කොළඹ වරායේ කොටි ප්‍රහාරය මැඩපැවැත්වූ නාවිකයා කියන කතාව


යුද සමයේ 
  සටන් බ්ම්

 

 

අඳුරු වලා ඈත්මෑත් කරමින් හිරුකිරණ කොළඹ අහසට එබිකම් කරමින් සිටියේය.  


ඒ වෙනකොටත් මුළු සිරිලකම ලහිලහියේ සූදානම් වෙමින් සිටියේ සිංහල අලුත් අවුරුද්ද ජයටම සමරන්නටය.  


ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්ට සිංහල අලුත් අවුරුද්ද සැමරීමට තරම් නිදහසක් නොතිබුණේ ඒ වෙනකොටත් එල්ටීටීඊ සංවිධානය ඔවුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න කර තිබූ නිසාය.  


කොළඹ වරායට ද දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර මහා විනාශයක් සිදුකිරීමට එල්ටීටීඊය අර අදිමින් සිටින බවට ඒ වනවිටත් බුද්ධි අංශවලට තොරතුරු වාර්තාවී තිබිණි.  
බුද්ධි තොරතුරු වාර්තා මත කොළඹ වරායේ ආරක්ෂාව ද ගොඩබිමෙන් මෙන්ම මුහුදේ ද දැඩිකර තිබුණේ එල්ටීටීඊ ප්‍රහාරයකට සාර්ථකව මුහුණදීමටය.  
දිනය 1996 අප්‍රේල් මාසයේ 12 වැනිදාය.  


වේලාව අලුයම 5.45ට පමණය.  


කොළඹ වරායේ ජැටිය දෙසින් එක්වරම ඇසුණු මහා පිපිරුම් හඬකින් මුළු ප්‍රදේශයම හෙල්ලුම්කා ගියේය.  


මහ පිපිරුම් හඬත් එක්කම වෙඩි හඬ ද එක දිගට ඇසෙන්නට පටන්ගෙන ඇත.  


කොළඹ වරායට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට මුහුදු කොටි කණ්ඩායමක් දැඩි උත්සාහයක් ගත්තේ ඒ අයුරින්ය.  
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ටොන් එකක පමණ තොගයක් කොළඹ වරායට ගෙනවිත් එහි බණ්ඩාරනායක ගුදමේ ගබඩා කර තිබී ඇත.  
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අවශ්‍ය බෝම්බ සෑදීමට මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය විදේශයක සිට ගෙනවිත් එහි ගබඩා කර තිබේ.  
කොටින්ගේ ඉලක්කය වී තිබී ඇත්තේ කොළඹ වරායට ප්‍රහාරයක් එල්ලකර වරාය විනාශ කරන අතරවාරයේ මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථානය ද පුපුරුවා හැර මුළු කොළොම් පුරවරයම සුන්නත් දූලි කර දැමීමය.  


නමුත් මරාගෙන මැරෙන මුහුදු කොටි කණ්ඩායමට ඔවුන්ගේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූයේ නාවික හමුදාවේ නිලධාරීන් හා භට කණ්ඩායමක් ඔවුන්ගේ ජීවිත පරදුවට තබා කළ බිහිසුණු සටනක ප්‍රතිඵලයක් වශයෙනි. 

 
වරායේ තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ටොන් එකක් පමණ ගබඩා කර තිබූ ගබඩාව පුපුරා ගියේ නම් එහි බලපෑම නුගේගොඩ ප්‍රදේශය දක්වාම විහිදී ගොස් ගොඩනැගිලි හා නිවාස බිමට සමතලාවී මිනිස් ජීවිත දහස් ගණනක් විනාශවී යාමට ඉඩකඩ තිබිණි.  


පුපුරණ ද්‍රව්‍ය අටවා ගෙන ආ මුහුදු කොටින්ගේ යාත්‍රාවක් විනාශයට පත්කර මුහුදු බෝම්බ රැගෙන වරායේ ජැටිය පුපුරුවා හැරීමට මුහුද යටින් පිහිනා ආ කොටි කණ්ඩායම ද විනාශකර දැමීමට නාවික හමුදාව සමත්වූහ.  


කොළඹ වරායට රිංගා පුපුරුවා ගැනීමට ආ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ඇටවූ කොටි යාත්‍රාව පුපුරා ගියේ පී 460/441 දරන ඩෝරා යාත්‍රාවේ සිටි බලනැවි අජිත් රත්නකුමාර මහතාගේ වෙඩි බලය හමුවේය.  


එවකට බලනැවි නිලයේ සිටි රත්නකුමාර මහතා නාවික හමුදාවෙන් විශ්‍රාම යන වකවානුවේ සිටියේ පාලන ප්‍රධාන සුළු නිලධාරී නිලයේය.  
නාවික හමුදා බුද්ධි අංශයේ ද රත්නකුමාර මහතා කාලයක් රාජකාරි කර තිබේ.  


මේ සිද්ධිය වන දවසේ රත්නකුමාර මහතා පී. 460/441 දරන ඩෝරා යාත්‍රාවේ ප්‍රධාන අවිකරු ලෙස රාජකාරියේ නිරතව සිට ඇත.  
අරණායක ජාතික පාසලේ (රිවිසඳ) ආදි සිසුවෙක් වන අජිත් රත්නකුමාර මහතා නාවික හමුදාවට 1991 වසරේ බැඳී 2013 වසරේ විශ්‍රාම ලැබීය.  
කොටි සංවිධානයේ අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය නැව් ගණනාවකට ප්‍රහාර එල්ල කර ඒවා විනාශකර දැමීමට ඉදිරිපෙළ සටන්කරුවෙකු ලෙස කටයුතු කර ඇති රත්නකුමාර මහතා මහ සයුරේ දැක්වූ දස්කම් නිසා පදක්කම් 15ක් හා පළඳනා 05ක් ලබා ඇති අභීත රණවිරුවෙකි.  


රණශූර පදක්කම් දෙකක් ද රණවික්‍රම උත්තමසේවා පදක්කම ද ඔහු ලැබූ පදක්කම් 15 අතර වෙයි. දේශපුත්‍ර සම්මානයෙන් ද ඔහු පිදුම් ලබා ඇත.   
කොටින්ගේ අවි නැවකට ප්‍රහාර එල්ල කිරීමට ගිය අවස්ථාවක වෙඩි ප්‍රහාරයකට ලක්ව ඔහු බරපතළ තුවාල ලබා තිබිණ.  
මේ අභීත නාවිකයා ගැන මා සමඟ පවසා ඔහු හඳුන්වා දුන්නේ නාත්තන්ඩිය, කුඩාවැව පදිංචි ඩී.එම්. රෝහණ මහතාය.  
රෝහණ මහතා ද නාවික හමුදාවේ පාලන ප්‍රධාන සුළු නිලධාරියෙක් ලෙස රාජකාරි කර විශ්‍රාම ලබා සිටින නාවික මෙහෙයුම් රැසකට සහභාගිවී දස්කම් දක්වා ඇති නිලධාරියෙකි.  


නුගේගොඩ තලපත්පිටිය පාර ඇඹුල්දෙණියේ පදිංචි අජිත් රත්නකුමාර මහතා සොයා අපි පසුගිය දිනක ගියේ කොළඹ වරායට ප්‍රහාර එල්ල කිරීමට ආ කොටි වනසා දැමීමේ මෙහෙයුම ගැන තොරතුරු ඔහුගෙන් විමසා දැනගැනීමටය.  


විදේශිකයකුට අයත් සංචාරක යාත්‍රාවක කපිතාන්වරයෙක් ලෙස රත්නකුමාර මහතා මේ වනවිට සේවය කරයි.  
අපේ මේ හමුවීම සිදුවූයේ ඔහු සේවය කරන ඒ දර්ශනීය යාත්‍රාවේ දීය.  


මුහුදු කොටි ප්‍රහාරය සාර්ථක ලෙස මැඩ පවත්වා ජීවිත දහස් ගණනක් හා කොළඹ පුරවරය බේරාගැනීමට ඉදිරිපත් වූ රත්නකුමාර මහතා මීට වසර 23කට ඉහත දී සිදුවූ ඒ සිද්ධිය මතකයට නගමින් විස්තර කරන්නට පටන්ගත්තේ මේ අයුරිනි.  

 

 


කොළඹ වරායට මුහුදු කොටි ගහන්න ආවේ 1996 වසරේ අප්‍රේල් මාසයේ 12 වැනිදා අලුයම් කාලයේ. එදා මම රාජකාරියේ නිරතවෙලා හිටියේ පී 460/441 දරන ඩෝරා යාත්‍රාවේ. මේ යාත්‍රාවේ අණදෙන නිලධාරියා ලෙස කමාන්ඩර් එම්. ජයසූරිය මහතා ද දෙවන අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් කමාන්ඩර් එන්.ඩී. දයානන්ද මහතා ද කටයුතු කළා. ඒත් මේ සිද්ධිය වන දවසේ ජයසූරිය සර් හිටියේ නැහැ. ඔහු නිවාඩු ගිහින්.  


මේ ඩෝරා යාත්‍රාවේ අවිකරු ලෙස මා සේවයේ නිරතව සිටියා. ඊට අමතරව නාවික ඉංජිනේරු විජේන්ද්‍ර රාජපක්ෂ, බලනැවි කේ. නිහාල් සහ කොතලාවල ජයවීර (සංඥා) යන අය ද සිටියා. පෙර දිනයේ එනම් 11 වැනිදා අපේ අණදෙන නිලධාරී ජයසූරිය සර් කිව්වා 12.7 වර්ගයේ අවි දෙකක් හා කුඩා අවි දෙකක් විතර තියාගෙන අනිත් අවි සේරම පිරිසිදු කර තබන්න කියා. ඒ නියෝගය අනුව අපි කටයුතු කළා.  


සිංහල අලුත් අවුරුද්ද ඩෝරා යාත්‍රාවේ ඉඳගෙනම සමරන්න අපි සූදානමින් හිටියේ. මහ මුහුදේ ආරක්ෂාවට අපව එදාත් යොදවා තිබුණා. මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙයි කියා අපි සිහිනෙකින්වත් හිතුවේ නැහැ. පසුදින (12) අලුයම 5.45 ට විතර අපේ ඩෝරා යාත්‍රාවේ සිටි නාවික භටයෙක් රත්නකුමාර ජැටිය ළඟින් පිපිරීමක් එක්ක වෙඩි හඬවල් ඇහෙනවා කියා කලබලයෙන් ඇවිත් කිව්වා. මම නිදා සිටි ඇඳෙන් නැගිටලා ඩෝරා එකේ උඩ තට්ටුවට දිව්වා. ඩෝරා එකේ ඉදිරිපස එම්.එම්. 20 ප්‍රධාන අවියේ ක්‍රියාකරු ලෙසයි. මගේ වෙඩි තැබීමේ දක්ෂතාව නිසාම මා ඒ ප්‍රධාන අවියේ ක්‍රියාකරු ලෙස අණදෙන නිලධාරීතුමා විසින් තෝරාගෙන තිබුණා. මේ අවිය මගේම සිරුරේ කොටසක් වාගේ. ඒතරමට අවිය මට හුරුයි.  


ඊට පස්සේ සිද්ධවුණ දේවල් ගැන ද එකිනෙක රත්නකුමාර මහතා විස්තර කරන්නට පටන් ගත්තේ මෙසේය.  


මම යාත්‍රාවේ ඉදිරිපසට දුවගොස් එම්.එම්. 20 වර්ගයේ ගිනි අවිය එක්ලස් කර ඩ්‍රම් මැගසිනයට ජීව උණ්ඩ 50ක් ඇතුළු කළා. පළමු පිපිරවීම සිදුවී විනාඩි පහක්වත් ගියේ නැහැ. දෙවැනි අණ දෙන නිලධාරී සර් සහ එවකට රංගල කඳවුරේ සිටි බටහිර ප්‍රදේශයේ යාත්‍රා බාරව සිටි කපිතාන් ඩී.කේ.පී. දසනායක සර් ද අපේ ඩෝරා යාත්‍රාවට ආවා. දසනායක සර්ට එහෙම එන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් දසනායක සර් ඔහුගේ ජීවිතය ගැන නොසිතා අපේ ඩෝරා එකට ආවේ වරාය බේරාගන්න ඕනෑ කියන අරමුණ ඇතිවයි.  
කපිතාන් දසනායක සර්ගේ පැමිණීමත් අපට ලොකු ශක්තියක් වුණා. දෙවැනි අණදෙන නිලධාරී දයානන්ද සර් රත්නකුමාර සුසයිඩ් බෝට් එකක් වරායට ඇතුල්වෙලා කොහොම හරි ඒක ඉක්මනටම පුපුරුවා දමන්න ඕනෑ කියා මට දැනුම් දුන්නා. අපි සියලුදෙනා ඕනෑ දෙයකට රෙඩි පිට හිටියේ.  


දසනායක හා දයානන්ද සර්ලාගේ උපදෙස් අනුව ඩෝරා යාත්‍රාව ඉතාම වේගයෙන් කොළඹ වරාය මැදට අරගෙන ගියා. වරාය මැද යාත්‍රා සමූහයක් තිබුණා. මේ නිසා මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන යාත්‍රාව හඳුනා ගැනීමට අපට ගොඩක් අපහසු වුණා. අපට ඉදිරියෙන් තිබූ සෝනාර් යාත්‍රාවක් අපි හිටිය ඩෝරා යාත්‍රාව දෙසට කෙමෙන් ළංවෙමින් තිබුණා. එම යාත්‍රාවේ බ්‍රිජ් කියන කොටස සුනුවිසුනුවී ගොස් තිබෙන ආකාරය දක්නට ලැබුණා. මේ යාත්‍රාව අපිට අයිති එකක්.  


පළමුවෙන් අපට ඇසුණු පිපිරීම් හඬට හේතුව අපි පසුව දැනගත්තා. කිමිදුම්කරුවෙක් දුටු නාවික හමුදා සෝනාර් යාත්‍රාවේ බාරකාර නාවිකයාව සිටි ඉංජිනේරු කාර්මික ත්‍රීමා විතාන “ඒයි කවුද ඔතන කිමිදෙන්නේ” කියා විමසා ඇත. ත්‍රීමා විතාන මුලින්ම හිතාගෙන ඉඳලා තියෙන්නේ ඔහු නාවික හමුදාවේ කිමිදුම්කරුවෙකු ලෙසයි. එ්ත් ඔහු මුහුදු කොටියෙක්. බියට පත්වූ එම මුහුදු කොටියා ඔහු රැගෙන ආ මුහුදු බෝම්බය (සීමයින්) පුපුරුවා ගෙන තිබෙනවා. ඒ පිපිරීමේ බලයට සෝනාර් යාත්‍රාවේ බ්‍රිජ් කොටස ගැලවී මුහුදට විසිවී ගොස් තිබෙනවා. අපට මුලින්ම ඇසුනේ ඒ පිපිරීම් හඬ තමා.  


ඒ හඬත් එක්කම වරායෙන් පිටත තිබූ මරාගෙන මැරෙන මුහුදු කොටි යාත්‍රාව වරාය කටින් ඇතුළට පැමිණ තිබෙනවා. ඒ අවස්ථාවේ වරාය කටේ මුර සංචාරයේ යොදවා තිබූ නාවික හමුදා මෝටර්ජෙට් යාත්‍රාවට ද ප්‍රහාරයක් මුහුදු කොටි එල්ලකර තිබෙනවා. එම ප්‍රහාරයෙන් මෝටර් ජෙට් යාත්‍රාවට තරමක හානි සිදුවී තිබුණත් එහි සිටි අපේ කිසිම කෙනෙකුට අනතුරක් වෙලා තිබුණේ නැහැ.  


අපේ පී. 460/411 ඩෝරා යාත්‍රාව වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණා. මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන යාත්‍රාවක් අප ඉදිරිපිටටම ආවා. ඔවුන් එකවරම අපේ යාත්‍රාව දෙසට ආර්.පී.ජී. අවියකින් වෙඩි තිබ්බා. ඒ ආර්.පී.ජී. බෝම්බය අඩි 10ක් පමණ වම්පස දෙසින් ඇදී ගියා. එම ආර්.පී.ජී. බෝම්බය බණ්ඩාරනායක ජැටියේ පහළ කොටසක වැදී පුපුරා ගොස් තිබුණා. ඉංජිනේරු කාර්මික ජයවීරට මා කෑගසා කිව්වා කොටි යාත්‍රාවට එම්.පී.එම්.ජී. අවියෙන් පොකුරු පොකුරු උණ්ඩ යවන්න කියා. ඔහු මා කිව්ව විදිහට ඒ අවියෙන් පොකුරු උණ්ඩ යැව්වා.  


මුහුදු කොටි දෙවැනි වරටත් ආර්.පී.ජී. බෝම්බයක් අපේ යාත්‍රාවට එල්ල කළත් එයත් ඉවතට අැදී ගියා. මුහුදු කොටි ඔවුන්ගේ අවිවලින් අපිට ප්‍රහාර එල්ල කිරීමට පටන්ගත්තා. මුහුදු කොටි පස්දෙනෙක් විතර ඒ යාත්‍රාවේ හිටියා මා නිරීක්ෂණය කළා. මුහුදු කොටි යාත්‍රාව විනාශ කරන්න බැරි වුණොත් අපේ යාත්‍රාව උන්ගේ යාත්‍රාවේ වේගයෙන් ගැටීමට සලස්වා අපිත් මරාගෙන මැරිලා හරි වරාය බේරාගනිමු කියා දෙවැනි අණදෙන නිලධාරී දයානන්ද සර් කිව්වා.  


කපිතාන් දසනායක සර් අපි හැමෝම දයානන්ද සර්ගේ යෝජනාවට කැමති වුණා. මුහුදු කොටි යාත්‍රාවේ අඟල් භාගයක් විතර ඝනකමට වෙඩි නොවදින තහඩුවක් සවිකර තිබුණා. අපි හතර පස්දෙනා විනාශ වුණාට කමක් නැහැ කොහොම හරි වරාය බේරාගනිමු කියන චේතනාව තමා අපි සියලු දෙනාටම තිබුණේ.  


දැන් මගේ වාරය ඇවිත් තිබෙන බව තේරුම් ගියා. මගේ අවියෙන් මම පළමු උණ්ඩයේ සිට උණ්ඩ 25ක් හෝ 30 ක් විතර එක දිගට නිවැරදි ඉලක්කයටම කොටි යාත්‍රාවටම පතිත කළා. ඒත් එක්කම විශාල පිපිරුම් හඬක් එක්ක යාත්‍රාව සුනුවිසුනුවී ගියා.   

 

බලනැවි අජිත් රත්නකුමාර

 


කොටි යාත්‍රාව පුපුරා යන අවස්ථාවේ විශාල ජල කඳක් අහසට නැගුණා. අපේ ඩෝරා යාත්‍රාව ගිය වේගයෙන්ම පුපුරා ගිය කොටි යාත්‍රාවේ ගිනිදැල් අතරින් ගමන් කළා. මෙයින් අපේ යාත්‍රාවේ ඉදිරියෙන්ම සිටිය නාවිකයා හැටියට මාව එයින් අධික කම්පනයට පත්වුණා. නමුත් සුළු මොහොතකින් ආයෙත් යථා තත්ත්වයට ආවා. නිවාඩු ලබා ගොස් සිටි අපේ ඩෝරා යාත්‍රාවේ අණදෙන නිලධාරී ජයසූරිය සර්ට මේ සිද්ධිය ආරංචි වෙලා මෝටර් ජෙට් එකකින් අපේ යාත්‍රාවට ආවා. ඔහු මාව වැළඳගෙන සුබ පැතුවා.  


කමාන්ඩර් ජයසූරිය සර් කිව්වා තවත් මුහුදු කොටින් මුහුදු බෝම්බ රැගෙන පැමිණ තිබෙනවා කියා. ඒ අනුව වරාය අවට මුහුද නිරීක්ෂණය කිරීමට පටන්ගත්තා. එම ක්‍රියාන්විතයේ දී මුහුදේ පිහිනමින් සිටි කොටි 11 දෙනෙක් මරා දැම්මා. අවි ආයුධ විශාල ප්‍රමාණයක් හා මුහුදු බෝම්බ 03ක් ද විනාශ කර දැමීමට අපේ කණ්ඩායමට හැකියාව ලැබුණා.  
පැති බෝම්බ සෑදීමට ගෙනවිත් තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ටොන් එකක් විතර වරායේ බණ්ඩාරනායක ගුදමේ තැන්පත් කර තිබුණා. යම් ලෙසකින් මුහුදු කොටින්ට ඒ ගුදම පුපුරුවා හැරීමට හැකියාව ලැබුණා නම් එහි බලපෑමෙන් නුගේගොඩ ප්‍රදේශය දක්වා මිනිස්සුත් එක්කම විනාශවී යාමට ඉඩකඩ තිබුණා. කියා නාවික හමුදාවේ ලොකු මහත්වරු අපිත් එක්ක කිව්වා. එහෙම වුණානම් ලංකා සිතියමෙන් ඒ ප්‍රදේශය නැතිව යාමට පවා ඉඩ තිබුණා යැයි නාවික හමුදාවේ පාලන ප්‍රධාන සුළු නිලධාරී අජිත් රත්නකුමාර මහතා පැවසීය.  


අපි විනාශ කර දැමූ කොටින්ගේ යාත්‍රාව මීගමුව පැත්තේ සිංහල මාළු ව්‍යාපාරිකයකුගෙන් ඔවුන් ලොකු මුදලකට මිලදීගෙන තිබෙන බවත් මෙම මිල දී ගැනීමට පාතාල ලෝකයේ නායකයෙක් මැදිහත්වී ඇති බවත් පසු කාලයක අපට දැනගැනීමට ලැබුණා යැයි ද රත්නකුමාර මහතා කතාබහ නිමා කිරීමට මත්තෙන් කීය.  


කොළඹ වරාය පමණක් නොව කොළඹ පුරවරයම බේරාගත් මේ අභීත රණවිරුවන් කළ මෙහෙය වෙනුවෙන් ඔවුන්ට රණශූර පදක්කම් පිරිනමා ඇත.  

 


සටහන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූප මාදම්පේ එස්. හේරත්   



Recommended Articles