​වෙරළේ ඉපදෙන අලුත් ජීවිත


වන දිවිය

 

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි යාල වෙරළ තීරය, මෙරට ජෛව විවිධත්වයේ අග්‍රගණ්‍ය ස්ථානවලින් එකකි. අර්ධ ශුෂ්ක දේශගුණික කලාපයකට නෑකම් කියන මෙම ප්‍රදේශය ඊටම ආවේණික වූ ශාක හා සත්ත්ව ප්‍රජාවකට නෑකම් කියයි.   


 යාල පිළිබඳව ඇසුණු සැණින් යාල ජාතික වනෝද්‍යානය අපට සිහි ගැන්වෙන අතර එහි එක් අන්තයක් ඉන්දියානු සාගරය දක්වා දිවෙයි. ගොඩබිමින් මෙන්ම සාගරයෙන් ද සුවිශේෂී ජෛව විවිධත්වයක් උරුම යාල, තම සොඳුරු වෙරළ තීරය වෙත සෑම වසරකම පාහේ පැමිණෙන කැස්බෑවුන් සාදරයෙන් පිළිගනියි.   
 මෙම උරග විශේෂය මීට වසර මිලියන 120 කට පමණ පෙර සිට පැවත එන අතර ලෝකයේ දැනට ජීවත් වන කැස්බෑ විශේෂ 7ක් අතුරින් විශේෂ 5ක් පමණ ලංකාවේ වෙරළ තීරයන්හි වාර්තා වේ. එනම් ගල් කැස්බෑවා - Green Turtle (Chelonia mydas), දාර කැස්බෑවා - Leatherback Turtle (Dermochelys coriacea), ඔළුගෙඩි කැස්බෑවා - Loggerhead Turtle (Caretta caretta), පොතු කැස්බෑවා -Hawksbill Turtle (Eretmochelys imbricate), බටු කැස්බෑවා - Oliver Ridely Turtle (Lepidochelys olivacea) යන කැස්බෑ විශේෂයන්ය.  


ගැහැනු කැස්බෑවෙකු වරකට බිත්තර 80 - 120 ක් පමණ ප්‍රමාණයක් දමන අතර ඒවායින් පැටවුන් පිටතට පැමිණීමට ආසන්න වශයෙන් දින 45 - 60ක් පමණ කාලයක් ගතවේ. පර්‌යේෂණ වාර්තාවලට අනුව දිගු ආයු කාලයකට හිමිකම් කියන මොවුහු ලෝකය පුරාම මේ වන විට කතාබහට ලක්ව ඇත්තේ ඔවුන් කෙරෙහි වන හානිකර බලපෑම් හේතුවෙනි. මෙම බලපෑම් බොහොමයක් දඩයම් කිරීම, බිත්තර අනුභවය, සාගර දූෂණය වැනි මිනිස් ක්‍රියාකාරකම් වේ. වරකට කැදැල්ලකින් මෙලොව එළිය දකින සියයක් පමණකින් පරිණත භාවයට පත්වීමේ භාග්‍යය හිමි වන්නේ අතළොස්සකට පමණි.   

 


 සුසිනිඳු වැලි අතරින් මෙලොව එළිය දකිනා කුඩා කැස්බෑ පැටවුන් යාල වෙරළ තීරයෙන් නික්මී ඉන්දියානු සාගරයේ රළ අතර සැඟව යනු දැකීම සෑම වසරකම මුල් භාගයේ නෙතට මිහිරි දසුනකි. යාල වෙරළෙහි පමණක් නොව බස්නාහිර සිට නැගෙනහිර දක්වා වූ වෙරළ තීරය පුරා තම කැදලි තැනීමට වසරක් පාසා පැමිණෙන මෙම කැස්බෑවුන් ජෛව විවිධත්වයේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්නවුන් ලෙස සලකමින් රැක ගැනීමට කටයුතු කළ යුතු කාලය එළඹ ඇත.

 

සටහන : තිලානි ප්‍රියංවදා රත්නායක   
ඡායාරූප : චාමර අමරසිංහ   



Recommended Articles