​මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ මහින්දවනේ


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  

පත් කළ මන්ත්‍රී 
ඩිලාන් පෙරේරා  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් සඳහා වන සාකච්ඡා සාර්ථක වේද? ජනාධිපතිවරණයේ දී කුමක් වෙයිද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත් කළ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සමඟ කළ සාකච්ඡාවකි.

• ප්‍රශ්නය:- පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතයි. ඔබ ඒක දැක්ක ද?  


පිළිතුර:- නෑ. මම ඒක දැක්කේ නැහැ. හැබැයි පොහොට්ටු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදක්වන එක ගැන මම සතුටු වෙනවා.  


• ප්‍රශ්නය:- ඒකට හේතුව?  


පිළිතුර:- ඒකට හේතුව තමයි පොහොට්ටුවට මෙතෙක් තිබුණ චෝදනාව තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනයත් මහින්ද, නායකයත් මහින්ද, ලකුණත් මහින්ද. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට පොදුජන පෙරමුණ කියන පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වෙන එක හොඳයි. ඒකට හේතුව තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්කෙනෙක් හැටියට මම තේරුම් අරගෙන තියෙනවා ඊළඟ ජනාධිපතිවරණයේ දී හා ඕනෑම මැතිවරණයක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන ප්‍රධානම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඉතින් අපිත් සන්ධානගත වන ප්‍රධාන පක්ෂයට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙන එක ඉතාම හොඳයි. එතකොට ඒ පක්ෂයත් යම් ප්‍රතිපත්ති මාලාවක් මත ගොඩනැගෙන පක්ෂයක් බවට පත්වෙනවා එහෙම නැතිව හැම එකකටම පුද්ගලයෙක් වටා පමණක් ගොඩනැගෙන්නේ නැතිව. පුද්ගල සාධකය ලංකාවේ දේශපාලනයේ දී වැදගත්. මහින්ද රාජපක්ෂ ඉතා වැදගත් දේශපාලන සලකුණක්. හැබැයි මහා විශාල සන්ධානයක් ගොඩනැගෙන කොට ඒ සන්ධානයෙ ප්‍රධාන පක්ෂය වෙච්ච පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අපි කාටත් වැදගත්.  


• ප්‍රශ්නය:-ඔබ මහා සන්ධානයක් ගැන කතා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොහොට්ටුවයි සන්ධානගත වෙයි ද?  


පිළිතුර:- මම දරන පෞද්ගලික මතය තමයි ඒ සන්ධානය ගොඩනැගිය යුතුමයි. අවසානයට පැවැති මැතිවරණයෙ ප්‍රතිඵලයනේ අපි සැලකිල්ලට ගත යුත්තේ. එතැනදී පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුව ඡන්ද ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණෙන් බුලත් කොළයෙන් ඉල්ලුවා. අපිට සහාය දක්වන පිරිස් නැගෙනහිර පළාතෙදි අශ්වයාගෙන් ඉල්ලුවා. ඒවා ඔක්කොම ගත්තම ඡන්ද ලක්ෂ 15ක් විතර තියෙනවා. ලක්ෂ 35ක පමණ ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද ලක්ෂ 7ක පමණ ප්‍රමාණයක් ලැබුණා. එතකොට පාර්ලිමේන්තු මැතිවරණයක දී හෝ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයක දී නම් ඡන්ද වැඩියෙන් ගත්ත පක්ෂය දිනුම්. නමුත් ජනාධිපතිවරණයක දී වැඩියෙන් ඡන්ද ගැනීම පමණක් ප්‍රමාණවත් නෑ. සියයට 50යි තව එක ඡන්දයක් අවශ්‍යයි. පළමු වටයේ දී ජනාධිපතිවරයා වෙන්න.  

 

ගෝඨාභයගෙ දෙපැත්තෙ ඉන්න දෙන්නා ඉවත් කරන්න ඕනෑ


• ප්‍රශ්නය:-මේ තියෙන වාතාවරණය තුළ ඒක ලේසි නෑ?  


පිළිතුර:- මෙහෙමයි. ඔය තත්ත්වය තුළ පොදුජන පෙරමුණට තනියෙන් ඉල්ලලා දිනන්න බෑ. මං දකින විදියට ජනාධිපතිවරණයේ දී සියයට 80ක් ඡන්ද පොළට ගියොත් ඡන්ද ලක්ෂ 60ක් 65ක් ගත්තොත් තමයි ස්ථිර වශයෙන්ම සියයට 50 පනින්නේ. එතකොට ඡන්ද ලක්‍ෂ 15ක විතර අඩුවක් තියෙනවා පොදුජන පෙරමුණට තමන්ගේ දැන් තියෙන ඡන්ද සංඛ්‍යාව ඔහොමම තියාගෙන ජනාධිපතිවරයා පත්කර ගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලක්ෂ 50ක අඩුවක් තියෙනවා. යූඑන්පී එකට ලක්ෂ 17ක විතර අඩුවක් තියෙනවා. එතකොට පොදුජන පෙරමුණට ඒ අඩු ඡන්ද ලක්ෂ 15 ගන්න පුළුවන් තැන් මොනවාද? අර යූඑන්පී ඡන්ද ගොඩෙන් ගන්න බෑනේ. ජනතා විමුක්ති පෙරමුණේ ගොඩෙන් ගන්න බෑ. උතුරේ දෙමළ පක්ෂවල හා මුස්ලිම් පක්ෂවල ඡන්දවලින් ගන්න බෑනේ. එහෙනම් පොදුජන පෙරමුණට අඩු ඡන්ද ලක්ෂ 15 ගත හැකිවන්නේ ශ්‍රී ලකා නිදහස් පක්ෂයෙන් පමණයි.  


• ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ ඡන්ද ගොඩ දෙයිද?  


පිළිතුර:- දෙන්න වෙනවනේ. මේ ගොඩවල් දෙක එකතු වුණොත් තමයි ඡන්දය දිනන්න පුළුවන් වෙන්නේ.  


• ප්‍රශ්නය:- නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ගේ ප්‍රකාශවලින් පේන්නේ එහෙම සූද‌ානමක් නැහැ කියලයි?  


පිළිතුර:- අපි ඕනෑම මැතිවරණයක දී ගණන් හදන්නේ අංක ගණිතයෙන්නේ. අපේ දයාසිරි ජයසේකර මහලේකම්තුමා පොහොට්ටුවේ ෂෙහාන් සේමසිංහ මහත්තයලා පොළොන්නරුවේ රොෂාන් රණසිංහ මහත්තයලා වීජ ගණිතයෙන් හදනවා. නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඡන්ද ගණන් කරන්නේ අංක ගණිතයෙන්. ඒ නිසා 50යි 15යි එකතු කළාම 65යි කියන අංක ගණිත සූත්‍රය දන්න ඕනෑම කෙනෙක් දන්නවා මේ පක්ෂ දෙක විතරක් නොවෙයි මේ පක්ෂ දෙක එක්ක ඉන්න සියලු බලවේග එකතු කළ යුතුයි. ත්‍රීවීල් පක්ෂ කියල ගමේ භාෂාවෙන් කියන්නේ. ඒ තුන් දෙනාවත් එකතු කර ගතයුතුයි. මම ගණන් හදන්නේ අංක ගණිතයෙන්.  


• ප්‍රශ්නය:- ඔය අංක ගණිතය නොදන්නා අයත් ඉන්නව ද?  


පිළිතුර:- කවුරු තේරුම් නොගත්තත් මම දන්නවා මහින්ද මහත්තයාට දේශපාලන අංක ගණිතය පුළුවන්. ඒ නිසා එතුමා දන්නවා අඩු 15 ගන්න තියෙන්නේ ශ්‍රී ලංකා එකෙන් පමණයි කියලා. ඔය සූත්‍රය මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් දන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ඔය සූත්‍රය දන්නවා. මම මේ ආවේ බැසිල් රාජපක්ෂ මහත්තයා හමුවෙලා. එතුමා මේ සූත්‍රය හොඳටම දන්නවා. බැසිල් රාජපක්ෂ මහත්තයා ඒ සූත්‍රය දන්නවා විතරක් නොවෙයි ග්‍රාමසේවක වසම්වලින් මේ මේ සංඛ්‍යාවන් ගත යුතුයි කියලා ගණන් හදලත් තියෙනවා. ඒනිසා මං හිතන්නේ ඔය සන්ධානය හදන්න වැඩිය ඈත දුවන්න අවශ්‍ය නෑ. හොඳම දේ ජනාධිපතිවරණය සඳහා පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමත් හද‌ා ගැනීමයි. එය ප්‍රමාණවත්. ඊට පස්සේ එන මැතිවරණවලට මේ කරුණු ද‌ාන්න ගියොත් දැන් මේ සන්ධානය හැදෙන පැත්තට වඩා නොහැදෙන පැත්තට යයි.  


• ප්‍රශ්නය:- ජනාධිපති අපේක්ෂකත්වයයි අගමැති අපේක්ෂකත්වයයි දෙකම පොහොට්ටුවට බැහැ කියලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සමහරු කියන්නේ?  


පිළිතුර:- අගමැති අපේක්ෂකයා ගැන දැන්ම කතා කරන්න බැහැනේ. මේ රටේ ජනතාව ඉල්ලන්නේ ගෝඨාවවත්, මෛත්‍රීවවත්, චමල්වවත් දිනේෂ්වවත් නෙමෙයි. මිනිස්සු ඉල්ලන්නේ මහින්දවනේ. අගමැති මහින්ද කියන එක දැන් නියතයක්නේ. ඒ නිසා අපි අගමැති ධුරයට හෙට්ටු කරන එක වැරැදියි. අගමැති මහින්ද කියන එක නියතයක්. ඒ නියතය වෙනුවට වෙන කෙනෙක් එක්ක තර්ක කරනවා කියන්නෙම වැඩේ හබක් කියන එකයි. අපට මාර්කට් කරන්න පුළුවන් චරිතය මහින්ද, ගෝඨාභය ඉල්ලුවත් මෛත්‍රීපාල ඉල්ලුවත් චමල් ඉල්ලුවත්, දිනේෂ් ඉල්ලුවත් ඔය හතර දෙනාම මාර්කට් කරන්න මහින්ද ඕනා. මහින්ද නැතිව තනියෙන් යන්න බෑ. ගෝඨාභය හිතුවොත් තනියෙන් යන්න පුළුවන් කියලා ඒක විකාරයක්. මෛත්‍රීපාල එහෙම හිතනවා නම් ඒක විකාරයක්. මහින්ද රාජපක්ෂ තමයි මාර්කට් කරන්න පුළුවන් භාණ්ඩය. ඒ නිසා එයා ඊළඟ මැතිවරණයේ දී අගමැතිකමට එන නිසා ඒක නියතයක්. නමුත් මම කියන්නේ මහින්ද අගමැති කරන්න බෑ ජනාධිපතිවරණය අපි දිනන්නේ නැතිව. මහින්ද අගමැති කරන්න ජනාධිපතිවරණය අපි ජයග්‍රහණය කළ යුතුමයි. ජනාධිපතිවරණය ගහලා ගියොත් මහින්ද ඉල්ලුවත් පරාදයි. ඒ නිසා අපේ කවුරුහරි තර්ක කරනවා නම් ජනාධිපති අපේක්ෂකත්වය පොහොට්ටුවට නම් අගමැති අපේක්ෂත්වය ශ්‍රී ලංකා එකට ඕනෑ කියලා එහෙම කරන්න බෑ.  


• ප්‍රශ්නය:-එහෙම නම් මොකක්ද කරන්න ඕනෑ?  


පිළිතුර:- ජනාධිපතිවරණයට අපි ද‌ාන්න ඕන පොහොට්ටුවේ කෙනෙක්ද? ශ්‍රී ලංකා එකේ කෙනෙක්ද කියලා නොවෙයි හොයන්න ඕනෑ. ද‌ාන්න ඕනෑ ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක්. අපිට දැන් හොයන්න වෙලා තියෙන්නේ ඊළඟට හොඳ ජනාධිපතිවරයෙක් නොවෙයි හොඳ ජනාධිපති අපේක්ෂකයෙක්. හොඳ ජනාධිපතිවරු ඉන්න පුළුවන් ඒ පුටුවේ වාඩි වුණාම. නමුත් එයාට දිනන්න බැරිනම් වැඩක් නෑ. ඒ නිසා අපි හොයන්න ඕන හොඳ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්. එහෙම නැතිව හොඳ ජනාධිපතිවරු හොයන්න ගියොත් මේ වෙලාවේ ඒක ප්‍රශ්නයක්.  


• ප්‍රශ්නය:-පොහොට්ටුව ස්ථිර වශයෙන්ම කියලා තියෙනවද ඔවුන්ගේ අපේක්ෂකයා ගෝඨාභය කියලා? 

 
පිළිතුර:- මම කියන්නේ පොහොට්ටුව කියනවා නම් ඔවුන්ගේ අපේක්ෂකයා ගෝඨාභය කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදය ගෝඨාභයට තියෙනවා නම් අපිට සිද්ධ වෙනවා ගෝඨාභය රාජපක්ෂ පිළිගන්න. මම ගෝඨාභය මහත්තයව පිළිගන්නවා කියලා කියන්නෙම එතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදය තියෙනවා නම් පමණයි. පොහොට්ටුව විතරක් ඒක කිව්වට මදි.  


• ප්‍රශ්නය:-ඔබ කියන්නේ ගෝඨාභය රාජපක්ෂට මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය නැහැ කියල ද?  


පිළිතුර:- මහින්ද මහත්තයා අපේ අපේක්ෂකයා ගෝඨාභය කියලා කිව්වේ නැහැ. ගෝඨාභය නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදය ලැබෙන අපේක්ෂකයා ඒ අපේක්ෂකයාට පොහොට්ටුවේ ආශිර්වාදය ලැබිය යුතුමයි. මොකද ලක්ෂ 50ක් තියෙන්නේ එතැන. හැබැයි මහින්ද මහත්තයා දන්නවා ලක්ෂ 50 මදි දිනන්න. ශ්‍රී ලංකා එකේ ලක්ෂ 15ත් ගන්න ඕනෑ කියලා. එතකොට ශ්‍රී ලංකා ඡන්ද ගන්න කොට ශ්‍රී ලංකා ඡන්ද ගොඩෙත් තියෙනවා ලක්ෂ 4ක් විතර සුළු ජාතික ඡන්ද. ඒවා පොහොට්ටුවට ගන්න බැරිවෙච්ච ඒවා. දැන් ඒවා ලබා ගැනීම සඳහා මහින්ද මහත්තයාගෙ ආශිර්වාදය ඇතිව නම් කරන අපේක්ෂකයාට හැකියාව තියෙන්න ඕනෑ. අපි උපකල්පනය කළොත් අපේක්ෂකයා ගෝඨාභය නම් ඒ අපේක්ෂකයා දැනගන්න ඕනෑ මට දිනන් නම් තවත් ඡන්ද ලක්ෂ 1 ක් ඕනෑ. ඒ ඡන්ද ලක්ෂ 15 ඇතුළේ ලක්ෂ 4ක් 5ක් සුළු ජාතික ඡන්ද තියෙනවා. ඒ නිසා මම විතරක් නොවෙයි මගේ වමේ හිටගන්න අයත් සුළු ජාතික ඡන්ද ආකර්ශනය කරගත හැකි අය විය යුතුයි කියලා. එතුමා නම් අපේක්ෂකයා එතුමාට තියෙන වාසිවලින් සියයට 90 ක්ම තියෙන්නේ සිංහල බෞද්ධ ඡන්ද ගොඩේ. එතුමාට වෙනම මහන්සියක් ගන්න අවශ්‍ය වෙන්නේ නෑ සිංහල බෞද්ධ ඡන්ද ගන්න. මහින්ද මහත්තයා තමයි සිංහල බෞද්ධ සංකේතය. ඒ නිසා ඒ ඡන්ද ටික එනවා. ඒ වගේම මහින්ද මහත්තයාට තියෙන එකවාසියක් ගෝඨාභය මහත්තයාට නෑ. මහින්ද මහත්තයාට කවුරු කොහාම කිව්වත් දෙමළ මුස්ලිම් ජනතාවගේ යම් ප්‍රසාදයක් තියෙනවා. හැබැයි මහින්ද මහත්තයා ගන්නා වූ ඒ දෙමළ මුස්ලිම් ඡන්ද එහෙම් පිටින්ම ගෝඨාභය මහත්තයාට ගන්න බෑ. ඒක ගන්න වෙන්නේ ශ්‍රී ලංකා එකට තියෙන ඡන්ද ලක්ෂ 15 ගැනීමෙන්. ඒකටයි එතුමා උත්සාහ කළ යුත්තේ.  


• ප්‍රශ්නය:- ඒ වෙනුවෙන් ඔබ මොකක්ද යෝජනා කරන්නේ?  


පිළිතුර:- ගෝඨාභය මහත්තයා නම් අපේක්ෂකයා, ඔහු දෙපැත්තෙ ඉන්න දෙන්නෙක් ඉවත් කළ යුතුයි. එහෙම නැතුව බෑ.  


• ප්‍රශ්නය:-කවුද ඒ දෙන්නා?  


පිළිතුර:- මෙහෙමයි, එතුමගේ දෙපැත්තේ ඉන්න ඕනෑ සුළු ජාතීන් විසින් සතුරන් විදියට නොදකින දෙදෙනෙක්. ගෝඨාභය මහත්තයාගේ දැන් දකුණු අත පැත්තේ හිටගෙන ඉන්නේ කමල් ගුණරත්න, වම් අත පැත්තේ ඉන්නේ සරත් වීරසේකර. ඒ දෙන්නව සුළු ජාතීන් පිළිගන්නේ නෑ විතරක් නොවෙයි හතුරො විදියටයි සුළු ජාතීන් ඔවුන් දෙන්නව දකින්නේ. මම මේ කියන්නේ ඒ දෙන්නව සුළු ජාතීන්ට පෙනෙන විදිය. එහෙම අය තියා ගැනීම ගෝඨාභය මහත්තයා ජනාධිපති ධුරය දිනා ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය නොදැන යන ගමනක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා මම හිතන්නේ මහින්ද මහත්තයා මේ ඔක්කොම කල්පනා කරලා බලලා වෙන්න ඕනෑ අපේක්ෂකයා නම් කිරීම තාම කරලා නැත්තේ. බත් පිඟානේ බත් තමයි පොහොට්ටුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යංජන. අපි දැන් බත් නොවෙයි ජනාධිපතිවරණයේ දී බත් නැතිව ව්‍යංජන විතරක් තියාගෙන දිනන්න බෑ. බත් සමග ව්‍යංජන කන්න ඕනෑ.  

 

එජාපයෙත් ජනපති අපේක්ෂකත්වය  ගැන ප්‍රශ්නය තොග ගණනේ තියෙනවා


• ප්‍රශ්නය:-නමුත් ජනාධිපති මෛත්‍රී අපේ අපේක්ෂකයා කියලා ශ්‍රී ලංකා එකේ සමහරු කියනවා?  


පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ පැතුම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වෙන්න පුළුවන්. හැබැයි මම නැවත කියන්නේ පොහොට්ටුවේ පැතුම ගෝඨාභය වුණාට ඒකට මහින්ද මහත්තයාගේ ආශිර්වාදය අවශ්‍ය වගේම ශ්‍රී ලංකා එකේ පැතුම මෛත්‍රී මහත්තයා වුණාට මදි ඒකට මහින්ද මහත්තයාගේ ආශිර්වාදය අවශ්‍යයි. පොහොට්ටුවේ අපේක්ෂකයාට අවශ්‍ය කරන්නේ ඡන්ද ලක්ෂ 15යි. ශ්‍රී ලංකා අපේක්ෂකයා තව ඡන්ද ලක්ෂ 50ක් හොයාගන්න ඕනෑ.  


• ප්‍රශ්නය:- ශ්‍රී ලංකා එකේ අයට මේක තේරෙන්නේ නැද්ද?  


පිළිතුර:- ශ්‍රී ලංකා එකේ ලේකම්ලා කේලම්ලා හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකා එකට ඡන්ද ලක්ෂ 150ක් තියෙනවා කියලයි. ඒ නිසා පොහොට්ටුවට තනියෙන් දිනන්නත් බෑ. ඒක මුලාවක්. පොහොට්ටුවට තනියෙන් දිනන්න පුළුවන් ප්‍රාදේශීය සභා, පළාත් සභා ඡන්ද වගේම මහ මැතිවරණයක් හැබැයි මෙතැනදී දිනලා විතරක් මදි. සියයට 50 පනින්න ඕනෑ. ඒ සියයට 50 පනින්න නම් ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකා එකේ ඡන්ද තමයි ගතයුතුව තිබෙන්නේ. මේක මටත් වඩා හොඳින් දන්නවා බැසිල් රාජපක්ෂ කියන දේශපාලන මීටරය. මම දන්න විදියට එතුමා මේ වෙනකොට පොහොට්ටුවේ ඡන්ද ද‌ායකයන්ට ග්‍රාමසේවක වසම් මට්ටමින් ශ්‍රී ලංකා එකත් එක්ක එකතුවෙලා ගත යුතු ඡන්ද ප්‍රමාණය ගණන් හදලා දීලා තියෙනවා. ඒවා සමහර විට පොහොට්ටුවේ ඉන්න දේශපාලනය තේරෙන උගත්කමක් තියෙන අය දන්නවා.  


• ප්‍රශ්නය:- එහෙම නැති අයත් ඉන්නවා?  


පිළිතුර:- ඔව්. පොහොට්ටුවෙත් ඉන්නවා බෞද්ධ කියලා සිංහලෙන් ලියාගන්න බැරි අය. ඒ අයට මේක තේරෙන්නේ නෑ.  


• ප්‍රශ්නය:-තමන්​ෙග් නිල කාලය පටන් ගන්නේ කවද ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න ජනාධිපති මෛත්‍රී සූද‌ානම් වෙනවා කියලා ආරංචියි?  


පිළිතුර:- ජනාධිපතිතුමා වරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කළා තමන්ගේ ධුර කාලය අවුරුදු පහ ද හය ද කියලා. අවුරුදු පහයි කියලා තීන්දුව ලැබුණා. එතකොට අවුරුදු පහ පටන් ගන්න දිනය කවද ද කියන විමසීම ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න ජනාධිපතිතුමාට අයිතිය තියෙනවා. ඒ අයිතිය වෙන කාටවත් නෑ. යම් විදියකින් එතුමා විමසීමක් කළොත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළොත් ජනාධිපති ධුරයට අද‌ාළ කාලය ගණන් හැදෙන්නේ 19 වැනි සංශෝධනය ක්‍රියාවට නැංවූ දිනයේ සිට කියලා. එහෙම නම් අනික් පැත්තට තර්කයක් ගොඩනැගෙනවා දෙපාරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච කෙනෙකුට නැවත වරක් බෑ කියන නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් එහෙම නම් ඒ දිනයේ සිටම ද කියලා. එහෙම වුණාම මහින්ද රාජපක්ෂ මහත්තයාටත් නැවත ඉල්ලන්න පුළුවන්. චන්ද්‍රිකාටත් පුළුවන්. ඒ තර්කය ගොඩනැගෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයෙ මතය විමසීම ජනාධිපතිවරයා සතු කාරණයක්. එහෙම විමසීමක් කරලා අර මම කියපු තීන්දුවම දුන්නොත් මහින්ද රාජපක්ෂට වගේම චන්ද්‍රිකාටත් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම වුණාම මොකද වෙන්නේ? දැනට තියෙන ප්‍රධාන ප්‍රශ්නය වෙච්ච ජනාධිපති අපේක්ෂකත්වය නිකම්ම විසඳෙනවා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාට කිසිම බාධාවක් නැතිව ඉදිරිපත් වෙන්න පුළුවන්.  


• ප්‍රශ්නය:-පළාත් සභා ඡන්දය ගැන ලොකු කලබලයක් පේන්න තියෙනවා. මේ පළාත් සභා ඡන්දය දැන් ගේන්න හදන්නේ ජනාධිපතිවරණය කල් ද‌ාගන්න බවටත් සැකයක් තියෙනවා?  


පිළිතුර:- මම කියන්නේ පළාත් සභා මැතිවරණය ඉස්සෙල්ලා තිබ්බත් ජනාධිපතිවරණය කල්ද‌ාන්න බෑ. ජනාධිපතිවරණය කල් ද‌‌ානවා නම් කල්ද‌ාන්න වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක වෙන දිනයේ සිට තමයි ජනාධිපතිවරණයේ නිල ආයු කාලය ආරම්භ වෙන්නේ කියලා කිව්වොත් විතරයි. එහෙම තීන්දුවක් දුන්නොත් මහින්ද මහත්තයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. පළාත් සභා මැතිවරණය ඉක්මනට තිබ්බට කමක් නෑ. හැබැයි ඒකෙන් හැඟෙන්නේ නෑ ජනාධිපතිවරණය කල්යනවා කියලා. ජනාධිපතිවරණය කල්ද‌ාන්න බෑ. පළාත් සභා මැතිවරණය ඉක්මන් කරන්න මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා දැන් කරන ප්‍රකාශ දිහා බැලුවම මම අහන්නේ මෙච්ච පරක්කු ඇයි කියලා. එතුමා දිගටම කිව්වනේ මට තියෙන එකම ප්‍රශ්නය පාර්ලිමේන්තුව සීමා නිර්ණ වාර්තාව එවන්නේ නැති නිසා කියලා. දැන් එතුමා කියනවනේ. ‘මට ඒක ඕනෑ නෑ, මට ඡන්දය තියන්න වෙන ක්‍රමයක් තියෙනවා.’ කියලා. ඇයි ඒක දැන් කියන්නේ. මීට කලින් කියන්න තිබුණනේ. අපි කියන්නේ තවත් ප්‍රමාද වෙන්න එපා. ඔබතුමාගේ ක්‍රමයෙන් ඡන්දය තියන්න.  

 

මෛත්‍රීපාල මහත්තයා ස්ථිර වශයෙන්ම යූඇන්පී විරෝධී පිලේ ජනාධිපතිවරණ වේදිකාවේ තමයි ඉන්නේ


• ප්‍රශ්නය:-ඔබට අනුව එජාප කඳවුරේ අපේක්ෂකයා කවුරු විය හැකිද?  


 පිළිතුර:- දැනටමත් අපට වඩා කචල් එහෙ. අපේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන්නේ සිල්ලරට. ඒත් යූඑන්පියේ තියෙන්නේ තොග ගණනින්. සජිත් ප්‍රේමද‌ාස අපේක්ෂකයා කළ යුතුයි කියලා එළිපිටම රනිල් වික්‍රමසිංහගේ කලිසම ඇතුළේ බැහැලා හිටපු මංගල සමරවීර කියනවා. ඒ වගේම රවි කරුණානායක මහත්තයලා සජිත් නොවෙයි කරු වෙන්නත් පුළුවන්. රනිල් වෙන්නත් පුළුවන්. ෆොන්සේකා ආවත් සජිත් නෙවෙයි කියන මට්ටමට ගිහින් තියෙනවා. ඒකට නවීන් දිසානායකලා ෆුල් සපෝට් බව පේනවා. ඒ අතරතුර චම්පික රණවක මහත්තයා උගත් බුද්ධිමත් තරුණ කෙනෙක් තමයි මේකට ද‌ාන්න ඕන කියලා කියනවා. චම්පික, අටවක, අමාවක වගේ නම් තව ගොඩක් තියෙනවා. කවුරුවත් කිව්වේ නැති වුණාට මම කියන්නම් චම්පික රණවක ගේන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් එක් හාල්පාරුවෙකුත් එහාට මෙහාට පණිවිඩ අරගෙන යනවා. ඒ එක්කම කවුරුවත් කිව්වේ නැති වුණත් රාජිත සේනාරත්න මහත්තයාගේ නම එයාම කියාගන්නවා. තාම එයාගේ පුතාවත් එහෙම කියන්න පටන් අරගෙන නෑ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ජනාධිපති අපේක්ෂත්වය පිළිබඳ තියෙන ප්‍රශ්නය තොග වශයෙන් තියෙනවා.  


• ප්‍රශ්නය:-සජිත් ප්‍රේමද‌ාස අපේක්ෂකයා වුණොත් ජනාධිපති මෛත්‍රීත් ඔහුට උදව් කරයි කියලා?  


පිළිතුර:- දැන් ඔය ජනාධිපතිතුමා හා සජිත් මහත්තයා අතර තියෙන සම්බන්ධය සමහරු දකින්නේ කසාදය දක්වා යන ප්‍රේම සම්බන්ධයක් හැටියටයි. සජිත් මහත්තයා ගැන ජනාධිපතිතුමා විෂය බද්ධව කරන සමහර ප්‍රකාශවලින් ඒ බව හැඟෙනවා. නමුත් ඒක කසාදය දක්වා යන දේශපාලන ප්‍රේම සම්බන්ධයක් නොවෙයි. මෛත්‍රී - මහින්දගේ දේශපාලන ප්‍රේම සම්බන්ධය කසාදය දක්වා ගිහින් ඉවරයි. ඒක ජනතාවගේ ප්‍රා්ර්ථනාවයි. මෛත්‍රීපාල සිරිසේන කියන ​ෙද්ශපාලන චරිතය අහම්බයක් ලෙස 2015 දී තාවකාලිකව ශ්‍රීලනිපයෙන් විතැන් ​ෙවලා යූඑන්පිය සමඟ ඒකාබද්ධ වුණාට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා​ෙග් දේශපාලනය තියෙන්නේ මාඕ සේතුං, ලෙනින්, මහත්මා ගාන්ධි කියන චරිතවල සංකලනයක් හැටියටයි. ඒක වමේ ​ෙද්ශපාලනයක්. ඒ නිසා වමට සිග්නල් ද‌ාලා 2015 දකුණට හරවපු එක හරි. ඒ කළේ දේශපාලන වැරැද්දක් කියලා එතුමා දන්නවා. ඒ නිසා තමයි ඔක්තෝබර් 26 වැනිද‌‌ා යළිත් මහින්ද මහත්තයාව අගමැති කරන්නේ. ස්ථිර වශයෙන්ම එතුමා යූඑන්පී විරෝ්ධී පිලේ ජනාධිපතිවරණ වේදිකාවේ තමයි ඉන්නේ. ඒකේ වෙනසක් නැහැ. 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්