථාවක් ඇසුරෙන් පිටපත සැකසුණ Les Miserable නළු නිළියන් අසූදෙනෙකු රඟපෑ දැවැන්ත ඔ​ෙපරාවක් විය. ජෙරොම් ඩි සිල්වා අධ්‍යක්ෂණය කළ මෙම නාට්‍ය ලයනල් වෙන්ඩ්ට් රඟහලේ 2015 ඔක්තෝබර් පළමුවන දින සිට ඔක්තෝබර් එකළොස් වන දින දක්වා එක දිගට රංගගත විය.   
රු. 3500/- රු. 3000/- රු. 1500/- බැල්කනිය රු. 600 වශයෙන් මිල නියම කර තිබූ එම නාට්‍ය​ෙයහි ටිකට් පත්‍ර නාට්‍ය රඟ දැක්වීමට සති තුනකට පෙර සම්පූර්ණයෙන් විකිණී අවසන්වී ඇත. ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්, එරීටා යන ඉංග්‍රීසි නාට්‍යද ජෙරොම් ඩි සිල්වාගේ නිර්මාණ අතරින් ඉතාමත් ජනප්‍රියවී ඇත.   
ශ්‍රී ලාංකික ඉංග්‍රීසි නාට්‍ය වේදිකාවේ, දේශපාලන තේමා අඩංගු නාට්‍ය නිෂ්පාදනයට වැඩි රුචියක් දැක්වූ අයෙකු වශයෙන් එෆ් කමල්ඩීන් ඉංග්‍රීසි නාට්‍ය ප්‍රේක්ෂකයින් අතර කැපී පෙනෙයි.   
ඔහු අධ්‍යක්ෂණය කළ ‘මැක්බත්’ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ප්‍රථම වරට වේදිකාගත වෙන්නේ එක්දහස් නවසිය අනූනවය මුල් කාලයේය. ඊෂාඩ් බෙක්මියර්, ජොහාන් ඇලෝසියස්, එම්. මිරාසයිල්, රුවන්ති චිගේරා සහ එෆ්. කමල්ඩීන් එම නාට්‍යහි රඟපෑ අතර දින හතරක් එක දිගට රඟදැක්වුණ මැක්බත් නැරඹීමට ලයනල් වෙන්ඩ්ට් රංගාගාරය සම්පූර්ණයෙන් නාට්‍ය ප්‍රේක්ෂකයින්ගෙන් පිරී තිබුණි.   


එෆ්. කමල්ඩීන් 1997 දී ජුලියස් සීසර් නාට්‍ය අධ්‍යක්ෂණය කළේ නූතන කාලයට ඔබින ආකාරයටය.   
කමල්ඩීන් පවසා සිටියේ ඔහුගේ ජුලියස් සීසර් වීඩියෝ තාක්ෂණය නාට්‍ය කලාවට එක් කිරීමට ගත් එක් අත්හදා බැලීමක් බවය.   
නූතන රාජ්‍යයක, ජුලියස් සීසර් නමැති හමුදාපතිවරයා යුද්ධයක් කර රාජ්‍යය බලය අත්පත් කරගන්නා අන්දම කමල්ඩීන් ජුලියස් සීසර් කතාවෙන් පැවසීය.   
නාට්‍ය ආරම්භ වන්නේ රූපවාහිනී වැඩසටහනක් ලෙසය. නරඹන්නන් ඉදිරියට එන රූපවාහිනී වාර්තාකරු ජුලියස් සීසර් මියගොස් වසරක් ගතවී ඇති නිසා, ජුලියස් සීසර් පිළිබඳ වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කරන බව පවසමින් නාට්‍ය අරඹයි. දීර්ඝ නාට්‍යයක් වූ ජුලියස් සීසර් පැය තුනකට කමල්ඩීන් සීමාකරන්නේ එහි සමහර කොටස් කැපීමෙනි. එලෙස කපන ලද කොටස් පිළිබඳ විස්තරයක් රූපවාහිනී වාර්තාකරු ලෙස රඟපාන නළුවා මඟින් ඉදිරිපත් කරයි.   
චිලී ජාතික නාට්‍යකරුවකු වූ ඒරියල් ඩොක්මන්ගේ විඩෝස් එෆ්. කමල්ඩීන් නිර්මාණය කරන්නේ 1998 දීය. ඒරියල් ඩොක්මන්ගේ නාට්‍යයක් චිලී රටෙන් පිටත රඟදැක්වූ ප්‍රථම අවස්ථාව එය විය.   


ජෙරොම් ඩි සිල්වා පවසන ආකාරයට ඉංග්‍රීසි නාට්‍යයක පුහුණු කටයුතු මාස හයක පමණ කාලයක් පවත්වයි. එසේම ලංකාවේ ඉංග්‍රීසි නාට්‍ය ක්ෂේත්‍ර​ෙයහි වෘත්තීය නළු නිළියන් නැත. ඉංග්‍රීසි නාට්‍යවල රඟපාන බොහෝදෙනා වෙනත් වෘත්තීන්හි නිරත වෙයි. ජෙරොම් ඩි සිල්වා පැවසුවේ රඟපානවාය කියා ඔවුනට ගෙවීමක් නොකරන බවය.   
නළු නිළියෝ ද බොහෝවිට එවැනි ගෙවීමක් බලාපොරොත්තු නොවෙති. ඔවුන් බොහෝදෙනා රඟපාන්නේ තමන්ගේ ආත්ම තෘප්තිය සඳහාය. ජෙරොම් පැවසුවේ තමන්ගේ නාට්‍යයක අනිකුත් වියදම් ගෙවා අවසන් වූ පසු ඉතිරි වන මුදල නළු නිළියන් අතර සමසේ බෙදාදෙන බවය.   
ජිත් පීරිස්, රුවන්ති චිගේරා, ජෙහාන් ඇලෝසියස්, ශ්‍රී ලාංකික ඉංග්‍රීසි නාට්‍ය ක්ෂේත්‍රයෙහි කැපී පෙනෙන නිර්මාණකරුවෝ වෙති.

 


පීටර් කැනියුට් පෙරේරා