​කොවිඩ් රැලි තුනේම වගකීම රජය භාර ගත යුතුයි


සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා   

රටේ තත්ත්වය ගැනත් උණුසුම් දේශපාලන කාරණා ගැනත් විමසමින් සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සමග කළ සාකච්ඡාවකි.

   
ප්‍රශ්නය - රටේ අලුත්ම තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?  


පිළිතුර - ඇත්තටම රට ඉතාම දරුණු තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. අද වෙන කොට තුන්වැනි රැල්ල පාලනය කරන්න බැරි විදියට ව්‍යාප්ත ​වෙමින් තිබෙන බවක් තමයි පේන්නේ. මරණ සංඛ්‍යාව හත්සියයත් පැනලා. දිනකට ආසාදිතයන් දෙදාහක් විතර හමුවෙනවා. මේ තත්ත්වය තවත් වැඩිවෙන බවට තමයි සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවන්නේ. රජය මේ තත්ත්වය නොදැන කටයුතු කරනවාද කියන සැකයක් තියෙනවා.   


ප්‍රශ්නය - ඇයි රජයට විතරක් ඇඟිල්ල දිගු කරන්නේ. ජනතාවටත් වගකීමක් තියෙනවා නේද මෙතැනදී.  


පිළිතුර - පැහැදිලිවම ජනතාවටත් වගකීමක් තියෙනවා. නමුත් බලන්න පළමු රැල්ල ආවේ කොහොමද? ඒකට බලපෑවේ ඡන්දය තියන්න ආණ්ඩුවට තිබුණු හදිසිය. දෙවැනි රැල්ල ගත්තාම ගම්පහ දිස්ත්‍රික්කයේ මම පෞද්ගලිකවත් පාර්ලිමේන්තුවේදී කීප වතාවක් ප්‍රකාශ කළා. ගම්පහ දිස්ත්‍රික්කය ලොක් ඩවුන් කරන්න කියලා. ඒ තීන්දුව ගත්තා නම් මුළු රටටම ඒක ව්‍යාප්ත වෙන්නේ නැහැ. තුන්වැනි රැල්ල බැලුවොතින් ඇත්තටම පී.සීආර්. පරීක්ෂණ ජනවාරි මාසයේ ඉඳන් ඉතා අඩු මට්ටමකින් සිදු කළේ. ඒ නිසා කොවිඩ් අනතුර අඩුයි කියලා හැඟීමක් ජනතාවට ආවා. නමුත් ඇත්තටම වුණේ කොවිඩ් අඩුවෙලා නොවෙයි. පීසීආර්. පරීක්ෂණ අඩුවීමකුයි වුණේ. ඉතින් සුපුරුදු කාල සීමාවේදී මේ ව්‍යාප්තිය වැඩි වුණා. අවශ්‍ය තීන්දු තීරණ නියමිත වේලාවට ගන්නේ නෑ. අප්‍රේල් 8 වැනිදා වෙනකොට මේ නව ප්‍ර​බේධ ගැනත් ව්‍යාප්තිය ගැනත් රජය දැනුවත් වුණා. අප්‍රේල් 9 වැනිදා නිසි තීන්දුව ගත්තා නම් මේ තත්ත්වය උදාවෙන්නේ නැහැ. මේ රැලි තුනටම ප්‍රධාන වශයෙන් වගකීම ගන්න ඕන රජයයි.  


ප්‍රශ්නය -  සමගි ජන බලවේගය හැටියට ඔබලා මොනවද ආණ්ඩුවට ​යෝජනා කරන්නේ.   


පිළිතුර - පළමු රැල්ලේදී කරන්න තිබ්බේ පාර්ලිමේන්තු මැතිවරණය කල්දාන්න කියලා සමගි ජන බලවේගය හැටියට අපි පැහැදිලිවම කිව්වා. මැතිවරණයක් මේ මොහොතෙ අවශ්‍ය නෑ. පාර්ලිමේන්තුවේදී අවශ්‍ය සහයෝගය අපි දෙන්නම් කියලා දෙවැනි රැල්ලෙදී අපි දිගින් දිගටම කිව්වා ගම්පහ දිස්ත්‍රික්කය විතරක් ලොක් ඩවුන් කරන්න කියලා. ඒක ඇහුවෙත් නෑ. තුන්වැනි රැල්ල ඇතිවෙන්න කලින් අපි කිව්වා පීසීආර් පරීක්ෂණ අඩු කරන්නේ නැතිව දිගටම කරගෙන යන්න කියලා. ඒක කළෙත් නෑ. අපි වගකිවයුතු විපක්ෂයක් හැටියට අදහස් ප්‍රකාශ කළාට ආණ්ඩුව හිතුවක්කාර විදියට හා උද්ධච්ච විදියට කටයුතු කරන බවක් තමයි අපි දකින්නේ. අපි කියන දේ නොවෙයි සෞඛ්‍ය විශේෂඥයන් කියන දේවල් අහන්නේ නැති තත්ත්වයක් නේ අපි දකින්නේ.  


ප්‍රශ්නය - ආණ්ඩුව රට වැහුවොත් ‘‘කොරෝනා ආවම රට වහන්න නම් ආණ්ඩුවක් මොකටද’’ කියලා විපක්ෂය අහයි.   


පිළිතුර - නෑ ඉතින් ජීවිතද එහෙම නැත්නම් තමන්ගේ ලොකුකම කියවිල්ලද ලොකු කියන එක අපි තේරුම් ගන්න ඕනෑ. මේ වෙන කොට අපට පැහැදිලියි කොරෝනා මරණවල සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා. මීට වඩා ලොකු රටවල් මිනිස් ජීවිත ගැන හිතලා ලොක්ඩවුන්වලට ගිහින් තියෙනවා. එහෙම නැතිව මේක මේ අ​පේ රටට පමණක් සීමා වෙච්ච දෙයක් නොවේ. අවශ්‍ය තීන්දු තීරණ නියමිත වෙලාවට ගන්න අවශ්‍යයි. රට සදාකාලිකවම ලොක් ඩවුන් කරන්න කියලා අපි කියනවා නොවෙයිනේ. සති දෙකකටවත් ලොක්ඩවුන් කළා නම් පැතිරීම වළක්වා ගන්න පුළුවන්. පැතිරෙන වේගය ඉතා වැඩියි. මේක මේ සමගි ජන බලවේගය කියන කාරණාවක් නොවෙයි. සෞඛ්‍ය විශේෂඥයන්නේ මේ ඉල්ලීම් කරන්නේ.

  
ප්‍රශ්නය - රට ලොක් ඩවුන් කළාම විපක්ෂයට හොඳ සටන් පාඨ ලැබෙනවා කියලයි ඇමති රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කිව්වේ.   


පිළිතුර - ඇත්තටම අපි මේ වෙලාවේ විපක්ෂයක් හැටියට සමාජයට කළ හැකි දේවල් අපි කරනවා. ඒ අපට පුළුවන් මට්ටමින්. අපේ ආසනවල නිරෝධායනය කරපු පවුල්වලට අපිට ලබාදෙන්න පුළුවන් පරිත්‍යාග අපි පෞද්ගලිකව කරනවා. මේ වෙලාවේ අපි පැහැදිලිවම කියන්න ඕනෑ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා පෞද්ගලිකව වගේම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමිනුත් තානාපතිවරුන් එක්ක කතා කරගෙන රටට ලබා දෙන්න පුළුවන් සහයෝගය එතුමා ලබා දෙනවා. අපට මේ වෙලාවේදී කොවිඩ් දේශපාලනීකරණය කර ගන්න අවශ්‍ය නෑ අපටත් දරුවෝ ඉන්නවා. වැඩිහිටියන් ඉන්නවා. ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා. නෑ මේ වසංගතයට ගොදුරු වෙන්න පුළුවන්. කාටත් අමාරු වෙන්න පුළුවන් කාට මරණය අත්වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා අපි මෙතැන දේශපාලනයක් කරන්න අවශ්‍ය නෑ. අපිටත් ඕනෑ මේක පුළුවන්තරම් ඉක්මනට මේ රටින් තුරන් කරගන්නයි.   


ප්‍රශ්නය -  ඔබ කිව්වා විපක්ෂ නායක සජිත් තානාපතිවරුන් හමුවුණා කියලා. ජිනීවා වලදී අපේ රටට එදිරිව ඡන්දය දුන් රටවල තානාපතිවරුන් හමුවෙන්න ඔහු හදිසි වුණේ ඇයි.  


පිළිතුර - විපක්ෂ නායකවරයා හැටියට බටහිර රටවල තානාපතිවරුන් පමණක් නොවෙයි. පසුගිය දිනවල අපේ .. නායකතුමා ජපානයේ තානාපතිතුමන් හමුවුණා. ඒවගේම රුසියාවේ තානාපතිතුමන් හමුවුණා. ඉතින් මේ ආකාරයට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යනවා. ඒක මේ බටහිරද නැගෙනහිරද කියලා නෑ.   


ප්‍රශ්නය - ඒ තානාපතිවරු හමුවීම හරහා රටට ලැබුණු දෙයක් තියෙනවද?   


පිළිතුර - අප ඉල්ලීම් කරලා තියෙනවා. මේ වෙලාවේ අවශ්‍ය සහයෝගය දෙන්න කියලා. මේවා මේ රජය කළ යුතු දේවල්. නමුත් අපි මේ වෙලාවේ රටේ ඇතිවෙලා තියෙන භයානක තත්ත්වයත් එක්ක ආණ්ඩු පක්ෂයද විපක්ෂයද කියලා නෑ අපේ යුතුකමක් තියෙනවා. ඒ යුතුකම වෙනුවෙන් තමයි අපි ඒ ඉල්ලීම් කරන්නේ.

   
ප්‍රශ්නය -  මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ තත්ත්වය කොහොමද? 

 
පිළිතුර - හරීන් ප්‍රනාන්දු මගේ මිත්‍රයාව අත්අඩංගුවට ගැනීමේ ලොකු උත්සාහයක ආණ්ඩුව ඉන්නවා. සමහරු කිව්වා හරින් බයට හැංගිලා කියලා. ඇත්තටම එතුමාට හෘද රෝගයක් තිබුණා. ඒ සැත්කම සිදු කරලා. මම සතුටුයි කියන්න එතුමා ඒ සැත්කම සාර්ථකව සිදු කරලා දැන් විවේක සුවයෙන් ඉන්නවා.   


ප්‍රශ්නය - විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා ආණ්ඩුවට මඩ ගහනවා කියලා ආණ්ඩුව කියනවා.  


පිළිතුර- මේ රටේ ජනතාව අපිව පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ ඒ ජනමතය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන්න. එහෙම නැතිව තැනින් තැන කියන්න නොවෙයි. අපේ පරම යුතුකම තමයි පාර්ලිමේන්තුවේදී ඒ ජන හඬ අවදි කිරීම. අපව පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ ඒකට. අපි පාර්ලිමේන්තුවේදී බොරු කියන්නේ නෑ මඩ ගහන්නේ නෑ.  


ප්‍රශ්නය -  ඔබලා කියනව පාස්කු ප්‍රහාරයෙ මහ මොළකරුවන් අල්ලන්න කියලා. ඒ කියන්නේ මහ මොළකරුවන් කවුද කියලා ඔබලා දන්නවා?   


පිළිතුර - නෑ අපි කියන්නේ අපිට එලිවෙච්ච කාරණාත් එක්ක. පුද්ගලයා කවුද කියලා අපිට කියන්න බෑ. නමුත් අපට පැහැදිලිවම තේරෙනවා මේක ක්‍රියාත්මක කරන්න නායකත්වය දුන්න බලවේගයන් පුද්ගලයන් හෝ කීප දෙනෙක් ඉන්නව කියලා. ඒ කවුද කියන එක සෙවීමේ වගකීම් තියෙන්නේ විපක්ෂයෙ අපට නොවෙයි. ඒක ආණ්ඩුවේ වගකීම. ඔය පාස්කු ප්‍රහාරය ගැන කියලා තමයි මැතිවරණයේදී දේශපාලන වාසියක් ලබා ගත්තේ. ඒ වේදිකාවල කියපු දේවල් වේදිකාවලට සීමා නොකර රට වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුතුයි. ස්කොට්ලන්යාඩ් එක වගේ ආයතනයකින් මේ පරීක්ෂණවලට සහයෝගය ගන්නවා නම් ඒත් කමක් නෑ. එහෙම අරගෙන මේක පිටිපස්සේ කවුද සිටියේ කියලා හොයන්න ඕනැ. අපි හැමෝටම සාධාරණ සැකයක් තියෙනවා මේක පිටිපස්සේ හිටපු අය ආණ්ඩුව ඇතුලේ ඉන්නවද? කියලා. මොකද ඇත්ත කතා කරනවා නම් මුස්ලිම් විරෝධී රංගනයක් කරන්නෙ මේ අය. ඔබට මතක ඇති කුරුණෑගල සාෆි වෛද්‍යවරයා ගැන කියපු කතා. වඳ සැත්කම් කළා කිව්වා. වඳ පෙති දුන්නා කියලා කෝ ඒ කෑගහපු අය. කෝ අර නාමල් කුමාර. මේ සිදුවීම් එක්ක ජනතාවට සාධාරණ සැකයක් තියෙනවා පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ආණ්ඩුවෙ කවුරුහරි ඉන්නවද කියලා.   


ප්‍රශ්නය -  රිෂාද් බදුර්දීන් අත්අඩංගුවට ගන්නේ දිර්ඝ විමර්ශනයකින් පස්සේ කියලා පොලිසිය කිව්වා. ඒත් සජබය රිෂාද් වෙනුවෙන් පෙනී ඉන්නවා.   


පිළිතුර - පැහැදිලිවම අපි පෙනී ඉන්නවා. ජනාධිපති කොමිෂමේදී එතුමාට අල්ලස් චෝදනාවක් කරලා තියෙන්නේ. එහෙම නැතිව ත්‍රස්තවාදී චෝදනා නැහැ. අවුරුදු එක හමාරක් වෙලා තියනවා. දැන්ද අත්අඩංගුවට ගන්නේ. දීර්ඝ විමර්ශනයක් කරලා නම් එතුමාව අත්අඩංගුවට අරගත්තේ ඒ හේතු ඇයි අධිකරණයට කියන්නේ නැත්තේ. එහෙම හේතු නොකියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවත් දින 90 ක් විමර්ශනයට ඕනෑ කියනවා. මෙතනදී පැහැදිලියි. මේ කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම. වැරැදි කරලා තියෙනවා නම් එල්ලුම්ගස් යවන්න. බොරුවට මෙහෙම කරන්න එපා කියලයි අපි කියන්නේ.  


ප්‍රශ්නය -  බන්ධනාගාරගතව ඉන්න රංජන් රාමනායකට ජනාධිපති සමාව ඉල්ලලා සජබය ලිපියක් අත්සන් කළා. ඒ ලිපියට ඔබත් අත්සන් කළාද?   


පිළිතුර - ඔව්. පැහැදිලිවම මම විශ්වාස කරනවා එතුමාට ලබා දුන්න තීන්දුව බරපතළ වැඩියි කියලා. ඉතින් අපි හිතනවා එතුමාට සාධාරණය ඉටුවිය යුතුයි කියලා. ඒ වෙනුවෙන් ඉල්ලීමක් කරලා අපි ලියුමකට අත්සන් කරලා අපේ නායකතුමාට බාර දුන්නා.   

 

 

සාකච්ඡා කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්