​අපේ රට තාම සාස්තර අහන රටක්


වරාය හා නාවික ඇමැති රෝහිත ​අබේගුණවර්ධන

රටේ මොකද වෙන්නේ. වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා සමග මේ කතා බහ ඒ සම්බන්ධවය.


ප්‍රශ්නය:- රටේ තත්ත්වය දරුණුයි. කොවිඩ් රට පුරාම. ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා තත්ත්වය පාලනය කරන්න.


පිළිතුර:- සාමාන්‍යයෙන් රටේ ජනතාව නම් කියන්නේ ආණ්ඩුව අසමත් නෑ කියලයි. හැබැයි පරාජිත - පාරාජික විපක්ෂය නම් එහෙම කියනවා. ආණ්ඩුව අසමත් නෑ. ආණ්ඩුව සමත්. අපි ආණ්ඩුව පාස් කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නොවැම්බර් මාසයේ දී රට බාර ගන්නවා. ඊට පස්සෙ කොවිඩ් එකට මුහුණ දෙනවා. අගෝස්තු මාසය වෙනකොට තුනෙන් දෙකක බලයක් ගන්නවා. ඉතින් ෆේල් නම් එහෙම බලයක් ගන්න බෑ.


ප්‍රශ්නය:- මැතිවරණය ළඟ තිබුණ නිසා ආණ්ඩුව සෑහෙන්න මහන්සි වෙලා පළමු වටයේ දී කොවිඩ් පාලනය කළා. නමුත් දැන් ඡන්දයක් ළඟපාතක නැති නිසා ආණ්ඩුව වැඩේ අතහැරලා!


පිළිතුර:- ඉතාම පැහැදිලිව කිව්වොත් මේක ජාතික වසංගතයක් නොවෙයි. ජාත්‍යන්තර වසංගතයක්. එතකොට අනික් රටවල් දිහාත් බලලා තමයි අපට චෝදනා කළ යුත්තේ. ලෝකයෙ අපට වඩා බලවත් රටවල් ඉන්න තත්ත්වයත් අපේ රටේ තත්ත්වයත් සංසන්ධනය කරන්න. විපක්ෂයට ඕනෑ වෙලා තියෙනවා මුළු රටම ලොක් ඩවුන් කරගන්න. මුළු රටම වැහුවම අතුරු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මතු වෙනවා. එතකොට තමයි විපක්ෂයට වේදිකාවක් හැදෙන්නේ. හැබැයි අපි කරන්න යන්නේ බොහොම අමාරුවෙන් මේ කොවිඩ් වසංගතය පාලනය කරගන්න ගමන් රට ඉදිරියට ගෙනයාමයි.


ප්‍රශ්නය:- ලෝකයෙ වෙනත් රටවල් කොවිඩ් එන්නතකට සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් මුදල් වෙන් කරනවා. ගබඩා පහසුකම් ඇති කරනවා. නමුත් ලංකාවේ එහෙම කිසිම සූදානමක් නෑ.


පිළිතුර:- මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළත් දීර්ඝව සාකච්ඡා කෙරෙනවා. අපි කොහොමද මේකට සූදානම් වෙන්නේ කියලා අපි කතා කරනවා. උදාහරණයක් විදියට ඒ එන්නත ලංකාවට ගේනකොට උෂ්ණත්වය වැනි සාධක ගැන අවධානය යොමු කරන්න වෙනවා. ඒ ගැන ක්‍රියා කළ යුත්තේ කොහොමද කියන එක ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයත් අනෙකුත් අංශත් එ්කාබද්ධව ක්‍රියා කරනවා. අපි කිසිම සැලසුමක නැහැ කියලා කවුරුහරි කියනවා නම් ඒක පැහැදිලිවම බොරුවක්.


ප්‍රශ්නය:- ජනතාව විවිධ උත්තර සොය සොයා යන්නේ ආණ්‍ඩුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නැති නිසාද?


පිළිතුර:- අපේ සෞඛ්‍ය ඇමැතිතුමියත් දේශීය වෛද්‍ය ඇමැතිතුමත් සෞඛ්‍ය අංශයෙන් සොයා බැලීමක් කළා. ඒක තවම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. අපේ වගේ රටවල්වල මිනිස්සු විද්‍යාත්මක කරණාවලින් විතරක් නොවෙයි වෙන ක්‍රමයකින් හරි මේ රෝගයෙන් ගැළවෙන්න ක්‍රමයක් තියෙනව නම් ඒකට යොමු වෙනවා. ඒක අපිට නවත්වන්න බෑ. අපේ රට තාම සාස්තර අහන රටක්. තාම තොවිල් කරන රටක්. තාම හඳහන් බලන රටක්. අපේ රට යුරෝපයට සමාන කරන්න බෑ. ඒවා මිනිසුන්ගේ සිතුම් පැතුම්. අපේ සංස්කෘතියට ආවේණික අංග. රජයක් හැටියට මිනිසුන්ගේ සිතුම් පැතුම් පාලනය කරන්න පහසු නෑ.


ප්‍රශ්නය:- මෙවර අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන කප්පාදු කරලා.


පිළිතුර:- ගොඩාක් වෙලාවට අපේ රටේ ජනතාව අපි අවුරුදු හැත්තෑ එකක් පුරා පුරුදු වෙලා තියෙන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ප්‍රතිපාදන වැඩිවිය යුතුයි කියලයි. නමුත් ඒක එහෙම විය යුතු නෑ. අවශ්‍ය දේ අවශ්‍ය තැනට කරන්න ඕනෑ. සමහර වෙලාවට දැන් පුරුදු වෙලා තියෙනවා ඒ ඒ අමාත්‍යාංශවලට ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ප්‍රතිපාදන වැඩි විය යුතුයි කියලා. ඒක නෙමෙයි අපි කියන්නේ. අවශ්‍ය තැනටයි වෙන් කළ යුත්තේ. පසුගිය ආණ්ඩුවලට වඩා වෙනස්ම අය වැයක් තමයි අපි ඉදිරිපත් කළේ. දේශීයත්වය මුල් කරගෙන අපේ ආර්ථිකය ඉදිරියට ගෙනි යන්න පුළුවන්. කොවිඩ් වගේ වසංගත තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් විදියේ ස්ථාවර ගමන් මාර්ගයකට රට යොමු කරන්න අය වැයක් තමයි අපි ඉදිරිපත් කළේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉදිරියේ දී මීට වඩා ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා නම් පාර්ලිමේන්තු අනුමැතියකින් හරි නැවත මුදල් පාස් කර ගත හැකි ක්‍රමවේද තියෙනවා.


ප්‍රශ්නය:- රට රැක ගන්න ආපු ආණ්ඩුවෙන් රටේ වනාන්තර ටික රැක ගන්න සෑහෙන අරගලයක් කරන්න වෙලා.


පිළිතුර:- විශේ‍ෂයෙන්ම මේ ගැන කිව යුතුයි. යම් තැනක වනාන්තරයක් විනාශ කරනවා නම් ඒවට අපි ඉතාම පැහැදිලිවම විරුද්ධයි. යමෙකු ඒ විදියෙ පරිසර විනාශයක් කරනවා නම් ඒ විනාශය නතර කරන්නත් සංහාරකයන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්නත් අපි සූදානම්. හැබැයි මෙතැන තියෙන්නේ පැහැදිලි ලෙස ආණ්ඩු විරෝධී මාෆියාවක් මේ ක්‍රියාත්මක වෙන්නේ. කෙන්යාවල කැලෑවක් කපන එක ලංකාවේ සිදුවීමක් හැටියට විශාල ප්‍රචාරයක් අරගෙන ගියා. අන්තිමට ඒ පුද්ගලයා අත්අඩංගුවට පවා පත්වුණා. ඒ විදියට රජය අප්‍රසාදයට පත් කිරීමේ වෙනම මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. පසුගිය රජය ගොවි ජනතාවට පොහොර සහනාධාරයක් දුන්නේ නැති නිසා ගොවියා ගොවිතැනින් ඉවත් වුණා. ගොවිබිම් කැලෑ වුණා. මේ කැලෑ වැදුණු ගොවිබිම් ඩෝසරයක් දාලා ශුද්ධ පවිත්‍ර කරනකොට ඒකේ ෆොටෝ එකක් දාලා මෙන්න කැලෑ එළිකරනවෝ කියලා කෑගහනවා. හම්බන්තොට පැත්තේ අන්දර කියලා ගස් වර්ගයක් තියෙනවා. ඒවා මෙලෝ රහක් නෑ. ඒ අන්දර ගස් ගොවියා ශුද්ධ කරනකොට කියනවා මෙන්න කැලෑ කපනවා කියලා. මම බොහොම පැහැදිලිව කියනවා අපට වන සංහාරයක් සිද්ධ වෙන හරි තැනක් පෙන්වන්න. අපි සූදානම් ඒකට එරෙහිව අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න.


ප්‍රශ්නය:- ආණ්ඩුවට එරෙහිව එන චෝදනාවලට ආණ්‍ඩුව වෙනුවෙන් පෙනී ඉන්න අය දැන් වඳවෙලා වගේ තමයි පේන්නේ.


පිළිතුර:- නෑ නෑ එහෙම වඳ වෙලා නෑ. හැමෝම ආණ්ඩුව වෙනුවෙන් කතා කරනවා. මේක මේ අපි බොහොම අමාරුවෙන් හදාගත්ත ආණ්‍ඩුව. මේ රටේ බහුතරයක් බුද්ධිමත් ජනතාව විශාල කැප කිරීමක් කරලා හදලා දුන්න ආණ්ඩුව. මේක ජනතාවාදී ආණ්ඩුවක්. ඒ නිසා මේ ආණ්ඩුව රැකගැනීම අපේ වගකීමක්. ඒ වගකීමට අපි සියලු දෙනාම බැඳී සිටිනවා. අපි වැරැද්දක් දැක්කොත් ආණ්ඩුවේ, ඒකට විරුදධවත් අපි අනිවාර්යයෙන් කතා කරනවා. අවස්ථාවාදී බොරු බේගල්වාදීන්ට මේ ආණ්‍ඩුවේ ගමන එක තත්පරයකින් හෝ පමා කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.


ප්‍රශ්නය:- සබීතා බිල්ඩිම පෙන්නලා ඡන්දෙ ගත්තා. මේ ආණ්ඩුවේ අධිකරණ ඇමැති අලි සබ්‍රි මාසෙකට රුපියල් මිලියන 400 ක ගොඩනැගිල්ලකට අමාත්‍යාංශය ගෙනියන්න හදනවා.


පිළිතුර:- යම් විදියක මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන බවට මතයක් තියෙනවා. අපේ ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රතිපත්තියක් තමයි වියදම් අවම කර ගැනීම. ඒ නිසා මේ ගැන ඊළඟ කැබිනට් මණ්‍ඩල රැස්වීමේ දී කතා කරන්න අපි බලාපො​රොත්තු වෙනවා.


ප්‍රශ්නය:- මහජන උපයෝගිතා කොමිසන් තියෙනවද? අහෝසි කළාද?


පිළිතුර:- මහජන උපයෝගිතා කොමිසම ගැන පසුගිය කැබිනට් මණඩලයේ දී සාකච්ඡා වුණා. යම් යම් ප්‍රශ්න තියෙන බව කියවුණා. නමුත් මේක පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කළ එකක් නිසා එය අහෝසි කළ යුත්තෙත් පාර්ලිමේන්තු පනතකින්මයි.


ප්‍රශ්නය:- නමුත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශයෙ ලේකම්ට ලිඛිතව දන්වලා තියෙනවා මේක අහෝසි කරන්න කියලා.


පිළිතුර:- ඔව්. ඒ සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ වුණා. මෙය අහෝසි කළ යුත්තේ පාර්ලිමේන්තු පනතකින් බවට තමයි පොදු මතය. ඒ ගැන දියුණු සාකච්ඡාවක් දැන් පැවැත්වෙනවා.


ප්‍රශ්නය:- එහි සියලු සාමාජිකයන් ඉල්ලා අස්වූ බවටත් ප්‍රවෘත්ති පළ වුණා.


පිළිතුර:- සාමාන්‍යයෙන් ඒ වගේ තත්ත්වයක් ඇතිවුණාම ඉල්ලා අස්වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. ඔය කොමිෂන්වල ඉන්න සමහර පුද්ගලයෝ කැමැති වෙන්නේ වැඩක් කෙරෙනවට නොවෙයි. වැඩක් නොකෙරෙනවටයි. ජනතාව අපිට අවුරුදු පහකට බලයක් දීල තියෙන්නේ. අවුරුදු පහකට බලයක් දුන්නාට අපි සංවර්ධනයට යොමු වෙනකොට ඒකට බාධා ඇති කරනවා නම් කොහොමද ආණ්ඩුවක් වැඩ කරන්නේ. උදාහරණයක්. අපි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා නම් අපේ විදුලි පද්ධතියට තව විදුලි ඒකක ප්‍රමාණයක් එකතු කරන්න ඒකට යම් යම් බාධා කරනකොට එහෙට මෙහෙට ලියුම් හුවමාරු වෙනකොට අවුරුදු පහ ගෙවිලා ඉවරයි. මේ වගේ යම් යම් අපහසුතා එනවා නම් ඒවා මග ඇරගන්න ඕනෑ. ඒ ගැන සාකච්ඡාවක් තමයි දැන් තියෙන්නේ.


ප්‍රශ්නය:- නමුත් මහජන උපයෝගිතා කොමිසම තිබුණේ මහජනතාවගේ ආරක්ෂාවට. ඒක අහෝසි කළාම ජනතාවට මොකද වෙන්නේ?


පිළිතුර:- ජනතාවගේ ආරක්ෂාවට කියලා දැන් බලන්න මේවට දාන පුද්ගලයෝ රොබෝලා නොවෙයිනේ. පොදුවේ ඔය කොමිෂන්වලට දාන ඇතැම් පුද්ගලයන් වැඩ කරන්නේ බාහිර න්‍යාය පත්‍රවලට අනුව. අපි දැක්කනේ මැතිවරණ කොමිසන් සභාව වැඩ කරපු හැටි. අපි දැක්කානේ පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වැඩ කරන හැටි අපි දැක්කනේ. මොනවද ඕවායේ වුණේ කියලා අපි දැක්කනේ. ඒ කොමිෂන්වල අප කරපු වැඩවලට තව කොමිසමක් දාන්න වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව වෙනුවෙන් වැඩ කරන රජයක් හැටියට මහජන උපයෝගිතා කොමිසමේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ජනතාවාදී වැඩපිළිවෙළට කකුල් මාට්ටු දානවා නම් අපි මොකද කරන්නේ. අපිට අනිවාර්යයෙන්ම ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.


ප්‍රශ්නය:- ඇමැති වාසුදේව නානායක්කාර ලිඛිතව ජනාධිපතිවරයාට තම විරෝධය දක්වලා තියෙනවා.


පිළිතුර:- පසුගිය කැබිනට් මණ්ඩලය තුළ අපි මේ ගැන සාකච්ඡා කළා. එතැනදි කිව්වා මේ ගැන හරියට හොයලා බලලා ඊළඟ කැබිනට් එකේදි තීන්දුවක් දෙනවා කියලා. ඒ නිසා අපි එතකන් ඉමු.


ප්‍රශ්නය:- ඇමැති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී කිව්වා සර්වබලධාරියෙක් අපේ අමාත්‍යාංශවල කෑලි ගලවනවා. ඇමැතිවරුන් පුලන්නන් බවට පත් වෙලා කියලා.


පිළිතුර:- ඒක ඉතින් අැත්තටම අහන්න ඕනෑ බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාගෙන්ම තමයි. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට සහයෝගයෙන් සමගියෙන් වැඩ කරන්න ඕනෑ. ඒක තමයි අපේ වගකීම. එහෙම දෙයක් තියෙනවා නම් ජනාධිපතිතුමා අගමැතිතුමා සමග කතා කළ යුතුයි. කැබිනට් මණ්ඩලය තුළ දී සාකච්ඡා කරලා විසඳුමක් ලබා ගත යුතුයි.


ප්‍රශ්නය:- ඔබ පුලන්නෙක් වෙලා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?


පිළිතුර:- අනේ නෑ. මම නම් අපි නම් පුලන්නො වෙලා නෑ. අපි නම් අපිට වගකීම දීපු අමාත්‍යාංශයෙ වැඩ ටික හරියට කරනවා. දිස්ත්‍රික්කයේ වැඩ ටිකත් තිතටම කරමින් පොදුවේ රටට වැඩ කිරීමේ නිදහස අපට තියෙනවා.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්