පිටකොටුවේ වීදිවල සත්තු සහ මනුසත්තු


​කොළොම්පුරේ ජීවිතේ-06

 

 

මිතුරෙකු මුණගැසීමට මොරටුවට පැමිණි මා සුපුරුදු ලෙස කොළඹට පැමිණීමට බස් රථයකට ගොඩ වූයේ රාත්‍රී 7 පමණ වූ එවේලේ දුම්රිය නොතිබූ හෙයිනි. මුහුදුබඩ මාර්ගයේ සවස 6.30 ට වාද්දුවෙන් කොළඹට ගමන් අරඹන අවසන් දුම්රිය ද ඒ වන විට මොරටුව පසුකර තිබිණ.   


ඒ ලංගම බසය ද මා ඉපිද හැදුණු වැඩුණු ඇල්පිටිය ප්‍රදේශයේ සිට පැමිණෙන්නෙකි. කොන්දොස්තර මහතා මා අසලට පැමිණ තත්පර කීපයක් මදෙස බලා සිට කටහඬ අවදි කළේය.
   


‘මහත්තය තිලක් නේද?’   


 ‘ඔව්. මම ඕනෑකමින් ඔහු දෙස බැලීමි ටිකට් මැෂිම අතෙන් ඉනට තද කරගෙන පුළුල් සිනාවක් පෑවේය.   


‘මතක නැති ද අපි ආනන්දෙ එක පන්තයෙ ඕ ලෙවල් කළේ. මම තුෂාර’ එදා කෙළි ලොල් පාසල් විය එකවරම සිහිපත් විය.   


නිදහසේ සැරිසැරූ ඒ බිම සුදු පාට මල් පිපී හිනැහුණු අප එක්ව අකුරු කළ සත 10 හකුරු කැබැල්ල දෙකට කඩා එකම ප්ලාස්ටික් කෝප්පයේ කහට එක බෙද‌ාගෙන කැන්ටිමේ අගුවට වී තොල ගෑ යුගය සමගම මට ඔහු සිහිපත් විය. දෙමිතුරන් දිගු අතීතයකට පසුව ‘දෙගුරුන්ව’ යළි මුණ ගැසී ඇත. ගාලු පාරේ වේගයෙන් දිව යන බසයක් තුළ.   
මම ඒ ලෙවල්වලින් පස්සෙ කොන්දොස්තර වුණා උඹ? ඒ රාත්‍රියේ බසය තුළ එතරම් සෙනඟක් නොවූ බැවින් අප දෙදෙනාට රිසි සේ කතාබහ කරන්නට කාලය ඉඩ ලබා දී තිබිණ. මගේ මාධ්‍ය ජීවිතය ගැනත් මේ දිනවල නිරතව සිටින කටයුත්ත ගැන පිළිබඳවත් තුෂාරට කෙටියෙන් පැහැදිලි කළෙමි.   


‘මචං නියමයි. මම මේ රස්සාවට අමතරව ගෙදර පොඩි බිස්නස් එකක් කරගෙන යනව. ඒක බලාගන්නෙ වයිෆ්. කොළඹින් පලතුරු අරගෙන පොඩි ලාභයක් තියාගෙන එහේ විකුණනව. පිටකොටුවෙ බජාර් එක මම හොඳට දන්නව. මම උඹට සපොට් එකක් දෙන්නම්.’   


පිටකොටුවේ ‘හිතහොඳ’ ගුණසිංහ පුර අරක්කු තැබෑරුම ළඟදි මට මුණගැසෙන්නේ. තුෂාරගේ පිහිටෙනි. ‘හරි අපි කතා කරමු. හැබැයි පින්තූර ගන්නත් බෑ. පත්තරේ දාන්නත් බෑ. ඒව ඇදගෙන නාගන්නව වගේ ට්‍රබල්.   


‘හිතහොඳ යනුවෙන් බෞතිස්ම වූ හේතුව ඔහු දෙස බැලූ පළමු බැල්මෙන්ම මට වැටහුණේ ඝනව රෝම වැඩුණු පසුව පිරෙන්නට ‘හිත හොඳ’ යන්න සඳහන් පච්චය නොඑසේ නම් ටැටුව බොත්තම් වලින් ගිලිහුණු කමිසය අස්සෙන් පෙනෙන්නට තිබූ හෙයිනි.   
එම කොන්දේසිවලට එකඟතාව පළ කළෙමි.   


 ‘මචං ටර්න් එකට තව විනාඩි 10 යි. මම යනව.’ තුෂාර අප තනිකර අඳුර අතරට වැදිණි. තැබෑරුමේ කොට්ටම්බා ගස මුල එකතුව තිබූ මඳ අඳුර අපගේ කතාබහට සවන් දීමට මෙන් ඒ වෙත අප දෙදෙනා අැද ගත්තේය. අසල වසා තිබෙන වෙළෙඳසල්, අගුවේ පඩිය මත හිඳ සිටින දෙදෙනා කාලේ කුප්පියක් අතින් අත යවමින් සිටිති. දෙදෙනාටම වෙරිය.   
 ඒ ළඟම සිටින තවත් අයෙකුගේ මුහුණ යන්තමට දිස්වන්නේ වරින්වර මුව අසලින් දැල්වී නිවී යන ගිනි පුලිඟුවෙනි. උන් උන්ගේ ලෝකවල. මේක තමයි කොළඹ ජීවිතේ. මටත් වැඩි වේලාවක් නෑ. බිස්නස් එක ඉවර කරගන්න කමක් නෑ අපි කතාකරමු.’ ‘හිතහොඳ’ අඳුර තුළට දෑස් යවමින් තෙපළයි.   
‘හිතහොඳ’ ගේ උපන්ගම මීගමු දූව ය. ඉගෙනීම අතරමගදීම කඩාකප්පල් කරගෙන ගෙන්දගම් පොළොවට සේන්දු වී ඇත්තේ හිරිමල් යෞවනය ද කරපින්නා ගෙනය.’ මම එක එක කාලෙට එක එක ජොබ් කළා. හරියට කටුස්ස පාට වෙනස් කරගන්නව වගේ. පිටකොටුවෙ මුට්ට කර ගැහුවා. පේමන්ට් එකේ රෝල් ගෝල්ඩ් මාල වික්කා. මැනිං මාර්කට් එකේ එළවළු ගෝනි ලොරිවලට පැටෙව්වා. පාවෙන මාර්කට් එක හදන කාලෙ එතන අත්උදව් දුන්නා. හෝටල්වල තේ ගැහුව. දේශපාලනඥයෝ ළඟ මැර කල්ලිවල හිටියා. ඒක නම් මට දවසින් දෙකෙන් එපා වුණා.   


අපිත් මිනිස්සුනේ. තවත් මිනිහෙක්ව පරලෝකෙට යවල එහෙම නැතිනම් සද‌ාකාලික අබ්බගාතයෙක් කරල අපි කොයි ලෝකෙ යන්න ද? ඒ අයගේ දරු පවුල් අනාථ වෙන කොට ඒ පාපය කවද හරි අපිටත් පල දෙනව. මේ වගේ අසික්කිත වැඩ පංගාර්තු කරන දේශපාලකයො නම් ‘පිරුවට’ ඇදගෙන බැබළි බැබළි ඉන්නව ඒ අයට එහෙම ඉන්න අපි කුලියට පරම්පරා ගාණකට පව් සිද්ධ කරගන්නව. ඒ නිසා මම ඒ රස්සාව වැඩිකල් හිටියේ නෑ.   
ඔහු බණ දහමද දන්නා පාටය. දැන් හිටිගමන් ‘හිත හොඳ’ හඳුනාගෙන අප සමීපයට එන කිසිවෙකු කිසිදු කතා බහකින් තොරව තුනට හතරට නැවූ මුදල් නෝට්ටු කීපයක් දිගු කරයි. එය අතට මිටි කරගෙන ඉණ අතගා කිසියම් දෙයක් අනෙකා අතට මිට මොලවයි. ගනුදෙනුව එතැනින් හමාරය. එවැනි බාධාවක් හැරුණු විට ඒ වන විටත් එහෙ මෙහෙ යන අඳුරු සෙවණැලි අපට කරදරයක් නොවේ.   
‘හො​ෙරන් පන්නපු අත් ඔරලෝසු තොගයක් විකුණන්න ගිහින් පොලිසියට මාට්ටුවෙලා හය මාසයක් ‘කල්දේරම් බත්’ කන්න ආණ්ඩුවේ බෝඩිමට ගියා. එතනදී මුණගැහුණු ‘සෙට්’ එකක් හරහා මේ ජොබ් එකට බැස්ස.   
 එතකොට මේව ලැබෙන්නෙ? මම පිළිවිසීමි.   
 දැන් අපි විකුණන්නෙ ලංකාවේ බඩු නෙමෙයි. කෙළින්ම ඉන්දියාවෙන් හොර පාරෙන් කේ.ජී තොගපිටින් පිටකොටුවට පැකට් කරලමයි අපේ අතට එන්නේ. විකුණන තරමට කොමිස් ලැබෙනව. මුළු කොළඹම හැම ඒරියා එකකම අපේ අය ඉන්නව. මේවට ඇබ්බැහි වෙලා ඉන්න අය අපි ඉන්න තැන් දන්නව. පිටකොටුවෙම විතරක් අපේ 6 දෙනෙක් බිස්නස් එක කරනව.   


හිත හොඳ හොඳ හිතින්ම කියවාගෙන යයි. එද‌ාට එද‌ාට කුලියක් මලියක් කරන අය විතරක් නෙමෙයි ලොකු කොම්පැණි අයිතිකාරයො, කාර්බාර්වලින් යන එන ටයි පොලු ද‌ාගත්තු මහත්වරු. අපේ ගනුදෙනුකාරයො. පිරිමි විතරක් නෙමෙයි. මේක නැතුව නින්ද නොයන ගෑනුත් ඉන්නව. මම දන්න එක නෝන කෙනෙක් ඉන්නව මෝදර පැත්තෙ ගෙවල් ඒ හරියෙන් ‘බඩු’ ගත්තොත් ‘චාටර්’ වෙන හින්ද මගෙනුයි ගන්නෙ. වයස ඕන නම් 27 ක් ඇති. ‘හොඳට බර’ (මුදල්) තියෙනව. කසාද බැඳල අවුරුද්දක් ඇති. ගෑනියි මිනිහයි දෙන්නම මේකට ඇබ්බැහිවෙලා. දෙන්නම කාලයක් තිස්සෙ මාත් එක්ක හිතවත්.   
 මම එයාලගෙ ගෙදරටම ‘සප්ලයි’ කරල තියෙනව මේක. නැත්නම් එයාලට ‘එකතු වෙන්නවත්’ බැරිලු. තාම දරුවො නෑ. මහත්තය විශ්වාස කරනවද මේකට පිරිමින්ට වඩා වහල් වෙලා ඉන්නෙ ගෑනු. කසාද බැන්ද නොබැන්ද කියල වෙනසක් නෑ.’   
සියල්ලම කණපිට හැරි විපරිත වූ සමාජයක ඔහු කියන දේ බොරු යැයි ඉවත ලෑමට නුපුළුවන. හැබැයි ඉස්කෝලෙ කොල්ලන්ට නම් මම විකුණන්නෙ නෑ. මමත් තාත්ත කෙනෙක්නෙ මහත්තයෝ’   


හිත හොඳ විවාහක දෙදරු පියෙකි. තවමත් 37 හැවිරිදි වුවත් අවුල්ව ගිය හිසකෙස් දෙකොනින් වටකුරු වූ ඝන උඩු රැවුල ඊට වඩා ‘මෝරපු’ පෙනුමක් ඔහුට ගෙන දී තිබේ.   
වැඩිමහල් පුතා පාසලේ 10 වන පන්තියේ අකුරු කරන අතර මෙවර අපොස සා.පෙළ විභාගයට මුහුණ දීමට සිටියි. පණ කඩාගෙන පාඩම් කරන්නෙ. ඒ හිත හොඳගේ නිර්වචනයයි. ‘බාල පුතා 6 වැන්නේ උගනියි. ‘දරු පවුල ජීවත් කරන්නේ මේ ජොබ් එකෙන් තමයි. ඒත් ඒ බව මම එයාලට කියලත් නෑ එයාල අහලත් නෑ. හැබැයි තවම කවද‌ාවත් මගේ දරුවෙකු නම් මේ ‘නන්නන්තාර’ කොළඹට බස්සන්නෙ නෑ.   
මේකෙ හැම තැනම හොරකම, වංචාව. ඉදිකට්ටෙ ඉඳල කාර්, බස්, ලොරි ඕනම දෙයක් හොර බඩු තියෙනවා. කොටින්ම මේක හොරුන්ගේ රාජධානියක්. හැබැයි මේව කරවන ලොක්කො කවද‌ාකවත් මාට්ටු වෙන්නෙ නෑ. ආණ්ඩුව පොලිසිය උන් අතේ.   
 තවත් කළුවර ගුළියක් ගසේ අදුරට මුවා වී ගෙන ඔහු වෙත පැමිණේ. මුන්ට මහ වයසක් නෑ ඕන නම් අවුරුදු 20 ක් ඇති. මේවයෙ දුමට ඇඟවල් වේළිලා කරවෙලා ගිහින්. දැන් ලංකාවෙ බඩු අඩුයි. තියෙන්නේ කේරල බඩු. ඒව සැරයි. ඇඟට විසයි. අපේ රටේ ඒවයෙ එහෙමට විසක් නෑ. අපේ හරක් ටිකක් හරි ඇඟට හොඳ දේ වනසල ඉන්දියාවෙ ජරාව ගේනව. ගහනව.   


අපි ගෙදර එළදෙනගේ පිරිසිදු කිරි ටික විකුණා නවසීලන්තයේ නොඑසේ නම් වෙනත් රටකින් ගෙන්වන විෂ පිරුණු පිටිකිරි බොන ජාතියකි.   
 මම මේ ජොබ් එක කරන්නෙ කැමැත්තකින් නොවෙයි. ඒත් අපි පේමන්ට් එකේ කරවල වික්කත්, සැරින් සැරේ පොලිසියෙන් ඇවිත් චෙක් කරනව. එ් අය හිතන්නෙ එක සැරයක් වැරදි කරන කෙනා හැමද‌ාමත් වැරදි වැඩ කරන්න ඕන කියලයි. අපි හොඳ අතට හැරෙනවට අකමැතියි. හැබැයි මම මේක කරන්නේ තව ටික දවසයි. ඊට පස්සේ ගමට යනව.   
 හිතහොඳ පුදුමාකාර මිනිසෙකි. සිද‌ාදියේ ‘මල් සුවඳ’ අලෙවි කළත් පාවිච්චියක් නැත. ‘මම සිගරට්වත් බොන්නෙ නෑ මහත්තයෝ. ඒත් අරක්කු ටිකක් නම් බොනව. හැමද‌ාම නෙමෙයි. මම ජොබ් එක කරන්නේ හවස 4 ඉඳල රෑ 10 වෙනකම් විතරයි. කොමිෂන් එක රු. 3000  විතර තියෙනව. ‘අපි මහ පව්කාරයො’ ඔහු අඳුරට කියයි. මම අසා සිටිමි. එක අතකට මහත්තය වගේ කෙනෙක් හම්බවුණු එකත් හොඳයි හිතේ තදකරගෙන ඉන්න දේවල් කාට හරි කියන එකත් සැනසීමක්. මේව මම කාට කියන්න ද? ගෙදර ගෑනි එක්කද, දරුවො එක්කද? මහත්තය ලියන්න වැරදි බව දැන දැන වැරදි දේ කළත් අපිත් මේ මහපො​ෙළාවෙ පය ගහල ජීවත්වෙන මිනිස්සු කියල.’ ගහ වටේ කැරකි පැමිණි අයෙකු ඔහු වෙතට නැමී යමක් කොඳුරයි.  


‘රයිට් උඹ පලයං’ මහත්තයෝ පොලිස් ගැන්සියක් මේ පැත්තට එනවලු. ඔය දැන් ‘මැසේජ්’ එක අරගෙන ආවෙ කුලියට ඔත්තු බලන අපේ එකෙක්. අපි ළඟ ෆෝන් කතාබහ නෑ. ඒක අවද‌ානම්. ඔක්කොම කටින් කට. එහෙනම් මහත්තය දැන් යන්න මමත් ඊළඟ පොට් එකට මාරු.’  
සමුගැනීමට තත්පරයක් තිබියදී මගේ අනෙක් අවශ්‍යතාව හිතහොඳට පැවසීමි. මොහොතක කල්පනාවකින් අනතුරුව ඔහු කතා කළේය.  
‘හරි එන්න මාත් එක්ක එකපෙළට නෙමෙයි මගේ පිටිපස්සෙන් දැල්වී තිබෙන කොළ පැහැ මාර්ග සංඥ‌ා එළි තිබියදීම රියැදුරන්ගෙන් එල්ල වන පරුෂ වචනවලට එවැනිම වදන් වැලකින් අඩියට දෙකට මාවත් ඇදගෙනම පාර මාරු වූ ඔහු නැවතුණේ කොටුවේ සුප්‍රසිද්ධ කොලෝනියල් අවන්හලට මඳක් නුදුරින් පදික වේදිකාවේය.  
 ‘මහත්තය ඔතනම ඉන්න. මම ‘සිංගාල එන්නම්’ මේ ඉන්නෙ සිල්වියා. අපේ බජාර් එකේ තමයි. මම කරන බිස්නස් එකට අමතරව මේක ඊට වඩා සම්තින් හම්බවෙන ජොබ් එකක් කරනව. මම මහත්තය ගැන කිව්ව. කතා කරගන්න ඕන්න මම ගියා.’   
එන්න මෙතන කතා කරන්න හොඳ තැනක් නෙමෙයි. අද මගේ වැඩේටත් පාඩුයි. කමක් නෑ. හොඳ හිත බුවාගෙ වැඩක් නේ.  
‘ඔයාට පාඩුවෙන ගාන මම දෙන්නම්. මගේ කෙඳිරිලි හඬ ඇසුණු ඇය මා දෙස බලා ‘කෝචොක්’ හිනාවක් දැම්මාය.  
ඇය සිල්වියා නමින් හඳුන්වා දෙමි. එහෙත් සැබෑ නම ගැමි කෙල්ලකගේ එකකි. අත් නැති ටී ෂර්ටයකින් උඩුකය වැසී ඇති ඇයගේ හීන් දෙතොල තදම රතු පැහැයකි. දණහිසට වියත් දෙකක් ඉහලට සිටින දෙකලවා විවෘතව පෙනෙන හිරට හිර සාය කෙටියෙන් ඉදිරිපසට වම්පසු පස කැපී පෙනේ. ඉදිරියට කඩා පනින්ට සැරසී තිසර පටය තුළ හිර වී තැවෙන දෙපියුරු අනන්ත කම්කටොලුවලට මුහුණ දී සිටින්නාක් වැන්න.  


පිටකොටුවේ මැනිං වෙළෙඳපොළ පිටුපස දුම්රිය බඩු ගබඩාවේ යකඩ ගරාදි වැටට බරදී සිටින ඇය වෙතින් අද හෙට පලා යන්නට සැරසෙන තාරුණ්‍යයේ රූ සපුව කහ පැහැ මළානික එළිය විහිදුවන පහන් කණුවේ සාදර සමාදර අනුග්‍රහයෙන් මගේ නෙත් තුළට ඇඳිරි චිත්‍රයක් වැනි දසුනක් ලබා දේ. ඇගේ ඇස් මාගේ දෑස් සමග කුමක් දෝ කතාබහකි. නිමේෂයකින් මා පියවි සිහියට පැමිණියෙමි.  
මගේ ගම...  
 (ඇය කඳුරට පෙදෙසක නමක් කියයි.) පවුලේ 4 දෙනයි. මම වැඩිමලා, බාල මල්ලියි නංගිල දෙන්නයි තාත්තයි අම්මයි වත්තෙ දළු කඩන්න ගියා. අපේ ගේ තිබුණ ඉඩමෙ එළවළු වගා කරල තමයි අපේ පවුලම ජීවත් වුණේ. මම ඉස්කෝලෙ ගියා. ඒත් දහයෙ පන්තියෙ ඉගෙන ගන්නකොට තාත්ත අංශාබාගෙන් ඔත්පළ වුණා. අන්තිම රුපියල වෙනකම් වියදම් කරලත් ගොඩගන්න බැරිවුණා. ඒ අවුරුද්දෙ විභාගෙට ලියන්න බැරි වුණා. මගේ ඉගෙනීම එතනින්ම ඉවරයි. ඇයගෙන් පිටවූ මහා සුසුමක් අසල බේරෙන් එන කුණු ගඳ මුසු සුළඟට එක් විය.  


සිල්වියා කොළඹට පැමිණ ඇත්තේ හිරිමල් තුරුණු බව ද ළයට තුරුලු කරගෙනය. ඒ ඇඟලුම් කම්හල් ජීවිතයටය. කුකුළු කූඩු වැනි බෝඩින් කාමර ජිවිතයට චිර ප්‍රසිද්ධ නිදහස් වෙළෙඳ කලාපයටය. එය ඇයට හොයා දී තිබුණේ ගම් ප්‍රදේශයේ සිට කොළඹට එළවළු තොග සපයන මුදලාලි කෙනෙකු විසිනි.  
 රු. 18,000 ක පඩියට එතන අවුරුදු 3 ක් වැඩ කළා. කෑමටයි බෝඩිමටයි ගියාම ඉතිරි හැම සතයක්ම ගෙදරට යැව්වා. නංගිලා මල්ලි, ඉගෙන ගත්තෙ තාත්තට බෙහෙත් කළෙත් ඒ සල්ලිවලින්. අම්ම ඉඩමේ එළවළු වැවිල්ලත් අමාරුවෙන් හරි කරගෙන ගිය නිසා යන්තමට ජීවත් වුණා.  
අමාවකට අතවනන හද දෙස බලමින් ඇසෙන නෑසෙන හඬින් ඇය කොඳුරයි. මම තවත් ටිකක් ඇයට ළං වුණෙමි. ගතෙහි වත්සුණු සුවඳ හදවතට දැනෙන තරමටම සමීප වූයෙමි.  
‘අපේ ගාමන්ට් එකේ කසාද නොබැන්ද හැම කෙල්ලෙකුටම වගේ පෙම්වතෙක් හිටියා. නිවාඩු දවසෙ උන් එක්ක කියන කරන දේවල් බෝඩිමේදි රහ කර කර කියන කොට මම ඉවසගෙන හිටියෙ අමාරුවෙන්. සුමිත් මගේ ජීවිතයට සම්බන්ධ වුනණත් බෝඩිමේ මාගේ යෙහෙළියකගේ මාර්ගයෙන්. ප්‍රේම පුරාණය සිහිවීමෙන් දෙ‌ා් සිල්වියාගේ දෑස දිදුළයි. කටහඬ ප්‍රාණවත්ය.  
එයා කළේ මේසන් වැඩ. මගේ වයසෙමයි. ලොකු ලොකු බිල්ඩින් කොන්ත්‍රාත් අරගෙන ඒව හදන සමාගමක වැඩ කළ නිසා එයාට රටේ හැම තැනකටම වගේ යන්න සිද්ධ වුණා. නිවාඩුවට ගමේ ආව දවස්වල අපි හමුවුණා. විනෝද වුණා. සුමිත්ලත් අපි වගේම සාමාන්‍ය පවුලක්. අක්කල දෙන්නයි. බාලයා සුමිත්. සහෝදරියො අවිවාහකයි. සුමිත්ව දැන හඳුනාගෙන ටික කාලෙකින්ම එයා මට අවංකවම ආදරය කරන බව තේරුම් ගිය නිසා අපි නිදහසේ ඇසුරු කළා.  
එම නිදහසේ ප්‍රතිඵලය වූයේ සිල්වියාගේ කුසට සුමිත් විසින් තවත් ප්‍රාණියෙකු ලබා දීමයි. එයා දහඅතේ දිව්රුවා. කැලණිය පන්සලේදිත් දිව්රුවා මාව අතරමං කරන්නේ නෑ කියලා. ඒත් හිටිගමන් එයා අතුරුදන් වුණා. එයාගෙ යාළුවො කිව්වේ එයා වැඩකරන කොම්පැණිය කිලිනොච්චිය පැත්තෙ ගෙවල් හදන කොන්ත්‍රාත් එකක් අරගෙන එහාට ගිහින් කියලයි. මම වැඩපොළෙන් නිවාඩු අරගෙන කිලිනොච්චි ගියා රටේ හැමතැනම ගියා. යාළුවන්ගෙන් තොරතුරු අහගෙන එයාලගෙ ගෙදරට ගියා.  
 වනචර කමේ ගිහින් ‘බඩවල්’ හද‌‌ාගෙන උප්පැන්න ලියාගන්න කොල්ලො අල්ලගන්නව. කියල සුමිත්ගෙ අක්කල දෙන්න මාව පන්නගත්ත. එක දිගට නිවාඩු ගත්ත කියල රස්සාවෙනුත් අස් කළා. ඒත් මට ගෙදර යන්න විදියක් තිබුණෙ නෑ. බඩ මහත් වෙනකොට ගමේ වසන්න බෑ. සහෝදර සහෝදරියන්ට විඳින්න වෙන අපහාස උපහාස වලට බයෙන් අහිංසකයො දිවි නසා ගන්න බැරි නෑ. ඉපදෙන්න ඉන්න එකාත් එක්කම නසා ගන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතිරිවෙලා තිබුණෙත් නැහැ.  
‘මොරායා ඇන්ටි’ දේව මෑණියන් සේ සිල්වියාගේ පිහිටට එන්නේ ඇය අන්ත අසරණව සිටින හෝරාවේදීය.  


 වාද්දුවෙ මගෙ නංගි කෙනෙක් ඉන්නවා එයා එහේ අනාථ නිවාසයක් කරගෙන යනව. දුවට ඔය බරෙන් හෑල්ලු වෙනකම් කාල ඇඳල එහෙට වෙලා ඉන්න පුළුවන්.  
 වතුරේ ගිලෙන්නට ඔන්න මෙන්න තියා තිබූ ඒ මොහොතේ සිල්වියා ඒ පිදුරු ගසේ එල්ලුණාය. මෙරායා කීවාක් මෙන් දරුවා ලැබෙන තුරු එහිදී ඇයට සෑම පහසුකමක්ම ලැබිණ. සිල්වියා මෙන්ම වැඩ වරද්ද‌‌ාගත් තවත් තරුණියන් කීප දෙනෙකුටම එම අනාථ නිවාස​ෙය් රැකවරණ සැලසුවාය. පියෙකු නොමැතිව ජනිත වූ කිරි සප්පයාට හරියකට කිරි බිඳුවක් පොවා ගැනීමටවත් ඉඩ නොදුන් මෙරයාගේ නැගණිය ඉපදී සතියක් ගත වූ තැන කිරිකැටියා විදේශික යුවළකට විශාල මුදලකට අලෙවි කර තිබුණේ දරුකමට හද‌ා වඩා ගැනීමටය.  
අසරණිය නොදැන සිටියත් එය කිරිදරු ජාවාරමේ යෙදෙන තැනකි. මෙරායාගේ ඥ‌ාතීන් කිසිවෙකුත් එහි නැත. මෙරායා එතැනම බඩදරු වූ අම්මලා සොයා දෙන තැරැව්කාරිණියකි. ඇය කලාපයේ කැරකී සල්ලන් වුණු අසරණියන් සොයා සොයා කොමිස් මුදලක් ආයතනයෙන් ලබා ගනී. යන එන මං නොමැතිව ජීවිතයේ මංමුළාව සිටින තරුණියන් මෙරායාගේ ඉච්චාබස්වලට රැවටේ.  
 දරු ප්‍රසූතියෙන් පසුව ආයතනයට සිල්වියාගෙන් ඵලක් නැත. රු. 2000 ක් දී ඔවුහු ඇයව මහ මගට ඇද දැමුවේ නැවත ‘කරදරයක්’ වුවහොත් එහි පැමිණෙන ලෙසට කාරුණිකව කෙරෙන ඉල්ලීම සමගය.  


ඒ වෙනකොට ඔක්කොම වෙලා ඉවරයි. හැම දෙයක්ම තේරුම් ගියත් මට ඉතිරිවෙලා තිබුණේ මහපාර විතරයි. ගෙදර ගිහින් මේ සිද්ධ වුණු දේවල් විස්තර කරන්නත් බෑ. අම්මගෙ පපුව පැළිල මැරෙයි. එහේ ගිහින් දුක් විඳින්නත් බැහැ. රස්සාවත් එපා වෙලා හිටියෙ සුමිත් වගේ දුර්ජන පුද්ගලයො ජීවත් වෙන පැත්තකටවත් යන්නේ නෑ කියල හිතාගත්ත. මාත් එක්ක එක කාමරේ හිටපු සුනීත මතක් වුණා. එයා මට කලින් බබා ලැබිල පිටවෙලා ගියා.  
එයාගෙ දුරකථන අංකයට කතා කළා. සිල්වියා සුනීතා සමග කොටහේනේ බෝඩිං කාමරයකට කොටු වූයේ එලෙසිනි. එයාගේ ජොබ් එක වුණේ මේක. මාව විනාශ කරල ම​ෙග් අනාගතයම කාබාසිනියා කරපු මුළු සමාජයෙන්ම පළිගන්න තීරණය කරලයි මේ රස්සාවට බැස්සේ.  
සිල්වියාගේ මේ රැකියාවට දැන් වසර 5 කි. මෙය රජකාලයේ පටන් පැවත එන පැරණිම රැකියාව බව ද ඇය දනී.  
අප කථා කරමින් සිටි තැනට නුදුරින් බඩු පටවන හිස් කරත්ත ගොඩක් එක පෙළට තබා තිබිණි. ඉන් එකක වාඩි වී මා දෙස බලා හිදින අඳුරු රුවකි. ‘මොකෝ මහත්තයා වැඩේ වැරදුණා ද? ඔහු මගෙන් විමසයි. මා කාරණය පැහැදිලි කළෙමි. ඉතින් මා ගැනත් ලියන්නකෝ. මම කරන්නෙත් නාටාමි ජොබ් එක. වැඩ ඉවර කරල කරත්තේ උඩ ඇලට් එකක් දැම්ම. පී, සිවා (37) හමුවූයේ එලෙසිනි.  
ඔහු බෙන්තර ගඟෙන් එගොඩ දකුණේ මාතර ඉපදුණු අයෙකි. ගෙදරින් පැනල ආවෙ වයස 20 දි කොළඹ බලන්න ආසාවට. පස්සෙ කොළඹ නතර වෙන්නම වුණා. දැන් තමයි මෝඩකම තේරෙන්නේ.   


අගනුවර නිකම් රස්තියාදුවේ සිටින්නට නොහැකිය. මුහුදෙන් එන කරදිය මුසු සුළඟ පමණක් නොමිලේ ලැබෙන මෙහි දෙපසින් සිටගෙන ජීවත්වීමට නම් මුදල් අවශ්‍යය. ඒ සඳහා ඕනෑ තරම් ක්‍රම ගෙන්දගම් පොළොවේ තිබේ. හොඳින් නරකින් මේ දෙකෙන්ම මුදල් හම්බ කළ හැක.  
 සිවා නරකට යොමු නොවී දහදිය මහන්සියෙන් හරිහම්බ කළේය. රැකියා ගණනාවක්ම කළේය. අන්තිමේදී මුට්ට කරගසන නාටාමි වැඩේ ඔහුට උරුම විය. දවසට 1500 ක් 2000 හොයාගන්න පුළුවන්. උදේ 7.30 ට විතර වැඩ පටන් ගන්නව. හැන්දෑවෙ ඉවරවෙන වෙලාවක් නැහැ. වැඩ තියෙනකම් කරනව.’  
ගත වී ගිය කාලය අතරතුරදී ඔහු විවාහ විය. බිරිඳ හා දරු දෙදෙනා සමග තොටළඟ ප්‍රදේශයේ පදිංචිව සිටී. මේ රස්සාව වැඩිකල් කරන්න බැහැ වයස ගෙවෙන කොට ශරීරයක් ගෙවෙනව. මැෂින් වගේ තමයි බර උස්සගන්න බැරි වෙනව. පඩි නගින්න අමාරුවෙනව. ඒ ලෙඩදුක් වැඩිවෙනව. ඒ නිසා පුළුවන් කාලෙදි වැඩියෙන් හම්බකර ගන්න ඕන. ඉතිරියක් නම් නැහැ. හම්බකර ගෙන කාල ඇඳල දරුවොන්ට උගන්න ගෙන ජීවත් වෙනව.  


 මම වැටුණු වළේ දරුවන් වැටෙන්න ඕන නෑ. එහෙම වැටෙන්න මම ඉඩ තියන්නෙත් නැහැ.  
වරායෙ අහස උසට විහිදී ගිය දැවැන්ත දොඹකරවලට ඉහළින් තිබූ අමාවක සඳ කළු වලාකුළු ගොන්නකින් වැසී යමින් තිබිණි. නිසාචරයන් අවදිව ඔබ මොබ ගොදුරු සොයන එවේලේ මේ සියලු මනුසතුන්ගෙනුත් පිටකොටුවෙනුත් පිටවුණෙමි.  

 

 


සටහන, ඡායාරූප  
තිලක් පුෂ්පකුමාර  



Recommended Articles