චීන සංචාරකයන් නැතිව වේළෙන ‘මීගමු වෙරළ’


 

අතීතයේදී අප රට සතුව තිබූ සුන්දරම වෙරළ තීරය වූයේ මීගමුවයි. ඇතැම් දෙස් විදෙස් නායකයන් මෙරට සිදුකළ කෙටි සංචාරවලදී පවා දිනක් හෝ මීගමුවේ නතරවීමට යොදා ගත්තේ මීගමු වෙරළ තීරයේ තිබුණු සුන්දරත්වය නිසාය. අපේ රටේ ප්‍රභූන් සහ රාජ්‍ය නායකයෝ මැති ඇමතිවරු ද මීගමු වෙරළට දැඩි සේ ඇලුම් කරති. වෙරළ අද්දර තිබුණු මීගමුව තානායමේ නවාතැන් ගෙන ඔවුහු වෙරළේ සිරිය විඳගත්හ.   


බොහෝ හේතු, කාරණ නිසා මීගමුව වෙරළ තීරයේ පිහිටීම අද වනවිට වෙනස් වී ඇති නමුත් ඒත්තුකාල හා කුඩාපාඩුව හා වැල්ලවීදිය ආදී ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ තීරවල අදටත් විදේශීය සංචාරකයෝ බොහෝ සේ ගැවසෙති.   


පාස්කු බෝම්බ ප්‍රහාරය මගින් බොහෝ සේ අඩාළ වූ මීගමුවේ සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් හිස ඔසවා පැමිණිමුත් ‘‘කොරෝනා’’ වෛරසයේ බලපෑම මගින් අද වනවිට එම තත්ත්වය යළිත් අකර්මණ්‍ය වී ඇති බව සංචාරක කලාපයේ කළ නිරීක්ෂණ චාරිකාවේදී හෙළිවිය. වෙනද‌ාට චීන ජාතිකයින් බහුතරයක් සිටින මීගමුවේ අද වනවිට බෙහෙතකටවත් චීනෙකු සොයා ගැනීම දුෂ්කරය.   


අතීතයේදී මීගමුවේ සංචාරය කළ විදේශීය ජාතිකයින් බහුතරය වූයේ ජර්මන් ජාතිකයෝය. ඊට අමතරව ඩෙන්මාර්ක් හා ස්වීඩන් ජාතිකයෝ ද බහුල වශයෙන් මීගමුවට පැමිණියහ. මීගමු මුහුදු තීරයට හා දර්ශනීය වෙරළ තීරයටත් දැඩිව ඇලුම් කළ යුරෝපීය ජාතිකයෝ ඒවාට අමතරව තවත් සුවිශේෂී කාරණාවක් සඳහා මීගමුවට පැමිණි බව කියැවේ. ඒ පිරිමි ගණිකාවන් සේවනය පිණිස බව කියැවෙයි.   


එවකට මීගමු වෙරළේ සිට සංචාරක මග පෙන්වන්නන් හා ‘බීච් බෝයි’ ලෙස ක්‍රියා කළ සුද්දන්ගේ සිත්ගත් බොහෝ පිරිමින් සුද්දන් සමගම ජර්මනියට, ප්‍රංශයට, බෙල්ජියමට හෝ ස්වීඩනයට ගොස් අද වනවිට එරට පදිංචි වී සුඛෝපභෝගී ජීවිත ගෙවති. 

 
යුරෝපීය ජාතිකයින් එවැනි වින්දනයක් සඳහා මීගමුවට පැමිණෙද්දී ඉන්දියානු හා පාකිස්ථානු ජාතිකයින් මීගමුවට පැමිණියේ විවිධ ජාවාරම් සඳහාය. මීගමුව වෙරළ හා මුහුදු කලාපය නීති විරෝධී ජාවාරම් සඳහා ද ඉතා උචිත ප්‍රදේශයක් බව කියැවේ. එකල මීගමුවේ සිට රත්‍රං හා කුළු බඩු යාත්‍රා මගින් රැගෙන ගොස් ඉන්දියාවට විකුණා ඒ වෙනුවට එම යාත්‍රාවලින්ම මෙරටට රැගෙන එනු ලැබුවේ මනිපූර් සාරි, මාල, වළලු ආදියයි. ඊට අමතරව බීඩි එතීම සඳහා කොළ වර්ගයක් ද රැගෙන ආවේය. එහෙත් එම තත්ත්වය අද වනවිට හාත්පසින්ම වෙනස්ය.   

 

  • පාස්කු ඉරිදා බෝම්බෙන් පසු සංචාරකයන් හොඳටම අඩුවුණා
  • කොරෝනා වෛරසය නිසා චීන සංචාරකයන් අඩුයි


අද ට්‍රෝලර් යාත්‍රා මගින් මෙරටට රැගෙන එන්නේ හෙරොයින්, හෂීෂ්, කේරළ ගංජා වැනි විනාශකාරී මත්ද්‍රව්‍යය. අදටත් මීගමුව මුහුදු තීරය හරහා මෙම ජාවාරම් ඉතා සූක්ෂ්ම ලෙස සිදුවන බව කියැවේ. ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් හා ගෝවේ නගරවල සිට මෙම මත්ද්‍රව්‍ය මීගමුව වෙරළට රැගෙන එන බව සැලකෙන අතර, එම නගරවල සිට මීගමුවට පැමිණීමට ට්‍රෝලර් යාත්‍රාවකට ගතවන්නේ පැය දෙකකටත් අඩු කාලයකි. ඉන්දියානු හා පාකිස්තානු ජාතිකයෝ මෙරට ජාවාරම්කරුවන් හා එක්ව මෙම ජාවාරම් ක්‍රියාත්මක කරති.   
විදේශ සංචාරකයින් ද ඉලක්ක කරගත් ගණිකා නිවාස රැසක් මීට වසර කිහිපයකට පෙර මීගමුවේ තිබිණි. කුරණ හා මෝලවත්ත ගණිකා නිවාස ඒ අතර ප්‍රධාන ඒවාය. කට්ටුව ප්‍රදේශයේ ද ගණිකා නිවාස පිහිටා තිබිණි. කඩොල්කැලේ ප්‍රදේශයේ ඉදිවෙමින් තිබූ හෝටලයක් ඉදිකිරීම නවතන්නැයි කියා ජනතාව කළ උද්ඝෝෂණයකට නායකත්වය දුන් අබා කොස්තා පියනම මීගමුවේ ගණිකා ව්‍යාපාරයට එරෙහිව දැඩි සටනක් ගෙනගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2001 මැයි 11 දින විසිපොළකට පිහියෙන් ඇන සාහසිකයින් විසින් මල්වත්ත දේවස්ථානයේ පියතුමන් වූ අබා කොස්තා ඝාතනය කරන ලදී.   


මෙවැනි හැලහැප්පීම් මැද ඉදිරියට පැමිණි මීගමුවේ සංචාරක කර්මාන්ත තරමක වෙනස්කම්වලට භාජනය වී තිබේ. එද‌ා නොතිබුණු තරුපහ පන්තියේ සංචාරක හෝටල් ද අද මීගමුවේ දක්නට ලැබෙයි. සංචාරකයින් වෙරළේ ගතකරන ආකාරය දකින්නට අපි මීගමු වෙරළ තීරයට ගියෙමු. මේ දිනවල වැඩිම උෂ්ණත්වයක් පවතින්නේ බස්නාහිර හා වයඹ පළාත්වල බව කාලගුණ වාර්තාවලින් කියැවෙයි. දහවල් කාලයේදී මීගමුව වෙරළ තීරයේ ඇවිදයාම යනු අතිශය දුෂ්කර කාර්යයකි.   


එහෙත් සුද්දන්ට සුද්දියන්ට එය අදාළ නොවේ. දහවල් දොළහටත් ඔවුන් වෙරළ මත නිද‌ාගෙන අව් රශ්මිය විඳිති. මුහුදට බැස ඈතට පිහිනා යති. ඒ අතර හෝටලයේ සිට වෙරළට පැමිණෙන කාලය අතරතුර සුද්දන්ගෙන් ගාණක් කපා ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දෝ බහුලව සිටිති. කෙසේ හෝ සුද්ද‌ාව කැමති කරවාගෙන තමන්ගේ වෙළෙඳ‌ාම කර ගනිති.   

 

මීගමුව මුහුදු වෙරළ  

 

 


මීගමුව වැල්ලවීදියේ පිහිටි වෙළෙඳසැල්වල තැරැව්කරුවන් වන මෙම වෙළෙන්දෝ වෙළෙඳසලේ විකිණීමට ඇති ලීයෙන් කපන ලද අලින්ගේ රූප ඇතුළු කැටයම් රූප, ඇටමාල, සම් භාණ්ඩ, වැනි නිෂ්පාදන වෙරළේදී අලෙවි කරනවාට වඩා ඔවුන් කරන්නේ තම වෙළෙඳසැලේ විකිණීමට ඇති නිෂ්පාදන පිළිබඳව සංචාරකයා දැනුම්වත් කිරීමයි. පසුව වෙළෙඳසැලට පැමිණ එම නිෂ්පාදන මිලට ගත් පසුව එම මුදලින් 20% - 30% ක් අතර මුදලක් කොමිස් මුදල් ලෙස වෙළෙන්ද‌ාට ලැබේ.   


විවිධ වර්ණයෙන් සිතුවම් කළ බතික් රෙද්ද ඔවුන්ගේ අලෙවි භාණ්ඩ අතර තිබේ. එම රෙද්ද තාලයට නවා සංචාරකයාගේ කරට දමා විවිධ විලාසිතා පෙන්වා කෙසේ හෝ අලෙවි කරති. වෙළෙඳසලට නොපැමිණ වෙරළේදීම ඒවා අලෙවි කරන්නේ නම් වෙළෙඳ සැලේ මිලට වඩා දෙගුණයක් මිල කියා වෙළෙන්දු අධික ලාභයක් ලබයි. මෙවැනි වෙළෙන්දෝ චතුර ලෙස ඉංග්‍රීසියෙන් කතා කරමින් සංචාරකයින් නවාතැන් ගෙන සිටින හෝටල් අසල වෙරළ තීරයේ රැඳී සිටිති.   


රුවල් ඔරුවල නැගී මුහුදේ සංචාරය කිරීමේ අවස්ථාව ද සංචාරකයින්ට මීගමු වෙරළේදී ලැබෙයි. එහි එක් වරකට සංචාරකයින් නව දෙනකුට ගමන් කළහැකි අතර ඔරුවේ කාර්ය මණ්ඩලය ද හතර දෙනකු හෝ පස් දෙනකු ගමන් කරති. පුරා පැයක් පමණ වෙරළේ සිට කිලෝමීටර් 4-5ක් පමණ ඈතට ගමන් කර යළි වෙරළට ඒමට විදේශීය සංචාරකයකුගෙන් අයකරන මුදල රුපියල් දෙදහසකි. මෙරට සංචාරකයකුගෙන් ඒ සඳහා අයකරන මුදල රුපියල් පන්සියයකි.  


එම සේවාවේ රුවල් ඔරුවක් පවත්වාගෙන යන මීගමුවේ මොහොමඩ් රිසාක් මහතා මෙසේ කීවේය.   


“යුරෝප් රටවල අය තමා රුවල් ඔරුවෙ යන්න වඩාත්ම කැමති. සමහර සුද්දියො මුහුද මැදට ගියාම රුවල් ඔරුවෙන් පැනලා මුහුදේ පීනනවා. අපි ආරක්ෂක කබා දීලයි තියෙන්නේ. ඒත් ඔවුන්ට එසේ කිරීම සම්පූර්ණයෙන්ම තහනම්.   

 

මීගමුව මුහුදේ කිමිදීමට සැරසෙන විදේශිකයින්  

 


ඒ වගේ දෙයක් කළොත් මුහුදෙ සංචාරය අවලංගු කරලා අපි එවලෙම ආපසු එනවා. පාස්කු බෝම්බෙන් පස්සෙ සුද්දන් ආවෙ නැති නිසා මේ රස්සාව කරගෙන යන්න බැරිවුණා. අපි කුලී වැඩ පවා කළා. ඊට පස්සෙ ක්‍රම ක්‍රමයෙන් තත්ත්වය හොඳ අතට ආවා. ඒත් දැන් ‘කොරෝනා’ වෛරසය නිස ආයෙත් සංචාරකයින් අඩුවුණා. ඒත් පාස්කු බෝම්බ කාලෙ තරම්ම අඩුවක් නෑ.”


සංචාරකයින් ද ඉලක්ක කරගෙන මීට පෙර ගණිකා මධ්‍යස්ථාන මීගමුවේ ක්‍රියාත්මක වුවද දැන් එම ජාවාරම ක්‍රියාත්මක වන්නේ ‘ස්පා’ හෙවත් සම්බාහන මධ්‍යස්ථාන හරහාය. සම්බාහන ස්ථාන ඕනෑ තරම් වැල්ලවීදිය පුරා දක්නට ලැබෙයි. බීච් බෝයිලා හරහා සම්බාහන මධ්‍යස්ථාන කරා ඇදෙන සුද්දන්ව එහි සිටින තරුණියන් සූක්ෂම ලෙස අල්ලා ගනී. ඒ ඔවුන්ගේ දුරකථන අංකය විදේශිකයාට ලබාදීමෙනි. පසුව එම අංකයට කතා කිරීමෙන් පසු විදේශිකයා හා තරුණිය වෙනත් පිටත ස්ථානයකදී මුණගැසෙති.   


සම්බාහන මධ්‍යස්ථානයේ අයකරන මුදලට වඩා අඩු මුදලක් ගෙවීමට සිදුවීමත්, රිසි සේ කාලය ගත කිරීමට හැකිවීමත් නිසා එවැනි හමුවීම් බොහෝවිට මීගමුවේ සාමාන්‍ය හෝටල්වල හෝ කුලියට ගතහැකි කාමර සහිත නිවාසවලදී සිදුවේ. මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානවල වර්තමානයේදී පැයක් සඳහා අයකරනු ලබන මිල රුපියල් විසිපන්දහස ද ඉක්මවයි.   


එද‌ා මෙන් නොව අද මීගමුවට පැමිණෙන සුද්දන් බොහෝ දෙනෙක් අපේක්ෂා කරන්නේ පිරිමැසුම් පැකේජයන්ය. සමහර සුද්දන් මීගමුව මාළු වෙළෙඳසැලෙන් මාළු මිලට ගෙන විවිධ අාකාරයට රසවත් කරගෙන කන්නේ තමන්ගේම අතිනි. අඩු කුලියකට ගත් නිවාසවල නවාතැන් ගනිමින් ඔවුහු එසේ ජීවත් වෙති. මේ නිසා මසුන් මරා වෙරළට රැගෙන එන ස්ථානවල මාළු මිලට ගන්නට සිටින සුද්දෝ ද මීගමුවේදී දක්නට ලැ​ෙබ්.   

 

සුද්දන් දැලේ දා ගැනීමට තැත් කරන ‘බීච් බෝයිලා’  

 

 


මීගමුව වෙරළ හා සංචාරක ව්‍යාපාරය පිළිබඳ දශක කීපයක අත්දැකීම් ඇති මීගමුව තානායමේ වත්මන් පාලකයා වන විජිත ප්‍රනාන්දු මහතා මීගමුවේ පෙර පැවැති සංචාරක ආකර්ෂණය යළි ඇතිකර ගැනීමට දැඩි කැපවීමක් කරන පුද්ගලයෙකි. වරක් බ්‍රිතාන්‍ය මහරැජින ලංකාවට පැමිණි මොහොතේ එක් රැයක් මීගමුව තානායමේ නවාතැන් ගත්තාය. එවකට මෙරටේ පිහිටි සුන්දරම වෙරළ තීරය පිහිටියේ තානායම අසලය.   


විජිත ප්‍රනාන්දු මහතා පවසන්නේ ලංකාවේ හොඳම සංචාරක කලාපය බවට මීගමුව පත් කළ හැකි බවය. ගුවන් තොටුපළට ආසන්නම ඇති මුහුදු වෙරළ හා සංචාරක කලාපය නිසා මීගමුව සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම ඉතා පහසු බවත් එ් සඳහා නිසි වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්ය.  


(ලබන සතියේ තව කොටසක්) 


සටහන/ ඡායාරූප
දොම්​පේ අජිත් මදුරප්පෙරුම

 



Recommended Articles