ගමට තිබූ ලංගම බසය නැති කරගත් හැටි


ගැමි රසවිත

 

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද මැතිවරණ පොරොන්දු අතර බස් ව්‍යාපාරය ජනසතු කිරීම ප්‍රධාන තැනක් ගත්තේය. ඒ මහතා අගමැති වී වසර දෙකක් පමණ ගත වෙද්දීම වාගේ එනම් 1958 ජනවාරි 1 වැනිදා රටේම ජනතාවගේ ප්‍ර‌ීතිඝෝෂා මැද්දේ ලංගම බිහිවිය. එතැන් පටන් මුළු ලංකාවේම මගීන් ප්‍රවාහනය ලංගමට අයිති විය. විශේෂ පුහුණුව ලැබූ රියැදුරන් හා කොන්දොස්තරවරුන් රජයට අනුබද්ධ ලංගමයේ සේවකයින් ඒ අතර ඒ ඒ මාර්ග වෙනුවෙන් අලුත් මාර්ග අංක කාලසටහනින් හා නීති රීතිද ක්‍රියාත්මක විය. මුළු ලංකාවේම සියලුම මාර්ග හා නගර ගම් දනව්ද ආවරණය වන ලෙසට බස් රථ ධාවනය සිදුවිය. ඒ වාගේම අලුත් බස් ගාස්තු ක්‍රමයක්ද හඳුන්වා දුණි.  
අගනගරය වූ කොළඹ සියලුම නාගරික කොට්ඨාසයන් හා කොළඹ නගරයට ආසන්න ප්‍රදේශයන් ආවරණය වෙන ලෙසට ධාවනය වූ බස් රථ බොහෝමයක් දිනපතාම ධාවනය වූ අතර එයින් ජනතාවට ඉටු වූ සේවය මිල කළ නොහැකි විය. අගනුවර වැදගත් ස්ථාන වූ රෝහල් රජයේ කන්තෝරු දුම්රිය ස්ථාන සිනමාශාලා ක්‍රීඩා පිට්ටනි පමණක් නොව පොලිසිය, උසාවිය, පාසල් වැනි ස්ථාන හරහා ගමන් කළ බස්රථ නිසා ඉතාමත් කෙටි කාලයකින් සුළු මුදලකට ඒ ඒ ස්ථාන වෙත යෑමේ හැකියාව ජනතාවට හිමි විය. කොළඹ හදවතවන් කොටුව හා පිටකොටුව හරහා මේ සෑම බස් රථයක්ම වාගේ ගමන් කළ නිසා දුම්රියෙන් පැමිණෙන ජනතාවටද සිදු වූ සේවය අති විශාලය. එදා ලංගම පමණක් තනියම ගමන් කළ නිසා තරගයක් නොතිබුණු බැවින් ජනතාවට වැදගත් සේවයක් පමණක් ලැබුණේය.  


කාලයක් ගතවෙද්දී තව තවත් අලුත් ධාවන මාර්ගයන් එකතු වූ අතර අගනුවර හා අනිකුත් ප්‍රධාන නගරවලින් දිවයිනේ සෑම ප්‍රදේශයකටම වාගේ බස් ධාවනය ආරම්භ විය. කෙටි වචනයෙන් කියනවා නම් ලංගම බස් රථ මුළු දිවයින පුරාම දකින්නට ලැබුණේය. නමුත් 1979 න් පසුව සියල්ල වෙනස් විය. ලංගමට පමණක් තනියම බර ඇදීමට බැරි වෙතැයි සිතාදෝ එදා සිටි පාලකයින් විසින් පුද්ගලික අංශයටත් බස් ධාවනයට අවසර දෙනු ලැබිණි. කණ්ඩායම් දෙකේ තරඟය නිසා ජනතා සේවය මොට වූ අතර මුදල ඉස්සර විය. ක්‍රම ක්‍රමයෙන් ලංගමයේ බස් රථ ප්‍රමාණය අඩු වූ අතර පුද්ගලික බස් රථ සංඛ්‍යාව වැඩි විය. මේ නිසා අගනුවර හා ආසන්න ප්‍රදේශ පුරා ගමන් කළ ලංගම බස් රථ බලා සිටිද්දී වාගේ මාර්ගයෙන් විසිවී ගියේය. මේ නිසා පුද්ගලික අංශය තමන්ට කැමති අන්දමට ධාවනයේ යෙදුනු අතර එදා ලංගම ආරම්භ කළ ගමන් වාර බොහෝමයක්ද කප්පාදු කළේය. පුද්ගලික බස් මුදලාලිලා එකතු වී එදා ලංගමය විසින් ක්‍රියාත්මක කළ ක්‍රම විධි වෙනස් කර ඔවුන්ගේ ක්‍රමවිධි ක්‍රියාත්මක කළේය. කාලය ගත වෙද්දී ධාවන නීති පමණක් නොව මිල වැඩිකිරීමේ අයිතියද බස් මුදලාලිලා සතු විය.  


1961 වසරේදී ලංගමය විසින් නිර්මාණය කරන ලද බස් ධාවන සටහන අනුව කොළඹ ජාතික රෝහල හා ඇස් රෝහල ඔස්සේ ධාවනය වූ බස් මාර්ග අටක් පමණ තිබුණේය. මාර්ග අංක 105 හෙට්ටියාවත්ත - බම්බලපිටිය අංක 107 කඩවත - මහරගම, අංක 116 කොටුව - නුගේගොඩ, අංක 140 වැල්ලම්පිටිය - කොල්ලුපිටිය, අංක 164 අංගොඩ - කොල්ලුපිටිය, අංක 123 පිටකොටුව - අතුරුගිරිය, අංක 114 පිටකොටුව - නුගේගොඩ, අංක 103 මෝදර (ඩොක්ලන්ඩ්) නාරාහේන්පිට වැනි බස් රථ මේ අතර විය.  
මුල් කාලයේ පුංචි බොරැල්ල ඔස්සේ බස් රථ ධාවනය නොවූ අතර බස් ධාවනය වූයේ ඩීන්ස් පාර සහ වෝර්ඩ් පෙදෙස ඔස්සේය. ඒ දිනවල ළමා රෝහල හරහා ධාවනය වූයේ බස් මාර්ග අංක දෙකක බස් රථ පමණකි. ඒ මාර්ග අංක 164 අංගොඩ - ඇස්වාට්ටුව හා අංක 104 ආමර්වීදිය - ගල්කිස්ස යන බස් රථ පමණකි. බොහෝදෙනා පිටකොටුව ඔස්සේ බොරැල්ලට පැමිණ රෝහලට පැමිණියහ. ද සොයිසා මාතෘ රෝහලට පැමිණිය යුත්තේද බොරැල්ල ඔස්සේය. කාසල් කාන්තා රෝහල ඉදිරියෙන් බස් රථ කීපයක්ම ධාවනය වූ නිසා ජනතාවට එහි යෑම පහසුවිය. පිටකොටුව ඔස්සේ පැමිණෙන මාර්ග අංක 170 පිටකොටුව - බත්තරමුල්ල, අංක 169 පිටකොටුව - නාවල, අංක 171 පිටකොටුව - අතුරුගිරිය, පමණක් නොව අංක 168 පිටකොටුව - අැතුල්කෝට්ටේ, අංක 110 පිටකොටුව - රාජගිරිය, වැනි බස් රථද කාසල් රෝහල අසලින්ම ගියේය.  
කොළඹ හදවත පිටකොටුව හා කොටුව බව සෑමදෙනාම දනිති. වැඩිපුරම බස් රථ ප්‍රමාණයක් ගමන් කළේද කොටුව සහ පිටකොටුව ආවරණය වන පරිදිය. මධ්‍යම බස් නැවතුම්පොළ පිහිටියේද පිටකොටුවේ නිසා බොහෝ ගමන් වාර පටන් ගත්තේ පිටකොටුව බස් නැවතුම්පොළින්ය. මීගමුව පාර, නුවර පාර, අවිස්සාවේල්ල පාර ඔස්සේ කොළඹට පැමිණෙන ජනතාව සමහර විට අවශ්‍ය ස්ථාන කරා යෑම සඳහා පිටකොටුවට හෝ කොටුවට හෝ නොගොස් ආමර්වීදියෙන් හෝ ජේතවන පාරෙන් හෝ වෙනත් බසයකට නැග ගත්හ. මන්ද කොළඹ නගරයෙන් හරි අඩක්ම ආවරණය වෙන ලෙස ගමන් කළ බස් රථ මේ ඔස්සේ ගමන් කළ නිසාය. මුල්ම කාලයේ කොටුවේ රැජින වීදිය හා එතුම් වීදිය ඔස්සේ බස් රථ ධාවනය නොවූ අතර ලෝටස් පාර, යෝක් වීදිය හරහා පමණක් බස් ධාවන විසි පහක් පමණ ගමන් ගත්හ. රජගෙදර පිටුපසින් වැටී තිබෙන ගෝල් බක් පාරේද ඒ දිනවල මාර්ග අංක 102 කොටහේන - ගල්කිස්ස බස් රථයක් ධාවනය විය. මාර්ග අංක 101 ජාඅැළ - ලුනාව, අංක 107 කඩවත - මහරගම, අංක 106 වත්තල - ගල්කිස්ස ඒ දිනවල බඩගාමි නමින් හැඳින්වුණ බස් ධාවනයන් වේ. මේ බස් රථවලින් ශත තුනකට බාග ප්‍රවේශ පත්‍ර ද නිකුත් කළේය. ඩබල් ඩෙකර් යනුවෙන් හැඳින්වූ තට්ටු දෙකේ බස් රථ මේ මාර්ගවල සුලබ විය.  


ලංගම ආරම්භ කළ මුල් කාලයේ බස් රථ ධාවනය වූයේ තෝරාගත් මාර්ග කීපයක් ඔස්සේ පමණක්ය. නව කැලණි පාලම හරහා එක බස් රථයක්වත් ධාවනය නොවූ අතර කැලණිතිස්ස බලාගාරය ඉදිරියෙන් ඉඟුරුකඩය දක්වා වැටී ඇති මාර්ගයේ ද බස් ධාවනයක් තිබුණේ නැත. බම්බලපිටිය ඩික්මන් පාර, ජාවත්ත පාර, කොටහේන, ජම්පටා වීදිය, මෝදර අලුත් මාවත යන ප්‍රසිද්ධ මාර්ගවල ද ලංගම බස් රථ ධාවනය කෙරුණේ නැත. ගාලුමුවදොර පැරණි යුද හමුදා මූලස්ථානය ඉදිරියෙන් තිබූ පහළ වැව පාර (බාලදක්ෂ මාවත) ඔස්සේ මාර්ග අංක 100 සහ 102 බස් රථ ධාවනය වූයේ හමුදා භටයින්ගේ පහසුව සඳහාය. කොල්ලුපිටියේ ලිබර්ටි වට රවුමේ සිට නගර ශාලාවේ ලිප්ටන් වට රවුම දක්වා වැටී ඇති ධර්මපාල මාවත ඔස්සේ මුල්ම කාලයේ ධාවනය වූයේ අංක 140 කොල්ලුපිටිය - වැල්ලම්පිටිය බස් රථය පමණකි. කාලයාගේ ඇවෑමෙන් බස් රථ පමණක් නොව සමහර මාර්ග ද නැතිවී ගියේය.  


බස් රථ ධාවනය නොවූ කොටුවේ චැතැම් වීදිය හරහා බස් ධාවනය ආරම්භ වූ අතර මාර්ග ධාවන දහතුනක් පමණ ගමන් කළේය. මුල් කාලයේ ගාලුමුවදොර පිටිය හරහා ගමන් කළ ධාවන මාර්ග තුනට අමතරව තවත් ධාවන මාර්ග දහයක් පමණ එකතු විය. ආණ්ඩු මාරු ඇමැති මාරු වැනි දේවල් සිදුවෙද්දී මාර්ග වෙනස් විය. මාර්ග අංක ද වෙනස් විය. මාර්ග අංක 101 ජාඇළ - ලුනාව කප්පාදුවී වත්තල - මොරටුව ලෙස වෙනස් වී ඊටත් පසුව පිටකොටුව - මොරටුව විය. මාර්ග අංක 107 කඩවත - මහරගම විසිවී ඇළකන්ද - කළුබෝවිල විය. පසුව එය ඇළකන්ද - කොටුව විය. මාර්ග අංක 104 දිවුල්ගස්හංදිය - ගල්කිස්ස පසු කාලයේ වත්තල - බම්බලපිටිය විය. මේ වෙනවිට එම ධාවනය (අංක 104) මාර්ගයෙන් විසිවී ගොස් ඇත්තේය. අංක 105 හෙට්ටියාවත්ත - දෙහිවල ධාවනය කලකට පෙර නතර වුණු අතර පසුව අංක 167 නමින් තොටළඟ සිට දෙහිවල දක්වා ගමන් කළේය. අංක 103 කොටහේන - නාරාහේන්පිට (යුනියන් පෙදෙස හරහා) ධාවනය ද ඉවත්ව ගිය අතර කොටුව - බොරැල්ල - නාරාහේන්පිට වශයෙන් අංක 103 යටතේ ආරම්භ විය. කඩවත සිට පිටකොටුව හරහා හෝමාගම දක්වා මාර්ග අංක 138 නමින් තවත් අලුත් මාර්ග ධාවනයක් ඇරඹුනු අතර පසුව එය දෙකඩ විය. අංක 171 යටතේ පිටකොටුව - අතුරුගිරිය ධාවනය, නව ජැටිය බත්තරමුල්ල ලෙසට වෙනස් විය.  


අද වෙන විට තව බොහෝමයක් අලුත් ධාවන මාර්ග අගනුවරට සැපත් වී ඇති අතර ඒවායින් සියයට අනූපහක්ම ධාවනය කෙරෙන්නේ පුද්ගලික අංශයෙන්ය. සමහරක් බස් මාර්ග පුද්ගලික අංශය විසින් ලංගමයෙන් උදුරා ගත් අතර අද වෙන විට බස් ධාවනය නවතා දමා ඇත. මාර්ග අංක 104 වත්තල - බම්බලපිටිය බස් රථය මේ වෙන විට මාර්ගයෙන් විසිවී ඇත්තේය. මාර්ග අංක 116 මට්ටක්කුලිය - පිළියන්දල බසය ද මාර්ග අංක 178 මට්ටක්කුලිය - නාරාහේන්පිට බසය ද මාර්ගයෙන් ඉවත් කර ඇත. ජාවත්ත, ටොරින්ටන් වැනි ස්ථානවල සිට මරදාන හෝ පිටකොටුවට ගමන් කළ යුතු මගීන්ට මේ වෙනවිට බස් රථ දෙකක යෑමට සිදුවී ඇති බව කිව යුතුය. මෙවැනි අත්‍යවශ්‍යම බස් සේවයන් මාර්ගයෙන් ඉවත් කළේ කාගේ උවමනාවට ද කියා මගීන් කව්රුත් දන්නේ නැත.  


අද වෙන විට බස් ගාස්තුව සියයට සියයකටත් වඩා වැඩිවී ඇත. එහෙත් සේවය සියයට සියයක්ම වාගේ පහළට වැටී ඇත්තේය. අතීතයේ දිනවල ජනතාවට රාත්‍රී කාලයේ වුවද නගරයේ සිට අන්තිම බස් රථය තිබුණේය. ඒ බස් රථයෙන් ඉටුවූ සේවය කොපමණදැයි කියා මිල කළ නොහැකිය. දිනපතාම ඒ බස්රථයෙන් යන එන මගීන්ව අතරමග රස්තියාදු නොකර නිවෙස් කරා ​රැගෙන ඒමට ලංගමයේ සේවක මහත්වරුන් ක්‍රියා කළහ. කෙටි වචනයෙන් කියනවා නම් අන්තිම බස් රථය සැමදාම තිබුණේය. එපමණක් නොව දිනපතා පැමිණෙන මගීන් සියලුදෙනා පැමිණෙනතුරු බස් රථය පිටත්වූයේ ද නැත. උදේ හතරාමාරේ බසයෙන් පිටත්ව මාතර බලා ගොස් ​හෝ අවශ්‍ය කටයුතු කරගෙන නැවත ගෙවල් බලා පැමිණීම එදා එතරම් දුෂ්කර දෙයක් නොවීය. සැතපුම් තුන්සීයක විතර ගමන් කිරීමට පහසු අන්දමේ හොඳ සේවයක් එදා තිබුණේය.  


අද ශ්‍රී ලංකාව ඩිජිටල් වී ඇත්තේය. ලෝකයම ගෝලීයකරණය වී ඇත. අන්තර්ජාලය ඔස්සේ තප්පර ගණනකින් ලෝකයටම රිංගා ගත හැකිය. පරිගණකයෙන් කිරීමට බැරි වී ඇත්තේ පිරිමියෙකු ගැහැනියක කිරීම පමණකි. එදා ගමේ මිනිස්සු සවස 6.30 සිනමා දර්ශනය නරඹා බොහෝ සැහැල්ලුවෙන් රාත්‍රියේ බසයකට නැගී නිවෙස්වලට පැමිණියහ. ඒ එදාය. අද සවස 6.30 චිත්‍රපට දර්ශනය නොව සවස 2.30 දර්ශනයවත් නරඹා ගෙදර ඒමට බසයක් තිබේදැයි අවිශ්වාසය.  


කැපුන්ගොඩ ආනන්ද   



Recommended Articles