ආර්ථිකය යහපත් ​ෙවන ධන යෝග


දුගී පවුලක උපත ලැබූ කෙනෙකුට වුවද ජන්මියා විසින් පෙර භවයේ දී කරන ලද දානමානාදී කුසල කර්මයන්හි ප්‍රතිඵල අත්විඳීමට ලැබෙන බව ගිහි පැවිදි උතුමන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි කර ඇත. ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය පුළුල්ව හැදෑරූ පුද්ගලයකුට ජන්ම පතේ දක්නට ලැබෙන ග්‍රහ පිහිටීම්වලින් ඒ බව තවදුරටත් සනාථ වේ. 


1. යහපත් කටයුතුවලින් සැප සම්පත් ලැබීමට හේතුවන චින්තාමණි යෝගය පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථවල පැහැදිලිව දක්වා ඇත. කේන්දරයේ පස්වැන්න හෝ නවවැන්නා වූ ත්‍රිකෝණස්ථානයක හෝ අයස්ථානයේ (11 වැන්න) බලවත් ගුරු ග්‍රහයා හෝ සිකුරු ග්‍රහයා පිහිටීම මෙම සුබඵල දෙන ග්‍රහ යෝගය ලෙස හඳුනාගත හැකිය. එසේ වුවද එම කේන්දර සටහනෙහි රාහු ග්‍රහයා 5-8-12 වැනි භාවවල නොසිටිය යුතුය. එසේම ඉහත කී බලවත් ග්‍රහයා අටවැන්නාධිපති හෝ පාප ග්‍රහයකුගේ නැකතක පිහිටා තිබේ නම් එම යෝගය ක්‍රියාත්මක වන්නේ ද නැත. 


2. කේන්දරයක සිව්වැන්නේ බලවත් ගුරු ග්‍රහයා පිහිටීම වගා කටයුතුවල දියුණුව මෙන්ම ගේ දොර ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම් වැනි සුබ අවස්ථාවන් හිදී ඉමහත් ප්‍රතිඵල ලැබීමට උපකාරී වේ. දුර බැහැර ගමන් බිමන් යෙදුනත් නන්නාඳුනන අයගෙන් පවා අවශ්‍ය අවස්ථාවල දී ආහාරපාන නොඅඩුව ලැබෙනු ඇත. 


3. වාහන කාරක සිකුරු ග්‍රහයා සිව්වැන්නේ දිග් බලයෙන් පිහිටීම සුවපහසු - එසේම දැකුම්කලු නිවසක් හා යානවාහන ලැබීමට ද හේතු වන බවට සලකුණකි. (එහෙත් සිකුරු ග්‍රහයා 22 වැනි දෙර්කානයට අයත් වේ නම් හදිසි අනතුරකට ලක්ව කෙටි කලකින්ම වාහනය විකිණීමට සිදුවේ) 


4. අටවැන්නාධිපති ග්‍රහයා අයස්ථාන ගතවීමට මුදල් ආයෝජනය කිරීම්වලින් හෝ මියගිය ඥාතියකුගේ උරුමයෙන් විශාල ධනයක් හිමිවන ග්‍රහ පිහිටීමකි. 


සැ.යු. - ධන යෝගයට සම්බන්ධ ග්‍රහයන් 22 වැනි දෙර්කානයට හෝ 64° වැනි අසුබ නවාංශකවලට සම්බන්ධ වුවහොත් ඉහත කී ධන යෝගයන් ක්‍රියාත්මක වන්නේ නැත. 


12 වැන්නාධිපති ග්‍රහයා කේන්දරයේ ධනස්ථානයේ (දෙවැන්න) පිහිටා තිබුණහොත් වෙනත් ග්‍රහ පිහිටීම් නිසා ලැබුණු මුදල් ඉතිරි කර ගැනීමට නොහැකි වන්නේ සතුරු කරදර හෝ පවුලේ සාමාජිකයකුගේ රෝගී තත්ත්වය හේතු කොටගෙන ප්‍රතිකාර වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුවීම නිසාය. 


සිකුරු ග්‍රහයා නීච වර්ගයක (ලග්න/ නවාංශක සටහන් දෙකේම දුබලවීම) පිහිටා පාප ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්වුවහොත් ධන යෝග ක්‍රියාත්මක නොවීමටද හේතුවේ. 

 


ජ්‍යොතීර්වේදී 
මිල්ටන් හේවාපතිරණ