ආනන්දයේ සිසුන් ‘නිම්වළල්ල’ සොයා ගිය හැටි


සලරුවක කතාව

 

සිනමාවට අසීමිත ලෙස ආදරය කරන රසිකයන් වශයෙන් අපට කැමති චිත්‍රපටිය කිහිප වතාවක්ම නැරඹිය හැකිය. අපි කැමති සිනමා තරුවලට ආදරය කළ හැකිය. ඔවුන්ට ලියුම් ලිවිය හැකිය. ඔවුන්ට සිහිනෙන් ආලය කළ හැකිය. සිනමාව ගැන ඉගෙන මිලිමීටර් 08 ප්‍රමාණයෙන් හෝ මුදල් හදල් තිබේ නම් කෙටි චිත්‍රපටයක් වුවද කළ හැකිය. එවැනි කෙටි චිත්‍රපට කළ පාසල් සිසුන් ද අපේ රටේ සිටියහ. එහෙත් ශ්‍රී ලංකාවේ අ.පො.ස. හා උ​.පෙළ පන්තිවල උගනිමින් සිටියදී කෙටි චිත්‍රයක් ද, ඉන් ධෛර්මත් වී මි.මී. 35 ප්‍රමාණයෙන් වෘතාන්ත චිත්‍රපටයක් ද නිපදවා වාණිජ චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලංකාවේ සිනමා හල් 22 ක තිරගත කළ පාසල් සිසුන් පිරිසක් ගැන ඔබ මීට පෙර අසා තිබුණාද?   


සත්තකින්ම එය එසේ සිදු විය. 1970 නොවැම්බර් 18 වැනිදා ‘නිම් වළල්ල’ නම් මේ චිත්‍රපටය මරදානේ එල්ෆිනිස්ටන් ඇතුළු සිලෝන් තියටර්ස් සමාගමට අයත් සිනමා හල්වල තිරගත විය.   


චිත්‍රපටයේ සියලු කටයුතුවලට එක් වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු දහ නවය පමණ සිසුන්ය. මේ චිත්‍රපටයට පදනම වැටුනේ 1967 වසරේදීය. මේ සිසු කණ්ඩායමට මා ද ක්‍රියාකාරී සාමාජිකයකු වීමේ භාග්‍ය උදා විය. එබැවින් අද මට කීමට ඇත්තේ මගේ කතාව විය හැකිය.   


ඒ 1966 වසරය. සිනමාව ගැන උමතුවෙන් සිටි අතළොස්සක් වූ පිරිසේ සිටි ප්‍රේමකීර්ති ද අල්විස් දිනක් විවේක කාලයේ පන්තියට වී කතා කරමින් සිටියදී අලුත් ආරංචියක් ගෙනාවේය. 

 
“ඔන්න හෙට අපේ එසම්බලි හෝල් එකට අපේ ඕල්ඩ් බෝයි කෙනෙක්, නිහාල් සිංහ එනවා. එයාගේ කෙටි චිත්‍රපටයක් එංගලන්තයේදී ඉහළම සම්මානයක් දිනලලු. ඒ චිත්‍රපටය ‘භක්ති’ හෙට ප්‍රදර්ශනය කරනවලු.”   
“මටයි පිළිගැනීමේ කතාව කරන්න තියෙන්නේ.”   


අපට ඇති වූ ප්‍රීතිය වචනයෙන් කිව නොහැකිය.   


1965 පොදු රාජ්‍ය මණ්ඩලීය කාඩීෆ් චිත්‍රපට උළෙලේ දී හොඳම වාර්තා චිත්‍රපටය ලෙස ‘භක්ති’ සම්මාන දිනා තිබුණි. චිත්‍රපටයේ අධ්‍යක්ෂ අපේ ආදි ශිෂ්‍යයකු වන නිහාල් සිංහ සමග විදුහල්පති කර්නල් ඊ.ඒ. පේරුසිංහ මහතා ද ශාලාවට පැමිණියහ. අපි අසුන්වලින් නැගිට අමුත්තාට අත්පොළසන් දුනිමු.   


චිත්‍රපටය බලා අපි පන්තියට ආවේ චිත්‍රපටය බලා තිබූ උද්දාමයෙනි. අපි යයි කීවේ රංජිත් ලාල්, ප්‍රේමකීර්ති ද අල්විස්, නම්මුනි සොයිසා, චන්ද්‍රසිරි මුදන්නායක, ආනන්ද නිලවීර, පී.ටී. අමරසිරි හා මමය. අපි කතා කළේ කෙටි චිත්‍රපටක් හැදීම ගැනය. පාසලේ සිටි හොඳම නිවේදකයා මෙන්ම ලේඛකයා වූ ප්‍රේමකීර්ති අපට තේමාවක් දුන්නේය. මිනිසුන්ගේ කායික හා මානසික වීර්යය ගැනය ඒ. චිත්‍රපටයේ නම ‘වෙර’ ය. අපි මේ කෙටි චිත්‍රපටය සැලසුම් කළෙමු. අපේ කට්ටියේ නායකයා රංජිත් ලාල් ය. එහි සංගීත අධ්‍යක්ෂවරයා ද ඔහුය. මම කලා අධ්‍යක්ෂවරයා වීමි. ‘වෙර’ රූපගත කිරීමට කම්කරුවන්, මුට්ට කර ගසන්නන්, මංකොල්ලකාරයන්, ගණිකාවන් සොයා ලුහුබැන්දෙමු.   


චිත්‍රපටය නිම කිරීමෙන් පසු එහි මංගල දර්ශනය 1966 වසරේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ තිරගත කළේ එවකට කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි උසස් සිනමා කෘති අසීමිතව බලන උසස් රසිකයකු වූ අනුර බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙනි.   


අනුර චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රංජිත් ලාල්ගේ සමීප මිතුරෙකි. අනුරගේ මෑණියන් වූ සිරිමාවේ බණ්ඩාරනායක මැතිනිය රංජිත් ලාල්ගේ පියා වූ මිනුවන්ගොඩ ඩේවිඩ් සිල්වා හා වයලට් සිල්වාගේ කුළුපඟ මිතුරියකි.   
එදා ‘වෙර’ චිත්‍රපටය බැලූ අනුර බණ්ඩාරනායක අපට හදවතින්ම සුබ පතා මෙසේ කීවේය.   


“දැන් ඔයගොල්ලෝ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරන මට්ටමේ චිත්‍රපටයක් කරන්න. මම ඒකට සල්ලි ටිකකුත් දෙන්නම්.”   


රංජිත් ලාල්ගේ දෙමපියන් ද මිනුවන්ගොඩ පීල්ලවත්තේ ධනවතුන්ය. ඒ නිසා අපට වෘතාන්ත චිත්‍රපටයක් කිරීමට ශක්තියක් විය.   


එකල ලංකාවේ පැවැත්වූ ප්‍රංශ, පෝලන්ත, ජර්මන්, බෙංගාලි චිත්‍රපට නැරඹීමට ගොස් හඳුනා ගත් වෙනත් පාසල් සිසුන් කිහිප දෙනකු රංජිත් ලාල්ගේ හා මගේ හොඳම මිතුරන් වූහ. අපි මේ චිත්‍රපට බලා බම්බලපිටියේ ලයන් හවුස් එකට ගොස් තේ බොමින් අප දුට සම්භාව්‍ය චිත්‍රපට ගැන කතා බස් කළෙමු. මේ පිරිසට නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ සුනිල් ආරියරත්න, මරදානේ සාන්ත ජෝෂප් විද්‍යාලයේ ලාල් දිසානායක, කෑගලු විද්‍යාලයේ ඩිල්මන් ජයරත්න, තර්ස්ටර්න් විද්‍යාලයේ ගාමිණී විජේතුංග අයත් වූහ.   


අප කරන වෘතාන්ත චිත්‍රපටය ගැන අනියත බියක් ඇති විය. පාසලක උසස් පෙළ පන්තියක උගන්නා අපි කිහිප දෙනකුට මෙවැනි බරපතළ වැඩක් කළ හැක. අඩු තරමින් රුපියල් ලක්ෂයක් වත් අප සතුව තිබිය යුතුය. අපේ අධ්‍යක්ෂ රංජිත් ලාල්ගේ දෙමාපියන්ගෙන් රු. 10,000 ක් ඉල්ලා ගත් අපි කටයුතු සැලසුම් කළෙමු. ආනන්දේ පුස්තකාලයේ දී විවේක කාලයේ දී ද පුංචි බොරැල්ලේ ඩී. මෙල් හෝටලය, පැරිසින් හෝටලය, චාරිකා ලර්නර්ස් හීද අප රැස් වූ තැන්ය. ආනන්දයේ උගැනුම ලබමින් සිටියදීම ලේක් හවුස් සිළුමිණ පත්‍රයේ සේවයට ගිය සුනිල් මාධව ප්‍රේමතිලක ලවා අපි කතා සංකල්පය ලියා ගතිමු. චිත්‍රපටය මුලින් නම් කර තිබුණේ ‘යළිත් වසන්තය’ කියාය. ඒ නමින් ජනප්‍රිය නවකතාවක් චන්ද්‍රසේකර මල්ලවආරච්චි ලියා තිබූ නිසා අපි චිත්‍රපටයේ නම ‘නිම් වළල්ල’ යයි හැඳින්වීමු.   


අපිට මොකක්දෝ කියන්න ලොකු ඕනෑකමක් තිබුණා. මේක කොහොමද කියන්නෙ. ඒක අපේ කතාව. අපි මේක සිනමාවෙන් කියමු. කාගේත් ඇස් දිළිසුණා. ඉවුරු බිඳ ගෙන ගලා එන ජල ප්‍රවාහයක් වගේ අපේ සිත් තුළ සතුටු බුබුළු නගින්න වුණා. නිම් වළල්ලේ සිහිනය පුංචි කළළ රූපයක් වෙලා අපේ කල්පනා ලෝක අතර ඉපදුණා. මුතු බෙල්ලෙකුගෙ පුපුරු ගහන වේදනාව පියන් පත් අතර හිරවෙලා.   


අප්‍රමාණව ජීවිතේට වද දෙන මේ වේදනාව පුංචි මුතු ඇටයක් විදිහට එළියට දුන්න ඌ කොයි තරම් දුක් වින්දද? අපේ කථාවත් ඒ වගෙයි. අපේ හදවත් සසල කළ සියුම් හැඟීමක් නිර්මාණ වේශයෙන් පිට කරන්න අපි හුඟාක් දුක් වින්දා. අපිට සල්ලි තිබුණේ නෑ. ඒත් ඉතුරු වෙලා තිබුණ එක දෙයක් තිබුණා. ඒ අපේ හිතේ තිබුණ ආශාව. ඒත් ඊට කිසිම පිළිසරණක් නැති අකාරුණික ලෝකෙක අපි කොහොමද අපේ සිතුවිලි නිර්මාණ වේශයෙන් පිට කරන්නේ. චිත්‍රපටයක් නිර්මාණය කිරීම යන වචනවල සුන්දරත්වය යටින් තිබුණ බැරෑරුම්කම අපට අවබෝධ වුණා. සමහර දවස්වල කෑමටවත් අපට සල්ලි තිබුණෙ නෑ. අපි පයින් ඇවිද්දා. නළු නිළියන් පස්සේ ගියා. හුඟාක් ශිල්පීන් අපේ මඟ අහුරල කටු අකුල් දාලා වෙන් වුණා. සමහරු මේක කොල්ලන්ගේ පිස්සුවක් කියලා අවඥාවෙන් හිනා වුණා. කොටින්ම අපේ දෙමව්පියන්වත් මේක මේ චිත්‍රපටය මේ විදිහට කරයි කියලා හිතු​ෙව නෑ. ඒත් අපි හුඟාක් දුක් විඳලා අපේ නිර්මාණය බිහි කළා. අපේ සිත් තුළ පිපුණු ඒ සිහිනය සුවඳ කිරීමට උදව් දුන් අයත් සිටියා. ආචාර්ය සිරි ගුණසිංහ, ඩී.බී. නිහාල්සිංහ, ​ප්‍රේමසිරි කේමදාස, දොස්තර ලීනස් දිසානායක, හියුගෝ ජයමහ, මුදලි ගුණරත්න රත්නායක ආදීන් නොයෙක් අයුරින් අපට ආධාර දුන්නා.   


තිර නාටකය රචනා කළේ ආනන්දයේ ඉංජිනේරු අංශයේ ඉගෙනුම ලැබූ දක්ෂ මූර්ති ශිල්පයකු වූ අසෝක ඩයස් වීරසිංහ. තිර නාටකය සකස් කර ගැනීමට අපට තිස්ස අබේසේකර හා ධර්මසේන පතිරාජ දෙපළගෙන් උපදෙස් ලැබුණා.   


චිත්‍රපටයේ වැඩිහිටි චරිත සඳහා රුක්මනී දේවි, පියදාස ගුණසේකර, දෙනවක හාමිනේ හා ජේ.බී.එල්. ගුණසේකර අපට උපකාරයක් වශයෙන් පැමිණියේ ​ෙසාච්චම් මුදලකටය. ඒ වෙනවිට ‘සත් සමුදුර’ චිත්‍රපටයේ රඟපෑ මා උපන් කොස්ගස් හන්දියේ අප සමග එකට හැදුණු ස්වර්ණා මල්ලවාරච්චි ප්‍රධාන චරිතයට මා රෙකමදාරු කළෙමි. ප්‍රධාන නළුවා දරිද්‍රතාවයකින් අසහනයෙන් පෙළෙන නළුවා තෝරා දීමේ කාර්යය ද මට පැවරණි.   
කොස්ගස් හන්දියේ ස්වර්ණ චෛත්‍යය පාරේ පදිංචි නිශ්ශංක අමරසිංහ තරුණයා ගැන මට එකවරටම සිහියට නැගිණ. ඔහු ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ​ෙජා්ෂප් විද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකි. එමෙන්ම ඔහුගේ සොහොයුරන් වූ උපාලි හා චන්ද්‍රා ද මම හඳුනමි.   


“නිශ්ශංක කැමති නැද්ද චිත්‍රපටයක රඟපාන්න?” මම ඔහුගෙන් ඇසුවෙමි.   


“අකමැත්තක් නෑ.”   


“එහෙනම හෙට උදේ අපි ආනන්ද කොලේජ් එකට යමු.”   


“යමු..” ඔහු සිනාසෙමින් කීය.   


එදින පාසලට ගිය මම අලුත් තරුණයා ගැන අපේ පිරිසට කීවෙමු.   


“උඹ කියනවා නම් ඌ හොඳ ඇති. උඹ කොස්ගස් හන්දියෙන්ම ප්‍රධාන නිළියයි, නළුවයි තෝරා ගත්තනේ” දැයි නම්මුණි මට වදේ දැම්මේය.   


අපේ පන්තිය තිබෙන්නේ ලෙඩි බීටර් ගොඩනැගිල්ලේ උඩු මහලේ පාර පැත්තට පෙනෙන කොණේය. මම පසුදා නිශ්ශංක අමරසිංහ ද කැටුව ආනන්දයේ දොරටුවෙන් ඇතුළු වීමි. මගේ කීමට ඔහු පාසල් ඇඳුමින් සැරසී සිටියේය. රංජිත් ලාල් ඇතුළු මගේ මිතුරෝ පංති කාමරයේ සිට පාර පැත්ත බලා සිටියෝය.   


“ඔය දෙන්නා ගේට්ටුවෙන් ඇතුල් වෙන කොටම මට හිතුණා අපේ ෆිල්ම් එකේ ජිනේ එනවා කියලා. මේ තමයි මිනිහ.” රංජිත් ලාල් නිශ්ශංකගේ අත අල්ලා ගනිමින් සතුටින් පිළිගත්තේය. ‘නිම් වළල්ලේ’ ප්‍රධාන චරිතය වූ​ ‘ජිනේ’ ලෙස නිශ්ශංක තෝරා ගත්තේය.   


අපේ සහෝදර පාසල වූ නාලන්දාවට මා නිතර ගියේ හේමසිරි ප්‍රනාන්දු අමාත්‍යාංශ ලේකම් හමුවීමටය. ආනන්ද - නාලන්ද ක්‍රිකට් සමරුව ඔහු සංස්කරණය කළ නිසාත් එහි පිටකවර ඇඳීම මට භාරව තිබූ නිසාත්ය. තිස්ස විජේසුන්ද්‍ර නම් ශිෂ්‍යයා නාලන්දේ කැපී පෙනුන සිනමාවට උචිත මුහුණක් ඇති බව මට පෙනුණා. ඔහු ගැන මම අධ්‍යක්ෂ රංජිත් ලාල්ට කිව්වම ඔහු ‘නිම් වළල්ලේ’ සම්පත් නම් ධනවත් තරුණයාගේ චරිතයට තෝරා ගත්තේය. තිස්ස මුලින්ම රඟපෑ චිත්‍රපටයට නිම් වළල්ලය. රැයත් දවාලත් කෙටි චිත්‍රපටයේ රඟපෑ අමරසිරි කලංසූරිය දඟකාර පාසල් ශිෂ්‍යයෙක් හැටියටයි අපි තෝරා ගත්තෙමු. ජානකී කුරුකුලසූරිය, සිරිල් වික්‍රමගේ, දේවිකා කරැණාරත්න කිංස්ලි දිසානායක, මෝනා මංගලා මේ චිත්‍රපටයේ රඟ පෑ සෙසු පිරිසය.   


චිත්‍රපටයේ විකාශනය වෙන්නේ මෙසේය.   


දුම්රිය කම්කරුවෙකුගේ (පියදාස ගුණසේකර) පුතකු වන ජිනේ (නිශ්ශංක අමරසිරි) උසස් විද්‍යාලයක ඉගෙනුම ලබන්නේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙනි. විද්‍යාලයේ දී ජිනේට සම්පත් නම් ධනවත් ශිෂ්‍යයෙකු සමග ඇසුරු කිරීමට අවස්ථාව ලැබෙයි. දරිද්‍රතාවයෙන් පෙළෙන ජිනේ යමක්කමක් ඇති මිතුරන් ඇසුරු කිරීමට මැළිවෙයි. සම්පත් සැමවිටම ජිනේව අලුත් සමාජයට ගෙන ඒමට උත්සාහ ගනී. සම්පත් තම ධනවත් නිවසට ජිනේට ඇරයුම් කරන්නේ තම ඥාති සොහොයුරියක වන නිලුගේ (ජානකී කුරුකුලසූරිය) උපන් දින සාදයක් වෙනුවෙනි. අකමැත්තෙන් සහභාගී වෙන ජිනේට මෙහිදී සම්පත්ගේ සොහොයුරිය වන චිත්‍රා ද හඳුනා ගැනීමට ලැබෙයි. උපාධිධාරිණියක් වූ චිත්‍රා ජිනේට පන්තියේ දුර්වල විෂයන් වන සාහිත්‍ය හා ඉතිහාසය විෂයයන්ට උදව් කරයි. නිලු ද ජිනේට සෙනෙහස දක්වන අතර චිත්‍රා නොසන්සිඳුන කාමාශාව තෘප්ත කර ගැනීමට උත්සහ ගනී. නිලුටත් චිත්‍රාටත් මැදිවෙන ජිනේ අතරමං වෙයි. බීමත් පියාගේ තර්ජන ද ආච්චිගේ (දෙනවක හාමිනේ) ආදරය ද අතර දෝලනය වන ජිනේ මානසික අර්බුදයකට ලක් වෙයි. සමාජ විෂමතාවන් හා මානසික අර්බුදය තරුණ අසහනය ගැන නිම් වළල්ලෙන් කියවෙයි.   


නිම් වළල්ලේ කැමරාව මෙහෙය වූයේ ඩිල්මන් ජයරත්නය. සංස්කරණය කළේ ලාල් දිසානායකය.   


නිම් වළල්ල චිත්‍රපටයේ තිර නාටකයේ අඩු පාඩු සකස් කර ගැනීමට 1968 වසරේ තිස්ස අබේසේකරයන් හමුවීමට මම විජේරාම පාරේ ජ’පුර විශ්වවිද්‍යාලයට යන පාරේ එගොඩවත්ත පාරේ පදිංචිව සිටි ඔහුගේ නිවසට ගියෙමි.   


එහිදී මට මගේ වයසේ තරුණයෙකු තිස්ස විසින් හඳුන්වා දුන්නේය. 

 
“ඔයා මෙයාව දැකලා තියෙනවද ඉස්කෝලෙදී?”   


තරුණයා සිනාසුණේය.   


“මම ඉන්නේ ඔයා ඉන්න පන්තියට එහා පන්තියෙ.” තරුණයා පිළිතුරු දුන්නේය.   


“මෙයත් සිනමාවට ආදරෙයි. නම බන්දුල පද්ම කුමාර. එයාවත් නිම් වළල්ලට සම්බන්ධ කර ගන්න.”   


“ඔයා හෙට ඉන්ටවල් එකේදී අපේ පන්තියට එන්න. අපේ අධ්‍යක්ෂ රංජිත් ලාල්ට හඳුන්වල දෙන්නම්.”   


පසුදා බන්දුල අපේ පන්තියට ආවේය.   


“ලාල්, මෙයා තිස්ස අයියගේ නෑයෙක්. එයා කැමැතියි අපේ ෆිල්ම් එකේ වැඩට සම්බන්ධ වෙන්න” මම රංජිත් ලාල්ට කීවෙමි.   


චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස අපි ඔහු බඳවා ගතිමු. එකල පෝලන්ත චිත්‍රපටයේ කැපී පෙනෙන චිත්‍රපටයක් වූ පැසෙන්ජර් නම් චිත්‍රපටය ගැන පැවැත් වූ රචනා තරගයෙන් මුල් තැන හිමිවූයේ ආනන්දයේ අපේ බන්දුලටය. සිනමාව ගැන පොත පත කියවා ගැඹුරු දැනුමක් ඇති ඔහු පත්තර කලාවේ ඈතටම යන බව අපි දැන සිටියෙමු.   


කලා අධ්‍යක්ෂවරයා වූ මම කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරයේ දී පැල්පත් සමූහයක් නිර්මාණය කළෙමි.   


ජිනේගේ නිවසේ අභ්‍යන්තර දර්ශන රූපගත කළේ මේ පසුතලවලය. සිරිසේන විමලවීර නම් පුරෝගාමී සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ නව ජීවන චිත්‍රාගාරයේ අවසාන පසුබිම් තල සකස් කිරීමට ලැබීම භාග්‍යයක් ලෙස මම අදත් සලකමි.   


චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළේ, ගී තනු නිර්මාණය කළේ ද අධ්‍යක්ෂ රංජිත් ලාල් විසිනි. එකල මා හා රංජිත් ලාල් මරදානේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත මංජරියට නිතර ගියෙමු. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ශිෂ්‍ය සුනිල් ආරියරත්නයන්ගේ ගීත රචනයේ ප්‍රවීණත්වය දැක ගත් අපි ඔහු ලවා චිත්‍රපටයේ තේමා ගීතය රචනා කර ගතිමු. වික්ටර් රත්නායක ගැයූ මේ ගීතය සුනිල් චිත්‍රපටයකට ලියූ මුල්ම ගීතයයි.   


“නොනිමි ගැටලු සාගරයේ   
සිතුම් පැතුම් රැළි මාලා   
ආසාවේ වෙරළ වැතිර   
නිරන්තව හඬා වැටේ”   


ලංකා ගුවන් විදුලියේ ළමා ගීත රචකයකු ලෙස කැපී පෙනුණ මහින්ද අල්ගමගේ දක්ෂතා දැක තිබූ මා ඔහු චිත්‍රපටයේ එන සී.ටී. ප්‍රනාන්දු විසින් ගයන ගීතය ලිවීමට රංජිත් ලාල්ට යෝජනා කෙළමි. පාසල් සැණකෙළියක දී ගැයෙන මේ ගීතය ආනන්ද සැණකෙළියේම රූපගත කිරීමට විදුහල්පතිවරයා අවසර ලබා දුන්නේය.   


“නිසයුරු මුතුළැල් සැලෙන වෙලාවේ   
නුරා බඳුන් සතුටින් පුරවා   
සිනා මැදින් එය ලවන් සිපිද්දී   
මල් කුමරුන් මල් සොයා ​ඇදේ”   


මේ ගීතය රූපගත කරද්දී මහින්ද අල්ගම රූ බර තරුණියක් හා ඩාන්ස් කරන අවස්ථාවක් චිත්‍රපටයේ අපි රූගත කළෙමු.   


එකල (1967) ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ ‘නටන නැටුම්’ ගීතය ගැයූ නෙවිල් ප්‍රනාන්දුගේ හඬට අපි වශී ව සිටියෙමු.   


“අපි නෙවිල්ට කියලා ලස්සන සිංදුවක් ගායනා කරවමු.” අපේ කණ්ඩායමේ සගයෙක් කීය.   


“මම දැනටමත් ඒ ගැන හිතලා ගීතයක් ලියලා තනුවක් හදලා තියෙන්නේ.” රංජිත් ලාල් කීවේය.   


ඉන්පසු රංජිත් ලාල් මේ ගීතය වයමින් ගයන්නට විය. පසුදා අපි නෙවිල් සොයා බෞද්ධාලෝක මාවතේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සිතියම් අංශයට ගියෙමු. නෙවිල් හා රංජිත් ලාල් ඇතුළු අපේ කන්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වීමට මේ ඇසුර දුර දිග ගියේය. ගිටාරය අරගෙන අපේ දර්ශන තලයට එන ඔහු රූගත කිරීම් අවසන් වූ පසු අපේ අලුත්ම ගීය වයමින් මියුරු හඬින් ගැයූ අයුරු මට දැනුදු මැවී පෙනෙයි.   


“අනන්ත වූ තරු පිපෙන රැයේ  
සරා සදේ සොමි කැන් පාවී   
යොවුන් මලක රොන් සොයා ඇදේ  
රිදී වලා සළු තුළින් පෙරී” 

 
චිත්‍රපටයේ පාසල් දර්ශන විශේෂයෙන් පන්ති කාමරවල දර්ශන ගැනීමට අපට සෙනසුරාදා, ඉරිදා දිනවල රෑගත කිරීමට ආනන්ද විදුහල්පති සේරුසිංහ මහතා හා උපවිදුහල්පති මේජර් ජී.ඩබ්ලිව්. රාජපක්ෂ මහතාගේ සහාය ලැබිණි.   


පන්ති කාමර දර්ශනවලදී රඟපෑමට පාසලේ අප පන්තියේම සිටි රත්නසිරි රාජපක්ෂ (හිටපු නගරාධිපති), ජයන්ත කළුපහන (මාධ්‍යවේදී), නිමල් හෙට්ටිආරච්චි (ආචාර්ය), ශ්‍රී ලාල් ජයමහ තෝරා ගතිමු.   


අපි නුවරඑළියේ දී දර්ශන රැසක් රූපගත කරන ලදී. සම්පත්ගේ (තිස්ස විජේසුරේන්ද්‍ර) නිවස ලෙස ජාවත්ත පාරේ පිහිටි සුඛෝපභෝගී නිවස අපට ලබා දී අප කණ්ඩායමට කෑමෙන් බීමෙන් සංග්‍රහ කළේ ද‌ාස සමූහ ව්‍යාපාරයේ සභාපති ගුණදාස මහතාය. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම කරට ගත්තේ නම්මුණි ද සොයිසා, චන්ද්‍රසිරි මුදන්නායක හා ආනන්ද නිලවීර හා පී.ටී. අමරසිරි ය.   


අවුරුදු 1 1/2 ක් දුක් විඳ, බිහි කළ මී පැටවා ‘නිම් වළල්ල’ ය. දැන් තිබෙන ප්‍රශ්නය මේ චිත්‍රපටය ප්‍රසිද්ධ සිනමා ශාලා වල ප්‍රදර්ශනය කිරීමය. ප්‍රකට සිනමා ප්‍රදර්ශන සමාගම් වැඩි ආදායමක් ලබන චිත්‍රපට විනා අප වැනි කජු කිරි කොල්ලන්ගේ චිත්‍රපටවලට ප්‍රිය නැත. එහිදී අපට පිහිටට සිටියේ රංජිත් ලාල්ගේ දෙමාපියන්ය. රංජිත් ලාල් තම දෙමාපියන්ට කෙළින් යමක් පවසන්නේන නැත. ඔහුට අවශ්‍ය මුදල් හා වෙනත් කටයුතු සම්බන්ධීකරණය කළේ නම්මුණි, මුදන්නායක, නිලවීර හා මාය. මේ අනුව මගේ යෝජනාව ජය ගත්තේය. එවකට විපක්ෂයේ සිටි මෛත්‍රීපාල සේනානායක මහතා හා බිරිය රංජි හැන්ඩි (මාධ්‍යවේදිනියකි) සිලෝන් තියටර්ස් සමාගමේ සභාපති සෙල්ලමුත්තු මහතා සමඟ සමීප ඇසුරුක් තිබෙන බව මට ආරංචියක් ලැබී තිබුණි. මෛත්‍රීපාල සේනානායක මහතා රංජිත් ලාල්ගේ දෙමාපියන්ගේ කුළුපහ මිතුරන්ය. අපි මේ ගැන ඔවුන් හරහා ක්‍රියාත්මක කිරීමට බල කර සිටියෙමු. එය අකුරට ඉටු විය.   


මේ සමගම 1970 මහා මැතිවරණයෙන් බණ්ඩාරනායක මැතිනියගේ රජය බලයට පත් විය. ‘නිම් වළල්ල’ මංගල දර්ශනය 1970 නොවැම්බර් 18 වැනිදා කොළඹ රීගල් සිනමා හලේ පැවැත්වූයේ නව අගමැතිනිය හා කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනි. නිම් වළල්ල සමග තවත් කෙටි චිත්‍රපට දෙකක් තිර ගත විය. ඒ සුනිල් ආරියරත්නගේ ‘සරාගී’, රංජිත් පෙරේරාගේ ‘මා වැනි බිළින්ද‌ා’ යන කෙටි චිත්‍රපට දෙකය. චිත්‍රපටය නැරඹූ අගමැතිනිය අපේ චිත්‍රපටය හැම කෙනෙකුම අනිවාර්යෙන් නැරඹිය යුතු බවට ප්‍රකාශයක් ලියා දීමට කාරුණික වූවාය. එය අප වෙළෙඳ දැන්වීමක් ලෙස පළ කළෙමු.  


නිම් වළල්ල සිලෝන් තියර්ටස් සමාගමේ සිනමාහල්වල ප්‍රදර්ශනය වෙද්දී සිනමාස් සමාගමේ සිනමාහල්වල ගාමිණී ෆොන්සේකා රඟ පෑ ‘ඔහොම හොඳද?’ චිත්‍රපටය සෙනඟ පොර කකා නැරඹූහ. අපට පිහිටට සිටියේ විචාරක ප්‍රශංසා පමණි. ලංකාවේ සෑම පුවත්පතකින්ම විශාල ප්‍රචාරයක් දී අපව දිරි ගැන්වූහ.   


දිනමිණ කර්තෘ එස්. සුබසිංහ මහතා දිනමිණ පුවත්පතට විචාරයක් 1970 නොවැම්බර් 26 ලියා තිබුණේ ‘නිම් වළල්ල: ජයග්‍රාහක පියවරක්’ යන නමිනි. මේ ඉන් කොටසකි.   


“සුනිල් මාධව ප්‍රේමතිලක ලියා ඇති කතාව තිරය මත කියාපෑමට රංජිත් ලාල් සිනමා මාධ්‍ය නිසියාකාරව උපයෝගී කර ගෙන තිබෙන අන්දම ගැන සලකා බලන විට නිම් වළල්ල සිංහල චිත්‍රපටයකැයි හඳුන්වනවාට වඩා සිනමා චිත්‍රපටයකැයි හැඳින්වීම වඩාත් මැනවයි මට සිතේ. චිත්‍රපට කතාව විකාශනය වීමට රංජිත් කුමාරගේ පසුබිම් නිර්මාණය ඉමහත් රැකුලක් වී ඇත.”  


 අධ්‍යක්ෂ රංජිත් ලාල්, කතා රචක සුනිල් මාධව ප්‍රේමතිලක, කලා අධ්‍යක්ෂ රංජිත් කුමාර සහ කැමරාව මෙහෙය වූ ඩිල්මන් ජයරත්න අතරින් මගේ මනසෙහි මැවී පෙනෙන්නේ ලාබාල ගැටවරයින් හතරදෙනෙකු මෙන් නොව ජීවිතය ගැන පුළුල් අත්දැකීම් ලත් විවේක බුද්ධියක් හා අවබෝධ ඥානයෙන් යුතුව සානුකම්පිතව සමාජ ප්‍රශ්න දෙස බලන වෘද්ධයින් හතර දෙනෙකු ලෙසිනි.   


ඩී.සී. රණතුංග, බෙනඩික්ට් දොඩම්පෙගම, ඩී.බී. වර්ණසිරි, ආතර් යූ. අමරසේන, විමලසිරි පෙරේරා, ලක්ෂ්මන් වික්‍රමසිංහ, එඩ්වින් ආරියදාස, තිස්ස අබේසේකර, සිරිල් බී. පෙරේරා, පර්සි ජයමාන්න අාදී මාධ්‍යවේදීන් ‘නිම් වළල්ලට’ අනුග්‍රහ දැක්වූහ. චිත්‍රපට ප්‍රේක්ෂක ප්‍රචාරක නොලැබුණු අවස්ථාවක සිරිල් බී. පෙරේරා අපූරු පුවත්පත් දැන්වීමක් ලියා දුන්නේය.   


“අපි මේ චිත්‍රපට පුච්චා දමමු.”   


“පාසල් යන සිනමාවට ආදරය කරන තරුණ සිසුන් එක්ව නිපද වූ ‘නිම් වළල්ල’ ඔබ නොබලන්නේ නම් අපි මේ චිත්‍රපටය පුච්චා දමමු.”   


මේ දැන්වීම පළ වූ පසු තව සතියක් අපේ චිත්‍රපට රඳවා තැබීමට සමත් විය. ජයවිලාල් විල්ගොඩ ලියා තිබූ විචාරයෙන් කොටසක් දක්වා මේ ලිපිය අවසන් කරමි.   


නිම් වළල්ලේ නිර්මාතෘ රංජිත් ලාල්, කැමරා ශීල්පී ඩිල්මන් ජයරත්න හා ගීත රචක මහින්ද අල්ගම හා ප්‍රචාරක නිර්මාණවලට සහය වූ ගාමිණී විජයතුංග ද අද ජීවතුන් අතර නැත. 

 
“සිංහල සිනමාව මඩ ගොහොරුවෙන් මුදා ගත හැක්කේ අලුත් ආකල්පයක් ඇතිව අලුත් අදහස්වලින් පණ පෙවී අලුතෙන් මේ බිමට පිවිසෙන නව පරපුරකටය.”   

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර  


ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්