​මේ කණ්ඩායම් සියල්ල ශ්‍රීලනිප මහ ගෙදරට ඉතා ඉක්මනින් එකතු වෙනවා


එජනිස මන්ත්‍රී හිටපු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන සමඟ කළ සාකච්ඡාවකි මේ.

 

• ඇමැති දැන් නිකංම මන්ත්‍රී වුණා. මොකද කරන්නේ?   


ඒත් දේශපාලනය තමයි. එයින් එහා දෙයක් අපිට නැනේ ඉතිං.


• ඇමැතිකමත් නෑ. මොකද වෙන්නේ ඉස්සරහට?   


අපි දැන් පාර්ලිමේන්තුවෙ විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට කටයුතු කරනවා. ඊළඟ පාර්ලිමේන්තු වාරෙදි විපක්ෂයේ මන්ත්‍රී ආසනවල තමයි වාඩිවෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතන ඉඳලා අපේ දේශපාලන කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගෙන ආරම්භ කරනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පුළුල් සංවිධාන ජාලයක් යටතේ පක්ෂය ශක්තිමත් කරන්න කටයුතු කරනවා. ඊළඟ මැතිවරණවලට මුහුණ දීලා තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්නේ කොහොමද කියලා දැන් අපි හිතන්න ඕනෑ.   


• ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට මාර අපලයක් තමයි පලදීලා තියෙන්නේ නේද?   


මෙතන තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අපලයක් නෙවෙයි. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ප්‍රතිඵලය ආණ්ඩුවට එරෙහිව ලැබුණු එකක්. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව තමයි මේ විරෝධය ආවේ. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ කටයුතු කිරීම නිසා ශ්‍රීලනිපයටත් ඒ වැරැදිවල කොටස්කාරයෙක් වෙන්න සිද්ධ වුණා. ඒකෙන් අපිට දීපු සංඥ‌ාව තමයි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියන එක. මොකද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියි අතර දැඩි වෙනස්කම් තියෙනවා. ඒවට එකට ගමන් කරන්න බැරි වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ආවා. එතනදි ජනතාව විශාල පීඩාවකට පත්වුණා. දැන්වත් අපි ඒක තේරුම් අරන් වෙන් වෙන්න ඕනෑ. 

 
• දෙකට කැඩුණු ශ්‍රීලනිපය දැන් තුනට හතරට වෙන්වෙලා.   


ඉතාම නුදු​ෙර්දී ඔබට බලාගන්න පුළුවන් සිද්ධවෙන දේ. අපි සියලු දෙනාම එකට එකතු වීම ඉතාම ඉක්මනට සිදු වේවි. අපි දැනටමත් ඒකට අවශ්‍ය කටයුතු කරමින් ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි මෙතන කේන්ද්‍රය. ඒ වටා සියලු කොටස් එකතු වෙන්න ඕනෑ.   


• දැන් නම් සමහර කට්ටිය ඔය කේන්ද්‍රයෙන් ගැලවිලා වීසිවෙලා?   


කාලෙන් කාලෙට පොඩි පොඩි ප්‍රශ්න නිසා සමහරු වෙන වෙන නවාතැන්පොළවල් හොයාගෙන යනවා. ඒත් ටික දවසකින් සුපුරුදු මහගෙදරට එනවා. මේකත් ඒ වගේ දෙයක්. මේ කණ්ඩායම් සියල්ල ශ්‍රීලනිප මහගෙදරට ඉතා ඉක්මනින් එකතු වෙනවා. අපි මධ්‍යම කාරක සභාවෙදිත් කිව්වෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුමයි කියලා. ඒකෙ තේරුම දෙතුන් දෙනෙක් ගිහිල්ලා ඇමැතිකම් අරගෙන යූඑන්පීයත් එක්ක ඉන්න එක නෙවෙයි. එතන ශ්‍රී ලංකා එකක් නෑ. ශ්‍රී ලංකා එකේ ගුණාත්මක පිරිස කොතනද ඉන්නේ කියලා කාටත් බලාගන්න පුළුවන්. කවුරු හරි හිතනවා නම් අපිත් එක්ක එකතු නොවී යූඑන්පී එකත් එක්ක ගිහින් ඇමැතිකම් අරගෙන දිගටම ඉන්න ඒ අයගෙ අනාගතය තියෙන්නේ යූඑන්පී එකේම තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඒගොල්ලන්ට අනාගතයක් නෑ.   


• සන්ධානයේ මහ ලේකම් වගේම ශ්‍රීලනිපයේ මහලේකම් තාම ආණ්ඩුවේ ඇමැතිවරු. එ් වගේම ශ්‍රීලනිප ප්‍රබලයෝ ඔවුන් එක්ක ඉන්නවා.   


ඉතාම ඉක්මනට මේ සියලු දෙනත් එතනින් ගැලවිලා එළියට එනවා. මේ ගතවෙන්නේ තීරණාත්මක දේශපාලන දින කීපයක්. ඒ අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් රකින්න ඕනෑ වහාම අපිත් එක්කයි ඔවුන් එකතු විය යුත්තේ. හැබැයි කෙනෙකුට පක්ෂයට වඩා ඇමැතිකමත් ලොකු වුණොත් කරන්න දෙයක් නෑ.   


• ඒ මහ ලේකම්වරු දෙන්නම කියන්​ෙන් 2020 වෙනතුරු ආණ්ඩුව එක්ක ඉන්නවා වගේ කතාවක්?   


පුද්ගලයෙක් දෙන්නෙක් මත නෙවෙයි පක්ෂයක ඉරණම තීන්දු වෙන්​ෙන්. පාක්ෂිකයින්ට විරුද්ධව වැඩ කරනවා නම් මොන තරා තිර​ෙම් චරිතයක් වුණත් ප්‍රතික්ෂේප වෙනවා. 

 
• ඒ කියන්නේ ඒ දෙන්නගෙ තනතුරු ගැලවෙයි කියලද?   


පාක්ෂිකයො අතරේ නැත්නම් ගැලවෙන්න සිද්ධ වෙනවා. ඒ තනතුරු ක්‍රියාත්මක වෙන්නේ පාක්ෂිකයින්ගේ ආශිර්වාදයත් එක්ක.   


• ඇයි දුමින්ද දිසානායක හෝ මහින්ද අමරවීර ඔබලත් එක්ක එකඟ නැත්තේ?   


මහින්ද අමරවීර ප්‍රශ්නයක් නෑ. එයා සුබවාදී අදහසක ඉන්නවා.   


• ඒ කියන්නේ දුමින්ද තමයි අවුල?   


දුමින්ද දිසානායක ගැන අපිට කියන්න පුළුවන් කමක් නෑ. එයාගෙ අදහස හරියට පැහැදිලි නෑ. ඒත් අමරවීර එතන නෑ. ඔහු ශ්‍රීලනිපය වෙනුවෙන් සාධාරණ තීන්දුවක් ගනීවි.   


• මේ ඔක්කෝටම මුල ශ්‍රීලනිප පක්ෂ සභාපතිගෙ කොන්ද කෙලින් නැති එක කියලා සමහරු කියනවා.   


නෑ. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වසර 13ක් ශ්‍රීලනිප මහලේකම්. වසර 40ක් ශ්‍රීලනිප සාමාජිකයෙක්. එතුමා මේ පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීම් කරපු කෙනෙක්. පහුගිය ජනාධිපතිවරණයේදී එතුමා පොදු අපේක්ෂකයා විදියට තරග කරද්දී සහාය දීපු අයට යුතුකම් ඉටු කිරීමේ වගකීමක් තිබුණා. දැන් ඒ යුතුකමේ කාලසීමාව පැනලා තියෙන්නේ. ඒක නිසා එතුමා ඉදිරි කාලය එතුමාගේ සම්පූර්ණ ශක්තිය ශ්‍රීලනිපය ශක්තිමත් කරන්න යොද‌ාවි. ඒ ගැන සැකයක් නෑ.   


• නිර්පාක්ෂිකව ඉන්නවා කියල පොරොන්දු වෙලා ජනාධිපති වුණු ගමන් ඒ පොරොන්දුවලට පයින් ගහලා පක්ෂය බද‌ාගත්තු පුද්ගලයෙක් ඔහු. කියන දේ නොකරන කෙනෙක් කොහොමද විශ්වාස කරන්නේ?   


එතුමා නෙවෙයි පක්ෂය කරට ගත්තේ. අපි තමයි පක්ෂය එතුමගෙ කරේ තිබ්බේ. එතුමට සිද්ධ වුණා පක්ෂය ගැන වගකීම කරට අරගන්න. එතුමගෙ ඇඟේ දුවන්​ෙන් ශ්‍රී ලංකා ලේ. ඒකෙන් ගැලවෙන්න එතුමට බෑ. විටින් විට දේශපාලන අදහස් වෙනස් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.   


• රට බාර දුන්නම පක්ෂය ලොකු කරගත්තු ඔහු යටතේ පක්ෂයත් නන්නත්තාර වෙලානේ දැන්?   


නෑ. ඒක එතුමගේ දුර්වලතාවයක් නිසා වෙච්ච දෙයක් නෙවෙයි. එතුමා ජනාධිපති වුණාට පස්සේ තිබුණු මහ මැතිවරණයේදී කිසිම පක්ෂයකට බහුතර බලයක් ලැබුණෙ නෑ. ඒ නිසා එතුමා මේ පක්ෂ දෙකම එකතු කරලා තවත් පක්ෂත් එක්ක ජාතික ආණ්ඩුවක් හැදුවා. එතුමගෙ අරමුණ හොඳ එකක්. ඒත් එක්සත් ජාතික පක්ෂයේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා ආණ්ඩුවට ලොකු විරෝධයක් ආවා. එතන ඉඳලා වර්ධනය වුණු අර්බුදකාරී තත්ත්වයක තීරණාත්මක මොහොතක් මේ ගෙවෙන්නේ.   


• පොහොට්ටුවෙ කට්ටිය ඔබලත් එක්ක එකතු වෙයිද?   


පොහොට්ටුව කියල පක්ෂයක් නෑ. ඒත් අපේ සහෝදර පිරිසක්. පළාත් පාලන මැතිවරණයට වෙනම තරග කළාට ඒ අයත් පාර්ලිමේන්තුවෙ ඉන්​ෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානේ විදියට. ඒ අය වෙන් වුණේ අපි පිරිසක් ආණ්ඩුවට එකතු වුණ නිසා. ඒ අයට වෙන කරන්න දෙයක් නෑනේ. අපිත් ගියේ පක්ෂ සභාපතිට සහයෝගයක් විදියට ටික දවසකට ඇමැතිකම් අරගෙන ඉන්නයි. ඒත් ගොඩක් දුර අපිටත් යන්න බැරි වුණා. 

 
• මහින්ද රාජපක්ෂ ඔය විදියට ඔබලත් එක්ක හවුල් වෙන්න කැමැතියි කිව්වද?   


එතුමා ශ්‍රී ලංකා එකේ අනුශාසකවරයෙක්. එතුමාටත් තියෙන්​ෙන් ශ්‍රී ලංකා එකේ ලේ. එතුමට ශ්‍රීලනිප බැම්මෙන් මිදෙන්න බෑ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බණිනවා ඔබ කවදාවත් දැකලා තියෙනවද?   


• ඉදිරියේදී ශ්‍රිලනිප නායකත්වයට පොරයක් එන්න බැරි නෑ නේද?   


දැනට නායකයෙක් ඉන්නවනේ. මහින්ද රාජපක්ෂ නායකයා වෙලා හිටියා. ඔහුගෙන් නායකත්වය මෛත්‍රීපාල මැතිතුමා අතට ගියා. හෙට තව කවුරු හරි නායකයා වෙයිද කියලා අනාවැකි කියන්න අපිට බෑ. හැබැයි අපි පක්ෂයත් නායකයත් එක්ක වැඩ කරනවා.   


• මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ මහින්ද රාජපක්ෂ නැවත ශ්‍රීලනිපයේ ක්‍රියාකාරීව දේශපාලනය කරයිද?   


මේ දේශපාලනයේදී දෙකයි දෙකයි හතරයි කියනව වගේ ගණන් හදලා උත්තර දෙන්න අමාරුයි. එළඹෙන තත්ත්වයන් උඩ තමයි ඒ තීන්දු තීරණ වෙනස් වෙන්නේ. අපිට හිතාගන්නවත් බැරි පෙරළි තමයි දේශපාලනයේදී සිද්ධ වෙන්නෙ.   


• ඩිලාන් පෙරේරලා හදිසියේම ලන්ඩන් දිව්වෙ ජනාධිපති හම්බ වෙන්නමද?   


ඔව්. ඔවුන් ජනාධිපති හමුවෙලා යම් යම් තීන්දු තීරණ අරගෙන ආවේ.   


• පුදුම හදිස්සියක්නෙ ඒවාට තිබුණෙ. ජනාධිපතිවරයා එනකම්වත් ඉන්න බැරි තරම් තදියමක්?   


දේශපාලනයේදී තත්ත්පරෙත් තීරණාත්මකයි. පමා වීම පසුතැවිල්ලට හේතු වෙන්න පුළුවන්. අපි තමයි ඩිලාන්ලට කිව්​ෙව් ගිහින් ජනාධිපති හම්බවෙලා සාකච්ඡා කරන්න කියලා. මට ඔබට මේ වෙලාවෙ කියන්න බැරි කාරණා තියෙනවා ඩිලාන්ලා සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡා කෙරුණු.   


• ඒ කපුකම්වල ප්‍රතිඵල තියෙනවද?   


ඔව්. අපි අපේ මධ්‍යම කාරක සභාව රැස්වුණා. ඒකෙදි තීන්දු කළා ඉදිරි දින කීපය ඇතුළෙ මේ පිළිබඳ අවසාන තීරණවලට එළඹෙනවා කියලා.   


• මැයි 8 වෙනිදා පාර්ලිමේන්තුවේදී ඔබලාගේ විපක්ෂෙ වාඩි වීම කොයි විදියටද සිද්ධ වෙන්නේ?   


රාජාසන කතාවක් පවත්වන වෙලාවට අපිට බෑ ජනාධිපතිතුමා අපහසුතාවට පත් කරන්න. ඒ නිසා අපි කලින් හිතාගෙන ඉඳපු ආකාරයට වඩා වෙනස් දෙයක් තමයි කරන්න වෙන්නේ. අපි හිටියේ විශේෂ ප්‍රකාශයක් කරලා විපක්ෂයට ගිහින් වාඩිවෙන්න. ඒත් අපි එදාට ජනාධිපතිතුමා අපහසුතාවයට පත් නොකර වෙනත් විදියකින් විපක්ෂයේ වාඩි වෙනවා.   


• ඒ කියන්නේ ඉදිරි කාලයේ ආණ්ඩු කරන්න යූඑන්පී එකට බන්දේසියේ තියල දීමක්ද මේ.   


බන්දේසියේ තියල දීමක් නෙවෙයි අනාගත්තු එක තවත් අනාගන්න ඉඩකඩ දීමක්.   


• මේ තියෙන දේශපාලන ඉඟි අනුව ශ්‍රීලනිපයේ ප්‍රබලයෝ කීප දෙනෙක් ඔබලට නැති වෙන්නත් පුළුවන්?   


ඒ අයගෙ දේශපාලන ඉරණම ඒ අය තීන්දු කරන්න ඕනැ. හැබැයි එහෙම වුණොත් ඒ අයට ශ්‍රීලනිපයේ සුබ අනාගතයක් නම් නෑ ආපහු.   


• ඒ අය ඇමැතිකම් අතඅරින්නෙත් නැතුව ශ්‍රීලනිපය අතඅරින්නෙත් නැතුව ඉන්න හැදුවොත්?   


එහෙම ඉන්න කැමැති කෙනෙක් එහෙම ඉඳපුවාවේ. හැබැයි ඒක අතුරේ යනවා වගේ වැඩක්. කොයි වෙලාවෙ බිම වැටෙයිද දන්නේ නෑ.

 

 

 

 

 

 

සටහන
ප්‍රියන්ත කොඩිප්පිලි