රාවණගේ ශක්ති පුරය නැගෙනහිර මුහුදේ ගිලී ගිහින්ද?


ආචාර්ය සූරිය ගුණසේකර කියන කතාව

 

 

රාවණ අහසින් ගිය ශාස්ත්‍රය හා ඔහුගේ ගුවන් යානා සේම විස්මිත වූ වෛද්‍ය තාක්ෂණය ආදිය පිළිබඳව අප පසුගිය ලිපි පෙළින් කතා කළෙමු.   

රාවණ අහසින් මෙන්ම මුහුද යටින්ද ගියේ ය. දරුණු ලෙඩ රෝගවලට තමන් සොයා ගත් විස්මිත වූ ඖෂධවලින් ම ප්‍රතිකාර කළේය. තමන්ටම ආවේණික සටන් කලාවකින් සතුරා මර්දනය කළේය. එසේම ඔහු දක්ෂ ජ්‍යොතිෂ්‍යකරුවකුද වන්නේය. එසේ නම් මේ වැනි හැකියාන්වලින් පරිපූර්ණ වූ පුද්ගලයකු එදා හෙළයේ කිනම් ප්‍රදේශයක තම රාජධානිය පිහිටුවා තිබුණේ ද යන ගැටලුවට ඔබ පිළිතුරු සෙව්වා විය හැකිය.   


මේ පිළිබඳව දේශීය වූත් විදේශීය වූත් විවිධ මති මතාන්තර පවතී. ඒ අතරින් ජනප්‍රියතම මතයක් වන්නේ රාවණ ලංකාපුරය නම් විශේෂිත වූ ශක්ති කලාපයක සිට තම පාලනය ගෙන ගිය බවය.   


රාවණගේ බල ප්‍රදේශය පිහිටියේ කොහේද? මේ පිළිබඳව ඇති අනෙකුත් මත මොනවාද? යන්න පිළිබඳව ආචාර්ය සූරිය ගුණසේකරයන් ඉරිදා ලංකාදීපය වෙත මෙසේ අදහස් දැක්වීය.   


ලෝක ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී පුර රාජ්‍යයන් (City States) මුලින් ම බිහි වී ඇත්තේ ග්‍රීසීයේ බව අප උ​ෙගන තිබේ. එසේම 19 වන සියවස මැද භාගය වන විට යුරෝපීය ජාතීන් ද දැන සිටියේ මුල්ම ශිෂ්ටාචාරය බිහිවූයේ ග්‍රීසීයේ බව ය. ග්‍රීසීයේ සිටි ගව හිසකින් සහ මිනිස් සිරුරකින් සැදුම්ලත් “මිනටෝන්“ නම් සත්ත්වයා ක්‍රීට් දූපතේ (එනම් මධ්‍යධරණී සයුරේ ඇති) යුරෝපා කුමාරිය පැහැරගෙන අවුත් ඇය සමඟ සහවාසයේ යෙදී උපන් දරුවන්ගෙන් යූරෝපීයයන් ඇති වූ බව ග්‍රීකයෝ විස්වාස කළහ. (මෙය අප මහා වංශයේ සඳහන් වන ආකාරයට සිංහයා සහ සුප්පා දේවී පිළිබඳ කතාවට සමාන බවක් දක්වයි.)   


රාමායණයට අනුව රාවණගේ පුරය ලංකාපුරය නම් විය. එහි පිහිටීම ද රාමායණයේ විස්තර සහිතව දැක්වේ. එනම් භාරත දේශයේ දකුණු දෙස ගොඩබිම අවසන් වන තැන් සිට යොදුන් සීයයන් දකුණින් පිහිටා ඇති බව එහි දැක්වේ. ක්‍රි.පූ. 4 වන සියවසේ දී ප්ලේටෝ නම් ග්‍රීක පඬිවරයා අත්ලන්තිස් නම් පුරයක් පිළිබඳව ලේඛන ගත කර තිබේ. මෙම ලංකාපුරය සහ අත්ලාන්තික්පුර යන පුරයන් දෙකම මුහුදට යටවීම සිදුවීය. 19 වන සියවස අවසන් වන විට අප්‍රිකාවේ ගවේෂණ කටයුතු අවසන් වූ අතර ඒ වන විට සොයා ගෙන තිබුණේ අප්‍රිකාවේ සිට මැඩගස්කරය හරහා ලංකාව හා ඉන්දියාව යා කරන වක් වූ ගොඩබිම් කලාපයක් මුහුදට ගිලී ඇති බවයි.   


පැරණි ටිබෙට් පුස්තකවල මෙම ගිලීගිය බිමිකඩ රා-මු යනුවෙන් ද, මධ්‍යම ඇ​ෙමරිකාවේ (ලතින්) සෙල් ලිපිවල “මු“ නමින්ද මෙය හැඳින්විණි. එඩ්ගාර් කේසී අනාවැකිකරු “ලේ මුර්“ යයි මෙයට ප්‍රංශ බසින් නම් කළ අතර 1864 දී බ්ලැවට්ස්කි මැතිනියගේ අංජනම් බැලීම තුළ මෙය “ලෙමුරියා“ ලෙස ද හැඳින්විණි. එසේම ඕලන්ද හා ශ්‍රී ලංකා ඒකාබද්ධ පුරාවිද්‍යාඥයින් 2009 වර්ෂයේ දී ලංකාවේ ගිනිකොණ දිග වෙරළට ආසන්නව මුහුදට ගිලී ගිය විශාල භූමි ස්කන්ධයක් සොයා ගැනීමට ද ඔවුහු සමත්වූහ. එය වර්ග කිලෝමීටර් 4,60,000 පමණ ප්‍රදේශයක් පුරා විහිදී ඇති අතර මෙයට “එර්ෂියා නොහොත් ඉර්ෂියා “ලෙස නම් කිරීමට ඔවුහු කටයුතු කළහ. මෙහි ඡායාරූප අන්තර්ජාලය තුළ තිබූ අතර මහා රාවණ කොටුව හා කුඩා රාවණ කොටුව ප්‍රදීපාගාරය මෙම කලාපය තුළ පිහිටා තිබේ.   


මුහුදු තීරයේ පලටුපාන සිට කුමන දක්වා ගිනිකොණ දිග පුළුල් වෙරළ තීරයේ සිට මැණික් ගඟ හා කුඹුක්කන් ඔය අතරතුර ක්‍රමයෙන් රට තුළට පුළුල් බව අඩුවෙමින් ගමන් කරන ප්‍රදේශය ලංකාවේ ශක්ති කලාපය බවත් එය තමන්ට දැනගන්නට ලැබුණු බවත් “ජෝන් ඩොයිලි“ වරෙක සඳහන් කර තිබේ. ඔහු මාතර ආණ්ඩුවේ ඒජන්තව සිටි කාලයේදී එය පවසා තිබේ.   


වෙල්ලස්ස නිදහස් අරගලය හේතුවෙන් (1818) දී මෙම ශක්ති කලාපයෙන් මිනිසුන් ඉවත් කර එම කලාපය වනාන්තරයට යට වීමට හැර පසුව පහළ ඌවේ ජීවත් වූ සතුන් එයට පන්නා දමා අභය භූමියක් ලෙස නම් කෙරිණි. එසේම රාවණ සොයුරු කුඹුක්කන් කුමරු කුඹුක්කන් ඔයේ ඉදිකරන ලද “ගල් අමුණ“ 1818 වර්ෂය වන විට අක්කර 21000ක පමණ මහා වෙල්යායකට ජලය සැපැයීමේ හැකියාවක් මෙම අමුණ සතුව තිබුණි. එසේම වෙල්ලස්ස අරගලයට බත සැපැයීමේ වරදට බවුන්රිග් ආණ්ඩුකාරයාගේ නියෝගයක් මත ජෙනරාල් මැක්ඩොනල් වෙඩි දමා මෙම අමුණ පුපුරා දැමීමට කටයුතු කළේය.   


පානම්පත්තුවේ වැසියන්ගේ ජනකතාවලට අනුව කිරින්දෙන් උතුරට හා නැගෙනහිරට විහිදී ඇති තැනිතලා ප්‍රදේශය ශක්ති කලාපයක් බව එම කතා පුවත් තුළින් කියැවේ. එය රාවණගේ ශක්ති කලාපය බවත් රාවණගේ ලංකාපුරය මෙම ශක්ති කලාපය තුළ පිහිටා තිබූ බවත් එසේම රාවණට වැඩ කිරීමට හැකි වූයේ මෙම කලාපය නිසා යැයි එම කතා පුවත් තුළින් වැඩිදුරටත් කියැවේ.   


ඉන්දියාවේ දකුණු භූමිය අවසන් වන තැන සිට යොදුන් සියයක් දකුණට ලංකාපුරය පිහිටි බවට ඇති තොරතුරු ද පානම්පත්තුවේ වැසියන්ගෙන් ජෝන් ඩොයිලි ඇසූ තොරතුරුවල ද 2009 වර්ෂයේ දී සොයාගත් එර්ෂියාව නමැති මුහුදට ගිලීගිය භූම් කලාපය ද ඇලෙක්සැන්ඩ්‍රියා ජාතික කෞතුකාගාරයේ ඇති අග්නිදිග නාග රාජධානිය මුහුදට ගිලීයාම යන පුවත් එකිනෙකට සසැඳේ.   


මේ අතර අදත් පානම්පත්තුවේ ගස් උඩ සාදන ලද පැල නොහොත් අට්ටාලය “පුරය“ ලෙස හඳුන්වයි. ඊට පුරේ යයිද කියති. නමුත් රාමායනයේ සඳහන් වන මුහුදට ගිලිණු ලංකාපුරය හා ප්ලේටෝගේ අත්ලාන්තික් පුරවරයේ ද දැක්වෙන්නේ “මැණික් ඔබ්බවා රන් ආලේප කළ හා රනින් සැදුණු කොඩි එල්ලූ ප්‍රසාදයන් සහිත පුරයක් බවයි” තම කෘතිය මඟින් ප්ලේටෝ පවසන ආකාරයට “අත්ලන්තිස් පුරවරය“ (City of atlantis) යනු ප්ලේටෝ විසින් ම හඳුන්වාදුන් නමකි. මොහුට පෙර එය හඳුන්වා ඇත්තේ මිසරවාසීන් හඳුන්වා දුන් මිසර නමකිනි. ග්‍රීක නමක් වන “අත්ලන්තිස්“ යන්න පසුව යෙදූ බවත් ප්ලේටෝ සඳහන් කර තිබේ.   


අත්ලාන්තිස් කතාවද අතින් අතට ගිය කතාවක් වන අතර ප්ලේටෝ අතින් එය ලේඛනගත වී ඇත්තේ “ටිමවුස් හා ක්‍රීටියස්“ අතර ඇතිවන සංවාදයක් ඇසුරෙනි. එම කතාව ක්‍රීටියස් විස්තර කරන අතර ටිමවුස් විසින් ප්‍රශ්න කරයි. ක්‍රීටියස් එය අසාගෙන ඇත්තේ තම සීයාගෙනී. සීයා එය අසා ඇත්තේ ඩ්‍රොපිඩස් නම් පුද්ගලයකුගෙනි. ඩ්‍රොපිඩස් එය අසා ඇත්තේ සොලන් නමැති අයකුගෙන් වන අතර ඔහු මෙම කතා පුවත දැනඇත්තේ මිසර පූජකයකුගෙනි. පූජකයා මෙය ඉන්දියානුවකුගෙන් අසා දැන ඇති අතර අවසානයේ අත්ලන්තිස් පුරය ද මහමුහුදටම ගීලිගියේ ය.   


ක්‍රි.පූ. 427 සිට 347 දක්වා කාල වකවානුව තුළ විසූ ප්ලේටෝ පඬිවරයා ක්‍රි.පූ. 399 දී ග්‍රීක රජය විසින් මරණීය දණ්ඩනය ලබා දුන් සොක්‍රටීස් පඬිවරයාගේ හොඳම ශිෂ්‍යයාය. සොක්‍රටීස්ගේ මරණින් පසුව ප්ලේටෝ අප්‍රසිද්ධියේ වාසය කරමින් විදේශීය සංචාර​ෙයහි නිරත වීමට වැඩි උනන්දුවක් දැක්වීය. එකල ඔහු මිසරය, තුර්කිය, ක්‍රීට් දූපත හා සයිප්‍රසය ආදී රටවල සංචාරය කළේය. එම සංචාරවලදී දැනගත් තොරතුරු ඔහු සටහන් කර ගත් අතර අත්ලන්තිස් පුරවරය ගැනද ලිවීය. වාල්මිකී විසින් රාමායණය මඟින් ක්‍රි.පූ. 7600 දී පමණ කළ විස්තරය ප්ලේටෝ විසින් ක්‍රි.පූ. 360 දී පමණ කර තිබේ.   


රාමායණයේ සඳහන් වන ලංකාපුර විස්තරය හා ප්ලේටෝගේ අත්ලන්තිස් පුර විස්තරය යනු එකම පුරයක් පිළිබඳ ලියවුණු වාර්තා 2ක් බව සනාථ කරනු ලැබුවේ 1999 වර්ෂයේ දීය.   
මෙම ස්ථාන දෙකම කඳු ගැට තුනක් මත (ත්‍රිකූටමස්ත) පිහිටා ඇති අතර ත්‍රිකුණාමලය නොහොත් ලංකාවේ ත්‍රිකුණාමල ප්‍රදේශය ලෙස වචනාර්ථයෙන් අනුමාන කළ හැකිය. සීතා තම පතිවත ඔප්පු කිරීම සඳහා ගින්නට පැනීමට ලක්ෂ්මණ විසින් දර ගොඩක් ගසා ගිනිමැලය සැකසුවේ මුහුදු වෙරළක බව රාමායණයේ දක්වා තිබේ. තවද රෝස පාට කොරල්වලින් සෑදුණු සීතාගේ මාලිගාව මුහුද අයිනේ පිහිටි බව ද එහි සඳහන් ව තිබේ.   


අත්ලන්තිස් හා ලංකාපුරය යන දෙකම මුහුදට ගිලා බැසීමට නම් අනිවාර්යයෙන්ම ඒවා මුහුද අයිනේ පිහිටියා විය යුතුය. ත්‍රිකුණාමලයේ අභයපුර කඳුගැටයේ දක්නට ඇති පේදිස් කොටුව ඉදිරියට පැමිණ බලන විට පාෂණ තට්ටු ඇද වී ඇල වී යටට කීඳ‌ා බැසීමට ලක් ව ඇති බව පැහැදිලිව දක්නට තිබේ. නමුත් මහා රාවණ කොටුව හා කුඩා රාවණ කොටුව ආශ්‍රිතව ලංකාපුරය යැයි සිතීම 2009 වර්ෂයේදී එර්ෂියාව සොයා කරන ලද මුහුදු පුරාවිද්‍යා කැනීම්වලට ද උපකාරී වේ.   


ප්ලේටෝට අනුව අත්ලාන්තිස් හි වර්ෂා කාලයන් දෙකකි. ඒ අනුව අවුරුද්දෙහි අස්වනු ලැබීම් ද දෙකකි. ලොව මෝසම් සුළං දෙකකින් සහ වර්ෂා කාල දෙකක් ඇති එකම රට ලංකාවයි. එම අස්වනු දෙක නම් “යල හා මහ “ලෙස අදත් හැඳින්වේ. මෙය ලංකාපුරය ලංකාවේ බවට පිහිටි බවට නිශ්චිත සාක්ෂියකි. එකල අත්ලන්තිස් හි ගුවන් යානා තිබූ අතර ඒවා අහසේ පියාසර කර මුහුද යටින් ද ගමන් කළ හැකි බව ප්ලේටෝ සඳහන් කරයි. එසේම 1986 දී පිරමීඩ දේවාලයේ අඹා තිබූ සිලින්ඩරාකාර වස්තුවක උඩට නැටුවක් සහිත (සබ්මැරීනයක හැඩය ගත්) ඇඹීමක් හමුවිය.   


මෙම මැටි ඇඹීම අවුරුදු 4500ක් පමණ පැරණි බවත් කාබන් පරීක්ෂණයන්ට අනුව එය සනාථ වී තිබේ. තවද ඉන්දියාවෙන් ලැබුණු 1923 වර්ෂයේදී ඉංග්‍රීසියට පරිවර්තනය කළ “වෛමානික ශාස්ත්‍ර“ නම් ග්‍රන්ථයේද සඳහන් වන්නේ තට්ටු තුනකින් සමන්විත ශකුණ විමාන නම් යානා එකල රාවණ යුගයේ තිබූ බවයි. එක තට්ටුවක රෝද සහිතව පොළොව මත යාමටත්, දෙවැන්න අහසින් යාමටත්, තෙවැනි තට්ටුව මුහුද යටින් යෑමටත් එය සකසා තිබූ බව ග්‍රන්ථයේ වැඩිදුරටත් සඳහන් වේ.   


ඒ අනුව ප්ලේටෝ පවසන යානාවන් හා වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථයේ සඳහන් තොරතුරු ද එක හා සමාන වන අතර මුහුද යටින් ගමන් කරන යනා පිළිබඳ කතා ප්‍රවෘත්තිය මෙමඟින් සනාථ වේ.   


එසේම අලියා සහ අශ්වයා යන සතුන් ලංකාපුරයේ සහ අත්ලන්තිස් හි යන පුර දෙකෙහිම ජීවත් වී ඇති අතර අත්ලන්තිස් යන නම ඇති යුරෝපා රටෙහි අලියා යන සත්වයා දක්නට නොමැත. එසේම කෙසෙල් සහ අඹ යන පලතුරු වර්ග දෙකම මෙම පුරයන් දෙකෙහිම දක්නට ඇති අතර මෙම පලතුරු ද්විත්වයම යුරෝපයේ දක්නට නොමැත.   
එකල පුරයේ උසම ස්ථානයක ආගමික මන්දිරයන් වූ අතර සෘෂී පාලකවරු (Priest Kings) එහි සිට පුරය පාලනය කළ බව ද මෙම කතා ප්‍රවෘත්ති දෙකෙහිම කියැවේ. එසේම සෘෂීවරුන් මිනිසුන්ගේ මනස පාලනය කර නිවැරදි මඟකට යොමු කළ බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.   


ලංකාවේ අදත් සමාදන්වන පන්සිල්, අට සිල් ආශ්‍රිතව භික්ෂුව සිදු කරන පාලනය ද එදා පැවැති සමාජ ක්‍රමයට සමානය. තවද ඒ සමයෙහි ආහාර ඉතා සුලබ වූ අතර වනය හා මල්වලින් සකස් කරන ලද වනෝද්‍යාන ද බොහෝ විය. මේ සම්බන්ධයෙන් හනුමා සඳහන් කරන විස්තරය වැදගත් වේ.   


“රොඩෝඩෙන්ඩ්‍රෝන්” නම් රත්මල් වර්ගය ඇසුරින් නුවරඑළියේ සැදුණු තේවතුකාරයින්ගේ අලංකාර අශෝක වනය සිනහවට කරුණකි. ශීත සහ අශෝක මල් යන වචන ඇසුරින් ශීත හා ආශෝක වටිකා මැවූ ඉංශ්‍රීසි සිවිල් නිලධාරීන්ගේ නිර්මාණාත්මක ශක්තිය ඉතාම දුර්වලය. අප්‍රේල් මස “නුවරඑළිය සීසන්” සමයේ ලංකාවේ ම සිටි ඉංශ්‍රීසි වතුකාරයින්, සිවිල් නිලධාරීන්, වෛද්‍යවරු, ඉංජිනේරුවරුන්, පූජකයින්, ව්‍යාපාරිකයින් මත්පැන් බොමින්, ගෙරිමස් කමින් අාලිංගන නැටුම්වල යෙදෙමින් සීමාරහිත කතා බහක් තුළින් බීමත් අඩසිහියෙන් නිර්මාණය කළ මතයක් පමණි.  


මතු සම්බන්ධයි...

 


සාකච්ඡා සටහන
මනෝජ් හර්ෂික මධුෂාන්