අත්ලේ රේඛා සලකුණුවලින් හෙළි වෙන රෝග ලක්ෂණ


අත්ල පරීක්ෂා කිරීමෙන් හා අත්ලේ පිහිටන රේඛා ලක්ෂණ සලකුණු ආදියෙන් කෙනෙකු තුළ බලපවත්නා රෝග ලක්ෂණ කලින් දැනගැනීමට හැකි වීම දේශ ලක්ෂණ විද්‍යාව තුළින් ද ලද හැකි මහඟු කාර්යයකි. එය බොහෝ විට එම රෝග වළක්වා ගැනීමට ද මහත් පිටිවහලක් වෙයි. අත්ලක පිහිටන ප්‍රධාන රේඛා අප්‍රධාන රේඛාවලින් මෙන්ම අත්ලේ පිහිටන තිත් ලප කැළැල් හා සලකුණු මගින් ද කෙනෙකුට බලපාන ලෙඩ දුක් හදිසි අනතුරු ආදිය ද කලින් දැන ගත හැකිය. 

අත්ලේ සිනිඳු ගතියෙන් ද ප්‍රධාන රේඛා පැහැදිලිව පිහිටීමෙන්ද සිහින් රේඛාවල අඩු කමින් ද බොහෝ විට පුද්ගලයින්​ෙග් නිරෝගීකම පැහැදිලි වෙන බව සාමුද්‍රක ශාස්ත්‍රයේ පෙන්වා දී ඇත. නිරෝගී අයකුගේ අත්ල සුදු මිශ්‍ර රෝස පැහැයෙන් යුක්ත වන අතර ඉතා සියුම් උණුසුම් බවක් ද පෙන්වයි. ප්‍රධාන රේඛාවන් පැහැදිලිව පෙන්නුම් කළයුතු අතර එම රේඛාවන් කැපීම්, බිඳීම්වලින් යුක්ත නොවිය යුතුය. 


අත්ල හා ​ෙර්ඛා රක්ත වර්ණයෙන් දිස්වීම අත්ලේ සම වියළි බවක් ​ෙපන්වීම ගැස්ට්‍රයිටිස් වැනි රුධිරය ආශ්‍රිත රෝග වැළඳීමට හේතු වේ. අත්ලේ විහිදෙන පළල් වූ සුදුමැලි රේඛා වලින් ශාරීරික දුර්වලකම් හා පාණ්ඩු ගතිය ප්‍රකට කරන අතර කිසියම් අයකුගේ අත්ල සම හා රේඛා කහ පැහැයට හුරු නම් එමගින් පෙන්නුම් කරන්නේ පිත් අධික රෝග වැළඳීමේ ප්‍රවණතාවක් ඇති බවයි. එය සෙංගමාලය වැනි උණ රෝග වැළඳීමට ද හේතුවක් විය හැක. විවිධ වර්ණවලින් යුතු අඳුරු පැහැති රේඛාවලින් අාමවාත රෝග වලින් පීඩා විඳීමට ​ෙහ්තුවක් වේ. 


කෙනකුගේ ශරීරය තුළ රුධිර සංසරණයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂයෙන් සටහන් වන රේඛාව හෘදය රේඛාව (1) වේ. රුධිර ධාවනයේ යම් කිසි අක්‍රමිකතාවක් අැති වූ විට එම මොහොතේම මෙම රේඛාවේ සටහන් වෙන නිසා සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේදී අත්ලේ අනිත් රේඛාවලට වඩා හෘදය රේඛාව වැදගත් වෙයි. පෙනහලු හා ශ්වාස නාළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවද මෙම රේඛාව වැදගත් වෙයි.


පෙනහළු හා ශ්වාසනාලයේ ක්‍රියාකාරිත්වය පිළිබඳවද මෙම රේඛ​ාවේ සටහන් වෙයි. හෘදය රේඛාව කහ පැහැ ගැන්වී තිබීම හෘදය රෝග හෝ පෙණහලු රෝග ඇති බවට සලකුණකි. අධික දුම්පානය හෝ මත් පැන් පානය කරන අයගේ හෘදය රේඛාව කහ පැහැ ගැන් වී අැති බව දැකිය හැක. හෘදය රේඛාව ගැඹුරුව අත්ලේ පිහිටා ඇති අය බොහෝ විට රුධිර ධාවන රෝග ස්නායු දුර්වලතා ඇති වීමෙන් අංශ භාගය වැනි රෝග පීඩාවන්ට ගොදුරු වෙයි.


 හෘදය රේඛාවේ කළු පාට තිත් වැටීම හදිසියේ හෘදයාබාධ රෝගයක් වැළඳීමට හේතු වන අතර ඒවා රතු කහ පැහැයකින් යුතු ලප තිත් අධික වීම රෝග තත්ත්වයන් පිළිබඳ සලකුණු ලෙස සැලකේ. එමෙන්ම මෙම පිහිටීම් ඇති බොහෝ පුද්ගලයන් දැඩි ලෙස කෝප සහගත වේ. ජීවන රේඛාවේ පිහිටි ලප හෝ තිත් වලින් ද රෝගා බාධා හෝ කිසියම් ඥාතිවරයකුගේ වෙන් වීමක් පෙන්නුම් කරයි. 


ශීර්ෂ රේඛාවේ (2) මෙවන් පිහිටීම් වූයේ නම් හදිසි අනතුරක් පිළිබඳවද හැඟවීමක් කරයි. එහෙත් එම ලප සටහන් කළු පැහැ හෝ කහ පැහැ වී නම් රෝගාබාධ ලක්ෂණයකි. යම් හෙයකින් නිල් පැහැයට හුරු තිත් හෝ ලප පිහිටියේ නම් රුධිර රෝග හෝ ස්නායු රෝග මතු වීමට පුළුවන. 


අත්ලේ රේඛාවල පිහිටි දූපත් සටහන්වලින් අසනීපයක් සලකුණු පෙන්නුම් කරන අතර නැති නම් එම සලකුණ මානසික ප්‍රකට කරන්නක් වෙයි. රේඛාවක් පැලීමෙන් අතු දෙකකට බෙදී නැවත එම අතු රේඛා එක් වී​ෙමන් දුපත් සලකුණ නිර්මාණය වෙයි. කල් ගත වන රෝග පාරම්පරික රෝග වැනි ව්‍යාධීන් පිළිබඳව දූපත් සටහනකින් හඳුනා ගත හැකිය. 


​ෙම් අනුව ශීර්ෂ රේඛාවේ දූපත් සලකුණින් මානසික රෝගාබාධ ජීවන රේඛාවේ වී නම් ශාරීරික දුබලතා ද දෛව රේඛාවේ වී නම් දෛවය වෙනස් කරන තරමේ බලවත් රෝගද රවි රේඛාවේ වී නම් චර්ම රෝග මානසික රෝග අපකීර්තිය රාජ්‍ය දඬුවම් තනතුරුවලින් පහවීම් ආදී අශුභ සිදුවීම් ද සුඛ රේඛාවේ වී නම් අනිවාර්යයෙන්ම රෝග පීඩා ද හෙළි කරයි. 


3 ජීවන රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් කෙලවර වන්නේ නම් ගර්භාෂ ගත රෝග හා මුත්‍රා රෝග ආදිය ප්‍රකට කරයි. එ​ෙමන්ම චන්ද්‍ර මණ්ඩලයේ කවාකාර සලකුණ ජලයෙන් සිදු වන අනතුරු පෙන්නුම් කරයි. එම රේඛාව දම්වැල් ආකාර ලක්ෂණයෙන් යුතු වීම ස්නායු දුර්වලතාවන් හෝ මානසික පීඩාවන් ප්‍රකට කෙරේ. ජීවන රේඛාව තරු ලක්ෂණයකින් අවසන් වීම සිරුරේ දුබලතා හා ඌෂ්ණ රෝග පිළිබඳව දැනුම්වත් කරයි. 


අත්ලේ රේඛාවන් අතරින් විශේෂයෙන් සෞඛ්‍ය පිළිබඳව සටහන් වෙන රේඛාව සුඛ රේඛාව (4) නමින් හඳුන්වනු ලබයි. මෙම රේඛාව ප්‍රධාන වශයෙන් චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වී බුධ මණ්ඩලයෙන් අවසන් වෙයි. මෙය බෙහෝ දෙනකුගේ අත්වල නොපිහිටයි. එම රේඛාව තිබේ නම් පැහැදිලිවම තිබිය යුතුය. රේඛාව පිහිටා නැති වුවද ප්‍රශ්නයක් නොවේ. එම රේඛාව විකෘති වීම් කැඩුම්, බිඳීම් දඟකාරවීම් වැනි සලකුණු වලින් අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් පැහැදිලිව ප්‍රකට වේ. එම අසුභ ලකුණුවලින් තොර සුඛ රේඛාවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් මෙන්ම කෙනෙකුගේ ආර්ථික දියුණුවද පෙන්නුම් කරයි. 


මෙම රේඛාව කහ පැහැ ගැන්වීමෙන් අක්ෂි රෝගද එය කැබලි ආකාරයෙන් පිහිටා ඇති නම් ජීර්ණාබාධ උදරාබාධ දූපත් සටහන් අාදිය පිහිටීමෙන් මුත්‍රා රෝග හා වකුගඩු රෝග ද ඇති වන බව පෙන්නුම් කෙරේ. මෙම රේඛාව පටුව සිහින්ව ගැඹුරුව විහිද යාම ශරීර සනීපයට යහපත් වන අතර එය පළල්ව විෂමව විහිදීම හුදෙක්ම රෝග පීඩාවන්ට හේතු වේ. සුඛ රේඛාව කෙටිව ගැඹුරුව පිහිටිම මලබද්ධය හා හිසරුදාව ඇතිවීමට ද හේතුවක් විය හැක. දූෂිත භාවයෙන් තොරව සුබ රේඛාව ගැඹුරට විහිද ගොස් උඩු කුරුව ශාඛා විහිදයාම නිරෝගී භාවයට හා ධන ලාභ වලට ද හේතු වේ. 


අපට දිර්ඝායුෂ තිබේද? දිවි ගමන කවදා කෙලවර වේද? යන්නද අත්ලේ රේඛාවලින් පැහැදිලිවම සටහන් වෙයි. අත්ලේ ප්‍රධාන රේඛාවන් වන ජීවන රේඛාව හෘදය රේඛාව ශීර්ෂ රේඛාව ආදිය බාධක සලකුණු වලින් තොරව දීර්ඝව තිබීම වැඩි ආයු කාලයක් පෙන්නුම් කෙරේ. මැණික්කටුව ප්‍රදේශයේ වැටී ඇති රේඛා මැණික් කටු රේඛා (5) නමින් හැඳින්වෙයි. 


සමහර අයගේ අත්වල එම රේඛා දෙක තුනකටවත් වැඩියෙන් පිහිටිය හැකිය. මේවා ද නිරෝගීභාවය පෙන්වන සලකුණු වේ. මෙම රේඛා පැහැදිලිව පිහිටන තරමට කෙනකුගේ අවයව ශක්තිමත් බව ප්‍රකට කරයි. මෙම රේඛා තුනකට වැඩි ගණනක් පැහැදිලිව වැටී ඇති නම් දිගු කාලයක් නිරෝගීව ජීවත් විය හැකිය. 

 

 


හිඹුටානේ 
පියතිලක ද අල්විස් 
158 හිඹුටාන, මුල්ලේරියාව නව නගරය.