හිටපු ක්‍රීඩා ඇමැතිවරු දෙන්නම ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා


ඛණිජ තෙල් සංවර්ධන ඇමැති 
අර්ජුන රණතුංග 

 

දේශපාලන මාතෘකා කීපයක් පිළිබඳ මේ සාකච්ඡාව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සමඟයි  

අර්ජුන රණතුංග වෙන ග්‍රවුන්ඩ් එකක ප්ලේ කරන්න සැරසෙනවා කියන කතාව මොකක්ද?  


එහෙම එකක් නෑ. මම වැරැද්දක් දැක්කොත් ඕනම වෙලාවක කතා කරනවා නේ. ආණ්ඩුවෙ හිටියත් ආණ්ඩුවෙන් පිට හිටියත් රටට අහිතකර දේවල්වලට විරුද්ධව මම කතා කරනවා. ඔය කතාව කරළියට එන්නේ මං ක්‍රිකට් ගැන කතා කරන්න ගිය නිසා. මේ ආණ්ඩුව යටතේ අද ක්‍රිකට් ක්‍රීඩාව විනාසම වෙලා ගිහින්නේ. හිටපු ක්‍රීඩා ඇමැතිවරු දෙන්නම ක්‍රිකට් ක්‍රීඩාව විනාස කළා. නුසුදුසු පුද්ගලයින්ට ක්‍රිකට් පරිපාලනයට එන්න දීලා, අද ක්‍රිකට් තනිකර සුදුවක් බවට පත් කරලා. අද ක්‍රිකට් තමයි ලංකාවේ ලොකුම සූදුව.  


මේ ආණ්ඩුව තමයි ඒ තත්ත්වයට ඉඩ හැදුවෙ. ඒ ගැන මගේ තියෙන අප්‍රසාදය නිසාම පහුගිය දවසක මම කිව්වා ඊළඟ ආණ්ඩුවක් හදපු වෙලාවක හෝ කවුරු හරි මගෙන් ඉල්ලුවොත් ක්‍රිකට් හරියට කරලා දෙන්න කියලා මම ඒක කරලා දෙනවා කියලා.  


ඒ කිව්වෙ ක්‍රිකට් ගැනම විතර ද නැත්නම් වෙන දේශපාලන ඉඟියක් ගැන ඒ කතාවෙ තියෙනවද?  


නෑ. එහෙම දෙයක් නෑ. මම මගේ අමාත්‍යංශයේ වැඩ ගැන තෘප්තියෙන් ඉන්නේ. අපි මේ වෙනකොට වැඩ ගොඩක් කරලා තියෙනවා. අගමැතිතුමා එක්ක තවත් බොහෝ සංවර්ධන කාර්යන් ගැන සාකච්ඡා කරනවා. එතුමාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. ජනාධිපතිතුමාත් සහය දෙනවා මගේ වැඩ කරගෙන යන්න.  


කවුරු මොනවා කිව්වත් ආණ්ඩුවක් විදිහට අපි විශාල වැඩ කොටසක් කළා. ඒ වැඩවල ප්‍රතිඵල ජනතාවට හරියට පෙන්නගන්න අපිට බැරිවුණා. ඒ ප්‍රචාරය අපි හරියට කළේ නෑ. ඒකයි ගොඩක් අය මොකුත් වුණේ නෑ වගේ කතා කරන්නේ.  


ඔබ ඔබේ අමාත්‍යංශයේ වැඩවලටත් වැඩිය උනන්දුවෙන් ක්‍රිකට් ගැන පහුගිය දවස් ටිකේම කතා කළා. ඒවා ඔය තරම් තීරණාත්මක නම් ඇයි ජනාධිපති හෝ අගමැතිවරයා ඒවා ගණනකටවත් ගන්නේ නැත්තේ?  


අගමැතිතුමා මේ තියෙන ප්‍රශ්නය හොඳට දන්නවා. ඒත් ක්‍රිකට් පරිපාලනයේ ලොකු පුටුවල ඉන්න අය ජනාධිපතිතුමාගේ පක්ෂෙ නිසා ඔවුන් රැකගන්න සිද්ධවෙලත් ඇති. පක්ෂවල ප්‍රශ්න ඇති වෙනවට එහෙම කරනව ඇති සමහර විට. ඒක තමයි අද ක්‍රිකට්වලට තියෙන ලොකුම ප්‍රශ්නේ.   


මම ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි දෙන්නටම මේ ප්‍රශ්න ගැන ලිඛිතව හැම දෙයක්ම දන්වලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ ක්‍රිකට්වල සිද්ධ වෙන ප්‍රශ්නය ගැන මීට මාස කීපයකට කලින් මම අනතුරු ඇඟවීමක් කළා. රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කළා. ඒ ගැන නිසි ක්‍රියාමාර්ග ගන්න එක නායකයින්ගෙ අතේ තියෙන දෙයක්. මම විතරක් නෙවෙයි ක්‍රිකට්වල මේ ප්‍රශ්න ගැන කතා කළේ. ප්‍රවීණ ක්‍රීඩකයන් කීප දෙනෙක්ම පහුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කරන විනාසය ගැන අදහස් ප්‍රකාශ කළා. ඒවා ඇහුවෙ නැති නිසා තමයි අද ක්‍රිකට් නන්නත්තාරවෙලා තියෙ​න්නෙ. ක්‍රීඩා ඇමැතිවරු තමුන්ගේ යාළුවො සතුටු කරන්න වැඩ කළා මිසක් ක්‍රිකට්වලට ආදරෙන් වැඩ කළේ නෑ.  


ඔබ ඔය ඉල්ලන්නේ ක්‍රීඩා ඇමැතිකමද?  


මේ ආණ්ඩුවෙත් ක්‍රීඩා ඇමැතිකම ඕනනම් මට බාරගන්න තිබුණා. මගෙන් ක්‍රීඩා ඇමැතිකම ඕනද කියලත් ඇහුවා. මට ක්‍රීඩා ඇමැතිකමේ අවශ්‍යතාවක් නෑ. හැබැයි, ක්‍රිකට්වලට මැදිහත් වෙන්න ලොකු ඕනකමක් තියෙනවා. මම ඒක ඕන වෙලාවක කියනවා. මොකද මගේ ජීවිතේ ක්‍රිකට්වලට ලොකු තැනක් දීපු කෙනෙක්. මේ යන විදිය දැක්කම මට හිතෙනවා ජනාධිපතිතුමත් කල්පනා කරනවා ඇත්තේ අර්ජුන රණතුංග ක්‍රිකට්වලට සුදුසු නෑ කියලා වෙන්න ඇති.  


ඒකනේ ක්‍රිකට්වලට ආදරේ නැති අයට ක්‍රිකට් භාරදීලා ක්‍රිකට් විනාස වෙනකම් බලාගෙන ඉන්නේ.  


යහ පාලන ආණ්‍ඩුවට යන්තම් අවුරුදු තුනයි ගෙවුණෙ. ආණ්ඩු විරෝධය උග්‍ර වෙලා......  


ආණ්‍ඩුවක් හැටියට අපි වැඩ කොටසක් කළා. ඒත් අපි ඒවා සංදර්ශනාත්මකව නෙවෙයි කළේ, පහුගිය ආණ්ඩුව කාලේ වගේ දහයක් කරලා සීයක ප්‍රචාරයක් දුන්න නම් මිනිස්සුන්ටත් පෙනේවි. අපි එහෙම කළේ නෑ. අපි පොරොන්දු වෙච්ච දේවල්වලින් බොහොමයක් ඉටු කළා. ඒ වගේම ඉටු කරන්න බැරි වුණු දේවලුත් තියෙනවා. සමස්තයක් විදියට ගෙවුණු වසර තුන ගැන මම නම් තෘප්තිමත්. අපෙන් සිදුවුණු අඩුපාඩු ටික හදාගෙන ඉදිරියට යන්න අපි නිහතමානි වෙන්න ඕන. ඊළඟ අවුරුදු එක හමාර ඒ අඩුපාඩු හදාගෙන යන්න පුළුවන්.  


ඔබ තෘප්තියෙන් වුණාට ජනතාව නම් ඉන්නෙ අමාරු අඩියෙ......  


බදු ප්‍රශ්න අරව මේව එක්ක ජනතාව යම් දුෂ්‍කරතාවක ඉන්න බව අපි අමතක කරන්න හොඳ නෑ. හැබැයි, 2015ට කලින් තිබුණු තත්ත්වයට වඩා නරක තැනක නෑ. බඩු මිල ගත්තත් එහෙමයි. අත්‍යවශ්‍ය මිල තාම අඩුයි. අපි ආපු ගමන් බඩු මිල අඩු කරපු එක දැන් කාටත් අමතකයි. ටිකක් වැඩිවෙනකොට තමයි කවුරුත් ආණ්ඩුවට බණින්නේ.  


​ෙඩාලර් එක වැඩිවෙච්ච හැටියට බඩු මිල මේ තරමින් තියාගෙන යන එකත් ලොකු දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය වුණත් වැඩි වුණාම මිනිස්සුන්ට ඒක දරා ගන්න බෑ වගේ.  


පහුගිය ආණ්ඩුව කාලේ මේ තරම් දැඟලුව නම් ඉවරයි. අපි එහෙම කරන්නේ නෑ. දැන් තියෙන නිදහස භූක්ති විදින අයට අමතකයි 2015 පෙර තිබුණු තත්ත්වය.  


ආණ්ඩුව කාටත් කොළේ වහලා ගේන්න හදන සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම රටට අහිතකරයි කියලා බොහෝ දෙනාගෙ මතය. ඔබේ මතය මොකක්ද?  


බොරු කියන්නේ මොකටද ඔය ප්‍රධාන ගිවිසුම මමත් හරියට කියවල නෑ. ඒකෙ යම් යම් අඩුපාඩු තියෙනවා නම් විපක්ෂය එ්ක ගැන​​  ​​හොඳටම අධ්‍යයනය කරල නම් ඒ අඩුපාඩු එකින් එක පැහැදිලිව පෙන්නලා දෙන්න පුළුවන් කරුණු සහිතව. එතකොට ඒවා නිවැරදි කරගන්න පුළුවන්නේ. අපේ අමාත්‍යංශයට අවාසිදායක වෙනවා වගේ කරුණු මේකට අඩංගු ද කියලා හොයලා බලන්න කියල මම අපේ ලේකම්තුමාට දැනුම් දීලා තියෙන්නේ.  


ඕනම ගිවිසුමක රටට හිතකර වගේම අහිතකර දේවලුත් තියෙන්න පුළුවන්. ඒත් අන්තිමට ඒවා පාර්ලිමේන්තුවට ගෙනාවම හෝ කැබිනට් මණ්ඩලයේදී හෝ ඒවා බේරුම් කරගන්න පුළුවන්.  


මීට කලින් ක්‍රියාත්මක වෙච්ච ගිවිසුම්වලින් රටට අහිතකර දේවල් සිදුවෙලාම නැද්ද? විපක්ෂය කියනකම් ඉන්න දෙයක් නෑ. ආණ්‍ඩුව හැටියට අපි මේවයි රටට අහිතකර දේවල් තියෙනවනම් ඒවා නිවැරදි කරන්න ක්‍රියාකරන්න ඕන.  


රාජපක්ෂ කණ්ඩායම කියන්නේ එයාලගෙ සංකල්ප මේ ආණ්ඩුව වෙන වෙන නම් දාගෙන කොපි කරනවා කියලා.......  


වැඩ පිළිවෙළ එක වගේ වෙන්න පුළුවන්. හැබැයි ලොකු වෙනසක් තියෙනවා. ඒ ආණ්‍ඩුව මේ වැඩ කරද්දී හොරකම් කළා වගේ මේ ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ. ඒක තමයි වෙනස. පහුගිය කාලේ ඔය වගේ වැඩවලින් අයථා විදියට හම්බකරගත්තු කී දෙනෙක් හිටියද. දැන් එහෙම බෑ. හැමදේම පැහැදිලිව සිදු වෙනවා.  


පහුගිය ආණ්ඩුව කාලේ හොරකම් සිද්ධ වුණා කියලා කොච්චර කිව්වත් තාමත් ඒවා හරියට ඔප්පු කරගන්න බැරුව දඟලනව මේ ආණ්ඩුව......  


ඒවා හරියට ඔප්පු කරගන්න අවශ්‍ය විදියට වැඩකටයුතු කළා ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒ හොරකම් ඔප්පු කරගන්න ඕන තරම් සාක්ෂි සාධක තියෙද්දීත් මේවා දිගට ඇ​දෙනව නම් ඒක ප්‍රශ්නයක්. මේ ගැන නම් මගේ අපැහැදීමක් තමයි තියෙන්නේ. හැබැයි, මේවට නීතිය නිසියාකාරව ක්‍රියාත්මක වෙන්න ඉඩදීම නිසාම ප්‍රමාද වෙනව වෙන්නත් පුළුවන්.  


තෙල් සංස්ථාව හෝ ඔබේ අමාත්‍යංශයට අයත් ආයතනයක් විකුණන්න යනවට කැමතිද?  


කිසිසේත් කැමති නෑ. ඒකට ඉඩ දෙන්නෙත් නෑ. තෙල් සම්බන්ධව අයි.ඕ.සී. එකට අමතරව තවත් කණ්ඩායමක් එක්ක ඕන කියලා සමහරු හිතනවා. එහෙම අලුත් කණ්ඩායමක් එනව නම් එන්න ඕන ලංකාවෙම කණ්ඩායමක්.   


අපේ මුදල් වෙන රටකට ඇදිල යනවට මම එකඟ නෑ. මගේ පුද්ගලික අදහස මේකට තුන්වෙනි පාර්ශ්වයක් ඕන නෑ කියලා. ඕන නම් ලංකාවෙම එකක් වෙන එක වඩා සුදුසුයි.  


හුඟ දෙනෙක් පෙන්නන්න හදනවා තෙල් සංස්ථාව පාඩුයි කියලා. එහෙම එකක් නෑ. පහුගිය අවුරුදු ගණනාව පුරාම අපේ මුදල්වලින් තමයි භාණ්ඩාගාරේ වැඩිපුර පිරුණේ. අපිට පුළුවන් පෙන්වන්න තෙල් සංස්ථාව ලබන ලාභය. විපක්ෂයේ අය වැරදි මත පතුරවනවා එක එක වුවමනාවන් උඩ. පුද්ගලිකරණයට කැමති පිරිස් මේකත් පාඩුයි කියලා පෙන්නලා විකුණලා දාන්න උත්සාහ කරනවා ඇති. ඒත් මම ඉන්නකම් ඒකට ඉඩ දෙන්නෙ නෑ.  


මේක ඡන්ද නොතියන ආණ්‍ඩුවක් වෙලා කියලා හංවඩු ගැහෙනවා.....  


ඡන්ද කල්දාන එකට මමත් විරුද්ධයි. ඒක මහජනතාවගේ අයිතිය. ඒක කළ යුත්තේ කොහොමද? කියන එක ඒකේ වගකීම තියෙන අය හිතල බලන්න ඕන දෙයක්. අදාළ අමාත්‍යවරයා හරියට මේ ගැන ක්‍රියාත්මක වෙනවානම් මේව මේ තරම් දුරදිග යන එකක් නෑ. තමන්ට ඒ වැඩේ හරියට කරන්න බැරි නම් හෝ කරන්න දෙන්නෙ නැත්නම් ඒක රටට කියලා ඒ රාජකාරිය වෙන කෙනෙකුට පවරන්න ඕන. ආණ්‍ඩුව වෙනුවෙන් යම් පනතක් ගේන මිනිහම ඒකට විරුද්ධ වෙනව නම් ඒකත් විහිළුවක්.  


ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ජනබලය කොළඹට ගෙනල්ලා මේ ආණ්ඩුව ගෙදර යවනවා කියලා......  


ඒ කට්ටිය ඔය කතාව කී සැරයක් කිව්වද? ඊළඟ පෝයෙන් ආණ්ඩුව පෙරළනවා කියලා කීපාරක් කිව්වද? විපක්ෂෙ ඉන්න කොට ඔය වගේ දේවල් කියන්න වෙනවා. ඔය දේවල් ගැන ඒ තරම් කලබල වෙන්න ඕන නෑ. ජනතාවටත් මේ කතා දැන් අහල අහලම විහිළුවක් වෙලා.  


රාජපක්ෂ සහෝදරයගෙ මළගෙදර අර්ජුන ඇමැතිතුමත් ගියාද?  


ගියා, මහින්ද රාජපක්ෂ පවුලට අපේ පවුලේ අයත් එක්ක දීර්ඝ කාලයක් තිස්සේ හොඳ හිතවත් කමක් තියෙනවා. මහින්ද රාජපක්ෂට මම සමීපව හිටියා. දේශපාලන මතවාද එක්ක යම් යම් දුරස්වීම් වුණත් හිතවත්කම්වල ගැටලුවක් නෑ. ඒ පවුලෙ හැමෝම එක්ක මම හිතවත්. මට ඒ කා එක්කවත් පුද්ගලික ප්‍රශ්නයක් නෑ. රාජපක්ෂ පවුලයි රණතුංග පවුලයි එදා වගේම අදත් හොඳ හිතවත් පවුල් දෙකක්. අනික මරණයට මඟුලකට යන එක අපේ සම්ප්‍රදායනෙ. ඒ නැතත් මහින්ද රාජපක්ෂ මුණ ගැහෙන්න ඕන වුණොත් මම ඒත් යනවා. ඒ අපේ හිටපු ජනාධිපතිනේ.  


ඒ කියන්නේ රාජපක්ෂලා බලයට ආවොත් ආපහු ඒ පැත්තට යන්න වුණත් බැරි නෑ.....

  
එහෙම තීරණයක නෑ. මහින්ද රාජපක්ෂ නැවත බලයට එනවද කියන එක ප්‍රශ්නයක්නෙ තාම? ඒ කොහොම වුණත් මම දේශපාලනය කරන්නේ මට ඕන විදියට. ඒක මගේ බඩ පුරෝගන්න කරන දෙයක් නෙවෙයි. රට ගැන හිතල නිවැරදි පැත්තෙ ඉන්නවා මම හැමදාම.  
 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි