​වෙලාවට කලින් එසවූ ඉංග්‍රීසි කොඩිය බිම දැමූ වාරියපොළ හාමුදුරුවෝ


 

 

අස්ගිරි මහ විහාරයේ වැඩ සිටි වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමියෝ 


උඩරට ගිවිසුම හා සබැඳි වීර සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ වයඹ සත්කෝරළයේ දේවමැදි හත්පත්තුවට අයත් නාවින්න ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි ගමක් ලෙසට වාරියපොළ හැඳින්විය හැකිය. හේරත් මුදියන්සේලාගේ බමුණාකොටුවේ රාලට දාව ක්‍රි.ව. 1746දී උපන් (ජනශ්‍රැතියට අනුව) හේරත් මුදියන්සේලාගේ කිරිහාමි කුමරුවා නාවින්න ධම්මදස්සී හිමියන්ගේ මගපෙන්වීම යටතේ එවකට අස්ගිරි මහා විහාරයේ වැඩ සිටි ඉදලුවගොඩ ධම්මපාල හිමියන්ට ශිෂ්‍යයෙකු ලෙස මතු දින පැවිදි කරවීම සඳහා ගෙනවිත් භාරදෙන ලදී.   


අස්ගිරි මහා විහාරය තුළ ශික්ෂණය වෙමින් නිසි බණ දහම් උගත් කිරිහාමි කුල කුමරුවා ගුරු හිමිවරු ඇසුරෙහි පැවිද්ද සඳහා උගත යුතු නිසි බණ දහම් ප්‍රගුණ කරමින් නිසි කල් පිරුණු තැන වාරියපොළ සුමංගල නමින් ප්‍රවෘජා භූමියට ඇතුළත් විය. සාමණේර කල ද, ඉගෙනීමේ දක්ෂතාවත් ශික්ෂාකාමී බවත් චතුර කථිකත්වයත් නිසා ගුරු හිමිවරුන් අතරේ ඉතා ජනප්‍රිය වු වාරියපොළ සුමංගල සාමණේරයන් මහත් වූ ශ්‍රද්ධාව නිසාම කුඩා කල පටන් දළදා මාලිගාව තමාගේ දිවි දෙවැනි කොට සලකා කටයුතු කරනු දක්නට ලැබිණි.   
නිසි වයස් පූර්ණයෙන් උපසම්පදා ලද සුමංගල හිමියන් එවකට අස්ගිරි විහාරයේ ගනේ නායකත්වයෙන් පිදුම් ලද නාවින්නේ ධම්මදස්සී හිමියන්ගේ මග පෙන්වීම මෙන්ම තම ගුරුදේව වූ ඉදලුවගොඩ ධම්මපාල හිමියන්ගේ මගපෙන්වීම ද ලද නිසාත් විය හැකි යැයි සිතිය හැකිය. කාලයේ ඇවෑමෙන් ඉදලුවගොඩ ධම්මපාල හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහා නායක ධුරය සඳහා පොතුහැර රතනපාල හිමියන් ක්‍රි.ව. 1807 දී පත්වන විට එයින් පුරප්පාඩු වූ අනුනායක ධුරය සඳහා පත් කරන ලද්දේ වාරියපොළ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේය.   


මේ වනවිට පිරිවෙන් අධ්‍යාපනයේ ධර්ම ශාස්ත්‍ර කටයුතු උගන්වමින් සිටි සුමංගල හිමියන් රජතුමන්ගේ මෙන්ම අනෙකුත් නිලමේවරුන් හා මුදලිවරුන් අතර ද ජනප්‍රසාදයට පත්ව සිටියහ. මෙකල්හි රට තුළ පැවති ව්‍යාකූලත්වය නිසාම රජුගේ විශ්වාසය දිනා සිටි වාරියපොළ සුමංගල හිමියන් දළදා වහන්සේගේ තේවාව සඳහා තෝරාපත් කර ගන්නා ලදී. මහනුවර යුගය වනවිට රාජ්‍යත්වයේ සංකේතය බවට දළදා වහන්සේ පත්වූ නිසා එහි භාරකාරත්වය පැවරුනේ රජුට අතිශය සමීප හා විශ්වාසවන්ත උභය මහා විහාරයීය හිමිනමකටය. උත්තරීතර දළදා වහන්සේගේ තේවාව භාර නායක හිමියන් ලෙසින් කටයුතු කළ සුමංගල හිමියන් සුදුහුම්පොළ රජමහා විහාරයේ සහ බම්භාව රජමහා විහාරයේ අධිපතීත්වය දරමින් මහත් වූ අධ්‍යාපනික හා ශාසනික මෙහෙවරක යෙදුණු යතිවරයාණන් වහන්සේ නමකි.   
කලින් කලට දේශයේ වාසනාවට පහළ වන වීරවරයන් ගැන ඉතිහාසය පුරාම අපි අසා ඇත්තෙමු. එළාර පාලනයෙන් ලංකාව නිදහස් කර ගැනීමට ගැමුණු කුමාරයා හට හැකි විය. හෙතෙම දුටුගැමුණු නමින් අනුරාධපුර රජවිය. ද්‍රවිඩ ආක්‍රමණ හමුවේ පලාගොස් සේනා සංවිධානය කර නැවත සිරිලක රජවන්නට වට්ටාගාමිණි අභය හෙවත් වළගම්බාට හැකි විය. මෙවැනි වීර චරිත අතර උඩරට රාජ්‍යයේ ව්‍යාකූල සමයේ අස්ගිරි මහා විහාරයේ දෙටුනායක තනතුර දැරූ වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමියන් ද ඉතිහාස ගත වීර චරිතයකි.   


ක්‍රි.ව. 1815 පෙබරවාරි 18 වන දින ශ්‍රී වික්‍රම රාජසිංහයන් අල්ලා ඉංග්‍රීසි අත්අඩංගුවට ගැනීමෙන් උඩරට රාජ්‍යය අරාජික විය. සිංහල නායකයින් ඉදිරියේ දී කුමක් කළ යුත්තේ දැයි විමසන අතරතුර ජෝන් ඩොයිලි ප්‍රධාන හමුදා භටයෝ ජයපැන් බොමින් ආණ්ඩුකාරවරයා සමග ඊළඟ අදියරේ තවත් එක් සිංහලයන්ගේ සෝචනීය ඉරණමකට පිඹුරුපත් සකසමින් සිටියෝය. උඩරට රාජ්‍යය අත්පත් කර ගැනීමෙන් පසු ඉන්දියන් සාගරයේ මුහුදු ගමන් මාර්ගයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස පිළිගෙන තිබූ ශ්‍රී ලංකාව මුළුමනින්ම යටපත් කර ගැනීම නිසා බ්‍රිතාන්‍යයේ තුන්වන ජෝර්ජ් රජු රොබට් බවුන්රිග් ආණ්ඩුකාරවරයාට ජී.සී.බී. ගෞරව නාමය ප්‍රදානය කළේය.   
එතැනින් නොනැවතුණු ඔහු ශ්‍රී ලංකාව මුළුමනින්ම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් කළ පසු බැරනට් පදවියක් පිරිනමන බව කියා ඔහු තවත් දිරිමත් කරන්නට විය. ​මේ වනවිට බවුන්රිග් ආණ්ඩුකාරවරයා ද ශ්‍රී ලංකා යටත් විජිතයක් කරවීමේ ගිවිසුමක් ලහි ලහියේ සූදානම් කරමින් සිටියේය. වැඩි බලයක් ඇත්තේ ද ඉංග්‍රීසින් අතේය.   
පවත්නා දැඩි උණුසුම් වාතාවරණය තුළ සිංහල රජ කෙනෙකුගේ සිහිනය සැබෑ කරගනු වස් සිංහල නායකයන් ඉංග්‍රීසින් සමග සාකච්ඡා කරමින් සිටි නමුත් ප්‍රතාපවත් සිංහල නායකයින් බොහෝ දෙනකු මේ වනවිට අවසන් ගමන් ගොස් සිටියේය. ජීවත් වූ ඇතැමෙක් තම අනාගතය වෙනුවෙන් ඉංග්‍රීසින් හා එක්ව සිටියේය. උඩරට රජ මාලිගය මෙන්ම අවශේෂ රාජකීය ස්ථාන ද ඉංග්‍රීසීහු ස්වකීය අභිමතය පරිදි පරිහරණය කරමින් සිටිය ද එළඹෙන මාර්තු 02 වන දින ගිවිසුමට අත්සන් කරන බව ද කනින් කොනින් ආරංචිවන්නට විය.   


ඉංග්‍රීසින්ට උඩරටට පැමිණිය හැකි වන්නේ ද රජු සිරභාරයට ගත හැකි වන්​නේ ද සිංහල නායකයන්ගේ අනුමැතිය හා උදව් උපකාර ඇතිවය. නමුත් සිංහල නායකයන් ඉංග්‍රීසින්ට උදව් කළේ සිංහල රජකෙනෙකු නැවතත් සෙංකඩගලපුර රජ වනු දැකීමේ පරම පවිත්‍ර චේතනාව යුක්තවය. ඒනිසා එම පොරොන්දු කඩකර ඔවුන්ට රිසිසේ පාලන කටයුතු කරන්නට නොහැකිය. තම අභිමතය පරිදි පාලන කටයුතු ඉදිරියට ගෙන යන්නට නම් මුළු සිංහල දීපයේම පාලනය ලිඛිතව ඉංග්‍රීසි රජු වෙත ලබාදිය යුතුය.   
ගිවිසුමක් කෙරෙහි ඉංග්‍රීසි අවධානය යොමු වී තිබුණේ ඒ නිසාය. ශ්‍රී වික්‍රම රජසිංහයන්ට විරුද්ධව ගොස් ඉංග්‍රීසින්ට උඩරටට එන්නට මගපෙන්වූ ඇහැලේපොළ මහ අධිකාරම් නොසන්සුන් මනසකින් තමන්ටම ශාප කරමින් සිටියේය. ශ්‍රී වික්‍රම රජසිංහයන්ගෙන් පලිගෙන නායක්කාර වංශිකයන් උඩරටින් අතුගා දමා සිංහල කිරීටය රැක ගැනීමට ඔවුන් දැරූ තැත ජාතියේ මළගම බවට පත්වී තිබූ නිසාය.   
තත්ත්වය මෙසේ තිබිය දී 1815 පෙබරවාරි 24 වන දින දළදා මැදුරේ වැඩ සිටින මණ්ඩපය ඉදිරිපිට දී අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හි මහා නාහිමිවරුන් ප්‍රමුඛ සිංහල නායකයෝ රැස්ව තීන්දු තීරණ කිහිපයක් ගත්හ. ඉන් පළමුවැන්න වූයේ දළදා වහන්සේ දැඩි ආරක්ෂාවක් සහිතව කොත්මලේ පුසුල්පිටිය විහාරයේ ආරක්ෂිතව වඩා හිඳුවන්නටය. එසේ තීරණයක් ගනු ලැබුවේ මේ වනවිටත් මුහුදුබඩ පළාත්වල සිංහල ජාතිකයන් රට ජාතිය ආගම නොතකන පරගැති තත්ත්වයකට ඉංග්‍රීසින් විසින් පත්කර තිබූ බැවින් උඩරට ද ඉංග්‍රීසින් එම තත්ත්වය ඇති කරනු ඇතැයි ඇතිවූ සැකය නිසාය.   
මේ අවස්ථාවේදී වාරියපොළ හිමියන් කැප්පෙටිපොළ, මිල්ලව, ඇහැලේපොළ සහ එවකට දියවඩන නිලමේ ධුරය දැරූ කපුවත්තේ යන නිලමේවරුන් කැඳවා බැරෑරුම් මෙන්ම උණුසුම් සාකච්ඡාවක් පවත්වන්නට විය. එහිදී වාරියපොළ හිමියන් ප්‍රකාශ කර සිටියේ ඉංග්‍රීසින් සැලසුම් කරන ගිවිසුමට අත්සන් කිරීමට නම් අපේ රටේ සිරිත් විරිත් ආගම ධර්මය ආරක්ෂා වන පරිදි ලිඛිත පොරොන්දුවකට ඔවුන්ගේ අත්සනක් ගතයුතු බවයි.   


ඒ අනුව නිලමේවරුන් ජොන් ඩොයිලි සමග ඇතිවූ තීරණාත්මක සාකච්ඡාවේ දී අනුනායකහිමියන්ගේ උපදෙස් මත ඔවුහු ඉංග්‍රීසින් සකසන උඩරට ගිවිසුමට සිංහලයන්ගේ ද යෝජනා ඇතුළත් කොට එකී කෙටුම්පත සිංහල ප්‍රධානීන්ගේ දැනුම්වත් වීම සඳහා අත්සන් කිරීමට ප්‍රථම ලබාදෙන ලෙස ඉල්ලා සිටියෝය.   
ජාතිමාමකත්වයෙන් සහ දේශවාත්සල්‍යයෙන් පිරිපුන් වාරියපොළ නාහිමියන් විසින් සිංහල බෞද්ධ ජනතාවට වැඩි වාසි සැලසෙන අයුරින් සකස් කළ කෙටුම්පත සිංහලයන් වෙනුවෙන් ගිවිසුමට පෙර ලියැවුණු අවසන් ලියැවිල්ල විය. බෞද්ධ ජනතාවගේ උරුමයෙන් පවත්වාගෙන ආ චාරිත්‍ර හා සම්ප්‍රදායන් සුරකින පරිදි මෙම කෙටුම්පත සකස් කරන්නට සුමංගල හිමියෝ වගබලාගත්හ. සිංහල ජාතියේ ආරක්ෂාව තහවුරු වන පරිදි කළ මේ​ කෙටුම්පතෙහි ඉංග්‍රීසි පිටපතක් ආණ්ඩුකාවරයා අතට පත්වූ කල ඒ දැකීමෙන් මහත් සේ විමතියට පත් හෙතෙම පවසා ඇත්තේ ඇහැලේපොළ නිලමේතුමාගේ කට වචනයට දුන් පොරොන්දුවලින් අනෙක් සිංහල මිනිස්සු මුළා කරන්නට බැහැ. මේ ගිවිසුම්වලට ඉංග්‍රීසි පාලනය වෙනුවෙන් අත්සන් කරන්න බැහැ යනුවෙනි.   


නමුත් සිංහල හා ඉංග්‍රීසි නායකයන් අතර ඇති උණුසුම් හා අවසන් සාකච්ඡාවේ දී තීරණය වූයේ මෙම සිංහල කෙටුම්පතේ අඩංගු සියලු වගන්තිවලට කැමැත්ත දෙන බවත් 1815 මාර්තු 02 වන දින එම ගිවිසුම දෙපිරිස උත්සවාකාරයෙන් අත්සන් කොට ඉංග්‍රීසින්ගේ කතිර කොඩියත් සිංහලේ කොඩියත් එක්වර එසවීමය.   
මහනුවර මඟුල්මඩුවේ දී ගිවිසුම සිංහලයෙන් හා ඉංග්‍රීසියෙන් කියවා අත්සන් කරනු වස් මුලසුනෙහි රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ද වම්පසින් මොල්ලිගොඩ නිලමේ ද දකුණු පසින් ඇහැලේපොළ නිලමේ ද වූහ. තවත් විශාල ප්‍රභූ පිරිසක් මඟුල් මඩුවට එක්රැස්ව සිටියේ ජාතියේ ලිඛිත මළගම සියසින් දැකගනු පිණිසය. මඟුල් මඩුව ඉදිරිපිට ඉංග්‍රීසි සිංහල ධජ එසවීමට සියල්ල සූදානම් කර තිබුණි. එක් පසෙක ඉංග්‍රීසි හේවායින් බයිනෙත්තු තුවක්කු ගෙන පෙළගැසී සිටි අතර අනෙක් පස සිංහල හමුදාව ද පෙළගැසී සිටියහ.   
ඉංග්‍රීසි හා සිංහල සෙන්පතීන් දෙපළක් කොඩි එසවීමට සූදානම්ව සිටියහ. තව සුළු මොහොතකින් සිංහල දේශයේ නිවහල් බව නිදහස් බව ස්වාධීනත්වය සහ වසර දහස් ගණනක ප්‍රෞඪ ඉතිහාසය අභිමානය සියල්ල කෙටුම්පතකින් විතැන් කොට බටහිර අධිරාජ්‍යවාදීන්ට පවරා ඇත. උඩවතු වනයෙන් හමා විත් සිරි දළදා වහන්සේ වෙත හමනා නිවහල් සුළඟේ පහසින් ඉහළ නිල් ගුවනේ සිංහල කොඩියත් සමග ඉංග්‍රීසින්ගේ කතිර කොඩිය ලෙළ දෙනු වැළැක්විය නොහැකිය.   
දේශානුරාගයෙන් මුසපත් හදවත් ජාතිමාමකත්වයෙන් මුසපත් හදවත් තුළින් දෑසින් නොවැටෙන තරම් කඳුළු ගලා හැලෙද්දී මහනුවර මඟුල් මඩුවේ සිදුවූයේ කිසිදා සිදු නොවිය යුත්තකි. බලකාමයෙන් උද්දාමයට පත්ව නොඉවසිලිවන්තව කොඩිගහමුල උන් ඉංග්‍රීසි සෙන්පතියා අවස්ථාව වේලාව නොබලා වහා ඉදිරියට පැමිණ කතිර කොඩිය සෙංකඩගල ගුවන් තලයේ ලෙළ දෙන්නට අවස්ථාව උදාකර ගත්තේය.   


වසර ගණනාවක් විවිධ අතවරයන්ට ගොදුරුවෙමින් පෘතුගීසි, ලන්දේසි ඉංග්‍රීසි යන සෑම ජාතියක්ම උත්සාහ දැරුවේ මේ රට යටත් කර ගන්නටය. ඒ අවස්ථාව උදාවන්නට ප්‍රථම අකීකරු සොල්දාදුවා කළේ නීතියට පටහැනි වරදකි. සුළුකොට තැකිය නොහැකි නීච ක්‍රියාවකි. දෙදහස් තුන්සිය වසරක් නිදහස්ව නිවහල්ව පැවති සිංහල දේශයටත් නිර්මල බුදු දහමටත් කරන ලද අවමානයකි. නමුත් මෙම අවස්ථාවේ එයට විරුද්ධව හඬ නගන්නට තරම් සිංහලයෙක් නොවීය. ආත්මාභිමානය ධෛර්ය ඇති නැතහොත් පිටකොන්දක් ඇති රදල ප්‍රධානියෙකු හෝ නිලමේවරයකු නොවීය. එහෙත් මේ අසංවර දඩබ්බර නීච ක්‍රියාව දුටු තවත් කෙනෙකි. ඒ දළදා මැදුරෙහි වැඩ සිටි සුමංගල හිමි​යෝය.  
උන්වහන්සේ සිදුවන මේ සියලු දේ පිළිබඳව සංවේදීව අවධානය යොමුකර සිටියහ. ජාතියක මළගම ලිය වෙන්නට ඇත්තේ තවත් සුළු මොහොතකි. දළදා මැදුර ඉදිරිපිට මහත් නිහඬතාවක් පැතිර තිබුණි. දළදා මැදුර තුළින් නික්මුණු වාරියපොළ අනුනාහිමියෝ නැගෙනහිර දොරටුවෙන් එළියට වැඩම කොට විමසුම් සහිතව වටපිට බැලූහ. අහඹු ලෙස ඉංග්‍රීසි කොඩිය පමණක් ඉහළ අහසේ ලෙළදෙනු දුටු අනුනාහිමියන්ගේ රුධිරය රත්වී සිරුර කිලිපොළනු ලැබිණි. කළ යුතු යමක් වෙත් ද එය කළ යුතුය. තවම ගිවිසුම අත්සන්කොට නොමැත. සිදුවිය යුතු සියල්ල අවබෝධ කරගත් අනුනාහිමියන් සන්සුන් ගමනින් දළදා මැදුරෙන් පිටතට පැමිණියහ. එතැන් සිට සියල්ල පුදුමයට පත් කරමින් අභීත කේසර සිංහයෙකු සේ කොඩිය ළඟ සිටි සෙන්පතියා අසලට ගියේය. තොපගේ ගිවිසුම අත්සන් කරනතුරු අපගේ මේ සිංහල දේශය නිදහස්ය. නිවහල්ය. එබැවින් තොපගේ මේ කතිර කොඩිය ඔසවන්නට වරම් දුන්නේ කවුරුන්දැයි අභීත ස්වරයෙන් විචාළහ. එකෙණෙහිම ඉංග්‍රීසි කොඩිය බිමට ඇද දමා පාගා සිංහල කොඩිය නැවතත් එසවූහ.   
නොසිතූ අවස්ථාවක සිදුවූ සිදුවීම දුටු සියල්ලෝම ගල්ගැසී බලා සිටියේ ඊළඟ අවස්ථාවේ කුමක් සිදුවේදැයි කුතුහලය ඇතිවය. භීතියෙන් මුසපත්ව සිටි කිසිවෙකුගේ මුවින් එකඳු වචනයක් පිට නොවීය. තුවක්කු බයිනෙත්තු ගත් ඉංග්‍රීසි හමුදාව ඉදිරියේ ඔවුන්ගේ කොඩිය බිම දමා පාගා අභීත වීරක්‍රියාවක් කළ සුමංගල හිමියන් නසනු පිණිස කොඩිය අසල සිටි සෙන්පතියා ඉදිරියට ආවේය. මොහොතින් සිදුවන දෙයකට මුහුණ දීමට සිංහල හමුදාවේ සෙබළු ද සූදානම් වූහ. සිංහල රදලවරුන් නිහඬව මේ දෙස බලා සිටින්නට වූහ.   
මොහොතකින් ඉංග්‍රීසි භාෂා පරිවර්තකයකු මෙන්ම උඩරට ගිවිසුම පිටුපස සිටි ඉංග්‍රීසි සෙන්පතියකු වූ ජෝන් ඩොයිලි වහා ඉදිරියට පැමිණ සෙබළා වළකා අනුනාහිමියන්ට වැඳ සෙබළා කළ වරදට සමාව ඉල්ලීය. එසේ නොවී තවත් මොහොතක් ගත වී නම් මේ සියලු සැලසුම් වෙනස්ව ඒ ස්ථානයේ ලේ විලක් වන්නට තිබිණි. මේ අවස්ථාවේ ඩොයිලි ඉදිරිපත් නොවූවේ නම් සිංහල ඉතිහාසය ද 1815 මාර්තු 02 වන දින සිට නැවත වෙනස් වන්නට තිබුණි. කෙසේ නමුත් අවසානයේ දී රාජකීය උපහාර මැද ජාතික කොඩි දෙකම එකවර එසවිණි. එහෙත් මේ අවස්ථාවේ සිටි එඩිතර සෙන්පතියකු වූ සිංහල අණදෙන නිලධාරී ගලගොඩ නිලමේ ගිවිසුමට අත්සන් කළේ නැත. ඒ නිසා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ඔහුගේ අත්සන ලබාගැනීමට වඩාත් උනන්දු විය.   


කෙසේ හෝ දිවයිනේ ප්‍රධාන ආගම වෙනස් නොකරන ලෙසටත් පැරණි නීති හෝ සිංහල ආණ්ඩුවේ වෙනසක් නොකරන ලෙසටත් පොරොන්දු වී ගලගොඩ නිලමේ ද ගිවිසුම අත්සන් කරගන්නට විය. සිංහල ජාතියේ මහා පාවාදීම සිදු කරමින් උඩරට ගිවිසුමට අත්සන් කරනුයේ 1815 මාර්තු 2 වන දින සිංහල පැය ක්‍රමයෙන් හිරු මුදුන් වී දස පැයක් ගිය තැන මහනුවර මගුල් මඩුවේ දීය.   


කෙසේ නමුත් 1815දී උඩරට ගිවිසුමෙන් ගිවිස ගත් පරිදි ඉංග්‍රීසින් කටයුතු කරන්නට නොවූ හෙයින් ක්‍රි.ව. 1818දී නැවතත් උඩරට කැරැල්ලක් ඇති විය. මේ සමයේ දී දළදා වහන්සේ රැගෙන සුමංගල හිමියෝ නැවතත් දළදා මැදුරෙන් අතුරුදන් වූහ. ඉංග්‍රීසීහු සුමංගල හිමියන් සොයා උභය මහා විහාරයේ භික්ෂූන් හතළිස් නමක් පමණ සිරභාරයට ගන්නට වූහ. කෙසේ නමුත් 1818 නොවැම්බර් මස 01 වන දින ඔත්තුකරුවකු විසින් ලබාදෙන ලද ඔත්තුවකට අනුව සුමංගල හිමියෝ ඉංග්‍රීසි සෙබළුන් අතට පත්විය. එහිදීත් ඉංග්‍රීසි සෙබළුන් ඔබ කවුදැයි ප්‍රශ්න කළ විට අභීතව ‘මමයි වාරියපොළ’ යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළ බව සඳහන් වේ.   


සුමංගල හිමියන් ජීවග්‍රහණයෙන් අත්අඩංගුවට ගෙන රාජ්‍යයත් ද්‍රෝහී වරදට දඬුවම් දුන් ඉංග්‍රීසි පාලකයින් නොයෙක් වද හිංසා දී එවකට පිටසක්වළ යැයි සලකනු ලැබූ යාපනයේ බන්ධනාගාරයට උන්වහන්සේ පිටත් කළ හැරියහ. සුමංගල හිමියන් යාපනයේ බන්ධනාගාරයේ රඳවා තැබූ බවට ඇති එකම සාක්ෂිය නම් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාවරයාගෙන් පසු එම තනතුරට පත්ව ආ සර් එඩ්වඩ් බාන්ස් ක්‍රි.ව. 1820.02.25 වන දින විදේශ භාර ලේකම්ට යැවූ අංක 05 දරන ලිපියේ යාපා පටුනේ සිරකර තබන ලද භික්ෂු ලේඛනයේ හතරවන අංකයට වාරියපොළ හිමියන්ගේ නම සඳහන් වී තිබීමයි.   


බන්ධනාගාරයෙන් නිදහස ලැබුව ද මේ අභීත නායකයා ගිලන් ඇඳක සිටිය දී පවා කතාකර ඇත්තේ විපතට පත් සිංහල ජනතාව ඉන් මුදා ගැනීම පිළිබඳවයි. 1815 මාර්තු 02 වන දින තමන් වින්ද අවමානයට පලිගත් සුදු සෙබළුන් උන් වහන්සේට කළ වද හිංසා නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් නොවීය. බොහෝ දෙනකුගේ ගෞරවාදරයට පත් උන්වහන්සේ ක්‍රි.ව. 1831 පෙබරවාරි 05 වන දින අපවත් වී වදාළහ.   

 


ටී.එච්. ඉන්දික ද සිල්වා

 

 

 

 



Recommended Articles