ආයුධ සමඟ හැංඟුණු පාතාලේ ‘රොහා’


පාතාල දඩබ්ම

රට හොල්ලන පාතාල චණ්ඩි

“පුළුවන් නම් රොහාව මරපන්. අපි ඊට පහුවදාම කුඩු විකුණන එක නවත්වනවා. අපි නෙමෙයි පාතාලය. රොහායි පාතාලය. අපව මේ තැනට අරගෙන ආවේ ඌ. අපි අපේ පාඩුවේ ජීවත් වුණේ. අපිට ඉන්න දුන්නේ නැත්තේ රොහා...”   


මේ කියන්නේ එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් “ධර්මේ අයියා”ය. ඔහුගේ වචනවල කිසිදු ධර්මයක් හෝ සිරියාවක් නැත. ධර්මේ සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. කතාව වෙන්නේ ජංගම දුරකතනයේ පිහිටෙනි. ඩුබායි රටේ සිටිමින් ධර්මේ මේ අමතන්නේ, රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි ‘ලක්මැදුර හෝටලයේ’ හිමිකරුටය.   


ධර්මේ යනු ගොනාකෝවිලේ ‘අංජු’ගේ සමීපතම ගෝලයාය. ඉකුත් මැයි මස 19 වැනිදා “ලක්මැදුර” හෝටලයට වෙඩි වරුසාවක් එල්ල වන්නේ ධර්මේගේ අණිනි. ධර්මේට අණ දෙන්නේ ‘අංජු’ය. සුඛෝපභෝගී වාහනයකින් පැමිණෙන නාඳුනන කල්ලි සාමාජිකයින් පිරිසක් ගල්කිස්ස පොලිස් වසමේ 160/2 “ලක්මැදුර හෝටලයට” ප්‍රහාරයක් එල්ල කර එහි සිටි සේවකයකුට කඩුවකින් පහරදී පලා යති. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු පොලීසියට පැමිණිලි නොකිරීමට වගබලා ගන්නේ දිගින් දිගටම ඔහුගේ ජංගම දුරකතනයට විදෙස් රටකින් ගලා ආ ඇමතුම් හේතුවෙනි.   


අමල් සමින්ද සිල්වා නොහොත් “කුඩු අංජු” පමණක් නොව ඔහුගේ ප්‍රධාන ගෝලයකු වන මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් “ධර්මේ අයියා” ද ලක්මැදුර හෝටලයේ හිමිකරු වෙත වරින් වර ඇමතුම් ලබා දෙමින් කප්පම් ඉල්ලා මරණ තර්ජන කර තිබිණි. මේ හේතුවෙන් තවත් බලා සිටිය නොහැකි වූ තැන හෝටල් හිමිකරු පොලීසියට යන්නේ ආරක්ෂාව පතාය.   


එතැන් සිට මොරටු පාතාලයේ හැසිරීම නැවත නැවතත් අපේ සිහියට නැගෙන්නට විය.   


මේ කියනා “රොහා” යනු කවුද?   


මත්කුඩු ජාවාරම ඔස්සේ ගොඩනැගුණු පාතාලය, සියල්ලටම වඩා දරුණුය. මාලිගාවත්ත, දෙමටගොඩ, බොරැල්ල, මරදාන, කඩුවෙල, මොරටුව පමණක් නොව අද වනවිට දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා මේ පාතාලයෝ ඔවුන්ගේ අණසක පතුරුවා ඇත. තිස් වසරක කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයේවත් නොමැති දරුණු අහිතකර බලපෑම් දැන් දැන් පාතාල කෙරුමෝ කරන්නට පටන්ගෙන ඇත. කොටි ත්‍රස්තයෝ රට දෙවනත් කරමින් ඇති කළ දෝංකාරයේ නිහැඬියාව අද බිඳිමින් හිඳින්නේ මේ පාතාලයයි. එහි අලුත්ම හඬ නැගෙන්නේ මේ කියනා “රොහා” සෙවීමට මෙරට ආරක්ෂක අංශ කිහිප ස්ථානයකින්ම වැඩ පටන්ගෙන තිබීමය.   


“පිටිපන ආයුධ සිද්ධියේ ආයුධ 25ක් තියෙන්නේ ‘රොහා” ළඟ. ඉක්මනින් රොහා අල්ලගත්තොත් මේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කළ හැකියි.” පොලිස් නිල දරුවන් සිය විමර්ශනවලදී එසේ කීවද “රොහා” මේ වනවිටත් ඉන්දියාවට පලා ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නකි. කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාට පැය දහයකට වඩා අඩු කාලයකින් මන්නාරමේ සිට ඉන්දියාවේ දනුෂ්කොඩිය දක්වා පැන යා හැකි නම් අනෙක් අය ගැන කවර කතාද?   


පාතාලයේ අයියා කෙනකු වශයෙන් අප අසා තිබූ “මොරටු සමන්” අද මොරටුවේ නැත. මොරටු සමන්ගේ සමීපතම ගෝලයා මේ වනවිට ඉතාලි ජාතික කාන්තාවක හා විවාහ වී එහි ජීවත් වන බවට තොරතුරු ලැබී ඇත. රත්මලානේ පාතාල කෙරුමකු වූ “උස කුමාර”, පාතාලයේ අයියා කෙනකු වන්නේ “දෙහිවල ජගත්” ඝාතනය කිරීමෙන් පසුවය. එහෙත්, ඒ අයියාත් පරලොව යන්නේ පොලීසියට අත්බෝම්බයකින් දමා ගසන්නට ගොසිනි.   


මොරටු සමන්ගේ ගෝලයකු බව කියැවෙන දේවමුණි රෝහණ හැරල්ඩ් ද සිල්වා නොහොත් “ගොනාකෝවිලේ රොහා” සහ සිංහාර අමල් සමින්ද සිල්වා නොහොත් “කුඩු අංජු”ත් ඔවුනොවුන්ගේ ‘ජීවිත’ ඉල්ලා ගනිමින් සටන් ආරම්භ කර ඇත. රොහා කෙරෙහි අංජුගේ බද්ධ වෛරය ආරම්භ වන්නේ සිංහාර සුරේෂ් අසංක සිල්වා නොහොත් “ලංසියා” නමැති තම සහෝදරයාව රොහා විසින් ඝාතනය කරනු ලැබීමත් සමගය.   


රොහාත් ලන්සියාත් 80 දශකයේ මුල් භාගය වනවිට ගජ මිතුරන්ව සිටියහ. එකල රත්මලාන, දෙහිවල, ගල්කිස්ස යන ප්‍රදේශ හොල්ලාගෙන සිටියේ ලන්සියාගේ බාප්පලාය. බාප්පලා අතරින් ලොකු බාප්පා වූ “රාජා” එම ප්‍රදේශවල ඉහළින්ම නම කියැවුණු අයෙකි. මුළු රත්මලානම හොල්ලාගෙන සිටි රාජා 1988-89 වර්ෂවල පැවැති වාතාවරණයේදී මැරුම් කෑ අය අතරට පත්විය. මේ කාලයේදීම ලන්සියාගේ බාප්පලා කිහිප දෙනකුම අතුරුදන්ව ගියේය.   


ලන්සියාත් අංජුත් රොහාත් අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සේ පිහිටි ප්‍රසිද්ධ විද්‍යාලයකය. රොහාත් ලන්සියාත් එකම පන්තියේ මිතුරන්ය. එකල ඔවුන් දෙදෙනා කෑවේ බිව්වේ එකටය. කොටින්ම කියතොත් ඇඳුම් ඇන්දේ ද එකම විදිහටය. දෙදෙනාගේම එකම ආශාව කැමැත්ත තිබුණේ ‘ඇඟ පුම්බා’ ගැනීමය. එබැවින් දෙදෙනා එකටම ‘ජිම්’ එකකට ගියේය. ගමේ චණ්ඩින් වූ ලන්සියාගේ බාප්පලා ලංසියාට ඒ කෙළි කරන්නට දුන්නේ නැත.   


මේ පැණිවරකා ගහට හෙණ වැදී ගියේ පෙම් හබයක් නිසාය. ලන්සියාගේ ඥාති දියණියකට රොහාගේ මිතුරෙකු පෙම් කරන්නට ගොස් ඒ ප්‍රේමය කෙළවර වූයේ රොහාත් ලන්සියාත් බද්ධ වෛරක්කාරයින් බවට පත් කරමිනි. රොහාගේ මිතුරා සමග රොහාට නිවසට එන ලෙසට දැනුම් දුන් ලන්සියාගේ රංජි බාප්පා, ප්‍රේමය එපා වන්නට ඒ දෙන්නාටම බඩ කට පුරා සංග්‍රහ කර ඇත. මේ පාවාදීම සිදුකළේ ලංසියා යැයි රොහාට දැනී ගියේය.   


එතැන් පටන් ලංසියාගෙන් වෙන්වන්නට රොහා දෙපාරක් සිතුවේ නැත. පවුලේ වැඩිමලා වශයෙන් බර කරට ගෙන සිටි රොහා, රැකියාවල් කිහිපයක්ම කළේය. ජීවිතය කණපිට පෙරළමින් රොහාට අලුත් රැකියාවක් ලැබෙන්නේ මොරටු ප්‍රදේශයේ අවන්හලක වේටර්වරයකු ලෙසිනි. එකල මොරටුව හොල්ලාගෙන සිටි “මොරටු සමන්” නිතරම මේ අවන්හලට පැමිණි අතර එහිදී රොහා, සමන් හා මිතුදමක් ගොඩනගා ගත්තේය. රොහාට අවැසි වූයේ ලන්සියාගේ බාප්පලාගෙන් පලි ගැනීමටය. මේ මිත්‍රකම පාතාලයේ දිගු ගමනක් යන්නට රොහාට ඉවහල් වූයේ ඒ අයුරිනි.   


තමන්ගෙන් පළිගැනීමට සිටින රොහා, මොරටු සමන් හා ඇයි හොඳැයිකම් පවත්වන බව කන වැකුණු ලන්සියාගේ බාප්පා කෙනකු වූ පොඩි මහත්තයා, රොහාව ගල්කිස්ස පොලීසියට කොටු කර දෙන්නේ අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටියා යැයි ඔත්තුවක් ලබා දෙමිනි. නොකළ වරදකට හිරබත් කෑ රොහා ඉන් පිටතට එන්නේ පාතාල ලෝකයේ තවත් අයියලා රැසකගේ ඇයි හොඳැයිකම්වලින් පෝෂණය වෙමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වර්ෂයේ මාර්තු මස 13 වැනිදා රත්මලාන මැලිබන් හන්දියේ කාර්යාලයක රැඳීසිටි පොඩි මහත්තයාට වෙඩි තබා ඝාතනය කරන්නේ “රොහා” බන්ධනාගාරයෙන් හඳුනාගත් වෙඩික්කරුවකු විසිනි.   


ලන්සියාගේ බාප්පාවරුන්ගෙන් බැටකමින් සිටි රත්මලාන ප්‍රදේශයේ තරුණයින් රොහා වටා රොක්වීමට මේ සිදුවීමද ඉවහල් වන්නට විය. ඒ අතර බොරුවල සංජීව, පිංවත්තේ කළු, මහේෂ් සහ වාසනා චමිත් ඇතුළු තරුණ පිරිසක් වූහ. මොරටු සමන්ද වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්වන්නේ මේ කාලවකවානුවේදීය. පොඩි මහත්තයාගේ ඝාතනයෙන් පසු රොහා රටේ නමගිය අපරාධකරුවකු බවට පත්ව තිබිණි. ගමට රටට හිරිහැරයක්ව සිටි රොහා නැවතත් බෝම්බයක් ළඟ තබාගැනීමේ සිද්ධියකට හිරගෙට යයි. ඔහු නැවත එළියට එන්නේ 2006 වර්ෂයේදීය.   


මේ අතර තම බාප්පලා මැරූ පළිය ගන්නට මාන බලමින් සිටියේ ලන්සියාය. පිරිස් බලය මෙන්ම ආයුධ බලයෙන් සන්නද්ධව සිටි ලන්සියා හෙරොයින් ජාවාරම ද ඉහළින් කරගෙන ගියේය. රොහා ද අතහැරියේ නැත. ලන්සියාට නොදෙවැනිව එම ප්‍රදේශවල හෙරොයින් බෙදා දෙන්නට දෙදෙනාම වලි කෑහ. ඉවසිය නොහැකි තැන නැවතත් ලන්සියා ක්‍රියාත්මක වී රොහා පොලීසියට කොටුකර දෙයි. නැවතත් බන්ධනාගාර ගතවන රොහා, තමාට අවශ්‍ය පරිදි එළියේ ඉන්නට ඉඩ නොදුන් බැවින් ඇතුළේ සිට ලන්සියා මරා දැමීමට පිඹුරුපත් හදන්නට විය. වරෙක මොවුන් එක්කාසු කරන්නට බොහො දෙනෙක් දග දැමුවද එය ද ගඟට කැපූ ඉනි මෙන් විය. රොහා නැවත එළියට එන්නේ 2013 වසරේදීය.   
මේ අතරට එන තවත් එක් චරිතයකි. ඒ රන්ජන් ද සිල්වාය. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස සිටි රන්ජන් ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනංජය සිල්වාගේ පියාය. රන්ජන් සිල්වා මේ සියලු දෙනාම ඉතාමත් සමීපව ඇසුරු කළ අයෙක් බව කියැවෙයි. පොඩි මහත්තයාට වෙඩි තබා ඝාතනය කළ “රොහා” ඇතුළු මැර කණ්ඩායමට රන්ජන් සිල්වා රැකවරණය ලබාදුන්නැයි අංජු සැක කරයි. ඒ සැකය වෛරයකට පෙරැළී තිබුණේ රන්ජන් සිල්වා දේශපාලන වශයෙන් කිසියම් ස්ථාවර මට්ටමකට පත්වෙමින් සිටියදීය.   


විටින් විට ප්‍රදේශයේ ඇතිවන ඇතැම් ගැටුම්වලදී සැකකරුවන් අල්ලා දීමට රන්ජන් සිල්වා පොලීසියට උදව් උපකාර කර ඇතැයි අංජු රන්ජන් කෙරෙහි සැක සංකා ඇති කරගෙන සිටියේය. මේ දෙදෙනාගේ ගැටුමට රන්ජන් මැදි වූයේ පාතාල සමීප සබඳතා නිසාය. මීට වසර පහකට පමණ පෙර නාගරික මන්ත්‍රී අමල් සිල්වාගේ නිවස ඉදිරිපිටදී යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබිණී. එම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස අංජුගේ කල්ලිය රන්ජන් සිල්වා වෙඩි තබා ඝාතනය කළේ ඔහුගේ නිවස ඉදිරිපිටදීමය. ඒ 2018 වර්ෂයේ මැයි මාසයේ දිනකදීය.   


අසංක නොහොත් ලන්සියාගේ මස්සිනා කෙනකු වූ විශේෂ බළකා සෙබළකුට රොහා බැණ වැදුණැයි කන වැකුණු ලන්සියා සහ රොහා අතර බහින්බස් වීමක් ඇති වෙයි. එය නතර වූයේ හෙරොයින් නඩුවකට මහර උසාවියේ පෙනී සිටීමට පැමිණි ලන්සියාට වෙඩි කෑමට සිදුවීමය. ලන්සියා සිය මෝටර් රථයෙන් අධිකරණයට පැමිණ සිටියේ ඔහුගේ බිරිඳ, දරුවා සහ නැගණිය ද සමගය. අවසානයේදී ඔහු, ඔවුන් ඉදිරිපිටම වෙඩි වැදී ඝාතනය වූයේ 2016 වසරේ ජුනි මස 23 වැනිදාය.   


මොහුගේ අවමඟුල් පෙරහරට ගුවනින් මල් ඉසීමේ සිද්ධියක් ද ඒ වනවිට වාර්තා වී තිබිණි. පෞද්ගලික ආයතනයක හෙළිකොප්ටරයක් යොදා ගනිමින් රත්මලාන නිවසේ සිට දේහය රැගෙන යනවිට එයාර්පොට් හන්දිය ඇතුළු ස්ථාන කිහිපයකදී එලෙස ගුවනින් මල් ඉස ඇතැයි පැවසෙයි.   


ගුවනින් මල් ඉසීමේ පාතාල කලාව මෙරටට හඳුන්වා දුන්නේ මාකඳුරේ මදූෂ් බවට අපට මතක් කර දෙන්නේ මදූෂ්ගේ පියාගේ අවමඟුල් පෙරහරට ඔහු ද එපරිද්දෙන්ම මල් ඉස්ස බවට තොරතුරු අනාවරණය වන හෙයිනි. තම සහෝදරයාගේ මරණයට වගකිවයුතු රොහා සොයා දැන් මරාගන්නේ ලන්සියාගේ සහෝදරයා වූ කුඩු අංජු බව ආරක්ෂක අංශ සොයාගෙන තිබේ.   


රොහා ආගිය අතක් නැත. කුඩු අංජු මේ වනවිට ඉතාලියට පැන ගොස් ඇතැයි වාර්තා වෙයි. අංජු පිස්සු වැටී හොයන්නේ රොහාවය. රොහා හීන දකින්නේ අංජුගේ මිනිය දකින්නටය. අංජු හීන බලන්නේ රොහාගේ අවසන් ගමන ගැනය. මේ පාතාල ගැටුම අද රත්මලාන ප්‍රදේශය ගිලගෙන ගිනිගෙන ඇත.   


ආසන්නම සිදුවීම වූ රත්මලාන ප්‍රදේශයේ හෝටලයකට පහර දීමේ සිද්ධියේ හෝටල් හිමිකරු අංජුලාගේ ඉලක්කයක් වී ඇත්තේ කුමන හේතුවක් මත දැයි මේ වනවිට ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් සිටින කරුණකි. “එයාර්ෆෝස් සම්පත්”, “අත්තිඩියේ කරු” යනු “රොහා”ගේ ගෝලයෝය. හෝටල් හිමිකරු මේ අය සමඟ සමීප සබඳතා පැවැත්වීම අංජුගේ කල්ලියට වහකදුරු වී ඇති බවට ආරක්ෂක අංශ සඳහන් කරන්නකි.   


ඉකුත් 2019 වර්ෂයේ දිනෙක ගල්කිස්ස ප්‍රදේශයේ සැලුනයක සිටි එයාර්ෆෝස් සම්පත් සහ අත්තිඩියේ කරු යන අයව ඝාතනය කිරීමට අංජුගේ කල්ලිය ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබිණ. ඒ දිනවල අංජු සිය ෆේස්බුක් ගිණුමේ “වෙඩි වරුසා සම්මාන ලබා දෙනවා” යනුවෙන් තවත් දේවල් ලියූ පෝස්ට්ටුවක් පළ කර තිබුණේ මේ සිද්ධිය හේතුවෙන් බව ආරක්ෂක අංශ සඳහන් කරයි.   


අංජුගේ ගෝලයකු වූ රෝසා, ගල්කිස්ස අධිකරණයේදී රොහා ඝාතනය කරන්නට හැදූ සැලසුම ව්‍යර්ථව ගියේය. එහිදී ආයුධ ද සමග රෝසා ගල්කිස්ස අධිකරණ භූමියේදීම පොලීසියට කොටුවෙයි. පසුව බන්ධාගාරයේ සිට අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී රොහා ඝාතනය කිරීමට අංජුගේ කල්ලිය මාන බලමින් සිටියදී එයද ව්‍යර්ථව ගියේ බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී කඩුවෙල සමයං කළුතර එතනමල ප්‍රදේශයේදී ඝාතනයට ලක්වීම නිසා ආරක්ෂාව තර කිරීම හේතුවෙනි.   


අධිකරණයෙන් ඇප ලැබුණද දිගු කලක් බන්ධනාගාරය තුළ සිටීමට රොහාට සිදුවූයේ ඇපකරුවන්ටද කුඩු අංජු හොඳින් ඉන්නට නොදුන් නිසාය. මේ දෙපාර්ශ්වයේ මරා ගැනිල්ල අවසන් වන ලකුණු පෙනෙන්නට නොතිබිණි. එවන් වූ පසුබිමක කාටත් හොරා ඇප තබා එළියට පැමිණි රොහා අද කොහේ අතුරුදන්ව ඇත්දැයි විමර්ශකයෝ සොයමින් සිටිති.   
පිටිපන ආයුධ සිද්ධියේ ආයුධ තොගයක් ඔහු සතුව ඇතැයි පොලීසියට ඔත්තුවක් ලැබුණද මෙතෙක් ඒ කිසිදු දෙයක් සොයාගැනීමට හෝ රොහා කොහේ දැයි යන්නවත් කාටවත් කිව නොහැකිව ඇත. දැන් දැන් ලැබෙන ආරංචිවල හැටියට රොහා ඉතාමත් ලෙහෙසියෙන් ඉන්දියාවට පලා ගොස් ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නකි. එසේ නම් ඉදිරිය කුමක් වෙයිද?   

 

 

නිරංගි අබේවික්‍රම